2018 ජුලි 21 වන සෙනසුරාදා

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන නීතිපති පරීක්ෂණ අරඹයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

♦මහින්ද - ගෝඨා ව්‍යාජ නිවේදනයේ සුලමුල සොයාගනී
♦ජනපති ඉතාලියෙන් ජෝර්ජියාවේ සමුළුවකට
♦ප්‍රසන්න රණවීරට මැතිසබේ තහනමක්?
♦මරණ දඬුවම ගැන ආණ්ඩුවේ විපක්ෂයේ ලොකු ගෝරි
♦ඒකාබද්ධයේ පොදු ජනරළ විරෝධය රජරටින් ඇරඹේ
♦ජ.වි.පෙ. නායකයාගෙන් ලොකු හෙළිදරව්වක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සතියේ සිටියේ විදේශගතවය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතාලියේ පැවති ලෝක වනාන්තර සතිය සැමරීම සඳහා වන උත්සවයකට සහභාගිවීමට ඉතාලිය බලා ගියේය. මෙම සමුළුව සඳහා ජනාධිපතිවරයා විශේෂ දෙසුමක් කළේය. පසුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද හමුවිය. මෙවර සමුළුව අමතා කතා කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණයට ගෙන ඇති පියවර විස්තර කළේය. එම සමුළුවෙන් අනතුරුව ජෝර්ජියාව බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එරටදී ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව ඇමතීමට නියමිත විය.

ජනාධිපතිවරයා විදේශගත වීමට පෙරදා ඉන්දීය විදේශ ලේකම් විජය කේෂව් ගෝකාලේ මහතා කොළඹට පැමිණියේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලන නායකයන් මුණගැසීමටය. විශේෂයෙන්ම ඉන්දීය විදේශ ලේකම්වරයාගේ කොළඹ ගමන නිහඬව සිදුවුවත් එය සෑහෙන තරම් ජාත්‍යන්තර අවධානයක් හිමිවූ චාරිකාවකි. ගෝකාලේ මහතාට පැවරී තිබුණේ මෙරට සිදුකෙරෙන චීන ආයෝජනවලට සාපේක්ෂව ඉන්දීය ආයෝජනද ඉහළ නංවා ගැනීමට කතා කිරීමයි. හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීම ගැන කලබල වී සිටින ඉන්දියාව උතුරේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කොට පවත්වාගෙන යාමට උදව් දීමට සූදානම්ය. ඒ ගැන මෙයට පෙර අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය බලධරයන් අතරද කතාබහ ඇති වී තිබිණි. කලාපීය දේශපාලන සුහද බව ඇතිකරගන්නා අතර උතුරේ ආයෝජනයට ඉන්දියාවේ ඇති උනන්දුව මෙම ගමනේදී පැහැදිලි කැරිණි. මෑත ඉතිහාසයේ පළමුවරට උතුරට ඉන්දීය රජයේ ආයෝජන ලබාදෙන්නැයි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඉන්දීය විදේශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය ඉන්දියාවට පැවරීම රජයේ ඉල්ලීම මත පමණක් නොව දෙමළ සන්ධානයේද ඉල්ලීම මත සිදුවන බව ඇඟවීමට බව දේශපාලන විචාරකයෝ පවසති.

කෙසේ හෝ ඉන්දීය විදේශ ලේකම්වරයා අගමැති, ජනපති, විපක්ෂනායක සම්පන්දන් පමණක් නොව තොණ්ඩමන්, දිගම්බරන්, මනෝ ගනේෂන් ආදී වතුකර නායකයන්ද මුණගැසුණු අතර ඔවුන්ට ඉන්දීය වතුකර නිවාස ව්‍යාපෘති ගණනාවක් ලබාදීම ගැන සාකච්ඡා කැරිණි.

පාර්ලිමේන්තු රැස්වීමට පෙරදා එ.ජා.ප.යේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේදී පැවැත්වුණේය. ඒ සඳහා එ.ජා.ප. මන්ත්‍රීන් සෑහෙන පිරිසක් එක්වූ අතර එම හමුවෙන් පසු රජය දියත් කරන්නට යන ගම්පෙරළිය සංවර්ධන සැලැසුම ගැන මන්ත්‍රීන් දැනුවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර තිබිණි. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මුලින්ම සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන කතාබහ ඇතිවිය.

අනතුරුව මරණ දඬුවම පැනවීම ගැන එ.ජා.ප. මැති ඇමැතීහු විවිධ අදහස් දැක්වූහ. සමහරුන් අකමැත්ත පළකරද්දී පසුපෙළ තරුණ මන්ත්‍රීන් ගණනාවක්ම ඊට සහාය පළකළහ. ඒ ගැන අගමැතිතුමා ජනාධිපතිතුමා සමඟ කතාකොට තීන්දුවක් ගත යුතු යැයි තවත් පිරිසක් පෙන්වා දුන්හ. යුරෝපා සංගමයද ඊට විරෝධය දක්වමින් ප්‍රකාශයක් කළේය. අනතුරුව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් හිටපු ජනාධිපතිවරයාට මැතිවරණ සඳහා චීන රජයෙන් මුදල් ලබාදීම ගැන සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්විය යුතු බවට යෝජනා කරනු ලැබීය. තවත් මන්ත්‍රීන් ගණනාවක්ම ඊට සහය පළකළෝය. ඒ ගැන පමණක් නොව පසුගිය රජය විසින් කරන ලද සෙසු ගනුදෙනු ගැනද හෙළිදරව් කළ යුතු යැයි ඔවුහු කීහ. එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එවැනි විවාදයක් ලබාගන්නේ නම් සියලු තොරතුරු සාධක ඇතිව විවාදය ලබාගත යුතු වගයි. සම්පූර්ණ තොරතුරු සොයාගෙන විවාදයට යන ලෙසද අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීන්ට කීය. එසේම රජය පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු ගැන සෙවීම නතර කර නැතැයි මන්ත්‍රීන්ට කී අග්‍රාමාත්‍යවරයා 2015 ජනාධිපතිවරණයට පෙර චෙක්පත් 82ක් මගින් රුපියල් මිලියන 1398ක් එවකට ජනාධිපති කාර්යාලයට ලබාදී ඇති බව සඳහන් කළේය. ඒ ගැන පුළුල් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇතැයි අගමැතිවරයා පැවසීය. අනතුරුව මන්ත්‍රීන් ගණනාවක් විමසුවේ චයිනා හාබර් ආයතනයේ අරමුදල් හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට ලබාදුන් සිද්ධිය ගැනයි. ඒ ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය ලබාදුන් වාර්තා නීතිපතිවරයාට යවා ඇතැයි අගමැතිවරයා කීය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන වගද ප්‍රකාශ කළේය. මේ සිදුවීම්වලට අවශ්‍ය සාක්ෂි සොයා ගැනීමට දැනට විමර්ශන අංශ කටයුතු කරමින් සිටින්නේ යැයි අගමැති රනිල් වැඩිදුරටත් පැවසීය.

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් කොටි සංවිධානය නැවත නගා සිටුවිය යුතු බවට උතුරේදී කළ ප්‍රකාශය ගැන මැතිසභා විවාදය පැවතිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේදී සෙංකෝලය පැහැරගෙන යන්නට හැදූ බවට නැගුණු චෝදනාව මේ සතියේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කැරිණි. මන්ත්‍රී ප්‍රසන්න කැඳවා ඒ ගැන විමර්ශනයන්ද වරප්‍රසාද කමිටුව විසින් සිදුකරන ලදී. අමාත්‍ය තිලක් මාරපන මහතා සභාපතිත්වය දරන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර, මන්ත්‍රීන් වන සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, ඩග්ලස් දේවානන්ද ආදීන්ය.

ගිය සඳුදා උදෑසන ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා කමිටුව හමුවේ පෙනී සිටි මොහොතේ අදාළ සිදුවීම ගැන ඔහුගෙන් නිදහසට කරුණු විමසීම මුලින්ම සිදුවිය. එවිට ප්‍රසන්න මන්ත්‍රීවරයා පවසා තිබුණේ විජයකලා එ.ජා.ප. රජයේ ඇමැති ධුරයක් දරමින් කොටි සංවිධානය නැවත ගෙන ඒමට කළ කතාව නිසා විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීන්ද කුපිත වී සිටි වගයි. ඒකාබද්ධ විපක්ෂය ඒ අවස්ථාවේ මේ ගැන තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාව ඉල්ලා සිටියද මුලසුනෙන් ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණ බැවින් විපක්ෂ මන්ත්‍රීන් වඩාත් ආවේගශීලී වූ බවද ඔහු කීය. මේ ගැන කළ විමර්ශනය අනතුරුව හමාර කළ වරප්‍රසාද කමිටුව එහි තීරණය කතානායකවරයාට යැවීමට තීන්දු කළේය. ඒ සමඟ ඉදිරියේදී එදිනම ආවේගශීලී ලෙස හැසුරුණු බවට චෝදනා ලත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගැනද විභාගයක් පවත්වා විමර්ශනය කිරීමට නියමිතය. මෙම පරීක්ෂණයේ නිර්දේශ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට මසක කාලයක් මැතිසබය තහනම් විය හැකි බව පැවසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට පෙර දේශපාලන තීන්දු ගණනාවක්ම ගත්තේය. වත්මන් රජයේ පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන අගෝස්තු මස 15දා රටපුරා දීපව්‍යාප්තව රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන්නට තීන්දු කෙරිණි. දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන රළ නමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබෙන අතර එය අනුරාධපුරයෙන් පසුගියදා ඇරැඹිණි. මෙම විරෝධතා රැල්ල අගෝස්තු මාසයේදී කොළඹදීත් ක්‍රියාත්මක කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ට උපදෙස් දුන්නේය.

රජය පසුගිය වසර තුන තුළ ජාතික ආර්ථිකය කාබාසිනියා කළ බවත් අද මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයද ආර්ථිකය සමඟම කඩා වැටී ඇති බැවින් ගුවන්තොටුපොළ වරාය පමණක් නොව අධිවේගී මාර්ගද පිටරුටියන්ට විකුණා දමන්නට රජය සැරසෙන බවත් පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන “මූඩ්ස්” ආයතනය ශ්‍රී ලංකාව ආයෝජනයට අවදානම් රටක් ලෙස නම් කිරීම සඳහා සැරසෙන බවට තොරතුරු ලැබුණු වගක් කීය.

ඒ අතර මැතිසබයේ ඒකාබද්ධ කණ්ඩායමට මන්ත්‍රීන් 70කට ආසන්න පිරිසකගේ සහය හිමිවන නිසා මැති සබයේ විවාදවලදී වැඩිපුර කාලය ලබා ගැනීමට පක්ෂනායක රැස්වීමේදී ඉල්ලීමක් කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වනු ලැබීය. ඒ අනුව මේ සතියේ අඟහරුවාදා පැවති පක්ෂ නායකයන්ගේ හමුවේදී විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ වේලාව වැඩි කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මේ සතියේ සිදු කෙරෙන විවාදවලදී වැඩි කෙරෙන පැයක වේලාවෙන් විනාඩි 40ක කාලයක් ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට පක්ෂ නායකයන් හා කතාකනායකවරයා එකඟ වූ බව වාර්තා විය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් සංඛ්‍යාව අනුව ඒකාබද්ධයට විපක්ෂ නායක පදවිය හිමිවිය යුතු බැවින් එහි පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක පදවිය ලබාදෙන ලෙස එහි මන්ත්‍රීන් සියලු දෙනාගේ අත්සනින් ලිපියක් සකස් කිරීමට ඔවුහු තීන්දු කළෝය. ඉදිරි දිනවලදී කතානායකවරයාට එම ලිපිය බාර දී විපක්ෂයේ මන්ත්‍රීන් බහුතරයේ කැමැත්ත මත විපක්ෂ නායක ධූරය ගුණවර්ධන මහතාට ලැබිය යුතු බවට කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමටද ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයෝ අපේක්ෂා කරති. එසේම උතුරේ ජනතා ප්‍රශ්න පිළිබඳව හෝ මැතිසබයේදී කිසිදු හඬක් නොනගන වත්මන් විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතාගේ නායකත්වය නොපිළිගන්නා බවද ඒකාබද්ධය කතානායකට දැනුම් දීමට යයි. එහෙත් මෙම ක්‍රියාව නිෂ්ඵල වැඩක් බව ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනාධිපතිවරණ සමයේ චීනයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 76ක පමණ මුදලක් ලබාදීම ගැන කරන ලද හෙළිදරව්ව ගැන පසුගිය බ්‍රහස්පතින්දා මැති සභා විවාදයක් පැවැත්විණි. එම විවාදයේදී ප්‍රධාන කථිකයා ලෙස තමන් මෙයට අදාළ සියලුම චෙක්පත් අංක ආදියද ඇතුළත්ව කරුණු හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවේ පැවසීය. මෙය දැවැන්ත මූල්‍ය අවභාවිතයක් බවත් එබැවින් නිව්යෝක් ටයිම්ස් හෙළිදරව්ව ගැන තමන් සියලු කරුණු මැතිසබයට ඉදිරිපත් කරන බවත් ජ.වි.පෙ නායකයා කීය. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා විවාදයේ ප්‍රධාන කථිකයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය.

එ.ජා.ප.යේ ප්‍රධානම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කෙරෙන “ගම්පෙරළිය” වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් දියත් කිරීම ගැන එ.ජා.ප. මන්ත්‍රීන් හා අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී මන්ත්‍රීහු දිගින් දිගටම තම තමන්ගේ ඡන්ද කොට්ඨාසවල අවශ්‍යතා ගැනත් තමන්ට ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ලැබිය යුතු බවත් කියන්න වූහ. ආසන මට්ටමින් තම තමන්ට මුදල් ලබාදෙන මෙන් මන්ත්‍රීන් ඉල්ලන විට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මන්ත්‍රීවරුන් අපේක්ෂා කරන්නේ මුදල් බවත් ගම්පෙරළිය ව්‍යාපෘතියට වෙන්කරන ලද මුළු මුදලම රුපියල් කෝටි 50 බැගින් මන්ත්‍රීවරුන්ට බෙදා දිය හැකි නම් හොඳ බවත්ය. එවිට එස්.එම්. මරික්කාර් ඇතුළු මන්ත්‍රීන් ගණනාවක්ම ප්‍රකාශ කළේ තමන්ලාට සිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකයන් සමඟ සුහදව වැඩ කළ නොහැකි බැවින් සෘජුවම මන්ත්‍රීන්ට මුදල් ලබාදීම යෝග්‍ය බවය. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්ත්‍රීන්ට කීවේ මෙම වැඩසටහනේ මුදල් මන්ත්‍රීන්ට ලබාදිය නොහැකි බවයි. මුදල් අමාත්‍යවරයාද එම අදහසට එකඟ විය. ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කළ යුත්තේ දිසාපතිවරුන් මගින් පමණක් යැයිද අගමැතිවරයා කීය. එවිට සමහර මන්ත්‍රීන් කීවේ ඇතැම් දිසාපතිවරුන් සමඟ කටයුතු කිරීම අසීරු බවයි. එසේනම් එම දිසාපතිවරුන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් නිලධාරීන් පත්කර ගම්පෙරළිය වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම වැඩසටහන දිවයිනේ ග්‍රාමසේවා වසම් 14.000ක ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් ඉදිකරවන ලද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවරීමට එරෙහිව දැඩි සටනක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. ඒ අනුව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධයේ මන්ත්‍රීන් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළෝය. කාර්යාල පමණක් නොව පසුගිය කාලයේ වී ගබඩා කළ ගබඩා පරිශ්‍රය ද ඔවුන්ගේ පරික්ෂාවට ලක්විය. එහි නිසි නඩත්තුවකින් තොරව දිරා ගිය කොටස් ද මන්ත්‍රීන්ට දැකගන්නට ලැබී තිබිණි. මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණයෙන් පසුව මෙය ඉන්දියාවට නොපවරා සංවර්ධනය කරන ලෙස ඉල්ලා සිටීමට තීන්දු කළ එම මන්ත්‍රීවරැ ඒ ගැන සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ගිය බදාදා ඔහු හමුවීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට ගියහ. මෙම සාකච්ඡාවට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගම‍ගේ ආදී මන්ත්‍රීන් පිරිසක් එක්වූහ. පැය භාගයකට ආසන්න කාලයක් අමාත්‍ය නිමල් සිරිපාල සමඟ සාකච්ඡා කළ නමුත් රජය මත්තල ඉන්දියාවට පැවරීමට ගත් තීන්දුව වෙනස් කරන්නට සූදානමක් නැති බව පෙනුණේ යැයි එම හමුවෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා යැයි පසුගිය බදාදා අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන යටතේ නිකුත් වූ මෙම නිවේදනය වෙබ් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොසිණි. ඔහුට ඒ බව දැනගන්නට ලැබීමත් සමඟ මහින්ද ද ගෝඨාභය රාජපක්ෂද වෙන වෙනම මේ පුවත ගැන ජාත්‍යන්තර මාධ්‍ය විශේෂඥයන් ලවා කඩිනම් පරීක්ෂණයක් කරවීය. ඒ අතරම මහින්දගේ මාධ්‍ය ලේකම්වරයා ලවා මෙම පුවත අසත්‍යයක් බවත් එබැවින් කිසිවකු කලබල විය යුතු නැති බවටත් කරුණු දක්වමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් විය. ජනාධිපතිවරණයක් අසලක නොතිබියදී මෙවැනි තීන්දුවක් ගැනීම අනවශ්‍ය බවද එහි සඳහන් විය. ඒ සමඟම ගෝඨාභය රාජපක්ෂ ද මෙම පුවත වැරදි බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළේ සිය ෆේස්බුක් ගිණුම හරහාය. කෙසේ හෝ මහින්ද සහ ගෝඨාගේ ඉල්ලීම මත පැය 24ක කාලයක් තුළ මෙකී පුවතේ සුලමුල ගැන විමර්ශනය කළ විද්වත් මාධ්‍ය උපදේශකයෝ එහි නිධාන කතාව සොයා ගත්තෝය. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදුන් වාර්තාවක් අනුව මෙරට එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ඉතාලියේ මිලාන් නුවර තැනැත්තෙක් මුලින්ම මෙම පුවත තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළකරමින් කතාව ප්‍රචාරය කර ඇතැයි සඳහන් විය. කෙසේ හෝ ඒ  ගැන මහින්දගේ නීතීඥයන් ගිය බදාදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් මේ ව්‍යාජ පුවත පිළිබඳ වහා විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.

►ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර