2018 ජුනි 23 වන සෙනසුරාදා

ජනපතිවරණයට එ.ජා.ප.යෙන් රනිල් පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන මහින්දගෙන් ඉඟියක්

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 514

♦ ෆොන්සේකා - තෙවරප්පෙරුම සිංහරාජයේ අලි අවුලට කොටුවෙති
♦ ප්‍රශ්න සමථයට රාජපක්ෂ සහෝදරයෝ මහ රෑ හමුවක
♦ විශේෂ දේශපාලන සිරකරුවකු නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් ජනපතිගෙන් ඉල්ලයි
♦ වරාය නගරයේ සංවර්ධනයට අගමැති රනිල් බ්‍රිතාන්‍ය උදව් පතයි
♦ ජ.වි.පෙ. 20 වැනි සංශෝධනය ගැන ඒකාබද්ධයේ සම්මන්ත්‍රණයක්
♦ අනුනාහිමිගේ දෙසුමට ජනපතිගෙන් පිළිතුරු

ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම අර්බුද අරගල හා ඉරිතැලීම් මධ්‍යයේ ඉදිරියට තල්ලුවන දේශපාලනය බෙහෙවින් ව්‍යාකූලය. එ.ජා.ප.යේ හා ශ්‍රී ල.නි.ප.යේ තිබෙන අර්බුදකාරී තත්ත්වය කලක පටන් පවතින්නකි. එහෙත් අලුතෙන් බිහිවූ පොහොට්ටුවේද පහුගිය සතියේ දේශපාලන කුණාටු හමා යන්නට විය. මෙම දේශපාලන කුණාටුවට බලපෑ සැබෑ හේතුව තවත් වසර 1 ½කින් පමණ පවත්වන්නට නියමිත මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද යන ප්‍රශ්නයයි. සමාජයේ බොහෝ තැන්වල විපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කතාබහට ලක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඇමෙරිකානු තානාපතිවරයා පසුගියදා මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේද අපේක්ෂකයා ගෝඨාද කියායි. එ.ජා.ප.ය ඍජුව හා වක්‍රව දැන් ගෝඨා ඉලක්ක කර දේශපාලන ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන ඇත. පසුගියදාක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළේ විශ්‍රාමික හමුදා ප්‍රධානියකු ජනපති සටනට එන්නට හදන වගයි. මේ ආකාරයට ගෝඨාගේ නම සමාජ ගත වෙද්දී ඒකාබද්ධයේ තිරය පිටුපස මොළකරු හා සංවිධායක වන බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ගැන තබාගත් අපේක්ෂා ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් මතුව ඇත. බැසිල්, නාමල්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සියලුදෙනා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක බලපෑම් එල්ල කරති.

කෙසේ හෝ ප්‍රශ්නය එළියට පැන්නේ පසුගියදා නියෝජ්‍ය කතානායක පදවිය සඳහා නාමයෝජනා කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙනුවෙන් ඡන්දය දෙන්නැයි මහින්ද කළ ඉල්ලීම නොතකමින් මන්ත්‍රී පිරිසක් මැතිසබය වර්ජනය කිරීමත් සමඟය. ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කෝපයට පත්වූ අතර දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධයේ නායකයෝ පක්ෂ නායක හමුව වර්ජනය කළෝය. ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධයට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළ අතර කකුල් දෙක දෙපැත්තේ තබාගෙන සිටින්නන් කොහොමටත් එපා යැයි කීය. ඉන් අනතුරුව මේ ගැන බැසිල් රාජපක්ෂ මහතාද වාර දෙකක්ම අදහස් දැක්වූ අතර පොහොට්ටුව සාගරයක් බවත් කුණු කාණුත් ඊට ගලන වගත් සඳහන් කරමින් 16 දෙනාට ප්‍රහාරයක් එල්ල කළේය. අනතුරුව තවත් ජනහමුවකදී බැසිල් කීවේ තම ආණ්ඩු කාලයේ සිදුවූ රතුපස්වල වෙඩි තැබීම හා කටුනායක වෙඩි තැබීම  වැනි සිදුවීම් ඉදිරි ආණ්ඩුවකදී සිදු නොවිය යුතු වගය. මෙය අනියමින් ගෝඨාභය ඉලක්ක කරමින් කළ කතාවක් බවට ආරංචි පැතිරෙද්දී ගෝඨා ඊට උත්තර දෙන්නට ගියේ නැත. උත්තර දුන්නේ මහින්ද රාජපක්ෂය. මහනුවර පැවති ජනහමුවකදී “කටුනායක වෙඩි තැබීම ගැන අපේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. නමුත් ඊට පස්සෙන්දම අපි පොලිස්පතිව අයින් කරල අවශ්‍ය නීතිමය පිළියම් යෙදුව.... ඒක ඔය කතාකරන සමහරුන්ට මතක නැහැ...” යැයි මහින්ද කීවේ බැසිල්ගේ කතාවට පිළිතුරු ලෙසය.

මේ ආකාරයට ගැටලු මතුවෙද්දී 16 දෙනාගේ කණ්ඩායම මාතලේ පැවති ජනහමුවේදී බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කරමින් අදහස් දැක්වීය. එස්.බී., ඩිලාන් සහ දයාසිරි ජයසේකර යන තිදෙනා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බැසිල් කාටත් නොකියා ඇමෙරිකාවට ගිය බව කියමින් තවත් නොයෙක් චෝදනා නැගූහ. මේ ආකාරයට පොහොට්ටුව කණ්ඩායම හා සෙසු පිරිස් අතර වාද විවාද හටගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා 16 දෙනාගේ කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ආදීන්ට දුරකතනයෙන් කතා කළේය. ඒ අයගේ සහය විපක්ෂයට අවශ්‍ය බව කී මහින්ද තම කණ්ඩායම සමඟ එක්වීමට තිබෙන බාධා ඉවත් කරගෙන කඩිනමින් ඒකාබද්ධය සමඟ එක්වන්නැයිද තිබෙන ගැටලු තමන් විසඳන්නම් යැයිද පොරොන්දු වීය. ඉන්පසුව බැසිල් රාජපක්ෂ මහතා ඇමතූ මහින්ද තමන් ප්‍රශ්න විසඳන තෙක් නිහඬව සිටින්නැයි උපදෙස් දුන්නේය. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා හෝ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අර්බුදකාරී කතා කියන්නට ගියේ නැත. ඒ අතර 16 දෙනාගේ කණ්ඩායම විශේෂ තීන්දුවකට එළඹෙමින් ඒකාබද්ධයට ලිපියක් ලියන්නට තීන්දු කළේ තම කණ්ඩායමට ඔවුන් පවත්වන විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීමට සහභාගිවීමට හැකිදැයි විමසීමටය. මේ සියල්ල සිදුවෙද්දී පොහොට්ටුවේ ඉහළ පෙළේ නායකයෝද විශේෂ තීන්දුවකට එළැඹියහ. මෙතෙක් කල් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ කිසිදු තනතුරක් නොදැරූ බැවින් ඔහුට පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ) නායකත්වය නිල වශයෙන් පැවරීම ඒ තීන්දුවයි. ලබන නොවැම්බර් මස 02දා පැවැත්වෙන පොහොට්ටුවේ වාර්ෂික සමුළුවේදී පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට පැවරෙනු ඇතැයි කියැවේ. ඒ බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට කලකට පසු නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවිය. පසුගිය සතියේ සෙසු නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරැම් දෙන අවස්ථාවේ පතිරණ මහතා විදේශගතව සිටියේය. ඒ සමඟ පැතිර ගිය කතාවකින් කියැවුණේ ශ්‍රී ලංකාවට පැමිණියද බුද්ධික පතිරණ මහතා නියෝජ්‍ය අමාත්‍ය පදවිය භාර නොගෙන පසුපෙළම රැඳී සිටිනු ඇති බවයි. නමුත් ජනාධිපති කාර්යාලයේ ආරාධනයෙන් පතිරණ මහතා ගිය අඟහරුවාදා සවස නියෝජ්‍ය අමාත්‍ය පදවියේ දිවුරුම් දුන්නේය. ඒ අතර සතියේ පාර්ලිමේන්තු රැස්වීමට පෙරදා එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්විය. පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාර ලබාදීමේදී සිදුවූ අකටයුතුකම් සමනය කොට එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා නව යෝජනාමාලාවක් ඉදිරිපත් කොට තීරණයක් ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් අදහස් කරගෙන තිබිණි. එසේම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් සිරදඬුවම ගැනද එ.ජා.ප. පසුපෙළ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව සඳහන් විය. නමුත් මේ ප්‍රශ්නවලට අදාළ විෂය භාර අමාත්‍යවරුන් පක්ෂ කණ්ඩායම් හමුවට පැමිණ සිටියේ නැත. පසුපෙළ මන්ත්‍රීන් දෙතුන් දෙනෙක් මේ ගැන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හමුවේ දෝෂාරෝපණය කළෝය. පොළොන්නරු දිසා මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුළු කිහිප දෙනකු මේ අය අතර වූ බව දැනගන්නට තිබේ. පසුපෙළ මන්ත්‍රීන් වන හේෂාන් විතානගේ හා චමින්ද විජේසිරි යන මහත්වරුන් පක්ෂය දැන් කළයුත්තේ තමන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබාදීම නොව පාක්ෂිකයාත් පක්ෂයත් ශක්තිමත් කළයුතු ආකාරයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම බවද සඳහන් කර තිබිණි. එසේම එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා තමන්ට ලබාදුන් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට අදාළ පහසුකම් සියල්ල ප්‍රතික්ෂේප කොට එම පදවියේ ඉටුකළ හැකි ජනතා මෙහෙවර පමණක් සිදුකිරීමට තීන්දු කළ බව ප්‍රකාශ කර ඇත. මේ සියල්ල සිදුවෙද්දී පක්ෂයේ නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරුන් වන මංගල සමරවීර හා ලක්ෂ්මන් කිරිඇල්ල ආදීහු 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව තහවුරු කරමින් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සිටිති.

වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මේ දිනවල සිංහරාජය හා අවට ගම්වල ගැවසෙමින් සිංහරාජයේ වෙසෙන අලින් දෙදෙනාගෙන් ප්‍රදේශවාසී ජනතාවට එල්ල වී තිබෙන තර්ජන සමනය කිරීමට තැත් කරති. මේ අලින් දෙදෙනා වියළි කලාපයේ තැනක ස්ථානගත කොට හෝ ඔවුන්ට සිංහරාජයේ වාසයට සුදුසු ස්ථානයක් සකස් කරන බව පවසා අලින් අල්ලාගෙන යාමට සූදානම් වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පරිසර සංවිධාන අනතුරු අඟවා තිබුණේ එවැන්නක් සිදුකළහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඉඩකඩ ඇති බවයි. එනිසා අමාත්‍යවරයාගේ තීරණය අත්හිටුවන ලෙස එම සංවිධාන ඉල්ලා සිටියේය. ඒ අනුව සරත් ෆොන්සේකා මහතා ඇමතූ ජනාධිපතිවරයා සිංහරාජයේ අලි මෙහෙයුම නතර කරන්නැයි ඉල්ලා සිටියේය. එසේම වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාටද එම නියෝගය නිකුත් කළේය. ඉන්පසුව මාධ්‍යයට කතා කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපති නියෝගයකට අවනතව තමන් සිංහරාජයේ අලි ඇල්ලීම නතර කරන බවය. ජනාධිපතිතුමා මෙම අලින් රැඳවීම සඳහා ස්ථානයක් මාස තුනක් තුළ සිංහරාජයේ අවටින් ලබාදෙන බව පැවසුවේ යැයිද හෙතෙම කීය. එහෙත් එම තීරණය ගැන තමන් ලිඛිතවම විරෝධය දැක්වූ බව සඳහන් කළ ෆොන්සේකා මහතා මාස තුනක කාලය තුළ අදාළ ඉඩම නොලැබුණොත් තමනුත් තමන්ගේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතාත් දැනට දරන ඇමැති ධූරවලින් ඉවත්වන බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා දින 8ක කාලයක් පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනයට ගොස් සිටියේය. එහිදී රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගණනාවකට එක්වූ වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා හමුවිය. ඔහුත් සමඟ ශ්‍රී ලංකාවේ නව මූල්‍ය මධ්‍යස්ථානය වන වරාය නගරයේ වාණිජ කටයුතු හා නීතිමය අවශ්‍යතා සපුරාලීම ගැන සාකච්ඡා කළේය. බ්‍රිතාන්‍ය ආයෝජන මෙරටට ලබා ගැනීමද දෙදෙනාගේ සාකච්ඡාවේ තවත් මාතෘකාවක් විය. එරට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩේවිඩ් කැමරන් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පුළුල්ව සාකච්ඡා කළේය. එංගලන්තයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසිණි. ඔහුත් සමඟ අගමැතිවරයා සාකච්ඡා කළේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ නව භාණ්ඩ සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම ගැනය.

ශ්‍රී ල.නි.ප.යෙන් ඉවත් වූ 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම ගිය සති අන්තයේ මාතලේදී විශේෂ සම්මන්ත්‍රණයකට එක්වූහ. සම්මන්ත්‍රණයට පෙරදා ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ හෝටලයකට එක්රැස් වූ මොවුහු මධ්‍යම රාත්‍රිය දක්වා සිය ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කළෝය. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදැක්වීමටත් එහි දළ සැලසුම මහජන අදහස් ලබාගන්නට මාතලේදී ප්‍රකාශයට පත් කරන්නටත් තීන්දු විය. මේ අයගේ ප්‍රධානතම ප්‍රශ්නය වූයේ 16 දෙනාගේ කණ්ඩායමට එරෙහිව පොහොට්ටුවේ ඇතැමුන් කරන ප්‍රකාශයයි. ඒ ගැන ජෝන් සෙනෙවිරත්න මහතා ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබූ අතර පසුව ප්‍රකාශවලින් ඉලක්ක කළේ 16 දෙනා නොව ශ්‍රී.ල.නි.පයේ සිටිමින් විවිධ කතා කියන 23 දෙනා බවය. මේ කතාබස්වලින් අනතුරුව සෑහෙන ජන සහභාගීත්වයක් යුතුව මාතලේදී 16 දෙනාගේ ජනහමුව පැවැත්විය.

පසුදා කොළඹ පැමිණි මෙම පිරිස කාරණා කිහිපයක් උදෙසා මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට තීන්දු කළේය. ඒ අනුව ගිය අඟහරුවාදා දහවල් අනුර යාපා, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි යන මහත්වරු මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට ඔහුගේ නිල නිවසට පැමිණියෝය. එම ගමනේදී කරුණු දෙකක් ගැන සාකච්ඡා කරන්නට තීන්දු වී තිබිණි. ඉන් පළමුවැන්න ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම් සඳහා සහභාගී වන්නට අවසරය ලබා ගැනීමයි. දෙවැන්න 16 දෙනාගේ කණ්ඩායමේ සිටින නීතීඥයන් 7 දෙනා වන ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර හා අනුරාධ ජයරත්න යන මහත්වරුන් වෙනුවෙන් කොළඹ අලුත්කඩේ ඉදිවූ නව නීතීඥ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස මහින්දට ඇරයුම් කිරීමයි. ඒ අනුව නීතීඥ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නට මහින්ද කැමැති වූ අතර 16 දෙනාගේ කණ්ඩායමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට පැමිණීමට ඉඩ සලසන බවටද ප්‍රකාශ කළේය. පසුව ඒ බව ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවට එදිනම යෝජනා කළ මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස පක්ෂ නායකයෝ අනුමත කළහ. කෙසේ හෝ ඉදිරියේ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධානයෙන් පසු 16 දෙනා නිල වශයෙන් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල දිගින් දිගටම සම්මන්ත්‍රණ හා ජනහමු පවත්වමින් උත්සාහ කරන්නේ ඔවුන් මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වැනි සංශෝධනය සම්මත කර ගන්නටයි. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා මෑතකදී ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරතොත් එහි පූර්ණ වාසිය මුලින්ම ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවයි. එහෙත් ඒකාබද්ධය ඊට සෘජු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔවුන් මේ සතියේ පැවති පක්ෂ නායක හමුවේදී තීන්දු කළේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් දැනුවත් කිරීමටත් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වන්නටය. එය ඉතා ඉක්මනින් සංවිධානය කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේ කිලිනොච්චියට ගියේය. එහිදී ප්‍රදේශයේ පොදු කටයුතු ගණනාවකට එක්වූ ජනාධිපතිවරයා සමඟ උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ද එක්විය. උතුරේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කළ ජනාධිපතිවරයාගෙන් මහ ඇමැති විග්නේෂ්වරන් විශේෂ ඉල්ලීමක් කළේය. ඒ කොළඹ බෝම්බ සිද්ධියකට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳින ආනන්දන් සුදාකරන් නැමැත්තා නිදහස් කරන ලෙසය. ඔහුගේ බිරිය මියගොස් දරුවන් අසරණව සිටින නිසා මෙම ඉල්ලීම කරන බව මහ ඇමැතිවරයා කීය. මේ ගැන මහජන පෙත්සමක්ද තමන්ට ලැබී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ ගැන කඩිනමින් පියවර ගන්නා වගද කීය.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෞද්ගලික රෝහල්වල ගාස්තුවලින් වැට් බද්ද ඉවත් කිරීම සඳහා කළ යෝජනාව සම්මත විය. ඒ අනුව එය ලබන ජූලි මස 01දා සිට ඉවත් කෙරේ. ඒ නිසා රුපියල් කෝටි 120 ක් රජයට වසරකට අහිමි වන බවද මංගල අමාත්‍යවරයා කීය. ඒ අතර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවත් මහත් ආන්දෝලනයට ලක්විය. එමගින් කියැවුණේ උතුරේ යුද්ධයේදී ආණ්ඩුවේ හමුදා සමඟ සටන් කොට මියගිය කොටි පවුල්වල සාමාජිකයන්ට රජයෙන් වන්දි ගෙවීමට යෝජනා කරන බවය. එහෙත් ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍යවරු ගණනාවක් ඊට එරෙහි වූහ. මෙහිදී ජනාධිපතිවරයා කීවේ යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට වන්දි ගෙවීම සුදුසු බවය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පසුගිය බදාදා ඒ මහතාගේ මිරිහාන නිවසේදී දානමය පිංකමක් සංවිධානය කර තිබිණි. විශාල ආරාධිත පිරිසක් ද පැමිණ සිටි අතර දිවයිනේ ප්‍රභූ මහා සංඝරත්නය සෑහෙන පිරිසක්ද පිංකම සඳහා ගෝඨාගේ නිවසට වැඩම කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මන්ත්‍රී චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ද 16 දෙනාගේ කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, තිලංග, චන්දිම වීරක්කොඩි ආදී මන්ත්‍රීහුද මේ අවස්ථාවට එක්වූහ. ඉතා චාම් ලෙස සංවිධානය කර තිබූ උත්සවයේදී විශේෂ අනුශාසනා ගණනාවක්ම සිදුකළේ දිවයිනේ ප්‍රකට නාහිමිවරුන් විසිනි. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් වදාළේ රට නිදහස් කර ගන්නට මහින්ද රාජපක්ෂ මහතාට සහය වූ ගෝඨාභය මහතා මහින්ද මහතාගෙන් පසුව රට භාරගත යුතු යැයි ජනමතයක් පවතින බවයි. එය තමන්ටද සතුටක් යැයි කී කොටුගොඩ නාහිමියෝ පොහොට්ටුව පක්ෂයට පසුගියදා ලැබුණු ජනතා ප්‍රසාදයෙන් එම තත්ත්වය පැහැදිලි වූ බවද පැවසූහ. ඒ නිසා මේ රටට රාජපක්ෂ පවුලේ සේවය අවශ්‍ය යැයි උන්වහන්සේ වදාළහ. අනතුරුව ප්‍රධාන අනුශාසනාවක් කළ අස්ගිරි පාර්ශවයේ අනුශාසක පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමියන් සඳහන් කළේ ඇතැමුන් ගෝඨාභය මහතාගේ පාලනය හිට්ලර් පාලනයක් යැයි කියන බවය. මේ රට දැඩි ලෙස විනගරුකව හදන්න නම් එබඳු පාලනයක් හෝ ගෙනගොස් රට හදන ලෙස ආරාධනා කරමි යැයි උන්වහන්සේ සිය අනුශාසනාවේදී පැවසූහ.

මෙම අනුශාසනා සියල්ලෙන් පසුව ඒකාබද්ධයේ මන්ත්‍රීන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සුහද කතාබහේදී මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දැන් මහා සංඝරත්නය අපේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරලා ඉවරයි. මම හිතන්නේ මට කරන්න ඒ හැටි දෙයක් ඉතුරු වෙන එකක් නැහැ....... යනුවෙනි. එය මහින්ද කලකට පසු ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන නම නොකියා පළකළ ඉඟියකි.

හිට්ලර් කෙනෙකු වී හෝ රට හදන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනුශාසනා කිරීමෙන් අනතුරුව මෙම කතාව මහත් ආන්දෝලනයට තුඩුදුන්නේය. රාජපක්ෂ පවුලේ අය පවා මෙම අනුශාසනයෙන් වැරදි අර්ථකථන ලැබෙන බව පැවසූහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකවැරටියේදී ජන රැලියක් අමතමින් එම කතාව තරයේ විවේචනය කළ අතර දැනට යහපාලන රජය ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිකරන්නට හෝ හිට්ලර් පාලනයක් බිහිකරන්නට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බව ප්‍රකාශ කළේය.

අනතුරුව බී.බී.සී. සිංහල සේවය අස්ගිරි අනුනායක සහ පොළොන්නරු සොලොස් මස්ථානාධිපති වෙ ඩරුවේ උපාලි නායක හිමියන්ගෙන් මේ ගැන විමසීය. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් කළ සම්පූර්ණ අනුශාසනාවට සවන් දෙන ලෙසයි. එම අනුශාසනාවෙන් එබඳු භයානක තත්ත්වයක් අපේක්ෂා නොකළ බව පැවසූ අනුනාහිමියෝ තමන් වදාළේ රට ජාතිය හැදෙන්නට හොඳ තද තීන්දු අරගෙන රටට යහපතක් වෙන්නට ඕනෑය යන අදහස බවද පැවසූහ.

එහෙත් උන්වහන්සේගේ මෙම ප්‍රකාශය ගැන සිවිල් ක්‍රියාකාරිකයන් රැසක් වෙබ් මාධ්‍යයෙන් දැඩි විවේචන ඉදිරිපත් කර තිබිණි. දේශපාලන විචාරකයකු වන ආචාර්ය දයාන් ජයතිලක සඳහන් කළේ අනුනායක හිමියන්ගේ මෙම ප්‍රකාශය මෑතකදී තමන් සවන් දුන් භයානකම හා ලැජ්ජා සහගත කතාව බවය.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර