2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ඇමැති හමුවේ වලි මැද ජරමර

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 237

යහපාලන රජය පිහිටුවීමට සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ගෙන ඒමට විශාල මෙහෙවරක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මැතිසබයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරන බව පැවසීම මේ සතියේ වාර්තා වූ ප්‍රමුඛ දේශපාලන පුවතයි. පසුගිය කාලය පුරාම රතන හිමියෝ නිහඬතාවයෙන් ක්‍රියා කළහ. උන්වහන්සේගේ දැඩි උනන්දුව තිබුණේ වස විස නැති ගොවිතැන ප්‍රචලිත කිරීමටය. ජාතික හෙළ උරුමය සමඟ ධර්ම රාජ්‍යයක් සඳහා  දේශපාලන ගමන ඇරඹූ උන්වහන්සේ පසුගිය කාලයේ හෙළ උරුමය සමඟ විරසක වූහ. ඊට මූලික හේතුව වූයේ රතන හිමියන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කිරීමට යාමේදී උන්වහන්සේගේ නම වෙනුවට වෙනත් නමක් පක්ෂය විසින් යෝජනා කිරීම නිසා බව කියැවිණි. එහෙත් රතන හිමි මෙවර මාධ්‍ය හමුවේදී පවා තමන්ගේ මුල් දේශපාලන පක්ෂය හෝ එහි නායකයන් විවේචනය නොකිරීම කැපී පෙනුණි. උන්වහන්සේ පෞද්ගලිකව චම්පික රණවක මහතා සමඟ මෙන්ම පක්ෂයෙන් ඉවත්ව ගිය උදය ගම්මන්පිල මහතා සමඟ පවා ඉතා සුහද බව දැනගන්නට ඇත.

මෙවර තමන් ස්වාධීන වන්නේ රට ගොඩනැගීම සඳහා අලුත් බලවේගයක් හදන්නට බව උන්වහන්සේ කියති. ඒ අතර රතන හිමියෝ තම මාධ්‍ය සාකච්ඡාවේ දී වත්මන් රජය පසුගිය කාලයේ ගත් යම් යම් ක්‍රියාමාර්ග තරයේම විවේචනය කළහ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමේ වගකීම බෙදුම්වාදයට උඩගෙඩි දුන් පිරිසක් අතට පත්ව ඇතැයි කී රතන හිමියන් දැනට කෙටුම්පත් කර තිබෙන ව්‍යවස්ථාව ඉදිරිපත් කළහොත් රටේ ජනතා නැගිටීමක් සිදුවන බවට අනතුරු ඇඟවූහ. සමහර ස්වාධීන කොමිෂන් තවමත් පිහිටුවා නැතැයි චෝදනා කළ උන්වහන්සේ සමහරු අනාගමික රාජ්‍යයක් ගැන මිථ්‍යා කතා පතුරවන බවට චෝදනා කළහ. ජී.එස්.පී ප්ලස් ගන්නටයැයි කියමින් රණවිරුවන් යුද අධිකරණයකට ගෙන යන්නට ආණ්ඩුවේ සමහරුන් තැත් කිරීම ගැනද රතන හිමියෝ සිය විරෝධය පළ කළහ. හම්බන්තොට වරාය විකිණීම ජාතික අපරාධයක්යැයි කී උන්වහන්සේ හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට දීමට යෝජනා කිරීම කිසිසේත්ම අනුමත නොකරන්නේ යැයිද පැවසූහ.

 රතන හිමි ගත යුතු මඟ සෝභිත හිමි පෙන්වා දෙති 

මේ ආකාරයට රජය විසින් කරගෙන යනු ලබන බොහෝ කටයුතු නිර්දය ලෙස විවේචනය කළ උන්වහන්සේගේ ඉදිරි ක්‍රියාදාමය පැහැදිලි නැතත් රතන හිමියන් මෙම කතාව කළේ රජයේම තවත් ප්‍රබල පාර්ශ්වයක පෙළඹවීම මතයැයි කොළඹ දේශපාලන අංශවල ප්‍රචාරයක් තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල සාමාජිකයන් පොලිටිකල් රහස් තීරයට සඳහන් කළේ මෙය ආණ්ඩුවේ එක් පාර්ශ්වයක සැලසුම් සහගත කටයුත්තක් බවය.

කෙසේ හෝ රතන හිමියන් ස්වාධීන වීමෙන් එ.ජා.පයේ මන්ත්‍රීන් ගණන 106 සිට 105 දක්වා අඩු විය. එසේම රතන හිමියන් සමීපව ඇසුරු කරන දේශපාලන සගයන් වන චතුර සේනාරත්න මන්ත්‍රීවරයාත්, කරැණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගන්නා මඟ කුමක්ද යන්න ගැන දේශපාලන අංශ දැඩි අවධානයෙන් පසුවෙයි. ඒ අතර පැතිර ගිය තවත් කතාවක සඳහන් වූයේ රත්නපුරය දිසාව නියෝජනය කරන කරුණාරත්න පරණවිතාන මහතා එහි රක්වාන ආසන සංවිධායක ධූරය ලබාගන්නට එ.ජා. පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති වගයි. ඒ නිසා දැනට රක්වාන එ.ජා.ප සංවිධායක ධූරය දරන හේෂාන් විතානගේ මන්ත්‍රීවරයාට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ආසන සංවිධායක ධූරයක් ලැබෙනු ඇති බවද දැනගන්නට තිබේ.

ගිය සතියේ අගමැතිවරයා ජනාධිපතිවරයා අතර පැවති විශේෂ හමුවේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන මූලික එකඟතා ඇති කරගත් බව කියැවේ. අඩුම තරමින් කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනකුගේ පමණ තනතුරු වෙනස් වන බව කියැවේ. ඒ අය අතර ප්‍රබලතම කැබිනට් ඇමැතීන් දෙදෙනෙක් සිටින වග දැනගන්නට ලැබේ. 26 දා සිදුවන සෙනසුරු මාරුවෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය කෙරෙනු ඇත. ඒ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාධ්‍ය හමුවකදී ඉඟිකර තිබුණි. කබීර් හෂීම් මහතාට මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතාටද දැනට දරන විෂයන්ට වඩා ප්‍රබල කැබිනට් විෂයන් පැවරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සංසද රැස්වීමට සහභාගි වීම සඳහා පසුගියදා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමාගම් ප්‍රධානීන් හා මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් ද අගමැති සමඟ මෙම ගමනට එක් වූහ. මෙරටට නව ආයෝජන ලබාගැනීම ගැන මෙන්ම ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම පිණිස එහි පැමිණෙන දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා සිය කාලයෙන් වැඩි කොටසක් කැප කළේය. චීන ජනපති මෙන්ම ස්විස් ජනපති ද අගමැතිවරයා මුණගැසුණේය.

 රජයට ඔළු දෙකක් ඇතැයි චම්පිකගෙන් ප්‍රකාශයක් 

බාලගිරි දෝෂය ලබා තිබූ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් විෂය භාර අමාත්‍ය පයිසර් මුස්තාපා මහතාට ලබාදුනි. සති ගණනාවක් තිස්සේ ඊට අත්සන් තබා නොසිටි එ.ජා.ප නියෝජිත නීතීඥ මිස්බා මහතා ද අවසන් මොහොතේ වාර්තාවට අත්සන් කළේය. අමාත්‍ය මුස්තාපා අනතුරුව ප්‍රකාශයට පත් කළේ මෙම වාර්තාවේ සඳහන් මුද්‍රණ දෝෂ ඉවත් කොට දින කිහිපයකින් එය ගැසට් කරන වගයි. වාර්තාව ගැසට් කොට නැවත මැතිසබයට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය. අවශ්‍යනම් කෙනකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට ද හැකියාවක් ඇත. කෙසේ හෝ වාර්තාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලැබී අඩුම තරමින් දින 75ක්වත් නොමැතිව කොට්ඨාශ ක්‍රමයට පළාත් පාලන ඡන්දය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. ඒ අනුව බොහෝ විට පළාත් පාලන ඡන්දය මැයි මාසයේ දී හෝ ඉන් පසුව පැවැත්වීමට ඉඩ තිබේ. නව කොට්ඨාස ක්‍රමයට ඡන්දය තැබීමට දැනටමත් සියලු ප්‍රධාන පක්ෂ එකඟත්වය පළ කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල කටයුතු කරන්නේ අලුත් දේශපාලන ගැම්මක් ඇතිවය. හම්බන්තොට විරෝධය ව්‍යවස්ථා විරෝධය වැනි විරෝධතා ව්‍යාපාර පැවැත්වීම සඳහා ඔවුහු තවදුරටත් සංවිධාන කටයුතු කරමින් සිටිති. ලබන 27 දා නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවේදී යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව හා රජය ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත ජන රැළියක් සංවිධානය කරන්නට ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල සැරසෙයි. ඒ අතර සිරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණේ මහා සමුළුව පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂය සැරසෙයි. “රනිල්ගේ ව්‍යවස්ථා මර උගුල පරදවමු.” යන්න මෙවර පක්ෂ සමුළුවේ තේමාවයි.

මෙම කටයුතු සිදුවෙද්දී ඒකාබද්ධ විපක්ෂය බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව සිදුකෙරෙන පාර්ලිමේන්තු විවාදය සඳහා ද සැරසෙයි. ලබන 24 දා දවස පුරා මැතිසබයේදී මෙම විවාදය පැවැත්වෙයි. ඒ අතර ඔළුගෙඩි මාරුවක් ගැනද කතා පැතිරෙමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂ නුගේගොඩ රැළියේ දී ආණ්ඩුවේ දේශපාලනඥයන් ගණනාවක් විපක්ෂයට එක්වන බවට ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ප්‍රකාශ කරති. මේ ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ගණනාවක්ම කරුණු විමසා තිබිණි. ඔවුන්ට හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ දැනටමත් එ.ජා.පයේ මෙන්ම ශ්‍රී.ල.නි.පයේ කළකිරුණු මන්ත්‍රීන් ගණනාවක් තමන් හා තම කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින් සිටින බවය. ඒ අයට බලපාන එක්තරා නෛතික ගැටලුවක් සම්බන්ධයෙන් සමහරුන් උනන්දු වුවත් ඕනෑම අවදානමක් රැගෙන විපක්ෂය සමඟ එක්වන්නට සූදානම් මහජන නියෝජිතයන් ගණනාවක් ඇති බවට හිටපු ජනාධිපතිවරයා මෙහිදී ඉඟි පළකර තිබිණි. ඒ ආකාරයට විපක්ෂයට මාරුවීමට බලා සිටින අය අතර කැබිනට් අමාත්‍යවරුන්ද සිටිය හැකි බවට විපක්ෂය පවසයි. කෙසේ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මනින් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කරගෙන ඔහුට පක්ෂය තුළ අවස්ථාවක් ලබාදීමට තවත් පිරිසක් ක්‍රියා කරමින් සිටිති. දැනට ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් ඇත. ඔහු නැවත පැමිණි විට මේ ගැන ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීහු සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.

 ග්‍රහ මාරුවෙන් පසු වෙනස්කම් වන බව ලක්ෂ්මන් යාපා කියයි 

පසුගියදා කොළඹ හා ඒ අවට නගර ගණනාවක අලවා තිබූ විශේෂ පෝස්ටරයක සඳහන් වූයේ පළාත් පාලන ඡන්දය ජයගන්නට මහින්ද මෛත්‍රී දෙදෙන සාකච්ඡා අරඹා ඇති බවය. ශ්‍රී.ල.නි.පය ඒකාබද්ධව ඡන්දයට එන බව ඇඟවෙන මේ පෝස්ටරය දුටු දේශපාලනඥයන් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද මෙකී සාකච්ඡා කතාව ගැන විමසා තිබිණි. ඊට ජනාධිපතිවරයා දුන් පිළිතුර පැහැදිලි නැතත් හිටපු ජනාධිපතිවරයා කියා තිබුණේ තමන්නම් කිසිදු සාකච්ඡාවක් සඳහා සහභාගී නොවූ බවය. පළාත් පලාන ඡන්දයට සුදුසු අපේක්ෂකයන් සොයාගැනීමේ අපහසුවකට මුහුණ දී සිටින ශ්‍රී.ල.නි.පයේ ඇතැම් පිරිස් පක්ෂිකයන් අතර විශ්වාසයක් ඇති කිරීම සඳහා මේ ආකාරයේ පෝස්ටරයක් ගසා ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. මහත් ආන්දෝලනයට ලක්වූ සමලිංගික ක්‍රියා නිත්‍යනුකූල කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව එදින ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබිණි. කැබිනට් පත්‍රය සකස් කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ ගතව සිටිබැවින් වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමලිංගිකත්වය පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේය. එහිදී විහිළුවෙන් මෙන් කතා කළ වැඩබලන වාණිජ කටයුතු සහ අන්තර් ජාතික වෙළෙඳ සබඳතා අමාත්‍ය සුජීව සේනසිංහ ප්‍රශ්න කර සිටියේ මෙය සතුන් ඇසුරු කිරීමටත් අදාළ වන පනතක් ද කියායි. ඒ ගැන කරුණු පැහැදිලි කළ ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ මෙය රජයේ මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මේ අඩංගු කරුණක් බවය.

එවිට චම්පික රණවක, රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ ආදී අමාත්‍යවරු සමලිංගික සේවනයට නීතිමය පදනමක් ලබාදීමේ යෝජනාවට තරයේම විරෝධය පළ කළෝය. මහින්ද සමරසිංහ, රාජිත කීවේ එක් එක් අය තම තමන් කැමැති මත ඉදිරිපත්කොට රජය විශාල අපහසුතාවකට පත් කරන්නට තැත්කරන බවය. මෙම කතාව නොතේරෙන භාෂාවෙන් ලියා ඇතියි චම්පික චෝදනා නගන විට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යොදා ඇති ඉංග්‍රිසි වදන්වල වෙනත් අරුත් ඇතිබව කීය. එවිට චම්පික හා තවත් අමාත්‍යවරුන් ගණනාවක්ම කීවේ මෙයට රජය මැදිහත්වීම අනවශ්‍ය ප්‍රශ්න මතුකරන වගයි. රජය සෑමදේටම මැදිහත් වීමට යාම නොකළ යුතුයැයි කී රණවක අමාත්‍යවරයා මෙය ඔළු දෙකේ ආණ්ඩුවක් බවත් රජය තුළ ඔලමොට්ටල වැඩකරන මැට්ටන් රැළක් සිටින බවටත් බරපතළ චෝදනාවක් නැගීය. එක් අතකින් විදේශ ආයෝජකයන්ට ආරාධනා කරමින් අනෙක් අතින් අයෝජනවලට බාධාවන නිතීරීති සම්ප්‍රදායන් ඇති කරන්නේයැයි හෙතෙම වැඩිදුරටත් කීය. එවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ ජී.එස්.පී බදු සහනය ලබා ගන්නට සමලිංගික ක්‍රියා නීතිගත කරන්නට පෙර ඒවා කරන අය පාප් වහන්සේගේ මතය විමසීම ඉතා වැදගත් බවය. එවිට කතාව දුරදිග යමින් තිබිණි. ඊට මැදිහත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේ මෙවැනි දේ ලොව සිදුවන්නට ඉඩ ඇති නමුත් ඒවා අපේ නීති පොත්වල නීතිගත කිරීම නොකළ යුතු වගයි. එනිසා මෙම යෝජනාව ඉවත් කරන්නයැයි ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට කීය.

 කලකිරුණු මැති ඇමැතිලා ගැන මහින්දගෙන් ඉඟියක් 

ඊළඟට තවත් ප්‍රශ්නයක් උද්ගත විය. ඒ විදේශ අමාත්‍ය මංගල සමරවීරම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ තවත් යෝජනාවකි. ඉංග්‍රිසි භාෂාව රාජ්‍ය භාෂාව කරන ලෙස එමගින් සමරවීර අමාත්‍යවරයා යෝජනා කර තිබිණි. මෙම යෝජනාවටද අමාත්‍යවරුන් බහුතරයක් විරෝධය පළ කළෝය. ඒ සමඟ ඉංග්‍රිසි භාෂාව සම්බන්ධිත රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශ කළ යුතුයැයි කර තිබූ තවත් යෝජනාවකට රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝගනේෂන් විරෝධය දැක්වීය. ඒ සමඟ ජනපති හා තවත් ඇමැතිවරුන් බහුතරයකගේ උපදෙසින් මෙම යෝජනාවද ඉවත් කිරීමට තීන්දු විය. මේ ආකාරයට මානවහිමිකම් ක්‍රියාකාරී සැලසුමේ අඩංගුව තිබූ යෝජනා ප්‍රධාන යෝජනා ගණනක් ඉවත් කිරීමට තීන්දු කළ මොහොතේ ඒවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශගත වීම නිසා ඇමැති හමුවේ සිටියේ නැත.

නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉන් අනතුරැව තවත් බරපතළ ප්‍රශ්නයක් මතු කළේය. තමන්ගේ අමාත්‍යංශය සඳහා 2017 වසරට වෙන්කර තිබූ රුපියල් කෝටි 600ක මුදලින් රුපියල් කෝටි 400ක් පමණ ඉවත්කොට ඒ මුදල් උතුරේ නිවාස සංවර්ධනය සඳහා ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ හින්දු කටයුතු අමාත්‍යංශයට හා වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරම් මහතාට වෙන් කරදීම සම්බන්ධයෙන් තමන් දැඩිලෙස විරෝධය දක්වන බව ප්‍රේමදාස මහතා කීය. තමන්ට පසුගිය වසරේ ලැබුණ මුදල් සියල්ල විධිමත් ලෙස වියදම් කර ඇතැයි පැවසූ ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වසරේ ද ඒ ආකාරයටම නිවාස ව්‍යාපෘති සැලැසුම් කොට ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රියාකරද්දී මේ ආකාරයට මුදල් කපා දමන්නේනම් තමන් තවදුරටත් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට නොහැකිබව සජිත් තරයේම කීය. එනිසා මෙම තීන්දුව වහා වෙනස් කරන ලෙස තමන් ඉල්ලන බවද ඔහු පැවසීය. අනතුරුව ජනාධිපතිවරයා ඒ ඇස්තමේන්තුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් දුන්නේය. ඒ අවස්ථාවේ වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා කීවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවා පියස වැඩසටහන සඳහා රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාට වෙන්කළ මුදල් වජිර අබේගුණවර්ධන මහතාගේ ස්වදේශ අමාත්‍යංශයට මේ ආකාරයටම ලබාදී ඇති බවයි. අමාත්‍ය මද්දුමබණ්ඩාරද එය තහවුරු කළේය. මේ ආකාරයට අර්බුදකාරී යෝජනා ගැන සංවාද රාශියක් මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේදී සඳහන් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ තවත් අර්බුදයක් විසඳීමට මැදිහත් විය. ඒ සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනයයි. මේ ගැන වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ ජනාධිපතිවරයා දීර්ඝව සාකච්ඡා කරතිබූ අතර ඔවුන්ගේ ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් සාධාරණ ලෙස විසඳිය යුතුයැයිද වැඩබලන අමාත්‍යවරයා යෝජනා කර තිබිණි. ඊට පෙර ජනාධිපතිවරයා ලොතරැයි නියෝජිතයන්ව වෙනම කැඳවා තමන් මුහුණ දෙන ප්‍රශ්න ගැන විමසුමක් කර තිබුණි. 2015 ලොතරුයි අලෙවි ආදායම රුපියල් බිලියන 27ක් බවත් එය රටේ බදුනොවන ආදායමින් 28෴ක් බවත් වැඩබලන මුදල් ඇමැතිවරයා ජනපතිට දන්වා මේ ගැන විසඳුමක් නොලැබුණොත් ලැබෙන ආදායමත් අඩුවන්නේ යැයි ද කීය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ආර්ථික උප දේශකයන්ගේ මතයද විමසා ලොතරැයියේ මිල රු. 30/- සිට රු. 20/- දක්වා පෙර තිබූ ආකාරයටම අඩු කරන්නැයි උපදෙස් දුන්නේය. ඒ අතර රජය ලොතරැයි මණ්ඩලයෙන් අය කළ බදු මුදල් ගැන ලොතරැයි නියෝජිතයන්ට ගෙවන කොමිස් මුදල් අඩුනොකරන ලෙසද නියම කළේය. ඒ සමඟ දිගින් දිගටම ඇදීයමින් තිබූ ලොතරැයි නියෝජිතයන්ගේ අර්බුදය හමාරවිය. ලොතරැයි නියෝජිත සංගම් ප්‍රධානිහු තමන්ගේ ප්‍රශ්නය සාධාරණ ලෙස විසඳීම ගැන ජනාධිපතිවරයාටත් ඊට මැඳිහත් වූ වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂ්මන් යාපාටත් ස්තුති කළෝය.

 ආයෝජන ඇදගන්න රනිල් ලෝක නායකයෝ හමුවෙති 

විදේශ ගතවීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තිස්සමහාරාම, ලුණුගම් වෙහෙර ප්‍රදේශයට ගියේ එහි ඉදිකරන ලද ගජ සමරගම නම් උදාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටයි. එහි නිවාස 70ක් ඉදිකර ඇති අතර පර්චස් 20 බැගින් ඉඩම් හිමිකමක්ද නිවාසලාභියාට හිමිවිය. ඊට අදාළ ඔප්පු පිරිනැමීම අගමැතිවරයා සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුවිය. පසුව මෙහි පැවති උත්සව සභාවේදී අගමැතිවරයා හම්බන්තොට නව ආයෝජන කලාපය ගැන බොහෝ තොරතුරු කීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා පළාතේ ජනතාවට සැබෑ ආදරයක් තිබේනම් හම්බන්තොට තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට එරෙහිවන්නේ ඇයිදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. එහි ජනතාවට ඔවුන් හිතවත් නම් මෙම ව්‍යාපෘතියට රාජපක්ෂලා උපකාර කළයුතුයැයි අගමැතිවරයා සඳහන් කර තිබිණි. රාජපක්ෂ කල්ලිය මේ ආකාරයට ක්‍රියාකිරීම තමන්ට තේරුම් ගතනොහැකියැයි කී අග්‍රාමාත්‍යවරයා ඔවුනට මේ පළාතේ ජනතාවට දියහැකි හොඳම තෑග්ග මේ කර්මාන්ත සඳහා සහය පළකිරීම යැයි වැඩිදුරටත් කීය.
ජාතික හෙළඋරුමය පක්ෂයේ හිටපු ප්‍රධානි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ගිය බදාදා මාධ්‍යයට විශේෂ ප්‍රකාශනයක් කළහ. ඒ අතුරුලියේ රතන හිමියන් මැති සබයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකිරීමට ගත් තීරණය සම්බන්ධයෙනි. එහිදී සෝභිත නාහිමියන් සඳහන් කළේ රතන හිමියන් සිය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම හොඳවුවත් උන්වහන්සේගේ ස්වාධීනත්වය වඩාත් අර්ථවත් වන්නේ තමන් දරන මහජන මන්ත්‍රී පදවියෙන් ඉවත්වී රජයෙන් ලබාගෙන ඇති වරප්‍රසාද ආදියෙන්ද නිදහස් වූ දවසට බවයි. ඒ නිසා ස්වාධීන සමාජ ක්‍රියාකාරිකයකු ලෙස පෙනී සිටීමට නම් සියලු රාජ්‍ය වරප්‍රසාද වලින් මිදිය යුතුය යන්න තම අනුශාසනාව බව සෝභිත හිමියෝ සඳහන් කළහ.

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර