2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය කනත්තට ගෙනියන්න දෙන්නේ නැහැ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 210

♦ ජනපති මෛත්‍රී  මහින්ද හා ගෝඨාභයගේ සේවාවන් අගය කරයි  
♦ 16 කණ්ඩායම් රැස්වීමට ඇමැති අමරවීරත්  
♦ අලුත් ඇමැති තනතුරු ගැන අන්තිම තීන්දුව ජනපතිගෙන් 
♦ එ.ජා.ප.යේ නව පත්වීම් ප්‍රකාශ කෙරේ  
♦ විධායක ජනපති ක්‍රමය ගැන දැන්ම කතා එපායැයි මහින්ද කියයි  
♦ එ.ජා.ප. පසුපෙළ ප්‍රතිසංවිධානය ගැන අසතුටින්

 

 

 

අවුරුදු නිවාඩුවෙන් පසුව දේශපාලනය නැවතත් උණුසුම් වෙමින් පවතී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී ගිය ඉරිදා දිවයිනට පැමිණියේය. ඒ වනවිටත් එ.ජා.ප.ය දේශපාලන කටයුතු ආරම්භ කර තිබිණි. පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව වාර ගණනාවක් රැස්වී නව තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම ගැන සාකච්ඡා පැවැත්විය. පක්ෂ නායකත්වය වෙනසක් නොකර සෙසු තනතුරුවලින් මහලේකම් හා සභාපති ධුර හැර අන්සියලු තනතුරු සඳහා ඡන්ද පවත්වා සුදුස්සන් තෝරාගත යුතු යැයි එ.ජා.ප. දේශපාලන මණ්ඩලය යෝජනා කළේය. පක්ෂ ලේකම් හා සභාපති නම් කිරීම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරුණි. ඒ අනුව කෘත්‍යාධිකාරී කමිටුවේදී පක්ෂයේ මහලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් සභාපති ධුරයට කබීර් හෂීම් යන ඇමැතිවරුන් පත්කිරීමට තීන්දු කෙරිණි.  ජාතික සංවිධායක වශයෙන් නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික වශයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කරනු ලැබූහ. පක්ෂයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ සහකාර ලේකම් වශයෙන් හරීන් ප්‍රනාන්දු සහ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් රුවන් විජයවර්ධන මහත්වරු පත්වීම් ලැබූහ. කෙසේ වුවද රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ පක්ෂයේ වගකීම් ඉටුකිරීමට තමන්ට තනතුරු අවශ්‍ය නොවන බවය. තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ එජාප ඇමැතිවරයකුට නියෝජ්‍ය මහ ලේකම් ධූරය ලබාදෙන ලෙසද ඒ සම්බන්ධයෙන් තමාගේ කිසිම විරෝධයක් නැති බවද ඒ මහතා පවසා තිබිණි.

ඒ කතා අතරතුර එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසානායක අමාත්‍යවරයා මෙන්ම රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ද රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ද ව්‍යංගයෙන් සඳහන් කර තිබුණේ මෙයට වඩා ප්‍රතිසංවිධානයක් තමන් අපේක්ෂා කළ බවයි. ඒ කිසිවෙක් අග්‍රාමාත්‍යය සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව විවේචනය නොකර වෙනස් වචනවලින් කියා තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර පක්ෂයේ ඉහළම තනතුරුවල වෙනසක් අවශ්‍ය බවය. නවීන් එය මහනුවරදී කෙළින්ම කී අතර රන්ජන් රාමනායක ක්‍රිකට් භාෂාවෙන් කියා තිබුණේ නායකතුමා අනෙක් අයටත් දැන් බැට් කරන්නට අවස්ථාව දිය යුතු වගය. ඔහු එහිදී සජිත් හා නවීන්ලාගේ නම් ද සඳහන් කර තිබිණි. අජිත් පී. පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ කිසියම් වෙනසක් අපේක්ෂාවෙන් සිටින වගයි. කෙසේ හෝ පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනාවලට කෘත්‍යධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසු ලබන 07 දා පැවැත්වෙන මැයි දිනයේ දී ඒ ගැන ප්‍රකාශයක් සිදුකෙරෙන බව දැනගන්නට ඇත.

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන සතියේ සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එම අමාත්‍ය මණ්ඩලය පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් විය හැකියැයි කී ජනාධිපතිවරයා නීතිය හා සාමය වැනි විෂයයන් සඳහා සුදුස්සකු පත්කරන්නේ ජාතික හා ජාත්‍යන්තර මතවාදයක් ද සැලකිල්ලට ගෙන යැයිද සඳහන් කළේය. කෙසේ වෙතත් චෝදනා ඇති අමාත්‍ය මණ්ඩලයට නුසුදුසු යැයි සිතන අය සම්බන්ධ අවසන් තීන්දුව ගන්නේ තමන් බවද ජනාධිපතිවරයා බී.බී.සීයට කීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම මේ දිනවල පුවත් මවන්නෝ බවට පත්ව සිටිති. පසුගියදා ලන්ඩනයට ගොස් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ ඩිලාන් - චන්දිම හා ලක්ෂමන් වසන්ත පෙරේරා යන මහත්වරුන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ වූ කරුණු ගණනාවක් දැන් හෙළිදරව් වී ඇත. එහිදී දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර මහත්වරුන් ඉවත් කරන්නැයි කළ ඉල්ලීම මධ්‍යමකාරක සභාවෙන් පසුව බලමු යැයි කී ජනාධිපතිවරයා ප්‍රථම වතාවට රාජපක්ෂ පවුල ගැන අදහස් දැක්වීම විශේෂයක් විය. තමන් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ සභාපති ලෙස තමන්ට සහයෝගය දෙමින් නිදහසේ කටයුතු කරන්නට ඉඩදීම අගය කරන බව කී ජනාධිපති මෛත්‍රී තමන්ට ඒ කාලයේ ප්‍රශ්න උද්ගතවූ හැම අවස්ථාවකම ඉදිරියට පැමිණ හිතවත්ව උදව් පදව් කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායැයි ද මතක් කළේය. ඔහු විශේෂයෙන්ම ගෝඨාගේ සේවය අගයමින් කළ අදහස් දැක්වීම කොළඹින් ගිය මන්ත්‍රීන්ට අලුත්ම අත්දැකීමක් වූ බව පැවසේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී දෙපක්ෂය කිසිම තීන්දුවකට එළැඹුණේ නැත. 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්නේ නැවතත් කොළඹ පැවැත්වෙන රැස්වීම්වලින් පසුව යැයි සඳහන් කැරිණි. අනතුරුව මේ අය කොළඹට පැමිණියහ.

ඊට පසුදා එනම් ගිය සඳුදා රාත්‍රි 7.00ට මෙම මන්ත්‍රී පිරිස හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසට රැස්වූහ. ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුරයාපා, ලක්ෂමන් යාපා, චන්දිම වීරක්කොඩි ආදී මන්ත්‍රීවරු 16 දෙනාට අමතරව මෙම හමුවට තවත් විශේෂ අමුත්තකුට ඇරැයුම් කර තිබිණි. ඒ එ.ජ.නි.ස. මහලේකම් මහින්ද අමරවීරය. 16 දෙනාගේ කණ්ඩායමේ විරෝධය එල්ල වී ඇති දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර දෙදෙනාටම මෙම හමුවට ආරාධනා කළ යුතුයැයි මුලින් තීන්දුකර තිබුණද දුමින්ද එතැනට කැඳවීම ගැන එහි සිටි ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම සිය අකමැත්ත පළකළ බැවින් මහින්ද අමරවීරට පමණක් ආරාධනා ලැබිණි. ඒ අනුව අමරවීර අමාත්‍යවරයා ද තිලංගගේ නිවසට පැමිණියේය. සාකච්ඡාවේදී ඉදිරි කටයුතු ගැන කතාබස් කරමින් මුළු පක්ෂයම රජයෙන් යායුතු යැයි යෝජනා කෙරෙද්දී අමරවීර අමාත්‍යවරයා ද කියා ඇත්තේ තමන් ද මෙම කණ්ඩායම හා එක්වීමට කැමති නමුත් ඊට කාලයක් අවශ්‍ය බවය. තමන් මෙම කණ්ඩායමට එක්වුවද පොහොට්ටුවට නම් සම්බන්ධ නොවන බවද අමරවීර මහතා කීය. එසේ කළහොත් හම්බන්තොට ඡන්දවලදී රාජපක්ෂවරුන් තමන්ට උදව් නොකර හිරිහැර කරන්නට ඉඩ ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එවිට සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ පොහොට්ටුව මැතිසබයේ පක්ෂයක් නොවන බවය. පොහොට්ටුව හා කෙළින්ම එකවර සම්බන්ධ නොවිය යුතුයැයි ජෝන් සෙනවිරත්න, අනුරයාපා ආදී සියලු දෙනා සඳහන් කළ බව පැවසේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ලෙස මැතිසබයේ වෙනම අසුන් ගන්නටත් පොහොට්ටුව කණ්ඩායම සමඟ පවත්වන සබඳතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඍජුව කතාකොට පවත්වාගෙන යෑමටත් තීන්දු විය. මැති සබයේදී සාකච්ඡා කෙරෙන මහජන ප්‍රශ්නවලදී පොහොට්ටුව සමඟ පොදු මතයක සිටිය හැකි සෑම අවස්ථාවකම ඒ අය සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන්නට ද මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේය. මේ කාරණා ගැන ජනාධිපතිවරයා සමඟ වෙනම අදහස් හුවමාරු කරගන්නටත් ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නටත් 16 දෙනාගේ කණ්ඩායම එකඟ විය.

මධ්‍යම කාරක සභාව පැවැත්වීමට නියමිත වූයේ ගිය අඟහරුවාදා සවසය ඊට පෙර 16 දෙනාගේ කණ්ඩායම නැවතත් නිලංගගේ නිවසට රැස්වූහ. එහිදී ගත් මූලික තීන්දුවක් වූයේ සවස 7.00ට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී මෙම ප්‍රශ්න ඇදගෙන ජනාධිපතිතුමා අපහසුතාවට පත්නොකර එදිනම මධ්‍යම කාරක සභාවට පෙර ඔහු හමුවී තමන්ගේ ස්ථාවරය කීමටයි. ඒ අනුව ප්‍රධාන තීරණ කිහිපයක් ගැනීමට 16 කණ්ඩායම කටයුතු කළේය. 16 දෙනා ස්ථිරවම විපක්ෂයට යාම ශ්‍රී.ල.නි.ප.ය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම ශ්‍රී.ල.නි.ප. වෙනම කණ්ඩායමක් ලෙස දේශපාලනය කිරීමට අවසර ලබාගැනීම අවශ්‍ය අවස්ථාවලදී පොහොට්ටුව සමඟත් ගනුදෙනු කරමින් ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබාදීම ගැන තීන්දු 16 කණ්ඩායම ගත්තේය. මෙම තීරණය ගෙන මධ්‍යම කාරක සභාවට පැය 2කට පෙර 16 දෙනා ජනාධිපති මුණගැසුණි. එහිදී තමන්ගේ තීරණ ප්‍රකාශයට පත්කළ විට ජනාධිපතිවරයා කීවේ 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම තමන්ට ප්‍රශ්නයක් නොවන වගය. තම කණ්ඩායමේ සමස්ත අදහස මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂම එ.ජා.ප.ය. සමඟ කරන හවුල් රජයෙන් ඉවත්වීම බව ජනාධිපතිට කී විට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ “මම එයාල එක්ක ගිවිසුම ගැසුවේ අවුරුදු 2ටයි. අවශ්‍ය නම් අවුරුදු 5ටම ගිවිසුම ගහන්න තිබුණා. එන්න පුළුවන් ප්‍රතිපත්තිමය ගැටුම් ගැන අවබෝධයක් තිබුණු නිසායි අවුරුදු 2ට ගිවිසුම ගැහුවේ” යනුවෙනි. අනතුරුව 16 දෙනාගේ කණ්ඩායම දැඩිලෙස කියාසිටියේ ලබන අයවැයට පෙර ශ්‍රී.ල.නි.ප.ය රජයෙන් ඉවත් විය යුතු වගය. ඒ වනවිටත් පක්ෂ මහාලේකම් දුමින්ද දිසානායක ජනාධිපතිවරයාට නොදන්වා ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකයන් සිය නිවසට ගෙන්වා හදිසි රැස්වීමක් තැබීම ගැන ජනාධිපතිවරයා දුමින්ද දිසානායකට තරයේම දොස්පවරා තිබිණි.

අනතුරුව සුළුවේලාවක් ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ ද අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා රාත්‍රී 7.00ට මධ්‍යම කාරක සභාව කැඳවීය. ඒ සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද පැමිණියාය. මෙම හමුවේදී හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස අවධාරණය කළේ ශ්‍රී.ල.නි.ප.ය එ.ජා.ප.ය සමඟ සම්මුතිවාදි රජයේ දිගටම ක්‍රියාකළ යුතු බවයි. එහෙත් ඊට විරුද්ධව අදහස් දැක්වූ පිරිස විශාලය. ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක චන්ද්‍රිකාගේ මතය ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවෙන් ශ්‍රී.ල.නි.ප.ය වහා යායුතුයැයි කීය. “මම මෙහෙම කියනකොට අපේම සමහරු එළියට ගිහිල්ල මම කීව දේ ටෙලිෆෝන් එකෙන් අගමැතිතුමාට කියනවා. එහෙම අයත් මෙතන ඉන්නවා. කවුරු මොනව කළත් සර් 16 දෙනා හරියට හරි... අපි දැන්ම නොගියොත් යූ.ඇන්.පී.ය කරන පව් අපේ පිටින් යනවා...” යයි චාමර සම්පත් කීය. එවිට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අපි හදන්නේ පක්ෂය කඩන්න නොවේයැයි කීය. ඊට පිළිතුරු දුන් චන්ද්‍රිකා මැතිනිය පක්ෂය කඩන්නේ ඔයාලායැයි ප්‍රතිචෝදනා කළාය. මේ ආණ්ඩුව දිගටම ගෙනයායුතු යැයි එතුමිය තර්ක කළාය. 

එවිට කතාවට මැදිහත් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය ඔහු කතා කළේ තරමක් සැරෙන් සභ ආවේගයෙනි. “කරුණාකරලා කවුරුත් මතක තියාගන්න මම පක්ෂයේ සභාපති වෙලා දුමින්ද ලේකම්වෙලා ඉන්න කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කනත්තට ගෙනියන්න මම කිසිසේත්ම ඉඩදෙන්නෙ නැහැ. ඒ නිසා හරි තීන්දුව ගන්නව...” යැයි කී විට මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සම්මුති රජයේ සිටීම වැදගත් බව කියන්නට ජනාධිපතිවරයා ඇමතීය. ජනාධිපතිවරයාගේ සේවය වර්ණනා කරමින් ඔහු රජයේ සිටීම වැදගත් යැයි කියනවිට සමහරු බාධා කරන්නට වූහ. 16 දෙනාගේ කණ්ඩායමේ කෙනෙක් මහින්දට කීවේ තමුන්නාසේගේ කතාවේදී ජනාධිපතිතුමාගෙ නම 33 වතාවක් කිව්වත් වැඩේ හරි යන්නේ නැහැ කියායි. කෙසේ හෝ මේ ආකාරයේ වාදවිවාද මැද ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව හමාරවූයේ ලබන 15 දාට පෙර රැස්වී රජයේ සිටීම ගැන අවසන් තීන්දුව ගතයුතු බවට තීරණය කරමිනි. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනපතිවරයාගේ නිවසේදී පැවැත්විණි. එහිදී ප්‍රධාන ප්‍රශ්නය ගණනාවක්ම සාකච්ඡාවට ගනු ලැබීය. පසුගිය සති කිහිපය තිස්සේ ආන්දෝලනයට ලක්වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට යන යෝජනාව ගැන මුලින්ම අවධානය දැක්විණි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදී පක්ෂ නායකයන් ගණනාවක් කල්තබාම ඊට විරෝධය දක්වා තිබූ අතර බන්දුල ගුණවර්ධන, වාසුදේව වැනි අය පවා එහි යම්යම් වැදගත් තැන් ගැන් කරුණු දක්වා තිබිණි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසිය ගැන අභ්‍යන්තර මත ගැටුමක් හටගත්තේ මහින්ද රාජපක්ෂ මහතා කොන්දේසි සහිතව එම යෝජනාවවට එකඟ විය යුතුයැයි දැක්වීමත් සමඟය. එ.ජා.ප.යේ වුවමනාවට ජනතා විමුක්ති පෙරමුණ මෙම යෝජනාව ගෙන එන බවටද ඒකාබද්ධයේ ඇතැම් නායකයෝ අදහස් දැක්වූහ. මේ නිසා ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේදී මේ ප්‍රශ්නය මතුවූ විට ඊට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ මහතා කීවේ “මේ යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් වන තුරු සාකච්ඡා කිරීම ප්‍රයෝජනයක් නැහැ. ඒකේ අන්තර්ගතය දැනගෙනයි අපි සාකච්ඡාවට එන්න ඕනෑ.” කියාය. ඒ අනුව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන් තීන්දු කළේ ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනපති ධූරය අහෝසියට ගෙනඑන යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් වනතෙක් ඉවසා සිටීමටය.

අනතුරුව ආණ්ඩුවේ බදු ගැහිල්ලට එරෙහිව ජනතාව සංවිධානයකොට සටනක් ආරම්භ කළ යුතු යැයි හිටපු ජනාධිපතිවරයා සිය මන්ත්‍රී කණ්ඩායමට යෝජනා කළේය. බන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ට බදු විරෝධය සඳහා වැඩසටහන් සැලසුම් කරන ලෙසද උපදෙස් දුන්නේය. මැයි දිනය ගැන ඊළඟට ඒකාබද්ධ පක්ෂ නායකයෝ අවධානය දැක්වූහ. මැයි මස 01 දා කොළඹදී වෘත්තිය සංගම් ගණනාවක් එක්ව අභයාරාමයේ පවත්වන සම්මේලනයට සහභාගීවන්නට තීන්දුවක් ගැනිණි. ඒකාබද්ධයේ ප්‍රධාන මැයි රැළිය මැයි 07 දා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී පවත්වන්නට කරන ලද සැලැසුම් අනුමත කිරීමද සිදුවිය. පළාත් සභා ඡන්ද තවදුරටත් පමාකිරීම රජය දරන උත්සාහය පරාජය කිරීම සඳහා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡාවක් කළ යුතුයැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පැවසූ අතර මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කළේය. මැයි 08 දා ජනාධිපතිවරයා විසින් මැතිසබය විවෘත කිරීමේ උත්සවයට සහභාගි විය යුතුයැයි තීන්දු කැරිණි. අවශ්‍ය වුවහොත් පමණක් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මැති සබා විවාදයක් ඉල්ලීමට යෝජනා වූ බව දැනගන්නට ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ මවගේ අභාවය පසුගියදා සිදුවිය. අවසාන කටයුතු පැවැත්වුණේ අනුරාධපුරයේදීය. ජ.වි.පෙ නායක අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ ද ප්‍රදේශයේ එ.ජා.ප. හා ශ්‍රී.ල.නි.ප. මැතිඇමැතින්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ලාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අනුරාධපුරයට පැමිණියහ.

එ.ජා.ප. ප්‍රතිසංවිධාන යෝජනා ප්‍රකාශයට පත්වීමත් සමඟ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් විවිධ අදහස් පළකර තිබිණි. අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ කියා තිබුණේ කනගාටුව පමණයි කියායි. චමින්ද විජේසිරි, රෝහණී කවිරත්න ඇතුළු පිරිසක් ද අදහස් දක්වමින් තමන්ගේ අරමුණ ඉටුනොවූ බව ප්‍රකාශ කර තිබිණි. එසේම එ.ජා.ප. පසුපෙළ මේ ගැන සාකච්ඡාවකට ගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ විශේෂ රැස්වීමක් පැවැත් වීය. ඒ අතර වජිර අබේවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එ.ජා.ප. ප්‍රතිසංවිධානයෙන් සැබෑ රැඩිකල් වෙනසක් සිදුවූ බවය. 

මේ අතර ප්‍රතිසංවිධානය සිදුවූ ආකාරය ගැන අසතුටට පත්ව සිටින පසුපෙළ එජාප මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ලබන 1 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට එකඟතාවයක් ඇතිවී තිබේ. එම සාකච්ඡාවේදී තමන්ගේ අදහස්වලට ඉඩ නොලැබුණහොත් විරෝධය දැක්වීමටද ඔවුහු අදහස් කරගෙන සිටිති. සිදුවී තිබෙන ප්‍රතිසංවිධානය තමන් අපේක්ෂා කළ තරම් සතුටුදායක නොවන බව ඔවුන්ගේ අදහස වී තිබේ. මෙය තමන් බලාපොරොත්තු වූ රැඩිකල් වෙනස නොවන බව රන්ජන් රාමනායක මහතා ද ප්‍රකාශ කර තිබිණි.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර