2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ජනපති අගමැති රහස් කතාවක

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 301

 

පසුගිය සතියේ වඩාත් ආන්දෝලනයට ලක්වූ දේශපාලන සිදුවීම බවට පත්වූයේ හම්බන්තොට ආයෝජන කලාප ගිවිසුමයි. ගිය සෙනසුරාදා හම්බන්තොටදී ආණ්ඩුවේ ප්‍රධානීන් සහ චීන රජයේ බලධරයන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත විය. එහෙත් අදාළ ගිවිසුම සකස් කොට හමාර කරන්නට නොහැකි වීමත් ජනාධිපතිවරයා තවමත් තමන් එබඳු ගිවිසුමක් නොදුටු බව ප්‍රකාශ කිරීමත් නිසා ගිවිසුම විධිමත්ව සකස් කොට ජනාධිපතිවරයාට කැබිනට්ටුවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීන්දු කළේය.

එහෙත් හම්බන්තොට ආයෝජන කලාපය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය යෝජිත ආකාරයෙන් පවත්වන්නට රජය සැලසුම් කළේය. උත්සවයට පෙරදා හම්බන්තොට ප්‍රදේශයට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසක් ප්‍රදේශයේ මහා සංඝරත්නය හමුවීමට තීන්දු කළෝය. පසුදා පැවැත්වෙන උත්සවයට එරෙහිව මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් කරන්නට ඒ වන විටත් තීන්දු කොට තිබිණි. තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට පෙරමුණ ගන්නා බව ප්‍රකාශ වීම නිසා අගමැති සහ අමාත්‍ය සාගල උන්වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහ සඟරුවනට අම්බලන්තොට විහාරස්ථානයක පැවති සාකච්ඡාවට ඇරැයුම් කළේය. හිටපු කතානායක එ.ජ.නි.ස මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාටද මේ අවස්ථාවට එක්වන ලෙස අගමැතිවරයා ඇරැයුම් කර තිබිණි. චමල් රාජපක්ෂ මහතාද දේශපාලන වාද භේද අමතක කොට ඊට එක් විය. සාකච්ඡාව පවත්වා අගමැතිවරයා මහ සඟරුවනට කරුණු පැහැදිලි කළේය. එහෙත් මහා සංඝරත්නයට මෙම ව්‍යාපෘතිය ගැන බොහෝ ප්‍රශ්න තිබිණි. චමල් රාජපක්ෂ මහතාද ප්‍රශ්නයේ බැරෑරුම්කම මෙන්ම ව්‍යාපෘතියේ අවශ්‍යතාව ගැනද කරුණු කීය.

කෙසේ හෝ පසුදා උදෑසන පැවති ව්‍යාපෘති සමාරම්භක නිල උත්සවයට එරෙහි විරෝධතා ඒ වනවිටත් සංවිධානය වෙමින් තිබිණි. ඒ අතරතුර රජයේ බලධරයෝ උද්ඝෝෂණ තහනම් කරන අධිකරණ නියෝගයක් ලබාගත්හ. එහෙත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රදේශයේ ජනතාව විරෝධතාව සඳහා සංවිධානය කරන බව පෙනුණි. ඒ වනවිටත් ජනාධිපතිවරයාගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් මෙම උත්සවයට සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබිණි. එ.ජා.ස මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හෝ උත්සවයට සහභාගි වූයේ නැත. එහෙත් මොණරාගල එ.ජා.නි.ස අමාත්‍ය විජිතමුනි සොයිසා මහතා උත්සවයට එක්විය. 

උත්සවය නිල වශයෙන් ආරම්භ වන විට ප්‍රදේශයේ දෙතුන් දහසක ජනකායකගේ විරෝධය දැඩි ලෙස එල්ල විය. පොලීසියේ 1500ක පමණ පිරිසක් ආරක්ෂාවට යොදවා සිටියහ. ඉතිහාසයේ පළමු වරට පොලිස්පතිවරයාද මෙම නොසන්සුන්තාව පාලනයට හම්බන්තොට සටන් බිමට පැමිණ සිටියේය. කෙසේ හෝ සැලසුම් කළ පරිදි උත්සවය පැවැත්විණි. චීන තානාපතිවරයා එහිදී කීවේ මෙම ව්‍යාපෘතියෙන් ලක්ෂයක් නව රැකියා ලැබෙන බවත් අමෙරිකානු ඩොලර් කෝටි 500ක ආයෝජන රටට හිමිවන වගත්ය. අගමැතිවරයාද ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළේය. ඒ අතර ජනතා විරෝධතාව තදින්ම දියත් විය. මහා සංඝරත්නය හා ජනතාව ඊට එක්ව සිටියෝය. ගල්මුල් ප්‍රහාර ජන ඝෝෂා මැද පොලීසිය ඉතා අසීරුවෙන් තත්ත්වය පාලනය කළේය. මෙරට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යද තත්ත්වය උණුසුම් පුවතක් ලෙස වාර්තා කළේ ශ්‍රී ලංකාවේ නව චීන ආයෝජනයට එරෙහිව ජනතාව වීදි බසී යන තේමාව යටතේය. එය බටහිර ලෝකය තලුමැරූ පුවතක් විය.

රනිල් චමල් එකම වේදිකාවේ

කෙසේ හෝ මේ සිද්ධිය මෙවර මැතිසබයද උණුසුම් කළ බව පෙනුණි. ඒකාබද්ධ විපක්ෂය කීවේ ජනතා විරෝධතාව රජය කෘෘර ලෙස මර්දනය කළ බවයි. කොළඹින් කුරුණෑගලින් කැකිරාවෙන් මැරයන් පැමිණි බවට චෝදනා එල්ල කෙරිණි. චමල් රාජපක්ෂ මහතාද කතා කරමින් ප්‍රශ්නය බැරෑරුම් බවත් සාමකාමීව විසඳාගත යුතු බවත් කීය. පහරදී සටන් මර්දනය නොකළ යුතුයැයි හෙතෙම අවධාරණයෙන් පැවසීය.

අගමැති රනිල් මැතිසබයට කීවේ රජය චීනය සමඟ කිසිම හොර ගිවිසුමක් අත්සන් නොකළ බවයි. සියල්ල පාර්ලිමේන්තුවට ගෙනෙන බවද අගමැතිවරයා කීය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද කීවේ හම්බන්තොට ජනතාව පීඩාවට පත් කරන රජයට තමන් විරෝධය දක්වන බවයි. රජය කියන කර්මාන්ත ඇරඹීමට දැනට රජය සතු ඉඩම් ප්‍රමාණවත්යැයිද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය සිදුවන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටියේ මහුවර ප්‍රදේශයේය. එහෙත් බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරැම, ජයන්ත සමරවීර ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ රැසක්ම හම්බන්තොට විරෝධතාවල දක්නට සිටියහ. මහා සංඝරත්නය පවා මෙම විරෝධතාවේදී ප්‍රහාරයට ලක්වූ බව හිටපු ජනාධිපතිවරයාට වාර්තා වී තිබිණි. ඒ සමඟ මහනුවර සිටි මහින්ද රාජපක්ෂ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක තත්ත්වය වාර්තා කිරීමට පැමිණියහ. කලකින් මල්වතු විහාරයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් මල්වතු මහනාහිමියන් මුණගැසුණු රාජපක්ෂ මහතා හම්බන්තොට සිද්ධිය ගැන සියලු තොරතුරු වාර්තා කළේය. එහෙත් එම සාකච්ඡාව මාධ්‍යයට විවෘත වූයේ නැත. 

අනතුරුව මල්වතු මහනාහිමියන් හිටපු ජනාධිපතිවරයාට මල්වතු විහාරයේ උදෑසන ආහාරය සූදානම් කර තිබීමද විශේෂයකි. කිරිබත්, ආප්ප, ඉඳිආප්ප සහිත ප්‍රණීත ආහාර වේලක් මහනාහිමියෝ රාජපක්ෂ මහතාට පිරිනැමූහ. සියල්ල අවසානයේ රාජපක්ෂ මහතා පිටත්ව යන්නට සැරසෙද්දී ඔබතුමාට මගෙන් විශේෂ තිළිණයක් යැයි පැවැසූ මහනාහිමියෝ ඉතා වටිනා බුද්ධ ප්‍රතිමාවක් විශේෂ සළුවකින් වසා රාජපක්ෂ මහතාගේ සුරතේ තැබූහ. අනතුරුව අස්ගිරි විහාරයටද ඔහු පැමිණියේය. අස්ගිරි මහනාහිමියන් සමඟ ද බොහෝ වේලා සාකච්ඡා කළේය. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ ස්වාමීන් වහන්සේලාට කවුරුන් හෝ පහර දෙන්නේ නම් තමන් ඊට තරයේ විරෝධය ප්‍රකාශ කරන වගයි. අස්ගිරි විහාරයෙන් පසු ගැටඹේ රාජ්‍යනාරාමයටද රාජපක්ෂ මහතා පැමිණ තත්ත්වය පැහැදිලි කරනු ලැබීය. ගැටඹේ හිමියන්ද තමන් රූපවාහිනී මාධ්‍යයෙන් දුටු ප්‍රහාරය විවේචනය කළහ.

මල්වතු මහනාහිමිගෙන් මහින්දට විශේෂ තිළිණයක්

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පදවි ප්‍රාප්තියේ දෙවැනි සංවත්සරය  නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණි. ඉන් ප්‍රධාන අංගය වූයේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 118 වැනි ජන්ම දිනයද ඉලක්ක කරගෙන ජනාධිපති මන්දිරයේ පවත්වන ලද මහා දානමය පින්කමයි. මෙහි සංවිධාන කටයුතු පවරා තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටය. ඔහු විසින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය 1500 නමකට ආරාධනා කර තිබුණත් මහා සංඝයා වහන්සේලා 2017 නමක් දානයට වැඩම කර සිටියහ. වැඩම කළ මහ සඟරුවනට රජ ගෙදර ඉඩ මදිවන බව පෙනුණත් අවසානයේ මුළු රජ ගෙදරම දාන ශාලාවක් බවට පත්කොට දානය පිරිනමනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ නායක හිමිවරුන් මුණගැසී අදහස් හුවමාරු කරගැනීමද විශේෂයක් විය.

දානමය පින්කමෙන් පසුව එදිනම රාත්‍රී ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති මැඳුරට කැඳවා විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා විසින් පවත්වනු ලැබීය. නිමල් සිරිපාල, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල ඇතුළු මැති ඇමැති පිරිසක් මෙම හමුව සඳහා පැමිණ සිටියෝය. සියලු දෙනා මුලින්ම ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ හම්බන්තොට චීන ගිවිසුම ගැනයි. මැති ඇමැතිවරුන් මතුකළ ප්‍රශ්න ගණනාවකට සවන් දුන් ජනාධිපතිවරයා ප්‍රශ්න සියල්ලට පිළිතුරු දෙමින් විග්‍රහයක් කළේය. මෙම ව්‍යාපෘතිය සඳහා චීන ආයෝජකයන් 50ක් විවිධ ආයෝජන රැගෙන එන බව කියල තිබෙනව. හැබැයි පරිසර ගැටලු තිබෙන කර්මාන්තවලට අපි අවසර දෙන්නෙ නැහැ. චීනයේ කරන්න බැරි පරිසර ප්‍රශ්න නිසා වහන්න වෙච්ච කර්මාන්ත මෙහෙ දාන්න බැහැ. අනිත් කාරණය ඉඩම් දීම. දැන් මුලින් ආයෝජකයො 50 එනවය කියලා තියනවා. ඒ ආයෝජකයන්ට තමන්ගෙ ව්‍යාපෘතියට ඕන කරන ඉඩම් ටික විතරයි දෙන්නෙ. අනික තමයි ඒ රටේ මිනිස්සු ගෙනල්ලා මෙහේ පදිංචි කරන්නත් අවසර දෙන්නෙ නැහැ.. රැකියා දෙනකොට ඒ රටෙන් ගේන්න පුළුවන් චීන තාක්ෂණික විශේෂඥයන් පමණයි. අනිත් සේරම රැකියා ලාංකිකයන්ටයි දෙන්න ඕන.. ජනාධිපතිවරයා හම්බන්තොට ආයෝජනය ගැන තමන්ගේ මතය පළ කළේ එසේය.

අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන සහ ඊට තිබෙන බාධක සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක් කරුණු දක්වන්නට වූහ. දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකුට එරෙහිව ජනාධිපතිවරයාට දැඩි ලෙස කරුණු කීහ. මෙරට ජාතික ආර්ථිකයට ජාතික සංවර්ධන කාර්යයට සෘජුවම සම්බන්ධ මෙම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා යහපාලන සංකල්පයට හානිවන ලෙස දිගින් දිගටම ක්‍රියාකරන බැවින් මේ අයගේ කටයුතු ගැන වහාම සොයා බලා ඔවුන්ට එරෙහිව දැඩි ලෙස ක්‍රියාත්මක වන්නැයි කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨයෝ ජනාධිපතිවරයාගෙන් සෘජුවම ඉල්ලා සිටියහ. එක්තරා අමාත්‍යවරයකුගේ නමත් සඳහන් කළ ජ්‍යෙෂ්ඨයෝ ඔහු මුළු පවුලටම චෝදනා එල්ල වන බව සඳහන් කර ඇත. මොවුන් කරන සමහර ක්‍රියාවන් ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙස තම තමන්ටත් සෘජුවම බලපාන බැවින් ජනාධිපතිතුමා වහා පියවර නොගතහොත් රජය කෙරේ දැඩි ජනතා අප්‍රසාදයක් නවතා ගැනීම නොවැළක්විය හැකියැයි ද ඔව්හු සඳහන් කළෝය.

ප්‍රශ්න කිරීමකින් තොරව සියල්ලටම ඉතා සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා කීවේ ළඟදීම තමන් ආණ්ඩුවේ වෙනස්කම් ගණනාවක් සිදුකරන වගයි. එහෙත් මොනවාදැයි මෙතැන දැන් සඳහන් කළහොත් ඒවා හෙට පත්තරවල යන්නටත් ඉඩ ඇතැයි ජනාධිපතිවරයා විහිළුවෙන් මෙන් කීය. අනතුරුව ශ්‍රී.ල.නි.ප. ප්‍රතිසංවිධානය ගැන කරැණු දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට තමන් තීන්දු කර ඇතැයි කීය. දැන් ඒ ගැන පාර්ලිමේන්තුවද තීන්දුවක් ගෙන ඇති බැවින් ඊට අනුගතව ක්‍රියාකිරීම තමන්ගේ අදහසක් යැයි ජනාධිපතිවරයා කීය.

ඉතිහාසයේ මුල්වරට පොලිස්පති උද්ඝෝෂණ මැඩලන්න යයි

අනතුරැව පළාත් පාලන ඡන්දය ගැන ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දුරකතනයෙන් කතා කළේය. එහිදී ජනාධිපතිතුමාගේ මතය අගමැතිවරයාට දන්වා පවත්නා නීතිය යටතේ මෙම ඡන්ද පැවැත්වීමේ යෝග්‍යතාව ගැන එකඟත්වයක් ඇති කරගත් බව පසුව වාර්තා විය. 
ඉන් දින දෙක තුනකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඇරැයුම් කළේ රජයේ තීරණාත්මක කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කිරීමට තනිව පැමිණි තමන් හමුවන ලෙසයි. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ අගමැති රනිල් ජනාධිපතිවරයාගේ නිවසට ගියේය. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සුහදව පිළිගෙන පෞද්ගලික කුටියකදී පැය එකහමාරක් පමණ කාලයක් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය. මෙම කතාබහේදී හුවමාරු වූ අදහස් මොනවාද යන්න අනාවරණය වී නැතත් ආණ්ඩුවේ ඉදිරි වෙනස්කම් විශේෂයෙන්ම කැබිනට් සංශෝධනයට අදාළ කාරණා සාකච්ඡා කළ බව තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.

මෙම පසුබිමේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් රැස්වූයේ පළාත් පාලන මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම රැස්වීමේ මුලසුන ගත්තේය. පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙන්ම ප්‍රධාන පක්ෂ සියල්ලේම නායකයෝද ඊට එක්වූහ. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජනතා කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යන කුඩා පක්ෂ නායකයන් මෙහිදී දැඩිව කියා සිටියේ තමන් මෙම මැතිවරණ පැරැණි අනුපාත ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම ගැන එකඟවන බවයි. නව ඡන්ද ක්‍රමයෙන් සුළු පක්ෂවල නියෝජනය අවම වන බව ඔව්හු සඳහන් කළෝය. ජ.වි.පෙ. නායකයා ප්‍රකාශ කළේ නව කොට්ඨාස ක්‍රමය යටතේ තම පක්ෂය මැතිවරණයට තරග නොකරන්නට සිතා සිටින බවය. එහෙත් මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ දැනට සම්මත වී තිබෙන කොට්ඨාස ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම නීතිය බැවින් එයට පිටින් යා නොහැකිය කියායි. අනතුරැව එ.ජා.ප.යද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ පළාත් පාලන මැතිවරණය නව කොට්ඨාශ ක්‍රමයට පවත්වන්නට තීන්දු කළේය. කෙසේ හෝ ඉදිරියේදී මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්නට ලබන 23දා පක්ෂ නායක හමුවක් නැවත පැවැත්විය යුතුයැයි පක්ෂ නායකයෝ තීන්දු කළහ.

හම්බන්තොට චීන අයෝජන ගෙන ඒමට මුල් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසීමට ඔහුගේ නිල නි‍ෙවසට ගිය අඟහරුවාදා රාත්‍රියේ අමුත්තෙක් පැමිණියේය. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂීන් සෑංග්ලින් මහතාය. රාජපක්ෂ මහතා සමඟ දිග කතාවකට මුල පිරූ චීන තානාපතිවරයා ප්‍රශ්න කළේ චීන අයෝජන හම්බන්තොටට ගෙන ඒමට ඔබේ විරෝධයක් තිබේද කියායි. ඊට පිළිතුරු දුන් මහින්ද තමන් චීන අයෝජනවලට විරුද්ධ නැතැයි කීය. හම්බන්තොටට වරාය, ගුවන් තොටුපොළ ආදි දැවැන්ත චීන ආයෝජන ගෙන ආවේ තම රජයයැයි කී මහින්ද මෙතැන ඇත්තේ චීන ආයෝජනවලට විරෝධයක් නොව ජනතා ඉල්ලීම්වලට පක්ෂ වීමක්යැයි අවධාරණය කළේය. තමන් චීනයේ පැරණිම මිතුරෙක් බවද ඔහු කීය. ජනතාවට හානිවන අයෝජන ඇරුඹීමට චීනයේ සූදානමක් නැතැයි තානාපතිවරයා ඊට උත්තර බඳිමින් කියා ඇත. 

හම්බන්තොට උළෙලට දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප මැති ඇමැතිලා නැහැ

තම රජය කාලයේ වරායට හා ගුවන් තොටුපොළ ආශ්‍රිතව ආයෝජන කලාප දෙකකට විශාල ඉඩම් ප්‍රමාණයක් වෙන්කළ බව මතක් කළ රාජපක්ෂ මහතා ඒවා නව ආයෝජන සඳහා ප්‍රයෝජන ගන්නට හොඳටම ප්‍රමාණවත්යැයි පෙන්වා දුන්නේය. එසේ තිබියදී ජනතාව සතු ඉඩම් හා ගෙවල් ගන්නවාට තමන්ට එකඟවිය නොහැකි බව කීය. ජනතාවගේ නිවාස කඩාදමා ආයෝජකයන්ට දෙන කතාව සත්‍යයෙන් තොර බව තානාපතිවරයා කීවත් මහින්ද කීවේ තමන් සතුව සාක්ෂි ඇති වගයි. කවර තත්ත්වයක් යටතේ වුවත් තමන්ට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න අමතක කොට ක්‍රියාකළ නොහැකි බව චීන රජයටත් දැනුම් දෙන්නැයි රාජපක්ෂ මහතා තානාපතිවරයාට සුහදව කියා සිටියේය.

පසුගිය රජය ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදීම සඳහා වන යෝජනාව යුරෝපා කොමිසම විසින් යුරෝපීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව 66% පමණ බදු සහනයටත් ඉදිරියේදී ඇගළුම් ඇතුළු අපනයන ද්‍රව්‍ය ගණනාවක් යුරෝපා ප්‍රජාවේ රටවලට අලෙවි කිරීමට අවකාශ සැලසෙයි.

වත්මන් රජය ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගැනීම ද යහපාලන හා මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය යන කාරණා උදෙසා ගත් යහපත් පියවර නිසාද මෙම බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ප්‍රකාශිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා යුරෝපා රටවල්වලට කළ කරුණු දැක්වීම් පිළිගත් යුරෝපා ප්‍රජාව මෙම තීරණයට එළඹ ඇත. කෙසේ හෝ අප බදු සහනය ලබාදීමට පෙර තවත් කඩුලු කිහිපයක් පැනගැනීමට සිදුවෙයි. ඒ කටයුතු අවසානයේ ලබන මැයි මාසයෙන් පමණ පසු බදු සහනය යටත් භාණ්ඩ අපනයනයට අවසර ලැබෙනු ඇතිබව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුව සඳහා පිටත්ව යන බව ප්‍රකාශිතය. එහිදීද ශ්‍රී ලංකාවට නව ආයෝජන හා ජී.එස්.පී. සහනය කඩිනමින් ලබාගැනීම සම්බන්ධ සාකච්ඡා සිදුකරනු ඇතැයි පැවසේ.

එ.ජ.නි.ස. මන්ත්‍රී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා අධිකරණය මගින් ලබන 24දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය. රජයේ ඉන්ජිනේරු සංස්ථාවට වාහන 40ක් පමණ කුලී පදනම මත ලබාගෙන ඒවා අවභාවිතයෙන් රජයට රුපියල් නව කෝටියකට අධික මුදලක් අහිමි කිරීම ගැන විමල්ට චෝදනා නැගී ඇත. ඔහු සමඟ එකල ඉන්ජිනේරු සංස්ථා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදි රිමාන්ඩ් කරනු ලැබීය. ඉදිරියේදී මේ ගැන නඩු විභාගය සිදුකරන්නට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද, විමල් බලන්නට හිර ගෙදරට වාර ගණනාවක්ම පැමිණි අතර ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ වාර්ෂික සම්මේලනය යොදාගෙන තිබෙන ලබන 22දා එය විමල් නොමැතිව උත්කර්ෂවත් ලෙස පත්වන්නටද ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. ඊට සමගාමීව විමල් අත්අඩංගුවට ගත් සිද්ධියේ ප්‍රබල හවුල්කරුවකුයැයි විමල්ලාම කියන එකල ඉංජිනේරු සංස්ථා සභාපති වූ දැනට එ.ජා.ප. මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් නීතිය වහා ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් උද්ඝෝෂණයක් පවත්වන්නටද ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර ඇත. ඉදිරියේදී රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00