2018 මාර්තු 03 වන සෙනසුරාදා

ඇමැති සංශෝධනය මැති ඇමැතිලාගේ සමච්චලයට

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

  • රජයේ ආර්ථික වැඩ ගැන ජනාධිපතිගෙන් දොස්
  • අර්බුදය යට යයි රනිල් රට යයි
  • මහින්දට ඉන්දියාවෙන් ඉහළ පිළිගැනීමක්
  • ජ.වි.පෙ.න් කොන්දේසි සහිතව විශ්වාසභංගයට සහාය
  • රංගේ බණ්ඩාර හා වසන්තගෙන් කොකු පිට කොකු
  • ෆොන්සේකාට පොලිසියේ දොර වැසෙයි

පළාත් පාලන මැතිවරණයෙන් ලද ප්‍රතිඵලයෙන් අනතුරැව දේශපාලන කේෂ්ත්‍රයේ හටගත් කැළඹීම තදින්ම දැනුණේ එක්සත් ජාතික පක්ෂයටයි. මැතිවරණයෙන් ඉතා පහසු ජයක් එ.ජා.ප.ය අපේක්ෂා කළේ ශ්‍රී.ල.නි.ප.යේ බෙදීම හේතුවෙනි. එහෙත් මහින්ද රාජපක්ෂ වටා එක්රොක් වූ ජන බලවේගය එ.ජා.ප.යේ සිහිනය බොඳ කළේය. සෑම මැතිවරණ පරාජයකින්ම පසුව එ.ජා.ප.ය තුළ මතුවන අර්බුදය මෙවරත් මතුවිය. එහෙත් එය වෙනදාට වඩා සැරපරුෂ ලෙස ඉස්මතු වන්නට පටන්ගත් විට පක්ෂ නායක රනිල් කළේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් මගින් ආණ්ඩුවට නව මුහුණුවරක් ලබාදෙන බවත් සඳහන් කිරීමය.

ඒ අනුව සතියක් දෙකක් එහාට මෙහාට අදිමින් සිටි අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගිය සතිඅන්තයේ සිදුවිය. එහෙත් එම සංශෝධනය ජනතාව අපේක්ෂා කළ එක නොව ඇස් බැන්දුමක් බවට චෝදනා කළේ එ.ජා.ප.යේම ජ්‍යෙෂ්ඨයන් විසිනි. අමාත්‍යය මණ්ඩල සංශෝධනයේදී පෙරළිකාර කිසිවක් සිදුවූයේ නැත. එහෙන් මෙහෙන් පැලැස්තර ටිකක් එලා තිබුණ ද අසහනයට පත්වූවෝ බොහෝ වූහ. පාලිත රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක වැනි අය පමණක් නොව තනතුරැ අහිමිව සිටින රවි කරුණානායකද කීවේ ඇමැති සංශෝධනය අමු විහිළුවක් කියායි. ඇමැති සංශෝධනයට සහභාගීවනවාට වඩා රෝහල් ගතව සිටින තමන්ගේ මව බලන්නට ඉස්පිරිතාලයට යාම තමන්ට වැදගත් බව රංගේ බණ්ඩාර කීය. තමන්ගේ රාජ්‍යයේ අගමැති අම්මා බව කී රංගේ බණ්ඩාර ආණ්ඩුව පුත්තලමට නොසලකන්නේ එහි බූරුවන් සිටිනවා යැයි සිතමින් බව චෝදනා මුඛයෙන් පැවසීය. වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා ඇමැති සංශෝධනය හැඳින්වූයේ කොමඩි නාටකයක එක් කථාංගයක් ලෙසයි. මේ ගැන තමන්ට කියන්න දෙයක් නැතැයි ඔහු කීය. රවි කරුණානායක තමන් අපේක්ෂා කළ ඇමැතිකම නොලැබීමේ වේදනාවෙන් ඇමැති සංශෝධනය සමච්චලයට ලක් කළේ ඒවා විහිළුවක් බව කියමිනි. ආචාර්ය හර්ෂ ද සිල්වා කීවේ ඇමැති සංශෝධනයෙන් ඒ හැටි යමක් සිදුවූ බව නොපෙනුණු බවයි. එසේම තනතුරු මාරුකෙරුණු අජිත් පී. පෙරේරා, තලතා අතුකෝරාළ, ලක්ෂ්මන් කිරිඇල්ල හා ජයවික්‍රම පෙරේරා ද සිය අසතුට හා බලවත් කනස්සල්ල පළකර තිබිණි. කැබිනට්ටුවෙන් පිටත සිටින මරික්කාර් මන්ත්‍රීවරයා මේ තත්ත්වයන් ගැන කීවේ ඇමැති සංශෝධනය නාට්‍යයක් බවය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇමැතිවරුන්ට ඕනෑ ඕනෑ හැටියට කැබිනට් සංශෝධන කළ නොහැකි බවය. නීතිය හා සාමය සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට පැවරිය යුතුම යැයිද ඔහු කීය.

මේ අතරතුර පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන කබීර් හෂීම් රන්ජිත් මද්දුම බණ්ඩාර ආදීන් මෙන්ම රජයේ හවුල්කාර පක්ෂ නායකයන් වන චම්පික රණවක ආදීන් ද පක්ෂයේ හටගෙන තිබෙන නොසන්සුන්කම බහුතර පාක්ෂිකයන්ගේ සතුටට හේතුවන ලෙස විසඳීම සඳහා යම් යම් පියවර ගනිමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන කරැ ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට කිසියම් ලොකු වගකීමක් පැවරිය යුතුය යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. මේ මතය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම තරුණ මන්ත්‍රීන් බහුතරයකගේ මතය බවද සඳහන්ය.

මෙම පසුබිමේ අනපේක්ෂිත ලෙස දේශපාලන බෝම්බයක් පත්තු කළේ රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරය. පුත්තලමේදී මාධ්‍ය ඇමතූ රංගේ බණ්ඩාර අමාත්‍යවරයා කීවේ එ.ජා.ප.ය ජයගන්නට නම් පක්ෂයේ සැබෑ වෙනසක් වුවමනාය කියායි. එ.ජා.ප.යේ පක්ෂ නායකත්වය වෙනස් විය යුතුබව සඳහන් කළ හෙතෙම එසේ නොවේ නම් විශ්වාස භංගයක් ගෙනැවිත් නායකත්වය වෙනස් කරන්නට සූදානම් යැයි කීය. ඊට දිනකට පසු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක ද මේ විශ්වාස භංග කතාව නැවතත් කීය. මේ ගැන අදහස් දැකවූ එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ පාලිත රංගේ බණ්ඩාර මහතා කියන කතාවේ යම් හරයක් තිබෙන බැවින් ඔහුගේ ප්‍රශ්නය තේරුම් ගෙන ඊට සාධනීය විසඳුමක් ලබාදිය යුතු වගයි. එහෙත් ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් අමරතුංග අමාත්‍යවරයා දැඩිලෙස කීවේ විශ්වාස භංග කතා විහිලුවක් බවත් රජය අඛණ්ඩවම ඉදිරියට යන වගත්ය. විශ්වාස භංග කතා කියන අයගේ මොළය පරීක්ෂා කරගත යුතු බව ඇමැති ජෝන් කීය.

ඇමැති සංශෝධනයෙන් පසු මාධ්‍ය හමුවක් තැබූ ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය චම්පිත රණවක කියා සිටියේ තම කණ්ඩායම මේ ඇමැති සංශෝධනය ගැන කිසිසේත්ම තෘප්තිමත් නොවන බවය. ආණ්ඩුවේ බලගතු ප්‍රතිසංස්කරණ අවශ්‍ය යැයි චම්පික වැඩිදුරටත් කීය. ජනපති අගමැති එකතු වී රට ගොඩනැගීමට කෙටිකාලීන වැඩසටහනක් දියත් නොකළහොත් ජාතික හෙළ උරුමය ඒ සඳහා මැදිහත්ව ක්‍රියාකරන්නේ යැයි ද රණවක මහතා සඳහන් කර තිබිණි. ආණ්ඩුවේ ලොකු ලොක්කන් කරන පුරාජේරු කතාවලින් ජනතාවට වැඩක් නැතැයි කී හෙතෙම ජනතාව දුන් පණිවුඩය තේරුම් ගත යුතු වග තරයේම අවධාරණය කළේය. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය ජයග්‍රහණය කර ඇතත් ඔහුගේ ඡන්ද පදනම ඒ හැටි පුළුල් කරගන්නට සමත්ව නැතැයිද අමාත්‍යවරයා කීය.

ඒ අතර එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් වන කබීර්, මංගල, අකිල, ගයන්ත ආදින් පිරිසක් එ.ජා.ප.යේ අභ්‍යන්තර ආරවුල ගැන කතාකරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ. එම හමුව සිදුවූයේ පසුගිය අඟහරුවාදා සවසය. ඒ හමුවේදී ජනාධිපතිවරයා එ.ජා.ප.යට ඒ තරම් සාර්ථක ප්‍රතිචාර දක්වා ඇතැයි සඳහන් නොවේ. තමන් එ.ජා.ප.යට ලබාදුන් අවස්ථා සියල්ල එ.ජා.ප.ය විසින්ම පැහැරහරින ලද බව ජනාධිපතිවරයා කීවේ යැයි සඳහන්ය. 

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් තිරය පිටුපස කරන කතාබහේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දරමින් පක්ෂ නායකත්වය කරුට හෝ සජිත්ට පැවරිය යුතු යැයි පිරිසක් කියන අතර අගමැති ධුරය කරුට පවරා පක්ෂ නායකත්වය සජිත්ට පැවරිය යුතුයැයි තවත් පිරිසක් කියති. එයට අමතරව මංගල සමරවීර ද අගමැති ධුරයට යෝජනා විය. කෙසේ වෙතත් කරැ මෙන්ම මංගලත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂය ගන්නා පොදු තීන්දුව සමඟ ඉන්නා බව ප්‍රකාශ කර තිබිණි. මේ ගැන කතාබහ කරන්නට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන කරු ජයසූරිය මහතා සොයනා විට ඔහු පාර්ලිමේන්තු සමුළුවක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් සිටියේය.

ජනතාවට සහන සැලැසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් කමිටුවක් පත්කළේ ගිය සතියේය. ඒ කමිටුව ගිය සඳුදා අරලිය ගහ මන්දිරයේදී රුස්විය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් දුන් පණිවුඩය තේරුම්ගෙන වැරදි හා අඩුපාඩු නිවැරදි කරගන්නට තීන්දු කළ බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අගමැතිවරයාට අමතරව සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, සාගල රත්නායක, අකිල විරාජ්, හරීන් ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ ද සිල්වා ආදි මැතිඇමැතින් මෙම කමිටු රැස්වීමට එක්ව සිටියෝය. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම වැඩකටයුතු ඉදිරියට කරගෙන යන අතරතුර පක්ෂයට අලුත් නායක පරපුරක් බිහිකිරීම සඳහා සුදුස්සන් පෙළගස්වන බවය. අමාත්‍යවරයා පමණක් නොව මන්ත්‍රීවරුන් අතරත් පළාත් සභා මන්ත්‍රීන් අතරත් හොඳ අනාගතයක් ඇති දක්ෂයන් සිටින බැවින් ඔවුන්ට නායකත්වයේ දොර විවෘත කරදෙන්නට සූදානම් බව අගමැතිවරයා සඳහන් කළේය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ගිය අඟහරුවාදා උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙවර අමාත්‍ය මණ්ඩල හමුවේ විශේෂත්වයක් වූයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක්ම ඇමැති හමුවට එක්ව නොසිටීමයි. සුසිල් ප්‍රේමජයන්ත, අර්ජුන රණතුංග, රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාළ, දයාසිරි ජයසේකර ආදි මැතිඇමැතීන් රැසක්ම ඇමැති හමුවට එක්නොවූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් විදේශ ගතවූ බව ජනාධිපතිවරයාට දන්වා තිබිණි. ඇමැති හමුවේදී ජනාධිපතිවරයා අගමැතිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ආර්ථික කළමනාකරණ කමිටුව දැඩිලෙස විවේචනය කළේය. ලංකාවට ෆොක්ස්වාගන් කම්හලක් ගෙනෙන බවත් හොරණ ජාත්‍යන්තර ටයර් කම්හලක් අරඹන බවටත් කළ ප්‍රකාශ හා සිදුකළ මුල්ගල් තැබීම් කතාවට පමණක් සීමාවූ ප්‍රලාප බවට පත්ව ඇතැයි ජනාධිපති අගමැතිවරයා ප්‍රමුඛ රජයට චෝදනා නැගීය. මෙම කමිටුව රටට පැමිණි ජර්මන්, කටාර් ආදි රටවල ආයෝජන රුකගන්නටවත් සමත් නොවූ බව කී ජනාධිපතිවරයා මේ වාගේ නිෂ්ඵල කමිටුවක් තවත් පවත්වාගෙන යාමේ තේරැමක් තිබේදැයි විමසීය. සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු අමාත්‍ය මණ්ඩලය මගින්ම ගත යුතු යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙහිදී අගමැති රනිල් ඇමැතිමැති හා මංගල මේ කමිටුවේ වැදගත්කම ගැන කියන්නට ඉදිරිපත් වූහ. මෙයින් පසුගිය කාලයේ වැදගත් වැඩ ගොඩක් කළ බව රනිල් අග්‍රමාත්‍යවරයා පවසද්දී මලික් හා මංගල ද එය අනුමත කළෝය. ඇමති රාජිත කීවේ ආර්ථික කමිටුව නිසා තම අමාත්‍යංශයේ ව්‍යාපෘතීන් නිකරුණේ අවුරුදු එකහමාරක් පමාවූ වගය. ඇමැති චම්පික රණවක පැවසූවේ දැන් මේ කමිටු ගැන කතා කර පළක් නැති බවත් ඉදිරි මාස 18 සඳහා රටට දැනෙන වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත්ය. කෙසේ හෝ ජනපති ආර්ථික කමිටුව ගැන දොස් කීවද කැබිනට්ටුවෙන් පසුදා අගමැතිවරයා මෙම කමිටුව නැවතත් රැස්කළ බව වාර්තා විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා සවස ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීන්ට සිය පවුලේ සාමාජිකයන් ද සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සිය නිල නිවසට පැමිණෙන්න යැයි ඇරයුම් කළේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ සියල්ලන්ම පාහේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණියහ. පැමිණි මැතිඇමැතිවරුන් මහින්ද සමඟත් සෙසු දේශපාලන සගයන් සමඟත් සාකච්ඡා කළේ එ.ජා.ප.යේ මැතිඇමැතින් කතාකරන විශ්වාස භංග යෝජනාව ගැනයි. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වූයේ එ.ජා.ප.යට අවශ්‍ය සෑම ස්ථානයකදීම තම පොදු සතුරා ලෙස පහරදිය යුතු වුවත් ඔවුනගේ පක්ෂය ශුද්ධ කරදීම අපේ කාර්යයක් නොවිය යුතු බවය. කෙසේ වෙතත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් ගෙන ආපසු එහිදී පක්ෂයක් ලෙස පොදු තීන්දුවක් ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය. රැස්ව සිටි මන්ත්‍රින් සියල්ලන්ම පාහේ එහිදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එ.ජා.ප.යේම ජ්‍යෙෂ්ඨයන් ඒ ආකාරයේ යෝජනාවක් ගෙන ආවොත් තම කණ්ඩායම යෝජනාවට සහාය දියයුතු බවයි. මේ අවස්ථාවේ රට අරාජික තත්ත්වයට පත්ව ආර්ථිකය බිඳවැටෙමින් පවතින බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. පළාත් ආයතනවල බලය පිහිටුවා ගන්නට නොහැකිවීම නිසා තවත් අර්බුදයක් හටගෙන ඇතැයි මන්ත්‍රීන් ගණනාවක්ම පෙන්වා දුන්හ. මේ ආකාරයට පවතින දේශපාලන තත්ත්වය ගැන බොහෝ රසකතා සිදුවූ ඒකාබද්ධ මන්ත්‍රින් හමුවේදී මන්ත්‍රින් සිය බිරින්දෑවරුන් හා සියලු දෙනා අසලට පෞද්ගලිකවම පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඒ ඒ අයගේ සුවදුක් විමසමින් බොහෝ වේලාවක් සුහද ලෙස අල්ලාප සල්ලාපයේ යෙදුණේය.

එදින රාත්‍රියේ රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබිණි. ඒ ඡන්දයට පෙර තිරැපති කෝවිලට සිදුකළ බාරයක් ඔප්පු කිරීම සඳහාය. මහින්ද සමඟ උදිත ලොකු බණ්ඩාර ලේකම්වරයාද ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයන් පිරිසක් බැංගලෝර් බලා කොළඹින් පිටත් වූහ. ඔවුන් බැංගලෝර් ගුවන් තොටුපොළේදී පිළිගත්තේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයේ කතා නායකවරයා ප්‍රමුඛ දේශපාලන නායකයන් පිරිසක් විසිනි. අනතුරුව රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණි. ඔහුට ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය දැඩි රුකවල් සපයා දී තිබූ අතර රාජ්‍ය නායකයන් තිරැපති පැමිණි විට නවාතැන් ගන්නා පද්මාවතී ගෙස්ට් හවුස් නම් සුපිරි නිවාඩු නිකේතනය මහින්ද වෙනුවෙන් වෙන් කර තිබිණි. මෙම ගමනේදී මහින්ද ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයන් ද ප්‍රාන්ත මහඇමැති චන්ද්‍ර බාබු නායිදු ද මුණගැසුණු බව සඳහන්ය.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකාට ඉතා ඉක්මනින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදෙන බව පුනා පුනා ප්‍රකාශ කළේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්නය. රාජිත කීවේ ඇමැති ෆොන්සේකා මෙම තනතුරට පත්කොට පසුගිය රජයේ වැරදි හා දූෂණ කළ අයට නීතිය ක්‍රියාත්මක කරවන බවයි. එහෙත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ ගැන සාර්ථක ප්‍රතිචාරයක් පළවූයේ නැත. ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරැන් ගණනාවක් ජනපතිවරයා මුණගැසී ප්‍රකාශ කළේ මේ පත්වීම නම් නොකරන ලෙසයි. ෆොන්සේකාට පොලිසිය භාරදීමට තම කණ්ඩායම එකඟ නොවන බව ඇමැතිවරැන් ගණනාවක්ම කී බව සඳහන් විය. එසේම ජනාධිපතිවරයාගේ පවුලේ ජ්‍යෙෂ්ඨයන් පමණක් නොව පොලිසියේ ඉහළ පහළ නිලධාරීන් රැසක්ම කියා තිබුණේ මෙම පත්වීම කළහොත් තමන් අමාරැවේ වැටිය හැකි බවය. මේ කතා පැතිරෙද්දී පසුගිය කාලයේ රාජපක්ෂලාට දඬුවම් කළයුතු යැයි තදින්ම කී අමාත්‍ය චම්පික රණවක මාධ්‍යවේදියකු සමඟ ප්‍රකාශ කරසිටියේ රාජපක්ෂලාට දඬුවම් කිරීම යන්න දැන් “ඉරෙලවන්ට්” (අදාළ නොවන) දෙයක් බවයි.

කෙසේ හෝ එ.ජා.ප.යද මේ තනතුර සඳහා සුදුස්සෙක් හොයමින් සිටියේය. මුලින්ම එය භාරගන්නැයි කීවේ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාරටය. ඔහු එවිට කියා තිබුණේ ගමෙන් පැමිණි තමන්ට අවශ්‍ය ගමට සංවර්ධනය ගෙන යාහැකි විෂයක් මිස පොලිසිය නොවන බවය. ඊළඟට ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ නම යෝජනා විය. ඔහු නීතිඥයකුද වන නිසා තනතුර දෙමුයැයි කීවද එ.ජා.ප.යේම සමහර ජ්‍යෙෂ්ඨයෝ ඊට සූදානම් නොවූහ. තලතා අතුකෝරාළ මහත්මිය ද එම අමාත්‍යංශය ප්‍රතික්ෂේප කළාය. අවසානේ සරත් ෆොන්සේකා මහතාගේ නම කරළියට පැමිණියේය. ඔහු විදේශගතව සිට පැමිණීමෙන් පසු මේ ගැන කතා කරන්නට අගමැතිවරයා මුණගැසුණි. ඒ අවස්ථාවේ ෆොන්සේකා සඳහන් කර තිබුණේ තමන් මෙම තනතුර භාරගන්නවා නම් භාරගන්නේ කිසිදු බලපෑමකින් තොරව රාජකාරි කරන්නට දෙන්නේ නම් පමණක් බවය. අගමැති සමඟ සාකච්ඡාවෙන් පසුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිපාල මහතා වාර දෙකක්ම මුණගැසුණේය. එහිදී ද ඔහු කියා තිබුණේ තමන්ට බලපෑමකින් තොරව කටයුතු කළ හැකිනම් තනතුර භාරගන්නට සතුටුය කියාය. එහෙත් සරත් ෆොන්සේකා මහතා මෙම තනතුරට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිම සහයෝගයක් පළනොවන බව පෙනෙන්නට තිබුණි. ඉන් අනතුරුව ගිය බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ අගමැතිවරයා ඉතා ඉක්මනින් මෙම අමාත්‍යංශය අත්හරින බවත් එ.ජා.ප.යේ වෙනත් සුදුස්සකුට පවරන වගත්ය.

පැවති අර්බුදකාරී තත්ත්වය යටතේ ගිය අඟහරුවාදා රාත්‍රියේ එ.ජා.ප. ඇමැතිවරැන් අරලිය ගහ මැඳුරට අගමැතිවරයා විසින් කැඳවා තිබුණේ ඔවුනට බලපාන ප්‍රශ්න ගැන කතා කරන්නටයි. මෙහිදී පැය 1 ½ පමණ මැතිඇමතින්ගේ ප්‍රශ්න ගැන කතා කර තිබිණි. එහෙත් ආණ්ඩුවේ ඇමැතිවරුන් බොහෝමයක් එහිදී දැඩි නිහඬ පිළිවෙතත් අනුගමනය කළ අතර කිසිවෙක් දීර්ඝ මත දැක්වීම් සඳහා ඉදිරිපත් නොවීම විශේෂ ලක්ෂණයක් විය. කෙසේ හෝ මේ ගැටලු මධ්‍යයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිංගප්පූරැව බලා පිටත්ව ගියේය. ඒ එරට ෆෝසීසන් හෝටලයේ පැවැත්වෙන ආර්ථික සමුළුවකට සහභාගී වීම සඳහා බව කියැවිණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී එ.ජා.ප. නායකයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් ගන්නා පියවර පැහැදිලි කළේය. ජ.වි.පෙ. නායකයා කීවේ අගමැතිවරයාට එරෙහිව නිශ්චිත කරුණු සහිතව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්නේ නම් එහිදී ඊට සහාය දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවය. එහෙත් එම නිශ්චිත කරැණු අනුර දිසානායක සඳහන් කළේ නැත. ඔහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ එ.ජා.ප.ය හා ශ්‍රී.ල.නි.ප.ය තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා කරන බලපොරෙයෙහි දැන් රටම අරාජික තත්ත්වයට පත්ව ඇති බවය.

රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන සුසන්ත පුංචිනිලමේ මහතා තමන් ඉතා ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත්වන බව මාධ්‍යයට කීය. මේ බව තමන් ජනාධිපතිතුමාටත් දැන්වූ බව කී හෙතෙම එ.ජා.ප.ය සමඟ තවදුරටත් ආණ්ඩු කළ නොහැකි නිසා තමන් මේ තීරණය ගෙන විපක්ෂව සමඟ පාර්ලිමේන්තුවේ අසුන්ගන්නට තීන්දු කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00