2018 ජනවාරි 27 වන සෙනසුරාදා

තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

♦ බැඳුම්කර හොරුන් අල්ලන්න ජනපති අගමැතිගේ උදව් පතයි  
♦ අගමැති ඉන්දුනීසියානු නායකයාගෙන් ආර්ථික සහය ඉල්ලයි  
♦ ශ්‍රීලන්කන් ගුවන් සේවයට සිංගප්පූරු නායකයාගෙන් ලොකු සහතිකයක්  
♦ මල්වතු අනු නාහිමි හමුවේ කතානායක කරු සිංහලයාගේ ඉරණම ගැන කියයි  
♦ ඌවේ මහ ඇමැති හබයට මැති ඇමැතිලා සටනක  
♦ එ.ජා.ප. ඇමැති දියණියගේ මංගල්‍යයේ සාක්ෂියට ශිරන්ති රාජපක්ෂ

 

පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් දෙසතියක පමණ කාලයකි. එන්න එන්න ප්‍රධාන පක්ෂ දේශපාලන තැටිය රත් කරමින් සිටී. තැපැල් ඡන්දය පසුගිය 22 දින පැවැත්විණි. රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය භාවිත කළෝය. මෙවර පළාත් පාලන තැපැල් ඡන්දය සඳහා රාජ්‍ය සේවකයන්ගේ සෑහෙන උනන්දුවක් තිබූ බවත් සමහර කාර්යාලවල සුළු පෝලිම් පවා දක්නට ලැබුණ බවත් වාර්තා වෙයි. රාජ්‍ය සේවකයන් මේ තරම් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ඇයිද යන්න ගැන දේශපාලන විචාරකයෝ විවිධ මත පල කරති. කෙසේ හෝ මෙවර පළාත් පාලන මැතිවරණයේදී මනාප යුද්ධය නැති නිසා සෑහෙන තරම් උණුසුම නිවී ගිය ඡන්ද ව්‍යාපරයක් දැක ගන්නට ලැබේ. පවත්නා මැතිවරණ ක්‍රමයෙන් මනාප යුද්ධය ඉවත් කිරීම සඳහා 2001 වසරේ පත් වූ එ. ජා. ප රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ වත්මන් කතානායක කරු ජයසූරිය මහතා මූලිකව ක්‍රියාකොට එදා දිනේෂ් ගුණවර්ධන තේරීම්කාරක සභාව පත් කළේය. එදා සිට අද දක්වා මනාප ක්‍රමය ඉවත් කිරීමේ සටනට වත්මන් කතානායකවරයා ගත් උත්සාහයට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම පොදුජන සංවිධානද ස්තූතිය පළකොට තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ප්‍රචාරක රැළිවලදී හොරකම් මැරකම් හා දූෂණවලට එරෙහිව විශාල හඬක් නගමින් සිටී. මේ සතියේ මහනුවර පැවති ශ්‍රී.ල.නි.ප ප්‍රචාරක රැළියේදී ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විවෘත ඉල්ලීමක් කළේය. එය ජනාධිපතිතුමාගේම වචනවලින් සඳහන් කළහොත් ඔහු කීවේ අගමැතිතුමනි දැන් කළ යුතු පළමු වැනි දේ බැඳුම්කර හොරුන් අල්ලා හිරේ දැමීමයි. ඒ සඳහා ඔබතුමා මට ශක්තිය දෙන්න. මාව දුර්වල කරන්න එපා. අද මේවා ගැන රජයට හා රවී කරැණානායක හිටපු අමාත්‍යවරයාට චෝදනා නගන හිටපු නායකයා රවීගේ විශ්වාසභංගයේදී ඔහුට විරුද්ධව ඡන්දය දෙන්න සභාවට ආවෙත් නැහැ. මම ශ්‍රී.ල.නි.පයෙන් එළියට ආදා ශ්‍රී ලංකා පාක්ෂිකයෝ මට බොහෝ චෝදනා කළා. මම එළියට බැස්සේ හොරකමට වංචාවට දූෂණයට ඒකාධිපතිවාදයට විරුද්ධවයි. ඒකට මම තවදුරටත් විරුද්ධයි... ජනාධිපතිවරයා කීය.

බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය 23 වැනිදා මැතිසබය රුස් වූ අවස්ථාවේ සිදුවිය. එසේම බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා 34ක් ද සභාගත කෙරිණි. කතානායක කරු ජයසූරිය මහතා ගිය සඳුදා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවමින් මේ වාර්තා සභාගත කිරීමත් ඒවා විවාද කිරීමත් ගැන පක්ෂ නායක මත විමසුමක් කළේය. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්වරු තරයේම ඉල්ලා සිටියේ බැඳුම්කරය සම්බන්ධ මැති සබා විවාදය පෙබරවාරි 10ට පෙර තැබිය යුතු යැයි කීය. එවිට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ඊට සුදුසු දිනයන් වන්නේ පෙබරවාරි 20 හා 21 යන දිනයන් වගයි. ඒ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය හා ජ. වි. පෙ ඊට එකඟ වූයේ නැත. අනතුරුව වාර්තාවේ පිටු ගණනටත් අඩු බවට වූ චෝදනාව ගැන දිනේෂ්ලා ප්‍රශ්න කර තිබේ. එවිට කතා නායක කරු ජයසූරිය මහතා කීවේ බැඳුම්කර වාර්තාවේ තවත් ඇමුණුම් කොටස් තිබේ නම් ඒවාද මැති සබයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දන්වා යැවූ බවය. අවසානයේ ලැබී තිබූ පිටපත් මැති සබයේ සියලු සාමාජිකයන්ට බෙදා හැරීමට තීන්දු කළේය.කෙසේ හෝ බැඳුම්කර වාර්තාව විවාද ගැන අවසාන තීන්දුවක් ගත නොහැකි වූයෙන් තවත් පක්ෂ නායක හමුවක් පවත්වා ඒ ගැන තීන්දුවක් ගන්නට පක්ෂ නායකයෝ තීරණය කළෝය. ඒ අනුව බදාදා රැස් වූ පක්ෂ නායකයෝ විවාද දින පෙබරවාරි 20 – 21 බවට තීන්දු කළේය. මේ සතියේ වඩාත්ම ආන්දෝලනයට ලක්වූ අනෙක් සිදුවීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ලේ දෙමළ මාධ්‍ය විදුහලක විදුහල්පතිනිය දණ ගැස්වීමට අදාළ සිද්ධියයි. ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකුගේ දරුවකු මෙම පාසලට ඇතුළත් කරගන්නා ලෙස දුන් උපදෙස් විදුහල්පතිනිය විසින් පිළිනොපැදීම හේතුවෙන් ඇය මහ ඇමැති නිවෙසට කැඳවා බැණවැදී දණ ගස්වා තමන්ගෙන් සමාව ගන්නා ලෙස මහ ඇමැතිවරයා බලකළ බවට ඔවුහු චෝදනා නගති.

මෙම සිද්ධිය මුලින්ම වාර්තා වූ පසු ඌව පළාත් සභා විපක්ෂ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඒ ගැන මුලින්ම හෙළිදරව් කළේය. එවිට මහ ඇමැති චාමර සම්පත් සඳහන් කළේ මේ කතාව බොරු බවත් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවත්ය. කෙසේ හෝ සිද්ධියට අදාළ විදුහල්පතිනිය ද මුලින් මාධ්‍යයට කීවේ තමන් මහ ඇමැති ළඟ දන ගැසූ කතාව බොරුවක් බවයි. නමුත් ඉන් දිනකට දෙකකට පසු විදුහල්පතිනිය හමු වූ පළාත් එ.ජා.ප. මන්ත්‍රීවරයකු වන වඩිවේල් සුරේෂ් මහතා මේ ගැන විදුහල්පතිනියගෙන් ප්‍රශ්න කළවිට ඇය දණ ගැසූ බව කීය. පළාත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ටද මහ ඇමැතිවරයාටද ඒ ගැන ඇය විවෘතව චෝදනා කළාය. එම ප්‍රකාශයෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ වඩිවේල් සුරේෂ් අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයට සාධාරණයක් නීතිමය වශයෙන් ඉටුවිය යුතු වගත් එසේ නොමැතිනම් වතුකර ජනතාව මේ ගැන සටන් කරනු ඇති වගත් කීය.

ගුරු සංගම් නායකයෙක් වන ජෝශප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ වැනි අයද වහා මේ ගැන නීතිමය පියවර ගන්නැයි රජයට බල කළෝය.  මේ කතා පැතිර යද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරනයාට දුරකථනයෙන් අමතා පොලිස් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව චාමර සම්පත් මහ ඇමැතිවරයා වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් නොපමාව ඔහුට එරෙහිව දැඩි පියවරක් ගන්නා බව ප්‍රකාශ කළේය. ඒ අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ද චාමර සම්පත් මහ ඇමැතිගේ ක්‍රියා කලාපය අනුව වහා පියවරක් ගන්නා ලෙස රජයට කීය.

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යංශ ආංශික කාරක සභාව රැස්විය. එම සභාවේ ප්‍රධානත්වය දරන්නේද වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාය. එහිදී මෙම ප්‍රශ්නය සාකච්ඡා කරන නිසා අගතියට පත් විදුහල්පතිවරිය ද ඊට කැඳවා තිබිණි. රැස්වීම ආරම්භයේදීම ප්‍රකාශයක් කළ වඩිවේල් මන්ත්‍රීවරයා මෙම සිද්ධිය තමන්ගේ ඡන්ද බල ප්‍රදේශයේ සිදුවූවක් නිසා තමන් මෙම කාරක සභාවේ සභාපතීත්වය දරන අතරම පරීක්ෂණය කිරීම නිසුදුසු බව පවසා තාවකාලිකව ඉන් ඉවත් විය. තාවකාලික සභාපතීත්වයට අනතුරුව පත් කරගත්තේ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයාය. මේ ගැන එ.ජා.ප.යේ ආශු මාරසිංහ මුජිබර් රහුමාන් දෙමළ සන්ධානයේ යෝගේෂ්වරන් ඇතුළු මන්ත්‍රීන් ද විදුහල්පතිවරියගෙන් මේ ගැන ප්‍රශ්න කර පසුව බදුල්ලට ගොස් පරීක්ෂණයක් කිරීමට තීන්දු කළේය.

ඒ සමඟ අමාත්‍ය දිගම්බරම් ද පැමිණ මේ ගැන විශාල ලෙස රජයට දොස් පවරා සාධාරණය ඉටු නොවන්නේ නම් රජයෙන් ඉවත් වන බව ප්‍රකාශකොට පිටව ගියේය. මේ විශේෂ හමුවට පැමිණි තවත් අමුත්තකු වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. ඔහු පැමිණියේ විදුහල්පතිවරිය මෙම අතවරයට මුහුණ දුන්නේ මුස්ලිම් ජාතික ඡන්ද අපේක්ෂකයකුගේ දියණියක් අදාළ දෙමළ පාසලට ඇතුළත් කිරීමට යාමේදී එම ඉල්ලීම ඉටු නොකිරීම නිසා වූ බැවිණි. ඒ ගැන තොරතුරු විමසූ මහින්ද දේශප්‍රිය මහතා විදුහල්පතිනිය මෙම පීඩාවට මුහුණ දුන්නනේ මහ ඇමැතිවරයා සිය පක්ෂයේ ඡන්ද අපේක්ෂකයකුගේ දියණියක් පාසලට ඇතුළත් කරන්නට කළ බලපෑම නිසා බැවින් ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව කීය. එහෙත් ඒ වනවිටත් රජයේ උපදෙස් මත චාමර සම්පත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල පොලීසියට පැමිණ භාර වූ අතර ඔහු මෙම සිද්ධියට අදාළ නඩුවට බදුල්ල මහේස්ත්‍රාත් හමුවට පමුණුවනු ලැබීය. දෙපක්ෂයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මහ ඇමැති දසනායකට අවවාදකොට ඇප මත මුදා හරින්නට නියෝග කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පොලිස්පතිවරයාට එරෙහිව විවෘත වේදිකාවේ විශේෂ ප්‍රකාශයක් කළේය. රාජපක්ෂ මහතා එම ප්‍රකාශය කළේ මහනුවර මහයියාව ප්‍රදේශයේ පැවති පොහොට්ටුව ප්‍රචාරක රැස්වීමකදීය. රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේ පොලිස්පතිවරයා යහපාලන රජයට ඡන්දය ලබාදෙන ලෙස වක්‍රව ප්‍රචාරය කරමින් සිටින්නේය යන චෝදනාවයි. පසුගියදා වව්නියාව ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන්ගේ රැස්වීමකදී පොලිස්පතිවරයා යහපාලන රජය හොඳයි නේද කියමින් කතා කර ඇතැයි මහින්ද කීය. කොළඹින් ගිය ඔහුගේ තවත් නිලධාරීන් දෙදෙනකු ද එය අනුමත කරමින් කතා කර ඇතත් කතාවට සවන් දුන් අය එම කතාව අනුමත කර නැතැයි ද හිටපු ජනාධිපතිවරයා තැපැල් ඡන්දයට ආසන්නයේ දෙපාර්තමේන්තු ප්‍රධානියකු මේ ආකාරයට හැසිරීම වැරදි යැයි සඳහන් කළේය. එනිසා මේ ගැන තම පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිලි කරන වග ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීම ද පැවතුණේ නැත. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා මැති ඇමැතිනවරුන් කොළඹින් බැහැරව ගොස් ඇති බැවින් කැබිනට් රැස්වීම ලබන සතියට කල් දැමිණි. එහෙත් විදේශීය රාජ්‍ය නායකයන් දෙදෙනෙක් සතිය මැද කොළඹට පැමිණියේය. පළමුවෙන්ම ගිය සඳුදා ශ්‍රී ලංකාවට පැමිණියේ සිංගප්පූරැ අග්‍රාමාත්‍ය ලී ෂියැන්ග් ලුන්ග් මහතාය. ඔහු හිටපු සිංගප්පූරැ නායක ලීක්වාන් යූ ගේ පුත්‍රයා මෙන්ම දැනට ආසියානු සංවිධානයේ සභාපතිවරයා ද වන දකුණු ආසියාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයෙකි.

සිංගප්පූරු නායකයා විදේශ චාරිකාවලදී ඉතා සරල පිළිවෙත් අනුගමනය කරන නිසා ඔහු ගිය සඳුදා සවස කොළඹට පැමිණීමට තෝරාගත්තේ එදින සවස සිංගප්පූරුවේ සිට කොළඹට එන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් සාමාන්‍ය වාණිජ මගී ගුවන් යානයයි. සාමාන්‍යයෙන් රාජය නායකයකු ගුවනින් යනවිට එම ගුවන් යානය, ගුවන් නියමුවා පමණක් නොව ගුවන් කාර්ය මණ්ඩලය ද අදාළ රාජ්‍ය නායකයාගේ මනාපය අනුව තෝරා ගැනේ. එහෙත් සිංගප්පූරු නායකයා සමඟ මෙරටට පැමිණි අමුත්තන් 35 දෙනාම මෙම මගී ගුවන් යානයේ ගමන් කළ යුතුයැයි අගමැතිවරයා තීන්දු කළේය. අගමැතිවරයා ඔහුගේ බිරිය කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් හා අගමැතිවරයාගේ වෛද්‍යවරයා ව්‍යාපාරික පන්තියේ අසුන් ගත් අතර සෙසු අය පිරිමැසුම් පන්තියේ අසුන් ගත්හ. ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික ගුවන් නියමු ප්‍රවීන් වෙත්තමුනි විසින් පදවන ලද A 330 එයාර් බස් යානයේ මෙම පිරිස කොළඹට පැමිණියහ. සිංගප්පූරු නායකයා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සාමාන්‍ය මගී ගුවන් යානයේ කොළඹට ගමන් කරන බවට සිංගප්පූරු මාධ්‍ය ද ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි.

යානයට ගොඩ වූ හෙතෙම එහි සුවපහසු බව ගැන ගුවන් නියමුවාට සතුට පලකොට තමන්ට ආහාර වශයෙන් මුහුදු ආහාර වේලක් හා තේ කෝප්පයක් දිය හැකිදැයි ගුවන් කාර්ය මණ්ඩලයෙන් විමසීය. එම ආහාර සැපයූ පසු දීර්ඝ නින්දකට වැටුණ හෙතෙම කොළඹට ආසන්න වෙද්දී යානයේ පහසුකම් දැක බලා ගැනීමට මදක් ඇවිද බැලුවේය.

කෙසේ හෝ මේ ගුවන් ගමන ගැන සිංගප්පූරු නායකයා ඔහුගේ ඇමැතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පසුව අදහස් පල කළේ ඊට පසුදා ඔහු පිළිගන්නට ජනාධිපති මන්දිරයේ ජනපති සහ අගමැති පැවැත්වූ දිවා භෝජන සංග්‍රහයේදීය. ශ්‍රීලන්කන් ගුවන් සේවය සපයන ආහාර ඉතාම ප්‍රනීත හා රසවත් බවත් විශිෂ්ඨ ගුවන් කාර්ය මණ්ඩලයක් සිටින බවත් කී සිංගප්පූරු අගමැතිවරයා සියල්ලට වඩා ගුවන් කාල සටහනේ නියමිත වේලාවට පිටත් වීම හා පැමිණීම අගය කරන බවද කී බව වාර්තා විය. ශ්‍රී ලංකාවේ ගුවන් සේවය ගැන නොයෙක් දේ කියන වපර ඇසින් බලන අය මේ ගුණ වර්ණනාවෙන් ප්‍රයෝජන ගත යුතු යැයි ද සිංගප්පූරු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ජ්‍යෙෂ්ටයකු දිවා භෝජනයට එක්ව සිටි ප්‍රවීණ රාජ්‍ය නිලධාරියකු හා පවසා තිබිණි. එය ශ්‍රීලන්කන් ගුවන් සේවයට මෑත කාලයේ ලැබුණ හොඳ සහතිකයකි. කෙසේ හෝ කොළඹදී දෙරට අතර ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුමකට අත්සන්කොට තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගණනාවක් නිමවා අග්‍රාමාත්‍ය ලී ෂියෑන්ග් ලුන්ග් කොළඹ සිට ශ්‍රීලන්කන් යානයකින්ම නවදිල්ලිය බලා පිටත්ව ගියේ ඉන්දීය ජාතික දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමටයි.

සිංගප්පූරු නායකයා පිටත්ව ගිය දිනයේම ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා කොළඹට පැමිණියේය. කලකට පසු ඉන්දුනීසියානු නායකයෙක් කොළඹට පැමිණියේද දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තර කර ගැනීමටයි. එක් දින සංචාරයකට පැමිණි හෙතෙම මෙරට ආයෝජන අවස්ථා සොයා බැලූ අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් කළ බව වාර්තා විය. අරලියගහ මැදුරේදී අගමැතිවරයා මුණගැසුන ඉන්දු නායකයාගෙන් ශ්‍රී ලංකාවට නව ආයෝජන හා ආර්ථික සහය ලබා දෙන ලෙස අගමැතිවරයා ඉල්ලීමක් කළ බව වාර්තා විය. 

පසුගිය සතියේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල දේශපාලන නායකයන් සහභාගී වූ මංගල උත්සව ගණනාවක් විය. නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ පුත්‍රයාගේ විවාහය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණි. අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ දියණියගේ විවාහය ද කොළඹදී පැවැත්වුණි. මෙම උත්සව දෙකටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රාශියක් ද එක් වූහ. තංගල්ල එ.ජා.ප. මන්ත්‍රී ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ දියණියගේ විවාහය හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. ඊට මහින්ද රාජපක්ෂ මහතා සහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්වූ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙදආරච්චි දියණියගේ පාර්ශවයෙන් සාක්ෂියට අත්සන් තැබීම විශේෂ සිදුවීමකි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වන ප්‍රවීණ ඡායාරෑප ශිල්පී සුදත් සිල්වා මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවය ගිය සති අන්තයේ කොළඹ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් ශාලාවේදී පැවැත්විණි. එම මංගල්‍යයේ සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සෑහෙන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියෝය.  ගිය බදාදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය මහතාගෙන් තමන්ට විශේෂ ප්‍රකාශයක් කිරීමට අවස්ථාව දෙන්නැයි මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉල්ලා සිටියේය. ඒ විශේෂ ප්‍රකාශය ඔහු සිදු කරන්නට ගියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධවයි. තමන්ට තොරතුරු දැන ගැනීමේ පනත අනුව ලැබුණ වාර්තාව ගැනත් තමන් වෙත මෙම කාරණය ගැන එල්ල වූ චෝදනා ගැනත් ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කළ යුතු බැවින් ඊට අවස්ථාව දෙන්නැයි රවී කරුණානායකගෙන් තරයේම ඉල්ලා සිටියේය. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා රවීගේ ඉල්ලීම ස්ථාවර නියෝගවලට අදාළ නොවන බැවින් කෙසේවත් එදින ඉටු කළ නොහැකි බව කීය. අවශ්‍ය නම් විවාද දිනයේ හෝ වෙනත් දිනක ප්‍රකාශයක් කළ හැකි යැයි තීන්දු කළ නමුත් රවී දිගින් දිගටම තමන්ට කතා කරන්නට අවශ්‍යයැයි කියනවිට විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගිට ප්‍රකාශ කළේ ඔය තරම් අවශ්‍යනම් රවීට එම ප්‍රකාශය කරන්නට ඉඩ දීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නැත කියායි. එලෙස බන්දුල ගුණවර්ධන මහතා කතානායකවරයාට දැන්වුවද රවී කරුණානායකවරයා තමන්ට බන්දුල මේ නියෝගයට අවශ්‍ය නැති බවත් පසුගිය කාලයේ බැඳුම්කරය ගැන විවිධ චෝදනා කළ අයගෙන් කාරණාව ඕනෑ නැති බවත් කීය. කෙසේ හෝ රවී හා කතානායකවරයා විවාදය අවසානයේ කෙසේවත් රවීට ප්‍රකාශනයට ඉඩ නොදෙන බව කතානායකවරයා කීවේ තමන්ට අද මැති සබයේ මෙම කතාව කරන්නට ඉඩ නොදේනම් ඒ කතාව කරන්නට ඉඩ නොදේනම් ඒ කතාව අද දිනම මාධ්‍ය වෙත නිකුත් කරන වගය. එවිට කතානායකවරයා කීවේ ඒ ගැන මන්ත්‍රීවරයාට කැමැති දෙයක් කරගන්නට නිදහස ඇතත් පාර්ලිමේන්තුවේ නම් ප්‍රකාශවලට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. ඉන් පසු සභාවෙන් පිටව ගිය කරැණානායක මන්ත්‍රීවරයා නිකුත් කරන්නට සූදානම් වූ ප්‍රකාශය පැය කිහිපයකට පසු වෙබ් අඩවිවල දක්නට ලැබිණි.

කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා මාතර හක්මන පල්ලාවෙල කීර්ති ශ්‍රී තේජෝවරාරාමයේ විශේෂ ආගමික උත්සවයකට සහභාගී විය. ප්‍රදේශයේ ප්‍රකට හිමිනමක් වන තත් විහාරාධිපති පූජ්‍ය වැලිහේනේ සාරානන්ද නායක හිමිපාණන්ට මාතර කන්දබඩ පත්තුවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මහනුවර මල්වතු මහා විහාචරයෙන් පිරිනැමුන නායක පදවිය පිරිනැමීමේ නිල උත්සවයට මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන් ද මාතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ හා ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඇතුළු ප්‍රභූ පිරිසක් ද එක්ව සිටියහ. මල්වතු අනුනාහිමියන් විසින් අක්ත පත්‍ර ප්‍රදානයෙන් පසු පැමිණ සිටි පිරිස අමතා කතා කළ අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා කීවේ රටේ සංවර්ධන හා ආගමික හැදියාව සමාන්තරව පවත්වාගෙන යායුත් බවත් ඊට අභිනව නායක හිමිපාණන්ගෙන් විශාල මෙහෙවරක් ඉටුවන වගත්ය. කතානායක කරු ජයසූරිය මහතා සිය දෙසුම පවත්වමින් ප්‍රකාශ කළේ සමාජයේ හැමතැනම දක්නට ලැබෙන පරිහානිය වළක්වාගත හැක්කේ ආගමික මඟපෙන්වීමෙන් පමණක් බවය. සිංහල ජාතිය ලෝකයේ වඳ වෙමින් යන ජාති තුනෙන් එකක් බවට පත්ව ඇතැයි පැවසූ කතානායකවරයා ශ්‍රේෂඨ සිංහල ජාතිය හා බෞද්ධ දර්ශනය රැක ගන්නට ගමෙන් හා පන්සලෙන් විශාල මෙහෙවරක් ඉටුවිය යුතු බව පෙන්වා දුන්නේය.

සමාජයේ තිබෙන පරිහානියට සම්බන්ධව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දේශපාලන ප්‍රචාරක රැස්වීම් ගණනාවකදීම හෙළිදරව් කළේය. ඔහු බදුල්ල ඌව පරණගම දේශපාලන ප්‍රචාරක රැළියකදී කීවේ ගොවීන්ට පොහොර හිඟ වුණාට හිඟයකින් තොරව රටේ ගංජානම් තිබෙන බවය. එසේම ප්‍රධාන පක්ෂ දෙකම වංචා දූෂණ ගැන කතා කළත් දෙගොල්ලම හොරුන් නිසා හොරු රකිනවා මිස හොරුන් අල්ලන්නේ කටින් පමණක් වගද හෙතෙම සඳහන් කළේය. පසුගියදා මහා බැඳුම්කර මගඩිය ගැන සාකච්ඡා කරන්නට මැති සබයට රැස් වූවිට අගමැතිවරයා ඉදිරිපිටට පැමිණි ඒකාබද්ධ විපක්ෂය රනිල් හොරා යැයි කෑගසනවිට අගමැතිතුමා තමන්ගේ ගෝලයන් සමඟ මහින්ද හොරායැයි කියමින් කෑගසන්නට වීම හාස්‍යජනක සිද්ධියක් යැයි ද ජ.වි.පෙ මහ ලේකම්වරයා පැවසීය. දේශපාලනය මේ තරම් පරිහානියට පත්ව ඇති බැවින් වහා ජනතාව තීන්දුවක් ගෙන මෙම ක්‍රමය වෙනස් කළ යුතු බව ටිල්වින්ගේ අදහස විය.

►ප්‍රකාශ් ඉරැගල්බණඩාර