2018 ජනවාරි 20 වන සෙනසුරාදා

හොරුන්ට එරෙහි සටන ජනපති ඡන්ද වේදිකාවට ගෙනෙයි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

  • තමන්ට බණින මැති ඇමැති ලැයිස්තුව ජනපති දිගහරී
  • අගමැතිට දොස් කියන ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් ගැන එ.ජා.ප.යෙන් පැමිණිල්ලක්
  • ජනපති ධුර කාලය ගැන වැරදි උපදෙස් දුන්දේශපාලනඥයාට බරබරයක්
  • කැබිනට් ගෝරිය ගැන මහින්ද රනිල්ගෙන් විමසයි
  • ස්කයිප් මගින් ගෝඨාභය ඡන්දෙට පණිවුඩයක් දෙයි
  • හොරු අල්ලන්න ආ ආණ්ඩුව හොරකමේ යන බවට ටිල්වින්ගෙන් චෝදනා

පළාත් පාලන මැතිවරණ උණුසුම තවමත් හරිහැටි නැගී එන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව පැත්තෙන් ඇසෙන්නේ එදිනෙදා මතුවන ප්‍රශ්න හා අර්බුදකාරී ගැටලු කළමනාකරණය කරගන්නට නගන ඝෝෂාවයි. මේ සතියේ ප්‍රධාන මාතෘකා බවට පත්වූයේ ජනපතිවරයා කැබිනට්ටුවෙන් නැගිට යාම, බැඳුම්කර වාර්තාව මැතිසබයට ඉදිරිපත් කිරීම සහ ජනපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවයි.

පසුගිය සතිය පුරාම ආණ්ඩුවේත් විපක්ෂයේත් ප්‍රධාන දේශපාලනඥයන් දැඩි ලෙස උනන්දු වූ මාතෘකාව ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ප්‍රශ්නයයි. රජයේ අමාත්‍ය පදවියක් දරන ජ්‍යෙෂ්ඨ නීතිඥයකුත් ඔහුගේ පවුලට සම්බන්ධ ජනාධිපති නීතිඥයකුත් මෙම කාර්යයයේදී නීතිපතිවරයාට අමතරව ජනාධිපතිවරයාට උපදෙස් දුන් බව තිරය පිටුපස ආරංචි මාර්ග කියයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් නීති අංශ තුළ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේත් මත දෙකක් පැවති බැවින් එම කරුණ නිරාකරණය කරගැනීම පිණිස ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය. ජනාධිපතිවරයා මෙලෙස සිය ධුරකාලය වසර 5ද වසර 6ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ බව රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වූ එ.ජා.ප.ය මුලින් දැන නොසිටි බවද කියැවිණි. ඒ අනුව තද ප්‍රකාශයක් කළ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ මෙයින් අර්බුදයක් නිර්මාණය වන බවකි. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් ජනපතිවරයාම සම්මත කරවා ගන්නා ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොතකා මෛත්‍රීපාල සිරිසේන මහතා පැරණි ව්‍යවස්ථාව යටතේ දිවුරුම් දුන් බැවින් ඔහුට වසර 06ක ධුර කාලයක් හිමිවන බවට තීන්දු කළොත් තමාටද නැවත තරග කිරීමේ වරම ලැබෙන බවය. තමාට පමණක් නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියටද ඊට අවස්ථාව ඇතැයි රාජපක්ෂ පාර්ශ්වය කීය.

අවසානයේ මෙම ප්‍රශ්නය දේශපාලන වේදිකාවේ අර්බුදකාරී ගැටලුවක් බවට පත්විය. කෙසේ හෝ මේ අර්බුදකාරී ප්‍රශ්නය විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරැ ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකරන ලදී. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිංහල පිටපත අධ්‍යයනය කළ විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 විය යුතු යැයි ඒකමතිකව තීන්දු කළේය. අවසන් තීරණයට එළැඹීමෙන් පසු අගවිනිසුරුවරයා විසින් අදාළ තීන්දුව ලියන ලදී. එම තීරණය පසුගිය ඉරිදා සවස 3.00 පමණ වනවිට ජනාධිපති ලේකම්වරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය භාර දුන්නේය. පසුදා එම තීන්දුව ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශ කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල එ.ජා.ප.යේ ඇතැම් තීරණ ගැන ප්‍රසිද්ධියේම විරෝධය පළ කරන්නට පටන්ගෙන ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රය ගැන ජනාධිපතිවරයාට තදින්ම කේන්ති ගොස් තිබිණි. කාන්තාවන්ට සුරාසැල්වල සේවයට අවස්ථාව සැලසීම, මත්පැන් අලෙවි කරන වේලාව දීර්ඝ කිරීම ඇතුළුව අලුත් ගැසට් නියෝග සම්බන්ධව මතට තිත සංකල්පයට ලැදි ජනාධිපතිවරයා සිය අයකුට ප්‍රකාශ කළේය. අයවැයෙන් බීර මිල ගණන් අඩු කිරීමට ගත් තීන්දුව වෙනස් කරන ලෙස ජනපතිවරයා ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යංශය එම ඉල්ලීම ඉටුකළේ නැත. ඒ පසුබිමේ සුරාසල්වල කාන්තාවන්ට සේවය සඳහා ඉඩදීමත් වැඩිවේලාවක් සුරාසල් විවෘතව තබන්නට ගත් තීන්දුව තමන් අනුමත නොකරන බැවින් එය වෙනස් කළ යුතු යැයි ජනාධිපතිවරයා අගමැතිවරයාටද දැන්වීය. යම් හෙයකින් අදාළ ගැසට් පත්‍රය රජය ඉවත් නොකළොත් එය අහෝසි කරවන්නේ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආණ්ඩුව කරගෙන යන ප්‍රධාන පක්ෂ දෙකේ ඇතැම් මැති ඇමැතිවරුන් කරන කතාබහ නිසා රජය තුළ කිසියම් අර්බුදකාරී බවක් ඇතැයි පෙනෙන්නට තිබේ. එයට අලුතෙන්ම සැර කතාවකින් දායක වූයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. මරික්කාර් මන්ත්‍රීවරයාගේ කතාවේ සඳහන් නොවූවත් එමගින් ඉලක්ක කළේ ජනාධිපතිවරයාය. එ.ජා.ප.යේ පිහිටෙන් ජනාධිපති වී දැන් අපටම කෙළින්න හදනවා යැයි මරික්කාර් කීය. රාජපක්ෂ ආණ්ඩුවෙන් ආප්ප කාලා ඇවිත් රාජපක්ෂලාට කෙළියා සේ දැන් අපට කෙළින්න හදනවා යැයි සැර භාෂාවෙන් කී මරික්කාර් දැන් අපට හොරා කියනවා. පික් පොකට්කාරයා කියනවා. අපි රාජපක්ෂලාගේ සාක්කුවෙන් පික් පොකට් ගහපු කෙනා තමයි ජනාධිපති කළේ යැයි කියමින් මරික්කාර් මන්ත්‍රීවරයා කළ සැර කතාව බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන්නේය. ඊට පෙර හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාද කීවේ ජනාධිපතිතුමාගේ වැඩ නිසා තමන්ට මල පැන ඇති බවයි. ඒ හැර චමින්ද විජේසිරි, නලීන් බණ්ඩාර ආදී මන්ත්‍රීන්ද තැන තැන ජනාධිපතිවරයා සැරට විවේචනය කළෝය. ඔවුන් එසේ විවේචනය කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා ආදී මැති ඇමැතින් සැරට එ.ජා.ප.ය විවේචනය කළෝය. එ.ජා.ප.ය මේ රජය පිහිටුවා මාස තුනෙන් මහ බැංකුව මංකොල්ල කා බැඳුම්කර වංචාව සිදුකර දැන් හොරු රකින්නැයි කියන බව ඩිලාන් කීය. ඊට සම්බන්ධ මහ මොළකරුවන් රටට හෙළිදරව් කළ යුතු යැයිද ඔහු කීය. එසේම තනි ආණ්ඩුවක් ශ්‍රීලනිපය හැදිය යුතු යැයිද ඔහු පැවසීය.

මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ද ප්‍රසිද්ධියේ දිගින් දිගටම කියන්නට ගත්තේ තවදුරටත් හොරුන් සමඟ ආණ්ඩු කළ නොහැකි බැවින් ඡන්දයෙන් පසු තනි ආණ්ඩුවක් සෑදිය යුතු වගයි. පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ සුවදුක් විමසීමට එම පෞද්ගලික රෝහලට ගිය අවස්ථාවේ ජෝන් අමාත්‍යවරයාද කීවේ තවදුරටත් එ.ජා.ප.ය සමඟ යන්නේ කෙසේද කියායි. එනිසා ඉක්මනින් සමගි වෙමු යැයි සෙනවිරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාට දිගින් දිගටම කී බව වාර්තා විය.

කෙසේ හෝ මේ ආකාරයට දෙපක්ෂය ප්‍රසිද්ධ වේදිකාවේ සහ තිරය පිටුපස  ප්‍රධාන පක්ෂ විවේචනය කර ගනිමින් කළ වාග් සංග්‍රාමය පුපුරා ගියේ මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

අඟහරුවාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ඊට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපතිවරයා සිටියේ කේන්තියෙනි. දවසේ සෙසු කටයුතු පසෙක තබා කතා කරන්නට වූ ජනාධිපතිවරයා තමන් මේ කරන කතාව පටිගත කරන බැවින් හොඳින් අසා සිටින්නැයි පවසා දැඩි ආවේගයෙන් පසුගිය දිනවල තමන් කළ කී දෑ පිළිබඳ අදහස් දක්වන්නට විය. යහපාලන ආණ්ඩුව පිහිටවූයේ යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නිසා තමන් රජය පිහිටුවන මුල් අවස්ථාවේම එ.ජා.ප. නායකයා යෝජනා කළ ඇතැම් පුද්ගලයන්ට අදාළ තනතුරු දෙන්න එපා යැයි කී බව මතක් කළේය. “මම රවි කරුණානායකට මුදල් ඇමැතිකම දෙන්න එපා කිව්වා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කරන්න එපා කිව්ව. ඒත් ඇහුවෙ නැහැ. පේනව නේද අද එයාල කරල තියෙන දේවල්. මම බැඳුම්කර කොමිසම දැම්මෙ එක්සත් ජාතික පක්ෂයට ගහන්න කියල කියනව. නමුත් මම ඒක කළේ පිරිසුදු යහපාලනයක් ගෙනියන්න ඕන නිසයි” කී ජනාධිපතිවරයා තමන්ට එ.ජා.ප.යේ කැබිනට් ඇමැතිවරයකු වන හරින් ප්‍රනාන්දු මෙන්ම එස්.එම්. මරික්කාර්ද දැඩි ලෙස දොස් කියා ඇතැයි සඳහන් කළේය. හරින්ට සහ තමන්ට එකට කැබිනට්ටුවේ ඉන්නට බැරි යැයිද කීය. නලින් බණ්ඩාර, චමින්ද විජේසිරිද ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූහ. “මේ අය මට පහර දෙනවද, කාගේ හෝ උපදෙස් මත පහර ගහනවා”දැයි කියා සැක සිතෙන වගද කීය. තමන් කොමිෂන් පත්කොට හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධද නැද්ද කිය ප්‍රශ්න කළ හෙතෙම තමන් ගිය ආණ්ඩුවෙන් එළියට බැස්සේ හොරකමට දූෂණයට විරුද්ධව බැවින් මේ ආණ්ඩුවේ හොරකම් දූෂණ සිදුවනවා නම් ඒවා රකින්නටද සූදානම් නැතැයි කීය. තමන්ට මෙලෙස පහර දෙන්නේ තමන් බය කරන්නද? එළවන්නද? කියා විමසූ ජනාධිපතිවරයා තමන් ඒ කිසිවකට බිය නැතැයි සඳහන් කළේය. ආණ්ඩුවේ බලවතුන් තමන් හොරුන් ගැන කියන විට කුලප්පුවන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. මේ ආකාරයට විනාඩි 35කට වැඩි වේලාවක් දැඩි ආවේගයෙන් කතා කළ ජනාධිපතිවරයා මේ විදියට තවදුරටත් මේ ආණ්ඩුව කරනවාද නැත්ද කියා ඔයගොල්ලන්ම තීන්දු කරන්නැයි පවසා ඕනනම් ඔයාල තනි යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදාගන්න යැයි කීය. කතාව අවසානයේ ජනාධිපතිවරයා රුස්වීමෙන් නැගිට ජනාධිපති කාර්යාලයට පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා විනාඩි 35ක් පමණ කතාකොට කැබිනට්ටුවෙන් පිටව ගිය පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල, චම්පික රණවක, රාජිත සේනාරත්න ආදී මැති ඇමැතින් ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගොස් ඔහු මුණගැසුණාහ. ඒ අවස්ථාවේ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් කීවේ ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා, අගමැතිවරයා විවේචනය කරන බවයි. ඒ නිසා තරැණ එ.ජා.ප. මන්ත්‍රීන් තරහෙන් සිටින්නේ යැයිද කීය. අනතුරුව දෙපක්ෂය සාකච්ඡා කොට මින් ඉදිරියට එකිනෙකා විවේචනය කර නොගන්නට එකඟ වූහ. පසුව අගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ජනාධිපතිවරයා කැබිනට්ටුවට කැඳවාගෙන ආහ.

කැබිනට් රැස්වීමේ වඩාත් විවාදාපන්න කරුණ වූයේ මංගල අමාත්‍යවරයාගේ මත්පැන් අලෙවිය ලිහිල් කරන්නට ගෙන ආ යෝජනාවයි. ඒ ගැන ජනාධිපතිවරයා, චම්පික, රාජිත ඇතුළු ඇමැතිවරුන් විශාල පිරිසක් විරෝධය පළ කරද්දී මංගල කීවේ මේ ගැන විමසුමට කමිටුවක් පත් කරමු කියායි. එහෙත් එම ගැසට්ටුව ගැන විශේෂ විමර්ශනයක් අනවශ්‍ය බවත් වහා ගැසට්ටුව අවලංගු කළයුතු බවත් අමාත්‍යවරු ඒකමතිකව තීරණය කළෝය. එහෙත් ඒ තීරණයට එරෙහිව සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තා පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව දැන්වීය. මත්පැන් නීතිය අහෝසි කිරීම අසාධාරණ බව ඒ අයගේ මතය වී තිබේ. 

මෙම උණුසුම් අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ගණනාවකුත් කෙළින්ම ගියේ කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් ආයතනයටයි. එහි ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රකට ව්‍යාපාරිකයෙන් හා පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ද වූ සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය හදිසියේ අභාවප්‍රාප්තවීම නිසා ඒ අවස්ථාවට සහභාගී වී ශෝකය පළකිරීම අග්‍රාමාත්‍යවරයාගේ ගමනේ අරමුණ විය. අග්‍රාමාත්‍යවරයා ලංකා හොස්පිට්ල් වෙත යනවිටම වාගේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද රෝහලට පැමිණියේය. ඒ වනවිටත් කැබිනට් මණ්ඩලයේ ඇති වූ ආරවුල ගැන සියලු තොරතුරු මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී තිබිණි. මහින්ද එහි යනවිට ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ද එහි පැමිණ සිටියාය. මහින්ද ඇය කලකින් දැක නොතිබූ බැවින් හඳුනාගත්තේ නැත. එතැන සිටි මන්ත්‍රීවරයෙක් චතුරිකා මහින්දට හඳුන්වා දෙද්දී මාව හඳුනගන්න බැරිවුණා නේද සර් කියමින් ඇය කතාබහට එක් වූවාය. ඒ සමඟ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද අසලට ආවිට කොහොමද අද කියමින් රනිල් ද සිනාසෙන්නට විය. ආ එහෙනම් අද කැබිනට් පේපර්වලට අමතරව තවත් පේපර්ස් තියෙන්න ඇති යැයි හිටපු ජනාධිපතිවරයා කියද්දී අග්‍රාමාත්‍යවරයා සිනාසුනා මිස උත්තර දුන්නේ නැත. අනතුරුව එහි සිටි සියලුදෙනාම ඩෙංගු රෝගයෙන් මියගියා යැයි සැක කරන ගම්ලත් මන්ත්‍රීවරයාගේ දියණියගේ මරණය ගැන ශෝකය පළකරන අතර ඩෙංගු වසංගතය වහා තුරන් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ. මහින්ද රාජපක්ෂ මහතා තමන් අසල සිටි රොෂාන් රණසිංහ ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රීන් සමඟ කියා සිටියේ පළාත් පාලන ඡන්දය නිසි වේලාවට තබා පළාත් පාලන ආයතන පිහිටුවා ඒ ඒ ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකර පවිත්‍රතාව රැක ගන්නේනම් මෙබඳු අවාසනාවන්ත සිදුවීම් අසන්නට නොලැබෙන වගය.

ජනතා විමුක්ති පෙරමුණට රටේ දැන් හටගෙන තිබෙන දේශපාලන වාතාවරණය හොඳ ක්‍රීඩා පිටියකි. අපේ දේශපාලන සංස්කෘතිය දිනෙන් දින පරිහානියට පත්වෙමින් දේශපාලනඥයන් ජනතාවගේ කෝපයට පාත්‍ර වෙද්දී දේශපාලන පිටියේ හොඳ හයේ පහරවල් එල්ල කරන්නට ජ.වි.පෙ. උත්සාහ දරමින් සිටී. දැන් රටේ හටගෙන ඇති දේශපාලන වාතාවරණය ගැන සමාජය දැනුවත් කිරීම සඳහා ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීය. පාර්ලිමේන්තුවට මැරයන් වගේ හැසිරෙන පිරිසක් පත්කර රට දියුණු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ලේකම්වරයා හොරුන් අල්ලන්න ආ රජය යුගයේ දැවැන්තම හොරකම ලෙස සැළකෙන බැඳුම්කර වංචාව නිසා කප් ගසා ඇතැයි කීය. එසේම ගිය ආණ්ඩුවට ද ශ්‍රීලන්කන් ආයතනය වැනි ආයතන කාබාසිනියා කර  දැමීයැයි කී හෙතෙම දැන් නැවතත් රාජපක්ෂලා බලය ඉල්ලන වග ද සඳහන් කළේය. 2015 ජනවාරි 08දා යහපාලන අපේක්ෂා ඇතිව මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කළ ද ඔහුටත් ජනතාව අපේක්ෂා කළ යහපාලන අරමුණු ඉටු කරන්නට බැරි වූ බවට ටිල්වින් චෝදනා නැගීය. දැන් ලංකාව තිබුණටත් වඩා නරක් වූ රටක් යැයි කී හෙතෙම ලොව දූෂණය අතින් ශ්‍රී ලංකාව 4 වැනි තැනට පත්ව ඇතැයි පැවසීය. ඒ නිසා රටට ගෞරවාන්විත දේශපාලනයක් හඳුන්වාදීමට ජනතා විමුක්ති පෙරමුණ වටා පෙළගැසෙන්නැයි ජ.වි.පෙ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල අන් සියලු කටයුතු නවතා ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා රට වටා යමින් සිටී. පානදුර, උඩගම, මාලඹේ, කෑගල්ල, පැල්මඩුල්ල ආදී ප්‍රදේශවල මහජන රැළි ඇමතූ රාජපක්ෂ මහතාගේ ප්‍රධාන විවේචනය වන්නේ වැඩ බැරි ආණ්ඩුවට හොරකම් කරනවා යන්නයි. තමන් සහ තම පවුලට හොරුන්යැයි කියමින් ඡන්ද කාලයට බිලියන ගණන් තිබුණායැයි චෝදනා නැගීම ඇතැම් ඇමැතීන්ගේ සිරිතක් වී ඇතැයි කී මහින්ද ආණ්ඩුව මහා බැඳුම්කර වංචාව අමතක කරවන්න වෙනත් නාට්‍ය රඟ දක්වමින් සිටින බව ද පැවසීය. මෙම මැතිවරණය පොහොට්ටුව දිනන සටන පමණක් නොව ආණ්ඩුව පෙරළීමේ පළමු වෙඩිමුරය යැයි ද රාජපක්ෂ මහතා කීය.

මේ දිනවල ඇමෙරිකාවේ නිවාඩුවකට ගොස් සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනතාවට පණිවුඩයක් දුන්නේ කොළඹ පැවති මහාචාර්ය ජගත් වික්‍රමසිංහ ගුණ සැමරුමේදීය. එහිදී පවත්නා ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ ගෝඨා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම පිරිහී ඇති බැවින් රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයැයි සඳහන් කළේය. ඉතිහාසයේ කවරදාටත් වඩා ක්‍රියාශීලී උපායශීලී රජයක අවශ්‍යතාව රටට වුවමනා බව පැවසූ හෙතෙම රටක නායකයා සෘජු නිවැරදි තීරණ ගන්නා තැනැත්තකු විය යුතු යැයි ද ඔහු පැවසීය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අභියෝග හඳුනාගෙන බොහෝ නිවැරදි තීරණ ගත් බව ද ඔහු අවධාරණයෙන් පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය බදාදා නීතිපතිවරයා මහ බැංකු අධිපතිවරයා, අල්ලස් දූෂණ කොමිසමේ ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එහි කාර්යාලයට කැඳවා බැඳුම්කර සිද්ධිය ගැන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන උපදෙස් දුන්නේය. බැඳුම්කරය මෙන්ම වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තාව ද මැතිසබයට ඉදිරිපත් කර ඇති නිසා ඒවා ගැන නිශ්චිත කාලයක් තුළ වහා පියවර ගත යුතු යැයි ද කීය. මෙම රුස්වීමෙන් අනතුරුව ඇල්පිටියේදී දේශපාලන හමුවක් ඇමතූ ජනාධිපතිවරයා තමන් මේ ආණ්ඩුවේ හොරුන් හිරේ යැවීමේ සටනේ ඔපරේෂන් 2 ඇරඹූ බව සඳහන් කළේය. මහ බැංකු කොල්ලයෙන් රටට අහිමි වූ මුදල් නැවත අය කර ගන්නට නීතය දැඩිව ක්‍රියාත්මක කරන වගද ඔහු කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.පයේ ඡන්ද ප්‍රචාරක කටයුතු අරඹන්නේ ලබන සතියේ මහනුවරිනි. පසුගියදා පැවති තෛපොංගල් උළෙලේදී විපක්ෂ නායක සම්පන්දන් ප්‍රමුඛ දෙමළ නායකයන් හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යහපත් දේශපාලන ගමනකින් මේ රටට හොඳ දේශපාලන අස්වැන්නක් ලබා ගන්නා වගයි. රට සංවර්ධනය සඳහා සංහිඳියාව අවශ්‍ය බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතිකොට රටේ සාධාරණ සමාජයක් බිහි කරන්නේ යැයි ද කීය. රටේ පළාත් භේදයෙන් තොරව ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ රජය පියවර ගනිමින් සිටින වග ද පැවසීය.

එ.ජා.පයේ සමහර මැති ඇමැතීන් ජනපති විවේචනය කරද්දී අත්තනගල්ලේදී ජන හමුවක් ඇමතූ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහය පළ කරමින් කතා කළේය. එ.ජා.පයට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැතිව අමාරැවේ වැටී සිටිනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා උදව් වූ බව කී රන්ජන් එතුමාට පික්පොකට්කාරයා යැයි කීම වැරදි බව පැවසීය. එ.ජා.ප මන්ත්‍රීන් 41 දෙනාගෙන් ආණ්ඩුවක් හැදුවේ එතුමා නිසා යැයි ද රන්ජන් කීය.

එ.ජා.ප කෘත්‍යාධිකාරිය ගිය බදාදා උදේ රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළේ බැඳුම්කර වාර්තාව සම්බන්ධව ක්‍රියා කළ යුතු ආකාරයයි. ඒ ගැන අධ්‍යයනයට ත්‍රිපුද්ගල කමිටුවක් කෘත්‍යාධිකාරිය විසින් පත්කරන ලදී. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතා කරමින් කීවේ එ.ජා.ප මැති ඇමැතින් මින් ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරමින් බැඳුම්කර සිද්ධිය ගැන අදහස් දැක්වීය. බැඳුම්කරය ප්‍රශ්නය වත්මන් යහපාලන රජය විධිමත් ලෙස නිරාකරණය කළ බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා එමඟින් සිදුවූ අලාභය ලෙස සඳහන් වන රුපියල් බිලියන 9.2ක මුදල වෙනුවට පර්පෙචුවල් සමාගමේ බිලියන 12 ක් මහ බැංකුව විසින් රඳවාගෙන ඇතැයි කීය. එම මුදලින් අවශ්‍ය මුදල අඩුකරගත හැකි බැවින් රජයට අලාභයක් සිදුවන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසේම රජයේ යමෙක් මෙයට වගකිවයුතු නම් ඒ ගැන අවශ්‍ය නිර්දේශ ලබාදීමට අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර අවශ්‍ය පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. වත්මන් යහපාලන රජය බලයට ආවේ දූෂණය හා වංචාව නැවැත්වීමට බැවින් ජනාධිපතිතුමා සමඟ එක්ව ඒ සඳහා පියවර ගැනීම රජයේ එකම අරමුණ යැයි ද මෙම විශේෂ ප්‍රකාශය මගින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර