2018 ජනවාරි 13 වන සෙනසුරාදා

ලොක්කෝ හොර නාමය ගාගත් බැඳුම්කර විවාදය

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 272

ආණ්ඩුවේ අවුරුදු තුන සමරන්න ජනපති අගමැති එක්වෙති 
ගෝරියට ගිය මැති ඇමැතින්ට ජනපති දෙහි කපයි   
මේ රජය විවෘත කරන්නේ තමන්ගේ වැඩ බවට මහින්දගෙන් චෝදනා 
විපක්ෂයෙන් අගමැතිට විශ්වාසභංගයක්  
එ.ජා.ප. ෙය් කනස්සල්ල කිරිඅැල්ලගෙන්  
බැඳුම්කරේ නැතුව මැතිසබේ රැස්කිරීමෙන් ඇවිලුණු ගුටි කෙළිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පදවියට පත්ව වසර තුනක් සම්පූර්ණ වූයේ මෙම සතියටයි. ඒ සමඟ යහපාලන රජයට ද වසර තුනක් සම්පූර්ණ විය. පළාත් පාලන මැතිවරණ උණුසුම නිසා රටම රත්වේගෙන එන කාලයේ ජනපති පදවිප්‍රාප්තියේ තෙවර්ෂ පූර්ණය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් සංවර්ධන කටයුතු ගණනාවක්ම විවෘත කරන්නට යෙදුණි. ඉන් ප්‍රධානම ව්‍යාපෘතිය වූයේ මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකිරීමට යෝජිත වූ පංච මහා ජලාශ වලින් අවසන් ජලාශය ලෙස සැලැකුණ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා වසර ගණනාවක් තිස්සේ දරන ලද උත්සාහයක් මල්පල ගැන්වීමෙන් පසු මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත් කැරිණි. එහිදී සිදු වූ ඉතාමත් වැදගත් කරුණ වූයේ එම ජලාශය සඳහා අලුත් නමක් ජනාධිපතිවරයා විසින් යෝජනා කිරීමයි. 1994 වසරේ සිට තමන්ට මෙම ජලාශය නිර්මාණය ගැන උපදෙස් දෙන්නට සිතියම් රැගෙන කැලෑවල තමන් සමඟ ඇවිදිමින් බොහෝ දුක් කරදර මධ්‍යයේ මෙම කටයුත්තට අතහිත දුන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ඉංජිනේරු විශේෂඥයකු වූ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා නමින් මොරගහකන්ද නම් කළ යුතු යැයි ජනාධිපතිවරයා කීය. ඒ අනුව මෙතෙක් මොරගහකන්ද නමින් හැඳින්වුණු ඒ ජලාශය ඉදිරියට කුලසිංහ ජලාශය ලෙස නම් ලැබීය. එසේම එදිනම විවෘත කළ රාජගිරිය නව ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නමින් නම් කැරිණි. යහපාලන රජය පිහිටුවීමට මුල් වූ සෝභිත හිමියන්ට ගෞරව පිණිස මෙම නාමකරණය සිදුවිය.

මෙම ව්‍යාපෘති සියල්ල විවෘත කිරීමෙන් අනතුරුව මුල්ම මහවැලි ජලාශය ලෙස සැලකෙන මහනුවර පොල්ගොල්ල ජලාශය අභියස දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන හමුවක් ද පවත්වනු ලැබීය. මෙහිදී විශේෂ දෙසුමක් කළ ජනාධිපතිවරයා මෙරට දේශපාලනයේ තිබෙන අවභාවිතයන් නිසා මොරගහකන්දෙන් ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වසර 5කින් පමා වූ බව කීය. මෙම යෝධ ව්‍යාපෘතිය නිසා රටේ ආර්ථිකයේ විශාල පිබිදීමක් හටගන්නා බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාව ප්‍රබුද්ධ රටක් බවට පත් කරන්නටත් හෙට උපදින දරුවන්ට යහපත් අනාගතයක් නිර්මාණයටත් මෙබඳු සංවර්ධන කටයුතු හේතුවන්නේ යැයි ජනාධිපතිවරයා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ඉදිරි කාලයේ ගොවිකම තාක්ෂණය හා මුසුකර ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදෙන වගයි. මහවැලිය අරඹද්දී දේශපාලන පක්ෂ භේද පැවැතුණත් අද මේ ජයග්‍රහණවලට ප්‍රධාන පක්ෂ දෙකම දායක වී ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ව්‍යාපෘති විවෘත කිරීමෙන් පසු රජය තෙවර්ෂ පූර්ණය සමරද්දී ඒ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද විශේෂ නිවේදනයක් නිකුත් කළේය. මේ ආණ්ඩුව තමන්ගේ වැඩ කටයුතු ලෙස පෙන්වා දෙමින් විවෘත කළ මොරගහකන්ද ජලාශය හා රාජගිරිය ගුවන් පාලම යන ව්‍යාපෘති දෙකටම අවශ්‍ය මූලික සැලසුම් සකසා ඊට මුදල් පවා වෙන්කර තිබුණේ තමන්ගේ ආණ්ඩුව විසින් යැයි රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය මගින් අවධාරණය කළේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඊනියා යහපාලන රජය ගතවූ වසර තුනේ දී රට පුරා දැවැන්ත අර්බුද ගණනාවක් මතු කළ බවයි. බැඳුම්කර කොල්ලය ඔවුන් කළ මහා වංචාව යැයි ද හෙතෙම සඳහන් කළේය. මොරගහකන්ද ජලාශය, රාජගිරිය ගුවන් පාලම හා ගනේමුල්ල ගුවන් පාලමට සැලසුම් සාදා මුදල් වෙන් කළේ තම රජය බව කී රාජපක්ෂ මහතා වැඩ බැරි ආණ්ඩුව අවුරුදු තුනකට පසු අනුන්ගේ ව්‍යාපෘතිවලට අයිතිවාසිකම් කීම ලජ්ජාවට කරුණක් යැයි ද වැඩිදුරටත් කීය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය නිසා හටගත් ආන්දෝලනය ඡන්ද වේදිකාවේ පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ සෑම තැනකම පැතිර යද්දී ඊට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසත්, බැඳුම්කර සිද්ධිය ගැන මැතිසබා විවාදයක් ලබාදෙන ලෙසත්, පොහොට්ටුව වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතාත් ජ.වි.පෙ නායක අනුර දිසානායක මෙන්ම ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මහින්ද අමරවීර මහතාත් ඉල්ලීමක් කර තිබිණි. මේ ගැන දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පෞද්ගලිකවමද ඉල්ලීමක් කර තිබූ බව කියැවිණි. අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම කතානායකවරයා අමතමින් බැඳුම්කරය ගැන විවාද කරන්නට පාර්ලිමේන්තුව ගිය බදාදා කැඳවන ලෙසත්, ඊට පෙර විවාදය පැවැත්විය යුතු ආකාරය ගැන කතා කරන්නට අඟහරුවාදා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව කතානායකවරයා විශේෂ නිවේදනයක් මගින් බැඳුම්කර විවාදයට මැතිසබය කැඳවීය.

පාර්ලිමේන්තුව කැඳවීමට පෙර දා කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවනු ලැබීය. ගිය අඟහරුවාදා සවස 2.00ට පමණ පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද එම හමුවට සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල, එ.ජා.පයේ රවී කරුණානායක, ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, රජයේ නිමල් සිරිපාල, ජ.වි.පෙ අනුර දිසානායක, විපක්ෂ නායක සම්පන්දන්, මනෝගනේෂන් ආදී පක්ෂ නායකයන් ගණනාවක්ම පැමිණ සිටියෝය. රැස්වීම ආරම්භයේදීම ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක හා තවත් පක්ෂ නායකයන් ගණනාවක්ම කීවේ තවමත් තමන්ට බැඳුම්කර වාර්තාව ලැබී නැති බැවින් එය විවාද කරන්නේ කෙසේද කියාය. එවිට කතානායකවරයා කීවේ වාර්තාව පිටු 1500 ක් පමණ වන බවත්, පරිවර්තනය කිරීමේ ගැටලුවක් නිසා එය පමා වූ වගත්ය. ඒ අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු පක්ෂ නායකයන් පැවසුවේ මැතිසබයට වාර්තාවක් දෙන විට එහි සිංහල හා දෙමළ පිටපත් අත්‍යවශ්‍ය බවයි. ඉංග්‍රීසි පිටපත පසුව ලබාගන්නට අවශ්‍ය නම් පක්ෂ නායකයන්ට මෙහිදී එකඟත්වයක් ඇතිකරගත හැකි යැයි ද දිනේෂ්ලා කීහ. සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ අගමැතිතුමා මේ ගැන සභාවට හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන්නට අපේක්ෂිතය කියායි. පක්ෂ නායකයන් බැඳුම්කරය ගැන ඉල්ලූ විවාදය රජය විසින් නොපමාව ලබාදුන් නමුත් දැන් පක්ෂ නායකයන් වාර්තාව පිටදමා විවාදය මඟහරින්නට හදනවාදැයි කිරිඇල්ල ප්‍රශ්න කළේය. එවිට පක්ෂ නායකයන් ගණනාවක්ම ප්‍රශ්න කළේ වාර්තාව විධිමත්ව ලැබී නැතිව විවාද කරන්නේ කුමක්ද යන්නයි. එහිදී බැඳුම්කර සිද්ධිය නිසා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින මන්ත්‍රී රවී කරුණානායක ද පක්ෂ නායක හමුවට එක්ව කීවේ මේ වාර්තාව ඉක්මනින් සභාවට ඉදිරිපත් කරන හැටියටයි. මේ විවාදය දිගින් දිගටම ඇදීයද්දී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පක්ෂ නායකයන් ගණනාවක්ම පෙන්වා දුන්නේ නියමිත පරිදි බදාදාට වාර්තාව සභාගත කොට පක්ෂ නායක මත දැක්වීමක් කර ඒ ගැන කරන විවාදය පසුවට කල්දමන ලෙසයි. ඒ සඳහා දැනට වාර්තාවේ පිටපත් කිහිපයක්වත් ජනාධිපතිතුමාගෙන් ලබාගන්නා ලෙස පක්ෂ නායකයෝ කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව එදිනම තමන් අදාළ ඉල්ලීම කරන බව කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.

අපේක්ෂා කළ පරිදි ගිය බදාදා පෙරවරු 10.30ට බැඳුම්කරය සභාගත කිරීමේ විවාදය සඳහා මැතිසබය කැඳවිණි. එහෙත් සභාව ආරම්භයේදීම කතානායක කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් කරමින් සඳහන් කළේ එදින බැඳුම්කර වාර්තාව සහ සෙසු ජනාධිපති කොමිෂන් වාර්තා සභාගත නොකෙරෙන බවයි. ඒ සඳහා තවත් සතියක කාලයක් අවශ්‍ය බව ජනාධිපතිතුමා තමන්ට දන්වා ඇතැයි කතානායකවරයා කීය. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා නැගී සිටියේය. ඒ වන විට ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතුකරමින් පැවසුවේ අද දින මන්ත්‍රීන් කැඳවා ඇත්තේ විශේෂ ප්‍රකාශ සඳහා නොව බැඳුම්කර වාර්තාව සභාගත කොට විවාද කිරීමට බවයි. එවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මැතිසබය හදිසියේ කැඳවූයේ තමන් බවත්, ස්ථාවර නියෝග යටතේ තමන්ට ප්‍රකාශයකට වරම ඇති වගත්ය. තමන් අද දින කරන මේ ප්‍රකාශයේ අන්තර්ගත කරුණු විවාදයේ දී මන්ත්‍රීවරුන්ට ද ප්‍රයෝජනවත් විය හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. එවිට විපක්ෂ නායක සම්පන්දන් මහතා කීවේ බැඳුම්කරය මහජන මුදල් හා සම්බන්ධ ප්‍රශ්නයක් බැවින් ඒ ගැන ජනතා නියෝජිතයන් හා ජනතාව දැනගත යුතුය කියායි. මෙය නොසඟවා රටට හෙළිකළ යුතු යැයි ද සම්පන්දන් මහතා කීය. මේ වාද විවාද මධ්‍යයේ අමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශය කරන්නට සැරසුණේය. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂය ඇවිස්සුණේය. මන්ත්‍රීහු රනිල් හොරා කියා කෑගසමින් පෝස්ටර ද ඔසවාගෙන සභාව මැදට පැමිණියෝය. සභාව තුළ ආතතියක් හටගත්තේ එ.ජා.ප මන්ත්‍රීන් ද සභාව මැදට පැමිණීමත් සමඟය. 

ඒකාබද්ධය අගමැතිගේ කතාවට දිගින් දිගටම බාධා කරමින් පෝස්ටර ඔසවාගෙන කෑගසන්නට විය. එවිට එ.ජා.පය ද මහින්ද හොරා හොරා කියමින් ඒකාබද්ධය වෙත විරෝධය පළ කළෝය. මේ කෑකෝගැසීම්, පෝස්ටර උදුරාගැනීම ආදියෙන් සුළුවට ආරවුලක් පටන් ගත්තේ ඒ සමඟය.

ඒකාබද්ධයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා අත තිබූ පෝස්ටරයක් එ.ජා.ප මන්ත්‍රී මරික්කාර් උදුරාගනිද්දී ගාමිණී ලොකුගේගෙන් ගුස්ති ප්‍රහාරයක් එල්ල විය. ඉන්පසු මොහොතකට පසු මරික්කාර් ද ඒ ආකාරයේම ප්‍රහාරයකින් ලොකුගේ මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දැක්වීය. ප්‍රසන්න රණවීර, හෙක්ටර් අප්පුහාමි, චමින්ද විජේසිරි, ප්‍රසන්න රණතුංග, කාවින්ද ජයවර්ධන ආදීන් තැන තැන නොයෙක් ආරවුල්වල පැටලී සිටිනු දක්නට ලැබිණි. කාවින්ද ජයවර්ධන හදිසියේම ආරවුල මැද රෝගී විය. ඔහු රෝහල්ගත කරනු ලැබීය. ප්‍රසන්න රණවීරගේ කමිස බොත්තම් කැඩී අලාභ හානි වී තිබිණි. සභාව නවතා පක්ෂ නායක රැස්වීමක් තැබූ කතානායකවරයා සභාවේ පැවති ආරවුල් තත්ත්වය නිසා ලබන 23දා දක්වා මැතිසබය කල් දැමීය.
මේ සිද්ධිය වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු ලොබියට පැමිණ මන්ත්‍රීන් හා සාකච්ඡා කරමින් සිටියේය. එහෙත් රාජපක්ෂ මහතා සභාවට පැමිණියේ නැත. කෙසේ හෝ සභාව කල්දැමීමෙන් පසු මැති ඇමැතින් බොහෝ දෙනා මැති සභා කැන්ටිමේ ආහාර ගනු දක්නට ලැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය සම්බන්ධව ප්‍රශ්නයක් හටගෙන තිබේ. ඔහු වර්ෂ 2015 ජනවාරි මස 09 දා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය වසර 6 ක් විය යුතු යැයි සඳහන් කර තිබූ විධිවිධාන අනුවය. එහෙත් ඉන්පසුව ගෙන එන ලද ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපති ධූර කාලය වසර 5කට අඩු කැරිණි. එබැවින් වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය හමාර විය යුත්තේ 2020 ජනවාරි මස 9 දා ද නැතහොත් වසර 6 සපිරෙන 2021 ජනවාරි මස 09 දා ද යන්න නිරාකරණය කරගත යුතුව තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය ප්‍රකාරව කරන ලද මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත සැසිවාරයක දී විමර්ශනය කිරීමට අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතා තීන්දු කළේය. අවශ්‍ය නම් එසේ නොකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පමණක් රැස්වී මෙම කාරණය විමර්ශනය කළ හැකිව ද තිබිණි. අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ සංවිධාන ගණනාවක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණු දැනුම් දී ඒ ගැන කරන නීතිමය විමර්ශනයට දායක වන ලෙස දැන්වීය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පස් දෙනකු මෙම විමර්ශනය සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලදී.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැන් ප්‍රධාන පක්ෂ සියල්ල විසින්ම වේගවත් කරමින් සිටී. ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.පයේ මංගල ඡන්ද රැස්වීම පැවැත්වූයේ අනුරාධපුරයේය. එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය ගරාවැටී ඇත කියාය. මැතිසබයේ බැඳුම්කර විවාදයේ දී මහජන නියෝජිතයන් හොරුන් හොරුන් යැයි එකිනෙකාට චෝදනා කරගන්නා අසෝභන දේශපාලන සංස්කෘතිය කැපීපෙනුණු වග කී ජනාධිපතිවරයා සමාජයේ තිබෙන ගෞරවය හා ප්‍රතිරූපය විනාශ වන බව පෙන්වා දුන්නේය.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම ගැන යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ බලවත් ලෙස කැළැඹී සිටී. මෙයට අදාළ ලිපි ලේඛන ඉතා ප්‍රකට ජනාධිපති නීතිඥයකු ලවා ජනාධිපති විසින් සකස් කරවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීම ගැන රජයේ හවුල්කාර පක්ෂ කිසිවක් දැන සිට නැත. ඒ බව මාධ්‍යයට අනාවරණය වූයේ එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල  අමාත්‍යවරයා කළ ප්‍රකාශයකිනි.

කිරිඇල්ල මහතා කීවේ මේ ආකාරයට හවුල්කාර පක්ෂ මත නොවිමසා ජනාධිපතිවරයා ක්‍රියාකිරීමෙන් යහපාලන ආණ්ඩුව උග්‍ර දේශපාලන අර්බුදයකට තල්ලු වූ බවයි. ඒ ගැන එ.ජා.ප.ය සිය දැඩි කනස්සල්ල පළකරද්දී ජනාධිපති කාර්යාලයද මේ ගැන කරුණු දක්වමින් මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන මත දෙකක් ප්‍රකාශයට පත්ව ඇති බැවින් එම ප්‍රශ්නය නිරාකරණය කරගැන්ම සඳහා මෙම විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ වගයි. තමන්ට ව්‍යවස්ථාවෙන් ඊට බලතල ඇති බව පැවසූ ජනාධිපතිවරයා මෙයට පෙර අවස්ථාවලද හිටපු ජනපතිවරුන් මෙබඳු මත විමසීම් කළ බව සඳහන් කර ඇත. කෙසේ හෝ මේ කාරණය හා ඊට අදාළ නඩු තීන්දුව ගැන විවිධ අනාවැකි සහ අනුමාන කිරීම් ප්‍රකාශ වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම කාරණය සම්බන්ධව අන්තිම තීන්දුවකට එළඹ නොතිබූ බව කියැවේ.

ගිය සිකුරාදා සවස මේ ගැන විනිසුරුවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වූ අග විනිසුරුවරයා සෙනසුරාදා අවසන් තීන්දුවකට එළඹීම සඳහා විශේෂ විනිසුරු රැස්වීමක් කැඳවා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි. මෙම මත විමසුමේ තීන්දුව ඉරිදා (අද) දින ජනාධිපතිවරයාට යැවෙනු ඇතැයිද කියැවේ.

ඒකාබද්ධ විපක්ෂය සිය මංගල ඡන්ද රුස්වීම් පැවැත්වූයේ කඩවත නගරයේය. ඉන් අනතුරුව ඊටත් වඩා ජන සහභාගීත්වයකින් යුතුව ආණමඩුවේ දී පවත්වන ලද ඒකාබද්ධ රැස්වීමේ මුලසුන ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මෙහිදී මහින්ද පැමිණ සිටි ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ඡන්දය වත්මන් ආණ්ඩුව පෙරළීමේ මුල් පියවර බවය. තම රජය කාලයේ ශ්‍රී ලංකාව වැඩබිමක්ව තිබුණත් දැන් තිබෙන්නේ මුඩුබිමක් යැයි ද හෙතෙම සඳහන් කර තිබිණි. හාල්, පොල් මිල ගණන්වල සිට ජනතාව අසරණ කර ඇතැයි කී හිටපු ජනපතිවරයා මේ ආණ්ඩුව රටේ මහ බැංකුව කොල්ලකා වාර්තාවක් තැබූ බව පැවසීය. ඒ සියලු දෙනාට පෙබරවාරි 10දා පාඩමක් ඉගැන්විය යුතු යැයි රාජපක්ෂ මහතා කීය. 
එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද ප්‍රචාරක කටයුතු අරඹන්නේ මහනුවරිනි. මහනුවර දී මහජන රැළියක් පවත්වා එ.ජා.පයේ රට දිනන සටන දියත් කෙරෙන බව දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබිණි. එ.ජා.පයේ ප්‍රධාන තේමා පාඨය දිනූ දේ රැකගන්න එන්න යන්නයි. ඒ සඳහා දීපව්‍යාප්ත මට්ටමින් ප්‍රචාරක කටයුතු දියත් කිරීම ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය දියත් කොට දැන් බොහෝදුර ගොස් හමාරය. ගම ජ.වි.පෙට තේමාවෙන් සටන් කරන ජ.වි.පෙ ප්‍රචාරක ව්‍යාපාරය ගමින් ගමට යමින් කුඩා රැස්වීම් මට්ටමින් පැවැත්වීම විශේෂයකි. ජ.වි.පෙ නායක අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පවත්වති. මන්ත්‍රී බිමල් රත්නායක පසුගිය කාලයේ මධ්‍යම පළාතේ මහජන රැලිවලට එක්ව සිටියේය. ඔහු එම ප්‍රදේශයේ මහජන රැලි ගණනාවක් අමතමින් කීවේ මෙවර පළාත් පාලන ඡන්දයේ දී ජ.වි.පෙට වරක් බලය දී බලන්න කියායි. සිය පක්ෂයට වැඩ බැරි බව ඔප්පු වුවහොත් නැවත බලය නොඉල්ලන්නේ යැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා කීය. කොමිස් ගහන පගා ගහන හොරකම් කරන දේශපාලන සංස්කෘතියට ජනතා විමුක්ති පෙරමුණ තිත තබා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. අද ප්‍රධාන පක්ෂ දෙකේම කිසිම පිබිදීමක් නැතැයි පැවසූ හෙතෙම මහ බැංකුව හා භාණ්ඩාගාරය කුට්ටි පිටින් හොරකම් කරමින් රට දියුණු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය තේමාකර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළ බව එහි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා අත්සන් ලබාගැනීම පසුගිය බදාදා මැතිසබයේ දී සිදු වූ බවද වාර්තා විය. මේ ආකාරයට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් කරන්නේ කුමක්දැයි ඇසූ විට සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට පිළිතුරු ලෙස කියා තිබුණේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එයට මැතිසබයේ බහුතර ඡන්ද තුනෙන් දෙකකින් පරාජය කරන බවය. එ.ජා.පය විශ්වාසභංගවලට බිය නැති බවත් එය ඉදිරිපත් කළ පසු විවාද කොට බලය පෙන්වන වගත් ඔහු සඳහන් කර තිබේ.

පිවිතුරු හෙළ උරුමය මෙවර සිය සතිපතා ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ කළු ඇඳුම් ඇඳගෙන මළකඩ කෑ කඩු ප්‍රදර්ශනය කරමිනි. ආණ්ඩුවට වසර තුනක් පිරෙන දිනයේ ඔවුන් රජයේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමට කළු ඇඳුම් හා කඩු උපයෝගී කරගත්තේය. ජනාධිපතිවරයා පසුගිය වසර තුනක කාලයේ රටේ දූෂණයට හා වංචාවට එරෙහිව කඩුව භාවිත නොකිරීමෙන් කඩුව මළකඩ කා ඇතැයි පෙන්වීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පිවිතුරු හෙළ උරුමය විසින් උපයෝගී කර ගන්නා ලදී. පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුව අමතමින් ගතවූ වසර තුනක කාලයේ කඩුව මළකඩ කෑවා පමණක් නොව රජය රට අගාධයට තල්ලු කළ බව කියමින් රජයට විරෝධය දැක්වීය.

 

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර