2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අායෙත් පක්ෂ මාරු කතා

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 412

මැතිවරණ කොමිසමේ සභාපතිට මහින්ද රාජපක්ෂගේ විරෝධය  
වීරකුමාරටත් තනතුරක්  

පොහොට්ටුවට යන ශ්‍රී.ල.නි.ප. ලොක්කන්ට ජනපතිගෙන් තරවටුවක්  
එ.ජා.ප.යෙන් කොළඹට රෝසි: ජ.වි.පෙන් දොස්තර රනිල්: පොහොට්ටුවෙන්?  

අගමැති සුළු පක්ෂවල නාමයෝජනා ගැටලු විසඳුමට එක්වෙයි  
ගමේ ආණ්ඩු පිහිටුවන හැටි ඩිලාන් කියයි

 

 

 

 

 

පසුගිය දිනවල ප්‍රධාන පක්ෂ සියල්ලේම ප්‍රධානීන් අනෙක් සියලු කටයුතු අත්හිටුවා තිබුණේ පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා සැකසීමටයි. මේ රජය බලයට පත්ව පවත්වන පළමු ජාතික මැතිවරණය නිසා ගමේ පුංචි ඡන්දය ගැන දේශපාලකයන් තුළ ඇත්තේ මහ ඡන්දයකට තිබෙන උනන්දුවයි. මේ ආකාරයට අධික උනන්දුවක් හටගැනීමේ ප්‍රතිඵලය නාමයෝජනා ආරවුල් බහුලවීමයි. ඒවා ඇතැම්විට කෙළවර වන්නේ පක්ෂ මාරුවකිනි.

දැනට වාර්තා වන ආකාරයට නාමයෝජනා ගැටලු වැඩිපුරම ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේය. රට පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවල මන්ත්‍රී ධුර අටදහස් ගාණක් සඳහා ඒකාබද්ධයට අයැදුම්පත් හතළිස් පන්දහසක් පමණ ලැබී තිබුණි. ඒ හතළිස් පන්දහස 1/6කට අඩු කරන්නට යාමේදී නොයෙක් ප්‍රශ්න මතුවිය. අම්පාරේ ශ්‍රියානි විජේවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඒකාබද්ධය හැර දමා මෛත්‍රී ජනාධිපතිගේ සෙවණට ගියේ එහි ශ්‍රී.ල.නි.ප. ප්‍රධානී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා සමඟ හටගත් ආරවුලක් නිසාය. මෙහිදී විමලවීර නම්‍යශීලී නොවු බවට හිටපු ජනපතිවරයාට ද පැමිණිලි ලැබිණි. හොරණ විදුර වික්‍රමනායක සමඟ ඇතිකරගත් නාමයෝජනා ආරවුලක් නිසා බස්නාහිර පළාත් සභා උප සභාපති යසපාල කෝරළගේ ද, මුස්ලිම් ජනතාව නියෝජනය කළ සකාවුල්ලා මන්ත්‍රීවරයා කොළඹ නාමයෝජනා ආරවුලක් නිසාද ඒකාබද්ධයෙන් ඉවත් වූහ. ජ.නි.පෙන් ඉවත් වූ වීරකුමාර දිසානායක ගියේ නාමයෝජනා ප්‍රශ්නයක් මත නොවූවත් ඔහු ද දැන් ආණ්ඩුවේය. වීරකුමාර තමන්ට ටිකක් පසු වී තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි. ශ්‍රියානි විජේවික්‍රමට තනතුරු වාසනාව හිමිවුණි.

ඒ අතර පක්ෂ මාරු කරන බවට කතාවක් පැතිර ගිය රත්නපුරය දිසා මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර තමන් ඒකාබද්ධයෙන් නොයන බව ප්‍රකාශ කර ඇත. ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ඔහු මුණගැසී මේ ගැන කතා කළ ද සාකච්ඡා පලදරා තිබුණේ නැත. දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන එච්.ජී. සිරිසේන මහතා සහ ඔහුගේ පුත් පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා අමාත්‍ය ලක්ෂ්මන් යාපා සමඟ පැමිණ ජනාධිපතිවරයා මුණගැසුණි. මේ දෙදෙනා මෙතෙක් කල් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ ද මෙවර ජනපතිවරයාට සහාය දීමට ඉදිරිපත් වූහ.

ජනාධිපතිවරයාගේ මතය වී තිබුණේ පක්ෂ මාරු කරන අයට ශ්‍රී.ල.නි.පයට පැමිණිය හැකි නමුත් ඔවුන්ට දෙන්නට තනතුරු නම් තමන් සතුව නැති බවයි.

මුල් වටයේ තම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතන 6 සඳහා නඩු පැවරීමට ඒකාබද්ධය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සමඟ සාකච්ඡා කළේය. එහිදී සාකච්ඡාවට සහභාගි වූ නීති විශාරදයන්ගේ මතය වූයේ මහරගම හා අගලවත්ත සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ගැන ප්‍රබලම නඩු නිමිති ඇති බවයි. එසේම හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී හෙළිදරව් වූ කරුණක් වූයේ බදුල්ල ප්‍රාදේශීය සභාව සඳහා භාරදුන් නාමයෝජනා පත්‍රයේ නිසි ලෙස නම් ඇතුළත් කළ පත්‍රිකාව අඩංගු නොවීම පිටුපස දේශපාලන “ගේමක්” ඇති බවය. කෙසේ හෝ ඒකාබද්ධය මුල් වටයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ සභා 6ටම නඩු පැවරීමට තීන්දු කළේය. දෙවන වටයේද ඒකාබද්ධයේ තිරප්පනේ සහ උතුරේ සභා 4ක නාමයෝජනා ප්‍රතික්ෂේප විය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ මැතිවරණය පවත්වන දිනය පෙබරවාරි 10 දා බව පසුගියදා මාධ්‍යයට කීය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස 26 දා නිකුත් කරන වගද සඳහන් කැරිණි. එසේම පසුගියදා ප්‍රතික්ෂේප කළ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ප්‍රබල නීතිමය සාධක හේතුවෙන් නිසා ඊට අදාළව පැවරෙන නඩුවලදී එකී තීන්දු ගත් තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් මැතිවරණ කොමිසම පෙනී සිටින්නේ යැයි ද සභාපතිවරයා අවධාරණය කළේය.
මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා තෙදින නිල සංචාරයකට පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණියේ 100ක පමණ නියෝජිත පිරිසක් සමඟය. කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ නවාතැන් ගත් මැලේසියානු නායකයා දේශපාලන සාකච්ඡා ඇතුළු විශේෂ අවස්ථා ගණනාවකට එක් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ද මෙම හමුවීම්වලට එක්ව සිටියෝය. දෙරට අතර වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් කළ අතර මැලේසියාවට පූර්ණ හිමිකාරිත්වය ඇති ඩයලොග් දුරකතන සමාගම සමඟ අත්සන් කිරීමට යෝජිත වූ ගිවිසුම් ගණනාවක් රාජ්‍යතාන්ත්‍රික හේතු මත අත්සන් කිරීම අවලංගු කැරිණි.

මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාට මෙම සංචාරයේ දී විශේෂ වගකීම් ගණනාවක් පැවරී තිබුණේ කොළඹ සිටි මැලේසියානු මහ කොමසාරිස්වරයා හදිසියේම ස්ථාන මාරුකර තිබූ බැවිනි. මහ කොමසාරිස් මුසම්මිල් මහතාගේ සහ රජයේ මැදිහත් වීමෙන් මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකරගන්නට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනිණ. මධ්‍යම පාන්තික නිවාස ඉදිකිරීම, නඩු පමාවට විසඳුම් සෙවීම, ආසියාවේ මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් මැඩලීම සඳහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ විට මැලේසියානු අගමැතිවරයා ඊට සිය උපරිම සහාය පළ කළේය.
මෙම සංචාරයේ දී දෙරට අතර තානාපති සබඳතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති කිහිපයම ගත කළේ පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ගැටලු නිරාකරණය කිරීම සඳහායි. එ.ජා.ප.ය සහ සුළු පක්ෂ අතර බෙදාගත යුතු අපේක්ෂක කෝටාවන් ගැන අග්‍රාමාත්‍යවරයා අදාළ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළේය. මෙහිදී වඩාත් ගැටලුසහගත තත්ත්වයක් උද්ගත වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟයි. ඔවුන් ඉල්ලා සිටි අපේක්ෂක කෝටාව ලබාදීම අසීරු වූ අවස්ථාවල මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම්ට තරමක් කේන්ති ගොස් එ.ජා.ප.ය සුළු පක්ෂවල මතය නොසලකා හැර ක්‍රියා කරන බවට චෝදනා නැගීය. මනෝ ගනේෂන් අමාත්‍යවරයා හිටපු අමාත්‍ය රවී කරැණානායක සමඟ නාමයෝජනා ආරවුලක පැටලුණි. අපේක්ෂකයන් බෙදාගැනීමේ අර්බුදය නිසා ඔහු කොළඹ නගරයේ අපේක්ෂකයන් තනිවම සිය පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට තීන්දු කළේය. රවුෆ්, රිෂාඩ්, මනෝ මෙන්ම දිගම්බරම් අමාත්‍යවරයා ද ඇතැම් ප්‍රාදේශීය සභා තනිවමත් තවත් කොටසක් එ.ජා.ප.ය සමඟත් තරග කිරීමට තීරණය කර ඇත.

වඩාත් ප්‍රබල දේශපාලන සටනක් ඇතිවිය හැකි යැයි සිතෙන කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන් තෝරාගැනීම ද විශාල අර්බුදයක් වී තිබේ. මෙවර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 110 ක් පමණ ස්ථාපිත කර ඇත. එ.ජා.පයෙන් නගරාධිපති අපේක්ෂක ධුරයට රෝසි සේනානායකත්, ශ්‍රී.ල.නි.පයෙන් අසාද් සාලිත් පොහොට්ටුවෙන් හිටපු නගරාධිපති ඕමාර් කාමිල්ගේ නමත් යෝජනා වී තිබිණි. එහෙත් අවසන් මොහොතේ ඕමාර් කාමිල් මහතා අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කළේය. ඕමාර් කාමිල් මහතා විශේෂ කාර්ය මණ්ඩලයක් යොදවා කොළඹ ජනමතය ගැන විශේෂ සමීක්ෂණයක් කරමින් සිටින බවද දේශයට වාර්තා වෙයි.

අමාත්‍ය ජෝන් අමරතුංග හා සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අතර මේ සතියේ වාග් සටනක් හටගත්තේය. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වත්තල මහජන හමුවක් අමතමින් කියා තිබුණේ මෙවර මැතිවරණයේ දී පොලිසියත් ආණ්ඩුවත් එ.ජා.ප.ය සතුව තිබෙන නිසා ඡන්ද කාලයේ ප්‍රශ්න ඇතිකරගන්නට එන අයට ගහලා පන්නන ලෙසයි. තමන්ට අවශ්‍ය ජනතා ඡන්ද පමණක් බවද ජෝන් අමාත්‍යවරයා කීය.

ජෝන් කළ මෙම ප්‍රකාශය විපක්ෂයට හොඳ අවියක් විය. මේ ගැන එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමේදී ද අදහස් පළ කර තිබිණි. 1978 සිට මේ දක්වා වසර 40 ක් මැතිසබයේ සිටින ජ්‍යෙෂ්ඨතමයකු වන අමාත්‍ය ජෝන්ගේ ප්‍රකාශය ගැන ප්‍රසිද්ධියේ උත්තර දුන්නේ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහය. ඔහු කීවේ අමාත්‍ය ජෝන්ට දැන් වයස 80 ත් ඉක්මවා ඇති බැවින් ඔහු කියන දේවල් ඒ තරම් ගණන් ගත යුතු නැති බවයි. ඔහු තමාගේ තාත්තාගේ වයසේ සිටින කෙනෙක් බවත් ජෝන් අමාත්‍යවරයා කරන ප්‍රකාශ බැරැරුම් ලෙස නොසලකා ඔහුට අනුකම්පා කරන ලෙසත් සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

සුජීවගේ මෙම කතාවට ජෝන් අමරතුංග මහතාට ද තදින්ම කේන්ති ගොස් තිබිණි. ඔහු සුජීවටත් හොඳ උත්තරයක් දුන්නේය. ඇමැති සුජීවට වඩා තමන්ට ඉතා හොඳට සිහිබුද්ධිය ඇති බවත් සුජීවට වඩා හොඳින් තමන් කටයුතු කරන බවත් ජෝන් අමරතුංග මහතා කීය. ඊයේ පෙරේදා දේශපාලනයට ආ සුජීවලා මොනවා දන්නවාද කියා ප්‍රශ්න කළ ඇමැති ඇමැති ජෝන් පසුගිය දවසක ජනාධිපතිතුමා විවේචනය කොට එතුමාගෙන් අවවාද ලැබුවේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කළේය. එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා මේ සිද්ධිය ගැන සුජීව සේනසිංහට අවවාද කළ බැවින් සිහි බුද්ධිය නැතුව වැඩකරන්නේ තමන්ද සුජීවදැයි ජනතාව දන්නා බව ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් කීය.

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිනී ශ්‍රියානී විජේවික්‍රම එම පක්ෂයෙන් ඉවත්වීමෙන් පසුව මේ සතියේ ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ ස්වදේශ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්විය. ඔහු ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව වාර්තාවෙයි. ලාන්සා මහතා ඉවත්වෙමින් මාධ්‍යයට කීවේ රජයේ කටයුතු ගැන මෙන්ම තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ කටයුතු ගැනද හටගත් දැඩි කලකිරීම නිසා ඉල්ලා අස්වන බවයි. ඒ අතර ඔහුගේ සහෝදරයකු පොහොට්ටුව කණ්ඩායමෙන් මීගමු නගරාධිපති ධුරය සඳහා තරග වදින්නට සූදානමින් සිටින බවද වාර්තා කර තිබේ. මේ ආකාරයට ශ්‍රී.ල.නි.ප.යේ කණ්ඩායම් දෙක අතර මැති ඇමැතින්ගේ කරණම් හා පිනුම් ගණනාවක් ඉදිරි කාලයේදී බලාගත හැකිවෙතැයි දෙපක්ෂයේම ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමවරට මැතිවරණ කොමසාරිස්වරයාට දැඩි ප්‍රහාරයක් ප්‍රසිද්ධියේම එල්ල කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ඉලක්ක කරගෙන බඩු (සිමෙන්ති/ මැෂින්/ සල්ලි) බෙදා දෙන බව කී රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට හොඳට ඇස් පෙනෙන නමුත් මේවා නොපෙනෙන බව කීය. තම පක්ෂය මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට පැමිණිලි කළවිට ඒවා ඔහු දුටුවේ නැතැයි කියන වග සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රධානියාට ආණ්ඩුවේ වැරදි පේනවා අඩු යැයි සඳහන් කර තිබිණි. එහෙත් තම රජය කාලයේ ඔහුට ඒවා ඉතා හොඳින් පෙනුණ බවද රාජපක්ෂ මහතා විශේෂයෙන් පැවසීය. ඒ අතර පසුගියදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් තබමින් රජයෙන් මැතිවරණ සමයේ භාණ්ඩ බෙදාදීම ගැන කළ ප්‍රකාශය ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විවේචනයට ලක්විය. ඔහු එහිදී කියා තිබුණේ රජය ඡන්ද සමයේ වුවත් ජනතාවට බඩු බාහිරාදිය බෙදාදීම වැළැක්වීම වරදක් බවයි. ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන දේ නතර කිරීම තමන්ගේ යුතුකමක් නොවේයැයි කී ඡන්ද කොමිසමේ සභාපතිවරයා එක්ව බඩු බාහිරාදිය බෙදාදෙනවානම් ඊට දේශපාලනඥයන් සහභාගි නොවිය යුතු අතර එම භාණ්ඩවල ජනතා බදු මුදලින් ලබාගත් මෙම භාණ්ඩ ජනතාවට ලබාදෙන බව සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් යැයි කීය. ඒකාබද්ධයේ හා තවත් සුළුපක්ෂ ගණනාවක් ඔහුගේ මෙම කතාව අනුමත කළේ නැත. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සඳහන් කළේ පසුගිය රජය කාලේ සිල්රෙදි මේ ආකාරයටම බෙදාදීම නීති විරෝධි යැයි කියමින් උසාවියේ සාක්කි දුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ ඡන්දයේදී බඩු බෙදීම ගැන කරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි. දිගින්දිගටම මෙයට අවසර දුන්නොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද ඒකාබද්ධය තීන්දු කළේය.

රට පුරාම බඩු බෙදමින් ඡන්දය ලබාගැනීමේ වසංගතය පැතිරයමින් තිබෙන බව ජ.වි.පෙ ද ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකදී පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ කීවේ රජය ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක හදිසියේ මාර්ග හදමින් බඩු බෙදමින් ඡන්දයට වරදාන ලබාදෙන බවය.

මෙවර පළාත් සභා මැතිවරණයේදී ගම ජ.වි.පෙට යන තේමාවෙන් ජ.වි.පෙ. ප්‍රචාරක රැස්වීම් මාලාවක් ආරම්භ කර තිබේ. වෙනදා මෙන්ම අපේක්ෂක ආරවුල්වලින් තොරව ජ.වි.පෙ නාමයෝජනා සකස්කර තිබේ. ඔවුන් කොළඹ පුරපති අපේක්ෂක ලෙස පමණක් එක් අපේක්ෂකයකු නම් කර ඇත. ඒ විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම කලකරුවකු ද වන දොස්තර රනිල් ජයසේන මහතාය.

සතියේ අමාත්‍ය මණ්ඩල රුස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි. මෙහිදී මුලින්ම සාකච්ඡාවට ගන්නේ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ රජයේ නීතිඥවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනාවයි. මෙම යෝජනාව අනුව විනිසුරුවරුන්ගේ හා රජයේ නීතිඥයන්ගේ වැටුප් හා දීමනා සෑහෙන ගණනකින් ඉහළයයි. මෙහිදී චම්පික රණවක අමාත්‍යවරයා විනිසුරුවරුන්ට හා රජයේ නීතිඥයන්ට දැනට ලක්ෂ ගණනක වැටුප් ලැබෙන නිසා ඉංජිනේරුවරුන්වත් සරසවි ආචාර්යවරුන්වත් මේ ආකාරයට ඉහළ වැටුප් වර්ධකයක් ලබාදෙන්නැයි කීය. දැනට රජයේ ඉංජිනේරුවරයකුගේ ආරම්භක වැටුප රු. 42,000ක් යැයි ද අමාත්‍ය රණවක පෙන්වා දුන්නේය. එවිට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය රණවකට කීවේ ඉංජිනේරුවරුන්ට පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාවක් ඇතත් විනිසුරුවරුන්ට එසේ නොවන බැවින් සාධාරණ ඉහළ වැටුපක් ලබාදිය යුතු වගයි. 

අනතුරුව රුසියානුවේ තේ තහනම ගැන අමාත්‍ය නවීන් දිසානායක කැබිනට්ටුවේ අවධානය යොමුකළේය. ඊට හේතුව රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇස්බැස්ටෝස් ගෙන්වීම 2018 සිට තහනම් කිරීම යැයි දැනගන්නට ඇතැයි අමාත්‍යවරයා කීය. අපේ තේ 11%ක් පමණ මිලදී ගන්නේ රුසියාව නිසා මෙයට බරපතළ ප්‍රශ්නයක් වන බැවින් ඇස්බැස්ටෝස් තහනම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය. ඒ සමඟ අමාත්‍ය අනුකාරක සභාවක් මගින් සෙවීමටත් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඒ ගැන ලිඛිත ඉල්ලීමක් කිරීමටත් රජය තීන්දු කළෝය. අලුත් ගල්අඟුරු බලාගාරයක් ගැන යොජනාවක් රන්ජිත් සියඹලාපිටිය ඇමැතිවරයා ඉදිරිපත් කළේ ඉන්පසුවය. මේවා නිසි ටෙන්ඩර පටිපාටියෙන් යුතුව කළ යුතු බවත් පරිසර ප්‍රශ්න ගැන දැඩි විමසුමක් කළයුතු බවත් ජනාධිපතිවරයත් අගමැතිවරයාත් පෙන්වා දුන්හ. එවිට චම්පික රණවක ඇමැතිවරයා සඳහන් කළේ තමන් විදුලි බල ඇමැති කාලේ සැකසූ 2030 දක්වා වන විදුලි ජනන සැලැසුම ක්‍රියාවට නැංවුවහොත් කිසිදු ප්‍රශ්නයක් නොවන වගය.

ශ්‍රී.ල.නි.ප.යේ සාමාජිකත්වය දරන මන්ත්‍රීන් පොහොට්ටු කණ්ඩායම දිනවීම සඳහා ඡන්ද කටයුතුවල නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍යයට කීය. මෙතෙක් කල් ඒ අයට නිවැරදි වන්නට කල් ලබාදුන් වග කී ඇමැතිවරයා දැන් ඒ කාලය හමාර යැයි පැවසීය. අමාත්‍ය සමරසිංහ එසේ කීවාට ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා කීවේ ඡන්දයෙන් පසු ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමට ශ්‍රී.ල.නි.ප.ය කිසිසේත්ම එ.ජා.ප.ය සමඟ එක්නොවන බවත් පොහොට්ටුව සමඟ බලය පිහිටුවීමට හැකි බවත්ය. එසේම ශ්‍රී.ල.නි.ප.යේ නාමයෝජනා ප්‍රතික්ෂේපවූ දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය සභාවලදී ශ්‍රී.ල.නි.ප. සහය පොහොට්ටුවට ලබාදෙන්නේ යැයි ද ඩිලාන් කීය. පක්ෂ සමගියට බාධාවන ප්‍රකාශ කරන ශ්‍රී.ල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක හා පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මහත්වරුන් බබ්බුන්සේ හැසිරිය යුතු නැතැයි තමන් නැවත කියන්නේ යැයිද ඩිලාන් පැවසීය. 

නාමයෝජනා භාරදීම හමාරවීමත් සමඟ නැවතත් පක්ෂ මාරු ආරංචි පැතිරෙන්නට පටන් ගත්තේය. ඉදිරි සතියේ ශ්‍රී.ල.නි.ප.යෙන් ඒකාබද්ධයට තවත් මන්ත්‍රීවරයකුත් ඒකාබද්ධයෙන් ශ්‍රී.ල.නි.ප.යට එක් මන්ත්‍රිවරයකුත් යනු ඇතැයි තිරය පිටුපස ආරංචි කියයි. ජනවාරි මුල් සතියේ තවත් මාරුවීම් තුනක් තිබෙන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහන් කරන නමුත් ඒ ගැන කිසිදු විස්තරයක් අනාවරණය කර නැත.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර