2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ශ්‍රී ල.නි.ප.යේ සාම කතා ඉවරයි

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 288

ගෝඨා කොටුකිරීම උසාවියෙන් නවතයි  
මහින්ද මෛත්‍රී සමගියට ජ.වි.පෙ. නායකයාගෙන් ඔත්තුවක්  
දීගය කොහොමදැයි රනිල් මහින්දගෙන් අසයි  
සුජීව ගැන පියවර ගන්නැයි ජනපති ඉල්ලයි  
සාකච්ඡා කණ්ඩායමට පවිත්‍රාගෙන් රාත්‍රී භෝජනයක්   
සම්පන්දන්ගෙන් මහින්දට චෝදනා

බැඳුම්කර කොමිසමත් සමඟ ආණ්ඩුවේ හටගත් හැලහැප්පිලි දුරදිග ගොස් තිබේ. රජය කරගෙන යන එ.ජා.පය හා ශ්‍රී.ල.නි.පය අතර තිබෙන වාද භේද ප්‍රසිද්ධ වේදිකාවේ සාකච්ඡා කරන්නට පටන් ගැනීමෙන් පවතින අර්බුදය ගැන පාක්ෂිකයන්ට ද දැනගන්නට ලැබී ඇත. රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා දැඩි ස්වරයෙන් ජනාධිපතිවරයා විවේචනය කිරීමත් සමඟ පැවති අර්බුදය තවත් දුරදිග ගිය බව ආරංචිය. සුජීව තමන්ට එරෙහිව කළ ප්‍රකාශය ගැන එ.ජා.පය විසින් පියවරක් නොගැනීම සම්බන්ධව ජනාධිපතිවරයා අසතුටින් සිටින බව කියැවේ. මෙම ගැටලුකාරී තත්ත්වය මධ්‍යයේ කොරියාවේ විදේශ සංචාරයකට සූදානම් වෙමින් සිටියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා මුණගැසුණි. එහිදීත් සුජීව සේනසිංහ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු යැයි ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව ආරංචිය. පක්ෂ මට්ටමින් එය සිදුකරන බව අගමැතිවරයා පවසා තිබේ. 

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රයට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් නිසා පක්ෂ දෙක අතර තිබූ මතගැටුම් තවත් දුරදිග ගියේය. එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයන් දිගින් දිගටම ශ්‍රී.ල.නි.පයට චෝදනා කරමින් සඳහන් කළේ ඡන්දය කල්දැමීමට ශ්‍රී.ල.නි.පය විවිධ උප්පරවැට්ටි යොදන බවය. මේ හේතුවෙන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජ.වි.පෙ. විශ්වාසභංග යෝජනා දෙකක් භාර දුන්නේය. ඒවාට එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් සහය පළකරන බවටද ප්‍රචාර පැවතුණි. කෙසේ හෝ අවසානයේ එ.ජා.පය ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩුවට එල්ල කළ දැඩි බලපෑම නිසා පළාත් පාලන ඡන්ද කොට්ඨාස සීමානිර්ණය ගැසට්ටුවට එරෙහිව පවරන ලද නඩු ටික ඉවත් කරගන්නට පෙත්සම්කරැවන් එකඟ වූ බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ද ප්‍රකාශ කළේ නිත්‍ය වශයෙන්ම පළාත් පාලන මැතිවරණය දිවයින පුරා එකම දිනක පවත්වන බවයි.

මේ සතියේ සඳුදා විශේෂ පක්ෂ නායක රැස්වීමෙන් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමැති නිමල් සිරිපාල, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, මනෝගනේෂන්, රවුෆ් හකීම්, දිනේෂ් ගුණවර්ධන, අනුර දිසානායක ආදි පක්ෂ නායකයෝ මෙම රැස්වීමට පැමිණ සිටියෝය. පක්ෂ නායකයන්ට අමතරව නීතිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද රැස්වීමට කැඳවා තිබිණි. රැස්වීම ආරම්භයේදීම මැතිවරණය කල් නොදමන ලෙස පක්ෂ නායකයෝ එහි මුලසුන දැරූ කතානායකවරයා ප්‍රමුඛ රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළහ. කල් නොදමා ඡන්දය පවත්වන්නට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැති ෆයිසර්ගෙන්ද පක්ෂ නායකයෝ ඉල්ලීමක් කළහ.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කතානායකතුමා පළාත් පාලන සීමානීර්ණය ගැසට්ටුවට එරෙහිව නඩු පැවරූ අය සමඟ සාකච්ඡා කොට ප්‍රශ්නය විසඳාගත යුතුය කියායි. 2015 යෝජනා කළ ඡන්ද ක්‍රමය අනුව මැතිවරණය පැවැත්වුවහොත් ගැසට් ප්‍රශ්නය උද්ගත නොවන බව ඇතැමුන් යෝජනා කළ විට එමඟින් සුළු ජාතීන්ට අසාධාරණයක් සිදුවන්නේ යැයි අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් හා මනෝගනේෂන් පැවසූහ. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ඡන්දය කල්දැමීමේ වගකීම එ.ජා.පය විසින් නොව ශ්‍රී.ල.නි.පය විසින් භාරගත යුතු බවය. නමුත් එම චෝදනාවට ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිළිතුරු දුන්නේ නැත. කෙසේ හෝ නීතිපතිවරයා විශේෂ මෝසමක් මඟින් ගැසට්ටුවට එරෙහි නඩු කල්තබා විභාගයට ගෙන හමාර කිරීමට පියවර ගන්නා බව පැවසුවද නීතිපතිගේ මෝසම අනුව අදාළ පෙත්සම් කලින් (30දා) විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එයද බලවත් ප්‍රශ්නයක් විය.

ඒ අතර මැතිවරණ කොමිසම අර්බුදයක් නොමැති පළාත් පාලන ආයතන 93ක ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය විධි විධාන යෙදුවේය. ඉතිරි පළාත් පාලන ආසනවලින් තවත් 40ක පමණ ඡන්දය සඳහා අවශ්‍ය නිවේදන අධිකරණයේ අවසරයෙන් පසුව නිකුත් කරන්නේ යැයිද සඳහන් කැරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුව පක්ෂය එක්ව මැතිවරණ තරග කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මේ සතියේ රැස්වීම් ගණනාවක්ම පවත්වනු ලැබීය. මේ සඳහා රජයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනුරයාපා සහ ලසන්ත අලගියවන්න මහත්වරු පත්කර තිබිණි. ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි හා සී.බී. රත්නායක යන මැතිවරුන් පත්කර තිබිණි. මෙම කණ්ඩායම් දෙක මුල්වරට රැස්වූයේ ගිය සති අන්තයේය. 

තලවතුගොඩ මොනෑක් හෝටලයේදී පැවති හමුව ඉතා සුහදශීලී ලෙස ආරම්භ කැරිණි. ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මහින්ද යාපා මන්ත්‍රීවරයා කණ්ඩායමේ යෝජනාව ඉදිරිපත් කරමින් මූලික හැඳින්වීමක්ද කළේය. පක්ෂ එකමුතුකම වැදගත් වුවත් තම කණ්ඩායමට එ.ජා.පය සමඟ ශ්‍රී.ල.නි.පය ආණ්ඩු කරද්දී ඔවුන් සමඟ එක්විය නොහැකි බව හෙතෙම ප්‍රකාශ කළේය. එම නිසා ශ්‍රී.ල.නි.පය එ.ජා.පයෙන් වෙන්වී තනතුරු හැරදමා එන්නේ නම් ඉතා සතුටින් දෙපක්ෂය සාකච්ඡාකොට අන්තිම තීන්දුවක් ගතහැකියැයි මහින්ද යාපා මහතා කීය. ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. නිමල් ඒකාබද්ධයෙන් යෝජනාව පිළිගත නොහැකි බව කියමින් සඳහන් කළේ ඒක කරන්න බැහැ.

“ඉම්පොසිබල්  වැඩක් කියායි. සී.බී. රත්නායක මහින්ද යාපා දෙදෙනාම ඊළඟට කියා සිටියේ “දැන් දෙසැම්බර් 31දාට ඔය සම්මුතියේ ගිවිසුම ඉවරයි. ඉතින් ඒ නිසා මේ පැත්තට ඇවිත් වාඩිවෙන්න. එහෙම නොකළොත් ඉතින් ජනාධිපතිතුමා තනිවේවී. යැයි ඔවුන් පවසද්දී නිමල් අමාත්‍යවරයා “නෑ නෑ 31 ගිවිසුම ඉවරවෙන එකක් නැහැ තව ඉස්සරහට යන්නත් පුළුවන්. යැයි ඉඟි කළේය. අනුර යාපා ඇමැතිවරයා එතැනදී කිව්වේ “මේ නිසා ජනාධිපතිවරයා දුර්වල වේවි. යූ.ඇන්.පීය ශක්තිමත් වේවී. කියායි. “ඉස්සරහට ආණ්ඩුවෙ ණය මුදල්වත් ගෙවාගන්න අමාරැයි කියලා මුදල් අමාත්‍යංශය කියනවා. ඒනිසා රට ගැන හිතලවත් දෙගොල්ල එකතුවීමයි හොඳ.  එවිට ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් කීවේ “ජනාධිපතිතුමා තනියම අපේක්ෂකයන් දැම්මොත් රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් හයක් ගනීවි...ඉතින් මේ තත්ත්වය ගැනත් හිතන්න කියාය. ඒ මොහොතේ නිමල් සිරිපාල අමාත්‍යවරයා සාකච්ඡා කාමරයෙන් පිටවී ගොස් ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් කතා කළේය. නිමල් සිරිපාල අමාත්‍යවරයා තනතුරු අත්හැරීමට විරුද්ධතාව ප්‍රකාශ කළද අනුර යාපා සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් ඒ ගැන මධ්‍යස්ථ මතයක් දැරෑ බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන්ගේ අදහසයි.

කෙසේ හෝ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නිමල්ලා යෝජනා කළේ දෙපක්ෂයට පොදු සන්ධානයකට එකඟ විය හැක යන අදහසයි. “ඒක ඉතා වැදගත්. ඒකාබද්ධ විපක්ෂයටත් එකඟවෙන්න පුළුවන් කෙනෙක් සන්ධානයේ ලේකම් තනතුරට පත් කරගනිමු. ආදී වශයෙන් යෝජනා කරද්දී සී.බී. රත්නායක මහතා තරමක් තදින් කතා කළේය. තම කණ්ඩායම ඉදිරිපත් කරන මූලික කොන්දේසිය පිළිගන්නේ නැතිව මේ කරන කතාවල අරුතක් තිබේදැයි ඔහු ප්‍රශ්න කර තිබිණි. කෙසේ හෝ අවසානයේ නැවතත් අඟහරුවාදා හමුවන එකඟත්වය ඇතිව දෙපක්ෂය සාකච්ඡාව හමාර කරද්දී ඉතා ප්‍රණීත ආහාර සඳහා ප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් මොනෑක් හෝටලයේදී මෙම නියෝජිත පිරිසට රාත්‍රි භෝජන සංග්‍රහයක් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය විසින් පවත්වන ලදී.

සාකච්ඡාවේ දෙවැනිවටය ගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදි පැවැත්වෙන අතර එම කෙටි හමුවේදී ඒකාබද්ධය තමන්ගේ යෝජනාව නැවතත් අවධාරණය කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් එදින සවස 2.30ට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ගේ හමුවක් කැඳවා දෙපක්ෂය අතර එකමුතුවක් ඇති කළ හැකිද එසේ නම් ඒ සඳහා කළයුත්තේ කුමක්ද යන්න ගැන තීන්දුවක් ගන්නා බව මහින්ද යාපා මහතා රජයේ නියෝජිතයන්ට කීය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් පසු එදිනම හැන්දෑවේ තවත් හමුවක් සඳහා වේලාව යොදාගෙන දෙපක්ෂය වෙන්විය.

සවස 2.30ට පමණ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්විය. එහිදී ශ්‍රී.ල.නි.පය සමඟ එක්විය යුතුද යන මතය විමසූ කල මන්ත්‍රී කණ්ඩායමේ 80%ක් පමණ තරයේම කියා සිටියේ දෙපක්ෂය එක්නොවිය යුතු බවයි. එසේ කළහොත් තමන්ගේ ආණ්ඩු විරෝධී ජන පදනම බිඳ වැටෙන බවද මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය පෙන්වා දුන්හ. මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යස්ථව සියල්ල කණ්ඩායමට භාරදී නිහඬ පිළිවෙතක් ගෙන ගිය බව දැනගන්නට තිබේ.

එකඟතාව සම්බන්ධව අන්තිම තීන්දුව ගන්නට ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා සවස නැවත රැස්විය. එහිදීත් මන්ත්‍රීන් කීවේ එ.ජා.පය සමඟ කරන රජයෙන් ශ්‍රී.ල.නි.පය ඉවත්ව අවංකභාවය පෙන්විය යුතු වගය. ශ්‍රී.ල.නි.පයට එසේ කළ නොහැකි නම් තවදුරටත් සාකච්ඡා කරනවාද නැත්ද යන්න ගැන ඒ අයටම තීරණය කරන්නට භාර දෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා සිය සාකච්ඡා කණ්ඩායමට උපදෙසක් දුන්නේය. ඒබව ශ්‍රී.ල.නි.ප. සාකච්ඡා කණ්ඩායමට දන්වන්නට මහින්ද යාපා මහතා ක්‍රියාකරන බව පැවසීය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට වඩාත් බලපෑම් සහගත රාජපක්ෂවරැන් දෙදෙනකු ලෙස සැලැකෙන බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කාරණය සම්බන්ධයෙන් මත දෙකක් දැරීම විශේෂ තත්ත්වයකි. බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ හිතවාදීන්ගේ නිර්දේශය ශ්‍රී.ල.නි.පය සමඟ එක්ව තරග කරන්නට ගියහොත් එය පොහොට්ටුව කණ්ඩායමට ඉතා අවාසිදායක බවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ හිතවාදීන් පවසන්නේ පක්ෂය නොකැඩී තබාගන්නට දෙපක්ෂය එක්ව තරග කිරීම යහපත් බවකි. කෙසේ වෙතත් මෙබදු මතගැටුම් ඇතත් රාජපක්ෂ සහෝදරයන්ගේ මතගැටුම් සහෝදරකමේ සීමාවෙන් ඔබ්බට නොයයි. ඒ වනවිටත් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොහොට්ටුව කණ්ඩායම කළුතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට තනිව මැතිවරණය තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබිණි. ඒගැන ප්‍රකාශයක් කළ මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙන්ව ඇප තැන්පත් කළද එක්ව තරග කිරීමට එය බාධාවක් නොවේ යැයි සඳහන් කර තිබිණි. දෙවනුව ඒකාබද්ධය තවත් යෝජනාවක් ශ්‍රී.ල.නි.පයට ඒවා තිබිණි. එමඟින් කියැවුණේ රජයෙන් ඉවත් විය නොහැකිනම් අයවැයට විරුද්ධව ශ්‍රී.ල.නි.පය ඡන්දය දී විපක්ෂයට එක්වන ලෙසයි. ඒ ගැන ඇසූ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා තිබුණේ එහි සැබෑ තේරුම අයවැය පරදවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ගතයුතුය යන අදහස බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මයුරාපති කෝවිලේ භාරකරු හා ප්‍රකට ව්‍යාපාරික එස්. සුන්දරලිංගම් මහතාගේ පුත්‍රයා සහ ජානක බෝගෝල්ලාගම මහතාගේ දියණිය අතර විවාහය මයුරාපති කෝවිල් ශාලාවේදී සිදුවිය. ඊට අගමැති රනිල් - කතානායක කරු සහ හිටපු ජනාධිපති මහින්ද ඇතුළු ප්‍රභූන් පිරිසක් එක්ව සිටියෝය. මෙහිදී අගමැති රනිල් හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් විමසීය. කොහොමද? දැන් ඔයාලගේ දීගේ? රනිල් ඇසීය. මනමාලයා තීන්දුව ගන්නේ අපේ කට්ටිය කැමතිනම් විතරයි මහින්ද රනිල්ට පිළිතුරු දුන්නේය.

මේ අකාරයට ශ්‍රී.ල.නි.පයේ දෙපක්ෂය අතර දීගය තේරෙන නොතේරෙන මට්ටමට වැට උඩ තිබියදී එ.ජා.පයේ මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා මුණගැසී මෙම සාකච්ඡා ගැන ප්‍රශ්න කර තිබිණි. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුවූ බවට පැතිරෙන කටකතා සත්‍ය නොවේයැයි කීය. එසේනම් ඇයි ශ්‍රී.ල.නි.පය ඒකාබද්ධය සමඟ කතා කරන්නේ මංගල නැවත ජනපතිගෙන් විමසීය. “මංගල පක්ෂයේ මැති ඇමැතින්ගෙන් මට ඒවගේ ඉල්ලීමක් ඉදිරිපත් වුණාම ඒකට එකපාරට විරුද්ධවෙන්න බැහැ. ඒ නිසා එයාලගේ කැමැත්තට මම ඉඩ දුන්නා. යැයි ජනාධිපතිරයා කීය. මංගල මේ බව එ.ජා.ප. නායකයන්ට කඩිනමින් වාර්තා කළේය. එහෙත් මංගල සමඟ ජනපතිවරයා ප්‍රකාශ නොකළ ද මහින්ද මෛත්‍රී හමුව සිදුවූ බව සිය දේශපාලන සගයන්ට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මේ කතා පැතිර යද්දී ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා කදිම කතාවක් කීය. එහිදී අනුර කීවේ මහින්ද මෛත්‍රී සමගි කරන්න නම් ඒ දෙන්නා ටික වේලාවක් කාමරේකට දාලා දොරවහලා කියන්න ඕන. එතකොට එයාලා සමගිවෙලා එළියට ඒවී කියායි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරය කළේ නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනයට මුල්ගල් තැබීමට සහභාගී වෙමිනි. රටේ අලුත් රැකියා බිහිකරමින් නව ආර්ථික ගමනකට මුලපුරා ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ විග්‍රහයක් මගින් පෙන්වා දුන්නේය. මධ්‍යම පළාතට ජපානයෙන් ආයෝජන ගෙනඑන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා පළාතේ ජනතාවට කිසිදු කාලයක නොලැබුණ අවස්ථා උදාකරදෙන බව සඳහන් කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත්කර ඇත. පසුගියදා මාලබේදී එහි එක් මහජන රැස්වීමක් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වත්මන් පුට්ටූ ආණ්ඩුව පරාජය කර ජනතාවට වැඩකරන රජයක් ගොඩනැගීමට පියවර ගන්නා ලෙස අනුර දිසානායක මහතා ජනතාවට මතක් කළේය. ජනාධිපතිවරයා හොරු අල්ලන්නට හදන විට එ.ජා.පයේ ලොකු ලොක්කන් එම වැඩපිළිවෙළට ගේමක් දී කඩාකප්පල් කරන්නේ යැයි කී ජ.වි.පෙ. නායකයා මහින්ද, මෛත්‍රී, රනිල් යන තිදෙනාම ඉන්නේ එකම පක්ෂයක බවද පැවසීය. මෙය මජර දේශපාලන සංස්කෘතියක් බව පැවසූ හෙතෙම එය අවසන් කළහැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයිද කීය.

දෙමළ සන්ධානයද දැන් බරපතළ බෙදීමකට ලක්වසිටී. එහි සාම්ප්‍රදායික නායකත්වයට අභියෝග කරන කොටි ඩයස් පෝරාවට සම්බන්ධව සිටි පිරිස් උතුරේ වෙනම සන්ධානයකින් මැතිවරණයට තරග කිරීමට සැරසෙමින් සිටී. ඒ අතර දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණේ අන්තවාදීන් සමඟ එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වැරදී මත ප්‍රචාරය කරන බවයි. ඒ ගැන සිය කනගාටුව පළකරන බවද සම්පන්දන් මහතා මාධ්‍ය හමුවේ පැවසීය. මෙම ප්‍රශ්න මධ්‍යයේ ගිය බදාදා දෙමළ සන්ධාන නියෝජිතයන් හා නායක ස්වාමීන්වහන්සේලා පිරිසක් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද අනුග්‍රහයෙනි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු දේපල පනත යටතේ වරදක් කර ඇතැයි සඳහන් කරමින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගෝඨා උසාවි ගියේය. ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරු ඔහු වෙනුවෙන් කරුණු දැක්වූහ. අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න විනිසුරුතුමන්ලා ඉදිරියේ කැඳවනු ලැබූ නඩුවේදී ගෝඨා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනමක් දීමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කරුණු දැක්වූවාය. එහෙත් අධිකරණය තීන්දු කළේ මෙම නඩු නිමිත්ත රජයේ පොදු දේපොල සම්බන්ධව හෝ රාජ්‍ය සම්පත් සාවද්‍ය පරිහරණය සම්බන්ධ නඩුවකට ප්‍රමාණවත් නඩු නිමිත්තක් නොවන බවය. එය හුදෙක්ම වාණිජමය ගනුදෙනුවක් බවත් ගෙවිය යුතු මුදල් ගෙවා හමාර කර ඇති බවත් තීන්දු කළ උසාවිය ගෝඨා ලබන 06දා දක්වා අත්අඩංගුවට ගැනීම වළකමින් අතුරැ තහනමක් පැනවීය.

► ප්‍රකාශ ඉරුගල් බණ්ඩාර