2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

සුසිල් ජාේන් මහින්ද දාෙර වසාගෙන රහස් කතාවක

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 541

වැරදි හදාගෙන පෙරට යන රජයට බැඳුම්කරේ බාධාවක් නොවන බව අගමැති කියයි  
ගෝඨා රිමාන්ඩ් කරනවාදැයි දැනගන්නට නායක හිමිවරු ජනපති නිවසට
ඇලෝෂියස්ගේ ටැලිෆෝන් විස්තරෙන් මැති ඇමැතිලා ගෝරියක 
විමල්ගේ පක්ෂයේ අර්බුදයෙන් ලේකම් ගෙදර යයි 
සුජීවගෙන් ප්‍රහාර: සුජීවටත් ප්‍රහාර 
ෂැංග්‍රිල්ලා හෝටලයෙන් මහින්දට උපන්දින කේක් 
දිමු: හඬද්දි චන්ද්‍රිකා නිමල් රණ්ඩුවක

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම සතියේ සැමගේ අවධානය දිනාගත් ප්‍රධාන පුවත විය. බැඳුම්කර කොමිසමේ මූලික සාක්කි විභාගවලදී අග්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් වීම නිසා ඒ ගැන කොමිසමට ඉදිරිපත්ව කරුණු කීමට තමන් සූදානම් බව අගමැතිවරයා කොමිසමට දන්වා යැවීය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ කොමිසම විසින් සකස් කළ ප්‍රශ්නාවලියක් මුලින්ම අගමැතිවරයාට යවන ලදී. දිවුරුම් පෙත්සමක් මගින් ඊට පිළිතුරු දුන් පසු කොමිසමට තවදුරටත් කරුණු පැහැදිලි කරගත යුතු බව දැන්වීමෙන් අනතුරුව අගමැතිවරයා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින්නට තීන්දු කළේය.

එහෙත් අග්‍රාමාත්‍යවරයා කොමිසමට පැමිණෙන දින ඔහුගෙන් ප්‍රශ්න කළ යුත්තේ කවුද යන්න ගැන වාද විවාද හටගැනිණි. කොමිසමේ ප්‍රශ්න කිරීම් භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සහ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහත්වරුන්ය. එහෙත් අගමැතිවරයාගේ නිල තත්ත්වයේ හැටියට ඔහුගෙන් ප්‍රශ්න කළ යුත්තේ නීතිපතිවරයාම යැයි අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණි. එය පිළිගත් කොමිසම අගමැතිගෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව දප්පුල හෝ යසන්ත වෙනුවට අගමැති රනිල්ගෙන් ප්‍රශ්න කළේ නීතිපතිවරයාමය.
ගිය සඳුදා උදෑසන 9.50 පමණ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට පැමිණියේය. ඒ වනවිට එ.ජා.පයේ මැති ඇමැතිවරුන් 25 දෙනෙක් පමණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණ සිටියෝය. හරියටම උදේ 10.00ට සාක්කි කූඩුවට කැඳවූ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරුඹිණි.

කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා සහ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගමැතිගෙන් ඒ ගැන ප්‍රශ්න කළහ. විනාඩි 50කට වැඩි කාලයක් කොමිසම හමුවේ පිළිතුරු දුන් අගමැතිවරයා එම කටයුතු හමාරවීමෙන් පසු කොමිෂන් සභා පරිශ්‍රයේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය. ආණ්ඩුවකට වැරදීම් සිදුවිය හැකි නමුත් රජය වැරදි හදාගෙන ඉදිරියට යන බව අගමැතිවරයා මාධ්‍යයට කීය. යහපාලන රජය දිගටම යන බවත් තමන්ට සඟවන්නට කිසිවක් නැති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය. පසුගිය රජයේ ක්‍රියාකලාපය නිසා හටගත් ආර්ථික අර්බුදය ගැන තමන්ට බොහෝ කරුණු පැහැදිලි කිරීමට කොමිසම හොඳ අවස්ථාවක් දුන්නේ යැයි කොමිසමට ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉන් පසුදා අගමැතිවරයා බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වීම සම්බන්ධව බය නැති අගමැති යනුවෙන් පෝස්ටරයක් ගැසීමටද එ.ජා.ප. හිතවතුන් කටයුතු කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය පසුගිය සතියට යෙදී තිබිණි. ජන්ම දිනය උදාවන්නට පෙරදා රාජපක්ෂ මහතාටත් ඔහුගේ පවුලේ අයටත් කොළඹ නගරයේ අලුතින් ඉදිකළ “ෂැංග්‍රිල්ලා” හෝටලයේ රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කර තිබිණි. ඊට පෙරදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී ෂැංග්‍රිල්ලා හෝටලය විවෘත කෙරිණි. හෝටලයට සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණි රාජපක්ෂ මහතා ෂැංග්‍රිල්ලා සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් පිළිගනු ලැබීය. රාත්‍රී භෝජනය ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි. එහි විශේෂත්වය වූයේ පසුදාට එළඹෙන රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මධ්‍යම රාත්‍රියේ දී කැපීමට විශේෂ කේක් ගෙඩියක් ෂැංග්‍රිල්ලා කළමනාකාරීත්වය විසින් සකස් කර තිබීමයි.

පසුදාට යෙදුණු හිටපු ජනපතිවරයාගේ උපන් දිනයේ දී ඔහුට හිමිදිරි උදෑසනම කතා කොට සුබ පැතුවේ කතානායක කරු ජයසූරිය මහතාය. එය ඉතාම හෘදයංගම සුබ පැතුමක් බව මහින්ද සිය දේශපාලන සගයන්ට කියා තිබිණි. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විවිධ දේශපාලන පක්ෂ රැසක නායකයන් ද සුබ පැතුම් එක් කළෝය. මහින්දගේ විජේරාම නිවසට වෙනදා නැතිතරම් සෙනඟක් සුබ පතන්නට උදෑසනින්ම පැමිණ සිටියහ. කෙසේ හෝ ඔහු සියල්ලන්ගේ සුබ පැතුම් පිළිගෙන වහාම මහනුවර බලා පිටත්ව ගියේ උපන් දිනය නිමිත්තෙන් පැවති දානමය පින්කමට සහභාගි වීමටයි. මල්වතු අස්ගිරි අනු නා හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම පින්කමට පැමිණි අනු නාහිමිවරුන් දෙපොළ වදාළේ දැන් මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව හොඳ විවේකයක් ලබා දී ඇති බවත් එතුමා ළඟදීම ජනතාවට අවශ්‍ය වෙතැයි සිතෙන බවත්ය. මෙම පුණ්‍ය කර්මයෙන් පසු මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් මුණගැසීමට රාජපක්ෂ මහතා පැමිණියේය. එදින රාත්‍රියේ මධ්‍යම පළාතේ ඔහුට හිතවත් මන්ත්‍රීන් විසින් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පවුලේ අයට අර්ල්ස් රීජන්සි හෝටලයේ විශේෂ උපන් දින රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි.

එ.ජා.ප.ය, ශ්‍රී.ල.නි.ප.ය, පොහොට්ටුව සහ ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල වැඩිපුරම මහන්සි වන්නේ තම තමන්ගේ පක්ෂවලින් සුදුසු පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් තෝරාගන්නටයි. එයින් එ.ජා.ප.ය හා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂවල නාමයෝජනා සඳහා සුදුස්සන් තෝරාගැනීමේ දී එතරම් ප්‍රශ්න වාර්තා නොවීය. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂ අතර නාමයෝජනා බෙදාගැනීමේ දී උණුසුම් තත්ත්වයන් මතු වූ බව දැනගන්නට තිබේ.

එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් මේ සතියේ සිය විරෝධය පළ කළේ මැති ඇමැතින්ගේ දුරකතන ටැප් කරනවා යැයි ආරක්ෂක අංශවලට චෝදනාවක් නඟමිනි. මෙම චෝදනාව මතුවූයේ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වූ කරුණු කාරණා නිසාය. මැතිසබයේ කෝප් කමිටු සාමාජිකයන් ගණනාවක් කෝප් සභාවේ සිටිමින් බැඳුම්කර ගනුදෙනුව  ගැන විමර්ශනය කරන කාලයේ මෙම වංචාව ගැන චෝදනාලත් අර්ජුන ඇලෝෂියස් සමඟ දුරකතනයෙන් කතා කර තිබෙන බව ආරක්ෂක අංශ බැඳුම්කර කොමිසමට වාර්තා කර තිබිණි. ඒ සමඟම ඇවිස්සුණ විපක්ෂය මෙම චෝදනාලත් මන්ත්‍රීන් හා ඇමැතින් ගැන වහාම පරීක්ෂණයක් කළ යුතු බවත් ඒ අය කෝප් සභාවෙන් ඉවත් කළ යුතු බවටත් උද්ඝෝෂණය කරන්නට විය. සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා ආදී මැති ඇමැතින්ට මේ ගැන චෝදනා එල්ල විය. වඩාත් දුරකතන ඇමතුම් ලබාගත් බව වාර්තා වූ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂය සහ ජනාධිපතිවරයා පවා තදින්ම විවේචනය කළේ බැඳුම්කර සිද්ධිය ගැන ඔහු විසින් කුඩා පොතක් ද ලියා ඇතැයි කියමිනි. එම පොතේ මෙය එතරම් අර්බුදයක් නොවන බවට අර්ථ ගැන්වෙන ලෙස ලියා ඇති තොරතුරු හා කොමිසම හමුවේ හෙළිදරව් වී ඇති තොරතුරු පරස්පර නිසා මෙම විවේචන හටගත්තේය. 

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මාධ්‍යයට කීවේ තමන්ට අදාළ තැනැත්තා දුරකතනයෙන් කතාකොට උදව් ඉල්ලා සිටි විට තමන් එය ප්‍රතික්ෂේප කළ බවය. අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාට විපක්ෂය චෝදනා නඟද්දී ඔහු කීවේ අර්ජුන ඇලෝෂියස් සමඟ දුරකතන සබඳතා පැවැත්වූ මන්ත්‍රීන් හා ඇමැතින් 41 ක් පමණ සිටින බවත් ඒ සියල්ලන් ගැනම විමර්ශනයක් කළ යුතු වගත්ය. හර්ෂණ රාජකරුණා කීවේ ඇලෝෂියස් පවුල තම සීයාගේ කාලයේ පටන් දන්නා හඳුනන මිතුරන් බැවින් ඔවුන් සමඟ කතාබහ කළ බවය. කෙසේ හෝ මේ දුරකතන සංවාද තොරතුර හෙළිදරව් වීම නිසා කලබලයට පත් මන්ත්‍රීහු මේ ආකාරයට තමන්ගේ දුරකතන සංවාදවලට කන්දීම තම පෞද්ගලිකත්වයට හා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හානියක් බැවින් වහා මේ ගැන පරීක්ෂණයක් කළ යුතු බව කීහ. මෙය සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මගින් කරු ජයසූරිය කතානායකතුමා වෙත යොමු කැරිණි. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂය මැතිසබයේ දී ඉල්ලා සිටියේ බැඳුම්කර පරීක්ෂණය කළ සමයේ චූදිතයන් සමඟ සබඳතා පැවැත්වූ මැතිසබා සාමාජිකයන් වහාම කෝප් සභාවෙන් ඉවත් කරන හැටියටයි. කතානායකවරයා මෙම කාරණා ගැන වරප්‍රසාද කමිටුව ලවා විමර්ශනයක් කරන බවත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන බවත් සඳහන් කළේය. ඒ අතර බැඳුම්කර කොමිසම ද විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබීය. එහි සඳහන් වූයේ බැඳුම්කර කොමිසමේ නියෝග මත පොලීසිය මන්ත්‍රීන්ගේ දුරකතන ටැප් කර ඇතැයි ප්‍රචාරය වන කතාවේ කිසිදු සත්‍යයක් නැත කියායි. දුරකතන සංවාද සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වූයේ කොමිසමේ නියෝග මත අර්ජුන මහේන්ද්‍රන්ගේ හා අර්ජුන ඇලෝෂියස්ගේ ජංගම දුරකතන පරීක්ෂාවේ දී බවත් කොමිසම සඳහන් කළේය. මෙකී දුරකතන සංවාදවලදී අනාවරණය වූ කරුණු ලබාගැනීමක් හෝ ඒවා කොමිසමේ සාක්කි ලෙස ඉදිරිපත් කිරීමක් නොවන්නේ යැයිද කොමිසම සඳහන්කර තිබිණි.

පසුගිය සඳුදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ නිවසේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවල රැස්වීමක් පැවැත්වුණි. ඒ සඳහා සියලු පක්ෂවලට ආරාධනාකර තිබුණත් ඒකාබද්ධ විපක්ෂය සමග සිටින දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ආදී සන්ධාන නායකයන් පැමිණ සිටියේ නැත. නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැමිණි බව වාර්තා විය. විමල් තම අසනීප තත්ත්වය නිසා රැස්වීමට නොයන බව දිනේෂ් ගුණවර්ධන සමග මුලින් පවසා තිබුණත් පසුව රැස්වීමට ගොස් පැමිණි මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද වැනි අය මෙම රැස්වීම සඳහා යාපනයේ සිට විශේෂයෙන්ම කැඳවා තිබිණි. කම්කරු කොංග්‍රස නායක තොණ්ඩමන් ද කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර, ඒ.එල්.එම්. අතාවුල්ලා ආදී සුළු පක්ෂ නායකයන් ද නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ආදී ශ්‍රී.ල.නි.ප ජ්‍යේෂ්ඨයන් ද පැමිණ සිටියහ.  එහිදී තරමක ආවේගශීලී කතාවක් කළ ඒ.එල්.එම්. අතාවුල්ලා කීවේ රටේ ශ්‍රී.ල.නි.ප බහුතරය සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව පිළිගත යුතුය කියායි. ඒ නිසා ඔහු හා සුහදව ක්‍රියාකළ යුතු යැයිද අතාවුල්ලා කීය. මේ යථාර්ථය තේරුම්ගෙන ක්‍රියාකළ යුතුයැයි අතාවුල්ලා අවධාරණය කළේ ඉන් පසුවය.

තමන්ගේ නායකයන් ගණනාවක්ද මේ අතරට අදහස් පළකරනවිට ජනාධිපතිවරයා කීවේ දැන් ඒකාබද්ධය සමඟ සාකච්ඡාවකට කමිටු පත්කර ඇති බවත් ඔවුන් මෙම සාකච්ඡාව කරගෙන යන බවත්ය. එවිට දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ එය අදහස් හුවමාරුවක් පමණක් බවය. තවමත් තීරණයක් නැතැයිද ඔහු කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සඳුදා සවස ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහු පිටත්ව ගියේ එදින සවස කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේදී පවත්වන ලද (බිස්නස් ටුඩේ) සඟරාවේ වාර්ෂික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමෙන් අනතුරුවය. මෙහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයන් හමුවේ වික්‍රමසිංහ මහතා ලංකාවේ ආර්ථික තත්ත්වය හා රට ණය වී සිටින ආකාරය ගැන විග්‍රහයක් කළේය. අනතුරැව ඔහු මෙසේද කීය. (දවස තවමත් තරුණයි... අද උදෑසනින්ම මම බැඳුම්කර කොමිසමට ගිහිල්ලා ප්‍රකාශයක් කළා... ඔබ සැම හමුවන මේ සැන්දෑවෙන් පසුව මම ඉන්දියාව බලා යනවා රාජකාරි කටයුතු ගණනාවකට.)

ඉන්දියාවේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කාේවින්ද මුණගැසුණි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසියම් හේතුවක් මත අත්අඩංගුවට ගනු ඇත කියා ගිය අඟහරුවාදා විශාල ප්‍රචාරයක් ගියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ගෝඨා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති වගය. මේ ගැන නොයෙක් කතා පැතිර යද්දී ශ්‍රී.ල.නි.පයේ අමාත්‍යවරු ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මේ ගැන විමසූහ. ලක්ෂමන් යාපා, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගෙන් ගෝඨා ගැන විමසූවිට ඔහු මේ සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළ බව දැනගන්නට තිබේ. අනතුරුව එදින සන්ධ්‍යාවේ කොළඹ අවට ප්‍රධාන ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ කාරණය සඳහා ජනාධිපතිවරයා මුණගැසීමට වේලාවක් ඉල්ලා තිබිණි.

ඉත්තෑපාන ධම්මාලංකාර මහනායක හිමියන්, ඇල්ලේ ගුණවංශ නායක හිමියන්, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හිමියන් හා කොටගල අමරකීත්ති හිමියන්හා ආචාර්ය වල්පොල පියනන්ද නායක හිමියන් මෙම ස්වාමීන් වහන්සේලා අතර වූහ. පැය 1 ½කට වැඩි කාලයක් උන්වහන්සේලා ජනාධිපතිවරයා සමඟ ගෝඨාගේ ප්‍රශ්නය සාකච්ඡා කළෝය. එවිට ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ රජය මගින් වංචා දූෂණ විමර්ශනයට කමිටුවක් පත්කර තිබෙන බවයි. එම කමිටුවේ මූලික විමර්ශනවලින් පසුව ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට නීති අංශවලට පවරන බව ජනාධිපතිවරයා කීය. එවිට ඉත්තෑපාන මහ නාහිමියන් හා ඇල්ලේ ගුණවංග හිමියන් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ වරදක් කර තිබේ නම් නඩු පැවරීම ගැන වරදක් නොකියන බවය. තම මව්පියන්ගේ ස්මාරකය සෑදීමට වැයවූ මුදලින් මිලියන 30ක් පමණ ගෙවා දමා ඇතැයි තමන් වහන්සේද දන්නේ යැයි උන්වහන්සේ වැඩි දුරටත් කීහ. යුද්ධය නිමාකරන්නට මූලිකත්වය ගත් අය කොටින් හා සෙසු අපරාධකරුවන් සමග බන්ධනාගාරවල දැමීම සුදුසු නැත යන්න පැමිණ සිටි නායක හිමිවරුන්ගේ අදහස විය. අවසානයේ මේ ගැන සාධාරණය ඉටු කරන්නේ යැයි ජනාධිපතිවරයා නායක හිමිවරුන්ට ප්‍රතිඥා දුන් බවද දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වල විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. එහි දේශපාලන මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයන් අතර බෙදීමක් හටගෙන තිබුණ බව පසුගිය කාලය පුරාම වාර්තා විය. මෙය මුලින්ම කරළියට පැමිණියේ පියසිරි විජේනායක ජාතික සංවිධායකවරයා පක්ෂයේ තීරණයට පටහැනිව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟය. ඔහු එදා සඳහන් කළේ පක්ෂ නායක විමල් වීරවංශ මහතා මැතිසබයට බෝම්බ ගැසිය යුතු යැයි කී කතාව වැරදි බවය. මේ ගැන කේන්ති ගත් විමල් වීරවංශ මහතා පියසිරි පක්ෂයෙන් ඉවත් කිරීමට යෝජනා කළ ද ඊට පක්ෂයේ ප්‍රධානීන් ගණනාවක් විරෝධය පළකළ බව කියැවිණි. මැතිවරණයට පෙර සිටම තමන්ට පක්ෂය නොසලකන බවට පියසිරි සිය හිතවතුන් සමඟ චෝදනා කළ බවද සැලවිය. කෙසේ හෝ පියසිරි විජේනායක පක්ෂ මහ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ හා මන්ත්‍රී වීරකුමාර දිසානායක වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන්නේ යැයි ආරංචි පැතිරිණි. විමල් වීරවංශ මහතා දේශපාලන හේතුමත බන්ධනාගාරගතව සිටියදී ඔහුට එරෙහිව මේ පිරිස තිරය පිටුපස යම් යම් දේ කළ බවද කියැවිණි. මේ අය පෙරළා චෝදනා කළේ විමල් සිරගතව සිටියදී වීරවංශ මහතාගේ බිරිය ඇතුළු පිරිසක් පක්ෂය මෙහෙයවන්නට පටන්ගත් බවය. කෙසේ හෝ මේ කාරණා නිසා පක්ෂ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ඇතුළු කිහිපදෙනෙක් පක්ෂය තුළ කොන්වූ ලකුණු පෙනිණි. පසු කාලයේ පක්ෂයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ද ඉවත්ව සිටි ලේකම්වරයාට තනතුරින් ඉවත්වන ලෙස එල්ලවූ බලපෑම් නිසා ඔහු ඉල්ලා අස්වූ බව වාර්තා විය. ප්‍රියන්ජිත් විතාරණ ඉවත්වීමෙන් හිස්වූ ලේකම් ධූරයට නීතීඥ කපිල ගමගේ මහතා පත් කෙරෙනු ඇතැයි පසුව දැනගන්නට ලැබිණි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ඔහු කොළඹ හයට් හෝටලය ඉදිකිරීමේ ව්‍යාපෘතිය භාරව සිටියදී රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා නගමිනි. රාජ්‍ය දේපොළ අවභාවිතය හා රාජ්‍ය අරමුදල් සාවද්‍ය පරිහරණය ඔහුට නගා තිබූ චෝදනාය. අත්අඩංගුවට පත් ගාමිණී දින 8ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියේය. මේ ගැන මහේස්ත්‍රාත් අධිකරණයේ කෙරුණ මූලික පරීක්ෂණය සඳහා දින ගණනක් ගතවූ අතර අවසානයේ කොටුව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ ගාමිණී සෙනරත් මහතාට එල්ල වූ චෝදනාවල නීතිමය පදනමක් නැති බවය. ගාමිණී ප්‍රමුඛ වගඋත්තරකරුවන් පොදු දේපොළ වැරදි ලෙස පරිහරණය කිරීමත් හෝ සාපරාධී ලෙස විශ්වාසය කඩකර ඇති බවත් කිසිදු තොරතුරක් අනාවරණය නොවන බවත් අවසානයේ මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය. ඒ අනුව ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදාහරින්නට මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය. 

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉන්ධන හිඟය පිළිබඳ ප්‍රචාරය වීමෙන් නැවත වරක් ජනතාව අපහසුතාවයට පත්වීම ගැන ඇමැතිවරැ අදහස් පළ කළෝය. තෙල් හිඟයක් ගැන දූෂමාණ ආරංචිය ප්‍රචාරය කළේ ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රබලයෙක් බව ඇමැති අර්ජුන කීය. එවිට අනුර යාපා අමාත්‍යවරයා කීවේ ඉන්ධන හිඟයක් ගැන ප්‍රචාරය වූ සැණින් ජනතාව කලබල වන්නේ තෙල් සංස්ථාව ගැන විශ්වාසයක් නොමැතිකම නිසා බවය. අමාත්‍ය චම්පික රණවක ඇතුළු පිරිසක් කීවේ සමහර ඉන්ධනහල් තෙල් නැත කියා වාහන හරවා යැවීමෙන් ජනතාව අන්දමන්ද වූ බවය. මේ ගැන වහා පියවරක් ගත යුතු යැයි ඇමැතිවරු පෙන්වා දුන්හ.

වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙපොළක් වන සුසිල් ප්‍රේමජයන්ත හා ජෝන් සෙනවිරත්න යන මහත්වරු පසුගිය බදාදා උදෑසනින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගියෝය. සිය නිවසට පැමිණි දේශපාලන සගයන් දෙදෙනා සමඟ ඇතුළු කාමරයකට වැදී දොර වසාගත් මහින්ද පැය 1 ½ක පමණ බරපතළ දේශපාලන සාකච්ඡාවක නිරත විය. මේ අය මහින්දලා, මෛත්‍රීලා සමඟ සමගි කිරීම ගැන කතාකළ බව පමණක් ආරංචිය. එහෙත් ඊට වඩා තීරණාත්මක තීන්දු ගණනාවකට මෙම පිරිස එළඹ ඇතැයි ද තිරය පිටුපස ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන මැතිවරණය අධිකරණ ක්‍රියාමාර්ග මගින් නැවත නැවතත් කල්දැමීමට තැත්කරන බැවින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනා ගෙන ඒමට ජ.වි.පෙ. සහ ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. මේ ගැන අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක අනුර දිසානායක කීවේ ඡන්දය දිනාගන්නට ඕනෑම දේශපාලන බලවේගයක් හා එක්ව සටන් කරන බවයි. ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ අමාත්‍ය මුස්තාපාට සීමානිර්ණයේ වැරදී ඇත්නම් එය මාස 9කට පසු පෙනීම පුදුම සහගත බවයි. මෙය ආණ්ඩුවේ ලොක්කන් ඡන්දයට බියෙන් ඡන්දය කල්දමන්නට කළ උප්පරවැට්ටියක් නිසා අමාත්‍ය මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව ජ.වි.පෙ. කීය.

එම යෝජනාව ඔවුන් සිකුරාදා භාර දීමට සැලැසුම් කරද්දී ඉස්සර වූ ඒකාබද්ධ විපක්ෂය ගිය බ්‍රහස්පතින්දා කතානායකවරයාට තම පක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නේය. මේ විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්කොට විවාදයට දින නියම කිරීම කතානායකවරයාගේ වගකීමකි. එහෙත් ජ.වි.පෙ. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව එ.ජා.ප.යද, ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨයන් ද ඡන්දය කල්දැමීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇති බැවින් මෙම විශ්වාසභංග විශාල අර්බුදයක් බවට පත්වීම වැළැක්විය නොහැක. මෙහිදී ප්‍රධාන පක්ෂවල ඡන්ද බෙදීයාහැකි බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ශ්‍රී.ල.නි.ප.යේ මධ්‍යමකාරක සභාව පසුගිය බදාදා රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වූයේ ඉදිරි පළාත් පාලන ඡන්දය ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී.ල.නි.ප.ය හා එක්ව තරග කිරීම ගැනයි. හිටපු අගමැති දිමු ජයරත්න මහතා පක්ෂය ගැන ඉතා හැඟීම් බර ලෙස කඳුළු සලමින් කීවේ පක්ෂය සමගි වන්නැයි කියායි. පක්ෂය කැඩීගිය සෑම මොහොතකම පරාජය වූ බවද දි:මු: පෙන්වා දුන්නේය.

ඒ සමගි කතාව යද්දි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ද සභාවට පැමිණියාය. ඇය පැමිණ අසුන් ගන්නවාත් සමඟ නිමල් සිරිපාල අමාත්‍යවරයා කතා කරන්නට විය. “එ.ජා.ප.යේ පසු පෙළ දැන් ජනාධිපතිතුමාට ගහන්න පටන් අරන්. එයාල තනි ආණ්ඩුවක් හදනවය කියලත් කියනව. ඊයේ සුජීව නියෝජ්‍ය ඇමැතිත් ප්‍රසිද්ධියේ දොස් කීව. ඒත් ඔය කතා රටේ මාර්කට් කරන්න බැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වෙලා සටන් කරන්න ඕනෑ. යයි නිමල් සිරිපාල අමාත්‍යවරයා කියද්දි චන්ද්‍රිකා මැතිනියට තදින් කේන්ති ගියේය. “ඔයාලා කියනවනෙ යූ.ඇන්.පී.ය බණිනවය කියල. ඒත් පොහොට්ටුකාරයෝ ගහන ගැහිල්ල පේන්නේ නැහැ. චන්ද්‍රිකා කීවාය. ඊට පිළිතුරු දුන් නිමල් “මැඩම් අපි පොදු සතුරා හඳුනාගන්න ඕන. ශ්‍රී.ල.නි.ප.යේ පොදු සතුරා එ.ජා.ප.යයි. පොදු සතුරා අපට ගහන එකයි අපේ මිනිස්සු කියන එකයි දෙකක්. අනික අපේ අය එහෙමම ගහන්නෙ නැහැ. නිමල් කීය. “ඒ කියන්නේ ඔය හොරැත් එක්ක අපිට යන්න කියලද? චන්ද්‍රිකා කෝපයෙන් ඇසීය. “ආ හොරුද එහේට වඩා හොඳ හොරු දැන් මෙහේ ඉන්නව... හොරු ගැන කියන්න ගියොත් ඒක ලොකු කතාවක්... කියමින් නිමල් සිරිපාල අමාත්‍යවරයා චන්ද්‍රිකා මැතිනියගේ සැර කතාවලට දැඩි පිළිතුරු දෙද්දී ඇය පිටවගියේ කෝපයෙනි. 

අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ආදින්ද කීවේ සමගිව තරග කළ යුතු බවයි. මාධ්‍යවල ව්‍යාජ වාර්තා පළකොට පක්ෂය සමගිය කඩන්න හදන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා පෙන්වා දුන් අතර පක්ෂය සමගි නූනොත් ජයග්‍රහණය දුරස් වනබව නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා ඇතුළු බොහෝ දෙනෙක් පැවසූහ.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර