2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ඡන්දෙ අායෙත් කල් යයිද?

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240


ජනපතිට පහර දෙන ආණ්ඩුවේ අය ගැන අහන්න එ.ජා.ප. මන්ත්‍රීහු සැරසෙති
දූෂණ වංචා සෙවීමේ ප්‍රමාදය සොයන්න අගමැතිගෙන් කමිටුවක්
පියංකර ජයරත්න සුසිල් ප්‍රේම්ජයන්ත ඒකාබද්ධ රැස්වීමට ගෙනෙයි
ශ්‍රීල.නි.ප. සමගිය සුන් 
ගාමිණී සෙනරත් බන්ධනාගාර රෝහල එපා කියයි 
ඩඩ්ලි සිරිසේන, නිවසේ මහින්ද, මෛත්‍රී හමුවූ කතාව මහින්ද ප්‍රතික්ෂේප කරයි 
ජ.වි.පෙ. ඉල් මහ විරු සමරුව මහ ඉහළින්

මැතිසබයේ අයවැය විවාදය පැවැත්වුණත් ඒ ගැන සමාජයේ ප්‍රබල උනන්දුවක් ඇති බවක් නොපෙනේ. මැතිසබයට පිටින් හමන්නට පටන්ගෙන තිබෙන දේශපාලන කුණාටු නිසා මුළු දේශපාලන පද්ධතියේම දක්නට ඇත්තේ කැළඹුණු ස්වභාවයකි.ආණ්ඩුව, ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව දෙමළ සන්ධානය හා වතුකර පක්ෂවලද මෙම ව්‍යාකූල බව කැපී පෙනේ. හදිසියේම දේශපාලනය මෙලෙස ආකූල ව්‍යාකූල බවට පත්වූයේ කල් ඇදෙමින් තිබූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ගැසට් පත්‍රය නිකුත් වී ඡන්දයට දේශපාලන පෙරහැර සූදානම් වීමත් සමඟය. එහෙත් දැන් ඊටද එරෙහිව තවත් නඩුවක් වැටී තිබේ. සීමා නිර්ණය සම්බන්ධව ඇපැල් උසාවියේ පවරා තිබෙන මෙම නඩුව හේතුවෙන් නැවතත් ඡන්දය කල් යයිද යන ප්‍රශ්නය මතුව ඇත.

ආණ්ඩුව කරන එ.ජා.ප.ය සහ ශ්‍රීල.නි.ප. අතර තිබෙන නොහොඳ නෝක්කාඩුකම් තදින්ම කැපී පෙනෙන්ට පටන්ගෙන ඇත. බැඳුම්කර වංචාව සම්බන්ධව සොයා බලන්නට පත්කළ ජනාධිපති කොමිසමට අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවීම බොහෝ ප්‍රශ්නවලට මුල් වී ඇති බව පෙනේ. අගමැතිවරයා කොමිසමට කැඳවීමෙන් පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙවරක්ම පෞද්ගලිකව මුණගැසී දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ. මෙම සාකච්ඡා සඳහා එම දෙදෙනා පමණක් එක්ව සිටි නිසා එහි තොරතුරැ අනාවරණය වී නැත. නමුත් බැඳුම්කර කොමිසමට අගමැතිවරයා යාමෙන් පසු හටගන්නා තත්ත්වයන් ජනාධිපතිවරයා විස්තර කර ඇතැයි දැනගන්නට ඇත.

ඒ අතරතුර අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරුන් ජනාධිපතිවරයා පෞද්ගලිකව මුණගැසී අගමැතිවරයා කොමිසමට කැඳවීම ගැන සිය පක්ෂයේ අකමැත්ත ප්‍රකාශ කළ බව දැනගන්නට තිබේ. නමුත් ජනාධිපතිවරයා ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව සඳහන්ය. එසේම ආණ්ඩුවේ සිටින ඇතැමුන් තමන්ටත් තම පවුලේ උදවියටත් යම් යම් වෙබ් අඩවි යොදාගෙන පෞද්ගලිකව පහර ගසන බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණසමරු උළෙලේදීය. මෙම පහරදීම්වලට හේතුව බැඳුම්කර කොමිසම පත්කොට මේ මහා මගඩිය ගැන සොයාබැලීම බවද හෙතෙම කීය.

මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් අනතුරුව කාවින්ද ජයවර්ධන හා චමින්ද විජේසිරි ඇතුළු එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් ජනාධිපතිවරයාගෙන් මේ ගැන කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් කරන්නට යන බව වාර්තා වෙයි. ඒ සඳහා මැතිසබයේදී ලිපියක් සකස් කළ බවද කියැවේ. පවතින තත්ත්වය යටතේ ඉදිරි පළාත් පාලන ඡන්දය ශ්‍රීල.නි.ප.ය හා එ.ජා.ප.ය එකට ඉල්ලීමත් සිදුනොවන බව ඉතා පැහැදිලිය. මහින්ද අමරවීර වැනි ශ්‍රීල.නි.ප. ප්‍රබලයන්ද කබීර් හෂීම්, අජිත් පී. පෙරේරා වැනි එ.ජා.ප.යේ මැති ඇමැතිහුද තම තමන් වෙනම මැතිවරණ සටන කරන බව කියා සිටිති.

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම අතර සුහදතාවක් ගොඩනංවා දෙපක්ෂය එකතු කිරීමේ උත්සාහයක් පසුගිය කාලය පුරාම තිරය පිටුපස දියත් විය. ශ්‍රීල.නි.ප.යේ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත වැනි ජ්‍යෙෂ්ඨයෝ මේ සඳහා මුල් වූහ. ඒකාබද්ධ විපක්ෂයෙන් මෙබඳු ප්‍රයත්න දෙකක් දෙආකාරයකට ක්‍රියාත්මක කැරිණි. මහින්ද රාජපක්ෂ මහතා දැනුවත්ව එක් පැත්තකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යම් යම් සාකච්ඡාවල නිරත විය. මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ආදීහු බැසිල් සමඟ අදහස් හුවමාරු කරගත්හ.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හරහා දේශපාලන පාලමක් සෑදීමට උත්සාහ කළේය. මේ සඳහා නොයෙක්වර ගෝඨාභය සමඟ කතාකොට මහින්ද මෛත්‍රී මුහුණට මුහුණ හමුවීමේ වැදගත්කම ගැන ඩඩ්ලි දැඩිව අවධාරණය කර තිබූ බව ආරංචිය. ඒ අනුව දෙදෙනා ඩඩ්ලි සිරිසේනගේ නිවසේදී මුණගැසිය යුතු යැයිද යෝජනා වූ බව සඳහන් විය.

මහින්ද රාජපක්ෂ මහතා මේ ඉල්ලීම සම්බන්ධව මධ්‍යස්ථ ස්ථාවරයක පසුවිය. ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමටත් මේ ගැන කරැණු විමසූ සිය හිතවතුන්ටත් කියා සිටියේ රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ආරාධනා කළොත් එවිට තමන් එබඳු සාකච්ඡාවකට සහභාගි වන බවය. තමන් ජනාධිපති කාලයේ එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට ඇරයුම් කළ විට ඔහු තමන් මුණගැසුණු බවද හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය. තමන් මෛත්‍රී මුණගැසුණත් එකට ඡන්ද ඉල්ලීම ගැන සාකච්ඡා නොකරන බව කී මහින්ද ඒ ගැන අන්තිම තීන්දුව ගන්නේ ඒකාබද්ධ විපක්ෂය බව කියා සිටියේය.

ශ්‍රීල.නි.ප.ය හා එ.ජා.ප.ය අතර සබඳතාව දිනෙන් දින දුරස් වෙද්දී ශ්‍රීල.නි.ප.යේ සමගි සම්මුති කතාව කරළියට ඒම ගැන ඒකාබද්ධය තුළ ප්‍රබල මත ගැටුමක් හට ගැනිණි. ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මෙන්ම විමල් වීරවංශලාද දෙපක්ෂය හවුල් වී ඡන්දය ඉල්ලීමට තරයේම විරැද්ධ බව කීහ. ප්‍රසන්න සාම කතා සඳහා කෙරෙන සූදානම ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පවා විමසා ඇති අතර ගෝඨා ප්‍රසන්නට ඒ ගැන සැර පිළිතුරක් ලබාදුන් බව කියැවිණි.

කෙසේ හෝ මේ ගැන ගිය සතියේ ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කළෝය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවට බැසිල් රාජපක්ෂ මහතා එදින සහභාගි නොවීම කැපී පෙනුණි. බැසිල් පණිවුඩයක් එවා තිබුණේ තමන්ගේ ලිත් නඩුවට නීතිඥයන් සමඟ බිසී වන නිසා පැමිණිය නොහැකි බවය. එහෙත් ඒකාබද්ධයේ මන්ත්‍රීන් බහුතරයකගේ මතය වූයේ බැසිල් ඕනෑකමින්ම එදින පක්ෂනායක හමුවට නොපැමිණි බවය. අවසානයේ මේ සතියේ ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා දෙපක්ෂයේ සමගි සම්මුති කතා ගැන අන්තිම තීරණය ගන්නට තීන්දු විය.

ඒ කතා සියල්ල අතරතුර තිරය පිටුපස තවත් යමක් සිදුවූ බවට ආරංචියක් ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ සීමිත පිරිසක් මෙම ආරංචිය සත්‍යදැයි සොයා බලන්නට වූහ. ආරංචියෙන් කියැවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා රහසිගතව ඩඩ්ලි සිරිසේන මහතාගේ නිවසේදී හමුවූ බවයි. මෙම හමුවේදී සුහද කතාබහක් සිදුවූ බවද කියැවිණි. මෙම ආරංචිය දැනගත් කිහිප දෙනකු මහින්ද රාජපක්ෂ මහතා අමතා කතාව ඇත්තදැයි විමසූවිට ඔහු කීවේ මෙය බොරු කතාවක් බවයි. එහෙත් ජනාධිපතිවරයා ආරාධනා කළ විට තමන් ඔහු හමුවන බවද එසේ ප්‍රකාශ කළ හිතවතුන්ට නැවතත් කියන්නට රාජපක්ෂ මහතා අමතක නොකළේය.
ඒකාබද්ධයේ පසුපෙළ මන්ත්‍රීන් බහුතරයක්ම සිටියේ ශ්‍රීල.නි.ප.ය සමඟ මැතිවරණ තරග කරන්නට ගොස් පසුගිය මහ මැතිවරණයේදී මෙන් අවසන් මොහොතේ තමන් රැවටීමකට ලක්වන වගයි. තම ගම්බද පාක්ෂික හිතවතුන් මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීන්ද එකතුවකට අකමැති බව බැසිල් රාජපක්ෂ මහතාට දිගින් දිගටම දැන්වූ බව කියැවිණි.

මෙම පසුබිමේ ශ්‍රීල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර අමාත්‍යවරු සැර ප්‍රකාශ කරමින් ඒකාබද්ධයට පාඩම් උගන්වන බව කීහ. වෙනම වේදිකාවලට යන අයට විනය පියවර ගන්නා බව මහින්ද අමරවීර කියද්දී දුමින්ද දිසානායකද එම අදහස අනුමත කළේය. මේ ප්‍රකාශ නිසා ශ්‍රීල.නි.ප.යේ සාම සාකච්ඡා ගැන උනන්දු වූ ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත වැනි අය කලබල වූහ. ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා තම අමාත්‍යංශයේ නිල කටයුත්තකට ආර්ජන්ටිනාව බලා පිටත්ව යන්නට පෙර දෙපක්ෂය අතර සාමයක් නැතිනම් ජනමතය අනුව තීන්දුවක් ගන්නා බව ප්‍රසිද්ධියේම කීවේය. ඔහු පුංචි ඡන්දයට නාමයෝජනා භාරදීමත් සමඟ ඇමැතිකමෙන් හා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීනව අසුන් ගන්නා බව සිය නිවසේ අයට පවා දැනුම් දී ඇතැයි කියැවිණි. සුසිල් ප්‍රේමජයන්ත මහතාද එවැනිම ස්ථාවරයක සිටින්නේ යැයි සඳහන් විය. ජෝන් හා සුසිල්ට අමතරව සුසන්ත පුංචි නිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ටී.බී. ඒකනායක ආදීන්ද කවර මොහොතක හෝ රජයෙන් ඉවත්වීමට ඉඩ ඇතැයි කියැවිණි.

අනුරාධපුරයේදී පොහොට්ටුව සංවිධානය කළ ජනරැළිය පැවැත්වුණේ ඒ අතරතුරය. මේ රැස්වීම සඳහා සෑහෙන ජන සහභාගීත්වයක් තිබූ අතර ශ්‍රීල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායකට ඔවුන් ගමේදීම අභියෝග කිරීම රැස්වීමේදී දක්නට ලැබුණ ප්‍රධාන ලක්ෂණයකි. එහි ගිය මහින්ද රාජපක්ෂ මහතා නවාතැන් ගත්තේ ප්‍රකට බස් ව්‍යාපාරික ඩී.එස්. ගුණසේකරගේ නිවසේය. අනුරාධපුරයේදී මහින්ද මුණගැසුණු පාක්ෂික හිතවතුන්, මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනෙක් ඔහුට තදින්ම කියා තිබුණේ ශ්‍රීල.නි.ප. දෙපක්ෂය එක්ව මැතිවරණවලට නොයා යුතු බවයි. එසේ ගියහොත් ජනපදනම දෙදරා යන බවද බොහෝ දෙනා කීහ.

ඊළඟට මෙම කතාබහට පෝර දමන තවත් සිදුවීමක් සිදුවිය. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතිශය සමීප නිලධරයකු මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලම චරිතයක් වූ ගාමිණී සෙනරත් මහතා අත්අඩංගුවට ගැනීමයි. ඒ හා බැඳුණු කතා ගණනාවකි. ගාමිණී අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබියදී ඔහු කොළඹින් බැහැරව සිට ඇත. එසේ සිටියදී සාගල රත්නායක නීතිය හා සාමය අමාත්‍යවරයාගේ දෙනියායේ නිවසේදී ගාමිණී සෙනරත් මහතා අමාත්‍ය සාගල හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් ගත් බවට සමාජ ජාල වෙබ් අඩවි පළකළ වාර්තාව ඇතැම් විද්‍යුත් මාධ්‍ය ප්‍රධාන පුවතක් කර ගත්තේය. ගාමිණී සෙනරත් සමඟ දෙවිනුවර බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර හා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු වන කාල්ටන් තිලක්ද මෙම භෝජනයට පැමිණි බව කියැවිණි. එහෙත් සාගල රත්නායක අමාත්‍යවරයා ගාමිණී තමන් හමුවූ කතාව තරයේම ප්‍රතික්ෂේප කරමින් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් සුප්‍රීම් උසාවියේ නඩුවක් ගොනුකර තිබියදී සිය කාර්ය මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨතම හා සමීපතමයකු වන ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වූයේ කොතැනින්දැයි මහින්ද රාජපක්ෂ මහතා සොයා බැලීය. ඒ සිද්ධියට අදාළ සියලු තොරතුරැ හිටපු ජනාධිපතිවරයාට දේශපාලන හා ආරක්ෂක අංශ වෙතින්ම ලැබුණු බව ඔහු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ට ප්‍රකාශ කර තිබිණි. අනතුරුව එම මන්ත්‍රී පිරිසට ඔහු කීවේ (තමන් හෝ තම හිතවතුන් බියට පත් කොට පක්ෂය තුළ සාමය ඇති කරන්නට යමෙක් සිතනවා නම් එය බරපතළ වැරදීමක්) බවයි.

ගිය අඟහරුවාදා සහ සිකුරාදා ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්නගේ සුවදුක් බැලීමට රාජපක්ෂ මහතා මැගසින් බන්ධනාගාරයට ගියේය. එහිදී ගාමිණීලා සමඟ හිරගෙදර ජීවිතය ගැන කතාබස් කරමින් ඔවුන්ගේ ආහාරපාන හා පහසුකම් ගැන සොයා බැලීය. ගාමිණී සෙනරත් එවිට හිටපු ජනපතිට පවසා තිබුණේ තමන්ට රෝගී තත්ත්වයක් ඇති නිසා බන්ධනාගාර රෝහලට යන ලෙස වෛද්‍යවරැන් පැවසුවත් තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කොට බන්ධනාගාරයේම රැඳී සිටින්නට තීන්දු කළ වගයි. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග, මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරු ද පැමිණියහ. වැලිකඩ සිරමැදිරිය ඉදිරිපිටදී මහින්ද රාජපක්ෂ මහතා ගාමිණී සෙනරත් මහතා සහ මහින්ද යාපා ඉදිරිපිටදී ප්‍රසන්න රණතුංග විශේෂ දෙයක් පැවසීය. මේ විදියට වැඩ කර කර මොන සාම කතාද? ආයෙමත් සාම කතා කරන්න ගියොත් මම නම් ඉල්ලා අස්වෙනව.. ඔහු දැඩිව කීය. මේ අය ගාමිණී සෙනරත් සමඟ කතා කොට පිටත්ව ගිය පසු ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් ද ඔහුගේ සුවදුක් විමසීමට පැමිණියේය.

කෙසේ හෝ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය ගැන තීන්දුවක් ගන්නට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක දී රැස් විය. ඉදිරි පළාත් පාලන ඡන්දයට ශ්‍රී.ල.නි.ප.ය සමඟ සම්මුතියක් ඇතිකරගත යුතුද යන්න ගැන මෙහිදී ඒකාබද්ධයේ මන්ත්‍රීන්ගේ මතය විමසනු ලැබීය. එහිදී බහුතරය කීවේ එවන් සම්මුතියක් ඇතිකර නොගත යුතු බවයි. ඒ සඳහා පත් කර තිබෙන සාකච්ඡා කණ්ඩායම හරිහැටි ක්‍රියා කරයිද කියාත් සමහරැ ප්‍රශ්න කළහ. ඒ අතර රැස්වීම පැවති කමිටු කාර්යාලය අසලින් ගමන් කරමින් සිටි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සාම කතා ගැන දැඩි ලෙස උනන්දු වූ නිසා ඔහු මෙම හමුවට කැඳවා තත්ත්වය පැහැදිලි කර දෙන්නැයි මන්ත්‍රීන් ගණනාවක්ම යෝජනා කළහ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන පියංකර ජයරත්න මහතා වහා ගොස් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවට කැඳවාගෙන පැමිණියේය. අනතුරැව සුසිල් ඉදිරිපිටදීම ශ්‍රී.ල.නි.ප.ය සමඟ ගනුදෙනු කළ නොහැකි බවට මන්ත්‍රීවරු කරුණු කීහ. ඊට ටික වේලාවක් සවන්දුන් ඔහු(මම මේ රුස්වීමට අදාළ නැහැනේ. මම මේ ‍ෙයා්ජනා ගැන මොනවහරි බලන්නම්) කියා පිටව ගියේය. අනතුරුව ශ්‍රී.ල.නි.පයෙන් යෝජනාවක් ඇත්නම් එය ලිඛිතව ගෙන්වා ගැනීමට තීන්දු කර රැස්වීම හමාර කළේ එදින රැස්වීමට ඒකාබද්ධයේ විමල් වීරවංශ  හා වාසුදේව නානායක්කාර මහත්වරුන් ද නොපැමිණි නිසාය.

සම්මුති ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වය වන එ.ජා.ප.ය තනිවම ප්‍රාදේශීය සභා ඡන්දයට සැරසෙමින් සිටී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තරුණ අපේක්ෂකයන් හා කාන්තාවන් වැඩිපුර නාමයෝජනා පත්‍රවලට ඇතුළත් කෙරේ. මේ දිනවල සිරිකොත මැඳුරේදී ඒ ගැන සම්මුඛ පරීක්ෂණ සිදුවන බවද සඳහන්ය. මෙම කටයුතු අතරතුර ගිය බදාදා එ.ජා.පයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවන ලදී. මෙම රැස්වීම බොහෝ තීරණාත්මක හමුවක් වෙතැයි අපේක්ෂා කළ ද එහි බරපතළ තීන්දු ගත් බවක් සඳහන් නොවේ. මෙහිදී පුළුල්ව සාකච්ඡා කළේ පසුගිය රජය යටතේ සිදුවූවා යැයි කියන වංචා දූෂණවලට අදාළ ලිපිගොනු සම්බන්ධව නීතිමය පියවර ගැනීම පමාවීමයි. මේ ගැන විමර්ශනයට සාගල රත්නායක හා තලතා අතුකෝරාළ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළේය. මෙම කමිටුව දූෂණ වංචා විමර්ශන ප්‍රගතිය සතියකට වරක් රැස්වී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් ලබාදීමට නියමිතය.

අනතුරුව පළාත් පාලන ඡන්දයට නාමයෝජනා ලබාදීම සඳහා නිර්දේශ කිරීමට තවත් කමිටුවක් පත් කළේය. ඉදිරි මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය සඳහා ගත යුතු පියවර ඇතුළත් යෝජනාවක් ද සම්මත විය.
සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරැවාදා දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම ඇමැති හමුවේදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ පසුගිය සතියේ හටගත් ඉන්ධන අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාවටයි. ඇමැති සරත් අමුණුගම එම වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමඟින් ඛනිජ තෙල් සංස්ථාවට චෝදනා කර තිබුණේ ප්‍රමාණවත් තෙල් තොග ගබඩා කර නොතිබීම හා ඉන්ධන හිඟයක් ඇති නොවන්නට ප්‍රමාණවත් පියවර අරන් නැති බව කියමිනි. ඇමැති අමුණුගමට අමතරව අනුර යාපා, චම්පික රණවක ද එහි සාමාජිකයෝ වූහ. හිටපු ඛනිජ තෙල් ඇමැතිවරැන් වන චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් මෙහිදී කරැණු දක්වමින් කියා සිටියේ හිටපු තෙල් ඇමැතිවරුන් මෙම අර්බුදයට වගකිව යුතු යැයි කියා කතාවක් පැතිරී ඇති බැවින් ඇමැති අර්ජුන ඒ ගැන සත්‍ය පහදා දීම වැදගත් බවයි. එවිට අර්ජුන කරුණු දක්වද්දී බාල තෙල් නැව රටට භාරගන්නට බලපෑම් කළ ඇමැතිවරුන් හෙළිකරන්නයි ද ඇමැතිවරු ගණනාවක් සඳහන් කළෝය. ඒ ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා දැනුවත් කර ඇතැයි කී අර්ජුන ඉන් එහාට කරුණු කියන්නට ගියේ නැත. එහෙත් තෙල් අර්බුදයෙන් රට ඉතා අපහසු තත්ත්වයට පත් කිරීම ගැන සමහර ඇමැතිවරු අර්ජුනට මෙන්ම තෙල් සංස්ථාවටත් දොස් පරොස් කීහ.

නාවුක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතු සඳහා මෙතෙක් විදේශිකයන්ට අවසර දී තිබුණේ එබඳු සමාගමක 40%ක මුදල් ආයෝජනයට පමණි. මෙවර අයවැයෙන් එය 100%දක්වා පුළුල් කිරීමෙන් දේශීය නාවික ව්‍යාපාර සමාගම් කඩාවැටෙන බවට ඇමැති අමාත්‍ය මහින්ද සමරසිංහ මෙන්ම රවුෆ් හකීම් ද තර්ක කළෝය. “මම වරාය ඇමැති. මේවට ගැසට් ගහන්න ඕන මමයි. මේ යෝජනාව ගේන්න කලින් මගෙන්වත් ඇහුවෙ නැහැ”මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීය.

මේ නාවික ව්‍යාපාර වාදය සැරවෙද්දී ඊට මැදිහත් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය යෝජනා නැවත ආපසු හැරවීමට හැකියාවක් නැති බවය. තමන් පසුගියදා සිංගප්පූරුවට ගිය ගමනේදී මුණගැසුණු ව්‍යාපාරිකයන් මෙම යෝජනාව ගැන ප්‍රසාදය පළ කළ බවද අගමැතිවරයා පැවසීය. එවිට කරුණු දැක්වූ අමාත්‍ය චම්පික රණවක කීවේ කැබිනට්ටුවේ මොනවා කතා කළත් කොළඹ වරායට අලුතෙන් වෙළෙඳ නැව් ගෙන්වා ගත නොහැකි බවයි. ඊට හේතුව වරායේ නැව් බඩු මෙහෙයුම් ධාරිතාව දැනටමත් සම්පූර්ණ වී ඇති නිසා යැයි ද හෙතෙම සඳහන් කළේය. කෙසේ හෝ නාවික ව්‍යාපාර විදේශිකයන්ට විවෘත කිරීම ගැන දේශීය නාවික ව්‍යාපාර සමාගම් ජනාධිපතිවරයාට ද දීර්ඝව කරුණු දක්වා තිබූ බව කියැවේ. ප්‍රකට ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, මොහාන් පණ්ඩිතගේ වැනි අය ද මේ අතර වූහ. ඒ නිසා ජනාධිපතිවරයා කැබිනට්ටුවට දන්වා සිටියේ මේ යෝජනාව ගැන තවදුරටත් සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවය.

ඊට පෙර බීර මිල පහත දැමීම ගැන ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිය විරෝධය පළ කර තිබිණි. එහෙත් මුදල් අමාත්‍යාංශය බියර් මිල වෙනස් නොකරන බවට නිවේදනයක් නිකුත් කළේය. මේ නිසා ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා බීර මිල ගැන ගන්නා ස්ථාවරය අනුව බීර මිල ප්‍රශ්නය ද දේශපාලන සටනක් වන්නට ඉඩ තිබේ.

ජ.වි.පෙ ඉල් මහ විරු සමරුව පසුගිය 13 දා කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි. ජ.වි.පෙ නායක අනුර දිසානායක, බිමල් රත්නායක ඇතුළු මන්ත්‍රීන්ගේ සහභාගීත්වයෙන් පැවති විරු සමරුවේ ප්‍රධාන දේශනය කළේ එම පක්ෂයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධානී කේ.ඩී. ලාල් කාන්ත විසිනි. ජනතා විමුක්ති පෙරමුණ මෙරට පොදු ජනතාව වෙනුවෙන් සේවය කරන එකම පක්ෂය බව පැවසූ ලාල් කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණත් එහි නායක අනුර දිසානායකත් නව ව්‍යවස්ථාව මගින් රට බෙදීමට උත්සාහ කරන බවට ඇතැමුන් ප්‍රචාරය කරන්නේ දුෂ්ඨ අරමුණකින් යැයි කීය. ජ.වි.පෙ කිසිදා රට බෙදන පක්ෂයක් නොවේ යැයි ද ඔහු පැවසීය. ජනතා විමුක්ති පෙරමුණ ජනතාව වෙනුවෙන් සැමදාම මහපාරේ අරගල කරන්නේ යැයි කී ලාල් කාන්ත පසුගිය කාලයේ දියත් කළ සයිටම් සටනින් දැනටමත් සෑහෙන ජයග්‍රහණ ලබාගෙන ඇතැයි ද කීය.
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුගේ පවුලේ ඥාතියකුගේ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. එම ගමනේ දී ඔහු සුප්‍රකට (මුකම්බිකා) දේවාලයේ විශේෂ පූජාවකට ද සහභාගි වීමට නියමිත බව කියැවේ.

|ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර