2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

තෙල් පෝලිම් නිසා යටගිය අය-වැය

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

තමන්ට මඩ ගහන ආණ්ඩුවේ ලොක්කන්ට ජනපතිගෙන් ලොකු ගෝරියක්

ආර්ථිකයේ ජවසම්පන්න ගමනක් ගැන අගමැතිගෙන් ප්‍රතිඥා  

අයවැයට කලින්ම මංගලගෙන් සහන මල්ලක් 

බලය බෙදන්නට පෙර තෙල් බෙදන්නයි මහින්ද රාජපක්ෂ කියයි 

ජනපති ඉන්දීය අගමැති දුරකතනයෙන් අමතා ඉන්ධන අර්බුදයට උදව් ඉල්ලයි 

බාල තෙල් ගන්න බලපෑම් කළ ඇමැතිලා ගැන ඇමැති අර්ජුනගෙන් පැමිණිල්ලක්

සතියේ මාතෘකාව ඉන්ධන අර්බුදයයි. ඉන්ධන හිඟවීම නිසා දින ගණනාවක් රටපුරා පෙට්‍රල් පෝලිම් දකින්නට ලැබිණි. ඉන්ධන අර්බුදය හටගෙන දින 4කට පමණ පසු ඛනිජතෙල් ඇමැතිවරයා මාධ්‍ය හමුවක් තබමින් මේ ගැන විවිධ ප්‍රකාශ කළේය. ඔහු කීවේ රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 16% පමණ සපුරන ඉන්දියන් ඔයිල් සමාගම ආනයනය කළ බාල තෙල් රැගත් නැව ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්නයට හේතුව බවය. එසේම භාවිතයට නුසුදුසු නිසි ඉවත් කළ තෙල් නැව නැවත භාරගන්නා ලෙස තමන්ට ආණ්ඩුවේ විවිධ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ලවන බවද ඇමැති අර්ජුන කීය. 

එහෙත් ඒ කවුදැයි ඇමැති අර්ජුන හෙළිදරව් කළේ නැත. තමන් මෙසේ බලපෑම් කළ අයගේ නම් ගම් ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් දන්වන බව අර්ජුන රණතුංග ඇමැතිවරයා කීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස ඉන්ධන අර්බුදය සතියක් යනතෙක් විසඳන්නට රජයට නොහැකිවීම ගැන දැඩි ලෙස දොස් නැගූහ. එහෙත් එස්.බී. දිසානායක අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සඳහන් කලේ ලොකු ඉන්ධන අර්බුදයක් නොමැති බවයි. මැති ඇමැතින්ගේ වාහනවලටද පෝලිමේ සිට තෙල් ගසා ගන්නා බව කී එස්.බී. මෙය එතරම් අර්බුදයක් නොවන බව පැවසීය.

එහෙත් තෙල් පෝලිම්වල සිටි ජනතාව මේ ප්‍රශ්නය කඩිනමින් නොවිසඳීම ගැන රජයට දැඩි දෙස දොස් නැගූහ. අධික ලෙස කෝපයට පත්ව සිටියේ ත්‍රිරෝද රථ හිමියන්ය. ඉන්ධන අර්බුදය ආණ්ඩුව සීරියස් ලෙස නොගත් බවද අවුරුද්දකට හතර පස් වතාවක් මේ ආකාරයට තෙල් පෝලිම් තිබීම තමන්ට මහත් පීඩාවක් බවත් ඔවුහු පැවසුවෝය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පියාගේ අනුස්මරණ උත්සවය සඳහා තංගල්ලට ගොස් සිටියදී රජයේ එක්තරා ඇමැතිවරයෙක් රාජපක්ෂ මහතා ඇමතීය. ඔහු රාජපක්ෂ රජයේද සිටි ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයෙකි. ඔහු හිටපු ජනපතිවරයාගෙන් විමසුවේ හමුවීමට අවශ්‍ය නිසා කොළඹට නැවත පැමිණෙන්නේ කවදාද කියායි. එවිට රාජපක්ෂ මහතා දුන්නේ හාස්‍යජනක උත්තරයකි. (මම දැන් ඉන්නේ ගමේ.... වාහනවල තෙලුත් නැහැ.... හෙට අනිද්ද වීරකැටියට තෙල් බවුසරයක් එනවය කියලා ආරංචියක් තියෙනවා. ඔය කියන බවුසරේ ආවොත් නම් කොළඹ එන්න පුළුවනි. නැත්නම් ඉතින් ඉන්නෙ ගමේ තමයි..) යයි කියූ රාජපක්ෂ මහතා සිය ඇමැති මිතුරාගෙන් තවදුරටත් විමසුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් බලය බෙදන්නට කලින් ජනතාවට පෙට්‍රෝල් ටික බෙදුවොත් නරකද කියායි.

දවස් පහ හයක් ඉන්ධන නොමැති වීමෙන් පෙට්‍රල් ෂෙඩ් අසල පැවති පෝලිම් කිලෝමීටර් ගණනට දිගුවෙද්දී රජයේ අමාතය මණ්ඩලය ගිය අඟහරැවාදා උදෑසන රුස්විය. ඇමැති මණ්ඩල රැස්වීමද ඉන්ධන අර්බුදය නිසා උණුසුම් වී තිබිණි. අමාත්‍යවරුන් බොහෝ දෙනෙක් ඉන්ධන ප්‍රශ්නය නිසා ජනතාව එල්ල කළ විවේචන ගැන කලබල වී සිටියහ. ඇමැති හමුව ආරම්භයේදීම ජනාධිපතිවරයා අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් විමසා සිටියේ ඉන්ධන ප්‍රශ්නයේ ඒ වනවිට තිබූ තත්ත්වයයි. අර්ජුන ඒ ගැන කැබිනට් මණ්ඩලයට විස්තර කළේය. ඛනිජතෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන මෙට්‍රික් ටොන් අනූදාහක් ගබඩා කරගත හැකි යැයි කී ඇමැතිවරයා රටේ දිනක ඉන්ධන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ක් පමණක් යැයිද කීය. එසේම පිරිපහදුවේ දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් 500ක් පමණ පිරිසිදු කරන වගද සඳහන් කැරිණි. එකවර ජනතාව ඉන්ධන හිඟය ගැන බියට පත්ව අධික ඉල්ලුමක් හටගත් නිසා තෙල් පෝලිම් දිගුවූයේ යැයි අර්ජුන කියද්දී අනුර යාපා, චම්පික රණවක සහ හිටපු ඛනිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩි යන මහත්වරු අර්බුදයේ බරපතළකම සඳහන් කළෝය.

මෙම විවේචන එල්ල වනවිට අර්ජුන රණතුංග අමාත්‍යවරයා කීවේ ඉන්දියන් ඔයිල් සමාගම ගෙන ආ තෙල් නැවේ සාම්පල් දෙකක්ම පරීක්ෂා කළ නමුත් රසායානාගාරය ඒ සාම්පල් දෙකම ප්‍රමිතියෙන් තොර යැයි ප්‍රතික්ෂේප කළ නිසා නැව හරවා යවන්නට සිදුවූ බවය. එහෙත් තමන්ට මෙම තෙල් නැවම ගන්නා ලෙස බලපෑම් එල්ල වූ බවද ඇමැති අර්ජුන විස්තර කළේය. දයාසිරි ජයසේකර ඇමැතිවරයා අදහස් දක්වනට වූයේ ඉන් අනතුරැවයි. දයාසිරි කීවේ මේ ඉන්ධන නැව ප්‍රතික්ෂේප වූයේ පසුගිය 18දා නිසා එදින සිට මේ වනවිට දින 20ක් පමණ ගතවී ඇත කියායි. මේ දින 20 තුළ අලුත් තෙල් තොගයක් නොගෙනාවේ ඇයිදැයි දයාසිරි විසින් ප්‍රශ්න කරන ලදී. එවිට ඇමැති අර්ජුන නැවත කියා සිටියේ ඊළඟ තෙල් නැව එනතෙක් ප්‍රමාණවත් තෙල් තොග සංස්ථාව සතුව තිබුණ වගයි. එහෙත් යම් පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් ජනතාවට එස්.එම්.එස්. පණිවුඩ යවා තෙල් හිඟයක් ගැන ඔවුන් බයකර දෛනික තෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 2500 සිට 4500 දක්වා ඉහළ නැගීම අර්බුදයට හේතුව යැයි ඇමැති රණතුංග විස්තර කළේය.

මේ විවාදය යද්දී අමාත්‍යවරැන් ගණනාවක්ම දින ගණනාවක ප්‍රශ්නය නොවිසඳා දිගින් දිගටම ඇදී යාම ගැන දොස් නගන්නට වූහ. (ජනතාව දුක් විඳිනවා. මිනිස්සු පෝලිම්වල ඉඳන් ආණ්ඩුවටයි පහර ගහන්නෙ) ඇමැතිවරු තරගයට මෙන් කියන්නට වූහ. අනුර යාපා ඇමැතිවරයා ඇතුළු පිරිස කියන්නට වූයේ කවුරුන් හෝ සිතා මතා කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර ඇත්නම් ඒ තැනැත්තා අල්ලා දඬුවම් කළ යුතුය කියායි.

එවිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ එකඟතාව මත තෙල් අර්බුදය ගැන විමසා බලා වාර්තා කිරීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පත්  ‍කෙරිණි. අනුර යාපා සහ චම්පික රණවක යන ඇමැතිවරුද එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබූහ.

එස්.බී. දිසානායක අමාත්‍යවරයා කැබිනට්ටුව වෙත විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළේ තෙල් විවාදයෙන් පසුවය. මෙරට ජීවත්වන වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටි තැනැත්තන්ට මසකට රුපියල් 5000ක දීමනාවක් රජයෙන් ලබාදීමට එස්.බී. විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. රන්ජිත් මද්දුමබණ්ඩාර  සහ සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරු ඒ ගැන අදහස් දක්වන්නට වූහ. ඇමැති රන්ජිත් මද්දුම බණ්ඩාර කීවේ දැනට රජය වයස අවුරුදු 70ට වැඩි උදවියට රුපියල් 2000 බැගින් දීමනාවක් ලබාදෙන නමුත් සෑහෙන පිරිසකට එම ආධාරය නොලැබෙන බවට පැමිණිලි ලැබෙන වගය. තමන්ට ලැබී තිබෙන වාර්තා අනුව එක් කෙනෙක් මියගිය පසු අනෙක් ආධාර නොලැබෙන කෙනකුට මුදල් දීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා කීය. එස්.බී. දිසානායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වයස 70ට වැඩි අය ලක්ෂ 4 ½ට පමණ මේ ආධාරය ලැබෙන නමුත් තවත් එක් ලක්ෂ ගණනක් ආධාර නොලබන වග වාර්තා වී ඇත කියායි. ඒ නිසා දැන් මෙම ආධාර ලබන මුදල් හදල් ඇති පවුල්වල අය ආධාර ලැයිස්තුවෙන් ඉවත් කර අලුතින් අයට ඉඩ සලසන වගද ඇමැති එස්.බී. පැවසීය.

චම්පික රණවක අමාත්‍යවරයා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් මතු කළේය. එය මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ගැටලුවකි. පාර්ලිමේන්තුව පිහිටි ඉඩම පළාත් පාලන ආයතන තුනකට කොටස් තුනක් ලෙස බෙදී ගොස් ඇතැයි රණවක මහතා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුවේ කැන්ටිම තිබෙන කොටස කඩුවෙල ප්‍රාදේශීය සභාවටත් ගොඩනැගිල්ලෙන් තවත් කොටසක් කෝට්ටේ නගර සභාවටත් ඉතිරි කොටස මහරගමටත් අයත් බව පැවසූ ඇමැති රණවක මැතිසභා ගොඩනැගිල්ල පිහිටි ඉඩමක් සීමා නිර්ණයට ලක්කොට එක නගර සභාවක් යටතට පත්කරන්නැයි ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. එවිට ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරැන් ගණනාවක් විහිළුවට මෙන් සඳහන් කළේ (අපි මේකත් ෆයිසර් ඇමැතිතුමාටම පවරමු. එතකොට පාර්ලිමේන්තුවේ සීමා නිර්ණය ඉවර වෙනකම් ඡන්දෙ කල්දාගන්න වුණත් පුළුවන්නේ) කියායි. එවිට අමාත්‍ය මණ්ඩලයේ සැමෝටම සිනා පහළ විය.

අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිසබයට ඉදිරිපත් කරන ඔහුගේ මංගල අයවැය බ්‍රහස්පතින්දා සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුගිය සතියේ දින ගණනාවක්ම මංගල පානදුර ගොරකානේ බොල්ගොඩ වැව අසල ඉතා සුන්දර පරිසරයක පිහිටි “දේදුනු අනන්තය” නැමති ඔහුගේ පෞද්ගලික නිවහනේ සිට අයවැය සැකසීමට පියවර ගත්තේය.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද අයවැය සැකසුම සඳහා මංගලට සහායවීමට දේදුනු අනන්තයට පැමිණියහ. උදෑසන සිට රාත්‍රී භාගය දක්වා අයවැය සැකසුම සිදුවිය. අයවැය සැකසුමේදී රජයට තිබූ ප්‍රධානම ප්‍රශ්නය ඉදිරියේ ඡන්දයක් පවතින නිසා ජනතාවට සහන පිරිනමන්නේ කෙසේද යන්න ගැටලුවයි.

රටේ ආදායම හා ආයෝජන ඉතාමත් සීමාසහිත තත්ත්වයට පත්ව ඇති නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනසහන පිරිනැමීම ගැන තදින්ම අවධාරණය කර තිබිණි. කෙසේ හෝ ආණ්ඩුවේ ජාම බේරාගන්නට මංගලගේ මංගල අයවැය තුළින් උත්සාහ දරා තිබිණි. අතීතයේ රොනී ද මෙල් මුදල් ඇමැතිවරයා තමන්ගේ පෞද්ගලික වතුයාය වන බුලත්සිංහල ගී කියන කන්දේ සිට අයවැය සැකසීය. මෙවර මංගල දේදුනු අනන්තයේ සිටිමින් අයවැය සැකසීය. ගී කියන කන්දෙන් දේදුනු අනන්තයට මාරු වූ මංගලගේ අයවැය ගැන දැන් දැන් ජනතා ප්‍රතිචාර පළවන්නට පටන්ගෙන ඇත. ඒවා හරියටම දැනගත හැක්කේ ජීවන වියදමට අයවැය විසින් කරන බලපෑම අනුවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තය ගත කළේ දෙණියාය ප්‍රදේශයේය. දකුණේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි. හම්බන්තොට චීන ශ්‍රී ලංකා ආයෝජන කලාපය ඉන් ප්‍රධානතම ව්‍යාපෘතියකි. එය හම්බන්තොටදී විවෘත කළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ තමන් මෙරට ආර්ථිකයට ජවසම්පන්න ගමනකට අවතීර්ණ වී ඇතැයි සඳහන් කළේය. රැහුණට මෙතෙක් කිසිවකු නොකළ ආර්ථික වර්ධනයක් වත්මන් රජය විසින් ලබා දී ඇතැයි ද අගමැතිවරයා පැවසීය. අනතුරැව හම්බන්තොට පැවති රුහුණු මාගම්පුර යොවුන් කඳවුරේ ආරම්භක අවස්ථාවට සහභාගි වීමට වීරවිල ප්‍රදේශයට අගමැතිවරයා පැමිණියේය. එහිදී තරැණ සමාජයට ඉතා අවවාදාත්මක දේශනයක් කළ අගමැතිවරයා සටන් පාඨ දේශපාලනයෙන් තරුණයන්ගේ අනාගතය ගොඩනැගිය නොහැකි යැයි සඳහන් කළේය. කම්හල්, තොරතුරු තාක්ෂණ සේවා, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ආදියෙන් රටට රැකියා බිහිකරන්නේ යැයි සඳහන් කළ හෙතෙම හොඳ දේශපාලනඥයා යහපත් ආයෝජනයකදී අවි ඔසවා විරෝධය පළකරන්නේ නැතැයි ද කීය. පුංචි කඩයක සිට මහා පරිමාණ ආයෝජනය දක්වා සංවර්ධන ව්‍යාපෘති රටට ලබාගන්නට රජය ක්‍රියා කරන බවද අගමැතිවරයා යොවුන් පුරයේ තරුණ පිරිසට වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උග්‍ර වී තිබූ ඉන්ධන ප්‍රශ්නය විසදා ගැනීමට මැදිහත් වූයේ පසුගිය අඟහරුවාදාය. එතුමා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා අමතා පැවසුවේ මෙරට තෙල් අර්බුදය විසඳා ගැනීමට උදව් වන හැටියටයි. තරන්ජිත් රනිල්ට උදව් කරන්නම් යැයි ප්‍රතිඥා දුන් පසු අගමැතිවරයා නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගිෂ්වර මහත්මිය ඇමතීය. හදිසියේ තෙල් නැවක් ඉන්දියාවෙන් ලබාගන්නැයි අගමැතිවරයා මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා සවස හදිසියේම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇමතීය. මෝදි මහතාගෙන් තෙල් අර්බුදයට උදව් කරන්නැයි ඉල්ලා සිටි විට මෙබඳු ප්‍රශ්න ගැන දීර්ඝ විග්‍රහයක් කළ ඉන්දීය නායකයා කඩිනමින් ශ්‍රී ලංකාවට ඉන්ධන සපයා දීමට පියවර ගන්නා බව ජනාධිපති සිරිසේන මහතාට පොරොන්දු විය. ඒ අතර විදේශ අමාත්‍ය තිලක් මාරපන ලිඛිතව මේ සඳහා ඉන්දීය රජයේ උදව් ඉල්ලා ලිපියක් යැවීය.

මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා තමන්ගේ කොළඹ ස්ටැන්මෝ කෙසන්ට්හි පිහිටි නිල නිවසේදී මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ ප්‍රධානීන් පිරිසක් මුණගැසුණේය. විහිළුවෙන් තහළුවෙන් හා බරසාර කතාවලින් පිරි මෙම හමුව මංගල හා මාධ්‍ය අතර සුහදතාව වර්ධනයට පැවැත්වූවකි. රාත්‍රී 7.00ට පමණ රැස්වීම ආරම්භයේදීම පැමිණ සිටි අයට සිසිල් පැන් පිරිනමද්දී ඇතැම් මාධ්‍යකරුවන් විමසා සිටියේ (මුදල් ඇමැතිතුමා මේ වෙලාවෙ සිසිල් පැන් දෙන්නෙ ණය බර වත් වැඩිවෙලාද) කියාය. එවිට මංගලද විහිළුවක් කරමින් කවුද මේ වෙලාවෙ ජූස් දෙන්න කිව්වෙ වෙන හොඳ දෙයක් ගේන්න යැයි තමන්ගේ සේවකයන්ට නියම කළේය. මංගල සමරවීර මහතාට අමතරව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මනෝ තිත්තවැල්ල, ක්‍රිෂාන්ත කුරේ ආදී පිරිසක් ද ඒ අවස්ථාවට එක්ව සිටියහ. හමුව ආරම්භයේදීම පිරිස අමතමින් මුදල් අමාත්‍යවරයා කිවේ ලංකාවේ රූපවාහිනී බලන විට තිබෙන ප්‍රශ්න ගැන අපූරු අදහස් කල්පනා වන වගයි. මේ දිනවල තිබෙන තෙල් ප්‍රශ්නය ගැන කරන රූපවාහිනී මාධ්‍ය වාර්තා අනුව එක් පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති දකින විට රටේ තෙල් ටිකක් තිබෙන බව සිතෙන වගත් තවත් චැනලයක් බලන විට පොඩි තෙල් අඩුවක් ඇතැයි සිතෙන වගත් තවත් රූපවාහිනී නාලිකාවක් බලද්දි රටේ තෙල් නැත්තටම නැති වී ඇතැයි සිතෙන බවත් කීය. නමුත් රජයේ රූපවාහිනී චැනල දෙක බලද්දි තෙල් බෙදාහැරීම නියමෙට කෙරෙනවා යැයි පෙනෙන බව පැවසුවේ මාධ්‍ය ප්‍රධානීන් සිනහ ගන්වමිනි.

අනතුරුව අයවැය ගැන විමසූ විට මංගල සඳහන් කළේ අයවැයෙන් සහන ලැබේවි යැයි බලාපොරොත්තු වන ලෙසයි. බදු ගැන ද විමසීමක් ‍කෙරිණි. ඊට ඇමැතිවරයා දුන්නේ දෙපැත්ත කැපෙන උත්තරයකි. බදු අඩුවෙනවා බදු වැඩිවෙනවා යන්න සඳහන්  ‍කෙරිණි. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පසුදා අඩු කරන බව කී මංගල එසේ භාණ්ඩ මිලෙන් දෙන සහන ගැන ද කීය.

අනතුරුව උතුරු නැගෙනහිර ජනතාවට ලැබෙන සහන ගැන දෙමළ මාධ්‍ය ප්‍රධානියෙක් විමසීය. උතුරු නැගෙනහිර ආයෝජනවලට හා කෘෂිකර්මයට සහන ලැබෙන බව පැවසූ අමාත්‍යවරයා ලැබෙන නොලැබෙන දේ ගැන බලාගන්නට දින දෙකක් ඉවසන්නැයි කීය.

ඉන්ධන අර්බුදය ගැන විමර්ශනයට පත් කළ අමාත්‍ය කමිටුව ගිය බදාදා පැය තුනකට වැඩි කාලයක් තෙල් සංස්ථාවේ හා සපුගස්කන්දේ පරීක්ෂණ කටයුතුවලට සහභාගි විය. අමාත්‍ය සරත් අමුණුගම, චම්පික රණවක හා අනුර යාපා අමාත්‍යවරු මේ කමිටුව නියෝජනය කරති. ඔවුහු ඊළඟ තෙල් නැව පැමිණෙන දිනය හා තෙල් බෙදාහැරීම ගැනත් මේ ආකාරයට තෙල් හිඟයක් සතියකට වැඩි කාලයක් පැවතීම ගැනත් කරුණු සොයා බැලූහ. පසුගිය 17 දා නුසුදුසු තෙල් නැව හරවා යැවීමෙන් පසුව අවශ්‍ය මිල දී ගැනීම් නොකිරීම, ගබඩාවල දින 90කට තෙල් ගබඩා කළ හැකි ලෙස ගබඩා පහසුකම් තිබියදී එම වගකීම පැහැරහැරි නිලධාරීන් කවුද යන්න ගැනත් විමර්ශනය කෙරිණි.

මේ සියල්ල අතරතුර සිකුරාදා වන විට ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 රැගෙන ඩුබායි වරායෙන් පිටත් වූ නැව නිසි ලෙස පැමිණේදැයි තවදුරටත් සොයා බැලීය. එසේම නැවට පෙට්‍රල් පටවන ලද ඩුබායි වරායෙන් එවන ලද ඉන්ධන ප්‍රමිතිය පිළිබඳ වාර්තාවද අමාත්‍ය කමිටුවේ විශේෂ විමර්ශනයට ලක් විය. එම වාර්තාවේ හැටියට ගෙන එනු ලබන ඉන්ධන තොගයේ අඩංගු විය යුතු ඔක්සිජන් පරිමාව රතු ඉර පනින සීමාව ආසන්නයේම වන බව අමාත්‍ය චම්පික රණවකට අනාවරණය විය. ඒ නිසා මෙම ඉන්ධන තොගය වරායට ළඟා වූ වහාම රසායනාගාර පරීක්ෂාවට යොමු කළ යුතු යැයි නියම කැරිණි. ඒ සඳහා පැය 8කට වැඩි කාලයක් ගතවන බවද තෙල් සංස්ථා බලධාරිහු පැවැසූහ. අමාත්‍යවරුනට පෙනී ගියේ තෙල් සැපයුම නිසි ආකාරයට විධිමත් වීමට සිකුරාදා වනතෙක් බලා සිටිය යුතු බවයි.

මේ ඉන්ධන හුටපටය නිසා වඩාත් අපහසුතාවට පත්ව සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාය. මෙරට 71 වැනි අයවැය ඔහු විසින් මැතිසබයට ගෙන ආ බ්‍රහස්පතින්දා රටේ ඉන්ධන හිඟය නිසා ජනතාව රජයට දෙස් දෙවොල් තබමින් සිටින විට අයවැය මගින් කුමන සහනයක් දුන්නත් එය ජනතාවගේ හිතට වදින්නේ නැති බව දේශපාලනය හොඳට දන්නා මංගලට වැටහී තිබිණි. අනෙක මෙවැනි විශාල අර්බුදකාරී තත්ත්වයක් මධ්‍යයේ අයවැයක් ඉදිරිපත් කළ මෑත කාලයේ මුල්ම අවස්ථාව ද මෙයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිය බදාදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල මහතාව හදිසියේ හමු විය. මෙම සාකච්ඡාවටද සහභාගි වූයේ එම නායකයන් දෙදෙනා පමණි. මිනිත්තු 40ක් පමණ දොර වසාගෙන කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයා පිටත්ව ගියේ මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණසමරැ උළෙලටයි. එහිදී ජනාධිපතිවරයා කළ කතාව බෙහෙවින් ආන්දෝලනාත්මක විය. බැඳුම්කර වංචාව සෙවීමට කොමිසමක් පත් කළ බැවින් ආණ්ඩුවේම සමහරු තමන්ට මඩ ගසන බව ජනාධිපතිවරයා කීය. ඒ ගැන දැඩි ආවේගයෙන් කතා කළ ජනාධිපතිවරයාගේ කතාව රැස්වීමේ සිටි ආණ්ඩුවේ ඇමැතිවරුන්ද කලබලයට පත් කළ බවක් පෙනුණි. මෙම සිදුවීම්වල ඉදිරිය කුමක් වේදැයි දැන්ම කිව නොහැක.

අයවැය ඉදිරිපත් කරනදා පැවති පෙට්‍රෝල් හිඟය සංකේතවත් කරමින් ඒකාබද්ධ  විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිසබයට පැමිණියේ පාපැදිවලිනි. එහෙත් පාපැදිවලින් පැමිණි විපක්ෂ මන්ත්‍රීන්ට මැතිසබා මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසීමට අවසර නොදීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. අනතුරැව හිටපු ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස ඒ ගැන කතානායකවරයාට පැමිණිලි කළේය. අයවැය අවසානයේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහයද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බහුතරය වර්ජනය කළෝය. ඊට සහභාගි වූයේ දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීන් පමණි.

පැය එකහමාරකින් කියවා හමාර කිරීමට තිබූ මංගලගේ මංගල අයවැයට ඇමැතිවරයා අතරමැද කොටස් එක්කිරීම නිසා පැය දෙකකුත් විනාඩි හතළිහක් පමණ ගතවිය. ජ.වි.පෙ. හා දෙමළ සන්ධාන ප්‍රධානීහුද මැතිසබයේ අයවැයට සවන් දෙමින් සිටියහ. වෙනදා අයවැය අහන්නට මැතිසබයට එන ජනාධිපතිවරයා සභා ගැබට පැමිණියේ නැත.

I ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර