2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ඉන්දීය අාරක්ෂක අැමැතිනිය මහින්ද එක දවසේ මහ අැමති නිවසේ

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 546

ජනපතිගෙන් සර්ව පාක්ෂික සමුළුවක්
එයාර්ලංකා, මිහින්ලංකා හොරු හොයන්න කොමිසමක් 

පක්ෂ මාරුකළ ඩුලිප් එ.ජා.ප.යට දොස් තබයි 
එ.ජා.ප. මන්ත්‍රීන්ට අමුතු භෝජන සංග්‍රහ තහනම්යැයි අගමැති කියයි 
චන්ද්‍රිකාගේ කන පලන කතාවට ඒකාබද්ධයේ විරෝධය 
ජා.නි.පෙ. මන්ත්‍රීලා සද්දෙ වහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා වන යෝජනා සම්බන්ධව සමාජයේ හටගෙන තිබෙන කතිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. විශේෂයෙන්ම මෙහිදී පෙරමුණ ගෙන එහි අඩුපාඩු පෙන්වාදී ඇත්තේ මහා සංඝරත්නයයි. ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා රජයට ව්‍යවස්ථාවේ ගැටලු සහගත තැන් පෙන්වා දීමෙන් පසු ඒ ගැන දැඩි සමාජ අවධානයක් යොමුවිය. මේ සතියේ රජය තෙදින මැතිසබා විවාදයක්ද පවත්වා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ යෝජනා ගැන මහජන නියෝජිත අදහස් රැස් කළේය. ඒ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යෝජිත ව්‍යවස්ථා සම්පාදනයට අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් කැඳවන බවයි. 

මෙයට පෙරද අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථා සම්පාදනය, උතුරේ අර්බුදය වැනි තීරණාත්මක ප්‍රශ්නවලදී එකල පැවති ආණ්ඩු විසින් සර්ව පාක්ෂික සමුළු කැඳවන ලදී. එහෙත් මෙබඳු සමුළුවලින් ලැබුණ ප්‍රතිඵල ඉතාමත් අඩුය. කෙසේවුවත් ව්‍යවස්ථා කතාව උණුසුම් වෙද්දී රජය පැත්තෙන් එබඳු සමුළුවක් කැඳවීම අරුමයක් නොවේ. සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට පෙර ඒ ගැන අදහස් උදහස් රැස්කර ගන්නට සර්ව ආගමික නායකයන්ගේ සමුළුවක් පවත්වන්නටද ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින බව කියැවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ වසර දෙකක රජයේ ගමන් මඟෙහි ප්‍රගතිය ගෙනහැර පෑවේය. පසුගිය ආණ්ඩුවේ පාලකයන් විසින් නැතිකර දමන ලද රට නැවත ගොඩනැගීමට හැකිවූයේ ජාතික ආණ්ඩුව නිසා යැයි අගමැතිවරයා මෙහිදී පැවසීය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එ.ජා.ප.ය නොසිටි නිසා රට ව්‍යාකූල වූ බවද අගමැතිවරයා වැඩිදුරටත් කීය.

එ.ජා.ප.යේ ප්‍රගති සමාලෝචනය ඉදිරිපත් කළ දා සවස පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයා අරලියගහ මැඳුරේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය. ඒ සඳහා මැති ඇමැතීන් 55 දෙනෙක් පමණ පැමිණ සිටි බව වාර්තා විය. රාත්‍රී භෝජනය ආරම්භ වීමට පෙර පක්ෂ කණ්ඩායමේ විශේෂ හමුවක්ද සංවිධානය කර තිබිණි. එහිදීත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජය පසුගිය වසරේ ලැබූ ප්‍රගතිය ගැන කරුණු දක්වා ඉදිරි මැතිවරණයට පෙර එම කරැණු ජනතාවට ඉදිරිපත් කර රට දැනුවත් කරන්නැයි පැවසීය. පක්ෂයේ හා ආණ්ඩුවේ කටයුතු ජනතාව අතර මාර්කට් කළ යුතු යැයිද අගමැතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මැති ඇමැතින් තම තමන්ට බලපාන ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කළෝය. පසුපෙළ මන්ත්‍රීන් දුක් ගැනවිලි ඉදිරිපත් කළ බවද සඳහන් විය. අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අදහස් දැක්වීමක නිරත විය. “යූ.ඇන්.පී. ව්‍යවස්ථාවේ හැටියට පක්ෂයේ මන්ත්‍රීන් කැඳවීමේ බලය තිබෙන්නේ පක්ෂ නායකයාටයි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලේ පෙස්ටස් පෙරේරා ඇමැතිතුමාල ඉඟුරු කල්ලියක් හදාගෙන මන්ත්‍රීල රැස්වීම්වලට කැඳවන්න හදනකොට ඩඩ්ලි සේනානායක මැතිතුමා ඒක තහනම් කළා. ඒ වගේ දෙයක් පසුගියදා මම ලංකාවෙ නැති අතරෙ තංගල්ලෙ සිද්ධවෙලා තියෙනවා. මන්ත්‍රීන් එතෙන්ට කැඳවල රැස්වීම් තැබීම නීති විරෝධී වැඩක්. ආයෙත් කවුරු හරි එහෙම දෙයක් කළොත් මම තදින් ක්‍රියාකරනවා.”

අගමැති රනිල් එසේ කීවේ රවි කරුණානායක මන්ත්‍රීවරයා සංවිධානය කළ වැඩමුළුවත් ඉලක්ක කර ගනිමිනි. මේ ගැන කළ අවවාදයේදී රවි නිහඬව සියල්ල අසා සිටියා මිස උත්තර දුන්නේ නැත. අනතුරුව හේෂාන් විතානගේ හා සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරු සමාවෙන්න සර් අපි ගියේ වැරදි අදහසකින් නොවේ යයි කීහ. ඊළඟට කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ මෙබඳු භෝජන සංග්‍රහ කොළඹත් පැවති බවය. පක්ෂයට ඉන්නේ එක නායකයකු පමණක් බවත් වෙන්ඩ නායකයන්ට ඕනෑ ඕනෑ ලෙස වැඩකරන්නට බැරි බවත් මරික්කාර් කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති දේවේන්ද්‍ර පර්නැන්ඩේස් මහතා සහ එරට මහායාන බෞද්ධ පදනම සංවිධානය කළ ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගියදා සහභාගී විය. ඖරංගා නුවර පැවැති සමුළුවට රාජපක්ෂ මහතා සමඟ මහාචාර්ය ජී.එල්. පීරිස්, මන්ත්‍රී ලොහාන් රත්වත්ත යන මහත්වරුද එක්ව සිටියහ. මෙම බෞද්ධ සමුළුවේදී හිටපු ජනාධිපතිවරයා හමුව ඇමැතීමට පෙර ඉන්දීය මධ්‍යම රජයේ සමාජ සාධාරණ්‍ හා ජනතාව සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය රාම්දාස් අන්වාලී මහතා කතා කරමින් කොටි සංවිධානය පරාජය කළ නායකයා ලෙසත් රට සංවර්ධනය කළ නායකයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියටත් ශ්‍රී ලංකාවේ කීර්තිමත් තැනකට පත්වීමේ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කළේය.

එහිදී රාජපක්ෂ මහතාට ඉන්දීය රජය උපරිම ආරක්ෂාවක් ලබාදුන් අතර ඔහුගේ ගමන්වලදී ආරක්ෂක රථ 18ක් ගිලන් රථ දෙකක් සමඟ වාහන 20ක බල ඇණියක් ගමන් කළේය. ඉන්දීය මධ්‍යම රජයේ බ්ලැක් කැට් භටයෝ සිය ගණනක්ද රාජපක්ෂ මහතාගේ රැකවරණයට යොදා සිටියහ. ඔහු නවාතැන්ගත් බෝම්බේ ටාජ් හා මහාරාෂ්ට්‍ර ක්‍රවුන් හෝටල් දැඩි රැකවරණයට යටත් කොට තිබිණි.

මහින්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා මුණගැසීමට නියමිත වූ දිනයේ එහි අමුතු යමක් සිදුවිය. රාජපක්ෂ මහතා මහ ඇමැති දේවේන්ද්‍ර පර්නැන්ඩේස් හමුවීමට ඔහුගේ නිල නිවසට පැමිණීමට මොහොතකට පෙර මහ ඇමැතිවරයා සමඟ සාකච්ඡාවකට ඉන්දීය මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය මහ ඇමැති නිවසට පැමිණියාය.

එය ආරක්ෂක කටයුතු ගැන සාකච්ඡාවක් බව කියූවත් රාජපක්ෂ මහතා සහ ඉන්දීය ආරක්ෂක ඇමැතිවරිය එකම අවස්ථාවක මහ ඇමැති නිවසට පැමිණීම ගැන ඉන්දීය දේශපාලන විචාරක අංශ දැඩි උනන්දුවක් දැක්වූ බව දැනගන්නට තිබේ. කෙසේ හෝ මහ ඇමැති පර්නැන්ඩේස් හමුවූ රාජපක්ෂ මහතාට ඔහුද සඳහන් කළේ ලංකාවට පමණක් නොව ඉන්දියාවටද විපත් කළ කොටි පරාජය කළ නායකයා ලෙස රාපජක්ෂ මහතාට තමන්ගේ උපරිම ගෞරවය ලැබෙන වගයි. බෞද්ධ ආගමේ ඉගැන්වෙන සාමය සංහිඳියාව හා සමෘද්ධිය ගැන අදහස් හුවමාරු කරගත් රාජපක්ෂ මහතා සහ මහ ඇමැතිවරයා තවත් බොහෝ දේ ගැන කතා කළෝය. අනතුරුව රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ සංග්‍රහයක්ද මහ ඇමැතිවරයා සූදානම් කර තිබිණි. එය පිළිගත් රාජපක්ෂ මහතා මහ ඇමැතිවරයාටද ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කළේය.

රාජපක්ෂ මහතා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇති බෞද්ධ බිතුසිතුවම් සහිත අජන්තා ලෙන් විහාර වන්දනාවට යන බෞද්ධයන්ට පහසුකම් සලසන ලෙසත් හැකිනම් ශ්‍රී ලංකා රජය සමග කතාකොට ගුවන් ගමන් පහසුව වැඩිකරන ලෙසත් ඉල්ලීය. ඒ කතාවෙන් පසු රාජපක්ෂ මහතා බැහැරට එද්දී රාජපක්ෂ මහතා සේම ජාතික ඇඳුම ඇඳ කුරහන් සාටකයක් දමාගත් කුඩා දරුවෙක් රාජපක්ෂ මහතාට ආචාර කිරීම විශේෂ සිදුවීමක් විය.

යහපාලන රජයේ තැපැල් කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතා පසුගියදා ඒකාබද්ධ විපක්ෂයට එක්විය. විජේසේකර මහතා කලක පටන්ම රජයේ කටයුතු ගැන යම් යම් විවේචන ඉදිරිපත් කරමින් සිය කනස්සල්ල පළකර තිබිණි. කෙසේ හෝ ඔහු රජයෙන් ඉවත්වන බවට කල්තබාම ආරංචි පැතිර ගියේය. එනිසා හෙතෙම රජයෙන් ඉවත්ව යාමට පෙරදා ඔහු එතෙක් දැරූ නියෝජ්‍ය ඇමැති පදවියෙන් ඩුලිප් විජේසේකර මහතා ඉවත් කෙරිණි. පසුදා පාර්ලිමේන්තුව රැස්වූයේ ව්‍යවස්ථා සභාව හැටියටයි. එය සාමාන්‍ය මැතිසභා සැසිවාරයක් නොවීය. එහෙත් එම රැස්වීමේදී විජේසේකර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් රජයේ කටයුතු දැඩි ලෙස විවේචනය කළේය. අසූ ගණන්වල පැවති භීෂණ යුගයේදී තමන්ගේ පියා අමු අමුවේ ඝාතනය කළ පිරිසක් සිටින රජයකට එක්වීම ගැන තමන් මියගිය පියාගෙන් සමාව ඉල්ලා සිටින බව විජේසේකර මහතා කීය. එසේම රටට හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාවක් ගෙන එන වත්මන් රජයේ යහපාලනයක් නැතැයිද හෙතෙම පැවසීය. එ.ජා.ප.ය ඉතිහාසයේ කළ කී දෑ ගැන තමන්ට අවබෝධයක් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා මෙම ව්‍යවස්ථා යෝජනා අවසානයේ කෙසේ සම්මත කරගනු ඇතිදැයි නොදන්නා බව සඳහන් කළේය. මේ ආකාරයට සභාව ඇමතූ මන්ත්‍රීවරයා විපක්ෂ මන්ත්‍රීන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේ විපක්ෂයේ අසුනකට ගොස් අසුන් ගත්තේය.

ඩුලිප් විජේසේකර මහතා විපක්ෂයට එක්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙටි ප්‍රකාශයක් කළේය. පාර්ලිමේන්තු රැස්වීමකදී හැර මෙබඳු කමිටු රැස්වීමකදී මන්ත්‍රීවරයකු රජයේ සිට විපක්ෂයට යාම කිසිදු තේරුමක් නැති කටයුත්තක් බව අගමැතිවරයා කීය. කතානායකවරයා මුලසුනේ සිටිමින් නියමිත පරිදි සෙංකෝලය සභා ගැබේ තැන්පත් කර නොමැති අවස්ථාවක කරන ප්‍රකාශයෙන් හෝ පක්ෂ මාරුවෙන් වැඩක් නැතැයි කී අගමැතිවරයා ඒ ගැනවත් දන්නේ නැතිනම් එයින් පලක් නොමැති වග සභාවට දැන්වීය. අගමැතිවරයාගේ එම විග්‍රහයට ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් ප්‍රසාදය පළකරනු දක්නට ලැබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය තුන්වැනිදා (සිකුරාදා) ශ්‍රී.ල.නි.ප.යේ මැති ඇමැතින්ගේ රැස්වීමක් පැවැත්වීය. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයටද ආරාධනා කර තිබිණි. මෙම රැස්වීමට පැමිණෙන්නේ නැති මැති ඇමැතින් ගැන දැඩි පියවරක් ගනු ඇතැයිද කතා පැතිර ගියේය. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය තුළද විවිධ මත පැවති බව මාධ්‍යයට වාර්තා විය. ජනාධිපතිවරයා කැඳවූ හමුවට යා යුතු යැයි පිරිසක් කියා සිටි අතර තවත් පිරිසක් කියා සිටියේ එසේ යා යුතු නැති බවයි. ඉන්දියාවේ සිටි මහින්ද රාජපක්ෂ මහතාට එක් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු දුරකතනයෙන් ප්‍රශ්නකර තිබුණේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව ජාතික සම්පත් රැකගන්නට උද්ඝෝෂණය කළ මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුළු පළාත් සභා මැති ඇමැතින් රිමාන්ඩ් කර තිබියදී පක්ෂ නායකත්වය කැඳවන රැස්වීම්වලට යා යුත්තේ මන්ද කියායි. එවිට රාජපක්ෂ මහතා ඔහුට දැන්වූයේ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා බහුතරයේ මතය අනුව ජනාධිපතිවරයා කැඳවන හමුවට යා යුතුද නැත්ද කියා තීරණය කළ යුතු වගයි. එසේම පසුගියදා පක්ෂයේ හිටපු නායිකා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රත්නපුරය ප්‍රදේශයේදී කළැයි කියන කතාවක් ගැනත් මන්ත්‍රීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්දට පැමිණිලිකර තිබිණි. චන්ද්‍රිකා එහිදී ප්‍රකාශ කර තිබුණේ සමහරුන් පක්ෂ සමගියක් ගැන කතා කරන බවත් තමන් සිටින තැනක කවුරුන් හෝ ඒ කතාව සිදුකළහොත් ඒ තැනැත්තාගේ කන පැලෙන්නට දෙකක් දෙන බවය. මෙම කතාව ගැනද අවධානය දැක්විය යුතු යැයි ඒ ගැන පැමිණිලි කළ මන්ත්‍රී පිරිස හිටපු ජනාධිපතිවරයාට පැවසූහ.

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ තුළ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පසුගිය දින කිහිපය තුළම වාර්තා පළවිය. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පක්ෂ නායකයා ලෙස යෝජිත ව්‍යවස්ථාව සම්මත කරන්නට මැතිසබයට ගෙන ආවොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යැයි කී කතාව එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය දැරූ පියසිරි විජේනායක මහතා විසින් විවේචනය කෙරිණි. අනතුරුව ජා.නි.පෙ. පක්ෂය රැස්වී පියසිරි අදාළ තනතුරින් ඉවත් කරන්නට තැත්කළ නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ බවද කියැවිණි. ඒ අතර සමාජ ජාලා මාධ්‍යයන් විසින් පළකළ තහවුරු නොකළ පුවතක සඳහන් වූයේ විමල් වීරවංශ මහතා ආණ්ඩුවේ අමාත්‍යවරයකුගේ නිල රථයකදී විශේෂ දේශපාලන සාකච්ඡාවක නිරත වූ බවකි. මේ ආදි කතා නිසා ජාතික නිදහස් පෙරමුණ පක්ෂය තුළ කිසියම් සසල වීමක් දක්නට ලැබේ. පියසිරි විජේනායක මහතාගේ ප්‍රකාශයත් නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතාගේ දැඩි නිහඬ බවත් සම්බන්ධවද විවිධ මාධ්‍යයන්හි නොයෙක් ආරංචි පළ වී තිබිණි.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී අවධානයට ලක්වූ ප්‍රධානම කාරණාවක් වූයේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීම අනුව කඳුකරයේ නව ප්‍රාදේශීය සභා 4ක් ස්ථාපිත කිරීමයි. අඹගමුව හා නුවරඑළිය ප්‍රාදේශීය සභා තවත් කොටස් ගණනාවකට කඩා නව ප්‍රාදේශීය සභා 4ක් ලබාගැනීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල යෝජනාව කැබිනට්ටුව සම්මත කළේය. ඒ අතර නැගෙනහිර පළාතේ සයින්දමරුදු වෙත නව ප්‍රාදේශීය සභාවක් අවශ්‍ය බවට පිරිසකුත් අනවශ්‍ය බවට තවත් පිරිසකුත් උද්ඝෝෂණය කරමින් තිබිණි. එහෙත් අමාත්‍ය මණ්ඩලය ඒ ගැන තීන්දුවක් ගත්තේ නැත.

පසුගිය රජය විසින් පවත්වාගෙන ගිය මිහින්ලංකා ගුවන් සේවය හා ශ්‍රීලන්කන් ගුවන්සේවයේ කටයුතු ගැන රාජ්‍ය ව්‍යවසාය ඇමැති කබීර් හෂීම් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. මිහින්ලංකා සමාගම ඈවර කරන්නටද අවසර පැතීය. “එතකොට බැංකුවලට ගෙවන්න තියෙන ණය මුදල්වලට මොකද වෙන්නේ”කියා ප්‍රශ්න කළේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමය. එම මුදල් ගෙවීමට මෙම ආයතනවල ප්‍රාග්ධනය නැති නිසා ණය ආණ්ඩුව විසින් භාරගත යුතු යැයි අමාත්‍ය කබීර් එහිදී සඳහන් කළේය. එවිට මේ කටයුතු ගැන විමර්ශනයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සජින් වාස් ගුණවර්ධන ඇතුළු පිරිසක් ආරම්භයේදී එම සමාජගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ බවද පැවසීය. අවසානයේ මිහින් ලංකා හා ශ්‍රීලන්කන් එයාර් ගැන සොයා බලන්නට ජනාධිපති කොමිසමක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය ලැබිණි.

කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලය සඳහා තවත් අක්කර තුනක භූමි භාගයක් ඒ අය විසින් ඉල්ලා ඇති බැවින් ගාලු මුවදොර ඉදිරිපිට ඉඩමෙන් අක්කර තුනක් එම හෝටලයට පැවරිය යුතු යැයි ජනාධිපතිවරයා සහ මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කළෝය. වෙළෙඳපොළ වටිනාකමට තවත් ලාභයක් එකතුකර අදාළ සමාගමට ඉඩම පැවරිය යුතු යැයිද යෝජනා කැරිණි. රිවෙර්නා නමින් ෂැංග්‍රිල්ලා සමාගම විසින් නිර්මාණය කර ඇති සමාගමකට මෙම පැවරීම කළයුතු යැයි පවසද්දී මහ නගර සංවර්ධන සහ නාගරික සංවර්ධන ඇමැති චම්පික රණවක කීවේ ගාලු මුවදොර ඉතා වටිනා මෙම ඉඩම ටෙන්ඩර කැඳවීමකින් තොරව අදාළ සමාගමට නොදිය යුතු බවයි. පසුගිය රජය කළ වැරදි මේ ආණ්ඩුවත් නොකළ යුතු යැයිද ඇමැති රණවක කීය.

කොළඹ කුණු පුත්තලම අරුවක්කාලු වෙත ගෙනයාමට තම අමාත්‍යංශයට තවමත් මුදල් ලැබෙන්නේ නැති බව අමාත්‍ය චම්පික රණවක කිය. මුදල් අමාත්‍යංශය ඒ සඳහා මුදල් නැතැයි කියනවා යයි ඇමැති රණවක වැඩිදුරටත් කීය. මේ සඳහා මුදල් නොදුන්නොත් නැවතත් කොළඹ කුණු ප්‍රශ්නය උග්‍රවනු ඇතැයි කී අමාත්‍යවරයා එසේ වුවහෝ මේ කාටවත් රෙදි ඇඳන් පාරේ යන්නට බැරිවේවි යැයිද සඳහන් කළේය. එවිට ජනාධිපතිවරයා මුදල් ඇමැති මංගලට කීවේ ඉක්මනින් ඒ මුදල් නිදහස් කරන ලෙසයි. රජයට බලපෑ උග්‍ර ප්‍රශ්නයක් වූ කුණු ප්‍රශ්නය ඉක්මනින් විසඳීම ගැන අමාත්‍ය රණවකට ජනපතිවරයා එහිදී ස්තූතිය පළකිරීමද විශේෂයකි.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය බදාදා සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වූයේ සිකුරාදා දින (03දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීල.නි.ප. මන්ත්‍රීන් කැඳවා පවත්වන්නට යන රැස්වීම ගැන තීන්දුවක් ගන්නටය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විදේශගත වී ඇති බැවින් රැස්වීමට පැමිණ සිටියේ නැත. හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීන්ට තම අදහස් ප්‍රකාශ කරන ලෙස දන්වා මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළේය. රැස්වීමට ආරාධනා කරමින් එවා තිබූ ලිපිය තුළ බරපතළ වචන අඩංගු වීම ගැන මන්ත්‍රීවරුන් ගණනාවක් නොසතුට පළකර තිබිණි. එසේම රැස්ව සිටි මන්ත්‍රීන් සියල්ලන්ගේම පාහේ අදහස වූයේ මෙම  රැස්වීමට නොයා යුතු බවය. තම කණ්ඩායමේ මෙම තීරණය ඇතුළත් කෙටි ලිපියක් ශ්‍රීල.නි.ප. මහලේකම්වරයාට යැවීමටද ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. එම ලිපිය ලැබීමෙන් පසු සන්ධාන මහලේකම් මහින්ද අමරවීම සඳහන් කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් පැමිණියත් නැතත් ජනාධිපතිතුමා කැඳවූ රැස්වීම පවත්වන බවය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවරට ගොස් එහි පැවැත්වූ වියත් මහ සමුළුව ඇමතීය. විශාල ජන සහභාගීත්වයක් තිබූ වියත් මහ සමුළුවේදී ගෝඨා විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු සඳහන් කළේ මේ රටට ආදරය කරන ඕනෑම නායකයකු සමඟ වැඩකරන්නට තමන් සූදානම් බවයි. මෙහිදී සමුළුවට පැමිණ සිටි අය කිහිපදෙනෙක් ඔබ මේ රටේ නායකත්වය භාරගන්නේදැයි ප්‍රශ්න කළවිට රටට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නැති බවත් කවදත් තමන්ට වැදගත් වන්නේ මව්බිම පමණක් බවත් කීය. එසේම දැන් රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට සියලුදෙනාගේ සහය අවශ්‍ය යැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

►ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර