2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ගාල්ලෙදි කොටු පැන්න බලවත්තු

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 840

අලුත්කඩේ උසාවියට ව්‍යවස්ථා නඩු වැස්සක්...

ගිය ආණ්ඩුව වැළලූ යහපාලනය ගොඩගන්නේ තමන් යැයි ජනපති කියයි..

මහින්දට ජපානෙදි පහසුකම් දෙන්න විදේශ ඇමැති දුන් නියෝගය කුණු කූඩයට

කාන්තාවන්ට මහ පුටු දෙන්න අගමැති රනිල් සැරසෙයි

ග්‍රහමාරු නිසා ලොක්කෝ ගොඩක් පිටරට

මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකා වන්නේ මැතිවරණ කල් යෑම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමඟ ඊට අදාළව ආන්දෝලනාත්මක පුවත් මැවෙන්නට විය. ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පැෆරල් සංවිධානය හා තවත් පොදුජන සංවිධාන ගණනාවක් ඉදිරි සතියේ ඊට සමාන තවත් පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අතර හිටපු අගවිනිසුරුවරයාගේ පෙත්සමේ සඳහන් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය සඳුදා ඉදිරිපත් කෙරිණි. පාදුක්ක ප්‍රදේශයේ නීතිඥ මහතකු විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මගින් ඉල්ලා තිබුණේ හිටපු අගවිනිසුරුවරයාගේ පෙත්සමට නෛතික පදනමක් නැති බැවින් විභාග නොකරම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ සියලු කතා මැද සඳහන් කළේ 2018 වසර හමාර වන්නට පෙර පළාත් සභා ඡන්ද පැවැත්විය හැකි බවට තමන්ට තිබෙන්නේ 50% ක විශ්වාසයක් බවය. සීමා නිර්ණය කටයුතු හා ඒවාට එල්ලවන විරෝධතා හා අභියාචනා සලකා බලා තීන්දුවක් ගැනීමට කල් ගතවන බැවින් පළාත් සභා ඡන්ද තිබෙන දිනය තමන්ට ප්‍රකාශ කළ නොහැකි යැයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේය. මෙම වාද විවාද මධ්‍යයේ උතුරැ මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල පාලනය පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරුණේ ඒවායේ නිල කාලය හමාර වීම නිසාය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර 70 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සාර්ක් කලාපීය රටවල කතානායකවරැන්ගේ සභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ මැතිසබා සැසිවාරයක් පැවැත්වුණි. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු සභාවට ජනාධිපති, අගමැති ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයන් ගණනාවක් ද පැමිණ සිටියහ. එහෙත් සමස්තයක් ලෙස මැතිසබයේ මන්ත්‍රීන් සිටියේ ස්වල්ප ගණනකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මැතිසබය අමතමින් කියා සිටියේ තමන්ගේ අරමුණ දේශපාලන බලය සාමූහිකත්වය කරා යොමු කිරීම බවය. 1978 ව්‍යවස්ථාවෙන් මෙන්ම පසුගිය රජය ගෙන ආ 18 වැනි සංශෝධනයෙන් ද පාර්ලිමේන්තු බලය දුර්වල වුණ බව පැවසූ හෙතෙම තම පාලනය යටතේ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කළ බව පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සභාව ඇමැතීය. වත්මන් පාර්ලිමේන්තුව පත් වූ විට මහජන නියෝජිතයන්ට අගමැතිගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට පවා අවස්ථාව රජය ලබාදුන් බව පැවසූ අගමැතිවරයා එබඳු හොඳ දේ සිදු වුවද ගත වූ වසර 70 තුළ රටට ආර්ථික සමෘද්ධිය උදා නොවීම කනගාටුවට කරුණක් යැයි කීය. රජයේ සැලැසුම අනුව පාර්ලිමේන්තුවට 80 වසර සපිරීමට පෙර ආර්ථික දියුණුව ළඟා කර දෙන බව අගමැතිවරයා වැඩිදුරටත් කීය. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල, මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද ඇතුළු මැති ඇමැතින් ගණනාවක් මේ සභාව ඇමතූ අතර සියල්ලන්ගේම පොදු අදහස වූයේ අඩුපාඩු ඇතත් පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් තහවුරු කළ යුතු බවයි. කතානායක කරු ජයසූරිය මහතා ද මෙහිදී විශේෂ දෙසුමක් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ දින දහයක සංචාරයක් සඳහා ජපානය බලා පිටත් විය. සංචාරය සඳහා රාජපක්ෂ මහතා එක්වූයේ ජපානයේ දී ඔහුට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් ද සිදුකර ගැනීමේ අරමුණින් බව දැනගන්නට තිබේ. හිටපු ජනපතිවරයා ජපානය බලා පිටත්ව යාමට පෙර අනුරාධපුරයේ පදිංචි ප්‍රකට දෛවඥවරියක වන ඥාණා මෑණියන් මුණගැසී සිය ගමනට ආශිර්වාද ලබා ගත්තේය.

රාජපක්ෂ මහතාගේ ජපාන චාරිකාවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් වන රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්ත, රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රී පිරිසක්, ද හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ද සහභාගි වූහ. ජපානය බලා පිටත්ව යාමට පෙර එරට නරීතා ගුවන් තොටුපොළේ දී අවශ්‍ය පහසුකම් සලසා දීමට උදව් කළ හැකිදැයි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් වැඩ බලන විදේශ අමාත්‍ය වසන්ත සේනානායක මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ වැඩ බලන විදේශ අමාත්‍යවරයා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒ බව දන්වා තිබිණි. නමුත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රී පිරිස නරීතා ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ එරට තානාපති කාර්යාලයෙන් මේ මන්ත්‍රී පිරිසට හෝ හිටපු ජනාධිපතිවරයාට සහායක් නොලැබුණු බව ඔහුගේ කාර්යාලය සඳහන් කළේය. එහෙත් නරීතා ගුවන් තොටුපොළේ විවිධ අංශවල තනතුරු දරන ශ්‍රී ලාංකිකයෝ ගණනාවක් සිටිති. ඔවුන් රාජපක්ෂ මහතා පැමිණි බව දැනගෙන වහාම මගී පර්යන්තයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දුන් බව පසුව වාර්තා විය.

ජපානයට පැමිණි රාජපක්ෂ මහතා මුල් දින කිහිපය ගත කළේ ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට හා ආගමික උත්සව ගණනාවකට සහභාගි වීමටය. එරට වෙසෙන ප්‍රකට ලාංකිකයකු වන ජයන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සංවිධානය කරන ලද ආරාධිත ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම් 24 ක් සහභාගි වූ තරගාවලියක සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් ලැබී තිබිණි. ඒ අනුව ඊට සහභාගි වූ රාජපක්ෂ මහතා ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානයෙන් පසු පැමිණ සිටි විශාල ශ්‍රී ලාංකික පිරිසක් අමතා කෙටි කතාවක් ද කළේය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව අයහපත් තැනකට ඇදවැටී තිබීම ගැන අදහස් දැක්වූ ඔහු තමන්ගේ පාලන කාලයේ ඉඩ නොදුන් බලවේගවලට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන්නට ඉඩ දීමෙන්  වැරදි සිදු වූ බව ප්‍රකාශ කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ ද දේශපාලනයේ දී මෙන් හොඳ කාල සහ නරක කාල ඇතැයි කී රාජපක්ෂ මහතා ක්‍රිකට් වැටී තිබේ නම් ක්‍රීඩකයන් උනන්දු කරවා ජයග්‍රහණයට පාර පෙන්වීම ජාතියේ යුතුකමක් යැයි ද කීය. තරග පරාජයේ දී ක්‍රීඩකයන්ට පහර දීමෙන් වැළකී ඔවුන්ට නැගී සිටීමට හයිය ලබාදිය යුතු යැයි ද මෙහි දී රාජපක්ෂ මහතා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ සහභාගි වූ ප්‍රධාන උත්සව වැඩි ගණනක් අධ්‍යාපනයට සම්බන්ධය. සුරක්ෂා සිසු රක්ෂණය, ජාතික පාසල් මහා ක්‍රීඩා උළෙල හා කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඉන් ප්‍රධාන ඒවා විය. විශාඛා විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොළ මහත්මියගේ සහ පාසල් සංවර්ධන සමිතියේ ඇරයුමින් විශාඛා විද්‍යාලයට පැමිණි අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ත්‍යාග ප්‍රදානයට සහභාගි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා දේශනයක් කළේය. මෙරට කාන්තා අභිවෘද්ධිය සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ විස්තර කළ අගමැතිවරයා පළාත් සභාවල සිට මැතිසබය දක්වා රටේ කාන්තා නියෝජනය ඉහළ දමා කාන්තාවන්ට ජාතික නායකත්වය සඳහා පාර කපන බව ප්‍රකාශ කළේය. ආසියාවේ රටවල් බහුතරයක ජනගහණයේ වැඩි ප්‍රතිශතය කාන්තාවන් වන නිසා විශාඛා විද්‍යාලය වැනි ආයතන වලින් රටට වැඩදායක කාන්තා නායිකාවන් බිහි කළ යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශපාලන පක්ෂයක් වන කොමියුනිස්ට් පක්ෂයේ 21 වැනි ජාතික මහා සමුළුව පසුගියදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී පැවැත්වුණි. පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව සඳහා මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ එක් වූහ. දිනේෂ් ගුණවර්ධන, මනෝගනේෂන්, ඩග්ලස් දේවානන්ද ඇතුළු දේශපාලන නායකයන් සහ කොමියුනිස්ට් පක්ෂයේ හිතවතුන් සෑහෙන පිරිසක් ද උත්සවයට එක්ව සිටියහ. එහිදී ප්‍රධාන දේශනය කළේ පක්ෂ ප්‍රධානී හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතා විසිනි. වත්මන් දේශපාලන තත්ත්වය ගැන සමාලෝචනයක යෙදුණු ඩියු ගුණසේකර මහතා සඳහන් කළේ තමන් වර්ෂ 2015 වන විට මෙරට දේශපාලන කැළඹීමක ස්වභාවය හඳුනාගෙන සිටි නිසා මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයකට නොයන ලෙස දැනුම් දුන් බව සඳහන් කළේය. ඒ බව කීවේ 2014 ජුලි මාසයේ දී බව පැවසූ ගුණසේකර මහතා තමන් මෙම අනාවැකිය කීවේ දෛවඥයන්ගේ අදහස් අනුව නොව සමාජයේ පන්ති බලවේගයන් හැසිරෙන ආකාරය ගැන අධ්‍යයනයෙන් පසුව බවයි.

ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රී පාර්ශ්වය සමඟ කටයුතු කරන මැති ඇමැතින්ගේ ප්‍රශ්න විමසා බලමින් ඔවුන්ගේ දුක ජනපතිවරයාටම පෞද්ගලිකව කීමට අවස්ථාව සලසා දුන් දුක්ගන්නා රැස්වීමක් පසුගිය සති අන්තයේ ගාල්ලේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් 26 දෙනෙක් පමණ ගාල්ලේ හෝටල් දෙකක නවාතැන් ගත්හ. මේ අයගේ ප්‍රශ්න ගැන ජනපතිවරයා තනි තනිව කතා කිරීමට ද වේලාවක් වෙන් කර තිබූ නිසා සෑම මැති ඇමැතිවරයකුටම විනාඩි 15 බැගින් තමන්ගේ රාජකාරි ප්‍රශ්න හා පෞද්ගලික ප්‍රශ්න රාජ්‍ය නායකයාට ඉදිරිපත් කරන්නට ඉඩ සැලැසුණි. මෙහිදී ඇතැමුන් තම තමන්ගේ පෞද්ගලික ආර්ථික ප්‍රශ්න පවා ජනපතිවරයාට විවෘතව දැන්වූ බව ආරංචිය. සමහරු මෛත්‍රී මහින්ද සමගිය ඇති කිරීම සඳහා සැලසුම් ද ඉදිරිපත් කළ බව දැනගන්නට තිබේ.

අනතුරුව පොදුවේ ද සාකච්ඡාවක් කළ ජනාධිපතිවරයා මැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතු ආකාරය විස්තර කළේය. ප්‍රථම දින රාත්‍රී 11.00 පමණ වන තෙක් මැති ඇමැතින් සමඟ රාත්‍රී භෝජනය ගනිමින් කතාබස් කළ ජනාධිපතිවරයා නිදන්නට ගිය පසු ඇතැම් මැති ඇමැතිලා ගී ගයන්නට පටන් ගත්හ. එහෙත් ඊට පෙර රැස්වීමේ සිටි ඇමැතිවරුන් තුන් දෙනෙක් පමණ හදිසියේ පිටව යන්නට සැරසුණේ පසුදා උදෑසන නැවතත් එන බව පවසමිනි. මේ ගමන් ගැන නිරීක්ෂණය කළ තවත් මැති ඇමැති පිරිසක් එයාල කොටු පනින්න යනවා යැයි විහිළු කරනු දක්නට ලැබිණි. කෙසේ හෝ මෙම රැස්වීමට පැමිණි ඇමැතිලා සහ මන්ත්‍රීලාට ආරක්ෂක නිලධාරීන් රැගෙන ඒම තහනම් කර තිබූ නිසා රාත්‍රියේ හදිසියේ පිටව ගිය ඇමැතිවරු රියැදුරන් සමඟ යන්නට ගියෝය.

ජනාධිපතිවරයා තනි තනිව මැති ඇමැතිවරු මුණගැසුණ ද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජයසේන ඇතුළු ඇමැති පිරිසකට ජනපතිවරයා පෞද්ගලිකව මුණගැසී තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ නැත. ඔවුන්ට පසුව අවස්ථාවක් ඒ සඳහා ඉඩකඩ සැලසීමට ජනපතිවරයා ප්‍රතිඥා දුනි. කෙසේ හෝ පසුදා පෙරවරුවේ නැවතත් වැඩමුළුව ආරම්භ වූ විට එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත ආදී මැති ඇමැතින් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යා යුතු අන්දම ගැන සිය මත ඉදිරිපත් කළෝය. එස්.බී. සහ ලක්ෂ්මන් යාපා කීවේ ශ්‍රී.ල.නි.පයේ දේශපාලනය කරනවා නම් හරියට කළ යුතු බවය. දෙපැත්තේ කකුල් දෙක තබාගෙන ගමනක් යා නොහැකි යැයි එස්.බී. සහ ලක්ෂ්මන් කී කතාව අනුර යාපා ඇතුළු පිරිසක් ද අනුමත කළහ. කෙසේ හෝ මේ ආකාරයට සංවාදාත්මකව පැවති වැඩමුළුව දෙවැනි දින දිවා ආහාරයෙන් පසුව හමාර විය.

මේ මස මැද භාගයේ සිදුවෙතැයි කියන ග්‍රහමාරු ගණනාවක් ගැන ප්‍රකට දේශපාලනඥයන් කලබලයට පත්ව සිටින බව තිරය පිටුපස වාර්තා කියයි. ඇතැමුන් පවසන්නේ සමහර දේශපාලන ප්‍රභූන් අපල උපද්‍රව වලින් බේරෙන්නට විදේශ ගත වී සිටින බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය මහින්ද සමරසිංහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්ත, රොෂාන් රණසිංහ ආදී මන්ත්‍රි පිරිසක් ද දැනටමත් විදේශ ගතව සිටිති. තවත් පිරිසක් අද හෙටම රට යන බව ද ආරංචිය. සමහරැ මෙරට දේවාල හා කෝවිල්වල පුද පූජා පවත්වති.

මෙම ග්‍රහ මාරුවෙන් පසුව ශ්‍රී.ල.නි.පයේ මැති ඇමැතින් කිහිප දෙනකු විපක්ෂයේ ස්වාධීනව අසුන් ගන්නා බවට ආරංචියක් මේ සතියේ නැවතත් පැතිර ගියේය. රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා මේ සතියේ වෙබ් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවෙන් ඉවත් වන ශ්‍රී.ල.නි.ප පිරිසක් ළඟදීම විපක්ෂයේ අසුන් ගන්නා බවය. නමුත් ඒ කවුද යන්නේ කවදාද යන්න දැන්ම කිව නොහැකි බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත් පක්ෂ මාරුවක් ගැන කතා කරන මේ පිරිසෙන් මැති ඇමැතින් තුන් දෙනෙක් පමණ මුලින්ම ඉවත් වීමට ඉඩ ඇතැයි ඒකාබද්ධය පැත්තට දැනගන්නට ලැබී තිබිණි. කෙසේ හෝ ටී.බී. ඒකනායක රාජ්‍ය ආමාත්‍යවරයාගේ ආණ්ඩුවෙන් යන කතාව ගැන ඇසූ ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ ලේකම් ධුරයක් දරන අමාත්‍යවරයකු කීවේ ටී.බී.ත් කට පරෙස්සම් කර නොගත්තොත් එයාටත් අරැන්දික ගිය පාරෙම යන්න වේවි කියායි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා මල්වතු මහනාහිමියන් බැහැදකින්නට මහනුවරට ගියේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ද රැගෙනය. ව්‍යවස්ථා කෙටුම්පත මහනාහිමියන්ට භාර දී උන්වහන්සේ සමඟ පැවති සාකච්ඡාවේ දී ගුණවර්ධන මහතා මෙම කෙටුම්පත මගින් බුදු දහමට තිබෙන ව්‍යවස්ථානුකූල අයිතිය හා රාජ්‍යයේ ඒකීයභාවය ගැන ඇති වගන්ති පිළිගත නොහැකි බව පැවසීය. බුදු දහමට ඇති තැන යෝජිත කෙටුම්පතින් හෑල්ලු කර ඇතැයි ගුණවර්ධන මහතා පැවසූ විට මහනාහිමියන් කියා සිටියේ ඒකීයභාවයට හා බුදු දහමට තිබෙන තැනට හානි නොකරන බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පොරොන්දුවක් දී ඇති නිසා එය විශ්වාස කළ යුතු බවය. ඒකාබද්ධ විපක්ෂයත් මෙම කමිටුවේ සිටියා නේදැයි විමසූ මහනාහිමියෝ මහා සංඝරත්නයට රජය එකක් කියන විට විපක්ෂය වෙනත් දෙයක් කියන්නේ යැයි කීහ. එයින් පිළිගන්නේ කුමක්ද කියා ප්‍රශ්නයක් මතුවන බවත් උන්වහන්සේ පැවසූහ. කවුරුන් හෝ හොඳ දෙයක් කරන්නේ නම් ඊට විරැද්ධ නොවිය යුතු යැයි කී මහනාහිමියෝ 1956 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට පවා දේශපාලනඥයන් විරුද්ධ වූ බවත් එයින් ලද ප්‍රතිඵලය හානිකර බවත් පැවැසූහ.

මල්වතු මහනාහිමියන් ඊට පසුදා මුණගැසුණු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ බලය බෙදන නමුත් රට නොබෙදෙන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය වන වගය. සමහරුන් රට කඩනවා යැයි හඬ නගන්නේ බලය බෙදීම රට බෙදීම ලෙස වටහාගෙන යැයි ද පැවැසූහ.

මල්වතු මහනාහිමියන් එලෙස ප්‍රකාශ කරන අතර රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන පේමසිරි නාහිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ තම නිකාය කල්පනා කරන්නේ මේ අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බවය. දැන් රටට නව ව්‍යවස්ථාවක් සැකසීමට සුදුසු මොහොත නොවන බව ද උන්වහන්සේ පෙන්වා දී තිබේ. මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් යෝජිත ව්‍යවස්ථාව මැතිසබයට ඉදිරිපත් නොකරම ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බැවින් ඒ ගැන දැඩි අවධානය යොමු කරන්නැයි ද උන්වහන්සේලා ප්‍රකාශ කළහ. 

එසේම රජයේ සමහර මැති ඇමැතින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා චීවරධාරීන් - පිස්සන් - හොරුන් - මදාවියන් හා රස්තියාදුකාරයන් ලෙස හඳුන්වා දෙමින් කරන නිග්‍රහයන්ට එරෙහිව වහා පියවර ගන්නැයි ද රාමඤ්ඤ නිකායේ මහනාහිමි ප්‍රමුඛ හිමිවරුන් ඉල්ලා සිටිති. එසේ ව්‍යවස්ථා විවාදය ඉදිරියට ඇදී යද්දී ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය මාදුරැඔයේ ධම්මිස්සර නාහිමියන් ඇතුළු විද්වත් පිරිසක් නියෝජනය කරන මහජන රාජ්‍ය සභාව ප්‍රකාශ කළේ මල්වතු මහනාහිමියන්ගේ මතයට නමන්ලාට එකඟ විය නොහැකි බවය. වසර තිහක කුරිරු යුද්ධය හමාර කොට ලබාගත් ජයග්‍රහණ යෝජිත ව්‍යවස්ථාව මගින් හෑල්ලු කර දමන්නට තැත් කරන්නේ යැයි ද මහජන රාජ්‍ය සභාව ප්‍රකාශ කර තිබිණි.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන වශයෙන්ම එහිදී කතාබහට ලක් වූයේ පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කමිටුව ගැනයි. මෙම කමිටුව සඳහා පත් කළ මුස්ලිම් නියෝජිතයා ගැන අමාත්‍ය රවුෆ් හකීම්, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපාට දැඩි ලෙස චෝදනා නැගීය. මෙම පත් කිරීම ඉතාම අසාධාරණ බවත් ඔහු රිෂාඩ්ගේ පක්ෂ සාමාජිකයකු බවත් කී හකීම් ඊට වඩා හොඳ අය ඕනෑ තරම් සිටි බවත් කීය. එවිට ෆයිසර් හා එක් වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා රවුෆ්ට දැඩි ලෙස දොස් නගන්නට වූහ. රවුෆ් කියන්නේ අසත්‍ය යැයි මේ අය වාද කරන්නට වූහ. දෙපක්ෂය උණුසුම් ලෙස වාද කරගනිද්දී කබීර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මුස්ලිම් පක්ෂවලට මේ මුස්ලිම් නියෝජිතයා පිළිබඳව විරෝධයක් තිබේ නම් එ.ජා.පයෙන් මුස්ලිම් නියෝජිතයකු පත් කළ හැකි බවය. ඒ සමඟ ජනාධිපතිවරයා මැදිහත්ව පැවති වාග් සටන හමාර කළේය.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00