2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

රවී ගෙදර ගිය හැටි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 543

මහ බැංකු බැඳුම්කර සිද්ධිය විසින් ඇතිකරන ලද දේශපාලන ආන්දෝලනය හේතුවෙන් ආණ්ඩුව මුහුණදුන් අපහසු තත්ත්වය තරමක් දුරට සමනය වූයේ විදේශ අමාත්‍ය රවි කරුණානයක මහතා ඉල්ලා අස්වීමෙනි. කරුණානායක මහතා පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ දෙන ලද සාක්කිය හා ඊට පෙර අනිකා විජේසූරිය මෙනවිය විසින් දෙන ලද සාක්කිය නිසා විශාල දේශපාලන කතාබහක් සමාජය තුළ හටගත්තේය. බැඳුම්කර වංචාවට සම්බන්ධ පාර්ශ්වය සමඟ එවකට රටේ සිටි මුදල් ඇමැතිවරයාගේ පවුලේ අය ගනුදෙනු කළ ආකාරය ගැන සෑම පාර්ශ්වයකින්ම ප්‍රශ්න මතු කෙරිණි. ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්නට කුරුම්පු සොයමින් සිටි ඒකාබද්ධ විපක්ෂයට මෙම සිද්ධියෙන් ලැබුණේ කදිම අවස්ථාවකි. ඔවුන් මැතිසබයට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමඟ රත් වී තිබූ දේශපාලනය කැළඹෙන්නට පටන් ගත්තේය. ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතමයකු වන එ.ජ.නි.ස මහ ලේකම් මහින්ද අමරවීර කියා සිටියේ මේ බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශනය කරන ලෙස මුලින්ම අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කළේ තමන් බවය. විශ්වාසභංගයටද ශ්‍රී.ල.නි.ප මැති ඇමැතින් සහාය දෙන්නේ යහපාලන රජය තුළ වංචාවට හා දූෂණයට ඉඩක් නොමැති නිසා බව ඔහු කීය. මෙයට පෙර ඇවන්ගාඩ් සිද්ධියට අදාළව මතු වූ චෝදනා නිසා අමාත්‍ය තිලක් මාරපන මහතා ඉල්ලා අස්වූ ලෙස රවි කරුණානායක මහතාද යායුතු බව අමරවීර අමාත්‍යවරයා නොකියා කීය. 

එය යහපාලන ආණ්ඩුව මෙරට ඇති කරන ලද යහපත් දේශපාලන වෙනසේ ප්‍රතිඵලයක් යැයිද හෙතෙම පැවසීය. පසුගිය ආණ්ඩුව කාලයේ මෙලෙස චෝදනාලත් කිසිවකු ඉවත්වූයේ නැති බවද අමරවීර අමාත්‍යවරයා මතක් කළේය. ඒ හැර ශ්‍රී.ල.නි.පයේ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා පමණක් නොව එ.ජා.පයේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාද හෙළඋරුමයේ චම්පික රණවක මහතාද මෙබඳු චෝදනාවක් ලද තැනැත්තා සදාචාර සම්පන්නව යා යුතුයයි කීහ. මේ කතා සියල්ල ප්‍රචාරය වූවාට පසු සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද කීවේ තම රජය හොරැන් රකින්නට සූදානම් නැත කියාය. එසේම කවුරැන් හෝ තමන්ට මෙම කාරණයේදි බලපෑම් කරන්නට සැරසෙන්නේ නම් තනතුර හැරදමා යාමට වුවත් සූදානම් යයි සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබිණි. 

ඒ අතරතුර පසුගිය සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 පිරීම නිමිත්තෙන් අරලියගහ මැඳුරේ සංවිධානය කර තිබු සාදයේදි ජනාධිපතිවරයා තමන් අසලට පැමිණි රවි කරුණානායක මහතාට කීවේ දැන් ඉතින් ඔබතුමා කරන්න ඕන ඉල්ලා අස්වීම බවය. එහෙත් රවි එයට පිළිතුරක් ලබා දී නැත. ඔහු පසුව විදේශ මාධ්‍යවලට හා ඉංග්‍රීසි පුවත්පත්වලට කියා තිබුණෙ ජනාධිපතිවරයා තමන්ට ඉවත්වන්නැයි නොකී බවය. මෙම ප්‍රශ්නය සම්බන්ධ කතාව ඇදි යද්දී රවි කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක මෙනවිය ස්වකීය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනින් ප්‍රශ්න කළේ තමන්ගේ පියා පමණක් බැඳුම්කරයට ඉලක්ක කරන්නේ ඇයිද යන ප්‍රශ්නයයි. එසේම විවිධ සමාජ මාධ්‍යජාල වල පළවූ පුවත්වලින් කියැවුණේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ නමද මෙම කාරණය සමඟ ඈඳී ඇත කියාය. මලික්ගෙන් ඒ ගැන මාධ්‍යය මෙන්ම හිතවතුන්ද ප්‍රශ්න කළහ. එවිට ඔහු ප්‍රකාශ කළේ බැඳුම්කර කොමිසමට තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යනම් ප්‍රකාශ ලබාදීමට ඕනෑම මොහොතක සූදානම් බවයි. මෙයට තමන්ගේ නම් සම්බන්ධ කර ඇතැමුන් චෝදනා කළද තමන් ඊට කිසිදු සම්බන්ධයක් නැතැයිද මලික් සඳහන්කර තිබිණි. කබීර් හෂීම්ග‍ෙ නමද මෙහිදී සඳහන් වී තිබිණි. 

කොමිසම උසාවියක්: විශ්වාසභංගවලට ඉඩ නැහැ. එ.ජා.පය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය තමන් විසින් සකස්කරන ලද විශ්වාසභංගයට ඡන්ද එකතු කරන්නට විය. බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රන්ජිත් සොයිසා, ගාමිණි ලොකුගේ ආදි මන්ත්‍රිහූ ඒ ගැන ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතින් සමඟ සාකච්ඡා කරන්නට වූහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හික්කඩුවේදී සඳහන් කළේ තමන්ද රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දෙන වගයි. එසේම ඉදිරියේදී ආණ්ඩුවේ සියලු වැරදිවලට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආයුතු යැයිද මහින්ද සඳහන් කළේය. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතීම සඳහා මැති සබය රැස්වූදා එම හමුවෙන් පසුව අගමැතිවරයා හමුවූ ශ්‍රීලනිප ඇමැතිවරැන් කණ්ඩායමක් අගමැති සමඟ බැඳුම්කර සිද්ධිය ගැන කතා කොට තිබිණි. ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නිමල් ලන්සා ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමට අයත් වූහ. ඔවුන් සඳහන් කළේද රවි යායුතු වගය. හොඳයි මම ඒක රවි කරැණානායක ඇමැතිතුමාට දන්වන්නම් යැයි අගමැතිවරයා ශ්‍රී.ල.නි.ප ඇමැතින්ට කීය. 
මේ ආකාරයට තත්ත්වය මෝරා යද්දී එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨ ඇමැතින්ද අගමැතිවරයාට කියා සිටියේ මේ වෙලාවේ කළ යුතු හොඳම දේ රවි ඉවත්වීම බවයි. මෙම පසුබිමේ හැටන් ප්‍රදේශයේදි ජනහමුවක් ඇමැතූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කීවේ එ.ජා.පය හොරැන්ගේ ආණ්ඩුවක් නොවන බැවින් හොරුන් නොරකින වගය. වත්මන් යහපාලන රජය යටතේ රජයේ ජ්‍යෙෂ්ඨ අමැතිවරුන්ගෙන් නීතිපතිවරයාගේ කොමිෂන් සභාවලට ප්‍රශ්න කරන්නට අවසර ඇතැයි කී අගමැතිවරයා පසුගිය රජය කාලයේ මේවා කළා නම් යන්නට සිදුවන්නේ සුදු වෑන් වලින් යැයිද කීය. මේ රජයේ මෙන්ම ගිය රජයේ දුෂණ වංචා ගැනත් හෙළිදරව් කරන ලෙද අගමැතිවරයා මාධ්‍යයට අභියෝග කළේය.

රවි කරුණානායක මහතා ඉවත් විය යුතුයැයි ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ පක්ෂ ගණනාවකින් අදහස් මතුවෙද්දී රවි සිය දේශපාලන හිතවතුන් තමන්ගේ නිවසට කැඳවා මේ ගැන ඔවුන්ගේ මතය විමසීය. ඒ ගැන රවිගේ හිතවතුන්ගේ මතය වී තිබුණේද ඔහු ඉවත් නොවිය යුතු වග යැයි පසුව සඳහන් විය. අනතුරුව විදේශ අමාත්‍යංශ බලධරයන් ඇමතූ රවි මේ සතියේ නේපාලයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට යෑම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන්නැයි නියම කළ අතර මේ දිනවල මෙරටට පැමිණ සිටින තුර්කියේ හිටපු අගමැති පිළිගැනීමටද සහභාගි විය.

මේ වනවිටත් ජනාධිපතිවරයාගෙන් මෙන්ම අගමැතිවරයාගෙනුත් දිගින් දිගටම රවිට ලැබුණ පණිවිඩ වලින් කියැවුණේ තනතුරින් ඉවත්වන ලෙසයි. එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් කණ්ඩායමෙන් රවිට ඉතා හිතවත් මන්ත්‍රී දහදොළොස් දෙනකු හැරෙන්නට අන් සියල්ලන්ගේම මතය වූයේද රවි දැන් යායුතුය කියායි. ජනාධිපතිවරයාගේ පවුලට සම්බන්ධ ප්‍රභූ කාන්තාවක් රවි කරුණානායක පවුලේද හිතවතියකි. පසුගිය සති අන්තයේ ඇය රවිගේ නිවසට හදිසියේම පැමිණ තිබුණේ ජනාධිපති මන්දිරයෙන් අමාත්‍ය කරුණානායකට විශේෂ පණිවිඩයක්ද රැගෙනය. එමගින් දන්වා තිබුණේ මෙම සතිය වනවිට අමාත්‍ය පදවියෙන් ඔහු ඉවත් විය යුතු බවය. එසේ නැතහොත් ආණ්ඩුවට තීන්දුවක් ගන්නට සිදුවන බවද මෙම ප්‍රභූ කාන්තාව රවිට දුන් පණිවුඩයේ සඳහන්ව තිබිණි. 

ශ්‍රී.ල.නි.ප. ඇමැතිලාගෙන් එ.ජා.ප පසුපෙළෙන් රවිට විරෝධය

 

ඉන් දිනකට පසු රවි අගමැතිවරයාට තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ඔහු කරුණු දැක්වූ බව දැගන්නට ඇතත් ඔහු කී දේ නිශ්චිතව වාර්තා වූයේ නැත. එහෙත් තහවුරැ නොකළ ආරංචි මාර්ග පවසන්නේ මෙම බැඳුම්කර සිද්ධියට තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකුද සම්බන්ධ බැවින් යනවානම් තමන් පමණක් නොව ඒ සියල්ලන්ට යා යුතු යැයි රවි ආණ්ඩුවට දැන්වූ බවය. රවි මේ ආකාරයට ඉවත් වීම දිගින් දිගටම ප්‍රතිෂේප කරද්දී අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා කීවේ රවි කරැණානායක අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධිය ලූණු බිකක් තරම් කුඩා එකක් කියයි. ඒකාබද්ධ විපක්ෂයේ කම්බා හොරුන් විශාල වශයෙන් ඉන්නවා යැයි කී රාජිත ඔවුන්ගේ විදේශ බැංකු ගිණුම්වල තිබෙන මුදල් ගැනත් වහාම හොයාබැලිය යුතු යැයි පැවසීය. 

රවි කරුණානායක අමාත්‍යවරයා සිය පදවියෙන් ඉවත් වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දී ගිය අඟහරැවාදා මැතිසබය රුස්විය. එහි පක්ෂ නායකයන්ගේ සමුළුවක් කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එදින දහවල් 12.00ට පැවැත්විණි. ජ.වි.පෙ නායක අනුර දිසානායක මහතාට මෙම රැස්වීම ගැන කල්වේලා ඇතිව නොදැන් වූ බව පසුව සඳහන් කළ හෙතෙම පක්ෂ නායක සමුළුවට පැමිණ සිටියේ නැත. ආණ්ඩුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, අජිත් පී. පෙරේරා ඇතුළු පිරිසක්ද දෙමළ සන්ධානය හා තවත් පක්ෂ ගණනාවක නියෝජිතයෝද මෙම හමුවට එක්වූහ. මෙදින සාකච්ඡා කළ යුතු ප්‍රධාන මාතෘකාව වූයේ ඒකාබද්ධ විපක්ෂය රවි කරුණායක මහතාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ගැනයි. 
දිනේෂ් ගුණවර්ධන මුලින්ම කීවේ මෙය රටට බලපාන ඉතා වැදගත් කරුණක් බැවින් එය මැතිසභා න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඉක්මණින් විවාදයට ගැනීමට අවශ්‍ය බවය. එ.ජා.පය වෙනුවෙන් ඊළඟට කරැණු කීවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලයි. ඔහුගේ අදහස වූයේ මෙම යෝජනාවට හේතු වී ඇත්තේ රවි කරැණානායක අමාත්‍යවරයා ගැන ජනාධිපති කොමිසමක් හමුවේ හෙළිදරව් වූ කරුණු බවයි. මෙම කොමිසම අධිකරණයක් හා සමාන යැයි කී අමාත්‍ය කිරිඇල්ල පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව අධිකරණයක් හමුවේ ඇති කාරණයක් ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද කළ නොහැකි යැයි කීය. ඒ නිසා කොමිසම හමාරවී තීන්දුවක් දෙන තුරු විශ්වාසභංගය සාකච්ඡා කළ නොහැකිය යන්න කිරිඇල්ලගේ තර්කය විය. එහෙත් දිනේෂ් ගුණවර්ධන කිරිඇල්ල හා එකඟ නොවී තර්ක කළේය. සභාපතිතුමා මෙතන බොරැ තාක්ෂණික හේතු ඉදිරිපත් කරලා ප්‍රශ්නයෙන් පැනලා යන්න හදන්න එපා... මේ යෝජනාවෙත් ආණ්ඩුවෙන් විපක්ෂයෙත් සෑහෙන පිරිසක් සහය දෙන බව දැනටමත් කියලා... ඒ නිසා කරුණාකරලා මේක විවාදයට ගත යුතුමයි... දිනේෂ් නැවත කීය. ඒක කරන්න නීතියෙන් වගේම ස්ථාවර නියෝගවලිනුත් ඉඩ නැහැ. ඒ ගැන කතානායකතුමා තීන්දුවක් ගන්න... ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය. අනතුරුව අදහස් දැක්වූයේ කතානායක කරු ජයසූරිය මහතාය. මේ ප්‍රශ්නය ගැන පක්ෂ නායකයන්ගේ ඒකමතික අදහසක් නැති බව පේනවා. ඒ නිසා මට මෙම ප්‍රශ්නය ගැන නීතිපතිවරයාගේ අදහස් ගන්නට සිද්ධවේවි... මම ඒ අදහස් අරන් ලබන බ්‍රහස්පතින්දාට මගේ තීන්දුව ප්‍රකාශ කරන්නම් කතානායකවරයා පක්ෂ නායකයන්ට කීය. ඒ ආකාරයට පක්ෂ නායක රැස්වීම හමාර වූයේ තීන්දුවකින් තොරවය.

එහෙත් එදින මැති සබය රැස්වූ විට විමල් වීරවංශ මේ ගැන ප්‍රශ්න කළේය. කතානායකවරයා බ්‍රහස්පතින්දා තීන්දුව දෙන වග කීය. එවිට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීවේ රජය පැත්තෙන් වැරදි මතයක් ඉදිරිපත් කරමින් යෝජනාව යටගහන්නට හදන වගයි. බැඳුම්කර කොමිසමේ විභාග වන්නේ බැඳුම්කර සිද්ධිය ගැන වුවත් විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ අයථා ලෙස ඇමැතිවරයා නිවසක් ලබාගත් බවට නැගෙන චෝදනාව මත පදනම්ව යැයි ඔහු පෙන්වා දුන් බවය. එයට කුලී ගෙවීම සිදුකර ඇත්තේ කවුද යන්න හෙළිදරව්ව ඇතැයිද ඔහු කීය. ජ.වි.පෙ නායක අනුර දිසානායක මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කීවේ මෙබඳු වැදගත් යෝජනාවක් ඉදිරිපත් වූ විට එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම කතානායකගේ වගකීම බවය. එහෙත් මෙතෙක් එය ඉටුනොකිරීම වරදක් යැයි අනුර දිගින් දිගටම කීය. කෙසේ හෝ මේ ආකාරයට බැඳුම්කර ඝෝෂාව මැතිසබයේ පැතිරෙද්දී බොහෝ දෙනෙක් බලා සිටියේ මෙම ප්‍රශ්නය ගැන ජනපති අගමැති දෙදෙනා කවර තීරණයක් ගනීද කියායි.
අඟහරුවාදා රැස්වීමට තිබූ අමාත්‍ය මණ්ඩලය බදාදාට කල් ගියේ ජනාධිපති මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් අවස්ථාවට සහභාගිවීමට තිබූ නිසාය. ඒ අනුව බදාදා අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි. මෙම රුස්වීමට රවි කරුණානායක අමාත්‍යවරයා පැමිණෙතැයි ඇමැතිවරුන් අපේක්ෂා කළද රවි ආවේ නැත. අමාත්‍ය මණ්ඩල රැස්වීම උණුසුම් වූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා එ.ජා.ප ප්‍රධානින් ඉලක්ක කරගෙන කොමිෂන් සභා ක්‍රියාත්මක වන බවට චෝදනා නැගීමත් සමඟය. එවිට ජනාධිපතිවරයා කීවේ තමන් රාජපක්ෂලාගේ වැරදි හොයන්නට තවත් කොමිෂන් සභා දහයක් වුවද පත් කිරීමට පසුබව නොවන බවය. අනතුරැව හම්බන්තොට වරාය ගිවිසුම ගැන අර්ජුන රණතුංග මහතා සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ විජේදාස රාජපක්ෂ මහතා දැඩි ලෙස විරෝධය පළ කළහ. අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මේ ගැන සෙවීමට පත් කළද එය නොතකා ගිවිසුම අස්සන් කළ බව ඔවුහු කීහ. එවිට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කීවේ දැන් ගිවිසුම අස්සන් කර ඇති නිසා කළ හැක්කක් නොමැති බවයි. එවිට ඇමැතිවරැ මලික්ට විරෝධය පළ කළහ. ඒ සමඟ ලොකු ගාලගෝට්ටියක් හටගැනිණි. 

බැඳුම්කරේ හවුල්කාරයන් ගැන රවිගේ දුව ඉඟිකරයි

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ උළෙල පැවැත්වෙන අවස්ථාවේ දිය කපන තොටට ගියේය. ඒ සඳහා රාජපක්ෂ මහතා සහභාගි වූයේ ඒ ස්ථානයේ බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ හිතවතුන් විසින් පැතුම් බෝධිය අසළ ඉදිකරන ලද ඝණ්ඨාර කුලුන විවෘත කිරීමට ගිය අවස්ථාවේදීය. එයින් පසු කොළඹ පැමිණි රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි විය. එහිදි ප්‍රධානම මාතෘකාව වූයේ බැඳුම්කරය සම්බන්ධ විශ්වාසභංග යෝජනාවයි. බැඳුම්කරය ගැන ජනතාව දැනුම්වත් කිරීම සඳහා රටපුරා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට එහිදී තීන්දු විය. එසේම ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන සියලු විරෝධතා මෙවර පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය හමාරවූ පසු තැබීම වඩා හොඳ බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දරුවන්ගේ අධ්‍යාපනයට දේශපාලන විරෝධතා බාධාවක් නොවිය යුතු බවයි. එසේම ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන්ට අභූත චෝදනා එල්ල කරන ආණ්ඩුවේ ඇමැතිවරැන් ගැනද මෙහිදී අවධානය දැක්විණි. විශේෂ ජනාධිපති කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, එෆ්.සී.අයි.ඩිය, සී.අයි.ඩිය ආදි ආයතන රැසකින් රාජපක්ෂ පවුල ගැනත් ඒකාබද්ධයේ සෙසු නායකයන් ගැනත් නොයෙක් විමර්ශන සිදුකර නඩු ගණනාවක් පවරා තිබියදීත් තවදුරටත් සනාථ කළ නොහැකි කටකතාවලට පදනම් වන අසත්‍ය චෝදනා නගන අමාත්‍යවරැන් ගණනාවක් සිටින බැවින් මින් ඉදිරියට ඔවුන් නගන චෝදනා ගැන නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය. ඒ අනුව ප්‍රථම නඩුව රාජපක්ෂ පවුලේ වත්කම් ගැන රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශ පදනම් කරගෙන පැවරීමට තීන්දු කෙරිණි. එය මහින්ද රාජපක්ෂ මහතා විසින්ම සිදුකිරීමටද පක්ෂ නායකයෝ තීන්දු කළහ. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා මුණගැසිණි. මෙම හමුව සිදුවූයේ කොළඹ පළාත් සභා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් දොරට වැඩීමේ උත්සවයකදීය. එහිදි සම්පන්දන් මහතා සඳහන් කළේ උතුරේ ප්‍රශ්නය හරිහැටි විසඳීමට ලොකුම කාර්යභාරයක් කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාටත් තමාටත් බවය. ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් සහාය ලැබෙන බවද සම්පන්දන් මහතා ප්‍රකාශ කළේය.

ඉල්ලා අස්වී හෝ බැඳුම්කරයට අදාළ විශ්වාසභංගයට ඡන්දය දෙන බව මුලින් කී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවක් කැඳවා සඳහන් කළේ වත්මන් රජය ගිය ආණ්ඩුවේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ ද සෙවිය යුතු බවය. අද හොරකම් ගැන ඇඟිලි දිගු කරන්නේ එදා හිටපු හොරැ යැයි කී හරීන් අමාත්‍යවරයා වත්මන් රජය යටතේ ගිය රජයේ හොරුන් ආරක්ෂා වන වගට චෝදනා නැගීය. තමන්ලා මහන්සි වී හැදු ආණ්ඩුව තමන්ටම පාරාවළල්ලක් වී ඇතැයි කී හෙතෙම වත්මන් ආණ්ඩුව අපටම වළ කැපුවා යැයි චෝදනා කළේය. මේ වන විට ඇතැම් ජනමාධ්‍ය හැසිරෙන්නේ රටක ආණ්ඩුවක් නැති ගාණට යැයිද ඔහු වැඩිදුරටත් කීය. 

මහින්දලාගෙන් රටපුරා බැඳුම්කර ගැන සම්මන්ත්‍රණ

ශ්‍රී.ල.නි.පයේ අමාත්‍යවරැන් පසුගියදා ගත් විශේෂ තීන්දුවකින් කියැවුණේ තවදුරටත් රවි කරුණානායක මහතා තනතුරින් ඉවත් නොවී සිටියහොත් ඔහු සහභාගිවන කැබිනට් රුස්වීම් වර්ජනය කළ යුතු බවයි. ඒ බව නිල නොවන වශයෙන් ජනාධිපතිවරයාටද දැන්වීය. අනතුරැව ජනාධිපතිවරයා ඇතැමතිවරුන් කැඳවා බොහෝ වේලාවක් කතාබස් කොට රවි කරුණානායක ඉවත්වීමට ඉඩ ඇති බවත් නැතහොත් තමන් දැඩි තීන්දුවක් ගන්නා බවත් පවසා ප්‍රශ්නය සමතයකට පත් කළේය. 

එසේම ගිය සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට පසු එම කාර්යාලයට රවි කරුණානායක අමාත්‍යවරයා කැඳවූ ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රාජිත ෙස්නාරත්න අමාත්‍යවරයා ඔහු සමඟ පෞද්ගලිකව පැයකට වැඩි කාලයක් සාකච්ඡා කළේය. එහිදී ඔහුට දැනුම් දුන්නේ අමාත්‍යධූරයෙන් ඉවත් විය යුතු බව යැයි තහවුරැ නොකළ වර්තා කියයි. 

ජනතා විමුක්ති පෙරමුණද විශ්වාසභංගයට සහය දෙන බව ප්‍රකාශ කර තිබිණි. එහි ප්‍රචාරක ලේකම් විජත හේරත් මහතා පසුව ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව මගින් නිධානය ගොඩගත් සමහරැ රවි බිල්ලටදී බේරෙන්න හදන වගයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ඔහු දැඩි ලෙස පහර දුන්නේය. විජත හේරත් මහතා වැඩිදුරටත් කීවේ ඒකාලේ නැව් ගිලපු අයට මෙම හොරකම ඉතා පුංචියට පෙනෙන වගයි. එම නිසා අලුත් හොරැ එළවා පරණ හොරු හොයන්නට නොගොස් හොරු නැති ආණ්ඩුවක් හදාගත යුතු යැයි විජත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යයට කීය. ආණ්ඩුවේ තීන්දුව අනූව විදේශ අමාත්‍ය රවි කරැණානායක මහතා ගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය තනතුරින් ඉවත්වෙමින් කෙටි කතාවක් කළේය. ඔහු එහිදී සඳහන් කළේ තමන් මැතිසබයෙන් මෙසේ ඉවත් වන්නේ ආදර්ශයක් දෙමින් බවය. එසේම එ.ජා.ප පාක්ෂිකයනුත් ආණ්ඩුවත් වෙනුවෙන් තනතුරැ කැප කරන බව කී රවි මෙරට දේශපාලනයේ තමන්ට හිමි තැන ඉතිහාසය විසින් කවදා හෝ ලබාදෙනු ඇතැයිද කීය. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ යහපාලන රජය අලුත් සංස්කෘතියක් රට තුළ ඇති කළ බවයි රවි අද ලබාදුන් ආදර්ශය මින් ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇතැයිද අගමැතිවරයා කීය. විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පැවැසුවේ චෝදනාවක් නැගුණු පසු එය ඔප්පු වීමට පෙර මෙසේ ඉවත් වීම හොඳ දෙයක් බවයි. දෙමළ සන්ධානය මේ ගැන ඉවසිල්ලෙන් බලා සිටින බවද විපක්ෂ නායකවරයා කීය.

හම්බන්තොට ගිවිසුමට ඇමැති තුනකගේ විරෝධය

මෙම යෝජනාවට මුල් වූ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති කතාබහකදි ප්‍රකාශ වූයේ ඔවුන් ආණ්ඩුවට එරෙහි පළමු වෙඩි මුරය තැබූ බවයි. රවිට ඉවත්වන්නට සිදුවූයේ විපක්ෂයේ දැඩි බලපෑම නිසා බැවින් බැඳුම්කරයට සම්බන්ධ සෙසු තැනැත්තන් හා කාරණා ගැන දිගින් දිගටම හෙළිදරව් කිරීමට ඔවුහු තීන්දු කළහ.

මේ කටයුතු සිදුවෙද්දී එ.ජා.පය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සැලැසුම් කෙරිණි. ඊට රාජිත සේනාරත්න වැනි අමාත්‍යවරුද හෙක්ටර් අප්පුහාමි, නලින් බණ්ඩාර, කාවින්ද රජවර්ධන වැනි මන්ත්‍රීවරුද එක්ව සිටියහ. ආණ්ඩුව කැබිනට්ටුවේදී ගන්නා තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කැබිනට් සාමුහික වගකීම උල්ලංඝනය කිරීම හා පසුගිය රජයේ හොරුන් ඇල්ලීමට කෙරෙන නීති කටයුතු ප්‍රමාද වීම වැනි චෝදනා යටතේ එ.ජා.ප මන්ත්‍රීන්ගේ අත්සනින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි කියැවේ.


ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
ෙස්යාරුව | ගයාන් අමරෙස්කර