2017 ජුනි 03 වන සෙනසුරාදා

පෙරළිකාර තීන්දුගත් මහ රෑ රහසිගත හමුව

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1301

මහා ගංවතුර ගැන ආරංචිය ලැබෙන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිටියේ ඕස්ට්‍රේලියාවේය. දින තුනක රාජ්‍ය සංචාරය නිම වෙන විට ලංකාවේ පළාත් තුනකටම මහ වැසි ඇදහැලෙමින් තිබිණි. පැය 24ක් යාමට මත්තෙන් සිතාගැනීමටත් අපහසු තරම් මහ ව්‍යසනයක් සිදුවී තිබීම නිසා විපතට පත්වූවන්ට හැකි ඉක්මණින් ආධාර සැපයිය යුතුව තිබිණි. මේ වනවිට ආපදා කළමනාකරණ අමාත්‍යංශය භාර ඇමැතිවරයා වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිටියේ මෙක්සිකෝවේ (2017 – Global Platform For Disaster Risk Reduction) නම් ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙමිනි. 

එම ජාත්‍යන්තර සමුළුවට සහභාගි වෙමින් පසුගිය 24 වැනිදා අනුර යාපා ඇමැතිවරයා ආපදා කළමනාකරණයේදී ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව ලොකු දේශනයක් කළේය. නමුත් ඊට දින දෙක තුනකට පසුව මහ වැසි වැටී, කඳු කඩා වැටී මහා විනාශයක් රටේ සිදුවන විට ඒ සඳහා කිසිදු පූර්ව සූදානමක් නොතිබිණි. “සන්ඩේ ටයිම්ස්” පුවත්පත මගින් කළ විමසීමකදී එම අමාත්‍යංශයේ ලේකම් මහතා ප්‍රකාශ කර තිබුණේ එවැනි ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීමේදී තිබිය යුතු පෙර සූදානම් අඩුවක් තිබූ බව පිළිගන්නා බවය. ඇමැතිවරයාට පෙරළා ආපසු එන්නට තවත් දින කිහිපයක් ගත වීම නිසා ඇමැතිවරයාගේ රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට පැවැරුණේය. ඔහුත් සමඟ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතාද රාජිත සේනාරත්න ඇතුළු තවත් මැති ඇමැතිවරුද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා රටේ ඇතිවෙමින් තිබෙන දරුණු ආපදා තත්ත්වය පිළිබඳව කරුණු හෙළි කළහ. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ඒවායේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ද සහන කටයුතුවල නිරතව සිටි තම හමුදා කණ්ඩායම්වලින් ලැබී තිබූ තොරතුරු අනාවරණය කළහ.

ඒ සමඟ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළෝය. උද්ගතව තිබූ හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා (25)ය. එහිදී ඇතිවී තිබෙන ආපදා තත්ත්වය සාමාන්‍ය ගංවතුර නොව හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව වජිර අබේවර්ධන ඇමැතිවරයා සඳහන් කළේය. එසේම සියලු චක්‍රලේඛ අවලංගු වූ බව සලකා කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද ඒ නිසා ඕනෑම රාජ්‍ය නිලධාරියකුට සාමාන්‍ය නීති රීති වලින් බැහැරව කටයුතු කිරීමට පහසුකම් සැලසෙන බවද ඔහු කීවේය.

මේ වනවිට රටේ ඇති වෙමින් තිබෙන ආපදා තත්ත්වයේ විස්තර වරින්වර ජනාධිපතිවරයාටද දැනුම් දෙනු ලැබීය. ඔහු ඕස්ට්‍රේලියාවේ නිල රාජකාරිවල යෙදී සිටියදීද මෙරට බලධාරීන්ටත් ඇමැතිවරුන් කීපදෙනකුටත් කතා කර විස්තර දැනගැනීමට කටයුතු කළේය. ඉන් පසුව එහි සිට අදාළ අංශවලට උපදෙස් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසටය. මේ උපදෙස් ලබාදීමට ජනාධිතිවරයා ඕස්ට්‍රේලියාවේ සිට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාත් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාත් දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය.

ආපදාවට පත් ජනතාව මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමටත් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු සහාය ලබාගැනීමටත් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය මගින් අවශ්‍ය උපදෙස්ද ජනාධිපති විසින් ලබාදෙනු ලැබීය. 

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරය නිමවා ජනාධිතිවරයා ශ්‍රී ලංකාවට ආවේ සෙනසුරාදා (27) අලුයම් කාලයේදීය. එසේ පැමිණ වහාම ආපදා තත්ත්වය පිළිබඳව කරුණු සොයා එසේ පැමිණි වහාම ආපදා තත්ත්වය පිළිබඳව කරුණු සොයා බැලූ ජනාධිපතිවරයා ගමන් වෙහෙසද නොබලා විපතට පත්වූවන්ට සහන සැලසීම දැක බලා ගැනීමට ද ගියේය. වැඩිම හානියක් සිදුව තිබූ රත්නපුර නගරයට සඳුදා (29) ගිය  ජනාධිපතිවරයා එහි සහන කටයුතුවල නිතරව සිටි රාජ්‍ය සහ හමුදා නිලධාරීන් හමු වී විස්තර ලබාගත්තේය. නෙළුව ප්‍රදේශයේදී කොටු වී සිටි කාන්තාවක බේරාගැනීමට ගොස් හෙළිකොප්ටරයේ කේබලය කැඩී අනතුරට පත් වීමෙන් මිය ගිය ගුවන් හමුදා නිලධාරියාගේ සිරුර තැන්පත් කර තිබූ ජාඇළ කොටුගොඩ නිවසටද ගිය ජනාධිපතිවරයා ඔහුට අවසන් ගෞරවය පුදකළේය.

ජනාධිපතිවරයා ආපසු පැමිණි සෙනසුරාදා පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියේය. කලින් යොදාගෙන තිබූ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමටද නියමිතව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සති දෙකක පමණ කාලයක් රටින් බැහැරව සිටිනු ඇතැයි පැවැසේ. වික්‍රමසිංහ මහතා මෙම වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි වන්නේ සුප්‍රසිද්ධ මේරිලන්ඩ් රෝහලේදීය. සාගල රත්නායක ඇමැතිවරයාද අග්‍රාමාත්‍යවරයා බැහැදැකීමට යාමට සූදානමින් සිටියේය. අග්‍රාමාත්‍යවරයා සමඟ මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද අමෙරිකාව ගමනට එක් වූවාය. 
අගමැති අමෙරිකාව බලා යාමට පෙර නිල උත්සව ගණනාවකටද සහභාගි විය. මෑතකදි ජනාධිපති නීතිඥ පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිෂාම් කාරියප්පර් මහතා ඒ වෙනුවෙන් ගලධාරි හෝටලයේදී පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය ඉන් එකකි. එහිදී අග්‍රාමාත්‍යවරයා දුටු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කොහොමද තොරතුරු යැයි විමසුවේය. 

“මෙහෙ එක එක්කෙනා ඔබතුමාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන එක එක කතා කියනවා. ඇත්තද ඔය කතා” යැයි උදය ගම්මන්පිල මහතා ඇසුවේය. එහිදී සිනාමුසු මුහුණින් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේ ඔහුටද ඒවා ආරංචි වී ඇති බවය. “ඔව්.. ඔව්... මට එක එක ලෙඩ තියෙනවා කියලා සමහරු කියනවා කියලා ආරංචියි. හැබැයි මම යන්නෙ නිවාඩුවකට. මෙඩිකල් චෙකප් එකකුත් කරන්න තියෙනවා” ඔහු සඳහන් කළේය.

එසේම අමෙරිකාවට යාමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ තරු පහේ හෝටලයකදී තම හිතමිතුරන් පිරිසක් සමඟ රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට ද සහභාගි විය. එහිදී එම මිතුරන් පිරිස සමඟද අගමැතිවරයා බොහෝ සැහැල්ලුවෙන් අදහස් හුවමාරු කරගත්තේය.

ආපදා තත්ත්වය සති අන්තය වනවිට තවත් උග්‍ර අතට හැරීමත් පසුගිය සඳුදා (29) වනවිට මරණ සහ අතුරුදන් සංඛ්‍යාව දෙසිය දෙනකු ඉක්මවමින් තිබීමත් රජය මහත් කනස්සල්ලට පත්කළ සිද්ධියක් විය. රත්නපුර දිස්ත්‍රික්කයටත් කළුතර දිස්ත්‍රික්කයටත් බරපතළ හානි සිදුවෙමින් තිබිණි. බොහෝ පළාත්වල විදුලිය විසන්ධි කිරීමටද සිදුවී තිබුණේ අනතුරු වළක්වා ගැනීම සඳහාය. ගාල්ල මාතර දිස්ත්‍රික්කද ගංවතුරින් යටවූ අතර ගාල්ලේ නෙළුව සහ තවලම බරපතළ ආපදාවලට මුහුණදී තිබිණි. මාතරට ගැලූ ගංවතුරට ඇමැතිවරයෙක් සහ ඔහුගේ පවුලේ පිරිසද කොටු වූ පුවත වාර්තා වූයේ මේ අතරය.

මෙසේ කොටු වුයේ රාජ්‍ය ව්‍යවසාය හා ආර්ථික සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය. ගංවතුර තත්ත්වය උග්‍රවෙද්දීත් ඒ මහතා මාතර මාකදුරේ පිහිටි සිය නිවසේ රැඳී සිටියේය. සාමාන්‍යයෙන් වැස්සට යට නොවන එම නිවෙස එදින රාත්‍රියේ ඇද හැළුණු මහ වර්ෂාව හේතුවෙන් පැය කිහිපයකදී අඩි 6ක් පමණ ජලයෙන් යට විය. නිවෙසේ සිටි පිරිස හැකි තරම් බඩු භාණ්ඩ උඩුමහලට ඇදගත්තත් ලක්ෂ ගණනාවක බඩු වතුරේ ගසාගෙන ගියේය. උඩුමහලට වී පැය 18ක පමණ කාලයක් සිටි ලක්ෂ්මන් යාපා මහතා ඇතුළු පිරිසට අවසානයේ කෑමට තිබුණේ බිස්කට් පමණි. මේ සිද්ධිය ආරංචි වූ ජනාධිපතිවරයා දුරකථනයෙන් ලක්ෂ්මන් යාපා මහතා සම්බන්ධ කරගෙන ඔහු ඇතුළු පිරිස බේරාගැනීමට වහාම හෙලිකොප්ටරයක් එවන බව පැවැසුවේය. එහෙත් කාරුණිකව එය ප්‍රතික්ෂේප කරමින් ලක්ෂ්මන් යාපා මහතා ප්‍රකාශ කළේ ගංවතුරින් කොටු වී විශාල පිරිසක් සිටිදී තමාට හෙලිකොප්ටරයෙන් යාමට අවශ්‍ය නැති බවය. ජලය තරමක් බැස යන විට නිවෙසේ පැත්තක තිබෙන කන්දට ඉනිමඟක් තබා ගොඩ වී එම කන්ද අනෙක් පැත්තෙන් බැසගත් යාපා මහතා විපතට පත් ජනතාව හමුවීමට ගියේය. ඒ මහතාගේ පුත් පසඳ යාපා මහතාද පළාත්වාසීන් වෙනුවෙන් විශාල ලෙස උපකාර කළේය.

එසේම ගංවතුරේ බැස යමින් විපතට පත් ජනතාව වෙතට ගොස් ඔවුන්ට ආධාර උපකාර කළ තවත් දේශපාලනඥයෝද සිටිහ. පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා දින කිහිපයක්ම වතුරේ මැස පළාත්වාසීන්ට උපකාර කළ අතර ඔහු ඇතැම් අවස්ථාවල කොටු වූ පුද්ගලයන් තම දෑතින් ගොඩබිම්වලට ගෙනයනු දැකිය හැකිවිය. නාමල් රාජපක්ෂ වතුරටම බැස විපතට  පත්වූවන් සොයාගෙන ගොස් ඔවුන්ට උපකාර කළේය. ඔහුගේ සහායට යෝෂිත සහ රෝහිත සොහොයුරෝද එක්ව සිටියහ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද බෙලිඅත්ත සහ පාහියංගල ප්‍රදේශවල ගංවතුරින් විපතට පත්වූවන් පිළිබඳව සොයාබැලීමේ චාරිකාවක නිරත වූයේ පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිත පිරිසක්ද කැටුවය.

රත්නපුරේ ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීමට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ ගංවතුරට තමන්ගේ නිවෙසද යටවූ බවය. ගංවතුර තත්ත්වය නිසා එදින (26) පාර්ලිමේන්තුව ඉක්මනින් අවසන් කළේ මැති ඇමැතිවරුන්ට තම තමන්ගේ ගම් පළාත්වලට ගොස් ජනතාවට උපකාරී වීමට ඉඩ සලසා දීම සඳහාය.

මේ අතර පසුගිය සඳුදා (29) කොළඹ විජේරාම මාවතේ පිහිටි තම නිල නිවෙසේදී මාධ්‍යවේදීන් හමු වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නිලධාරීන් චක්‍රලේඛ අමතක කර ක්‍රියා කළ යුතු බවය. මේ පිළිබඳව ජනාධිපතිවරයාද ප්‍රකාශයක් කර ඇති බව කියූ මහින්ද රාජපක්ෂ මහතා එබැවින් එසේ කරන නිලධාරීන්ට ජනාධීපතිවරයාගේ ආරක්ෂාව ලැබෙනු ඇතැයිද පැවැසුවේය. කිසිදු භේදයකින් තොරව විපතට පත් ජනතාවට උදව් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවැසූ ඔහු විපතට පත් ජනතාව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කළේය. ඊට දින දෙකට පසුව (31) මහින්ද රාජපක්ෂ මහතා ජපන් අධිරාජයාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ජපානයේ සංචාරයකට පිටත්ව ගියේය. ඒ මහතා දින 10ක කාලයක් ජපානයේ රැඳී සිටීමට නියමිතය. රාජපක්ෂ මහතා සමඟ යෝෂිත රාජපක්ෂ මහතාද කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත සහ පියල් නිශාන්ත මන්ත්‍රීවරුද සමඟ වටිනාපහ සෝමානන්ද හිමියෝද එම සංචාරයට සහභාගි වෙති. මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා ජපානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ වත්මන් මුදල් ඇමැතිවරයා වන ටාරෝ අසෝ සහ අමාත්‍යවරුන් කිහිප දෙනකු සමඟ ජපන් අධිරාජ්‍යයාගේ මාලිගාවේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවනු ඇත. ඊට අමතරව ජපානයේ වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත නිකයා තොෂිරෝ මහතා සමඟද විශේෂ සාකච්ඡාවක් පවත්වන අතර නරීටා ප්‍රාන්තයේ ලංකාජි විහාරස්ථානයේදී රණවිරු සැමරුමකටද වකයාම දිස්ත්‍රික්කයේ කොයා විහාරස්ථානයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් රෝපණය කිරීමේ සහ ධාතු මන්දිරයක් විවෘත කිරීමේ පින්කමකටද මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වනු ඇත.

ගංවතුර සහ මෙවැනි වෙනත් ස්වාභාවික විපත් සඳහා කිසිදු පූර්ව සූදානමක නොසිටි බවට එල්ල වන චෝදනා හේතුවෙන් රජය කිසියම් අපහසුතාවකට පත්ව සිටියේය. විශේෂයෙන්ම මහවැසි ඇතිවිය හැකි බවට දැනුම් දී තිබියදීත් විපතක් සිදුවුවහොත් අනුගමනය කළ යුතු වැඩපිළිවෙළක් නොවීය. ඉක්මනින් ත්‍රිවිධ හමුදාව යෙදවීමට ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීම හේතුවෙන් සහන සේවා කටයුතු කාර්යක්ෂමව සිදු කිරීම ආරම්භ වීම නිසා සිදුවිය හැකිව තිබූ ජීවිත හානි යම් ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකිවිය.

මේ අතර පසුගිය බදාදා (31) පෙරවරුවේ රාජ්‍ය ඇමැතිවරැන් 4 දෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරැන් 4 දෙනකුට ජනාධිපති මන්දිරයට පැමිණෙන්නැයි දැනුම්දී තිබුණේය. ඒ එම අටදෙනාගේ පදවිවලට අදාළ විෂයයන් වෙනස් කිරීම සඳහාය. ඒ අනුව රාජ්‍ය ඇමැතිවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන (රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන), පාලිත රංගේ බණ්ඩාර (වාරිමාර්ග), වසන්ත සේනානායක (විදේශ කටයුතු) අලුත් පදවිවල දිවුරුම් දුන්හ. මෙතෙක් කලක් නියෝජ්‍ය ඇමැතිවරයකු වූ එරාන් වික්‍රමරත්න මහතාද මෙවර රාජ්‍ය අමාත්‍ය ධූරයකට පත්කරනු ලැබූ අතර ඔහු දිවුරුම් දුන්නේ මුදල් රාජ්‍ය ඇමැති වශයෙනි. ඊට අමතරව ආචාර්ය හර්ෂ ද සිල්වා (ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු), රන්ජන් රාමනායක (සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උරැමය), කරුණාරත්න පරණවිතාන (නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු), ලසන්ත අලගියවන්න (මුදල් හා ජන මාධ්‍ය) මහත්වරු නියෝජණ ඇමැති නව පදවිවල දිවුරුම් දුන්හ. පසුගිය 22 වැනිදා සිදුකෙරුණු කැබිනට් සංශෝධනයේදී සිදුවූ වෙනස්කම් වලට සමගාමීව මෙම තනතුරු වෙනස් කරනු ලැබ තිබේ. මේ අතර අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුගේද තනතුරු ළඟදීම වෙනස්වනු ඇති බවටද ආරංචි පැතිර තිබුණේය.

කැබිනට් සංශෝධනයේදී තිබෙන තනතුරට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කරනු ලැබූ එජනිස මහලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතා එම ධූරයේ වැඩ භාර ගැනීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටියේය. එහිදී ජනාධිපතිවරයා සිදුකළ කතාව ශ්‍රීලනිපය තුළ කිසියම් ආන්දෝලනයක් ඇතිකර තිබේ. මහින්ද අමරවීර මහතාට තවත් වගකීමක් පැවැරුවේ ඔහු තමන්ට පවරන වගකීම් නිසි ලෙස ඉටුකරන අයකු නිසා බවත් තමන් දකුණෙන් බිහිවන තවත් නායකයෙක් බව මහින්ද අමරවීර මහතා ඉදිරියේදී සනාථ කරනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

“අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන සමහරු විවිධ අදහස් පළකළා. සමහරැ ඇහැව්වා ඇයි මහින්ද අමරවීරට මේ තරම් වගකීම් පවරන්නේ ඇයි කියලා. මම වගකීම් පවරන්නේ දක්ෂයන්ටයි. සුදුස්සාට සුදුසු අවස්ථාවේදී සුදුසු පරිදි හිමි ස්ථානය ලබාදීම මගේ ස්වභාවයයි” යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය ගැන ශ්‍රීලනිපයේ ඇතැම් මැති ඇමැතිවරු විවිධ අදහස් පළකරති. මෙය සියුම් ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණේ දේශපාලන අධිරාජ්‍යයට එල්ල කළ පහරක් ලෙස සමහරු දකින අතර ඒකාබද්ධ විපක්ෂය තුළ කිසියම් පීඩනයක් ඇති කිරීම එහි අරමුණ හැටියට සමහරු දකිති. 

ගෙවී ගිය සතියේ කැබිනට් රැස්වීමේද එතරම් සාකච්ඡා ඇතිවූයේ නැත. මහා විපත සහ කාලගුණය සම්බන්ධයෙන් සාකච්ඡා ගණනාවක් ඇති වී තිබිණි. එහි කිසියම් මත ගැටුමක් තිබුණු බවට ඉඟියක් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ආපදා කළමනාකරණ ඇමැති අනුර යාපා මහතා අතින් ලැබිණි. එහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ඔහු සඳහන් කළේ අගමැතිවරයා කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ අනාවැකි නොපිළිගන්නවා නම් සහ ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැනි විනිළුවට ලක් කරනවා නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු බවය. කෙසේ වුවද අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවට ගොස් සිටීම හේතුවෙන් එදින කැබිනට් සාකච්ඡාවට සහභාගි වී සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ප්‍රකාශ කළේ කාලගුණ අනාවැනි නොපිළිගන්නා බවක් අගමැතිවරයා කොතැනකවත් කියා නැති බවය. එම අනාවැකිවල අඩුපාඩු තිබෙන බව පමණක් ඔහු කියා ඇති බවද කලංසූරිය මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණද විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා තමන්ගේ “රතු තරුව” බලකාය යොදවා තිබුණි. ඊට අමතරව තමන්ගේ වැටුප් අරමුදලින් මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමටද ඔවුන් තීරණයක් ගෙන තිබිණි. ජවිපෙ මන්ත්‍රීවරු මේ සහන වැඩපිලිවෙළ සම්බන්ධීකරණය කළහ.

කැබිනට් රුස්වීමේදී ගනු ලැබූ එක් තීරණයක් වී තිබුණේ ගංවතුරට හසුවන සහ අවදානම් කලාපවල ජීවත්වන වැසියන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමටය. ස්වේච්ඡාවෙන් ඉවත්වෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදීමටද තීරණය විය.

මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වාට රාජ්‍ය ඇමැතිධූරයක් ලබාදීමට තමාට අවශ්‍ය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීමේ අවස්ථාවේදී සඳහන් කළේය. එයට හරස් වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමා කිරීම් බවද ඔහු ප්‍රකාශ කළේය. මේ කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන්ද කරුණු විමසා තිබූ බවද දැනගන්නට තිබේ.

කෙසේ වුවද ජනාධිපතිවරයා එහිදී කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීමේ වගකීම ආචාර්ය හර්ෂද සිල්වාට පැවැරුවේය. නව පදවියේ දිවුරුම් දීමෙන් පසුව ආචාර්ය හර්ෂ තම සමීපතමයන්ට පවසා තිබුණේ ජනාධිපතිවරයා සිදුකල සඳහන තම හදවතටම කා වැදුණු බවය. 

මේ අතර රජයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබූ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර සහ වැඩවර්ජන අනතුරු ඇඟවීම් සියල්ලටම මහවැසි විපත සමඟ විරාමයක් ලැබිණි. ඊට දින කිහිපයකට පෙර රජයට එරෙහිව අවි අමෝරාගෙන සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැසුවේ තමන්ගේ සියලු සටන් ක්‍රියාමාර්ග අත්හිටුවා විපතට පත් ජනතාව වෙනුවෙන් කැප වී කටයුතු කරන්නැයි තම සාමාජිකත්වයට දැනුම් දෙන බවය. ගංවතුරේ සහ කඳු නායයෑම් වලින් බරපතළ ලෙස හානි සිදුවී තිබූ ඇතැම් ප්‍රදේශවලට රජයේ වෛද්‍යවරු ස්වෙච්ඡාවෙන්ම ගොස් පීඩාවට පත්ව සිටි ජනතාවට පිහිට වූහ. එසේම විවිධ හේතූන් මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තම හඬ යටපත් කරගෙන සිටී. කෙසේ වුවද මෙය රජයට තාවකාලික සහන කාල සීමාවක් පමණක් වීමට ඉඩ තිබේ.

රජය මගින් පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගනිමින් මැති ඇමැතින් සහ උසස් නිලධාරින් පිරිසකට අලුත්ම වාහන ගෙන්වා ගැනීමට ගෙන තිබූ තීන්දුවටද කාලගුණය හරස් විය. මේ මහා විපත් අස්සේ මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වා ගැනීම සඳහා මුදල් වැය කිරීම පිළිබඳව විවේචනයක් එල්ල වෙද්දී රජය වහාම තීන්දුවක් ගෙන එය නවතා දැම්මේය. එසේ නවතා දැමුණේ තාවකාලිකවද යන්න විවාද සම්පන්නය. එහෙත් මහින්ද අමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ එය ජනාධිපතිවරයා ගත් තීරණාත්මක තීන්දුවක් බවය. ජනතාවට මේ තරම් විපතක් සිදුව තිබියදී රටේ මැති ඇමැතිවරුන් වාහන මිලදී ගැනීම සුදුසු දෙයක් නොවන බව ඔහු ප්‍රකාශ කර තිබුණේය. කෙසේ වුවද කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර තිබුණේ අලුතෙන් වාහන ගෙන්වීම මේ වසර අවසානය තෙක් කල් දැමීමටය. 
මේ අතර ශ්‍රීලනිපයේ ඉහළම පෙළේ පිරිසක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (31) කොළඹදි රැස්වී පැය ගණනාවක් තිස්සේ පැවැත්වූ රහසිගත සාකච්ඡාවද කරළියේ කතාබහට ලක්වෙමින් තිබේ. එම සාකච්ඡාව මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී පැවැත්වුණු අතර ඊට දුමින්ද දිසානායක මහතාද සහභාගි වී සිටියේය. මේ සාකච්ඡාව රාත්‍රී 7.30ට පමණ ආරම්භ වී රාත්‍රී 11.30 දක්වා පමණ ඇදි ගිය බවද පෙරළිකාර තීන්දු රැසක් එහිදී ගනු ලැබූ බවද දැනගන්නට තිබේ. ෙමම හමුෙව්දී සාකච්ඡාවට බඳුන් වූ කරුණු කිසිවක් කිසිවකුට හෝ හෙළිකිරීම මුළුමනින්ම තහනම් කරමින් නිෙයා්ගයක් පනවා අැතැයිද මේ නිසා මාධ්‍ය ෙව්දීන් එ් පිළිබඳව විමසූ විට එවැනි හමුවක් ෙනාපැවැත්වූ බවට අදාළ අැමැතිවරුන් ප්‍රකාශ කරන බවද සඳහන් වේ. මේ හමුව සිදුෙවද්දී ආරක්ෂක නිලධාරීන් පවාපැත්තකට කර තැබීම විශේෂ සිදුවීමකි. එජාපය සමඟ පවත්වාගෙන යන සම්මුති ආණ්ඩුවේ අනාගතය පිළිබඳව එහිදී තීන්දු රැසක් ගනුලැබූ බවක්ද දැනගන්නට ලැබේ. 

එම හමුවට පසුව ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව ඊයේ (02) හදිසි රැස්වීමක් සඳහා කැඳවා තිබූ බවද කියයි. රහසිගත හමුවේ තීන්දු තීරණ සහ මේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම අතර සෘජු සම්බන්ධතාවක් තිබේදැයි හරියටම කිව නොහැකිය. එහෙත් මෙය කිසියම් දේශපාලන පිපිරුමක පෙර නිමිත්තක් විය හැකි බව සමහරුන්ගේ මතයයි. 

♦ අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00