2017 මැයි 27 වන සෙනසුරාදා

හොරු කතාව බොරු ජනාධිපති කියයි

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 671

මාස ගණනක් තිස්සේ මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගිය සඳුදා සිදුකෙරිණි. මේ ගැන රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකේ තිබූ මතගැටුම් සමනය කරගෙන අන්තිම තීන්දුවකට එන්නට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වාර ගණනාවක් සාකච්ඡා කර තිබිණි. මේ සංශෝධනයේ වඩාත් විරෝධය එල්ල වූ තීන්දුව වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් නොකර ආණ්ඩුවේ සංවර්ධන ගමන වේගවත් කළ නොහැකි බවට ජනාධිපතිවරයා දිගින් දිගටම දැරූ ස්ථාවරයයි. මේ ගැන ඔහු අගමැතිවරයා සමඟ ද වාර ගණනාවක් සාකච්ඡා කළේය. එහෙත් මේ බව දැනගත් හිටපු මුදල් අමාත්‍යවරයාගේ හිතවතුන් හා ප්‍රභූන් ගණනාවක් මුදල් අමාත්‍යවරයා රුකගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවලදී රවී කරුණානායක ප්‍රකාශ කර තිබුණේ තමන් ඉවත් කිරීම අසාධාරණ බවත්, එසේ කළහොත් තනතුරක් භාරනොගෙන පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස සිටීම නම්බුකාර බවත්ය. ආසියාවේ හොඳම මුදල් ඇමැති ඔහු බැවින් කරැණානායක මහතා ඉවත් නොකළ යුතු බවට තර්ක කළ පිරිසක් ද වූහ. මේ කුමන තර්ක විතර්ක ඉදිරිපත් වුවත් ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් කළේ නැත.

රවී මුදල් ඇමැති ධූරයෙන් ඉවත් කරන්නට යන බව දැනගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් සංශෝධනයට දින දෙකකට පෙර දුරකතනයෙන් රවීට කතා කළේය. සුහද කතාබහේ දී මහින්ද ඇසුවේ සිදුවන්නට යන්නේ කුමක්ද කියාය. ඊට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ තමන්ට කිසිවක් සිදුනොවන බවත් තම නායකයන් කිසිසේත්ම තමන් පාවා නොදෙනු ඇති බවත්ය. එවිට මහින්ද රාජපක්ෂ කීවේ “ඔව් ඔයා කොච්චර වැඩ කරලා තිබෙනවද” කියාය. ඒ ආකාරයට සුහදව කතාව හමාර විය.

 කරවල කෑල්ල කාලා දුවන බළලාට උම්බලකඩ කෑල්ලෙන් දමලා ගහනවා 

ඇමැති සං‍ශෝධනයට පෙරදා රවි ඉවත් කරන්නට යන බව තදින්ම ආරංචි වූ විට රවී පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට කීවේ මේ ගැන එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම කැඳවා මත විමසිය යුතු බවයි. ඒ අතර විජේපාල හෙට්ටිආරච්චි, චමින්ද විජේසිරි, නලීන් බණ්ඩාර ආදී එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් රවී ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ප්‍රකාශ නිකුත් කළෝය. ඒ අතර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද ඉවත් කොට ඔහුට වෙනත් විෂයක් පවරන්නට යන බව ගයන්තට ආරංචි වී තිබිණි. ඔහු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් දුරකතනයෙන් අමතා ඒ ගැන ප්‍රශ්න කළ විට ඉහළින් පිළිතුරු ලැබී තිබුණේ ජනාධිපතිතුමාගේද අදහස අනුව ගයන්ත මාරුකරන බවයි. එවිට ගයන්ත, පෙරළා තමන් කතා කළ අයට කීවේ “ජනාධිපතිතුමා කියල තිබුණෙ වැරදි කරන අය දූෂිතයො වෙනස් කරනවය කියලනෙ, ඉතින් මම එහෙම කෙනෙක් නෙවේනෙ” යැයි තර්ක කර තිබිණි. කෙසේ හෝ අවසානයේ රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාගේ විෂය පථයට එක් කරන්නට තීන්දු කර තිබූ ඉඩම් විෂය ගයන්තට පැවරීමෙන් ප්‍රශ්නය තරමක් සමනය විය.

ඒ අතර ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් සම්බන්ධව ද ප්‍රශ්න උද්ගත වී තිබිණි. ජනාධිපතිවරයා මුලින් චන්දිම වීරක්කොඩි සහ රංජිත් සියඹලාපිටිය දෙදෙනාම ඉවත් කොට වෙනස් විෂයන් පවරන්නට තීන්දු කර තිබිණි. මෙම අමාත්‍යංශ දෙකේම බරපතළ ප්‍රශ්න හටගෙන තිබේ. ඇමැති දෙපළට ඒවා විසඳාගන්නට නොහැකි තරම් බරපතළ තත්ත්වයට පත්ව තිබිණි. කෙසේ හෝ අන්තිම මොහොතේ රංජිත් සියඹලාපිටියට තවත් එක් අවස්ථාවක් දීමටත් චන්දිමගේ විෂය මාරුකිරීමටත් තීන්දු කැරිණි. තමන්ට විදේශ ඇමැති ධූරය ලැබෙනවා යැයි කිය කියා සිටි මහින්ද සමරසිංහට වරාය අමාත්‍ය ධූරය හිමිවිය. එ.ජා.පය සමඟ හම්බන්තොට වරාය ගිවිසුම ගැන ප්‍රශ්න ඇතිකරගෙන තිබූ අර්ජුන රණතුංග වරාය වෘත්තීය සංගම් සමඟ ද ගැටලුවල පැටලී සිටියේය. ඒ නිසා අර්ජුන ඉවත් කොට ඔහුට ඛනිජ තෙල් විෂය පැවරීමට තීන්දු විය.
කෙසේ හෝ ඇමැති සංශෝධනයට පෙරදා සවස ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාට ආරාධනාවක් ලැබු‍ණේ විශේෂ සාකච්ඡාවක් සඳහාය. ඒ අනුව අගමැතිවරයා ජනපතිගේ පෞද්ගලික නිවසට ගියේය. ඇමැති සං‍ශෝධනයේ අවසන් එකඟතා ගැන කතාබහ කෙරිණි. ඉතාමත් සුහදව පැවති මෙම කතාබහේ දී රවීගෙන් මුදල් ඉවත් කර ඔහුට විදේශ අමාත්‍යංශය පවරන්නටත් මංගලට මුදල් හා ජනමාධ්‍ය පවරන්නටත් එකඟ වීමෙන් පැවති ලොකුම ප්‍රශ්නය හමාර විය. මෙම ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීම සඳහා මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් මැදිහත්ව ක්‍රියා කළ බවද දැනගන්නට ලැබිණි. ඒ අතර රවී කරුණානායක මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළහොත් ඊට එරෙහිව උද්ඝෝෂණයක් කරන්නට මුදල් අමාත්‍යංශයේ සේවය කළ රවීගේ ඇතැම් හිතවතුන් සැලසුම් කර තිබූ බවද වාර්තා විය. කෙසේ හෝ ඉහළින් ලැබුණු උපදෙස් මත එම උද්ඝෝෂණය සිදුවූයේ නැත. 

 රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ඇස් රතුවෙන විහිළුවක් 

ජනාධිපති සහ අගමැති හමුවෙන් පසු ගිය ඉරිදා රාත්‍රී 9.00ට රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.පයේ අමාත්‍යවරුන් අරලියගහ මැඳුරට කැඳවා තිබුණේ ඇමැති සංශෝධනයට අදාළ අවසන් එකඟතා ගැන ඔවුන් දැනුවත් කරන්නටයි. මෙම හමුව ඉතා තීරණාත්මක වූ අතර විටෙක උණුසුම් ස්වභාවයක් ද ඉසිලීය. මුදල් අමාත්‍යවරයා ඉවත් කරන බව මුලින්ම අගමැතිවරයා නිවේදනය කළ පසුව රවී කරුණානායක කතා කරන්නට විය. ඔහු කීවේ “අපි ආණ්ඩුවට වැඩ කළා. පක්ෂයේ බර ඇද්දා.... ඇයි අපට මෙහෙම කරන්නේ?” කියාය. ඊට පිළිතුරු දුන් අගමැති රනිල් සඳහන් කළේ “ඔව්.. ඒක මමත් පිළිගන්නව. රවිත් හොඳට වැඩ කළා මංගලත් හොඳට වැඩ කළා... මම ඔයාලට කියන්න ඕන මමත් විදේශ අමාත්‍යංශයෙන් තමයි මගේ දේශපාලන ගමන පටන් ගත්තෙ. ලෝක නායකයන් දැන හඳුනගෙන තමන්ගෙ බේස් එක හදාගන්න ඒක හොඳම තැනක්...” අගමැතිවරයා රවී කරුණානායක අස්වසමින් කීය. ඊළඟට මංගල අදහස් දක්වන්නට විය. මංගල කීවේ “මම නම් හිතුවෙ නැහැ මට මුදල් ඇමැති වෙන්න ඕනය කියල... ඉස්සර ලැබෙන තනතුරු ගැන මෙහෙම කියන්නෙ නැහැ. අපි විස්තර දැනගන්නෙ දිවුරුම් දෙන්න කොළේ අතට දුන්නටත් පස්සෙයි...” මංගලගේ ඒ කතාවට පසු නවීන් දිසානායක ද අදහස් පළ කළේය. “පත්කිරීම් අස්කිරීම් වෙනවා.. මගේ තාත්තත් ඇමැතිකමෙන් අස්කළා. අපි දෙන දේ භාර අරන් තියෙන වැඩ ටික හරියට කරමු...” නවීන් වැඩිදුරටත් කීය. එවිට ඇමැතිවරුන් ගණනාවක්ම කීවේ 2020 මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගෙන ඉදිරි කටයුතු සැලසුම් කළ යුතුය කියායි. එවිට අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විහිළුවට මෙන් කියා සිටියේ මේ යන විදියට ගියොත් නම් 2020 දිනන එක ලේසි නැහැ කියාය.

මේ ආකාරයට පැයක පමණ වේලාවක් අගමැති රනිල් හා සෙසු එ.ජා.ප. ඇමැතිවරැ සාකච්ඡා කළෝය. පසුදා උදෑසන 8.30ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස ඒ වනවිටත් සියලු දෙනාට දන්වා තිබිණි. උදෑසන ජනාධිපති කාර්යාලයට ගිය ඇමැතින් අමතා ජනාධිපතිවරයා කෙටි අදහස් දැක්වීමක් කළේය. ඉදිරියේ සිදුවන තවත් වෙනස්කම් ගැනද මෙහිදී ඉඟි කළ බව වාර්තා වෙයි. “ආණ්ඩුවෙ කාලීන අවශ්‍යතා අනුව ඇමැති මණ්ඩලේ  සංශෝධනය වෙනව. මේ වෙනස්කම් කළේ කවුරැවත් හොරැ නිසා නොවේ. සමහර ඇමැතිවරැ කියල තිබුණ අපේ මහින්ද අමරවීර ඇමැතිතුමා හොරු අයින් කරන්න ඇමැති සංශෝධනය කරනව කීව බව. නමුත් ඒ කතාව බොරැ. එතුමා එහෙම කියල නැහැ. ඒ කාලෙ අපි රාත්තිරි නිදාගෙන උදේ නැඟිටින කොට ඇමැතිකම වෙනස් වුණා. අපිට නොකියත් තනතුරු වෙනස් කළා... ඒත් දැන් එහෙම නැහැ. ඉදිරියේ උප ඇමැති, රාජ්‍ය ඇමැති තනතුරුත් වෙනස් වෙනව...” යයි ජනාධිපතිවරයා කීය.
ඇමැතිවරුන් දිවුරුම් දීමට පෙර එම කෙටි දෙසුම පැවති අතර අනතුරුව තනතුරු වෙනස් වන අමාත්‍යවරැ සුබ නැකතින් දිවුරුම් දීම ඇරැඹිණි.

 අපි බාරගත්තේ මීෙතාටමුල්ල කුණු කන්ද වගේ රටක් 

ඇමැති තනතුරු මාරුවේ දී ප්‍රධාන වෙනස්කම් 9ක් සිදු වී තිබිණි. ඒ අනුව නව කැබිනට් ඇමැතිවරු නව දෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දුන්හ. එහිදී විශේෂ සිද්ධියක් වූයේ රජයේ මුල් කාලයේ නීතිය හා සාමය ඇමැති ධූරය දරමින් සිට එයින් ඉල්ලා අස්වූ තිලක් මාරපන මහතාටද යළිත් කැබිනට් ඇමැති ධූරයක් හිමිවීමය. සංවර්ධන කාර්යයන් යනුවෙන් අලුතින් ඇතිකර තිබෙන ඇමැති ධූරයේ මාරපන මහතා දිවුරුම් දුන්නේය. මංගල සමරවීර (මුදල් සහ ජනමාධ්‍ය), රවී කරුණානායක (විදේශ), එස්.බී. දිසානායක (කන්ද උඩරට සංවර්ධන), ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න (සබරගමුව සංවර්ධනය), මහින්ද සමරසිංහ (වරාය හා නාවික කටයුතු), ගයන්ත කරුණාතිලක (ඉඩම්), අර්ජුන රණතුංග (ඛණිජ තෙල් සම්පත් සංවර්ධන), චන්දිම වීරක්කොඩි (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු), තිලක් මාරපන (සංවර්ධන කාර්යයන්) වශයෙන් අලුත් ඇමැති පත්වීම් ලැබූ අතර ගයන්ත, එස්.බී. සහ ජෝන් සෙනෙවිරත්න තමන් මෙතෙක් දැරඅමාත්‍ය ධූරවලට අමතරව ඉහත පත්වීම් ලැබූහ. මීට අමතරව මහින්ද අමරවීර අමාත්‍යවරයාට ද අලුතින් රාජ්‍ය අමාත්‍ය ධූරයක්ද ලැබුණේ දරන ඇමැති පදවියට අමතරවය.

මෙම කැබිනට් සංශෝධනයෙන් පසුව ආරංචි පැතිර ගියේ ළඟදීම රාජ්‍ය අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර කිහිපයක ද වෙනස්කම් සිදුවන බවය. ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියානු සංචාරය නිමවා ආපසු පැමිණි පසුව එම වෙනස්කම් සිදුකෙරෙනු ඇතැයි කියති. ඇතැම් අලුත් ඇමැති පදවි සහ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති පදවි දරන දේශපාලනඥයන්ගේ විෂයයන් සම්බන්ධව පවතින පරස්පරකම් මෙහිදී සැලකිල්ලට ගනු ඇතැයි සඳහන් වේ.
මේ අතර කැබිනට් සංශෝධනයේ දී වඩාත්ම කතාබහට ලක්වූයේ රවී කරුණානායක මහතාට මුදල් ඇමැති පදවිය අහිමි වී එය මංගල සමරවීර අමාත්‍යවරයාට හිමිවීමය. ඒ සමඟ රවී කරුණානායක මහතාට විදේශ ඇමැති ධූරය ලැබුණු අතර මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය ද, ඒ සමඟ ශ්‍රීලන්කන් සමාගම, මහපොළ අරමුදල ද, විදේශ අමාත්‍යංශය යටතට පත් කරන බවට පළවූ පුවත දේශපාලන කරළියේ කැළඹීමක් ඇති කිරීමට සමත් විය. පසුව මහින්ද අමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාට ඉදිරිපත් වී නැති බවය.

අලුතින් පත්වීම් ලද ඇමැතිවරුන්ගේ විෂයයන් ගැසට් කිරීම එකවරම සිදුනොවූයේ ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය ද ඒ සමඟ යෙදී තිබුණු බැවිනි. එය ඉදිරි සතිය තුළදී සිදුකිරීමට නියමිතය. කෙසේ වුවද මුදල් ඇමැති පදවිය සමඟ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ද ලැබූ මංගල සමරවීර මහතා ඉක්මණින් එම අමාත්‍යංශයේ තම රාජකාරී ඇරුඹුවේ කිසිම පූර්ව ප්‍රචාරයකින් තොරව වීම සුවිශේෂී සිද්ධියක් විය. බ්‍රහස්පතින්දා (25) උදෑසනම අමාත්‍යංශයට ගිය මංගල සමරවීර මහතා උදේ 7.30ට වැඩ භාරගනිද්දී අසල සිටියේ ඔහුගේ සොහොයුරිය ඇතුළු නිලධාරීන් කීපදෙනකු පමණි. මුදල් අමාත්‍යංශයටද ගොස් එහි රාජකාරි ඇරැඹූ මංගල සමරවීර ඇමැතිවරයා එහි නිලධාරීන්ද හමුවිය.
නව ඇමැති පදවි ලැබීමෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතූ සමරවීර ඇමැතිවරයා කළ කතාවට මාධ්‍ය හරහා මහත් ප්‍රසිද්ධියක් ලැබුණේ ඔහු කළ විශේෂ සඳහනක් හේතුවෙනි. “මුදල් ඇමැතිකම නැමැති සපත්තු කුට්ටම ලැබෙද්දී ඒක මට ලොකු වැඩියි කියලා හිතුණා.” යනුවෙන් පැවැසූ මංගල සමරවීර මහතා තමාට එසේ දැනෙන්නේ “මේක ලොකු තනතුරක්. මේ තනතුරේ අතීතයේ කටයුතු කරලා තිබුණේ ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා වැනි පතාක යෝධයන්. මට ලැබුණු සපත්තු කූට්ටම ලොකු වැඩියි කියලා හිතුණේ ඒ නිසයි යනුවෙන් ප්‍රකාශ කළේය. නව සියවසට ගැලපෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා උපරිම ශක්තිය යොදවන බවද කී ඒ මහතා වැටුණු ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීමට කටයුතු කරන බවත් කීය. “අපි බාරගත්තේ මීතොටමුල්ල කුණු කන්දක් වගේ රටක්” යැයි ද ඔහු කීවේය. 

 මංගල සද්ද නැතුව වැඩ බාරගනියි 

ඇමැති පදවිය මාරුවීමෙන් පසුව එහි වෙනස වඩාත්ම දැනී තිබුණේ රවි කරුණානායක ඇමැතිවරයාටය. ඔහුගේ ධුරය වෙනස් කිරීම සඳහා කිසිවකුගේ හෝ බලපෑමක් තිබිණිදැයි බී.බී.සී. පුවත් සේවය කළ විමසීමකදී රවි කරුණානායක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ එවැනි බලපෑමක් තිබුණ බවක් තමන් විශ්වාස නොකරන බවය. එසේ වුවත් තමන්ගේ මුදල් ඇමැති පදවිය වෙනස් කිරීමට වුවමනා වී තිබුණේ ඊර්ෂ්‍යාකාරයන් කිහිප දෙනකුට බවද කියා තිබූ රවි කරුණානායක තමන්ට එරෙහිව යම් යම් ප්‍රකාශ කළේ එම පිරිස බවද සඳහන් කළේය. තමන් ධුරය දැරූකාලය තුළ රටේ ආර්ථික වර්ධන වේගය සහ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට සමත්වූ බවද ඔහු කියා තිබුණේය.

විදේශ අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමට රවි කරුණානායක මහතාද යොදාගෙන තිබුණේ බ්‍රහස්පතින්දා (25) උදයවරුවයි. ඔහු එදින මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ වැඩභාර ගන්නා අවස්ථාවටද පැමිණ සිටියේය. “අපි දෙන්නා තරහ නෑ” කියූ නව විදේශ ඇමැති රවි කරුණානායකට මංගල සමරවීරගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

අලුතින් පත්වීම් ලැබූ ඇමැතිවරුන් වැඩබාර ගනිද්දී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවලින් විවිධ විවේචනද එල්ල විය. එහිදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශය රටේම කතාබහට ලක්විය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පසුගිය සඳුදා (22) එනම් කැබිනට් සංශෝධනය සිදුවූ දිනයේම කැඳවා තිබූ එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියා තිබුණේ නව කැබිනට් සංශෝධනය “කරවල කෑල්ල කාලා දුවන බළලාට උම්බලකඩ කෑල්ලෙන් දමලා ගහනවා” වගේ වැඩක් බවය. දූෂණ වංචා සිදුකළ ඇමැතිවරුන්ට තව තවත් ගසා කෑ හැකි අමාත්‍යංශ ලබාදී ඇතැයිද පැවසූ අනුර කුමාර මහතා මෙය ආණ්ඩුව කෙරෙහි කලකිරුණු අය රඳවා ගැනීමට කළ සංශෝධනයක් මිස රට ගැන සිතා කළ දෙයක් නොවේ යැයි චෝදනා නැගුවේය. මේ රජය ජනතාව තුළ නැවුම් බලාපොරොත්තු ඇති කරන්නත් ඒවා ඉටු නොකර සිටින්නත් එක වගේම දක්ෂ බවද ඔහු කියා තිබුණේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝද පාර්ලිමේන්තුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සැහැල්ලුවෙන් කතා කළෝය. රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ මංගල සමරවීර මහතාට සපත්තු ලොකු වැඩි නොවුණත් එහි හිල් තිබිය හැකි බවය. ආසියාවේ හොඳම මුදල් ඇමැතිට සිදුවූයේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය. සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද අලුත් ඇමැතිවරුන්ට සිනහාමුසුව ප්‍රතිචාර දක්වනු පෙනිණි. මංගල සමරවීර මහතාද සිනහසෙමින් තම අසුනේ වාඩි වී සිටි අතර ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන්ද ඔහු අසලට පැමිණ කතාබස් කරනු පෙනිණි. නමුත් රවී කරුණානායක ඇමැතිවරයා නම් එදින පාර්ලිමේන්තුව ඇතුළේ ගත කළේ විනාඩියකටත් අඩු කාලයකි. ඔහු කිසිදු සිනහවකින් තොරවම එක්වරක් අත වනාගෙන ආපසු පිට වී ගියේය. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතාද අලුතින් පත්වීම් ලැබූ ඇමැතිවරුන්ට සුබපැතුම් පිරිනමනු දැකිය හැකි විය.

මේ අතර දකුණේ ජනතාවගේ දැඩි අවධානයට ලක්වන ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන උතුරේ මහඇමැති සී. විග්නේෂ්වරන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා යාපනයේදී සිදුවිය. ඒ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳව සැලසුම් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්, උතුරු පළාත් ඇමැතිවරැන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදීය. රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් විශාල පිරිසක්ද මේ රැස්වීමට පැමිණ සිටියහ. එම රැස්වීමේදී විග්නේෂ්වරන් මහතා අග්‍රාමාත්‍යවරයාගේ දකුණු පසින් අසුන්ගෙන සිටි අතර ඔහු වරින්වර අග්‍රාමාත්‍යවරයා සමග අදහස් හුවමාරු කරගනු පෙනිණි. එම රැස්වීමට ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාද සහභාගි වී සිටියේය.

අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් කියා තිබුණේ සංවර්ධනය උතුරට මෙන්ම දකුණටත් සමබරව බෙදී යන වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. ඒ තුළින් ශ්‍රී ලංකාව කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.

විග්නේෂ්වරන් මහතා එහිදී කියා තිබුණේ ආර්ථික සංවර්ධනය සිදු කෙරෙද්දී උතුරේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඒ අනුව සංවර්ධනය සිදුවිය යුතු බවය. උතුරේ ජනතාව සැමවිටම සාමකාමී අයුරින් ප්‍රශ්න විසඳීමට කැමැති යැයිද ඔහු සඳහන් කළේය.

මේ අතර කැබිනට් සංශෝධනය සිදුකළ දිනට පසුවදා (23) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගියේය. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ විශේෂ නිල ආරාධනාවකට අනුව කැන්බරා අගනුවරට සැපත් වූයේ 24 වැනිදා උදෑසනය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හයට් කැන්බරා හෝටලයේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය යෙදී තිබුණේ 25 වැනිදා පෙරවරුවේය.

එදින කැන්බරා අගනුවර පිහිටි ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවෙසේදී පිළිගනු ලැබූ ජනාධිපතිවරයාට ආචාර වෙඩිමුර 21ක් පිරිනමා ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක්ද පැවැත්විණි. ජනාධිපතිවරයා සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අතර නිල හමුවද එදිනම එරට පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනකටද අත්සන් තබනු ලැබීය. ජනාධිපතිවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරයට ජෝන් අමරතුංග, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා යන මැති ඇමැතිවරුද ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතාද සහභාගී වී සිටියහ.

♦ ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
සේයාරැව I ප්‍රදීප් පතිර