2017 මැයි 20 වන සෙනසුරාදා

කතාබහක් නැතිව මහින්ද මෛත්‍රී මඟුල් ගෙදර මේස දෙකක

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 931

ජාතික දේශපාලනය අර්බුදකාරී දිශාවකට තල්ලුවෙමින් තිබෙන බව පෙනේ. පසුගිය මැයි දිනයෙන් පසු හටගත් සිද්ධිදාමය පෙළ්ගැසෙන්නේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරමිනි. පළාත් සභා ගණනාවක බලය උදෙසා අරගලකාරී සටනක් ඇතිවන්නට යන බව ඒ ඒ පක්ෂවලින් නිකුත් කෙරෙන ප්‍රකාශවලින් ගම්‍ය වෙයි. වඩාත් උණුසුම් තත්ත්වය වාර්තා වන්නේ උතුරුමැද පළාත් සභාවෙනි. 

මෙම පළාත් සභාව පමණක් නොව සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවලද නිල කාලය හමාර වන්නේ ලබන සැප්තැම්බරයේය. එසේ තිබියදී මැයි මස දෙවැනි සතියේ උතුරුමැද පළාත් සභාවේ දිගු කලක් ඇමැති පදවි දැරූ කේ.එච්. නන්දසේන මහතා ඇමැති පදවියෙන් ඉවත් කොට ඔහු වෙනුවට හේරත් බණ්ඩා මන්ත්‍රීවරයා එම ඇමැති ධූරයට පත් කිරීමත් සමඟ සටන ඇවිළුණි. මේ මාරුවට විරෝධය පා පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයකු වූ අමාත්‍ය එස්.එම්. රන්ජිත් තනතුරින් ඉල්ලා අස්විය. පසුව මේ පිරිස හිටපු ජනාධිපති මහින්ද මුණගැසීමට කොළඹ පැමිණ ඔහු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. පළාත් සභාවේ ඇමැති පදවියක් දරන සේමසිංහ අමාත්‍යවරයා ප්‍රමුඛ මන්ත්‍රීන් 17කට වැඩි පිරිසක් තම කණ්ඩායමට සහාය දෙන නිසා පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධූරය පේෂල ජයරත්නගෙන් ඉවත් කොට බහුතර බලය දරන කණ්ඩායමට ලබාදෙන ලෙස ඉල්ලීමට මේ අය මහින්ද රාජපක්ෂ මහතාගේ අවසරය පැතූහ. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට ඍජුව අනුමැතිය දුන්නේ නැත. ඔහු කීවේ මාස තුනක ආයු කාලයක් ඇති පළාත් සභාවේ මහ ඇමැති පදවිය ලබාගැනීමට වඩා තිබෙන බලය තහවුරු කරගෙන පළාත් සභාව තුළ තම කණ්ඩායමේ බලය පෙන්වා ජනතාවට වැඩි මෙහෙවරක් මේ මාස තුන තුළ කළ යුතු වගයි. නමුත් එස්.එම්. චන්ද්‍රසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසේ අදහස වූයේ තම කණ්ඩායමට පක්ෂපාතී මන්ත්‍රීන්ගෙන් දිවුරැම් පෙත්සම් ලබාගෙන මහ ඇමැති ධූරය තමන්ට පවරන මෙන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු වගයි. දිගින් දිගටම ඔවුන් තම තීරණයට සහාය ඉල්ලා සිටි විට මහින්ද රාජපක්ෂ මහතා සුදුසු පරිදි ක්‍රියා කරන්නැයි කියමින් විවෘත තීන්දුවක් දුන්නේය. ඔහු අවසන් වරටත් රජරට මැති ඇමැතින්ට කීවේ ඉදිරි පළාත් සභා මැතිවරණය ජයගන්නට සැලැසුම් කිරීම වඩාත් වැදගත් බවය.

කෙසේ හෝ මේ කතාබහින් පසු අනුරාධපුරයට ගිය එ.ජ.නි.ස. මන්ත්‍රීවරු පේෂල ජයරත්න මහතා වෙනුවට මන්ත්‍රීන් බහුතරයකගේ සහාය ලබන රන්ජිත් සමරකෝන් මහතා මහ ඇමැති පදවියට පත් කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කරන ලේඛනවලට අත්සන් තැබූහ. රජරට පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 33 කි. ඉන් 17කට වැඩි පිරිසක් තමන් සමඟ සිටින බව මහින්ද හිතවාදීහු පවසති. කෙසේ හෝ මහ ඇමැති පදවිය වෙනස් කරන ලෙස ඉල්ලමින් ලියූ ලිපිද රැගෙන පළාත් සභාවේ සිටින ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එච්.බී. සේමසිංහ ඇතුළු පිරිස ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා මුණගැසීමට ඔහුගේ නිල නිවසට ගියහ. නමුත් ආණ්ඩුකාරවරයා එම ලිපි භාරගත්තේ නැත. තමන්ට ඉහළින් ලැබුණ උපදෙස් මත මෙම තීරණය ගත් බවද ඔහු කීය. ඒ අතර එ.ජා.නි.ස. මහින්ද හිතවාදී මන්ත්‍රීන් කියා සිටියේ තමන් ඉදිරියේදී පළාත් සභාව තුළ ස්වාධීනව ක්‍රියා කරන වගයි. ඊට පිළිතුරු දුන් එ.ජා.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේ එ.ජ.නි.ස.යෙන් පත් වූ මන්ත්‍රීන් ස්වාධීනව ක්‍රියා කරන්නේ නම් පළමුව පක්ෂයෙන් ඉල්ලා අස්විය යුතු වගය. ඒ අතර එ.ජා.නි.ස මහින්ද හිතවාදීහු දැන් මහ ඇමැති පේෂල ජයරත්නට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සැරසෙමින් සිටිති. කෙසේවෙතත් රජරට පළාත් සභාවේ ප්‍රශ්නය තව තවත් උග්‍රවන්නට පටන්ගතහොත් එය කඩිනමින් විසුරුවා හැරිය යුතු යැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එසේ වුවහොත් රජරට, සබරගමුව, නැගෙනහිර පළාත් ඡන්ද කල්තබා පැවැත්වීමේ ඉඩක් ද පවතී.

රජරට මන්ත්‍රීන් දෙකක් දවසෙන් කොකා පෙන්වති

 

ඒ අතර මහින්ද හිතවාදීන්ට වැඩි බලයක් ඇති දකුණ සහ බස්නාහිර පළාත් සභාවලද මධ්‍යම පළාත් සභාවේද බල අරගල නිර්මාණය වෙමින් තිබේ. දකුණේද කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් මහින්ද පිල සමඟ සිටින වීරසුමන වීරසිංහ අමාත්‍යවරයා තනතුරින් ඉවත් කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත්ව ඇත. එය සිදුකළහොත් එ.ජ.නි.ස මහින්ද හිතවාදීන් දකුණේ මහ ඇමැතිවරයාගේ බලයට අභියෝග කරන්නට සැරසෙමින් සිටින බව පැහැදිලිය. ඒ අතර මධ්‍යම පළාත් සභාවේ එ.ජා.නි.ස. මන්ත්‍රීන් 11 දෙනකු දැනටමත් ස්වාධීන වන බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවහොත් දැනට එ.ජා.නි.ස.යට බහුතරය හිමි මධ්‍යම සභාවේ බහුතර බලය යන්නේ එ.ජා.පයටයි. දැනටමත් පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා මාධ්‍ය හමුවක් තබමින් කියා ඇත්තේ පළාත් සභා බල තුලනය වෙනස් වුවහොත් තමන් මහ ඇමැති ධූරය ඉල්ලා සිටින බවයි. බස්නාහිර පළාතේ තවමත් මෙබඳු තත්ත්වයක් හටගෙන නැතත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුද තමන් ඉදිරියේදී ගත යුතු පියවර ගැන සාකච්ඡා කරමින් සිටිති.

ගිය අඟහරුවාදා වන විට උතුරුමැද පළාත් සභාවේ පෙරළිකාර මන්ත්‍රීන් අතර සිටි සුසිල් ගුණරත්න මන්ත්‍රීවරයා හදිසියේම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී පළාත් සභා අමාත්‍ය පදවියක දිවුරුම් දුන්නේය. ඔහු ඊට පෙරදා හිටපු මහ ඇමැති එස්.එම්. රන්ජිත් මහතාට සහාය පළකරමින් ආණ්ඩුකාරවරයාට දිවුරුම් පෙත්සමක් ලබාදුන් මන්ත්‍රී පිරිස අතර සිටියේය. එහෙත් ශ්‍රී.ල.නි.ප මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ගේද ජනාධිපතිවරයාගේද ආශිර්වාදය ඇතිව නැවතත් මහ ඇමැතිවරයාට සහාය පළකරමින් අලුත් දිවුරුම් පෙත්සමක් ලබාදුන් බව දැනගන්නට තිබේ. කෙසේ හෝ මේ ගැන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රජරටදී මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ කළේ ඔහු ගියත් පළාත් මන්ත්‍රීන් බහුතරය තම කණ්ඩායම සතු නිසා පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ගෙන එන බවය. ප්‍රධාන අමාත්‍යවරයාගේ සහායට සිටින්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් තුන් හතර දෙනෙක් නිසා ඔවුන්ගේ සහායෙන් එය ජයගෙන පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය උතුරුමැද මහ ඇමැතිවරයාට අභියෝග කළේය. ඒ අතර විපක්ෂ කණ්ඩායමට එක්ව සිටින මන්ත්‍රීන් නැවත තමන් වෙත දිනාගැනීම සඳහා මහ ඇමැතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප. ප්‍රධානීන් තිරය පිටුපස මෙහෙයුමක් අරඹා තිබේ. ඔවුන් මෙකී පළාත් සභා මන්ත්‍රීන් ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ දරමින් සිටින බව රජරටින් ලැබුණ නවතම ආරංචි මාර්ග පවසයි.

මහ ඇමැති ජයරත්න මහතා මෙන්ම ජනාධිපතිවරයාද දුමින්ද දිසානායක ඇමැතිවරයාද උතුරුමැද පළාත් සභාව ස්ථාවරව තබාගන්නට සියලු ප්‍රයත්න දියත් කර තිබිණි. ඒ අනුව ගිය බදාදා වන විට උතුරුමැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන සේමසිංහ සහ රත්නායක යන මහත්වරු ද සිය තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ. මහින්ද හිතවාදී කණ්ඩායමේ සාමාජිකයන් නිසා මෙම ඉවත් කිරීම සිදුකර තිබිණි. පුරප්පාඩු වූ එම අමාත්‍ය පදවි දෙකට මහ ඇමැතිවරයාට එරෙහිව දිවුරුම් පෙත්සම් අත්සන් කළ සරත් ඉලංගසිංහ මහතා සහ සම්පත් ශ්‍රී නිලන්ත මහතා පත් කරනු ලැබ සිටිති. ඒ අනුව ගිය බදාදා වන විට ප්‍රධාන අමාත්‍යවරයා මුළු උතුරුමැද පළාත් සභාවේම ඇමැති මණ්ඩලය සං‍ශෝධනය කර තිබිණි. එහෙත් ඒකාබද්ධයේ මහින්ද හිතවාදී කණ්ඩායම තුළ තවමත් මන්ත්‍රීන් 15ක් පමණ සිටින නිසා පළාත් සභා බලය පවත්වාගෙන යාමට ඉදිරියේදී විවිධ අභියෝග එල්ලවන්නට ඉඩ තිබේ.

ඇමැති සංශෝධනයට එ.ජා.ප. පසුපෙළින් තද ගෝරියක්

 

පළාත් සභාවල හටගන්නා මෙබඳු බල අරගල ජාතික දේශපාලනයට හෝ මැතිසභා බල තුලනය කෙරේ ඍජුව බලපාන්නේ නැත. එහෙත් මෙරට දේශපාලන ඉතිහාසයේ පළාත් සභා සටන් බල පෙරළියකට මුලපිරූ බව අපට හොඳින්ම මතකය. 1993 දකුණු පළාත් සභාවේ බලය බලෙන් තහවුරු කරගන්නට එ.ජා.පය තැත් කළේය. ප්‍රතිඵලය ලැබුණේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති පදවියට චන්ද්‍රිකා මැතිනිය පත් වී ජනාධිපති වීමෙනි. පසුගිය වර මහින්ද රාජපක්ෂ රජය ඉතා බලවත්ව තිබියදී හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභාවේ බලය අල්ලාගනිමින් ජයග්‍රහණයට පාර කැපූ අතර රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්නට සිදුවූයේ ඒ සමඟය. මේ දිනවල රජරට පළාත් සභාවේද ඒ ආකාරයේම බල අරගලයක් හටගෙන ඇත. එය කෙතනින් කෙළවර වේදැයි දැන්ම කිව නොහැක. එහෙත් ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණයකට පළාත් සභාව තල්ලු වන බව නම් පැහැදිලිය. එහි ප්‍රතිඵලය අනුව මේ රටේ ඉදිරි දේශපාලන ගමන් මග තීන්දු වන්නට ඉඩතිබේ. එම නිසා දේශපාලන නායකයන් මේ පළාත් සභා ප්‍රශ්න හැසිරවිය යුත්තේ ඉතා පරෙස්සමිනි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස් දින නිල සංචාරයකට චීනයට ගියේය. චීනයේ බී ජිං නුවර පැවති එක් තීරයක් එක් මාවතක් සමුළුව අමතා කතා කරන්නටත් ඊට ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීමටත් අගමැතිවරයා චීන චාරිකාව උපයෝගී කර ගත්තේය. එහිදී අගමැතිවරයා ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂා ගැන පුළුල් ලෙස අදහස් දැක්වීය. ශ්‍රී ලංකාව සිය ගෝලීය පිහිටීම උපයෝගී කරගෙන ලොව බොහෝ රටවල් සමඟ සබඳතා තරකර ගන්නනට සැලැසුම්කර ඇතැයි කී අගමැතිවරයා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සම්මුතිවාදී රජයක් ප්‍රධාන පක්ෂ දෙක එක්වී පිහිටුවා තිබෙන නිසා රටට ආර්ථික සමෘද්ධිය හා සංවර්ධන ප්‍රතිලාභ ලබාගැන්ම පහසුවී ඇතැයිද සඳහන් කළේය. අප රටේ ජාත්‍යන්තර සබඳතා දියුණු කරගන්නට ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගන්නට අපේෂා කරන්නේ යැයිද අගමැතිවරයා පැහැදිලි කළේය.

අගමැතිවරයා චීන සංචාරයේදී එරට නායක ක්ෂී ජිං පිං මහතා සහ චීන අග්‍රාමාත්‍යවරයාද මුණගැසිණි. මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හා චීනය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නට යන ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව වාර්තා විය. කෙසේ හෝ ගිය සිකුරාදා දක්වා අගමැතිවරයා චීනයේ රැඳීසිටීමට කලින් සැලසුම්කර තිබුණත් යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඇතුළු හදිසි කටයුතු ගණනාවක් යෙදී තිබුණ බැවින් ඔහු ගිය බදාදා පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මේ ආණ්ඩුව යටතේ විධායක ජනපති ක්‍රමය නැති නොවන බව ජ.වි.පෙ. කියයි

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල සිය සමීපතම දේශපාලන සගයන් සමඟ සාකච්ඡා කරමින් සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඇතුළු ආණ්ඩුවේ පැවැත්මට බලපාන ප්‍රධාන කාරණා ගණනාවක් ගැනයි. ඒ අතර පොළොන්නරුවට ජන හමුවක් සඳහා පැමිණි ජනාධිපතිවරයා එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පිළිවෙත දැඩිලෙස විවේචනය කළේය. ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය විවේචනය කරමින් ඔහුට එරෙහිව කළු කොඩි දමන්නැයි කී විපක්ෂ ලොක්කෝ රාත්‍රී 11.00ට ගොස් අගමැති මෝදි මහතා මුණගැසුණු බව ජනාධිපතිවරයා කීය. පසුගිය මැයි දිනයට ගෝල්ෆේස් පැමිණි ජනයාගේ ඔළුගෙඩි ගණන්කොට පසුදාට අණ්ඩුවක් හදන්න පුළුවන් යයි කවුරුවත් සිතන්නේනම් එය මහත් විහිළුවක් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මේ ආකාරයට පිට්ටනිවලට සෙනඟ ගෙනවිත් ආණ්ඩු වෙනස් කරන්නට පුළුවන් කමක් නොමැති බවද ඔහු දැඩිලෙස අවධාරණය කර තිබිණි.

පසුගිය කාලයේ දිගින් දිගටම කල්ගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ සිදුකරන්නට ජනාධිපතිවරයා සියලු කටයුතු සැලසුම් කර තිබිණි. ඒ සඳහා අවසන් සාකච්ඡාව අගමැතිවරයා චීනයට යන්නට පෙර පැවැත්වූ බවද වාර්තා විය. අලුත් ඇමැති මණ්ඩලය එනතුරු කැබිනට් රුස්වීම් නැතැයි කලින් ප්‍රකාශ කළත් මේ සතියේද ඉතා කෙටි කැබිනට් හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පසුපෙළ මන්ත්‍රීන් ද කැබිනට් වෙනසක් අවශ්‍ය බව ප්‍රකාශ කරද්දී එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් කියා සිටියේ ලැබුණ ජනවරමට පිටින් කැබිනට් සංශෝධනයක් කළහොත් එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් කැරළි ගැසීමට සූදානම් බවය. එ.ජා.ප.යේ මහ ලේකම්වරයා පවා මෛත්‍රීපාල මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධවී පක්ෂයෙන් එළියට යද්දී පසුපෙළ සගයන්ගේ සහායගෙන ඉතා අසීරුවෙන් ජනාධිපතිගේ ජයග්‍රහණය තහවුරු කළ බව කී එ.ජා.ප. පසුපෙළ සාමාජිකයෝ ජනවරමට පිටින් ගොස් ඇමැති සංශෝධනයකට ඉඩ නැතැයිද කීහ.

ඒ අතර එ.ජා.ප.යේ යම් යම් තරුණ දේශපාලනඥයන් සිය කලකිරීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. පසුගියදා සැරටම තමන්ගේ කලකිරීම ප්‍රකාශ කළේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාය ඊට පසු සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ වගකිවයුත්තන් විවේචනය කළේය. ඔහුට සිය අමාත්‍යංශයේ කරන්නට කිසිම වැඩක් නැතැයි කී හෙතෙම වැඩක් කරන්නට ඉඩක් නැත්නම් ඉදිරියේදී පක්ෂ මාරු නොකර දේශපාලනයෙන් සමුගන්නට සිතෙන බවද කීය. දේශපාලනය නිසා තමන්ට ජනාධිපති නීතිඥයකු වන්නට තිබූ අවස්ථාවද අහිමි වී යැයි හෙතෙම මැසිවිලි නැගීය. මේ සැර කතාවෙන් පසුදා සුජීව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරියගේ නිවසට පැමිණියේය. ඒ ගාන්ධිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්තව සත් දිනක් ගෙවීම නිමිත්තෙන් පැවති පින්කමට සහභාගීවන්නටයි. එහි ගිය සුජීව මහින්ද රාජපක්ෂ මහතා සමඟත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟත් බොහෝවේලා කතාබස් කරනු පෙනිණි. සිය සැර කතාවෙන් පසුදා සුජීව මහින්දලාගේ ගෙදර යාම ගැන නොයෙක් ඕපාදූප දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගියේය.

මන්ත්‍රීකම නැතිවන්නට යන සබරගමුවේ කෙනෙක් ගැන ජනපතිගෙන් අනාවැකියක්

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශයට උත්තර දුන්නේ එ.ජා.ප.යේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය. ඔහු කීවේ තමන්ගේ ඡන්ද කොට්ඨාසයවත් ජයග්‍රහණය නොකළ අය මේ ආකාරයට ප්‍රකාශ සිදුකිරීම වැරදි බවය. පසුදා නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එම හමුව කැඳවා තිබුණේ තීරණාත්මක ප්‍රකාශයක් කිරීමටයි යැයි සඳහන් වුවත් සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා එම මාධ්‍ය හමුව උපයෝගී කරගත්තේ ඊට පෙරදා මරික්කාර් මන්ත්‍රීවරයා නගන ලද චෝදනාවලට උත්තර දීමටයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයේ දෙවැනි ගමන නිමිත්තෙන් පසුගිය ඉරිදා කොළඹ හිල්ටන් හෝටලයේදී සාදයක් පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා, සුමේධ ජයසේන, ලක්ෂමන් යාපා අබේවර්ධන ආදී මැති ඇමැතිවරුන්ද තවත් නොයෙක් ප්‍රභූන්ද ඊට ඇරයුම් ලබා සිටියහ. දේශපාලනඥයන් සහ නීතිඥයන් බහුල වූ සාදයේ සෑම තැනම අසන්නට ලැබුණේ දේශපාලන කතාය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිටි මේසය වෙත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද පැමිණියේය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ ආ ලක්ෂමන් මම මේ හම්බුවෙන්නයි හිටියේ කියන්න අර දකුණු අධිවේගී පාරේ මග දිගට වැටවල් කැඩිලා. ඒ නිසා ඔය වැටවල් ටික හරිගස්සන්නකෝ කියායි. තමන් ඒ ගැන බලන්නම් යයි ඇමැති කිරිඇල්ල මහතා කියද්දී ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා ප්‍රශ්න කළේ ඔබතුමා ඒ පැත්තටත් පාද යාත්‍රාවක්වත් යන්නද හදන්නෙ යනුවෙනි. ඒ කතාව වෙනස් පැත්තකට හැරවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇමැති කිරිඇල්ලගෙන් විමසුවේ කැබිනට් සංශෝධනය ගැනයි. කෝ ඔයාල කියන ඇමැති සංශෝධනය. කවදද ඇත්තටම ඕක වෙන්නෙ...? කියා මහින්ද සිනාසෙමින් ප්‍රශ්න කළ විට එතැන සිටි ඇමැතිවරුන් දුන්නේ අනේ ඕව කවද වෙනවද කියල අපි නම් දන්නෙ නැහැ යන පිළිතුරයි.

සුජීව සේනසිංහ නාමල් රාජපක්ෂ සමඟ දිග කතාවක

 

ඒ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මංගල උත්සවයට සහභාගීවීමට හිල්ටන් හෝටලයට පැමිණියේය. මැති ඇමැති පිරිසත් ඔහු සිටි මේසයටද ගියහ. එහෙත් මහින්ද ජනපතිවරයා සිටි තැනට ගියේ නැත. මෛත්‍රී ජනාධිපතිවරයා මහින්ද මුණගැසුණේද නැත. කතා කළේද නැත. දෙදෙනා මේස දෙකක අසුන් ගෙන සිටිනු පෙනිණි. එතැනද සිදුවූයේ බරපතළ දේශපාලන කතා නොව සරල සැහැල්ලු කතාය. අනුර යාපා ඇමැතිවරයා ජනාධිපතිවරයාට පැවසුවේ සර් අපේ ජෝන් ඇමැතිතුමාගේ කකුලෙ අමාරුවක් හැදිල අමාරුවෙන් ඉන්නෙ කියායි. හ්ම් ඔව් ජෝන්ට කකුලෙ අමාරුවක් මිසක් වෙන අමාරැ නැතිබව මම දන්නව. යැයි ජනපතිවරයා කියන විට හැමෝම සිනහවෙනු පෙනිණි. ඒ සමඟ පැමිණි ලසන්ත අලගියවන්න කීවේ සර් සබරගමුව පළාත් මහ ඇමැති අපේක්ෂකකමට පවිත්‍රා දාන්න ඒකාබද්ධය සූදානම් වෙනවලු.. කියාය එවිට මඳක් කල්පනා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකත් මේ ජෝන්ලගෙ වැඩක් වෙන්න ඇති පවිත්‍රාගෙ මන්ත්‍රීකමටත් තට්ටු කරන්නයි මෙයා ඒ පාර හදන්නෙ. ජනාධිපතිවරයා තමන්ගේ අනාවැකිය ඉදිරිපත් කළේ එසේය.

බාලගිරි දෝෂය ලබා තිබෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින්ද ජයතිස්ස පසුගියදා අදහස් පළ කළේය. කැබිනට් සංශෝධන මුට්ටිය දමා ජනමතය එහා මෙහා කරන්නට ආණ්ඩුව හදනවා යැයි කී මන්ත්‍රීවරයා ඇමැති සංශෝධනයක් කරන්නට නම් මෙතරම් තටමන්නට ඕනෑ නැතැයි පැවසීය. ඇමැති සංශෝධනය පෝයෙන් පෝයට කල්යෑමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට ඒක කරගන්නවත් හයියක් නැතිබව යැයි මන්ත්‍රී ජයතිස්ස වැඩිදුරටත් කීය.

එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට රනිල්ට හෝ මෛත්‍රීට සැබෑ වුවමනාවක් නැතැයි කී හෙතෙම ඔළුගෙඩි මාරුවෙන් රටට යහපතක් වන්නේ නැතැයිද කීය.


 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර