2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

හදිසියේ සිදු වූ විමල්ගේ පිපිරීම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 465

  • හිටපු ජනපතිට - අගමැතිට අපරාධ චෝදනා?
  • පොදු පෙරමුණ තුළ මත ගැටුමට පැවිදි හඬත් එක්වෙයි
  • කාදිනල්තුමාගේ අනතුරු ඇඟවීම
  • හරීන්ගේ කඩවුණු බලාපොරොත්තුව
  • සරත් ෆොන්සේකාගෙන් ආණ්ඩුවට සැර චෝදනාවක්
  • අමෙරිකා තානාපතිනියගෙන් මහින්දට ට්විටර් පණිවුඩයක්
  • අපි ගියොත් බටහිරින් ඉර පායාවි - වාසුදේව

මෙරට වත්මන් දේශපාලනයේ දිශානතිය තරමක් වෙනස් කළ සිදුවීම් කිහිපයක් සිදුවූ සතියක් ගෙවී ගියේය. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය විපක්ෂයේ විරෝධතා ජාත්‍යන්තර බලපෑම් ආදිය කරළියේ උණුසුමට හේතුවිය. බොහෝ සිදුවීම් එකිනෙකට ඈඳී තිබූ අතර මාධ්‍ය සංදර්ශනාත්මක වාර්තාකරණයක නිරත වෙමින් සිටියේය.

විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ සම්බන්ධව කතා කිහිපයක් ගෙවුණු ඉරිදා (7) අසන්නට ලැබුණි. පෙබරවාරි මුල් සතියේ පාස්කු කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගෙන තිබූ අතර එහි අන්තර්ගත පිළිබඳ යම් කුකුසක් නිර්මාණය වෙමින් පැවැතියේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධානීන් ගණනාවකට අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙස කොමිසම නිර්දේශ කර ඇති බව දැනගන්නට ලැබුණේ මේ අතරය.

බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මුල්කොටගෙන පුද්ගලයන් 270කට අධික පිරිසක් මියයාම සම්බන්ධයෙන් මෙලෙස නිර්දේශ ඉදිරිපත් වී තිබුණි. ඒ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ටද අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නිර්දේශ ඉදිරිපත් විය. කෙසේ නමුත් සතිය ආරම්භයේදී වූ මෙම පුවත පිළිබඳ උණුසුම සැණින් බිඳවැටෙන සිදුවීම් පෙළක් සතිය පුරා සිදුවිය.

නාටකයක් බවට පත්වූ වීරවංශ සහ පොදුජන පෙරමුණු ගැටුම මෙහි ලා ප්‍රමුඛ විය. මෙය කලක පටන් පැවති මත ගැටුමක පුපුරා යාමක් වූ අතර මෙම ගැටුම ඇරඹුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සහ අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රකාශ හරහාය. සති අන්ත පුවත්පතකට විමල් වීරවංශ මහතා ලබාදුන් සංවාදයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධව මතුකළ දේශපාලන කරුණක් මෙම අර්බුදයට හේතුවිය. සාගර කාරියවසම් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේ ඒ පිළිබඳවයි. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා ලෙස ඔහු විමල් වීරවංශ ඇමැතිවරයාට ලිපියක්ද යොමුකර ඇති බව කියැවුණි.

මෙය වඩාත් උණුසුම් වූයේ පසුගිය අඟහරුවාදා (9) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක එකෙහිදී පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රුස්වීමේදීය. ඇමැති විමල් වීරවංශ මහතා අධිකරණය වෙත යාම හේතුවෙන් මෙම රුස්වීමට සහභාගී නොවීය. කෙසේ නමුත් ඔහු නිසාවෙන් රුස්වීම උණුසුම් වූයේය. තමන් සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ කළ කතාවක් නිවැරදි විය යුතු බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා කියන්නට විය. ඒ සමඟම ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආවේගශීලීව වීරවංශ මහතාගේ ප්‍රකාශ සම්බන්ධව දෝෂදර්ශනයට ඉදිරිපත් කර තිබේ. වීරවංශ මහතා නොමැතිව මේ සම්බන්ධව කතා කළ යුතු නැති බව වාසුදේව අමාත්‍ය ප්‍රකාශ කිරීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් වූ බව කියැවේ. මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග ජනාධිපතිතුමා ආධුනිකයි කියන විපක්ෂයේ මතය වීරවංශ මහතාද ඉදිරිපත් කර ඇති බව කියමින් ආවේගයෙන් අදහස් දක්වා තිබේ.

කණ්ඩායම් හමුවේ ගැටුමට අගමැති මහින්ද රාජපක්ෂ මැදිහත් වීමෙන් කෙසේ හෝ එය යම්තාක් දුරකට නිරාකරණය වූයේය. ඒ අතර උද්ගතවූ තත්ත්වයද හේතුකොට පස්වරුවේ පක්ෂනායක හමුවක් කැඳවන ලෙස විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව පක්ෂනායක රැස්වීමේදී සිය ප්‍රකාශ ගැන වීරවංශ මහතා කරුණු පැහැදිලි කර තිබේ. තමන් පුවත්පතට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ මහින්ද රාජපක්ෂ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීමක් පිළිබඳ ගැන නොවන බව ඔහු මෙහිදී පැහැදිලි කර තිබේ. ජනාධිපතිතුමන් දේශපාලන පක්‍ෂ ව්‍යුහයක් තුළ නොමැතිවීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති අතර සමීප සම්බන්ධතාවයක් ගොඩනොනැඟෙන බවත් එනිසා ජනාධිපතිටද පක්‍ෂය තුළ ඉහළ තනතුරක් දිය යුතු යැයි තමන් කියූ බවත් ඔහු ඔහු සඳහන් කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සඳහන් කර ඇත්තේ තමන් එය තේරුම් ගත් බවයි. එසේම තමන් ඉවත් කිරීමක් කළයුතු බවට සඳහනක් එම ප්‍රකාශය තුළ නොදුටු බවත් අග්‍රාමාත්‍යවරයා කියා තිබේ. කෙසේ වෙතත් මෙම ගැටුම තවත් ඉදිරියට ගෙන යායුතු නැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පිරිසට පැහැදිලි කර දී ඇතැයි දැනගන්නට ලැබේ. එසේ නමුත් පක්ෂනායක හමුවද ගාලගෝට්ටියක් වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ආණ්ඩුවේ අවුල් වියවුල් මැද සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැගීමෙන් පසු ගිය සතියේ සුවිශේෂී කටයුත්තකට අත ගැසුවේය. ඒ අනුව සඳුදා (8) සමගි ජනබලවේගයේ ආසන සංවිධායක පත්වීම් ප්‍රදානය කිරීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිදුවිය. නව ආසන සංවිධායකවරුන් පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක්ද පැවැත්විණ. සියලුම සංවිධායකයන්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයන් කටයුතු කළ යුතු බවත්, එසේ නොකරන සංවිධායකයන් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය. දැනට පුරප්පාඩුව පවතින සෙසු ආසන සඳහාද ඉදිරියේදී කඩිනමින් සංවිධායකවරුන් නම් කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කීය.

ආසන සංවිධායකවරු පත් කිරීමත් සමඟ හරීන් ප්‍රනාන්දු මහතා පිළිබඳ දේශපාලන කසුකුසුවක් පැතිර යන්නට විය. ඒ කලක පටන් හරීන් ප්‍රනාන්දු මහතා බලාපොරොත්තුවෙන් සිටි වත්තල ආසනය ඔහුට නොලැබීම පිළිබඳවයි. මාධ්‍ය මේ සම්බන්ධව විවිධ වාර්තා ගෙන ආවද හරීන් ප්‍රනාන්දු මේ සම්බන්ධව කිසිවක් පවසා නොතිබුණි. එහෙත් ඔහු සතියේ තීරණාත්මක දේශපාලන භූමිකාවක පණ පොවමින් සුවිශේෂී සාකච්ඡාවකට සහභාගී විය. මෙම හමුව සිදුවූයේ සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අතරයි. පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ඔහු ගිය මේ ගමන නිල දූත මෙහෙවරක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුවත්කම මත තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවී සාකච්ඡා කළ බව පසුව හරීන් ප්‍රනාන්දු මහතා තහවුරු කළේය. එසේම ඉදිරියේදී රුවන් විජයවර්ධන මහතා සමඟද සාකච්ඡාවක් සිදුකරන බවද ඔහු පැවසීය. මෙම සාකච්ඡා පක්ෂ දෙක එකම සන්ධානයක් පොදු ලකුණක් යටතට ගැනීමේ අරමුණින් යුතුව සිදුවී තිබුණි. දේශපාලන ආරංචි මාර්ග අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිචාර අයහපත් වී නොමැත. කෙසේ වෙතත් දේශපාලන ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමඟ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙස හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.

මාස ගණනක් ඇදුණු මුස්ලිම් භූමදාන ගැටලුව පසුගිය බදාදා (10) අවසානයක් කරා ගමන් කළේය. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය රට හමුවේ තැබුවේය. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අඟහරුවාදා (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ තීරණය ප්‍රකාශයට පත්කළේය. එස්.එම්. මරික්කාර් මහතා, “සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙම නම් දැන්වත් අපි අහන්නේ අගමැතිතුමාගෙන් මේ භූමදානය සඳහා අවසර දෙන්න.* එවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා “භූමදානය කරන්න ඉඩ දෙනවා. යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය එකවිටම කිසිවෙක් අපේක්ෂා නොකළ ප්‍රකාශයක් වූයේය. මෙරට මුස්ලිම් ප්‍රජාවට එය සුවිශේෂී තීරණයක් විය. ප්‍රකාශයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මුස්ලිම් මැතිඇමැතිවරුන් සියලුදෙනාම අගමැතිවරයාගේ නිල කාමරයට වැල wwනොකැඩී ගිය බවත් එහිදී අග්‍රාමාත්‍යවරායාට අතිශය ස්තූතිවන්ත වූ බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. විවිධ පාර්ශවවලින් අග්‍රාමාත්‍යවරයා වෙත පැසසුම් ගලා එන්නට විය. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි තානාපති ඇලන් බී. ටෙප්ලිස් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කොරෝනා ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනය නතරකර භූමදානයට ඉඩදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සතුට පළ කළේය.

මේ අතර මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා අවසර ලබාදීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඉතා සතුටු වන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ද විශේෂ ට්විටර් සටහනක් තබමින් කියා තිබුණි. එසේම ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත අතර 24 වැනි දින ලංකාවේ පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය. පාකිස්ථානය සම්බන්ධව තවත් සිදුවීමක් ගෙවුණු සතියේ අඟහරුවාදා සිදුවිය. කොළඹදී පාකිස්ථාන නියෝජ්‍ය තානාපති තන්වීර් අහමඩ් මහතා මුණගැසීමට සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහතා ගියේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ සංචාරය තුළදී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙසත් ඔහු පකිස්ථාන් රජයෙන් ඉල්ලා තිබේ. විශේෂන්ම කොරෝනා වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරන ලෙස අගමැතිවරයාට දැනුම් දෙන ලෙසට ඔහු ඉල්ලා ඇති බව වාර්තා වෙයි. එහෙත් ඊට අදාළ ගැසට්ටුව නිකුත් කර නැත. එය සෞඛ්‍ය බළධාරයන් විසින් කළ යුතුය. 

සියලු දේශපාලන කලබගෑනි අතර ජනාධිපතිවරයා අතට පත් දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විපක්ෂය කලබල වී සිටියේය. මෙම කොමිෂන් සභාව ජනපති පිහිටුවූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැතිව බැවින් දේශපාලන පළිගැනීම් පිළිබඳ නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට බලය පැවරෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කළේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කළ නිර්දේශ අනුව යමිනි. කෙසේ වෙතත් සතිය පුරා ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන විවිධ පාර්ශ්ව විසින් මතු කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සැරසෙන බවට දැඩි චෝදනාවක් එල්ල කළේය. ඒ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳ මාධ්‍ය වෙත ලිපියක් සම්පාදනය කරමින් විවේචනාත්මක කරුණු දක්වා තිබුණි. “දේශපාලන පළිගැනීම් හෝ වෙනත් කුමන ආකාරයක හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළයුතු නීති පද්ධතියක් පවතිද්දී ප්‍රජා අයිතිය අහිමි කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීමද පළිගැනීම, ද්වේශය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පෙරදැරි කරගත් ක්‍රියාදාමයක් බව අමතක නොකළ යුතුය* යනුවෙන් දැඩි විරෝධයක් ගොනුකරන ලදී. කෙසේ වෙතත් තවත් අලුත් දේශපාලන සංවාදකට අවශ්‍ය මූලබීජයන් මේ හරහා සැපයුණු බව පෙනී ගියේය.

බ්‍රහස්පතින්දා (11) දිනයේ තීරණාත්මක දේශපාලනික සිදුවීම් පෙළක් සිදුවිය. එක් පසෙකින් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සූදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මේ වන තෙක් එය නොලැබුණු බවත් අගරදගුරුතුමෝ කීහ. 

“යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයා ගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.

මේ අතර 11 වැනිදා පාර්ලිමේන්තුව සුවිශේෂී විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදින පාර්ලිමේන්තුවට පැමිණියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙලාසනම පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියේය. අග්‍රාමාත්‍ය කාර්යාලය අසලදී උදෑසනම හමුවූ ජනාධිපති අගමැති එක්ව පාර්ලිමේන්තුවට පිවිසියහ. ජනාධිපති ආගමනය පිළිගනිමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිය මේසවලට තට්ටු කළහ. ජනපති පාර්ලිමේන්තුවට පිවිසෙන විට විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ පැනයකට රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පිළිතුරු දෙමින් සිටියේය. මෙය ආයෝජන සම්බන්ධව ප්‍රශ්නයක් වූ අතර මන්ත්‍රී හේෂා කොළඹ වරාය ඊට ඈඳා ගත්තේය.

“නැගෙනහිර පර්යන්තය දෙන්න ගිහිල්ලා ආපු විරෝධය නිසා බටහිර පර්යන්තයට මාරු වුණා. මේවා කරන්නද ආණ්ඩුව බලයට පත් වුණේ."  හේෂා විතානගේ නැගූ ප්‍රශ්නය නිසා මෙහිදී පර්ලිමේන්තුව උණුසුම් විය. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හේෂාට විරුද්ධව හඬ නගන්නට වූ අතර ඔහු පෙරළා පිළිතුරු දීමෙන් තත්ත්වය තවත් උණුසුම් විය. වරාය ඇමැති රෝහිත ද මීට මැදිහත් විය. හම්බන්තොට වරාය චීනයට බදු දීම පිළිබඳ ඔහු යහපාලන රජයට චෝදනා කරන විට විපක්ෂයේ හඬ තවත් ප්‍රබල වූ අතර අවසානයේ විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගිට ජනාධිපතිතුමා ඇවිල්ලා නිසා මේගොල්ලො ඔක්කොම ලකුණු දාගන්න හදනවා* යනුවෙන් කීවේය. ඊට පසු ලකුණු කතාව දික් ඇදුණු අතර කතානායකවරයා ලකුණු දාගන්නට යන බව කිරිඇල්ල මහතා උපහාසයෙන් කී විට සභාව සිනාසුණහ. ඒ අතර කතානායකවරයා කීවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද ලකුණු දා ගැනීමට යන බවය.

විභාග කඩයිම් ලකුණු ගැටලුවක් ද මෙදින පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක් ද පැවැත්වුණි. ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍ය  දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡාවක නිරත  වී තිබුණි. පාර්ලිමේන්තු ආරංචි අනුව ආණ්ඩුවට වර්තමානයේ එල්ල වන විරෝධයන් සහ විසඳුම් පිළිබඳවත් ශ්‍රීලනිප කණ්ඩායම් දේශපාලන අවශ්‍යතා පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් ජනාධිපති පාර්ලිමේන්තු ගමන පිළිබඳ විවිධ කටකතා සහ ආරංචි සිකුරාදා වන තුරුත් දේශපාලන කරළියේ පැතිර යමින් තිබුණි.

වීරවංශ අර්බුදයේ තව කොටසක් පාර්ලිමේන්තුව ඇසුරේම තිරගත වන්නට පටන් ගත්තේය. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කර ඇති බව පළමුව කියැවුණි. මෙහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ පවත්වා තිබේ. විශේෂයෙන්ම ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහිදී අදහස් දක්වා තිබිණි. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමැතිවරුන්ට සිහිපත් කර දෙන්නට ඔවුන් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් මේ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ වන විටත් හඬ අවදි කර තිබුණි. කෙසේ නමුත් පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවලදී දිගින් දිගටම විරවංශ විරෝධය පැන නැගුණි. මේ අතර විමල් වීරවංශ වෙනුවෙන් අලුත් කණ්ඩායමක් නිර්මාණය විය. එය විමල්ගේ දොළහේ කණ්ඩායම ලෙස මාධ්‍ය හඳුන්වන්නට විය. මේ අතර මෙම පිරිස බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවෙසේදී රුස්වීමක් පැවැත්විණි. මාධ්‍ය ආයතන ද මේ සම්බන්ධව දැනුවත් වූ හෙයින් කොළඹ මළලසේකර මාවතේ ඇමැතිවරයාගේ නිවෙසට ඔවුහු පැමිණ සිටියහ. අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, ටිරාන් අලස් ඇතුළු දේශපාලනඥයන් නිවෙස තුළට ගමන්  කළත් අවසානයේ මාධ්‍ය සාකච්ඡාවක් නොවුණි. 

මෙම සාකච්ඡාව අවසානයේ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරු පිටව යන අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූහ. ආණ්ඩුවෙන් යන්න වගෙයි?* මාධ්‍ය ඇසූ විට “ආණ්ඩුවෙන් අපි ගියොත් ඒක ඉර බටහිරින් පායනවා වගේ වැඩක්නේ.“ යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කීවේය. ඉතින් ඇයි මේ හදිසියේ රුස්වෙන්නේ හැමදේටම?* යනුවෙන් ඇසූ විට රැස්වෙන්නේ ආණ්ඩුව රකින්න. ආණ්ඩුව කඩන්න කුමන්ත්‍රණකාරයෝ ඉන්නවානේ* යැයි ඔහු කියා තිබුණි. ඒ අතර උදය ගම්මන්පිල මහතා "විමල් වීරවංශ ඇමැතිතුමා මේ ආණ්ඩුව බිහි කරන්න සුවිශේෂී කාර්යභාරයක් කරපු කෙනෙක්. එයාව කවුරු හරි අවතක්සේරු කරනවා කියන්නේ කෙළෙහිගුණ නැති බව ප්‍රදර්ශනය කිරීමක් විදිහටයි දකින්නේ." යනුවෙන් ද කියා තිබුණි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම කණ්ඩායම ජනපති, අගමැති සමඟ සාකච්ඡාවක් ඉල්ලීමට සූදනම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. තමන් හෝ දරුවන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ නොවුණද දිගින් දිගටම තමන් හට මඩ ප්‍රචාර එල්ල වෙමින් පවතින බව කියමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. පසුගිය සතියේ වෙබ් අඩවි කිහිපයක් ඇය පිළිබඳ විවිධ දෑ හැඟවෙන පරිදි වාර්තා ඉදිරිපත් කරමින් සිටියේය.

මෙම සියලු දේශපාලන සිදුවීම් පෙළ අතරේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමට සිදුවෙතැයි පැවසෙන ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන “කෲඩියා සිලනිකා“ හෙවත් පඬු කරඳ ගස පිළිබඳ කතාව ද යම් උණුසුමක් නිර්මාණය කළේය. මේ සම්බන්ධව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා මාර්ග සංවර්ධන අධිකාරියට ලිපියක් ද ලිව්වේය. &ගම සමඟ පිළිසඳර* වැඩසටහනේ දී ජනපතිගෙන් පරිගණක ඉල්ලූ දැරියගේ පාසලට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අමාත්‍ය පියල් නිශාන්ත මහතා පරිගණක රුගෙන ගියේය. ඒ අතර කිහිප වරක් නිරෝධායනයට ලක් වූ වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා යුද හමුදා රෝහලේ කොවිඩ්-19 මර්දන එන්නත ලබාගැනීම ද සිදු විය.

 


 චමිදු නිසල් ද සිල්වා