2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ලොක්කෝ දිනේෂ්ට කිව්වදේ

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 422

  • එන්නත් ගේන්න කා එක්කද කතා කළේ? රනිල් අසයි
  • අලි සබ්‍රීට එරෙහිව ඇල්ලේ හිමිගෙන් ජනපතිට ලියුමක්
  • ශ්‍රීලනිපයට එරෙහි ප්‍රමිත බණ්ඩාරගේ කතාව
  • කැබිනට් සංශෝධනයක් හෝ තනතුරු මාරුවක්?
  • රන්ජන් වෙනුවෙන් මැතිසබයේ විපක්ෂ ගාලගෝට්ටි
  • කොකේන් මන්ත්‍රීලා ගැන රන්ජන් කියූ කතා මැතිසබයේ ඇදෙයි

තවත් දේශපාලන සතියක් ගෙවී ගියේය. පරණ කතා අලුත් වූ අතර අලුත් කතා පරණ වූයේය. කෝවිඩ් ක්‍රිකට් සහ වරාය කතා නිසා වෙනදාට තරම් දේශපාලන කරළියේ ගිනියම් නොවුණි. එහෙත් රහස් මෙන්ම සුවිශේෂී සිදුවීම්ද රැසක් ගෙවුණු සතියේ සිදුවිය.

සඳුදා දිනයේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු විය. මෝදර ධීවර වරාය බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට මෙම කටයුත්ත සිදුවිය. 2014 වසරේදී මෝදර වරාය බදු පදනම මත පෞද්ගලික සමාගමකට ලබාදීමෙන් සම්බන්ධව මෙම නඩුව ගොනුකර තිබුණේ අගෝස්තු මාසයේදීය. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ මෙම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවීමෙන් අනතුරුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සඳුදා පෙරවරුවේ අතිවිශේෂ සාකච්ජාවක්ද පැවැත්විණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර මෙම සාකච්ඡාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනා කර තිබීම සුවිශේෂී වූයේය. පිළිවෙළින් ජනපති අගමැති සහ බැසිල් රාජපක්ෂ යන ආණ්ඩුවේ ප්‍රධානීන් එක්ව පැවැත්වූ අතිශය රහසිගත සාකච්ඡා කිහිපයකට පසුව පැවති මෙම සාකච්ඡාව යම් දේශපාලන පෙරළියක ඉඟියක් බව දේශපාලන කරළියේ කතාබහට ලක්විය. කෙසේ වෙතත් සිදුවන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙක් තුළ පූර්ණ අවබෝධයක් නොවන බව පෙනී ගියේය. එම නිසාම විවිධ කටකතා අභ්‍යන්තරයේ පැතිර යමින් තිබුණි.
ආණ්ඩුවේ ඉහළ තනතුර කිහිපයක වෙනසක් කිරීමට යන නිසාවෙන් මෙවන් සාකච්ඡා පැවැත්වෙන බව පිරිසක් කියන්නට වූහ. කැබිනට් සංශෝධනයක් පිළිබඳවද කටකතා වූ අතර කැබිනට් සංශෝධනයක් සිදුනොකොට තනතුරු මාරුවක් පමණක් සිදුකිරීමට යන බවද විටෙක කියැවුණි. ඒ කෙසේ වෙතත් තවත් දේශපාලන ආරංචියක අනුව දැනගන්නට ලැබුණේ ඇමති දිනේෂ් කැඳවා සාකච්ඡා කළේ ඉදිරියේදී ආණ්ඩුව හමුවේ ඇති ජිනීවා අභියෝග පිළිබඳව බවයි. කෙසේ වෙතත් මෙරට ආණ්ඩු හමුවේ විසඳාගත යුතු අර්බුදය රැසක් පැනනැගී ඇති පසුබිමක මෙවන් සාකච්ඡා පිළිබඳ මවිත විය යුතු නැති බව පෙනී ගියේය. විස්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව කැබිනට් සංශෝධන කතාව අසත්‍යක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂනායක රැස්වීම රන්ජන් සහා ප්‍රේමලාල් නිසාවෙන් උණුසුම් විය. ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලි) මිනීමැරුම් සිද්ධියකට මරණ දඬුවම ලබා දී තිබියදී පාර්ලිමේන්තු පැමිණීමට අවස්ථාව ලබා දුන්නා නම් රන්ජන් රාමනායක මහතාටද පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු යැයි විපක්ෂ මෙහිදී තර්ක කළේය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ දෙමළ සන්ධානයේ සාමාජික එම්.ඒ. සුමන්තිරන් මහතා රන්ජන් වෙනුවෙන් පෙනී සිටින්නට වූහ. කතානායකවරයාට එම තීන්දුව ගතහැකි බව ඔවුහු කියා සිටියහ. එහෙත් මෙම හමුවේදී කතානායක තීරණය ප්‍රකාශයට පත් නොවිණි.

පසුව ගෙවුණු සතියේ රැස්වූ පාර්ලිමේන්තුව තුළද මෙම රංජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ තර්ක විතර්ක පැන නැගුණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රංජන් වෙනුවෙන් පෙනී සිටියේය. අවසානයේ කතානායකවරයා රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමිවීම පිළිබඳ කරුණු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත තීරණයක් ලබාදෙන බව කීය. රන්ජන්ගේ මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳ ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමක් ඉදිරි සති දෙකක කාලයක්ද ලබාදෙන බව කථානායකවරයා පැවසීය. ඉදිරිපත් වන එම හේතූන්ද සැලකිල්ලට ගෙන විධිමත් උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් ආසාදනය වීමද ගෙවුණු සතියේ කාගේත් අවධානයට යොමුවිය. සිය මුහුණු පොතේ සටහනක් තබමින් තමන්හට කෝවිඩ් ආසාදනය වී ඇති බව ඔහු දන්වා සිටියේය. එසේම තමන් ඇසුරු කළ සමීපතමයන්ගෙන් සෞඛ්‍ය අංශවලට සහාය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා සමඟ කෝවිඩ් පැණිය භාවිත කළ මන්ත්‍රී කණ්ඩායමේ පියල් නිශාන්ත මහතාද වූ බැවින් සමාජ මාධ්‍යයේ පිරිසක් ඔහු ඉලක්ක කර ගත්හ. කෙසේ වෙතත් අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක ප්‍රතිකාර සඳහා නවතනු ලැබීය. ඒ අතර කෝවිඩ් ආසාදනය වී සිටි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා සිය නිවස වෙත පැමිණියේය. එහෙත් ඔහුව තවත් නිරෝධනය කාල සීමාවකට යටත්කර තිබුණි. ඒ අතර අමාත්‍ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන අයව ස්වයං නිරෝධනයට යොමු කිරීමද ගෙවුණු සතියේ සිදුවිය

ආණ්ඩුවේ පහළ තැනකින් ශ්‍රීලනිපයට විරුද්ධ ප්‍රහාරයක් දියත් වූයේය. නුවරඑළියේ පැවති රැස්වීමකදී පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම පක්ෂ 2කට ඉදිරියට එක්ව යාමේ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව කියා සිටියේය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිපය චණ්ඩිකමට තනිව තරග කළ බවත්, එහිදී රනිල්ගේ යූඑන්පිය පවා ඡන්ද 12,977ක් ලබා ගනිද්දී ශ්‍රීලනිපය ලබාගත්තේ ජන්ද 6,227ක් පමණක් බවත් ඔහු කීය. එය ප්‍රතිශතයක් වශයෙන් 1.47%ක් බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය. ඔහු මෙම ප්‍රකාශ කිරීමට පදනම වී තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව සහාය දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට ශ්‍රීලනිප විනය පියවර ගැනීමට සූදානම් වීමයි.

රනිල් වික්‍රමසිංහ මහතා නැවත නායකත්වයේ ඉනිම ක්‍රීඩා කරන්නට සැරසෙන විට එක්සත් ජාතික පක්ෂ පාර්ශයේද අභ්‍යන්තරයේ විවිධ කතා ඇතිවිය. තනතුරු නොලද්දෝ විවිධ යම් තීරණයකට සැරසෙන බව ආරංචි ගලා ආවේය. ඒ අතර මෙතෙක් පක්ෂයෙන් ඈත් වී සිටි පළාත් පාලන මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු පක්ෂය සමඟ යළි ඒකරාශී වෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍යයට කියා තිබුණි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අර්බුදය සම්බන්ධවද එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබුණි. යහපාලන ආණ්ඩුව සමයේ වරාය විකුණන්නට ගිය බවට එල්ලවන චෝදනාවට ඔවුහු පිළිතුරු සැපයූහ. නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019 රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බවත් ගිවිසුම අදාළ වන්නේ පර්යන්තය ක්‍රියාත්මක කරන සමාගමට බවත් ඔවුන්ගේ නිවේදනයේ සඳහන් විය. කෙසේ වෙතත් පර්යන්ත මෙහෙයුම් සමාගමකට බදුදීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද බව එම නිවේදනයේ සඳහන් වේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සම්බන්ධයෙන් නව විරෝධතාවක්ද පසුගිය සතියේ කරළියට පැමිණියේය. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයන් 150 දෙනකු බඳවා ගැනීම සූදානම් වන බවට වූ ආරංචියක් මීට පාදක විය. මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලාගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොමුකොට තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමටත්, මෙම නීතිඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් තීරණය කර තිබේ. අපේ රට පිළිබඳව හෝ ජනතාවගේ යහපත හා ආරක්ෂාව පිළිබඳව හෝ අබමල් රේණුවක තරමේ හෝ තැකීමක් හෝ දැනුමක් ඇති තැනැත්තෙකුට නම් මෙතරම් අඥාන හා භයංකාර තීරණයක් කෙසේවත් ගත නොහැකිය. මෙම තීරණයේ හරයට කිඳා බැස එහි අනාගත ප‍්‍රතිඵල කවරේද යන්න විශ්ලේෂණය කිරීමේදී එය ඉතා සූක්ෂම ලෙස ගෙන තිබෙන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් එක් පියවරක් පමණක් බව පැහැදිලිය.* යනුවෙන් එම ලිපියේ සඳහන් වූ අතර ඇල්ලේ ගුණවංශ හිමි, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊට අත්සන් තබා තිබුණි. කෙසේ වෙතත් අමාත්‍ය අලිසබ්රි මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අතර තමන් මීට කිසිඳු ලෙසකින් සම්බන්ධ නැති බවද කියා තිබුණි.

මුස්ලිම් භූමදානය කතාව සැලකිය යුතු ලෙස යට ගොස් තිබුණේය. එහෙත් හිටි හැටියේ ඇමරිකානු මැදිහත් වීමක් ඒ වෙනුවෙන් ලැබීම කැපී පෙනුණි. අමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් මහතා දිව්රුම් දීමත් සමග එම බලපෑම එල්ලවීම විශේෂිත විය. මෙය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස්ගේ නිවේදනයකි. ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය ගරුකළ යුතු බව එයින් කියැවුණි. මනව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනයද මෙහිදී උපුටා දක්වන ලදී.

මේ අතර විපක්ෂයට තදින් බලපාන සිදුවීමක්ද ගෙවුණු සතියේ සිදුවිය. යහපාලන රජය සමයේ පැවති &දූෂණ විරෝධී කමිටුවේ* සාමාජිකයන් විසි දෙදෙනකුට අදාළ දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට ලැබුණු නිර්දේශයයි. දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම නිර්දේශ ඉකුත් 18 වැනිදා ජනපති වෙත සහ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. මෙම කමිටුව මගින් දේශපාලන පළිගැනීම් සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ලබාදුන් සාක්ෂියකට අනුව සිදුකළ විමර්ශනවලින් පසු කොමිෂන් සභාව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අය පිරිසට යම් දේශපාලනික බලපෑමක් එල්ල වනු ඇති බව පෙනී යයි. අදාළ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා &විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්* පත්කළ යුතු බවට එම කොමිසම නිර්දේශ කර තිබීම යම් බරපතළ තත්ත්වයකි. නුදුරේදී දේශපාලන උණුසුම කෙරෙහි මෙම තීන්දුවද හේතුවනු ඇත. 

ගෙවුණු සතියේ රන්ජන් පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇතිවූ කතා අතර කොකේන් කතාව විශේෂිත විය. රන්ජන් වෙනුවෙන් කළු සාටක පැළඳීමට හරීන් ප්‍රනාන්දු මහතා ගත් තීරණය සේම හරීන් ප්‍රනාන්දු මහතා දිගින් දිගටම ජනපති සමඟ ගැටීම හේතුකොටගෙන මෙම පරණ කතාව නැවත කරළියට පැමිණියේය.

පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පළමුව මෙවන් අදහසක් මතු කළේය. "එතුමාට අපි යෝජනා කරන්නේ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ පරීක්ෂණයක් කිරීම වැදගත් කියලා. මොකද සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කරද්දි, සමහර වචන කියද්දි සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වචන භාවිත කරන ආකාරයට නොවේ මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ. ඒ නිසා Drug of Abuse Test එක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කරන එක හොඳයි. මම හිතන්නේ විනිවිදභාවයට ඒ ටෙස්ට් එක කරපු ‍කෙනෙක් ඉන්න එක හොඳයි.” 

සේමසිංහ මහතා එලෙස  පවසන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මෙසේ කීවේය.

“රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා අපි මේ පාර්ලිමේන්තුවට එන්නට කලින් කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරු කොකේන් ගහනවා කියලා. හැබැයි ඔහු දඬුවම ලබනතුරු කවුද මන්ත්‍රීවරු කියලා කීවේ නැහැ. හැබැයි රන්ජන් රාමනායක මොන බොරුව කිව්වත් මම විශ්වාස කරනවා රන්ජන් එදා කිව්වේ ඇත්ත කියලා. මේ පාර්ලිමේන්තුවේ ඇතැම් කොකේන් ගහන මන්ත්‍රීවරු සිටින බව පේනවා. ඒ අය ගැන හොයන්නට ඕනේ."

එජාප නායකත්වය ආරක්ෂා කර ගැනීමෙන් පසු නැවත කරළියේ දේශපාලනයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (21) සිරිකොත පැවති උත්සවයක දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවේය. 

“අද තාම මේ රටේ සැලැස්මක් ඉදිරිපත් කරලා නැහැ කොවිඩ්-19 පාලනය කිරීම පිළිබඳව. ජනතාව හෙට අනිද්දා එන්නත් කරනවා කියලා රට මුළා කරන්න එපා. ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා කවුරුන් එක්කද කතා කළේ? මොකක්ද අත්සන් කළේ? මොකක්ද ලැබෙන්නේ? කියන්න. ඒක ප්‍රධාන පක්ෂය අහලා නැහැ. සමහරවිට මම මේක ඇසුවා කියලා මට මාධ්‍යයෙන් බණී. ඒකට කමක් නැහැ. කොහොමත් මට හැමදාම බණිනවානේ. බණින්නේ නැති දවසක් නැහැ. එහෙත් රට වෙනුවෙන් අපිට කියන්න මේ කරුණු ටික.“

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත් කළ පිරිස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ තනතුරු බාරගැනීම ද මෙදින සිදු විය. එහෙත් පක්ෂයේ  උප සභාපති ධූරවලට පත් කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක හා අර්ජුන රණතුංග යන පිරිස මෙහි නොපැමිණීම කැපී පෙනුණි. ඒ අනුව එජාපයේ තවත් පිරිසක් බිඳී යනු ඇති බවට වූ දේශපාලන ආරංචි ක්‍රමයෙන් තහවුරු වෙමින් පැවතිණි.

ජිනීවා අත ළඟ තිබියදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර දේශපාලන කටයුතු සම්බන්ධව අපල  කාලයක් උදා වී තිබුණි. පළාත් සභා, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදී කරුණු මතින් ඉන්දියාවේ ප්‍රතිචාර අයහපත් වෙමින් තිබූ අතර ඊට තවත් සිදුවීමක් ඈඳුණි. එය මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට පත් වී එහි සිටි ධීවරයන් සිවුදෙනා මියයාම සම්බන්ධ සිදුවීමයි. එම අනතුර සම්බන්ධයෙන් තම රජය දැඩි විරෝධය පළ කරන අතර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා හරහා ඒ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම සිදුවීම් එකිනෙකට ඈඳීම බරපතළ තත්ත්වයක් බව දේශපාලන කරළියේ කතාබහට ලක් විය.

 චමිඳු නිසල්