2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

බන්දුලගේ කටට ජනපතිගෙන් වැටක්

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 743

මහජන උපයෝගිතා කොමිසම මැතිසබයේ රැව්දෙයි

සම්පන්දන් සරත් වීරසේකර මත ගැටුමක

රුවන් පුත්තලමේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනක

නාමල් මැතිසබයට ‌ෙගනා බිලයඩ් සටන

සිරිකොත වැටුප් රනිල්ගේ සාක්කුවෙන්

සජිත්ට මඩගසන මැති ඇමැතින්ට නඩු

ධම්මික පැණිය කථානායක අතට

අයවැය විවාදය අතර සිදුවූ හැලහැප්පීම් සහ විපක්ෂයේ විරෝධතා මතින් උණුසුම් වූ දේශපාලන සතියක් නිමා වූයේය. තීරණාත්මක දේශපාලන සිදුවීම් කිහිපයක්ද සිදුවූ අතර සතිය අවසානයේ දේශපාලනයට තරමක විරාමයක් ලැබුණි. ඒ අයවැය විවාදයේ අවසානයත් සමඟිනි.

සතිය ආරම්භයේදීම මහජන උපයෝගීතා කොමිසම හේතුවෙන් දේශපාලන කරළිය උණුසුම් වූයේය. කොමිසම අහෝසි කරන්නට යන බවට කතාවක් දේශපාලන කරළියේ පැතිර යාම ඊට හේතුව විය. එහෙත් මෙම කතාව පිටුපස වූයේ වෙනස්ම කතාවකි. ආණ්ඩුවේ ආරංචි මාර්ග හරහා මෙම තොරතුරු අප වෙත ගලා ආවේය. ඒ අනුව පසුගිය කාලයේ මහජන උපයෝගිතා කොමිසම කැබිනට් මණ්ඩලයේ තීරණ නිසි අයුරකින් ක්‍රියාත්මක නොකර ප්‍රමාද කර තිබූ බව දැනගන්නට ලැබිණි.

විශේෂයෙන්ම විදුලි බලාගාර සම්බන්ධව සිදුවූ සිදුවීම් කිහිපයක්ද මේ පිටුපස තිබිණි. පුනර්ජනනීය බලාගාර, ගල්අඟුරු බලාගාර සහ කුඩා පරිමාණ ජලවිදුලි බලාගාර පිළිබඳ කොමිසමේ කටයුතු සම්බන්ධව ජනාධිපති, අගමැති වෙත පසුගිය වසර එකහමාරක කාලය තුළ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබුණි. මේ සමඟ කැබිනට් තීරණ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධවද පැමිණිලි ලැබුණි. මෙම ගැටලු සම්බන්ධව ජනපතිට තීරණයක් ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය. ජනාධිපති කාර්යාලය විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම පිළිබඳ ලිපි හුවමාරුවක් සිදුකරන්නේ මේ අනුවය.

එහෙත් මෙය සැබවින්ම එම කොමිසම අහෝසි කිරීම පිළිබඳ කරුණක් නොවූ අතර කොමිසමේ නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමේ අරමුණ සහිතව ගනු ලැබූ තීන්දුවක් විය. කෙසේ නමුත් මෙය සන්නිවේදනය වූයේ වෙනත් අාකාරයකිනි. මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නට යාම පිළිබඳ විපක්ෂය දැඩි විවේචන එල්ල කළේය. මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට වත්මන් රජය සැරසීම විශාල මහජන මුදල් කොල්ලයක ඇරඹුමක් විය හැකි බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා තිබුණි. ඒ අනුව 2002 අංක 35 දරන මහජන උපයෝගිතා කොමිසම පනත අවලංගු කිරීම පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය.

කෙසේ තවත් කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය සතිය අවසන් වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබුණි. ආරංචි මාර්ග අනුව ඉදිරි සතියේදී සියලු නිලධාරීන් ඉල්ලා අස්වීමෙන් පසු නව පත්කිරීම් කිරීමට රජය සූදාමින් සිටියි. මේ සම්බන්ධව කැබිනට්ටුවේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට පැහැදිලි කළේය.

"ජනාධිපති ලේකම්වරයා විසින් යවන ලද ඒ ලිපිය පිළිබඳ, ඊයේ කැබිනට් මණ්ඩලයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය මොකක්ද? එය මේ වනවිට ඉටුවෙනවාද? ඉටුවන්නේ නැත්නම් ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද? කියන කරුණු පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කළා. කොහොමත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කරනවා නම් ඒ අහෝසි කෙරෙන්නේ ලිපියකින් නෙමෙයි. පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින්. ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමක් සිදුවෙලා නෑ."

මේ අතර සිකුරාදා (4) පැවැති සමගි ජනබලවේගය මන්ත්‍රි කණ්ඩායම් රුස්වීම තීරණාත්මක විය. අවසන් සතියේ අයවැය විවාදයට සමගාමීව විශේෂ විරෝධතා සංවිධානය කිරීමට තීරණය වූ අතර ඒ සඳහා වගකීම් පැවරීමද සිදුවිය. මෙහි පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන එල්ල කරන සහ පාර්ලිමේන්තුවෙන් පිටතදී නොයෙකුත් මාධ්‍ය හමුවේ විපක්ෂ නායකවරයාට මඩගසන ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද යෝජනා ඉදිරිපත් විය.

උභතෝකෝටිකයක් බවට පත්වූ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාවේ කතාවද මේ අතර රහසේ ඔවුන් අතර සංවාදයට ලක්විය. අර්ජුන රණතුංග, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක යන අය සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ගන්නට යන බවට වූ ආරංචිය පැතිර ගියේ මේ සමඟය. මෙම පිරිස සමගි ජනබලවේගයට එක්කර ගැනීමත් සමග පක්ෂ ව්‍යවස්ථාවද වෙනස් කර බලය විමධ්‍යගත කිරීමට පක්ෂනායක සජිත් ‍ෙප්‍ර්මදාස මහතා එකඟ වී ඇති බව ඒ අනුව කියැවුණි.

අනෙක් අය කෙසේ වෙතත් පාඨලී සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගනු ඇති බවත් ඒ සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් දේශපාලන ආරංචි අතර කියැවිණි. මේ පිටුපස පාඨලීගේ දේශපාලන ව්‍යාපෘතියක් ඇති බව ඇතැමුන් කියන්නට වූ අතර සමගි ජනබලවේගයේ නායකයෝ මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත්වනවාට අකමැති වූහ. ආණ්ඩුවට විරුද්ධ ජන මතයක් ගොඩනැගීමට හොඳ අවස්ථාවක් උදාවී ඇති බව කී ඔවුහු ඒ උදෙසා කැපවූහ.

එක්සත් ජාතික පක්ෂයද නැවත සිය පක්ෂ සංවිධාන කටයුතු  ආරම්භ කරන්ට උත්සුක විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ හයවැනි දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත්වුණේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. ප්‍රතිසංවිධානයේ වගකීම රුවන් විජයවර්ධන මහතා වෙත පැවරී තිබූ අතර හිටපු අමාත්‍ය එජාපයේ පුත්තලම් දිස්ත්‍රික් නායක පාලිත රංගේ බණ්ඩාර මහතා රුවන් විජයවර්ධන මහතාට ශක්තියක් විය.

පුත්තලම් වැඩසටහනට පක්ෂයේ ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක්ද සහභාගී වී සිටියහ. අනෝමා ගමගේ, සන්දිත් සමරසිංහ, ශාන්තිනී කෝන්ගහගේ, මහාචාර්ය ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් ඒ අතර වූහ. මෙහිදී කරළියට පැමිණි තවත් චරිතයක් වූයේය. ඒ යොවුන් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සභාපති යශෝධා රංගේ බණ්ඩාරය. මේ අතර එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව තවත් කටකතාවක් පැතිර ගියේය. ඊට අනුව කියැවුණේ දැන් සිරිකොත සේවකයන්ට වැටුප් ගෙවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික මුදලින් බවයි. ඊටම ඈඳුණු අනෙක් කතාව වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන ජීවිතය අලලා රචනා කරන පොත ලිවීමට දියතලාවේ නිවාඩු නිකේතනයට ගොස් ඇති බවයි.

ගෙවුණු සතියේ විශාල දේශපාලන අකරතැබ්බයකට මුහුණ දුන් පුද්ගලයා වූයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයේ සිදුකළ ප්‍රකාශයක් ඊට හේතුව විය. පාර්ලිමේන්තුවේදී ඉකුත් 05 වැනිදා සිදුකළ විශේෂ ප්‍රකාශයකි.ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත් බලයට අභියෝග කරමින් සර්ව බලධාරී ලෙස කටයුතු කරන නිලධාරීන් සිටින බව ඔහු කියා තිබුණි. මේ සම්බන්ධව ජනාධිපතිවරයා තුළ ඇතිවූයේ දැඩි නොසතුටකි. දේශපාලන ආරංචි අනුව බන්දුල ගුණවර්ධන මහතා කැඳවා ජනාධිපති සහ අගමැති ඔහුට දැඩිව අවවාද කර ඇති බවද කියැවුණි. කැබිනට්ටුවේදී කතා කළයුතු ආණ්ඩුවේ ප්‍රකාශ පිටතදී ප්‍රසිද්ධියේ කතා කිරීම පිළිබඳ ගුණවර්ධන මහතාට පූර්ව අනතුරු ඇඟවීමක්ද නිකුත් වී ඇතැයි අසන්නට ලැබේ.

මේ අනුව මෙම සිදුවීමට සම්බන්ධව කතාවක් පාර්ලිමේන්තුවේ කතාබහට ලක්විය. පාර්ලිමේන්තු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගේ හෙළිදරව්වකට අනුව බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු මැති ඇමැතිවරුන් හයදෙනෙක් පසුගියදාක ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා හමුවීමට ගොස් තිබේ. ජයසුන්දර මහතා ඔවුන්ගේ ඉල්ලීම් එතරම් සැලකිල්ලට ගෙන නැත. එසේ නම් මේ සියල්ලටම හේතුව මෙය විය හැකිය. විපක්ෂයේ පැහැදිලි කිරීම කෙසේ නමුත් ඇමැතිවරු කිහිප දෙනෙක් අයවැයෙන් තම අමාත්‍යාංශ වෙත ලැබුණු ප්‍රතිපාදන පිළිබඳව සෑහීමකට පත් නොවන බව දැනගන්නට ලැබේ.

කලක් අසනීප තත්ත්වය සමඟ නිහඬව සිටි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පසුගිය සතියේ හිටිහැටියේ සිය හඬ අවදි කළේය. ඒ අමාත්‍ය සරත් වීරසේකර මහතා පළකොට ඇති අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු බැඳීමටයි. දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු යැයි වීරසේකර මහතා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධව සම්පන්දන් මහතා සිය අදහස් දැක්වූයේය. දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පක්ෂයක් නොවන නිසා එය තහනම් කිරීමට හෝ ඊට කිසිදු අයකුට බලපෑම් කළ නොහැකි බව ඔහු කියා සිටියේය. වැඩිදුරටත් මෙහිදී සම්පන්දන් මහතා පවසා තිබුණේ දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මෙන්ම උතුරු පළාත් සභාවද තවත් පළාත් පාලන ආයතනද නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධකම් ගොඩනගාගෙන ඇති පක්ෂයක් බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධව කතානායකවරයා වෙත ගෙවුණු සතියේ විවිධාකාරයේ පැමිණිලි රුසක් ගලා ආවේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ බොරු තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව සඳහන් කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු බ්‍රහස්පතින්දා කතානායකවරයාට දැඩි ලෙස චෝදනා එල්ල කළහ. කෝප් කමිටුවේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ පළවූ සඳහනක් සහ පෞද්ගලික රෑපවාහිනී මාධ්‍ය ආයතන දෙකක පළ වූ පුවතක් සම්බන්ධව මෙම ගැටලු මතුවිය. මේ හේතුවෙන් පාර්ලිමේන්තු විවාද උණුසුම් වූ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද මීට මැදිහත් විය. පාර්ලිමේන්තු කටයුතුවල වගකිවයුත්තා කතානායකවරයා වන අතර මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවද විපක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාට දන්වා සිටියහ. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායකවරයා සඳහන් කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලීමක් කළේය. මෙය සුවිශේෂී පැමිණිල්ලක් වූ අතර කාගේත් අවධානය ඒ දෙසට යොමුවූයේය.

"ඔබතුමාගේ භෝජන සංග්‍රහය ගැන බොහෝම ස්තූතියි. මේ වෙලාවේ 225 කැඳවනවා. රටේ ජනතාවට කන්න නැති වෙලාවේ මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ යන වියදමත් කොවිඩ් ප්‍රශ්නයට දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට මතකයි අපේ කරු ජයසූරිය කථානායකතුමා පාස්කු ප්‍රහාරය දවසේ කථානායකතුමාගේ භෝජන සංග්‍රහයක් තිබුණේ නෑ. මම හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවටත් ඔබතුමාටත් හොඳයි මේ තීරණය. මේක සාම්ප්‍රදායිකව තියෙන එකක්. මේක නැති කරන්න කියනවා නෙමෙයි. මේ මොහොතේ පුළුවන් නම් ආණ්ඩුවක් හැටියට මේක ගැන කල්පනා කරනවා නම් හොඳයි."

මෙයට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ පිළිබඳ කල්පනා කර බලන බවද පැවසීය. සතිය ආරම්භයේදීම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සුවිශේෂී සාදයක් පැවැත්විණි. ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට ඇරයුම් ලැබුණු මෙම සාදය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරුයුමින් පැවැත්විණි. ආණ්ඩුවේ කවුරු අතරත් සුහදතාව වර්ධනය මෙහි අරමුණ වූ අතර අයවැය අවසන් ඡන්දයද නිමිත්තක් විය.

ෂැංග්‍රිලා සාදයට බොහෝ මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර දේශපාලන කරුණු පරයා කොවිඩ් සම්බන්ධව බොහෝ දෙනා කතා කරමින් සිටියෝය. කොරෝනා පැණිය පිළිබඳ කතාවේ දී පැණිය ගන්නට ක්‍රමයක් ඇත්දැයි මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම මේ සම්බන්ධව කටයුතු කරන මැති ඇමතිවරුන්ගෙන් විමසා තිබිණි. කෙසේ වෙතත් මෙම සාදයට නොපැමිණි මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද වූ බව කියැවිණි.

බ්‍රහස්පතින්දා අයවැය අවසන් ඡන්ද විමසීම අතරතුරදී පාර්ලිමේන්තුවේදී තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදුවිය. උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දමිළ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණියෝය. උතුරු නැගෙනහිර සියලුම මන්ත්‍රීවරුන් අත්සන් තබන ලද පෙත්සමක් ඔවුන් රුගෙන ආ අතර දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම එහි අන්තර්ගත විය.

මෙම පෙත්සමට දෙමළ මන්ත්‍රීවරුන් 15 දෙනකු අස්සන් තබා තිබුණි. පෙත්සම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන්ද අස්සන් තබා තිබීම විශේෂත්වයක් විය. අග්‍රාමාත්‍යවරයා පෙත්සම රුගෙන ආ මන්ත්‍රීවරු සමඟ සුහදව කතාකර එය භාරගත්තේය. එහිදී පෙස්සම ජනාධිපතිවරයා වෙතද බාරදෙන ලෙස ඔවුහු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.

කොවිඩ් වැළඳී මියයන මුස්ලිම්වරුන්ගේ සිරුර භූමදන සම්බන්ධව ඉල්ලීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දිගින් දිගටම ලැබෙන්ට විය. මුස්ලිම් මන්ත්‍රීවරු ආගමික නායකයන් ව්‍යාපාරික ආදී බොහෝදෙනා මෙම ඉල්ලීම අඛණ්ඩව සිදුකරමින් සිටියහ. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවනු ලැබීය. අමාත්‍යවරුන් වන අලි සබ්රි, රෝහිත අබේගුණවර්ධන,  වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්ම මහත්මීන් ඇතුළු තවත් මහජන නියෝජිතයක් කිහිප දෙනෙක් මෙම සාකච්ඡාවට සම්බන්ධව වූහ.

සෞඛ්‍ය බලධාරීහු මියගිය පුද්ගලයකුගේ සිරුරේ දින තිස් හයක් වෛරසය පවතින බව මෙහිදී හෙළිදරව් කළහ. කෙසේ වෙතත් මෙවර අග්‍රාමාත්‍යවරා දිගින් දිගටම මුස්ලිම් ජනතාව වෙතින් පැමිණෙන ඉල්ලීම්වලට සංවේදී වී සිටියේය. කුමක් කළත් සෞඛ්‍ය ක්‍රමවේදවලට අදාළ සිදුකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරා මෙය මානුෂික ඉල්ලීමක් බවද පැහැදිලි කළේය. අවසානයේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරාගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

අයවැය විවාද පැවති දෙසතිය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තවත් අපූරු දෙයක් සිදුවෙමින් පැවතුණි. එය පාර්ලිමේන්තු සිටින මහජන නියෝජිතයන් අතරින් "ස්නූකර්" ශූරයකු තෝරා ගැනීමේ තරගයකි. එතරම් ප්‍රකට නොවූ මෙම තරගාවලියේ අවසන් මහා තරගයට පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරනායක යන දෙදෙනා සුදුසුකම් ලැබූහ.  අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා මද්දහනේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ක්‍රීඩා ඒකකය තුළ පැවැත්විණි.

අවසන් මහා තරග නැරඹීමට කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් පැමිණ සිටියහ. තරග අවසානයේ නලීන් බණ්ඩාර සහ ගයාෂාන් නවනන්ද යන මන්ත්‍රීවරුන් දෙදෙනාම සම ශූරයන් බවට පත්වූහ. අවසානයේ ජයග්‍රාහකයන් වෙත පිරිනැමෙන කුසලතා කුසලාන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් පිරිනමන ලදී. මෙම තරගාවලි සම්බන්ධව ට්විටර් සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජයග්‍රාහකයන්ට සුභපැතුම් එකකර තිබූ අතර තවදුරටත් දේශපාලන වෙනස්කම් සියල්ල නොසලකා සැමවිටම ප්‍රජාවන් සමාන මනසකින් ඒකරාශී කිරීමේ ගුණයක්  ක්‍රීඩාව සතු බවද සඳහන් කර තිබුණි.

මේ අතර ධම්මික බණ්ඩාර වෙද මහතා කොරෝනා පැණියද මෙදිනම පාර්ලිමේන්තු වෙත රුගෙන පැමිණියේය. කොරෝනා වයිරසයට එරෙහි දේශීය ඖෂධය කථානායකවරයාට පිරිනැමීමට ධම්මික බණ්ඩාර මහතා මෙහිදී කටයුතු කළේය. කතානායකවරයාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ මැති ඇමතිවරු පිරිසක් එම අවස්ථාවේදීම එම පැණිය පානය කළහ. කතානායකවරයා හමුවේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටියේ පරීක්ෂණ කටයුතු කඩිනමින් කරදෙන ලෙසයි. කතානායකවරයා ඒ පිළිබඳ සොයා බලන බව පැවසූ අතර මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද සම්බන්ධ විය.

කෙසේ නමුත් සතිය පුරා වූ පැණියේ කතා රටම උණුසුම් කළේය. පැණිය අතිරේක ආහාරයක් ලෙස මහජනතාවට ලබාගත හැකි බවට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාදී ඇතැයි දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් සති දෙකක් ගත වනතෙක් මේ පැණිය නිෂ්පාදනය සහ බෙදාහැරීම තාවකාලිකව නතර කර ඇත. මේ අතර කොවිඩ් පිළිබඳ රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සායනික පරීක්ෂාවකින් අනුමත වනතුරු කෑගල්ලේ කොරෝනා පැණිය භාවිතා නොකරන්නැයි දැනුම් දී ඇති බවද කියැවේ.

අයවැය විවාදයේ අවසානයේ පාර්ලිමේන්තු උණුසුම් මුහුණුවරක් ගත්තේය. පක්ෂ විපක්ෂ තර්ක විතර්ක රුසක් සභා ගැබ පුරා රුව්දුනි. කෙසේ නමුත් අය වැයට පක්ෂව ජන්ද 151 ලැබුණු අතර විපක්ෂ ලැබුණේ ජන්ද 54 ක් පමණි. ඒ අනුව 2021 අයවැය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය. විපක්ෂය විරුද්ධ වූ බජට් පාටිය ද පැවැත්විණි. කථානායක නිල නිවෙසේ පැවති මෙම සාදයට ආණ්ඩුවේ බොහෝ මන්ත්‍රීවරු පැමිණ සිටියෝය. සාදයේ අයවැය ගැන කතා පරයා වෙනත් කතා මතුවූ අතර කොවිඩ් පැණිය, බජට් පාටිය මගහැරි සජිත් පිලේ අයගේ වැඩ ගැන පිරිස කතා වෙමින් සිටියහ. සංවිධායකයෝ සෞඛ්‍ය උපදෙස් පරිදි කටයුතු පවත්වාගෙන යෑම උපරිම උත්සාහ දැරූහ.

මේ අතර අයවැය භෝජන සංග්‍රහය වර්ජනය කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීරණයෙන් පිටව යන විට විවිධ කතා කීහ. කොවිඩ් අතරතුර මෙවන් සාද අනවශ්‍ය බවත් ඊට වැයවන මුදල් පීඩාවට පත්වූ ජනතාවට ලබාදිය යුතු බවත් ඔවුන්ගේ බහුතරය කියා සිටියෝය. එහෙත් ඒ අතර අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තම කණ්ඩායම වෙනම සාදයක් දමන බව කියා සිටියේය. සැබවින්ම කොළඹ තරු පංතියේ හෝටලයක සමගි ජනබලවේගයේ පිරිසද සාදයක් දැමූහ. අයවැයත් සමඟ වූ දේශපාලන සිදුවීම සහ ජනවාරි මාසයේ පාර්ලිමේන්තු ඇරඹෙන තුරු ක්‍රියාත්මක කළ යුතු දේශපාලන සැලසුම් මෙහිදී සාකච්ඡා වූ බව කියැවිණි.

මීට අමතරව සතිය පුරා වැදගත් දේශපාලන සිදුවීම් රුසක් සිදුවිය. ටී.බී. ඒකනායක මහතාගේ වියෝව දේශපාලන කරලිය සංවේගයට පත්කර අතර කොවිඩ් මැද වුවද සැලකිය යුතු පිරිසක් අවමංගලයට සහභාගී වී සිටියහ. එසේම අධිකරණ අමාත්‍යාංශ වෙනත් තැනකට ගෙන යාම පිළිබඳ ඇතිවූ අන්දෝලනය සුළුපටු නොවිණි. එසේම අලුත පත්වූ කොමිසම් සභා වැඩ බාරගැනීමද සිදුවූ අතර මතිවරණය කොමිසම දෙස කාගෙත් අවධානය යොමුකර තිබුණි. ඒ අතර පළාත් සභා මැතිවරණ ලබන වසර මැදදී පැවැත්වීම පිළිබඳවද ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා මතුවිය.

 චමිඳු නිසල් ද සිල්වා