2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

20ට පස්සේ බැස්ස පොම්පිඕ

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

  • අගමැති මහින්ද පොම්පිඕ හමු‍නොවුණේ ඇයි
  • ඩයනා ගමගේ ගැන තිස්ස අත්තනායක කළ හෙළිදරව්ව
  • මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් ආණ්ඩුවට දොස්
  • එදා කෑගහපු අය අද කෝ? විජිත හේරත් අසයි
  • කථානායකගෙන් කිරිඇල්ල කළ ඉල්ලීම
  • අමෙරිකා - චීන මත ගැටුම් නිවේදන

 

විස්ස සම්මත වූ පසුව තරමක් සන්සුන්වේ යැයි සිතූ දේශපාලන කරළිය මයික් පොම්පිඕගේ ආගමනයෙන් නැවත සුපුරුදු ඝෝෂාවට මැදිවූයේය. කෝවිඩ් දෙවැනි රුල්ලේ දැඩි ප්‍රහාර පවා මොහොතකට අමතක කළ රටවැසියෝ ඇමරිකානු චීන නාටකය දෙස වික්ෂිප්තව බලා සිටියෝය. විපක්ෂයට තළු මරන්නට මාතෘකා නිර්මාණය වෙමින් තිබූ අතර ආණ්ඩුවේ ලොකු ලොක්කෝ කය වචන සංවර කරගෙන විස්සට පසු තපසට ගිය ලෙසින් උන්හ.

සතිය මුලදීම පොහොට්ටු ආණ්ඩුව නිර්මාණ කරන්නට උරදුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ තරමක් තදින් ආණ්ඩුවේ ලොක්කන් ඇමතූහ. ඉරිදා (25) උදෑසනම මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සුවදුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේ එබැවිනි.  විස්ස සම්මත කිරීමට මුස්ලිම් මන්ත්‍රී සහයෝගය ලබාගැනීම පිළිබඳ තවත් බොහෝ ජාතික මතවාද නියෝජන කරන භික්ෂූන් වහන්සේලා අමනාප වූහ. අග්‍රාමාත්‍යවරයා පිටව ගිය පසුව මුරුත්තෙට්ටුවේ හිමියෝ මාධ්‍ය අමතමින් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ මෙසේ කියන්නට වූහ.

පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රාණ ඇපකාරයෝ දෙපැත්තට කතාකර කර හිටියට අති බහුතරයක් ඕකට විරුද්ධයි. කතා කරන්නේ නෑ බයේ. ඔවුන්ට ඕනෑකම තියෙන්නේ රට ආරක්ෂා කිරීම නෙවෙයි පුටුව ආරක්ෂා කරගැනීම. මට මෙතැනදී එකක් කියන්න පුළුවන්. අපි කොන්දක් නෑ කියලා කිව්ව මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් තියෙනවා කියලා කියන්න පුළුවන්. කොන්දක් තියෙන නිසානේ ආවේ නැත්තේ.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ දෙස කාගෙත් අවධානය යොමුවිය. විස්සට ඡන්දය දී පැති මාරු කළ ඇගේ සීසර්ට පිහියෙන් ඇනීමේ කතාව කරළියේ සැමට අපූරු මාතෘකාවක් විය. ඒ ඇය කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට එක්වෙමින් කී කතාවකි.

රෝමයේ සීසර්ව මරපු ඇන්තෝනියෝ පිහිය රෝමයේ ජනතාව ඉදිරියට රැගෙන ඇවිත් මම සීසර්ව මැරුවා කියා ප්‍රකාශ කළා. නමුත් ඇන්තෝනියෝ සීසර් ළඟ සිටි සීසර්ට ආදරය කළ හොඳම මිතුරා... ඒ අවස්ථාවේ රෝමයම කෑ ගැහුවා උඹ තමයි සීසර් ළඟ හිටියෙ, ඇයි උඹ සීසර්ව මැරුවෙ කියලා. එහිදී ඇන්තෝනියෝ දුන්න උත්තරය උනේ මම සීසර්ට ආදරෙයි. නමුත් රෝමෙට ඊට වඩා ආදරෙයි. අන්න එතැනදී මම මගෙ රටට ආදරය නිසා විසි වැනි සංශෝධනයට සහයෝගය දුන්නා... යැයි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ප්‍රකාශ කර තිබුණි. මෙම ප්‍රකාශ පිළිබඳ විවිධ මත ඉදිරිපත් වූ අතර එය ඉතිහාස කතාවක් විකෘති කිරීමක් බව බොහෝදෙනා කියන්නට වූහ.

පසුව ඇයට විරුද්ධව විනය පියවර ගන්නා බව සමගි ජනබලවේගය නිවේදනය කළේය. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වෙනස්ම කතාවක් කියා තිබුණි. ඩයනා ගමගේ මහත්මිය හා බැසිල් රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් තිබෙන බවත් එසේ නොවන්නට මෙවැන්නක් සිදුවීමට නොහැකි බවත් සමගි ජනබලවේගයේ අත්තනායක කීවේය. එසේම ඩයනා ගමගේ මහත්මිය හා රාජපක්ෂවරුන් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව තම පාර්ශ්වය දැනගත්තේ ඇය මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසු සංවිධානය කරන ලද සාදයක ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.

මේ අතර තමන් ළමා සහ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වන බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. ඊට අදාළ ඇමති ධුරයක් ලබාදුනහොත් එම වගකීම බාරගන්නා බවද ඇය පවසා තිබුණි. 20 වැනි සංශෝධනයට සහාය පළකරමින් ආණ්ඩුව සමඟ එක්වූයේ ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් නොවන නමුත් ධුරයක් ලබාදුනහොත් එම වගකීම භාරගන්නා බවද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළ බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. මෙහිදී ඇය මුදල් ලබාගැනීම සම්බන්ධ චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕගේ ශ්‍රී ලංකා සංචාරය දේශපාලන කරළියේ රුඟුම් දෙන්නට පටන් ගත්තේ හිටිහැටියේය. මයික් පොම්පි ඕගේ ඉන්දියාවට ගොඩබසින තුරු රට තුළ සංවාදයක් නොවුණේ විස්සේ උණුසුමට සියල්ලෝම මැදිව සිටි නිසාවෙනි. ඒ අනුව සඳුදා වනවිට මයික් පොම්පිඕගේ ආගමනය පිළිබඳ ආරංචියෙන් මෙරට දේශපාලනය කැළඹී ගියේය. විශේෂත්වය වූයේ මයික් පොම්පිඕගේ සංචාරයට එරෙහිව පළමු වෙඩිමුරය කොළඹ චීන තානාපති කාර්යාලය විසින්ම දියත් කිරීමයි. 26 වැනිදා ජාත්‍යන්තර භාෂාවෙන්ම ඔවුන් නිවේදයක් නිකුත් කර තිබිණි.

මෙහිදී චීනය පෙන්වා දී තිබුණේ සංචාරයට පෙර සිටම ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ප්‍රකාශ හරහා අනෙක් රටවල්වලට බලපෑමක් එල්ල කිරීමට අමෙරිකාව කටයුතු කර ඇති බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ප්‍රෙටෝකෝලයන් උල්ලංඝනය කිරීමක් බවත්ය. මීට පාදක වූයේ සංචාරය පෙර ඇමරිකා ජනපදයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් සිදුකළ ප්‍රකාශයි. ඔහු ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව විදේශ සබඳතා සම්බන්ධයෙන් දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය තීරණ ගත යුතු බවයි.
මේ අනුව සඳුදා නිවේදනය හරහා මේ අවස්ථාවේ ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරාගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දුන් චීනය, එසේ තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා වී ඇති අමෙරිකාවෙන් විශාල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීම පිළිගත නොහැකි එකක් බවද පෙන්වා දී තිබුණි. එමෙන්ම මේ අවස්ථාවේදී ලංකාවට අසීරු එහෙත් අත්‍යවශ්‍ය තීන්දු ගැනීමට සිදුවනු ඇති බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය අනෙක් රටවල ස්වෛරීත්වයට දැඩි බලපෑම් එල්ල කිරීමක් බවද ඔවුන් සිය ප්‍රකාශයේ දක්වන ලදී.

ඒ අනුව චීනයෙන් ගොනුකළ ඇමරිකානු විරෝධය අඟහරුවාදා (27) වනවිට ජනතා විමුක්ති පෙරමුණ සියතට ගත්තේය. ඔවුහු කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් සංවිධානය කළහ. ශ්‍රී ලංකාවට විදේශ බලපෑම් එපා, විනාශකාරී MCC, SOFA, ACSA ගිවිසුම් හකුලා ගනිව් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අත නොතබනු සහ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු යනාදී විරෝධතා පුවරු විරෝධතාකරුවන් අත තිබෙනු දක්නට ලැබිණ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත සංදේශයක් භාරදුන්නේය.

ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ වුවමනාකම් ආරක්ෂා කිරීමේදී සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තර මූලධර්ම උල්ලංඝනය කිරීමට සූදානම් බව අපි හොඳින්ම දනිමු. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මැතිවරණවලට මැදිහත්වීම, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් නායකයන් බලයෙන් පහකිරීම, හමුදා ආඥාදායකයන්ට හා ත්‍රස්ත සංවිධානයන්ට හමුදා හා ආර්ථික ආධාර සම්පාදනය කිරීම මගින් නිදහස් රටවලට අයුතු බලපෑම් කිරීමේ නිදසුන් ගණනාවකින් ලෝක ඉතිහාසය ජරාජීර්ණ වී තිබේ, යනුවෙන් එම ලිපියේ සඳහන් විය.

විරෝධතාව අතරතුර විජිත හේරත් මහතා කී කතාවක්ද බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේය.

මයික් පොම්පිඕ ලංකාවට එනකොට මෙහෙ ඉන්න මයික් පිංපියෝ කටවල් වහගෙන ඉන්නවා. එදා බොරුවට කෑගහපු අය MCC ගිවිසුම් අත්සන් කරන්න යද්දී සෝපා ගිවිසුමේ දෙවැනි පියවරට යද්දී අද කතාවක්වත් නෑ. මේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමී ජනතාව ඇමෙරිකානු අධිරාජ්‍යවාදී මැදිහත් වීමටත් ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් බවට ලංකාව පත්වෙනවාටත් විරුද්ධයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ ලංකා සංචාරය පිළිබඳ තවදුරටත් මුනිවත රැකීමට ආණ්ඩුවට නොහැකි විය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය තවත් එක් රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් පමණක් බවත් එහිදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවත් ප්‍රකාශ කරමින් එවර කරළියට පැමිණියේ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාය.

නෑ එහෙම කිසිම දෙයක් නැහැ. මේක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විවිධ රටවල නායකයන් විදේශ ඇමතිවරුන් අපේ රටට පැමිණෙනවා. දැන් දින කිහිපයකට පෙර අපේ රටට පැමිණියා චීනයේ ඉතාමත් ඉහළ පෙළේ නායකයෙක් යං ජීයේජී මැතිතුමා. ඊට දවස් කිහිපයකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සාකච්ඡාවකට ඉන්දීය අගමැති මෝදි සමග නවීන තාක්ෂණය භාවිත කරලා සාකච්ඡාවක් තිබුණා. චීනයේ නායකයෙක් මෙහෙට පැමිණියා. අමෙරිකානු එක්සත් ජනපදයේ විදේශ ඇමති රාජ්‍ය ලේකම් මෙහි පැමිණෙනවා ඉතින් මේ රටවල් අතර සුහද සාකච්ඡා විටින් විට පැවතිම ස්වාභාවික දෙයක්. විශේෂ ගිවිසුමක් ඉලක්ක කරගෙන නෙවෙයි එතුමා එන්නේ. ඒ පිළිබඳව සාකච්ඡාවක් සංවිධානය කෙරිලා නැහැ. මේක සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන දෙයක්.

සමගි ජනබලවේගයද නිහඬ සිටියේ නැත. පොම්පිඕ අරගලයට ඔවුහු මැදිහත් වූහ. පසුගිය දිනවල ඇමරිකාවට එරෙහිව වහසි බස් දෙඩූ ආණ්ඩුවේ දේශපාලකයන් සැඟව සිටින තැන්වලින් සොයාදුන්නොත් වටිනා ත්‍යාග පිරිනමන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවැසීය.

අපේ ඉඩම් ටික සුද්ධ කරන්න තමයි සුද්දා එන්නේ කියලා කියපු වියත්මගේ සීතා නෝනා හොයලා දෙන්න කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. සීතා නෝනව හොයලා දුන්නොත් වටිනා කුඩයකුයි, ටෝච් එකකුයි පරිත්‍යාග කරනවා. පැනමා ඇළ වගේ ආර්ථික කොරිඩෝවක් හදනවා කියපු ගම්මන්පිල මහත්තයා හොයලා දුන්නොත් අපි ඔස්ට්‍රේලියානු ඩොලර් දාහක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විමල් වීරවංශ මහත්තයා හොයලා දුන්නොත් පංචායුධයක් තෑගි දෙනවා. මෙම ප්‍රකාශ ගැන වීරවංශලාද නිකම් සිටියේ නැත. පොම්පියෝ අත්සන් කළ එම්.සී.සී. ගිවිසුමක් නැතැයි කියමින් ඔහුද උත්තර බැන්දේය.

විවිධ කතා විරෝධතා අතරේ අවසානයේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ කටුනායකින් මෙරටට ගොඩ බැස්සේය. එතැන් පටන් සතියේ තීරණාත්මක දේශපාලන සංවාද ඇරඹුණි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ මහතා බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියේ අඟහරුවාදා රාත්‍රි 8ට පමණය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීමට මෙරට ඇමරිකානු තනාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් ගුවන්තොපළට පැමිණ සිටියහ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බදාදා (28) උදෑසන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූයේය. එම සාකච්ඡාවලට සමගාමීව මයික් පොම්පිඕ මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණ. සාකච්ඡා වලින් අනතුරුව ඔවුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූහ.

බීබීසී පුවත් වාර්තා අනුව එම්.සී.සී. හා සෝපා ගිවිසුම් පිළිබඳව මෙන්ම ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට වෙරළාරක්ෂක නෞකාවක් පිරිනැමීම, පෞද්ගලික අංශයේ ආයෝජන කිහිපයක් හා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා සිදුවී ඇත. සංචාරය අවසානයේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම සංචාරය සම්බන්ධව තවත් කරුණු රැසක් වාර්තා විය.

මෙහිදී මාධ්‍යවේදීහු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටියහ. ඒ සම්බන්ධව සාකච්ඡා වූ බව පිළිගත් ඔහුගේ පිළිතුර වූයේ. එය එක්සත් ජනපදයේ නීතිමය ක්‍රියාවලියක් වන අතර එය සැමවිටම සමාලෝචනය කෙරෙනවා. එය තාක්‍ෂණිකව, සත්‍ය වශයෙන්ම සහ නීත්‍යානුකූලව නිවැරදි බව තහවුරු කර ගැනීමට අපට අවශ්‍යයි, යන්නයි. මීට අමතරව එම්.සී.සී. ගිවිසුම පිළිබඳවද මාධ්‍යවේදීන් විමසන විට ඒ පිළිබඳ තීරණය ශ්‍රී ලංකා රජය සතු බවට හැඟවෙන පිළිතුරක් ඔහු ලබා දුන්නේය.

කෙසේ වෙතත් චීනය සම්බන්ධව රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශ අන්දෝලනාත්මක විය. ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂය කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු ලෙස හඳුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැමවිටම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රුකීමට කටයුතු කරන බවද ලේකම්වරයා කීය. මෙම ප්‍රකාශ සමඟම නැවත චීන පාර්ශ්වයද ඇවිලී ගියේය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වහා ප්‍රතිචාර දැක්වූයේ කණගාටුයි ලේකම් පොම්පිඕ මහත්මයා, අපි චීන-ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට කාර්යබහුලයි. ඔබගේ පිටසක්වලයන්ට එරෙහි විලෝපිකයා සෙල්ලමට උනන්දුවක් නැහැ. එක්සත් ජනපදයට සෑමවිටම මෙන් එකවර භූමිකාවන් දෙකක් රඟ දැක්විය හැකිය. යනුවෙන් ට්විටර් සටහනක් තබමිනි.

මේ වනවිට ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කොට තිබණි. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය නිවේදනයේ සඳහන් විය. තවද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කළ ජනාධිපතිවරයා එය මධ්‍යස්ථභාවය මත පදනම්ව ඇතැයි පෙන්වා දුන් බවද කියැවුණි. එසේම බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැතැයි අවධාරණය කළ බව මෙම මාධ්‍ය නිවේදනය අනුව කියවුණි.

අවසානයේ පාස්කු ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට ගොස් මියගිය බැතිමතුන් සමරමින් මල් වඩමක්ද තැන්පත් කළ මයික් පොම්පිඕ මහතා 28 වැනිදා සවස ලංකාවෙන් පිටව ගියේය. ඔහුගේ ගමනාන්තය වූයේ මාලදිවයිනයි. පොම්පිඕ පිටව ගිය නමුත් ඔහුගේ සංචාරය මතින් නිර්මාණය වූ දේශපාලන සංවාද නිමා නොවුණි. ඒ අනුව ගෙවුණු සතියේ සමස්ත දේශපාලනය පොම්පිඕකරණය වූයේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ නොගැසීම පිළිබඳවද මේ වනවිට විවිධ කතා පැතිර යමින් තිබුණි. එහෙත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති හමුවීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා හා රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් කල් ඇතිවන සංවිධානය සූදානම් කර තිබුණි. එහෙත් අග්‍රාමාත්‍යවරයා තානාපතිනිය අමතා කීවේ රාජ්‍ය ලේකම්තුමා ඉන්නේ සීමිත කාලයක්. එනිසා අපේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කතා සාකච්ඡා කිරීම ජනාධිපතිතුමා සිදුකරනවා. ඒ කරුණු කාරණාම නැවත සාකච්ඡා කිරීම අවස්ථානුකූලව කාලය අපතේ යැවීමක් ඒ නිසා රාජ්‍ය ලේකම්තුමාට මගේ සුහ පැතුම් පිරිනැමීම ප්‍රමාණවත් යනුවෙනි. පැතිර ගිය කටකතා කවරක් වුවත් එම තීරණය ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එහි අරමුණ ජනාධිපතිවරයාට සහ විදෙස් අමාත්‍යවරයාට ද්විපාර්ශ්වීය සාකච්ඡා නිසි පරිදි කරගැනීමට අවකාශ සැලසීම බවත් දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

මේ අතර විස්ස සම්මත කරගැනීමේ මහ මොළකරු වූ බැසිල් රාජපක්ෂ මහතා නැවත කරළියට පැමිණියේය. ඒ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායට නායකත්වය දෙමිනි. අරලියගහ මන්දිරයේදී 28 වැනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධන බලකාය රැස්වූ අතර වැදගත් තීන්දු තිරණ රැසක් ගත්තේය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව බැසිල් රාජපක්ෂ මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම, සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප‍්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීම, විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

මේ සියල්ල අතරේ විස්ස පිළිබඳ කතාද තැන තැන ඇසුණි. රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විස්ස සම්මත වූ ආකරය පිළිබඳ තරමක් නොසතුටින් කතා කළේය. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ජනතා විරෝධයක් ඇති වුණේ එය නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා බව ඔහු කීවේය. එහි ඇතුළත් ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ජනතාව වැරදි වැටහීමක සිටියේද ඒ හේතුවෙන් යැයි රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර තවදුරටත් සඳහන් කළේය.
බ්‍රහස්පතින්දා (29) පාර්ලිමේන්තුව ඇසුරු කරගෙන තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූයේය. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 29 වැනිදා පෙරවරුවේදී අත්සන් තැබුවේය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අහෝසි වීම ඇතුළු තවත් ඓතිහාසික දේශපාලන වෙනස්කම් රැසක් මෙදින සිදුවිය. ඒ අනුව කතානායකවරයා එම පනතට අත්සන් කළ මොහොතේ සිට 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත බලාත්මක බව තහවුරු විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නියෝජ්‍ය මහලේකම්වරයාද ඇතුළු පිරිසක් එක්වූහ.

මේ අතර, මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුව වෙත රුගෙන ඒමද මෙදින සිදුවිය. ඒ පෙරවරු 11.30 ට පමණ ආරම්භ වූ පක්‍ෂනායක රැස්වීම සඳහා සහභාගීවීම වෙනුවෙනි. පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව බදියුදීන් පැමිණීම සිදුවූ අතර ඔහු සෞඛ්‍ය ආරක්‍ෂිත විශේෂ ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පිවිසියේය. මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳ සාකච්ජා ඇතිවූ අතර කෝවිඩ් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව වැදගත් තීරණ කිහිපයකට එළඹියේය.

අනතුරුව කතානයක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම විශේෂ තීරණ ගනු ලැබුවේය. කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කෙරිණි. එසේම 2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවැනිවර හා තෙවැනිවර කියවා සම්මත කර ගැනීමටද තීරණය විය. තවත් තීරණ රැසක් ගනු ලැබූ මෙම රැස්වීමේදී ගනු ලැබුවේ කෝවිඩ් වසංතයෙන් පාර්ලිමේන්තු කටයුතු අඩාල වීම වළක්වා ගැනීම වෙනුවෙනි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයා ලිපියක් යොමු කළේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිර ස්ථානයක අසුන් ලබාදෙන ලෙස ඔහු එයින් ඉල්ලා තිබුණි. මෙම පිරිස වූයේ ඩයනා ගමගේ, අරවින්ද් කුමාර්, ෂාක් රහුමාන්, පයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරීස්, එම්.එස්. තව්ෆීක්, නසීර් අහමඩ්, එස්.එම්. රහීම්, එම්.එම්. මුෂාරෆ් යන අයයි. මෙම මන්ත්‍රීවරුන් පිරිසට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙස සිය ලිපියෙන් කිරිඇල්ල මහතා ඉල්ලා තිබුණි.

මරණ දඬුවම ලබා බන්ධනාගාරගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාව ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් තබන ලද පෙත්සම නිසාවෙන්ද ගෙවුණු සතියේ අන්දෝලනයක් ඇතිවිය. තමන්ද එයට අත්සන් කළ බව විපක්ෂය නියෝජනය කරන, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පිළිගත්තේය. ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණින් ඊට අත්සන් තැබූ බවයි. එහෙත් විපක්ෂ අභ්‍යන්තරයෙන් ඔහු වෙත විවිධ බලපෑම් එල්ල වන්නට විය. අවසානයේ මනෝ ගනේෂන් මේ සමඟ දැඩි අපහසුතාවකට පත්වූයේය. ඒ අනුව තමන් ගත් තීරණය සම්බන්ධයෙන්, සාධාරණ සහ අසාධාරණ විවේචන එල්ල වී ඇති බව ඔහු පැවසීය. ඒ අනුව දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් කළ පෙත්සමට තමන් තැබූ අත්සන – ඉල්ලා අස්කරගන්නා බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ගෙවුණු සතියේ ඇමරිකාව චීනය පොම්පිඕ හැරෙන්නට වෙනත් දේශපාලන මාතෘකාවන් ඉස්මතු නොවීය. කෝවිඩ් දැඩි ප්‍රහාරය හමුවේ ආණ්ඩුවේ අවධානය දේශපාලන වාද විවාදවලින් ගිලිහී යන බව සති අන්තය වනවිට නිරීක්ෂණය විය.

 චමිඳු නිසල් ද සිල්වා