2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

මංගල කැබිනට් රැස්වීම චාම්: සංග්‍රහයට කේක්, රෝල්ස්, තේ පමණයි

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 419

සියලු දේශපාලන කඳවුරු, පක්ෂ කණ්ඩායම් සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳව පූර්ව සැලසුම් සකස් කිරීම උදෙසා ගෙවුණු සතිය කැප කළහ. තනතුරු ලද මැති ඇමැතිවරැ වැඩ බාරගන්නට වූ අතර අර්බුදවලට මැදිවී සිටි පක්ෂ සිය අර්බුදය විසඳා ගැනීමට උත්සාහ කරන්නට වූහ. ඒ අතර නව ආණ්ඩුවේ කැබිනට්ටුවේ පළමු හමුවත් නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයත් පැවැත්විණි. කෙසේ වෙතත් වසංගතයක් ලෙස පැතිර ගොස් තිබූ මැතිවරණ දේශපාලන උණ ක්‍රමයෙන් සුවපත් වෙමින් පැවතිණි. ඒ අතරම විදුලිය ද බිඳවැටුණි. 

සඳුදා දිනයේ දී සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව විශාල කලබලයක් හටගැනුණි. විදුලිබල ඇමැති පැය දෙකෙන් විදුලිය දෙන බව කීවේය. නමුත් එය ඉටුකරලීමට ඔහු ඇතුළු පිරිස අසමත් වූ අතර විපක්ෂය මෙය විශාල චෝදනාවක් බවට පෙරළා ගත්තේය. ඩලස් පැය නමින් දේශපාලන ව්‍යවහාරයක් ද ඇති විය. මෙම විදුලිය බිඳවැටීම පිළිබඳව ඍජුව සොයා බැලීමට ජනපති අගමැති දෙදෙනා කටයුතු කළහ. සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරගත් ජනපති යළිත් මෙවැන්නක් නොවීමට අවශ්‍ය සාධක සම්පූර්ණ කිරීමට උපදෙස් ලබා දුන්නේය. 

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාරයා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතිය ආරම්භයේදීම සිත් අමනාපයකින් පසුවිය. හොඳ ඇමැතිකම් නැතිවීම, ලැබුණු කැබිනට් ඇමැතිකම්වලද බලතල අඩුවීම මෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සම්බන්ධව වූ තේරීම මෙම අමනාපකමට හේතු විය. දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩාම පොහොට්ටුව වෙත සීතල ප්‍රහාරයක් දියත් කළහ. අවම වශයෙන් තව එක් රාජ්‍ය අමාත්‍යධූරයක් තමන් වෙත ලබාගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවය විය. යාපනයෙන් පාර්ලිමේන්තු ආ අංගජන් රාමනාදන් හට තනතුරක්  ලැබිය යුතු බව ඔවුහු දිගින් දිගටම කියන්නට වූහ. 

ආරම්භයේදීම මෙම අමනාපකම් දික්ගස්සවා ගැනීමට ආණ්ඩුවේ ප්‍රධානීහු අකැමැති වූහ. බතික් ඇමැතිකම ලැබී සිතින් වැටී සිටි දයාසිරි ජයසේකර සැනසවීමට කිහිප දෙනෙක්ම උත්සාහ ගත්හ. ඒ අතර අංගජන් රාමනාදන් වෙනුවෙන් රාජ්‍ය ඇමැතිකමක් ඉල්ලුවේ ශ්‍රීලනිප උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාසය. උතුරු පළාත් මහජන නියෝජිතයෙක් වන අංගජන් රාමනාදන්ගේ වටිනාකම ආණ්ඩුව ද පසුව අවබෝධ කර ගත්තේය. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිත්වය රාමනාදන් මහතාට ලබාදීමට තීන්දු විය. දැන් ඔවුහු හිටපු ජනාධිපති සිරිසේන මහතාටද තනතුරක් ඉල්ලති.

මංගල කැබිනට් රුස්වීම  19 වැනි බදාදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති, අගමැති ප්‍රමුඛ අභිනව කැබිනට් මණ්ඩලයේ සියල්ලෝම එහි පැමිණ සිටියහ. එහෙත් මෙදින කිසිදු උත්සවශ්‍රීයක් නොවීය. ඊට හේතු වූයේ ජනපති කල් ඇතිව මෙම හමුව වියදම් අවම කර ගනිමින් චාම් ලෙස සංවිධානය කරන්නට උපදෙස් දී තිබීමය. ඒ නිසාම අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් හමුවට පැමිණි ඇමැතිවරැන්ට සංග්‍රහය ලෙස ලැබුණේ කේක් කෑල්ලක්, රෝල් එකක් සහ තේ පානයක් පමණි. 

කැබිනට් හමුව ආරම්භයේදීම ජනපති කීවේ මාධ්‍ය ප්‍රකාශකයන් දෙදෙනකු පත්කර ගැනීම අවශ්‍ය බවය. එසේ කී ජනපති උදය ගම්මන්පිල ඇමැතිතුමාව මේකට පත් කරමුද? යැයි පිරිසගෙන් විමසීමක් කළේය. ඒ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හිටිහැටියේම අනේ සර්.. මට නම් මාධ්‍ය ප්‍රකාශකකම් එපා යැයි කීවේය. එවිට රමේෂ් පතිරණ ද සිටින බව ජනපති සිහි කළේය. රමේෂ්, උදය හොඳ සංයෝගයක් බව අමාත්‍ය මණ්ඩලයේ අදහස විය. ජනමාධ්‍ය ඇමැති වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල ද මෙම සංවාදයට එක් විය. ඔහු කැබිනට් ප්‍රකාශක තනතුරැ ඉල්ලන්නට ගියේ  නැත. නමුත් මට මොකද වෙන්නේ? කියා ඇසුවේය. ඔබතුමා කොහොමත් ජනමාධ්‍ය ඇමැතිනේ. අපි පත්කර ගන්නේ කැබිනට් මණ්ඩලයට මාධ්‍ය ප්‍රකාශකවරැ. මාධ්‍ය ඇමැති හැටියට ඔබතුමාට ඕනෑ වෙලාවක ප්‍රකාශ කරන්න පුළුවන්නේ* යනුවෙන් ජනපති කීවේය. 

මීළඟට විසිවැනි සංශෝධනය සහ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධව සාකච්ඡා ඇති විය. නව කැබිනට් අමාත්‍ය අලිසබ්‍රි මේ සම්බන්ධව විස්තරයක් කළේය. ජනපති සහ අගමැති ද එහිදී කියැවෙන ඇතැම් කරැණු පිළිබඳව කෙටි පැහැදිලි කිරීම් කළහ. පසුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන  අලිසබ්‍රි ඇතුළු පිරිසට උපදෙස් දීමට අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහ. ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එම පත්වීම් ලැබූහ. අනතුරැව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රාජ්‍ය ලේකම්වරැන්ගේ පත්කිරීම් සම්බන්ධ නාමලේඛනයට ද කැබිනට් අනුමැතිය හිමි විය. 

මේ අතර හදිසි විදුලිය බිඳවැටීම පිළිබඳව ද සංවාදයක් නිර්මාණය විය. ආණ්ඩුව ආ හැටියේ රට අඳුරට යාම පිළිබඳ කතා ද ඇති විය. විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරැම මේ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නට විය. කෙසේ නමුත් ජනපති කීවේ වෙනස්ම කතාවකි. &විදුලි බලය වගේ විෂයකදී ඊට අදාළ තාක්ෂණික දේවල් ඇමැතිතුමා කතා කරන්න යන්න එපා. පැයෙන් පැය දෙකෙන් කරන්ට් එක දෙනවා වගේ දේවල් නිලධාරීන් ලවා කියවන්න. ඇමැතිවරැ කතා කරන්න ඕනෑ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධව* යැයි ජනපති කීවේය. 

මේ අතර සමගි ජනබලවේගය ද සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව සැලසුම් සකස් කරමින් සිටියේය. අගෝස්තු 18 වැනිදා සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රීවරැන් සහ පත්වූ මන්ත්‍රීවරැන්ගේ විශේෂ වැඩමුළුවක් ෂැංග්‍රිල්ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු කළහ. ඉදිරි පාර්ලිමේන්තුවේ කටයුතු සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් ද සිදුවිය. බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී වැඩමුළුව පැවැති නමුත් අපේක්ෂිත තරම් මන්ත්‍රීවරුන් ඊට පැමිණියේ නැත. 

මේ අතර සමගි ජනබලවේගය වටා එජාපයේ ප්‍රාදේශීය දේශපාලකයන් කඳවුරු බඳින්නට පටන්ගෙන තිබුණි. එය උත්කර්ෂයට නැංවීමට සජිත් ප්‍රේමදාස ඇතුළු නායකයෝ උත්සුක වූහ. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය දෙගුණ තෙගුණ විය. එක්සත් ජාතික පක්ෂයට තරැණ නායකයකු පත්කර ගැනීම පිළිබදව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු විය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අතරින් රටට හා පක්ෂයට ගැලපෙන තරැණ නායකත්වයක් තෝරාගැනීමට නියමිත බව ඔවුහු නිවේදනය කළහ. එහෙත් පසුගිය සතියේ පැවති එජාප අපේක්ෂක හමුවේදී පළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ නායකත්වය පවතින බව ප්‍රකාශ විය. එතැන ඇතිවූයේ විශාල ගාලගෝට්ටියකි. මෙම අවස්ථාවට නායකත්ව සිහිනය දකින ප්‍රධාන පෙළේ කිහිප දෙනකුගේම ආධාරකරැවෝ වූහ. ඔවුහු මෙම තීරණය විවේචනය කළහ. සමහරු ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ දීමට පවා පෙළඹුණහ. ඒ අතර හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රැවන් විජයවර්ධන මහතා ද තමන්ට පක්ෂ නායකත්වයේ වගකීම පැවරැණොත් එය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

ජාතික ජනබලවේගය ද සිය ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධව කල්පනා කරමින් සිටියේය. ආචාර්ය හරිනි අමරසූරිය දෙසට දේශපාලනය පිළිබඳ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු සංවිධාන රැසක අවධානය යොමුවන බව පෙනෙන්නට තිබුණි. අපේ ජනබල පක්ෂයේ අර්බුදය තවදුරටත් නොවිසඳුණු අර්බුදය අතරටම එක්විය. අපේ ජනබල පක්ෂයට මැතිවරණයෙන් හිමිවූ ජාතික මන්ත්‍රීධූරය පිළිබඳ සාකච්ඡා පසුගිය සතියේ දින කිහිපයකදීම රාත්‍රියේ මැතිවරණ කොමිෂන් සභාවේ පවත්වා තිබිණි. අතුරලියේ රතන හිමි සමඟ නීතිඥවරැන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. කෙසේ නමුත් එම ගැටලුව තවත් විසඳී නැත.

කැබිනට් හමුව පැවැත්වෙන අතර උපාධිධාරී පත්වීම් නොලද පිරිස උද්ඝෝෂණයක නිරත වන බවට ජනපතිට තොරතුරැ ලැබිණි. උද්ඝෝෂණ සඳහාම වෙන් කරන ලද ස්ථානයේ එම විරෝධය සිදුවෙමින් පැවතිණි. ජනපති කීවේ &ගැටලුවක් නෑ. ඔවුන්ට එය කරගෙන යාමට ඉඩ ලබාදෙන්න* කියාය. ඒ අනුව  කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම ගැටලුව පිළිබඳව ද ජනාධිපති අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. ඉතිරි උපාධිධාරීන් දස දහසට ද පත්වීම් ලබාදීමට යෝජනා ස්ථීර විය. කැබිනට් හමුව නිමා වී පිටව යන අතරතුර ජනපති මෙම පිරිස හමුවිය. විසඳුම් ලබා දී ඇති බවද කියා සිටියේය. අවුරැදු හතළිස් පහක් වන රැකියා විරහිත උපාධිධාරීන් ද සිටින බව ජනපති දැනගත්තේ එතැනදීය. කෙසේ වෙතත් සියල්ලන්ටම රැකියා දෙන බවත් අව්වේ සිටීමෙන් ඵලක් නොවන බවත් කී ජනපති එම ස්ථානයෙන් පිටත්ව ගියේය. අවසානයේ උද්ඝෝෂණය ද බලාපොරොත්තු සහිතව නිමා කිරීමට උද්ඝෝෂකයෝ කටයුතු කළහ. 

මේ අතර නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්විණි. එය දශක හතකට පසු එක්සත් ජාතික පක්ෂය නැතිව පැවති පාර්ලිමේන්තු මංගල රැස්වීම ද විය. පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක අංශ ආරම්භයේදීම යම් කලබලයක් ඇතිකර ගත්හ. ඊට හේතුව වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීමය. මන්ත්‍රීවරයා බෝට්ටුවකින් පැමිණීම ගැන අදහස් පළ කරමින් කියා සිටියේ දියවන්නා ඔය සංවර්ධනය කිරීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය මත බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබුණු බවයි.

නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ඒකමතිකව තේරීපත් විය. මෙම යෝජනා ස්ථීරත්වය පිළිබඳ අපූරැ එකඟතාවක් ආණ්ඩුව සහ විපක්ෂය අතර ගොඩනැගී තිබුණි. කතානායක ධූරය සම්බන්ධ යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා  ගෙන එනු ලැබුවොත් සජිත් ප්‍රේමදාස මහතා යෝජනාව ස්ථීර කරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනාව ගෙන එනු ලැබුවොත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කරන බවත් ඊට අනුව කියැවිණි. කෙසේ වෙතත් අවසානයේ යෝජනාව ගෙන ආවේ දිනේෂ් ගුණවර්ධන මහතාය.

අභිනව පාර්ලිමේන්තුවේ සියලු තනතුරැ කිසිදු ගැටලුවකින් තොරව පත් කරනු ලැබීය. එනමුත් විපක්ෂ සංවිධායක ධූරය සම්බන්ධව යම් ගැටලුවක් මතුවී ඇති බවට ආරංචි පැතිර ගියේය. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරය නම්කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය තුළම මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව ඇතැම් තැනකදී කියැවිණි. ඒ හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීම ටික වෙලාවකට කල් ගොස් ඇත. කෙසේ නමුත් අවසානයේ සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට යෝජනා ස්ථීර විය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ජනපති නියමයෙන් පැවතියේ ඉතා සරලවය. පරිවාර රථ නොමැතිවම ජනපති පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත විය.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබීය. අනතුරැව කතානායකවරයා විසින් පවත්වනු ලබන තේ පැන් සංග්‍රය පැවැත්වුණි. ඊට ජනපති අගමැති ප්‍රමුඛව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැ සහභාගී වූහ. සුහද කතාබහ රුසක් ඇතිවිය. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සංග්‍රහයේ වැඩි වේලාවක් ගත කළේ නැත.

විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජනපති සමඟ කතා කරන අතරේ ප්‍රශ්නයක් ඇසුවේය. &ඔබතුමා නිතරම තාක්ෂණය ගැන කතා කරනවා අපි අහලා තියෙනවා. ඒත් ඇයි ජනාධිපතිතුමා නව තාක්ෂණික අංශ වෙනුවෙන් අමාත්‍යාංශයක් නිර්මාණය කළේ නැත්තේ* යනුවෙන් ඔහු ඇසීය. ජනපති කීවේ &ඇයි දැක්කේ නැද්ද? ඒක තියෙන්නේ මගේ යටතේනෙ යනුවෙනි. එවිට &ආ මම දැක්කෙ නෑ ජනාධිපතිතුමා. ඔබතුමා යටතේ තියෙනවා නම් අමාත්‍යාංශය හරියටම කෙරෙයි යනුවෙන් කීවේය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිරිස අතරට ගොස් කතාබහේ නිරත විය. විග්නේෂ්වරන් සහ වාසුදේව නානායක්කාර කතාබහක නිරත වෙමින් සිටිනු දුටු මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් අතරට ගොස් &දෙමස්සිනාලා බර කතාවක්* යැයි කීවේය. එම අවස්ථාව බොහෝ දෙනකුගේ අවධානය දිනාගත්තේය. මේ අතර විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ද අග්‍රාමාත්‍යවරයා සමඟ කතාබහ කළහ. මයන්ත දිසානායක සිය සහෝදරයා වන නවීන් දිසානායකට සිදුවූ දේශපාලන විපත පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමඟ කතා කළේය.

මේ අතර දිනය පුරාවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති තරමක් නිහඬ වී සිටියේය. ඔහුගෙන් පාර්ලිමේන්තුවට පැමිණි මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. මාධ්‍යයේ ප්‍රශ්නවලට අනෙක් සියලු මන්ත්‍රීවරැන් පිළිතුරැ දුන්නේ ඉතා කැමැත්තෙනි. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා වචනයක් හෝ නොකියා කිසිවක් නොඇසුණු පරිද්දෙන් මාධ්‍ය මගහැර ගියේය. ඇමැතිකමක් හෝ කිසිදු තනතුරක් නොමැති වීම ඔහු මෙසේ පිටව යාමට හේතුව වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.

දයාසිරි ජයසේකර මහතා මෙහිදී කීවේ අමුතු කතාවකි. සතියකට දවසක් බතික් දේශීය රෙදිපිළි භාවිත කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට නීතියක් ගෙන එන බව ඔහු කිවේය. ඔහුගේ කතාව ගැන කවුරුත් මවිත වූ අතර ජයසේකර මහතා ජාතික ඇඳුමට බතික් එකතු කර අමුතු ඇඳුමක් හැඳ පාර්ලිමේන්තු පැමිණීම ද තරමක් වෙනස් දෙයක් වූ අතර කවුරැත් ඒ පිළිබඳ කතාබහ කළහ. මේ අතර විග්නේෂ්වරන් මහතා කතානායකවරයාට සුබ පතන අතරේ කී කතාවක් පිළිබඳ පක්ෂ විපක්ෂ කිහිප දෙනකු අතර විරෝධයක් ද මතුවිය. විග්නේෂ්වරන් මහතා දමිළ භාෂාව සහ ජනවර්ගය පිළිබඳ වර්ගවාදය ස්මතුවන ලෙස කතා කර තිබුණි.

මේ අතර පක්ෂ නායක රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහතුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවී තිබුණි. ඒ පාර්ලිමේන්තු විවාදවලදී පක්ෂ විපක්ෂ කාලය බෙදී යාම සම්බන්ධවය.

චමිදු නිසල්