2020 ජුලි 11 වන සෙනසුරාදා

ගෝඨාගේ කෑම මේසයේදී සාම සාකච්ඡාවක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 805

  • රනිල් දන්න රහසක් තවමත් හෙළි කළේ නැතිලු
  • කුරුණෑගල - මාතර - ගම්පහ පොහොට්ටුවේ උග්‍ර මනාප සටන් මහින්දට හිසරදයක් වෙයි
  • තම පක්ෂයේ හොරු නැතැයි සජිත් කියයි
  • ප්‍රසන්න - ශ්‍රී.ල.නි.ප. වාග් සංග්‍රාමය වහා නතර කරන ලෙස නියමයක්
  • වජිරත් ජාතික ආණ්ඩු කතාවක් කියයි
  • මහ මැතිවරණයෙන් ජ.වි.පෙ.ට ලැබෙන ජයග්‍රහණ ගැන අනුර හඬ අවදි කරයි

රටේ සාමාන්‍ය දේශපාලන කටයුතු මේ දිනවල සිදු නොවේ. මහ මැතිවරණයට ඇත්තේ තවත් මාසයකටත් අඩු කාලයක් නිසා සෑම පක්ෂයක්ම ඡන්ද ප්‍රචාරක කටයුතුවලට බර දමන්නට පටන්ගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනවල අනුරාධපුරය, පොළොන්නරැව, පුත්තලම ආදී දිස්ත්‍රික්කවල සංචාරය කළේය. මේ සංචාරවලදී මහජන රුස්වීම් ඇමතීමක් සිදු නොවූ අතර ජනාධිපතිවරයා ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් නම් කරන ස්ථානයකට පැමිණ එහි රුස්ව සිටින ජනතාව මුණගැසී ජනතා ප්‍රශ්න විමසීම සිදු කළේය.

මෙය අලුත් දේශපාලන ප්‍රචාරක ක්‍රමයකි. ජනතාව සමීපයට පළාතේ ඡන්ද අපේක්ෂකයා සමඟ යන ජනාධිපතිවරයාට ඒ ඒ පළාත්වලට සම්බන්ධ ප්‍රශ්න ජනතාව ඉදිරිපත් කළහ. පොළොන්නරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල ද මෙවන් හමුවක් සංවිධානය කර තිබිණි. ජනතාවගෙන් තිබෙන ප්‍රශ්න කවරේදැයි ජනපතිවරයා විමසූ කල නියම මිලට තවමත් වී විකුණා ගන්නට බැරි යැයි ජනතාව චෝදනා නැගූහ. ඒ අසල පළාතේ මන්ත්‍රීවරයකු මෙන්ම ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියෙක් ද වන සිරිපාල ගම්ලත් ද විය. මේ සියල්ලන් ඉදිරිපිට ජනාධිපතිවරයා ගොවි ජනතාවට උපදෙස් දුන්නේ තමන් රුපියල් 50/-ක සහතික මිලක් වී කිලෝවකට නියම කර ඇති බවය. ඊට අඩුවෙන් වී අලෙවි නොකරන ලෙස ද ජනාධිපතිවරයා කීය. එවිට ප්‍රශ්නය මතු කළ ගොවි පිරිස නෑ සර් අපිට මිල හරියනකම් වී තියන් ඉන්න බැරි සල්ලි නැති නිසා කියමින් මැසිවිලි නැගූහ. එවිට ජනාධිපතිවරයා කීවේ වී වගාවට අවශ්‍ය යෙදවුම් සඳහා සහන පොලියට බැංකු ණය සැපයීමේ ක්‍රමයක් සකසා ඇති බවයි.

මෙම ජනහමුවලින් පසු ජනාධිපතිවරයා දිවා භෝජනය සඳහා ගියේ බ්‍රිතාන්‍ය මහ රැජනගේ ද සිත්ගත් පොළොන්නරැව වැව් තාවුල්ලේ පිහිටි පොළොන්නරු තානායමටයි. එතැනට යන්නට පෙර ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රී ප්‍රමුඛ පළාතේ මන්ත්‍රීන්ට ද දිවා ආහාරයට ඇරයුම් කළේය. පොළොන්නරැවේ දේශපාලනය නිසා හිටපු ජනාධිපති මෛත්‍රී සමඟ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ පසුවූයේ අමනාපයෙනි. පසුගිය කාලයේ රොෂාන් මෛත්‍රීව දැඩි ලෙස විවේචනය කළේය. එහෙත් දිවා භෝජනයට ජනපති සහ හිටපු ජනපති තානායමට ගිය විට ජනාධිපතිවරයාටත් හිටපු ජනපතිටත් දිවා භෝජන මේසයේ වෙනම විශේෂ අසුන් දෙකක් පනවා තිබූ අතර දෙපැත්තෙන් අසුන් ගත්තේ රොෂාන් රණසිංහ, පේෂල ජයරත්න සහ සිරිපාල ගම්ලත් ආදීන්ය. මෙතෙක් කලක් නයි මුගටි සටනක සිටි රොෂාන් සහ මෛත්‍රී සමගි කරන්නට ජනාධිපතිවරයාට හොඳ අවස්ථාවක් ලැබිණි. කෑම කන අතර සුහද කතාබහ සිදුවෙද්දී තිබුණු තරහ මරහ, නොහොඳ නෝක්කාඩු තුරන් විය. දහවල් කෑම අවසන් කර නැගී සිටි මෛත්‍රීපාල සිරිසේන රොෂාන් රණසිංහගේ පිටට තට්ටුවක් ද දැමීය. රොෂාන් මෛත්‍රීට ආචාර කළේය. ජනාධිපති ගෝඨාභය සතුටින් සිනාසෙමින් සිටියේය. ආණ්ඩුවේ ජයග්‍රහණයට ශ්‍රි.ල.නිපයේ සහාය ඉතා වැදගත් නිසා මින් ඉදිරියට මෛත්‍රීපාල හිටපු ජනපතිට හෝ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අගතියක් සිදුවන කතාබහ නතර කරන ලෙස ගම්පහ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසටත් උපදෙස් දෙන්නැයි කොළඹට පැමිණි ජනාධිපතිවරයා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අමතා විශේෂ දැනුම් දීමක් කර තිබිණි.

ජනාධිපතිවරයා පුත්තලමේ කළ සංචාරයේ දී අලි - මිනිස් ගැටුම ගැනත්, ශුෂ්ක ප්‍රදේශවල ජල ගැටලුව ගැනත් පැමිණිලි ලැබිණි. මාදම්පේ තනිවැල්ල ප්‍රදේශයේ ජනහමුවකදී අපූරු දෙයක් සිදුවිය. එයට පැමිණ සිටි විශ්‍රාමික ගුරු මාතාවක් ජනාධිපතිවරයාට සුබ පතමින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොරෝනා සහන අරමුදලට පිරිනැමීම එම සිද්ධියයි. එම පරිත්‍යාගය කළ මාරසිංහ නැමති ගුරු මාතාව රුපියල් පන්දහසේ කොළවලින් යුත් මුදල් මිටිය ජනපතිට පරිත්‍යාග කරමින් කීවේ සර් අපට නීතිය යුක්තිය තිබෙන ස්වයංපෝෂිත රටක් හදල දෙන්න කියායි.

ජනාධිපතිවරයා සේම අග්‍රාමාත්‍යවරයා ද ඡන්ද ප්‍රචාරක සටනට එක්ව සිටී. මේ සතියේ අගමැතිවරයා සිටියේ හම්බන්තොටය. ජනාධිපතිවරයා ජනහමු ඇමතුවේ නැතත් අගමැතිවරයා කුඩා ජනහමු ඇමතීම සිදුවිය. එ.ජා.පය දෙකඩ වී ඇති බැවින් තමන්ට කිසිදු දේශපාලන අභියෝගයක් නැති බව තිස්සමහාරාමයේ ජනහමුවකදී පැවසූ අගමැතිවරයා අපි රට අල්ලන්නට හදද්දි සජිත් පිල සිරිකොත අල්ලන්නට රනිල් වික්‍රමසිංහ සමඟ සටන් කරන්නේ යැයි කීය. ඒ නිසා තමන්ට ඇත්තේ ඒ සටන දෙස බලා සිටීම බව පැවසූ හෙතෙම තමන් හදන ආණ්ඩුවේ සැලුන්දොර යකඩ දොරක් සේ ශක්තිමත් කරන්නට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙන්නැයි ජනතාවගෙන් ආයාචනා කළේය. 2/3 බලය ලද පසු තමන් වත්මත් ව්‍යවස්ථාව වෙනස් කොට රටට ගැලපෙන යහපත් තීන්දු ගන්නා බවත් එන්.ජී.ඕ. මානසිකත්වයට තිත තබන බවත් ඔහු පැවසුවේ සූරියවැවදීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශයක් සී.අයි.ඩිය ලබාගත්තේ පසුගිය සතියේය. රනිල්ගේ නිවෙසට ගොස් එම ප්‍රකාශය ලබාගත් පසු රනිල් ඒ ගැන වැඩි මත දැක්වීමක් සිදු නොකළ ද එක්තරා පෞද්ගලික වෙබ්අඩවියක් සමඟ මේ ගැන කෙටි සංවාදයක් පවත්වා තිබිණි. එහිදී රනිල් කියා තිබුණේ බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් තමන් දන්නා සැබෑ තොරතුරු හෙළිදරව් කරන්නට ගියහොත් අද ආණ්ඩුවේ සිටින සමහරුන් තමන් සමඟ අමනාප වෙතැයි සිතන බවයි. බැඳුම්කරය වංචාවක් නොවන නමුත් එහි වරදක් සිදුවීමට ඉඩ ඇති වගත් රනිල් මෙම ප්‍රකාශය මගින් අවධාරණය කළේය. හිටපු මහ බැංකු අධිපතිවරයා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂවරයා සමඟ තිබුණු සබඳතාව නිසා ඔවුන් වෙත නොයා යුතු වුවත් එසේ යාම වරදක් බව රනිල් කියා ඇත. තමන්ට මේ සඳහා කිසිදු චෝදනාවක් එල්ල වී නැති අතර අවශ්‍ය නම් නීතිපතිවරයාට තමන්ට එරෙහිව නඩු පැවරිය හැකි යැයි ද රනිල් කීය. මෙහිදී එ.ජා.පයේ බෙදීම ගැන සඳහන් කළ රනිල් කීවේ, පක්ෂය හැර යන්නේ මෝඩයන් බව තමන් සමඟ මුලින්ම කීවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා බවයි. සජිත් ඔය කියන තරම් ජනප්‍රිය නම් ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙවර මහ මැතිවරණයේ මනාප සටන් බොහෝ දිස්ත්‍රික්කවල දක්නට ලැබේ. වඩාත්ම උග්‍ර මනාප සටන ඇත්තේ මාතර, මහනුවර සහ කුරැණෑගල දිස්ත්‍රික්කවලයි. මාතර දිස්ත්‍රික්කයට අලුතෙන් ඉදිරිපත්ව සිටින නිපුණ රණවක අපේක්ෂකයාට එරෙහිව දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ අපේක්ෂකයෝ දෙදෙනෙක් ලොකු සටනක නිරතව සිටිති. එහෙත් මාතර දිස්ත්‍රික්කයේ පැරණිම මන්ත්‍රීවරයා වන මහින්ද යාපා අබේවර්ධන හා හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් නිපුණ රණවක සමඟ එක්ව ඡන්ද සටනට බැස සිටිති. මේ නිසා මාතර සටන උග්‍ර තත්ත්වයට පත්ව ඇති අතර සමහර ප්‍රබල චරිත සසල වී ඇති බවද වාර්තා වෙයි.

මාතර මෙන්ම උග්‍ර මනාප සටනක් දක්නට ඇති සෙසු දිස්ත්‍රික්කය වන්නේ කුරැණෑගලයි. එහි බොහෝ අපේක්ෂකයන් දිස්ත්‍රික්කයේ ප්‍රබලයකු සමඟ (අගමැති මහින්ද නොවේ) දැඩි අමනාපයෙන් පසුවන බව වාර්තා වෙයි. එහෙත් ශ්‍රී.ල.නිපයේ දයාසිරිලා, ශාන්ත බණ්ඩාරලා කා සමඟත් සුහදව ඡන්ද සටන ගෙන යති. පසුගියදා කුරුණෑගල මනාප සටනේ මැර ජවනිකාවක් ද වාර්තා විය. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන ආගමික උත්සවයක ආරාධනා පත් බෙදා දීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආධාරකරැවන් ගල්ගමුව ප්‍රදේශයට ගොස් ඇත. ඔවුන් ගිය රථය හරස් කළ ඩිපෙන්ඩරයකින් පැමිණි පිරිසක් මෙම සේවකයන් දෙදෙනාට පහර දී තිබෙන බවට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී ඇත. අගමැතිවරයා සහභාගි වන උත්සවයක ආරාධනා පත්‍ර බෙදීමට තමන් ආ බව පහර දෙද්දී ඔවුන් කියා ඇත. එහෙත් පහරදුන් පිරිස කුරැණෑගල අයට මෙම ඡන්ද කොට්ඨාසයේ සෙල්ලම් දැමිය නොහැකි බව කියමින් පහරදුන් බව පැමිණිල්ලේ සඳහන්ය. කෙසේ හෝ මේ ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙයි. මෙම පහරදුන් පිරිස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ ගෝලයන් පිරිසක් බව දැනට හඳුනාගෙන ඇතැයි ද පැවසේ. කෙසේ හෝ මෙම මනාප සෙල්ලම නිසා පියාට හා පුතාටවත් ඡන්දයක් කරන්නට නොහැකි බවට පළවන මතවාද සත්‍යයක් ලෙස පිළිගන්නට සිදුවන්නේ පක්ෂ නායකයාගේ උත්සවයක ආරාධනා පත් බෙදීමට ගිය තැනැත්තන්ටත් අත්විඳින්නට වූ මෙම ඉරණම නිසාය.

ගම්පහ ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකරටත් වේදිකාවේදී සැර ප්‍රකාශ මගින් පහර දුන්නේය. මෛත්‍රී ජනාධිපතිවරයා ගැන පුදුම සහගත තොරතුරැ හෙළිදරව් කරන බව පැවසූ ප්‍රසන්න, ශ්‍රීලනිපයට ගෑවුණු සතකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි ද කීය. එහෙත් ප්‍රසන්නගේ මෙම ප්‍රකාශයට ගම්පහින් පොහොට්ටුවෙන්ම තරග වදින නාලක ගොඩහේවාලා ඇතුළු බහුතර අපේක්ෂක පිරිස විරැද්ධය. ඔවුන් ඒ ගැන ප්‍රකාශ කිහිපයක් ද ලබා දී තිබේ.

කෙසේවෙතත් ප්‍රසන්න රණතුංග පසුව ප්‍රකාශ කර තිබුණේ මෙවර ආණ්ඩුව හදන පොහොට්ටුවේ මන්ත්‍රීන් 150ම පොහොට්ටුවෙන් පත්කර ගන්නා බවයි. තමන්ට අභියෝග කරන දයාසිරිට වඩා එක් ඡන්දයක් හෝ තමන් ස්ථිරවම ගන්නා බව ප්‍රසන්න රණතුංග කීය. දයාසිරිට නම් කුරැණෑගලින් දිනන්නවත් ලැබෙන්නේ නැතැයි ද ඔහු කීය. එහෙත් ඊට ප්‍රතිචාර දැක්වූ දයාසිරි ප්‍රකාශ කළේ අද ඡන්ද වේදිකාවේ ශ්‍රීලනිපයට පහර දෙන්නේ එ.ජා.පය සමඟ ඩීල් දැමූ හාදයන් බවය. පොදුජන පෙරමුණේ නායකයන් බොහෝ දෙනකු ඉඳුල් කට කෑවේ ශ්‍රී.ල.නිපයෙන් යැයි කී දයාසිරි ප්‍රසන්නට හැකි නම් ඔය කතා තම පියාගේ සොහොන ළඟට ගොස් කියන්නැයි අභියෝග කළේය. එසේ වුවහොත් රෙජී රණතුංග මහතා මළවුන්ගෙන් නැගිටවුත් ප්‍රසන්නට කන හරහා පහරක් ගහන බව තමන්ට විශ්වාස යැයි ද ඔහු කීය. තමන්ට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ප්‍රමුඛ පක්ෂ නායකයන් සමඟ කිසිදු අමනාපයක් නැති බවත් පැවසූ දයාසිරි අද පොහොට්ටුව ආණ්ඩුවක් හැදීමට ශ්‍රීලනිප දායකත්වය අමතක කිරීම වරදක් බවද පෙන්වා දුන්නේය.

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කොළඹ දී කලාකරැවන් මුණගැසී ඔවුන්ට පක්ෂයේ ප්‍රතිපත්තිය විස්තර කළේය. ඒ සමඟ සති අන්තයේ (11දා) ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට අවශ්‍ය කටයුතු ද සංවිධානය කරන ලෙස උපදෙස් දුන්නේය. ඒ අතර මහජන රුස්වීම් අමතන්නට ද දිනපතා සජිත් වේලාව වෙන්කර ගනී. ජලනි ප්‍රේමදාස මහත්මිය ද සජිත්ගේ සහායට කොළඹ අවට ජනහමු ගණනාවකට එක්ව සජිත්ගේ ජයග්‍රහණය උදෙසා ජනතා සහාය ඉල්ලා සිටියේ රටට නැවතත් සංවර්ධන යුගයක් උදා කරන බව කියමිනි. ඒ අතර සජිත් පසුගියදා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කීවේ තම පක්ෂයෙන් මෙවර ඡන්ද සටනට ඉදිරිපත් කර ඇත්තේ පින්වන්තම අපේක්ෂක කණ්ඩායම බවයි. රටේ ජාතික ධනය සොරා කෑ හොරැන් තම අපේක්ෂිත ලැයිස්තුවල නැතැයි ද ඔහු කීය. තමන්ට දැනගන්නට තිබෙන ආකාරයට පොහොට්ටුව සහ මහ බැංකු සොරැන් දැන් කසාද බැඳ ඇති බවද සජිත් හාස්‍යයෙන් යුතුව පැවසීය.

ඒ අතරතුර නුවරඑළිය දිස්ත්‍රික්කයට එ.ජා.පයෙන් තරග වදින එහි ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාට ඡන්ද සමීක්ෂණයක වාර්තාවක් ලැබී තිබිණි. අනතුරැව ඔහු ප්‍රකාශ කළේ මහ මැතිවරණයෙන් එ.ජා.පය මෙවර මන්ත්‍රී ධූර 40 ක් පමණ ලබාගන්නා වගය. තනි පක්ෂයක් ලෙස මැතිවරණයට තරග කොට එම ජයග්‍රහණය ලබන බවද ඔහු කීය. ඒ සමඟ ගාල්ලේ වජිර අබේවර්ධන හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේ ආණ්ඩුව පිහිටුවනු ලබන්නේ එ.ජා.පය බවය. පවත්නා අනුපාත ඡන්ද ක්‍රමය අනුව තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම අතිශය දුෂ්කර කටයුත්තක් නිසා තම පක්ෂයේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලබන බව වජිර කීය. ඒ සඳහා ශක්තිය ඇත්තේ එ.ජා.පයට බවද ඔහු සඳහන් කර තිබිණි. මෙයට පෙර රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා ද ජාතික ආණ්ඩු කතාවක් කියා තිබිණි. ඔහු ඍජුවම නොකීවත් රවී කියා තිබුණේ ජාතික ආණ්ඩුවක් හදන්නේ පොහොට්ටුව සමඟ බවට ඉඟියක් දෙමිනි. එහෙත් රවී කරැණානායක වැනි උදවිය සහභාගි කරගෙන පොහොට්ටුව ආණ්ඩුවක් හදන්නේ නැති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. පසුගිය රජය කාලයේ බහුලව චෝදනා එල්ල වූ කිසිවකුට පොහොට්ටුවේ ඉඩක් නැති බව පොහොට්ටු ‍ජ්‍යෙෂ්ඨයන්ගේ මතයයි. නමුත් ආණ්ඩුව පිහිටුවීමේ සාධකය සම්බන්ධයෙන් බලපාන්නේ ඉහළම මැතිවරණ ජයග්‍රහණයකි.

ඒ සම්බන්ධයෙන් පොහොට්ටුව මේ වන විට සමීක්ෂණ දෙකක් සිදුකර ඇති අතර සමගි ජනබලවේගයේ අනුග්‍රාහකයන් පිරිසක් සිදුකළ සමීක්ෂණයක වාර්තාවක් ද මේ සතියේ ප්‍රකාශයට පත්වූ බව දැනගන්නට ඇත. එහි සමගි ජනබලවේගය එම වාර්තාවෙහි සඳහන් වන ආකාරයට පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැන්නා (මනාප අතින්) ලෙස පත්වන්නේ ඒ ගැන දැනට සැමතැනම නම ප්‍රචාරය කෙරෙන තැනැත්තා නොවන බවත් වෙනත් ප්‍රකට දේශපාලන චරිතයක් බවත් සඳහන්ය. ඔහු කොළඹින් මහ ඡන්දයට තරග කරන්නේ මුල්වරට බවත් කියැවේ. ඒ අතර සමගි ජනබලවේග ජයග්‍රාහී ලැයිස්තුවට අලුත්ම අපේක්ෂකයකු ඇතුළත් කර ගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ උත්සාහ කරමින් සිටිති. ඔහු මෙවර මුල්වරට ඡන්දයට ඉදිරිපත් වූ යහපාලන රජයේ රාජ්‍ය ආයතන සභාපතිවරයෙකි. රනිල්ගේ අනුග්‍රහයෙන් දේශපාලනයට පැමිණි හෙතෙම පසුව සජිත් පිලට එක්වුවත් ඔහුගේ පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු තවමත් රනිල් සමඟ මැතිවරණ සටනේ සිටියි. එහෙත් ඔහු තරග කරන්නේ කොළඹින් නොවේ.

එ.ජා.පය නැවත වරක් මැතිවරණ කොමිසම හමුවේ සජිත් පිලට විරෝධය දක්වා තිබේ. ඒ සිය පක්ෂයේ කොළ පාට මැතිවරණයේ දී සමගි ජනබලවේගය ද භාවිත කරන බව කියමිනි. සමගි ජනබලවේගයේ වර්ණය නිල් පාට බැවින් ඔවුන් තමන්ගේ ප්‍රචාරක කටයුතු උදෙසා කොළ පාට භාවිතය තම පක්ෂයේ අයිතිය උල්ලංඝනයක් බව කියන පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වහා මෙම තත්ත්වය පාලනය කරන්නැයි මැතිවරණ කොමිසමට ලිඛිතවම දැන්වීය.

ජ.වි.පෙ. නායකවරයා මාධ්‍ය හමුවක් තබමින් තම පක්ෂයට ලබාගත හැකි මන්ත්‍රී ආසන ගණන සඳහන් කර තිබිණි. තමන්ට මහ මැතිවරණයෙන් ජයගත නොහැකි වුවත් ඊට සමගාමීව අතුරු ජයග්‍රහණ ගණනක් ලැබෙන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක කියා තිබුණේ මහරගම ප්‍රදේශයේදීය. එහෙත් ජනතාවගේ හඬ මැතිසබයේ නියෝජනය වන්නට නම් මාලිමාවේ අපේක්ෂකයන් මැතිසබයට යැවිය යුතු යැයි ද ඔහු ඉල්ලා සිටියේය.

සාමාන්‍යයෙන් දේශපාලන විවේචන ගැන ඒ හැටි තැකීමක් නොකර විවේචකයන්ට විවේචනවලින්ම පිළිතුරැ සපයන ජනතා විමුක්ති පෙරමුණ තමන්ට මෙවර මහ මැතිවරණ පසුබිමේ ෆේස්බුකියෙන් යම් පිරිසක් මඩගසන්නට පටන්ගෙන ඇතැයි චෝදනා කරයි. මෙම මඩ ගැසීමට පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ බවටද චෝදනා කරමින් ප්‍රකාශයක් කළේ ජ.වි.පෙ. ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයාය. එයින් නොනැවතුණු ඔහු රහස් පොලිසියට මේ ගැන පැමිණිල්ලක්ද කළ බව වාර්තා වෙයි. එහෙත් මෙම පැමිණිල්ල ගැන පොලිසිය කිසිම පියවරක් ගෙන නැතැයි පවසන ඔහු ඒ නිසා තම පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයට විශාල හානියක් සිදුවන බවද කියා සිටී.

සමගි ජනබලවේගයේ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාද එ.ජා.ප.යේ පැමිණිල්ලකට මේ සතියේ පිළිතුරැ දුන්නේය. එ.ජා.ප.ය තම පක්ෂයේ වර්ණය වන කොළපාට සමගි ජනබලවේගය විසින් භාවිත කරන බවට පැමිණිල්ලක් කර තිබිණි. පක්ෂයේ පාට රුකගන්න එ.ජා.ප.ය හඬා වැටෙන තත්ත්වයට පත්ව තිබෙන බව පැවසූ මද්දුම බණ්ඩාර මහතා ඔවුන් කළයුත්තේ පාට ගැන හඬ නැගීම නොව ඉතිරිව සිටින පාක්ෂිකයන් රුකගැනීම යැයිද කීය.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර