2020 ජුනි 20 වන සෙනසුරාදා

ජනපතිගේ කතාවට සමාජජාලා වලින් ප්‍රශංසා: විපක්ෂයෙන් දොස්

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 448

  • පාසල් දරුවෝ මහින්ද රාජපක්ෂ අමතා උසස් පෙළ කල් දමන්නැයි කියති
  • මෛත්‍රීගේ තෑගි උත්සවයට මැ:කොගෙන් බාල්දියක්
  • ජනපතිගේ කතාවේ සැර අඩු කරන්න බැසිල් දුන් උපදෙස
  • මංගල සජිත් පිලෙන් යන්න හේතු වූ චීවරධාරී කතාව
  • ආණ්ඩුව ගතවූ මාස හයට කළ දෙයක් නැතැයි අනුර කියයි
  • ජනපතිගේ තරවටුවෙන් පසු බැංකු ලොක්කන් තීන්දු ගත් හැටි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල වෙහෙස මහන්සි වන්නේ කොරෝනාව නිසා අඩාල වූ ආර්ථිකය ගොඩනැංවීමටයි. විපක්ෂයෙන් රජය නියම කළ සහන බැංකු හා මූල්‍ය ආයතන මගින් නිසි ලෙස ලබා නොදීම ගැන ජනාධිපතිවරයාට බොහෝ තොරතුරු ලැබී තිබිණි. එම කතා වඩාත් උච්චස්ථානයකට පත්වූයේ ත්‍රීරෝද රථ සංගම් සභාපති සුනිල් ජයවර්ධන මහතා ත්‍රීරෝද රථයක ලීසිං ප්‍රශ්නයක් ගැන කතා කරන්නට ලීසිං ආයතනයක් වෙත ගිය අවස්ථාවේ පහර දී මරා දැමීම නිසාය. මේ ගැන සමාජය සංවේදීව ප්‍රතිචාර දක්වන්නට වූ අතර ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ සමීපතමයන් හා දේශපාලනඥයන් රාශියක් ලීසිං මාෆියාව ගැන දිගින් දිගටම පැමිණිලි කරන්නට වූහ.

අනතුරැව ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු ප්‍රධානීන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා ඔවුන්ගෙන් දැඩිව ප්‍රශ්න කළේ කැබිනට්ටුව හා රජය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකළේ ඇයිද කියායි. එසේම ඒ ගැන ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කරන ලද නියෝග නොතකා හැරියේ මන්ද කියායි. බැංකු ප්‍රධානීන්ට මේ ගැන දැඩි ලෙස කරැණු දැක්වූ ජනාධිපතිවරයා රජයේ නියෝග ක්‍රියාත්මක නොකරන රාජ්‍ය බැංකු ආදියෙහි ප්‍රධානීන් ඉවත් කිරීමට පසුබට නොවන්නේ යැයි ද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය හා එ.ජාපය අතර පවත්නා වාග් සටන මේ සතියේත් සුපුරැදු ලෙස මාධ්‍යයේ පුවත් මැවීය. මංගල සමරවීර ඇතුළු සජිත් පිලේ අපේක්ෂකයන් ගණනාවක් ඡන්ද සටනින් ඉවත් වීමත් සමඟ තත්ත්වය ටිකක් බැරූරැම් වන බව පෙනුණි. මේ යුගයේ ප්‍රබල දේශපාලන චරිතයක් වන මංගල ඉවත් වීමෙන් පසු ඔහු සජිත් පිලට විකල්පයක් හෝ නිසි ප්‍රතිපත්තිමය සැලසුමක් නැතැයි චෝදනා කළේය. සජිත් ප්‍රේමදාස මහතා රටට විකල්පයක් (පොහොට්ටුවට) දෙනු වෙනුවට ඩුප්ලිකේට් පොහොට්ටුවක් හදන්නට යන බවද කීය. ඡන්ද දිනාගැනීම අපහසු වුවත් යූ.ඇන්.පී. දර්ශනය ඉදිරියට ගෙන යා හැක්කේ රනිල් වික්‍රමසිංහට බව පැවසූ මංගල තමන් යූ.ඇන්.පී. කාරයෙක් බවත් කීය. එහෙත් කුමන හේතුවක් නිසාවත් තමන් නැවත යූ.ඇන්.පීයෙන් පාර්ලිමේන්තු නොයන වග පැවසූ මංගල සමරවීර තමන් නව සමාජ බලවේගයක් සමඟ ජනතාවට සේවය කරන්නේ යැයි සඳහන් කර තිබිණි.

ඒ අතරතුර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පාර්ශ්වය විසින් සමගි ජනබලවේගයේ යොවුන් පෙරමුණ මේ සතියේ ස්ථාපිත කරනු ලැබීය. එම පෙරමුණට ඉදිරි මහ මැතිවරණයේදී විශාල කාර්යභාරයක් පවරන බවද සජිත් කීය. එසේම ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තරැණ අපේක්ෂකයන් 25% ක් ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ යැයි පැවසූ සජිත් තම පක්ෂය නව දේශපාලන පරපුරකට දොරටු විවෘත කරන්නේ යැයි ද කීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල කොළඹ සහ පොළොන්නරුවේ රැඳී සිටිමින් මහ මැතිවරණ කටයුතු සැලසුම් කළ බව කියැවිණි. ඔහු මාධ්‍ය සාකච්ඡා ගණනාවකට ද එක් විය. මේ සතියේ පොළොන්නරුවට ගිය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුලතිසි බුද්ධි මණ්ඩලයට අ.පො.ස උසස් පෙළ සමත් දරුවන් කැඳවා ඔවුන්ගේ ජයග්‍රහණය ගැන සුබ පැතීමටත් තිළිණ පිරිනැමීමටත් කටයුතු සංවිධානය කර තිබිණි. උත්සවය තිබුණේ ගිය සඳුදාය. එහෙත් එදින උදෑසන පොළොන්නරු කච්චේරියේ සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මේ ගැන පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල කර තිබුණේත් මෛත්‍රී සමඟ එදිරිවාදීව කටයුතු කරන පිරිසක් බව නිල නොවන ආරංචි මාර්ග තහවුරු කළේය. කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවයට පැමිණෙන විට ත්‍යාගලාභී පවුල්වල මව්පියන් 500 ක් පමණ ද දරුවන් 300 ක්ද පැමිණ සිටියහ. මෙය මේ වසරේ පමණක් සිදුකරන්නක් නොව සැම වසරකම මෛත්‍රීපාල සිරිසේන පදනම විසින් සිදු කරන ලද සත් කාර්යයක් බවද පැවසුණි. කෙසේ නමුත් මැතිවරණ පසුබිමේ මෙවැන්නක් කිරීම මැතිවරණ නීතියට පටහැනි යැයි එම ස්ථානයට පැමිණි මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා මෛත්‍රීට පැවසූහ. තමන්ට තිබෙන බලතල අනුව උත්සව සභාවේ තිබෙන තෑගි පාර්සල් ඇතුළු සියල්ල අත්අඩංගුවට ගැනීමට ද පිළිවන් බව ඔවුහු දැන්වූහ. තමන්ගේ රජය කාලයේම පත් කරන ලද ස්වාධීන මැතිවරණ කොමිසම විසින් දෙන ලද නියෝගයෙන් පසු මෛත්‍රී පැමිණ සිටි පිරිස අමතා මිනිත්තු දෙක තුනක කතාවක් තමන් සිටි ස්ථානයේ සිටම කරනු ලැබීය. මැතිවරණ කොමිසම උත්සවය තහනම් කළ බවත් තමන් පවත්නා ඡන්ද නීතියට ගරැ කරමින් උත්සවය අවලංගු කොට පිටව යන බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරණය හමාර වූ පසු මෙම ත්‍යාගයන් එම දරුවන්ගේ නිවෙස්වලටම ලැබෙන්න සලස්වන්නේ යැයි ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් මුණගැසෙමින් සිටියි. බොහෝ දිස්ත්‍රික්කවල ඇත්තේ මනාප ආරවුල්ය. වඩාත් ප්‍රබලම මනාප ආරවුල ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ බවද අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ද වාර්තා වී තිබිණි. මාතරට තරග කරන තරුණ අපේක්ෂකයකු වන නිපුණ රණවක තරුණ ඡන්ද ආකර්ශනය කර ගැනීමත් ඔහු රාජපක්ෂ පරපුරේ ඥාතිවරයකු වීමත් නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි කියැවිණි. මාතර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රබල දේශපාලන චරිත මේ ගැන දැඩි පිළිවෙතක් අනුගමනය කරන නිසා ඒ ගැන සොයා බලා නෙළුම් මාවත කාර්යාලයට සහ අගමැතිවරයාට තත්ත්වය වාර්තා කිරීමට පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද මාතර බලා ගොස් තිබිණි. කෙසේ හෝ එබඳු මනාප අර්බුද පවත්නා දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් හමුවන අතරතුර මහින්ද රාජපක්ෂ මහතා තමන් තරග වදින කුරැණෑගල දිසාවේ අපේක්ෂකයන් සිය නිවෙසට කැඳවා සාකච්ඡා කළේ කුරැණෑගලින් උපරිම ජයග්‍රහණයක් ලබාගන්නා ආකාරය ගැනයි. එහිදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු සියලු දෙනා සමඟ සුහදව කතා කළ මහින්ද රාජපක්ෂ මහතා තමන් ඡන්ද කාලයේ පොහොට්ටුවේ සෑම ඡන්ද අපේක්ෂකයකුගේම නිවෙසට හෝ කාර්යාලයට පැමිණ සීමිත පාක්ෂික පිරිසක් හමුවන්නට අදහස් කරන බව දැන්වීය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන්නැයි ද ඔහු පැමිණ සිටි සංවිධායකයන් වෙත දන්වනු ලැබීය.

සමගි ජලබලවේගය පක්ෂය මේ සතියේම ගත කළේ ප්‍රාදේශීය රැස්වීම් සෞඛ්‍ය නීතිරීති අනුව සංවිධානයටයි. ඒ සඳහා පක්ෂ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක හා ඉම්තියාස් බාකිර් මාකර් වැනි ජාතික ලැයිස්තු අපේක්ෂකයෝ කාලය වැය කළහ. ඒ අතර මහ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රකාශයට පත් කරන සමගි ජනබලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සඳහා ද අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතී. ආර්ථික සංවර්ධනය, ජාතික ඒකාග්‍රතාව, අපනයන ඉහළ නැංවීම, කොරෝනාවෙන් වැටුණු රට යළි නගාසිටුවීම ඇතුළු ආර්ථික ඉලක්ක ගණනාවක් සම්පූර්ණ කරගත හැකි මාර්ගය සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටට කියන බව වාර්තා වෙයි.

ගම්පහ ප්‍රසන්න රණතුංග මහතා කවදත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කරන්නෙකි. පසුගියදා ඔහු සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී ප්‍රකාශ කර තිබුණේ රට විනාශ කළ යහපාලනයට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාව පාර්ලිමේන්තුවට අනවශ්‍ය බවය. පොළොන්නරැ ජනතාව ඒ ගැන වගබලා ගත යුතු යැයි පැවසූ හෙතෙම මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටු පාක්ෂිකයන් ඡන්දය දිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා හැර නොගිය අයට පමණක් යැයි ද සඳහන් කළේය. ඒ අතර පොහොට්ටුවේ ප්‍රධානියා වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ මහ මැතිවරණයෙන් පොහොට්ටුව ලබන මන්ත්‍රීධූර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමටයි. ඒ සඳහා බැසිල් රාජපක්ෂ විසින් නව ක්‍රමෝපාය සංග්‍රහයක් සකස් කර ඇත. ඒ ඒ ප්‍රදේශ හා ආසන මට්ටමින් ජනතා ප්‍රශ්න හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන ඔහු පූර්ණ අධ්‍යයනයක යෙදී සිටියි. එසේම දවසේ පැය 24 පුරාම නිදිමරා තමන්ගේ කටයුතු සංවිධානය කරන බැසිල් සෑම සංවිධායකයකුම පෞද්ගලිකවම අමතා අදාළ ප්‍රදේශයේ ඡන්ද ව්‍යාපාරය ගැන උපදෙස් දීම විශේෂයකි.

ජනතා විමුක්ති පෙරමුණ ද මේ දිනවල තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කරමින් සිටියි. ඔවුන් වැඩි බරක් යොදවා ඇත්තේ ගෙන් ගෙට යාම හා ඉතා කුඩා පරිමාණ රුස්වීම සංවිධානයටයි. පසුගියදා ජ.වි.පෙ. නායකයා මාධ්‍ය හමුවේ කියා තිබුණේ ප්‍රතිපත්තිගරැක, විනයගරැක පාර්ලිමේන්තුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බවය. ආණ්ඩුවට ඡන්ද හදිස්සියක් තිබූ බව කී ජ.වි.පෙ. නායකයා මළමිනී මතින් ඡන්ද දිනන්නට ගත් උත්සාහය ඡන්ද කොමිසම නතර කළ බවද කීය. වර්තමාන රජය රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව නොවන බව පැවසූ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බලයට පත්ව මාස 6 ක් ගතවී ඇතත් ජනතා අපේක්ෂා ඉටු කිරීමට ඔහුට හැකි වී නැතැයි ද ප්‍රකාශ කළේය. පොහොට්ටුව අලුත් පක්ෂයක් වුවත් ඔවුන් මේ ඡන්දයට ද ඉදිරිපත් කර ඇත්තේ හිටපු දූෂිත පිරිස්ම යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ඉඳහිට දුරකතන ඇමැතුම් දෙන තරැණ පාසල් දරුවන් කිහිප දෙනෙක් සිටිති. ඉන් එක් දැරියක් පොළොන්නරැවේ වන අතර තවත් දරුවෙක් අනුරාධපුරය ප්‍රදේශයේය. ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා අමතා පාසල්වල තිබෙන ප්‍රශ්න පළාතේ ප්‍රශ්න ගැන කතා කරන විට මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් රටේ තොටේ දේශපාලනය ගැන සරල අදහස හුවමාරැවකට ද අවස්ථාවක් ලබාගනී.

පසුගියදා මෙලෙස රාජපක්ෂ මහතා අමතා කතා කළ දරැවන් දෙදෙනා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ ලබන සැප්තැම්බරයට නියම කර තිබෙන අ.පො.ස. උසස් පෙළ විභාගය තවත් සති කිහිපයක් හෝ කල් දමන ලෙසය. තම ප්‍රදේශවල දරු දැරියන්ට නියමිත විෂය නිර්දේශ නිසි ලෙස ආවරණය කරගත නොහැකි වූ නිසා මෙලෙස විභාගය කල් දමන ලෙස මෙම දරැවෝ අගමැතිතුමාගෙන් ඉල්ලූහ. එයට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා ඒ දරුවන්ට කියා තිබුණේ &විභාගය අපේ නොවෙයි. ඔයාලගේනේ. ඒ නිසා මම අධ්‍යාපන අමාත්‍යංශයේ කට්ටියටත් දන්වලා දරුවන්ට අසාධාරණයක් නොවන තීරණයක් ගන්නම්* කියායි. ඉන්පසුව ඒ ගැන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ද ඒ බව දැන්වූ අතර විභාග දිනය ප්‍රකාශයට පත් කිරීම නැවත පාසල් විවෘත කිරීමත් සමඟ සිදුකෙරෙන බවද නිවේදනය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේම විශාල වෙහෙසක් දැරැවේ කොරෝනාවෙන් විපතට පත් ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීමටයි. රාජ්‍ය බැංකු හා මහ බැංකුව වැනි ආයතනවලට ජනාධිපතිවරයාත් ජනාධිපති ලේකම්වරයාත් කොපමණ උපදෙස් දුන්නත් එම සහන ණය ප්‍රදානයන් සහ සෙසු ආර්ථික සහන ලබාදීම දිනෙන් දිනම පමා විය. දැන් මාස තුනකට ආසන්න කාලයක් සහන පමාවීම නිසා පීඩාවට පත් ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරයාට මේ ගැන දිගින් දිගටම පැමිණිලි කරන්නට වූහ.

අවසානයේ ගිය අඟහරැවාදා මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ එහි ප්‍රධානීන් ජනාධිපති කාර්යාලයට කැඳවීය. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරැ ද එහි වූහ. ජනාධිපතිවරයා මේ රැස්වීමට පැමිණ තිබුණේ අමෙරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් ගණනාවක මහ බැංකු කොරෝනාවෙන් බිඳවැටුණු ආර්ථිකයන් ගොඩගන්නට සකස් කළ සැලසුම් ද රැගෙනය. ඔවුනට පිළිවන් නම් අපට බැරි ඇයිද යන්න ජනපතිගේ ප්‍රශ්නය විය. ඔහුගේ කතාව ද උණුසුම් අදහස් වලින් පිරී පැවතුණි. තමන් හා රජය මාස තුනක් තිස්සේ ව්‍යාපාර සමාගම්වලට දෙන්නැයි නියම කළ සහන නොදෙන්නේ ඇයිද කියා දැඩිව ප්‍රශ්න කළ ජනාධිපතිවරයා බොරැ හේතු දක්වා කටයුතු ප්‍රමාද කරන්නන්ට දැඩි ලෙස අවවාද කළේය. පැය 24 ක් තුළ පවත්නා ප්‍රශ්න විසඳන ලෙස නියම කළ ජනාධිපතිවරයා මහජන මුදලින් ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබන මහ බැංකු ප්‍රධානීන්ට රජයේ තීන්දුවලට බාධා නොකරන්නැයි දැඩි ලෙස අවවාද කළේය.

ජනාධිපතිවරයාගේ සැර දේශනයෙන් පසු නිලධාරීන් ඇමතූ ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා රජයට අවශ්‍ය කරන දේ ගැන සවිස්තරව කරැණු කීය. ඒ සඳහා ගත හැකි විකල්ප පියවරයන් ද පෙන්වා දුනි. කෙසේ හෝ මේ අවවාද අනුශාසනා පිළිගෙන මහ බැංකුවට ගිය එහි අධිපති මහාචාර්ය ලක්ෂ්මන් ඇතුළු පිරිස හා මුදල් මණ්ඩලය කැඳවීය. හරියටම අඟහරැවාදා සවස 6.00ට රුස්වූ මුදල් මණ්ඩලය රාත්‍රී 7.00ට හමාර කරන විට මාස තුනක් තිස්සේ ප්‍රමාද කරමින් තිබූ සියලු තීරණ ගෙන අවසන් කර තිබිණි. මාස තුනක් කළ නොහැකි වූ දේ මහ බැංකු ලොක්කන් පැයෙන් කළේ පසුදා උදෑසන ජනාධිපතිවරයාට තත්ත්වය වාර්තා කළ යුතු බැවිනි. කවදාකවත් නොමැතිව එදින රාත්‍රී මහ බැංකු ලොක්කෝ වැඩ කළහ. අවශ්‍ය නව ණය යෝජනා කෙටුම්පත් කළහ. පසුදා උදෑසන වන විට සියල්ල සම්පූර්ණ කර තිබිණි. ජනාධිපතිවරයාගේ සැර කතාවට පින් සිදුවන්නට ගත යුතු තීන්දු සියල්ල ගෙන හමාර කර ඇත.

එහෙත් සමගි ජනබලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ජනාධිපතිවරයාගේ කතාවේ කිසිදු හොඳක් නොපෙනුණි. සමගි ජනබලවේගයේ අජිත් පී. පෙරේරා, ජ.වි.පෙ. නායක අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කතාව විවේචනය කළහ. අනුර දිසානායක කීවේ ජනාධිපතිවරයා මහ බැංකු බලධරයන් කැඳවා ප්‍රහාරය එල්ල කළේ මහ බැංකුවට නොව මුදල් ඇමැති ධූරය දරණ මහින්ද රාජපක්ෂට බවයි. මුදල් ඇමැතිවරයා නැතුව නිලධාරීන්ට පුප්පන්න යාමේ හොඳක් නැතැයි ද ඔහු කීය. සමගි බලවේගයේ අජිත් පී. පෙරේරා ද ජනපතිගේ කතාව දැඩි ලෙස විවේචනය කර තිබිණි. ඔහු කීවේ මෙලෙස නිලධාරීන්ට දොස් කීම වරදක් බවයි. එමගින් රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන්නේ යැයි ද කීය. සුනිල් හඳුන්නෙත්ති ජ.වි.පෙ. හිටපු මන්ත්‍රීවරයා ද ජනාධිපතිවරයාගේ කතාව දැඩි ලෙස විවේචනය කර තිබිණි.

විපක්ෂ දේශපාලනඥයන් ජනාධිපතිගේ කතාව දේශපාලන අරමුණින් විවේචනය කළ ද ඒ කතාවට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලින් ලැබී තිබුණේ හොඳ පිළිතුරකි. ජනාධිපතිවරයාගේ කතාවට සමාජ මාධ්‍ය ජාලාවල ඉහළම ප්‍රතිචාර හිමිවූ අතර බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ දැන් රටට නායකයකු සිටිනා බව වැටහෙන බවය. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතීන් ද ජනාධිපතිවරයාගේ කතාවට ප්‍රශංසා කර ඇත. මෙම කතාව කළ දා සවස චමල් රාජපක්ෂ මහතාගේ නිවෙසේ පැවැති පෞද්ගලික භෝජන සංග්‍රහයකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ. එහිදීත් ඔවුන් කතා කළේ ජනපතිගේ සැර කතාව ගැනයි. ඒ ගැන කිසිවක් නොකියා ජනාධිපතිවරයා සිනාසෙමින් සිටියදී බැසිල් රාජපක්ෂ මහතා කීවේ ^මාස්ක් එක දාගෙන කතා කළා නම් කතාවෙ සැර ගතිය පේන්නේ නැහැ කියායි.

මැතිවරණ කොමිසම හා පක්ෂ නායකයන් අතර හමුවක් ගිය බදාදා රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වුණි. සියලු පිළිගත් පක්ෂ ලේකම්වරුන් හා පක්ෂ ප්‍රධානීන් ගණනාවක් ඊට එක්ව සිටියහ. පැය තුනක් පුරා පැවති රැස්වීමේදී සාකච්ඡා කළ එකම මාතෘකාව වූයේ ඡන්දපොළ මට්ටමින් පක්ෂ කාර්යාල පිහිටුවන්නට ඡන්ද අපේක්ෂකයන්ට ඉඩ දෙන්නේද නැත්ද යන්න ගැනයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ සඳහා කැමැත්ත පෙන්වුවද රාජන් හූල් ඊට දැඩි ලෙස විරුද්ධ විය. සෙසු සාමාජිකයා වන නලීන් අබේසේකර ද හූල්ගේ පැත්ත ගැනීම නිසා ඡන්ද අපේක්ෂකයන්ට කාර්යාල පිහිටුවීමට අවසර නොලැබිණි. එය ඔවුනට ගම් මට්ටමින් තමන්ගේ ඡන්ද ලකුණ සහ මනාප අංකය ප්‍රචාරය කර ගන්නට අසීරැ බවට සියලු පක්ෂ නායකයෝ පැමිණිලි කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජලබලවේගය, එ.ජා.පය මෙන්ම ජ.වි.පෙ ද මෙහිදී සිටියේ එක මතයකය. එහෙත් රාජන් හුල් හා නලීන් අබේසේකර යන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඊට එරෙහි වීම නිසා ඊට අනුමැතිය නොලැබිණි. 

පසුගිය යහපාලන රජය කාලයේ සිදුවූ මහා බැඳුම්කර වංචාව ගැන කෙරෙන පරීක්ෂණ තවමත් හමාර නැත. මේ සතියේ ඒ ගැන නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කළේය. එමගින් කියැවුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බැඳුම්කර ගනුදෙනුව ගැන ප්‍රශ්න කරන ලෙසය. මෙම දෙදෙනාට අමතරව මුදල් අමාත්‍යංශයේ හිටපු උපදේශක ආර්. පාස්කරලිංගම් සහ මහ බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී වසන්ත කුමාර්ගෙන්ද ප්‍රශ්න කරන්නැයි නියම කර තිබේ. මහ බැංකු වංචාව ගැන විමර්ශනයට පත් කළ කොමිසමේ වාර්තාවට අදාළ නීතිමය පියවර ගැනීම සඳහා මෙම ප්‍රශ්න කිරීම සිදුකළ යුතුය යන්න නීතිපති මතය වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන් හමුවේ කරන ලද සැර කතාව ගැන විවිධ අදහස් පළවෙද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම බෙහෙවින් කාර්යබහුල වී තිබිණි. එම කතාව කළ දාට පසුදා ඊට ප්‍රශංසා කරමින් සහ සුබ පතමින් ගෝඨාභයගේ ෆේස්බුක් ගිණුම හා එක්වූ හිතවතුන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගියේය. මීට කලින් ‍ෆේස්බුක් ගිණුමේ සුබපැතුම් දස ලක්ෂය ඉක්මවා ගියේ මම ජනාධිපති වුණු දවසෙයි. ඉන්පස්සේ මේ විදියට සුබපැතුම් දස ලක්ෂය ඉක්මවා ගිය එකම අවස්ථාව මෙවරයි. ගෝඨාභය සිය හිතවතුන් සමඟ කියා තිබිණි. ඒ සමඟ ඊයේ දිනයට (20 වැනි සෙනසුරාදාට) යෙදී තිබුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් හිතවතුන් බොහෝ සංඛ්‍යාවක් ඔහුට සුබ පතා තිබිණි. උපන්දිනයට දින දෙකකට පෙර චීන ජනාධිපති ෂීජින් පින් ද විශේෂ සමරු සටහනක් මගින් ගෝඨාභයට සුබ පැතීය. තමන් දන්නා හඳුනන කාටත් උපන්දිනයට කලින්ම සුබ පතන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ජනාධිපති මල්ලී වෙත සෙනසුරාදා උදෑසනින්ම සුබ පැතුම් එක්කළ බව වාර්තා විය.

I ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00