2020 ජුනි 13 වන සෙනසුරාදා

ජනපතිගෙන් රජයේ සේවකයන්ට තහනමක්

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

  • මහින්දගේ 50ට ඉන්දියාවෙන් යෝධ තෑග්ගක්
  • මංගලගෙන් වජිරට ෂොට් එකක්
  • පෙරටුගාමීන්ට පහර දුන්නාට නාමල් ඇතුළු පක්ෂ නායකයන් ගණනාවකගේ විරෝධය
  • රාජන් හූල්ගේ කතාවේ වරදක් නැතැයි මැ.කෝ කියයි
  • ආණ්ඩුව මුල් මාස හයේදී රටට කළ දෙයක් නැහැ ජ.වි.පෙන් චෝදනා
  • කොරෝනා සහන ණය නොදුන් ආයතනවලට මැති ඇමැති විරෝධය

මේ සතියේත් දිගටම පුවත් මවන්නට පටන්ගත්තේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යාපනයේ ඩෑන් ටී.වී. ආයතනය සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම සඳහන් කරමින් කරන ලද ප්‍රකාශයක් නිසා පොදුජන පෙරමුණේ නායකයන් ආණ්ඩුවේ නායකයන් මෙන්ම ඇතැම් මැදහත් විද්වත්හු රාජන් හූල්ගේ මෙම ක්‍රියාකලාපය විවේචනය කළෝය. මෙහිදී රාජන් හූල් පසුව සඳහන් කළේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන්නැයි එම ප්‍රකාශය මගින් අවධාරණය නොකළ බවය. තමන් කීවේ දූෂිතයන්ට, වංචාකාරයන්ට ඡන්දය නොදෙන ලෙසයි කියා පැහැදිලි කිරීමක් කළේය. එහෙත් තමන්ට පහරදෙන්නේ පොදුජන පෙරමුණේ අය බවත් සිංහල භාෂාවෙන් කියවන කුණු කතා තමන් නොකියවන බවත් හූල් එහිදී කියා තිබුණි. මේ ගැන බොහෝ දෙනා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ද පසුව ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලෙස මැ.කො සභාපතිවරයා කීවේ රාජන් හූල් පොදුජන පෙරමුණට ඡන්දය නොදෙන්නැයි කියා ඇති බවක් නොපෙනෙන බවය. එසේම එහි වරදක් නොපෙනෙන බවද මහින්ද දේශප්‍රිය කීය. එහෙත් ඔහුගේ ප්‍රකාශය තමන් අනුමත නොකරන බව කියමින් මැ.කො සභාපතිවරයා ජාමේ බේරාගන්නට තැත් කර තිබිණි.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාම රාජන් හූල් මහතා ක්‍රියා කළ ආකාරයත් කරන ලද ප්‍රකාශත් නිසා ස්වාධීන කොමිෂන් සභා ගැන සමාජයේ තිබූ ආකල්පය වෙනස් වෙමින් තිබේ. මෙරට වෙනත් කිසිදු ස්වාධීන කොමිසමක සාමාජිකයකු රාජන් හූල් මෙන් හැසිරෙන්නේවත් ප්‍රකාශ නිකුත් කරන්නේවත් නැත. රාජන් හූල් ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මෙන්ම පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ද මැතිවරණ කොමිසමට කරුණු දැක්වූහ.

මහ මැතිවරණය පවත්වන්නට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කොට සතියක් පමණ ගතවන තෙක් ඊළඟ මැතිවරණ දිනය ප්‍රකාශ නොකිරීම ගැන සතිය මුලදී මැතිවරණ කොමිසමට විවේචන එල්ල විය. එහෙත් මනාප අංක ඇතුළත් ගැසට්ටුව නිකුත් කළ කොමිසම අනතුරුව මැතිවරණ දිනය ලෙස අගෝස්තු 05 නම් කළේය. නඩුව පැවති කාලයේ ඔවුන් අධිකරණයට කීවේ මෙතැන් සිට සති 9 – 11 අතර ඡන්දය තියන බවයි. ඉන් අනතුරුව ඒ ගැන කරුණු දක්වමින් පැවසුවේ නඩු තීන්දුව දෙන දිනයේ සිට සති 9ත් 11ත් අතර ඡන්දය තියන බවය. ඊළඟට මැතිවරණ කොමිසම පැවසුවේ තමන්ට සෞඛ්‍ය නිර්දේශ ලබා දී දින 60 – 70ත් අතර ඡන්දය පවත්වන බවයි. මේ ආකාරයට ඡන්ද දිනය ගැන තීන්දුව ගැනීම පමා වූයේ මැතිවරණ කොමිසම තුළ මේ ගැන පවත්නා මතභේද නිසා බව පසුව නිල නොවන ආරංචි මාර්ග තහවුරු කළේය. එහි එක් සාමාජිකයකු මැතිවරණය සැප්තැම්බරයේ තැබීමට යෝජනා කළ බවත් කියැවිණි. එහෙත් සභාපතිවරයා අගෝස්තු මාසයේ ඡන්දය තබන බව වාර කිහිපයක්ම කියා තිබිණි. එයට සූදානම් වීම සඳහා ඔහු මේ සතියේත් ගිය සති අන්තයේත් පෙරහුරැ ඡන්ද ගණනක් පැවැත්වීය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව වසර 50 ගෙවුණේ පසුගිය ජූනි මස 7දාටය. 1970 මැයි මස පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු දිවුරැම් දුන්නේ ජූනි මස 7දාය. 1970 මහින්ද සමඟ මැතිසබයට ආ අය අතරින් දැනටත් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින්නේ වාසුදේව නානායක්කාර මහතා පමණි. ජීවතුන් අතර සිටින්නේ අතාවුද සෙනෙවිරත්න මහතා පමණක් බව වාර්තා වෙයි. මහින්දගේ පාර්ලිමේන්තු දිවියට 50 පිරෙන දා ඔහු සිටියේ ගම් ප්‍රදේශය වන තංගල්ලේය. මහින්දට මෙරට දේශපාලන නායකයෝ රුසක්ම සුබ පැතූහ. ප්‍රදේශයේ ආගමික ස්ථාන ගණනාවක ආගමික කටයුතුවලට සහභාගි වූ අගමැතිවරයා තමන්ගේ ගම් ප්‍රදේශයේ ඡන්දදායක හිතවතුන් සමඟ සුහදව කතාබස් කරමින් එම සති අන්තය ගත කළේය.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම සුබ පැතූ ලෝක නායකයාය. එයින් නොනැවතුණු මෝදි මහතා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වා තිබුණේ මහින්දගේ අවුරුදු 50ට තිළිණයක් යැවිය යුතු බවයි. ඒ අනුව තානාපති කාර්යාල නිලධරයන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට ඇනවුමක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 50ක දේශපාලන ජීවිතය සැමරීමට කිලෝග්‍රෑම් 50 ක් බරුති දැවැන්ත කේක් ගෙඩියක් නිර්මාණය කරන ලෙසය. එහෙත් එකවර කිලෝ 50ක කේක් ගෙඩියක් නිර්මාණය කළ නොහැකි නිසා කිලෝ 25 ක් බරුති දැවැන්ත කේක් ගෙඩි දෙකක් නිර්මාණය කෙරිණි. එම කේක් ගෙඩි දෙක ඉන්දීය තානාපති කාර්යාල නිලධරයෝ අරලියගහ මැඳුරට ගෙනැවිත් බාරදුන්හ. අනතුරුව මහින්ද පැමිණ කේක් කපා අරලියගහ මැඳුරේ සියලුම සේවකයන්ටත් සිය හිතවතුන්ටත් කේක් පිරිනමා සතුට පළ කළේය.

මේ සතියේ කතාබහට ලක්වූ තවත් වැදගත් කරැණක් වන්නේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී සටනින් ඉවත් වීමය. පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමත් ඉන්පසුව එ.ජා.පය සජිත් පිල හා රනිල් පිල ලෙස වෙන්වීමත් ගැන මංගල දිගටම සිටියේ කනස්සල්ලෙනි. ඔහු ඡන්දය පරාජය වූ මුල් දිනවල සිය හිතවතුන් සමඟ කියා තිබුණේ තමන් මෙරට දේශපාලනයෙන් සමුගෙන ආර්ජන්ටිනාවේ පදිංචියට යන බවය. එහෙත් පක්ෂයේ බහුතර මතයට ගරැ කළ මංගල තවදුරටත් දේශපාලනයේ නිරත වූයේ සජිත් පිල සමඟයි. එහෙත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සුහද සබඳතාවක් පවත්වා ගනිමින් දෙපක්ෂය සමගි කරන්නට ද උත්සාහ දැරූ නමුත් සියල්ල අසාර්ථක විය. පක්ෂය බෙදී ඡන්දයට ඉදිරිපත් වීම ගැන මංගල දැඩි ලෙස කනගාටු විය. කෙසේ නමුත් සජිත් පිලෙන් නාමයෝජනා ලබා දී ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් දුරස්ව සිටි හෙතෙම ඉඳහිට රටේ ආර්ථික තත්ත්වය ගැන නිවේදන නිකුත් කරන්නකුගේ තත්ත්වයට පත්ව සිටියේය.

අවසානයේ ඔහු රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරැන් මුණගැසී තමන් මහ මැතිවරණ තරගයෙන් ඉවත්වන්නට ගත් තීන්දුව දන්වා සිටියේය. හැමෝම ඔහුට කීවේ යන්න එපා කියාය. එහෙත් සජිත් සමඟ ඔහු කෙළින්ම කියා තිබුණේ අවුරුදු 30 ක් දේශපාලනය කරල දැන් මට හුඟක් මහන්සියි. පක්ෂය බෙදිල ඡන්ද කරලත් වැඩක් නැහැනේ කියායි. අවසානයේ මංගලගේ මාතර ගබඩා වීදියේ නිවෙසට පළාතේ පාක්ෂිකයන් කැඳවූ ඔහු තමන් මෙවර මහ මැතිවරණ සටනින් ඉවත් වන බවත් තමන්ට මනාප ලකුණු නොකරන ලෙසත් ඉල්ලා සිටියේය. ඉන් අනතුරැව නිවේදනයක් නිකුත් කළ ඔහු තමන් මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවත් මෙතැන් සිට පාර්ලිමේන්තුවෙන් පිටත සිට නව දේශපාලන ව්‍යාපාරයක් දියත් කරන වගත් ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය ඉතා අකාර්යක්ෂම බව පැවසූ මංගල ඔහු ඒ බව ඔප්පු කර තිබියදීත් විපක්ෂය එය තේරැම් නොගෙන එක්සත්ව නොසිට බෙදී වෙන්ව ඇතැයි කීය. එසේම තමන් මේ දක්වා රුඳී සිටි සමගි ජනබලවේගයේ නායකයන්ටද සියුම් පහරක් එල්ල කරමින් මංගල සිය නිවේදනයෙන් කියා තිබුණේ මේ රට ගොඩගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවය. තමන් ගතවූ 30 වසර තිස්සේම නොවෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පැවසූ ඔහු සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් තවදුරටත් දේශපාලනයේ රුඳී සිටින ලෙස පවසද්දී කියා තිබුණේ පසුගිය කාලයේ තමන් කළ සමහර ප්‍රකාශ නිසා සමගි ජනබලවේගයේ ඡන්ද පදනමට හානි වූ බවට ද ඇතැමුන් කියා ඇති නිසා තමන් ගත් තීරණය නිවැරදි යැයි සිතන බවය. ඒ අනුව මාතර සමරවීර පරපුරේ දෙවැනි පරම්පරාව නියෝජනය කළ මංගල සමරවීර ශ්‍රී.ල.නි.පයෙන් දේශපාලනය අරඹා එ.ජා.පයට ගොස් එතැනින් සමගි ජනබලවේගයට සපැමිණ 30 වසරක් ඇවෑමෙන් මන්ත්‍රී දේශපාලනයෙන් සමුගැනීම මැතිවරණ පසුබිමේ සිදුවූ ඉකා වැදගත් වෙනසකි. එහෙත් මංගල ජනතා සේවාව තවදුරටත් කරන බව පසුව ප්‍රකාශ කළේය.

පසුගිය මාස 4ක පමණ කාලයක් තිස්සේ කොරෝනා වසංගතය නිසා අපට අගනුවර හා ඒ අවට පළාත්වල දේශපාලන උද්ඝෝෂණ හා පෙළපාළි දක්නට ලැබුණේ නැත. එහෙත් මේ සතියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල උද්ඝෝෂණයක් දියත් කළේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිවය. එහෙත් පොලීසිය ඊට අවසර දී තිබුණේ නැත. නිරෝධායන පනත අනුව ද ඊට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය උද්ඝෝෂණය වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කර තිබිණි. එය නොතකා සිය උද්ඝෝෂණය පවත්වන්නට හැදූ පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මේ අවස්ථාවේදී පොලීසිය සමඟ යම් ගැටුමක් ඇතිකර ගත්තේය. අවසානයේ පොලීසිය පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට ගත්තේය. මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ ඔවුනට ශරීරඇප ලැබිණි.

මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට්පත්‍රය මේ සතියේ නිකුත් විය. ඒ අනුව මෙතැන් සිට ඡන්ද දිනය දක්වා ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්නට පිළිවන. සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගය මේ සතියේ සිය ආසන සංවිධායකයන් කොළඹට කැඳවා ඡන්දයට අදාළ විශේෂ පුහුණු පෙරහුරුවක් පැවැත්වීය.

ඒ අතරතුර ගිය සඳුදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේ දී පවත්වන්නට යෙදුණු එ.ජා.ප. වෘත්තීය සමිති නායකයන්ගේ හමුවකදී හටගත්තේ බරපතළ උණුසුම් තත්ත්වයකි. පැමිණ සිටි වෘත්තීය සමිති නායකයන් අමතා කතා කළ රනිල් සිය පක්ෂයේ ජයග්‍රහණය ගැන විශ්වාසය ද පළකර ඇත. කෙසේ හෝ කතාව අවසන් කර ඔහු පිටව යන්නට සූදානම් වෙද්දී වෘත්තීය සමිති ප්‍රධානීහු පසුගිය රජය කාලයේ තම සේවකයන්ගේ දේශපාලන පළිගැනීම පිළිබඳවවත් අවධානය නොදැක්වූ බවට චෝදනා කරමින් ඝෝෂා කළහ. එවිට රංගේ බණ්ඩාර හා අකිල විරාජ් යන ජ්‍යෙෂ්ඨයෝ පිරිස සන්සුන් කරන්නට තැත් කළහ. අකිල කීවේ වෘත්තීමය සමිති ප්‍රධානීන්ගේ කතාව සාධාරණ බවකි.

එහෙත් වෘත්තීය සමිති ලොක්කන් අකිලගේ කතාව පිළිගත්තේ නැත. ඔවුන් තවදුරටත් සිය විරෝධය දක්වමින් සිට සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය කාර්යාලයට පැමිණියහ. එහිදී සජිත්ලා මුණගැසී තම දුක්ගැනවිලි ඉදිරිපත් කර තිබිණි. කෙසේ හෝ ඊට පසුදා මාධ්‍ය සාකච්ඡාවක් තැබූ සජිත් ප්‍රේමදාස මහතා කීවේ ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමන් ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිරිකොත මන්දිරය බාරගන්නට සූදානමින් සිටින වගයි. එය මාධ්‍යවල හෙඩ්ලයින් දැමිය යුතු පුවතක් බවද සජිත් මාධ්‍යවේදීන්ට කීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පැවැත්වූ උද්ඝෝෂණයේ දී ඔවුන් දැඩි ප්‍රහාරයකට ලක් කිරීම පක්ෂ ගණනාවක විරෝධයට ලක්ව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පහරදීම තමන් හෙළාදකින බවය. ඒ ගැන වහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් කරන ලද මෙම ප්‍රහාරය නිසා කොරෝනා මර්දනයේ දී පොලිස් දෙපාර්තමේන්තුව දිනාගත් හොඳ නමට හානියක් වී ඇතැයි බවයි. එබැවින් නීතිය ඉක්මවා ගිය අය ගැන වහා පරීක්ෂා කළ යුතු යැයි ඔහු පවසා තිබිණි.

සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පහරදීමට විරෝධය පළ කළේය. එබඳු විරෝධතාවක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් යැයි පැවසූ සජිත් ඒ ගැන රජය වගකිවයුතු යැයි කියා තිබේ. ජ.වි.පෙ. ද මෙම ප්‍රහාරය හෙළා දැක ප්‍රකාශයක් කළේය.

මංගල සමරවීර මහතා ඡන්ද අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තවත් අපේක්ෂකයෙක් සමගි ජනබලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත්ව පොහොට්ටුවට සහාය දීමට ඉදිරිපත් විය. සමගි ජනබලවේගයේ ගාල්ලට ඉදිරිපත් වීමට නාමයෝජනා බාර දී සිටි ඩෙනට් පනියන්දුව මහතාය. තමන්ට සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඉල්ලා අස්වන බව කී හෙතෙම තම ඉවත්වීම ගැන මැතිවරණ කොමිසමට ද දන්වා යැවූ අතර එදින සවසම කොළඹට පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඉදිරියේ දී තමන් රජයට සහාය දෙන බවට ප්‍රතිඥා දුනි.

ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණය ගැන සිය අදහස් දැක්වීම සඳහා එහි නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඒ සඳහා ජාතික ජනබලවේගයේ නිලධාරීහු ගණනාවක්ම එක්වූහ. මනාප සටනකින් තොරව ඡන්දය පවත්වන ජ.වි.පෙ. වෙනුවෙන් එහි නායකයා ජනතාවට ආයාචනා කළේ ප්‍රතිපත්තිගරැක හා විනයගරුක පාර්ලිමේන්තුවක් නිර්මාණය සඳහා ජනතාව ජාතික ජනබලවේගයට සහාය දෙන ලෙසය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්ව මාස 6 ක් ගතවී ඇතත් ඔහුට ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජ.වි.පෙ. නායකයා කීය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුව හිතන ආකාරයට මහ මැතිවරණයෙන් 2/3ක බලයක් ලබාගැනීම සිහිනයක් යැයි කී හෙතෙම 2009 යුද ජයග්‍රහණය ලද අවස්ථාවේවත් එබඳු ජයක් නොලැබුණු බව මතක් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ මැතිවරණ පසුබිමේ රාජ්‍ය සේවකයන්ට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කළේය. එමගින් ඔහු රජයේ සේවකයන්ට උපදෙස් දුන්නේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා රජයේ සේවකයන් දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවිය යුතු බවය. රජයේ සේවකයන් මෙන්ම ආණ්ඩුවේ සංස්ථා මණ්ඩල ප්‍රධානීන් ද කිසිදු දේශපාලන කටයුත්තක් කතා කළ යුතු නැතැයි යැයි කී ජනාධිපතිවරයා යමකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අවශ්‍ය නම් සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි යැයි ඔහු දන්වා තිබේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් තමන් කිසිම විටෙක දේශපාලනයක් අපේක්ෂා කරන්නේ නැතැයි ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීන් හා පක්ෂ නායකයන් ගණනාවක් පසුගියදා රජය ලබාදෙනවා යැයි පොරොන්දු වූ සහන ණය මුදල් කිසිවකුට ලැබී නැතැයි පැමිණිලි කළෝය. කොරෝනාවෙන් විපතට පත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටත් මහා පරිමාණ ව්‍යාපාරවලටත් 4%ක සහන පොලියට ණය නොසැපයීම ගැන ජනාධිපති කාර්යාලයට කරැණු දැක්වූ ඇමැති විමල් වීරවංශ ඇතුළු හිටපු මන්ත්‍රීන් ගණනාවක් කියා සිටියේ මහ බැංකුව තමන්ගේ යුතුකම ඉටුකර නැති බවයි. මේ නිසා ව්‍යාපාර සමාගම් මෙන්ම ඒවායේ සේවකයන්ගේ රුකියා ද අනතුරේ වැටී ඇතැයි පැවසූ හෙතෙම මහ බැංකුවේ නිලධාරීන් ඒ සඳහා බැංකුවලට ලබා දිය යුතු මූල්‍ය සහන පිරිනමා නැති නිසා ප්‍රශ්නය තවත් අවුල් වී ඇතැයි ද කීය. මේ ගැන මේ සතියේ කැබිනට් මණ්ඩලයේදීද සාකච්ඡා කළ අතර මහ බැංකු ප්‍රධානීන්ගේ හා ඇතැම් වාණිජ බැංකු ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය ඇමැතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

පොළොන්නරැව මැදිරිගිරිය ප්‍රදේශයේ හිටපු ගම්සභා මැම්බර් මහත්මයකු වූ එස්.බී. හේවාහැට මහතා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ශ්‍රී.ල.නි.ප. නායකයකු ලෙස සිටියදී බොහෝ කලක් තිස්සේ දැනහඳුනාගත් අයෙකි. දැන් ඔහු වියපත්ය. වයස අවුරැදු 86 කි. ගිය සතියේ අගමැතිතුමා අතටම දෙන්නැයි සඳහන් ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් මෙම %මැම්බර්^ මහතා විසින් අගමැති මැඳුරට එවා තිබිණි. එම ලිපිය විවෘත කළ අගමැතිවරයාට දැකගත හැකි වූයේ ලියා තිබූ තනි කොළයේ කෙටි ලිපියට අමුණා රුපියල් 5,000 කොළයක් ද ඇති බවයි. ඉන්පසු තම පැරණි මිතුරාගේ ලිපිය අගමැතිවරයා විසින් කියවන්නට යෙදුණි. එහි සඳහන් වූයේ තමන් වියපත්ව රෝගීව සිටිය ද කොරෝනා ව්‍යසනයෙන් රට විපතට පත්වීම නිසා කනගාටු වන බවත්, තමන්ගේ වත්කමේ හැටියට විපතට පත්වූ ජනතාවට සහන සලසන කොරෝනා සභා අරමුදලට මෙම රැපියල් 5,000ක මුදල ද බාරගන්නා ලෙසත්ය. තම පැරණි හිතවතාගේ ලිපිය කියැවූ මහින්ද රාජපක්ෂ එම මුදල ජනාධිපතිතුමාගේ කොරෝනා අරමුදලට බාරදුන්නේ හිතවත් %මැම්බර්^ මහතාගේ නම ද සිහිපත් කරමිනි.

සමගි ජනබලවේගයෙන් මංගල සමරවීර මහතා ඉවත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් නිසා යැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා තිබුණි. වජිරගේ ප්‍රකාශය ගැන කේන්තියට පත් මංගල ඊට සැර පිළිතුරක් ලබා දී තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේය. තමන් මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වීමට ගත් තීන්දුව පෞද්ගලිකව සිතා බලා ගත් දේශපාලන පියවරක් මිස දේශපාලන ඩීල් එකක් නොවන බව මංගල කියා තිබිණි. එය ඩීල් දේශපාලන ඔස්තාර්ලාට ඩීල් එකක් ලෙස පෙනී යන්නට පුළුවන් යැයි ද ඔහු කීය. මං පොරවෙන්න දඟලන ඩීල්කාරයෝ ඉන්නාතුරැ එ.ජාපයට අනාගතයක් නැති බවද මංගල ප්‍රකාශ කර තිබිණි. එ.ජා.පය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයක් තක්කඩියන්ගේ නවාතැන්පොළක් වී තිබීම ගැන තමන් කනගාටු වන්නේ යැයි ද මංගල සමරවීර සිය පිළිතුරේ අවසන් වශයෙන් දක්වා ඇත.

  ප්‍රකාශ් ඉරැගල්බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00