2020 මැයි 23 වන සෙනසුරාදා

වැලිසර කඳවුරේ සැඟවුණු රහස සොයන ලෙස ජනපතිගෙන් නියමයක්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 370

ශ්‍රී.ල.නි.ප.යෙන් ගිය මැති ඇමැතින්ගේ ටිකට් කැපෙයි
උකස් බඩු කඩවල පෝලිම් පෙන්වන්නැයි රනිල් මාධ්‍යයට කියයි
මැතිවරණ කොමිසම මාස දෙකකට බ්‍රේක් ගසයි
රාජිත වෙනුවෙන් සජිත්ලා උද්ඝෝෂණයේ
මංගලගේ අමුතු බණට සඟරුවනේ විරෝධය
අලුත් ලේකම්ලා පත්කිරීම ගැන ජ.වි.පෙ. විරෝධය
හරීන්-කාවින්ද වීඩියෝ ආරවුලක

 

 

පසුගිය වසරවල ඉහළින් සමරන ලද කොටි මහ විරු සමරුව මෙවර ඉතා සීමිත ආගමික චාරිත්‍රවලට පමණක් සීමාකරන ලෙස රජය උතුරේ දේශපාලනඥයන් ඇතුළු පිරිස්වලට උපදෙස් දී තිබිණි. දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතාද කල්තබා නිවේදනය කළේ කොරෝනා රෝගය පිළිබඳව රජය නිකුත් කර තිබෙන උපදෙස්වලට අනුව ජනතාව ක්‍රියා කළ යුතු බවය. ඒ අනුව උතුරේ මහ විරු සැමරුම සීමාසහිතව සිදුකැරිණි. වෙල්ලමුල්ලිවයික්කාල්හි ප්‍රභාකරන් මියගිය ස්ථානයේ කළ සැමරුමට 150ක පමණ පිරිසක් සහභාගී වූහ. යාපන නගරයේදී හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහවිරු සැමරුමක් ඉතා චාම් ලෙස පැවැත්වූ අතර වෙනදා මේ සඳහා මහා ඉහළින් සහභාගී වන හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ද යාපන ප්‍රදේශයේ ආගමික චාරිත්‍රයකින් කටයුතු හමාර කර තිබිණි. 

ලංකාවේ මහවිරු සමරුව මේ ආකාරයෙන් සරලව සිදුවුවද ජාත්‍යන්තරයේ යම් යම් ස්ථානවල මහවිරු සමරුව හා ඊට සමගාමී නොයෙක් කටයුතු සිදුවිය. එංගලන්තයේ සුප්‍රකට ගාඩියන් පුවත්පත් සමූහයට අයත් ගාර්ඩියන් වෙබ් අඩවිය මගින් සංචාරකයන්ට යොමුකර තිබූ ප්‍රශ්නාවලියක ඊළම කුමන ජනප්‍රිය දිවයිනක පවතින්නක්දැයි විමසා තිබිණි. මෙයින් නොනැවතුණු ඔවුන් එල්.ටී.ටී.ඊ.ය මෙරට දෙමළ ජාතිකයාගේ විමුක්ති සංවිධානය ලෙසද හඳුන්වා දී තිබිණි. මේ සිද්ධිය දැනගත් ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එහි මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියට ඒ බව පෙන්වා දුන්හ. වහා වෙබ් අඩවිය පරීක්ෂා කළ මහ කොමසාරිස්වරිය ගාර්ඩියන් වෙබ් අඩවිය කර්තෘ කැතරින් විනර් මහත්මිය අමතා මෙම හැඳින්වීම ගැන මහ කොමසාරිස් කාර්යාලයේ නිල විරෝධය දැක්වීය. මහා බ්‍රිතාන්‍යයද යුරෝපා ප්‍රජාවද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තිබෙන මෙම සංවිධානය විමුක්ති සංවිධිනයක් වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කළ බවද දැනගන්නට තිබේ. මහ කොමසාරිස් කාර්යාලයේ නිල ප්‍රශ්න කිරීම් හමුවේ තමන් කළ වරදේ තරම වටහාගත් ගාර්ඩියන් වෙබ් අඩවි කතුවරිය වහාම තමන් විසින් යොදන ලද ඊළාම් යෙදුම අදාළ වෙබ් අඩවියෙන් ඉවත්කර තිබිණි.

මහ මැතිවරණය පවත්වන ලෙස නියම කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් ඉල්ලා පාර්ශ්ව අටක් විසින් ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙයි. එහි ආරම්භක දිනය වූ සඳුදා මේ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන්නැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි මහත්මියත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාත් ප්‍රකාශ කළේ මූලික විරෝධතා ඉදිරිපත් කරමිනි. කෙසේ හෝ අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. දවස පුරාම ඔහු කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පාර්ශ්වයට කරුණු දැක්වීමට ඉඩ ලැබුණේ ඉන්පසුදාය. මෙම නඩු විභාගය පැවැත්වුණේ වෙනදා නඩු විභාග කරන අධිකරණ ශාලාවේ නොවීමද විශේෂයකි. ශ්‍රේෂ්ඨාධිකරණ සභා ශාලාව ඒ සඳහා යොදාගන්නට අගවිනිසුරුවරයා තීන්දු කර තිබිණි. ඊට හේතුවූයේ විනිසුරුවරුන්ට මෙන්ම නීතිඥ මණ්ඩලයටත් සෞඛ්‍යාරක්ෂිත ලෙස නියමිත දුර තබාගෙන අසුන් ගැනීමට අවශ්‍ය වූ නිසාය. සභා ශාලාවේ නඩුවක් විභාග කළ ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වෙයි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිසම මෙම නඩුවේ තීන්දුව ලැබෙන තෙක් බලා සිටින බව වාර්තා වෙයි. ඒ අතරතුර මහ මැතිවරණයට අදාළ මූලික සංවිධාන කටයුතු සිදුකෙරෙමින් පවතී.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්ජාල මාර්ගයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් මුදාහැර තිබුණේ පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත ප්‍රසිද්ධ මාධ්‍ය හමු පැවැත්වීමෙන් වැළැකෙමිනි. ඔහු එම වීඩියෝවෙන් ජනමාධ්‍ය වෙතද චෝදනාවක් එල්ල කර තිබිණි. රටේ පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තොරතුරු වසන් කිරීමට මත්පැන් මිලදී ගන්නට වෙළෙඳසල් අසල ජනතාව රැඳී සිටින පෝලිම් රූපවාහිනිය මගින් පෙන්වන බව ඔහු පැවසීය. එහෙත් ජනතාව එදාවේල සරිකර ගන්නට නොහැකිව තමන්ගේ කනකර බඩු උකස් කරන්නට උකස් බඩු කඩවල රැඳී සිටින පින්තූර පෙන්වන්නේ නැතැයිද රනිල් ප්‍රකාශ කළේය. පවතින කොරෝනා තත්ත්වය නිසා මෙරට පෞද්ගලික අංශයේ රුකියා ලක්ෂ 5ක් අවදානමේ යැයි එ.ජා.ප. නායකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කොරෝනාව නිසා ලෝක ආර්ථිකය ඍණ තත්ත්වයට පත්වෙමින් තිබේ. වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඇඟලුම් ආදායම පවා 60% පහත වැටෙතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී මෙරට ජනතාව බලවත් ආර්ථික පීඩනයකට මුහුණදෙනු ඇතැයිද අනතුරු ඇඟවීය.

කවදත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා නැවත මහා සංඝරත්නය ගැන කළ ප්‍රකාශයක් නිසා ඔහුට දැඩි ප්‍රහාර එල්ලවන්නට පටන්ගෙන ඇත. මෙරට සංඝ කල්ලි සිටින බවත් ඒ අයගේ ක්‍රියා කලාපය නිසා ශාසනය පිරිහෙන බවත් මංගල කී විට ඔහුට එරෙහිව මුලින්ම ප්‍රකාශය නිකුත් කළේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝය. උන්වහන්සේ මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය හෙළා දකිමින් බෞද්ධ විරෝධී ශාසන විරෝධී මත දරන්නකු ලෙස හැඳින්වීය. ඉන්පසු රටේ පිළිගත් නාහිමිවරුන්ද මේ ගැන දැඩි ලෙස මැදිහත් වූහ. මේ සතියේ මංගල ඒවාට නැවත පිළිතුරු දෙමින් වීඩියෝ පත් මුදාහැර ඇත. එමගින් කියා තිබුණේ තමන් පැවසූ දේ සත්‍ය බවකි. බුදුහාමුදුරුවන්ගේ කාලයේත් දේවදත්තලාගේ සංඝ කල්ලියක් තිබූ බවත් ඔහුට උදව් කළ අජාසත්තලා සිටි බවත් පැවසූ ඔහු බෞද්ධ දර්ශනය විකෘති වී ඇත්තේ එවැනි සංඝ කල්ලි නිසා යැයිද සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල දවසේ වැඩි කාලයක් වෙන්කර ඇත්තේ කොරෝනා රෝගය මර්දන කටයුතු සම්බන්ධ අධීක්ෂණයටයි. රටේ පොදු සමාජයෙන් දැන් කොරෝනා රෝගීන් වාර්තා නොවූවත් වැලිසර නාවික කඳවුරෙන් දිනපතා කොරෝනා රෝගීන් වාර්තාවීම ගැන ජනාධිපතිවරයා දැඩි අවධානය දක්වා සෞඛ්‍ය බලධරයන් විශේෂ හමුවකට කැඳවනු ලැබීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ජනාධිපතිවරයා කියා සිටියේ මෙතරම් හොඳින් නිරෝධායන කටයුතු දියත් කර තිබියදීත් වැලිසර කඳවුරේ නිතිපතා රෝගීන් වාර්තාවීම බලවත් ප්‍රශ්නයක් බවය. කොතැනක හෝ වැරදුණු තැනක් තිබේද? සැඟවුණු රහසක් තිබේද? කියා වහා සොයාබලා අවශ්‍ය පියවර ගෙන වැලිසර නාවික කඳවුර සාමාන්‍ය තත්ත්වයට පත්කරන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය ප්‍රධානීන්ට තද උපදෙසක් දෙමින් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයේදී පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවනු ලැබීය. මහ ලේකම් දයාසිරි ජයසේකර ආදීහු ඊට එක්වූහ. මෙම හමුවේදී මහ මැතිවරණය ගැනත් ඊට අදාළ නඩු හබ ගැනත් මූලික අදහස් හුවමාරුවක් සිදුවිය. අනතුරැව පක්ෂයේ විනය කටයුතු ගැන සාකච්ඡා විය. පක්ෂ තීන්දුව නොතකමින් පොහොට්ටුවට බැඳුණ හිටපු මන්ත්‍රීන් ගණනාවක් සම්බන්ධයෙන් වූ විනය ක්‍රියාමාර්ගවලට අදාළ වාර්තා මහ ලේකම් දයාසිරි ජයසේකර ඉදිරිපත් කළේය. එහිදී හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පක්ෂ ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව ඒ අයට විනය පියවර ගන්නට තීන්දු කැරිණි. කළුතර දිස්ත්‍රික්කයේ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පක්ෂය හැරගොස් දැන් පොහොට්ටුවෙන් ඡන්දයට තරග කරන බව පෙන්වා දුන් පසු ඔහු පක්ෂයෙන් හා එහි සියලු තනතුරුවලින් නෙරපීමට තීන්දු කෙරිණි. ඊළඟට පක්ෂයේ පැරණි සාමාජිකයන් කිහිපදෙනෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගම, ජීවන් කුමාරණතුංග, ගාමිණී තිලකසිරි ඇතුළු පිරිසක් කියා සිටියේ තමන්ට අසාධාරණයක් වූ අතර නාමයෝජනා නොලැබීම බලවත් වරදක් බවයි. එහෙත් පක්ෂය සමඟ දිගටම රැඳී සිටින වගද ඔවුහු කීහ. මෙහිදී පක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු යෝජනා කළේ ඒ සඳහා පක්ෂයට ප්‍රතිඥා දෙන ලිපියකට අත්සන් කළයුතු බවයි. ඒ අනුව තාවකාලිකව සැකසූ ලේඛනයක් මන්ත්‍රීන්ට ඉදිරිපත් කළ මහලේකම්වරයා තමන් ශ්‍රී.ල.නි.ප.ය හැර නොයන බවට ප්‍රතිඥා දෙමින් ලේඛනයකට අත්සන් කරන්නැයි කීය. පැමිණ සිටි හිටපු මන්ත්‍රීන් සියලුදෙනා ඊට අත්සන් කළ නමුත් තිලංග සුමතිපාල ඊට අත්සන් කළේ නැත. ඔහු ඒ ගැන ප්‍රකාශ කළේ තමන්ට අත්සන් කරන්නට ලැබුණේ ඡායා පිටපතක් නිසා අත්සන් නොකළ බවය.

මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව ශ්‍රී.ල.නි.ප.ය මාධ්‍ය හමුවක් කැඳවීය. එහිදී හිටපු ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව රටක් පාලනය ජනාධිපතිවරයාට අපහසු නිසා ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපතිවරයාට බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබාදිය යුතු වගයි. ඒ සඳහා ශ්‍රී.ල.නි.ප.ය කැපවන බව ඔහු කීය. මෙහිදී කොරෝනා මර්දනය සඳහා ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ කරන කැපවීම විශිෂ්ට බවද මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර තිබිණි. මැතිවරණය දිගින් දිගටම කල්යාමෙන් රටේ අර්බුද වැඩිවන බව පෙන්වා දුන් හෙතෙම වසර 5ක් පමණ ජනාධිපති ලෙස ක්‍රියාකළ තමන් සිය පාලන කාලයෙන් වැඩි කොටසක් ගත කළේ පාර්ලිමේන්තු සහයෝගයක් නොමැතිව යැයිද පැවසීය. පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මෙහිදී කියා තිබුණේ පාර්ලිමේන්තු ඡන්දය කල් දැම්මේ ජනාධිපති නොවන බවයි. කොරෝනා රෝගය නිසා මැතිවරණ කොමිසම ඡන්දය කල් දැමූ වග පෙන්වා දුන් ඔහු විපක්ෂය එය දඩමීමා කරගෙන පරණ පාර්ලිමේන්තුව කැඳවන්නට ගන්නා උත්සාහය තරයේ විවේචනය කළේය. පාර්ලිමේන්තුවට ආණ්ඩුවේ අත්‍යවශ්‍ය වියදම් ලබාගන්නට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව අනුමත නොකළ විපක්ෂය දැන් පැරණි පාර්ලිමේන්තුවක් ගැන කියමින් රට අස්ථාවර කරන්නට හදන්නේ යැයි පැවසීය. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයෝ මේ දිනවල මහ මැතිවරණය සඳහා සංවිධාන කටයුතු කරමින් සිටිති. පක්ෂ මහ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මගින් විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කෙරෙන අතර පරිගණක තාක්ෂණය භාවිතා කරමින් වීඩියෝ සාකච්ඡා මගින් ඡන්දය සංවිධානයට පියවර ගන්නා බව සමගි ජනබලවේග ප්‍රකාශකයෙක් කීය.
ඒ අතරතුර අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිදහස පතා කළුතර ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. එය සෞඛ්‍ය හා නිරෝධායන පිළිවෙත් අනුගමනය නොකර සිදුකළ දෙයක් බවට රජයෙන් චෝදනාවක්ද නැගිණි. එහෙත් සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, චම්පික රණවක ආදීහුද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඒ අතරතුර සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඔහු එහිදී අවධාරණය කළේ රටේ ගොවි ජනතාව පොහොර ඇතුළු යෙදවුම් නැතිකමින් විඳින පීඩාවයි. “ආණ්ඩුව වගා සංග්‍රාම කරන්නට කියනවා. ඒත් ගොවියාට පොහොර ටික නැහැ” යැයි සජිත් එහිදී කීය. රජය බලයට පත්වූයේ නොමිලේ පොහොර දෙන බව කියා වුවත් අද සල්ලිවලටවත් පොහොර නැතැයි ඔහු චෝදනා නැගීය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා රුපියල් කෝටි 700ක වියදමින් හෝමාගම ඉදිකරන්නට යන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිරීක්ෂණය කරමින් මාධ්‍යයට අදහස් දැක්වීය. සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයත් සමාජ මාධ්‍ය ජාලාත් ඒ ගැන දැඩි විවේචනයක් එල්ලකර තිබේ. සජිත් කීවේ කොරෝනා විපත මධ්‍යයේ බන්දුල ගුණවර්ධන ක්‍රිකට් ක්‍රිඩංගණ ගැන කතා කරන බවයි. එසේම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද මෙයට දැඩි ලෙස විරෝධය පළකළේය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇති බැවින් මෙය මෝඩ වැඩක් යැයි ඔහු පැවසීය. මෙරට දැන් ඇතිවෙන්නට ක්‍රිකට් පිටි ඇති බව අර්ජුන වැඩිදුරටත් කීය. ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම වන පාසල් ක්‍රිකට් සඳහා උපකරණ නැති යුගයක ජාත්‍යන්තර ක්‍රිකට් පිටි තනන්නට කතාකිරීම විහිළුවක් යැයිද අර්ජුන ප්‍රකාශ කර තිබිණි. අර්ජුනට අමතරව මහේල ජයවර්ධන, රොෂාන් මහානාම ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයන් රැසක්ද බන්දුලගේ ක්‍රිකට් කතාවට දොස් කීහ. එහෙත් බන්දුල ගුණවර්ධන කියා තිබුණේ තමන් කීවේ අද හෙට මෙම ක්‍රීඩාංගණය සකසන බවක් නොව අනාගතයේදි කෙරෙන්නට නියමිත ක්‍රිඩා සංවර්ධන කටයුත්තක් ගැන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැති රණවිරු සමරුව ඉහළින් සංවිධානය කරවා තිබිණි. අගමැතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝද ඊට එක්ව සිටියහ. මෙම රණවිරු සමරුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව විශේෂ වූවකි. ඔහු එහිදී සඳහන් කළේ රටටත් රණවිරුවන්ටත් එරෙහිව යන ජාත්‍යන්තර සංවිධාන හෝ සංගම්වලින් ඉවත්වීමට තම රට කිසිසේත්ම පසුබට නොවන බවය. යුද්ධය පරදවා රට ලබාගත් ජයග්‍රහණ ඔස්සේ ජනතාවට සාමයෙන් හා සමගියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකසන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.

හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා මහ සඟරුවන විවේචනය කොට පුවත් මවමින් සිටින අතර රණවිරු සමරුව ගැනද ආන්දෝලනාත්මක අදහසක් ඉදිරිපත් කළේය. මංගල කියන විදියට කොටි සංවිධානය පරදවා හමුදාව ලද යුද ජයග්‍රහණය සැමරිය යුතු දෙයක් නොවන බවය. මෙම සිවිල් යුද්ධයේදී මියගිය සියලු දෙනා ශ්‍රී ලාංකික කොල්ලන් බව මංගල කීය. ඒ නිසා යුද ජයග්‍රහණය සැමරීමට වඩා මේ සිද්ධියෙන් පාඩම් ඉගෙන ගැනීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු කීය.

එජාපයේ සජිත් පිල සහ රනිල් පිල ළඟදීම නැවත එක්වන්නට යන බවට ආරංචි පැතිර යද්දී එ.ජා.ප.ය එම කතාව ප්‍රතික්ෂේප කරයි. සජිත් පිලේ සමහරැන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත සාකච්ඡා කළ බවට ආරංචියක් පැතිර ගියද එය සජිත් පිලද ප්‍රතික්ෂේප කර තිබුණේ දැන් ඒ සඳහා වන කාලය ඉකුත්ව ගොස් ඇති බව කියමිනි. එහෙත් සජිත් පිලේ හිටපු තරුණ මන්ත්‍රීවරයකු වන රත්නපුරයේ හේෂාන් විතානගේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පසුගියදා කියා සිටියේ අද වනවිට රට තුළ ආණ්ඩු විරෝධී රැල්ලක් මතුව ඇති නිසා ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දීමට එ.ජා.ප.යේ බෙදී වෙන්වුණ කණ්ඩායම් දෙක නැවත එක්විය යුතු වගයි. ජනතාවද ඒ ගැන සිතන බව ඔහු ප්‍රකාශ කර ඇත. නමුත් පක්ෂ නායකයන් අතර මෙතෙක් ඒ ගැන කතාබහක් ඇතිවී නැතැයිද ඔහු කීය. එ.ජා.ප.ය හා සමගි ජන බලවේගය එක්විය යුතු වග රනිල් වික්‍රමසිංහ මහතා තේරැම්ගත යුතු යැයිද හේෂාන් විතානගේ කීය.

ජනතා විමුක්ති පෙරමුණ කොරෝනා කාලයේ කරන්නේ මාධ්‍ය හමු තබමින් ජනතාව දැනුවත් කිරීමය. රජයේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් ගැන ඔවුන් ක්‍රියාමාර්ග ගෙන තිබිණි. අනුර දිසානායක පක්ෂ නායකයා සහ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස අනුව, අමාත්‍යංශ ලේකම්වරුන් මේ ඡන්ද කාලයේ අලුතින් පත් කිරීම නීති විරෝධී බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එසේම රජයට මුදල් නැතැයි කියමින් රජයේ වැටුප් පරිත්‍යාග කරන්නැයි ඉල්ලන ආණ්ඩුව ඉන්ධනවලින් විශාල ලාභයක් ලබාගන්නා බව මාධ්‍ය හමුවක් තබමින් ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කීය. අධිවේගී මාර්ග සහ තවත් නොයෙක් සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කර ඇතැයි කී හෙතෙම ගිය ආණ්ඩුව සේම මේ ආණ්ඩුවද ජනතාව විශාල ණය බරකට යටත් කර ඇතැයි කීය. දැන් ඒකපුද්ගල ණය බර රුපියල් 6,50,000ක් බවයි. එසේම එක් පුද්ගලයකු මත විශාල බදු බරක් පැටවී ඇතැයිද මෙහිදී ඔහු අවධාරණය කර තිබිණි.

ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලසා බැලීමේදී මැතිවරණ කොමිසමේ නීතීඥවරයා දන්වා සිටියේ සෞඛ්‍ය නිර්දේශ ලැබුණු පසු තවත් සති 9ත් 11ත් අතර මහ මැතිවරණය පැවැත්විය හැකි බවය. එසේ වුවහොත් මහ ඡන්දය අගෝස්තු මාසයට කල් යා හැකි බවට දැනටමත් පුරෝකථන පලවී තිබේ. ඒ අතරතුර කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට රජය ලබාදුන් රු. 5000 මාසික සහනාධාරය ජුනි මාසයේදීත් ගෙවීමට පියවර නොගන්නා ලෙසත් රෝගී තත්ත්වය පාලනය වී ඇත්නම් එය ගෙවිය යුතුද යන්න සලකා බලන ලෙසත් මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැන්වීය. ඒ ගැන මේ සතියේ කැබිනට් මණ්ඩලය ද දීර්ඝ ලෙස සාකච්ඡා කොට අවසන් තීන්දුවකට එළැඹිනි. ඒ අනුව මැතිවරණ කොමිසම දැන්වූ පරිදි ජුනි මාසයේදී රු.5000 දීමනාව නොගෙවන ලෙස මහා භාණ්ඩාගාරයට නියම කළේය.

ආන්දෝලනාත්මක සමරිසි වීඩියෝවක් නිකුත් වීම සම්බන්ධයෙන් එ.ජා.ප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ජනාධිපතිවරයාට ද පැමිණිලි කර ඇත. තමන්ගේ රෑපයට සමාන පුද්ගලයකු යොදා කර ඇතැයි කියන මෙම වීඩියෝව සම්බන්ධයෙන් දැනටමත් සජිත් පිලේ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා හා කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා ආරවුලක පැටලී සිටී. මෙය කාවින්ද විසින් රහස් පොලීසියට ද පැමිණිලි කර ඇති අතර එයට හරීන් ප්‍රනාන්දු මහතාගේ සමීපතම හිතවතියක වන හිටපු පළාත් සභා මන්ත්‍රීනී මල්ෂා කුමාරණතුංගගේ ද නම පටලැවී තිබේ. රහස් පොලිසිය මල්ෂාගෙන් ඒ ගැන ප්‍රශ්න කර ඇය මෙම වීඩියෝව ප්‍රචාරය කිරීමට සම්බන්ධ ද යන්න විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ. ඉදිරි කාලයේදී මේ ගැන පරීක්ෂණ හමාර කොට අදාළ සිද්ධියට වග කිවයුත්තන් අධිකරණය හමුවට පමුණුවන බව පොලීසිය පවසයි.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර