2020 මැයි 02 වන සෙනසුරාදා

ඇඳිරිය අස්සේ හිටපු මන්ත්‍රීලා දෙදෙනෙක් මැතිසබේට රිංගති

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 587

  • නාවික භටයන් බේරාගන්න ජනපති විශේෂ මෙහෙයුමක
  • බොඩි බෑග් දහස ගැන මහින්ද රාජපක්ෂ දුන් උත්තරය
  • සමගි ජන බලවේගය සමඟ ගිය අයට එ.ජා.ප.යෙන් විනය පියවර
  • විපක්ෂයේ පක්ෂ ගණනක් පැරැණි මැතිසබය නැවත කැඳවන්නැයි ඉල්ලයි: ජ.වි.පෙ නිහඬයි
  • මැතිසබා ආරක්ෂාවට හමුදාව කැඳවීම ගැන කරු අගමැතිගෙන් විමසයි
  • කොළඹ සිරවී සිටින පිරිස අගමැති ලේකම්ට කියූ අමුතු කතාව

සති හයකට වැඩි කාලයක් ව්‍යාකූල තත්ත්වයට පත්ව තිබෙන රටේ දේශපාලන ක්ෂේත්‍රය ප්‍රකාශ, නිවේදන හා මාධ්‍ය හමුවලට පමණක් සීමා වී තිබේ. ඒ හැර ඇතැම් අවස්ථාවල සුළු සුළු ක්‍රියාකාරකම්ද දක්නට ලැබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනකට පැය 15 කටත් වැඩි කාලයක් කැප කරන්නේ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙනි. ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් සමඟ මෙන්ම සෞඛ්‍ය අංශ බලධරයන් සතියකට වාර ගණනාවක් හමුවෙමින් ඔහු උත්සාහ කරන්නේ රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමටය.

මෙම රාජකාරි අතරතුර පසුගිය 25දා කතරගම බලා ජනාධිපතිවරයා පිටත්ව ගියේ අනෝමා රාජපක්ෂ මහත්මියද සමඟය. මේ දිනවල කතරගම බැතිමතුන් නොමැතිව පාළුවට ගොසිනි. ජනාධිපතිවරයා එහිදී මහ දේවාලයේ විශේෂ පූජාවකටත් පුදබිමේ සංවිධානය කර තිබූ සර්ව රාත්‍රී පිරිත් දෙසුමකටත් එක් වී කොරෝනා විපතින් රට බේරා දෙන්නැයි භාරහාරවූ බව කියැවෙයි.

ජනාධිපතිවරයා එම කටයුතු කරන අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම නිවසේ දී මෙවර සිටින විදේශ තානාපති අංශ ප්‍රධානින් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානින් ද හමු විය.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ රෝගින් හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල ඇති පී.සී.ආර්. යන්ත්‍ර කිහිපයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාද උප කුලපතිවරැන් ද කැඳවා විජේරාම නිවසේ සාකච්ඡාවක් පැවැත්වූහ. එහි දී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ මෙම අර්බුදයෙන් ගොඩ එන්නට පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතු බැවින් විශ්ව විද්‍යාල ඒ සඳහා සහාය දිය යුතු බවය. ඊට සරසවි බලධරයන් කැමැත්ත දැක්වූ නමුත් ඔවුන් කීවේ තම සරසවි සතු යන්ත්‍ර පිටතට ලබා නොදී තම රසායනාගාර තුළම පරීක්ෂණ කළ හැකි බවය. වෛද්‍ය අනිල් ජාසිංහ ඊට එකඟ වූ නමුත් කරනු ලබන පරීක්ෂණ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණයට යටත්ව කළ යුතු බව කීය.

නාවිකා හමුදා භටයන් 200ට අධික ගණනාවකට කොරෝනා වැළඳීමෙන් හටගත් තත්ත්වය ගැන සාකාච්ඡාවක් ජනාධිපතිවරයා විසින් සඳුදා කැඳවා තිබිණි. ඊට ආරක්ෂක අංශවල හිටපු ප්‍රධානීන් ද සෞඛ්‍ය අංශ බලධාරයන් ගණනාවක්ද පැමිණ සිටියහ. හමුදා කඳවුරු තුළ සෞඛ්‍ය ආරක්ෂාවට වැඩපිළිවෙළක් සංවිධානයටත් එය අධීක්ෂණය ජනාධිපති කාර්ය සාධන බලකායට පැවරීමටත් මෙහිදී ජනාධිපතිවරයා නියම කළේය. රෝගීන් සමඟ සමීපව සේවය කරන පිරිස් වහා නිරෝධානය කළ යුතු යැයි ද ඔහු පෙන්වා දී තිබිණි. ආරක්ෂක අංශ සේවය සැලසීමේදී වරදක් සිදුව තිබේ නම් ඒ කොතැනද යන්න හඳුනාගත යුතු යයි ද ජනාධිපතිවරයා කීය. මේ අවස්ථාවට බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවුක හමුදාපති ජයන්ත පෙරේරා, සිවිල් ආරක්ෂක අංශ ප්‍රධානී ආනන්ද පීරිස්, මේජර් ජනරාල් සුමේධ පෙරේරා, වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන හා වෛද්‍ය වජිර සේනාරත්නද එක් වූහ.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන විපතට පත් ජනතාවට පහසුකම් සැලසීමේ කාර්යංශය දවසේ පැය 24 පුරාම සේවය සලසන්නේ අරලියගහ මැඳුරේ සිටයි. බැසිල් රාජපක්ෂ මහතාට මෙහිදී සහය වන්නේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකි. මෙහි නීති කටයුතු සඳහා උපදෙස් දීමට මහාචාර්ය ජී.එල්.පීරිස් හා හිටපු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල පත්කර තිබේ. වසා දැමූ කෘෂිකර්මාන්ත හා ව්‍යාපාර ආරම්භය සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම විසින් ඉටු කරනු ලබයි. තවත් බොහෝ ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ නිලධාරීහු ඊට සහය දෙති. 

පසුගිය සතිය පුරාම අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් පවත්වාගෙන යන පැමිණිලි ඒකකයට පැමිණිලි රාශියක් ලැබිණි. ඒවායෙන් කියවුණේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ විවිධ හේතු මත කොළඹට පැමිණ සිටි අයත් ඉදිකිරීම් ඇතුළු වැඩබිම්වල සේවය කළ අයත් කොළඹ සිරවී සිටින බැවින් ඔවුන්ට වහාම ගම් බිම් බලා යන්නට අවසර දෙන ලෙසයි. එක් තැනැත්තෙක් අගමැති ලේකම් ගාමිණී සෙනරත්ට දුරකථනයෙන් කියා තිබුණේ සර්ල පිටරටවල ඉන්න ළමයි මිනිස්සු ප්ලේන් යවලා රටට ගෙන්න ගන්නවා කොළඹ හිරවෙලා ඉන්න අපිට ගමට යන්න දෙන්නෙ නැහැ මොකද්ද මේකෙ තේරුම? කියාය. මේ ආකාරයට පැමිණිලි ලැබීමෙන් පසු ක්‍රියාත්මක වූ අග්‍රාමත්‍ය ලේකම්වරයා මෙලෙස හිරවී සිටින පිරිස් ගාන සංගණනගත කරවූයේ ඉතා දුෂ්කර පසුබිමක් යටතේය. එහිදී දැනගන්නට ලැබුණේ 42,000 ක් පමණ ගම්වලට යෑමට නොහැකිව කොළඹ විවිධ ස්ථානවල සිර වී සිටින බවය. එයින් 7500 ක් පමණ වහා ගම්වලට යා යුතු අය බවද පෙනුණි. පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්නන් 29 දෙනෙක්ද මෙලෙස සිරවූ අය අතර වූහ.

අවසානයේ මොවුන්ගෙන් පිරිසක් තම ගම්බිම්වලට යැවීමට රජය සැලසුම් කළත් බොහෝ ගම් ප්‍රදේශ වල ජනතාව ඊට විරුද්ධ බව ප්‍රාදේශීය දේශපාලකයෝ අගමැති කාර්යාලයට දැන් වූහ. ඉන්පසු කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශ වල සිරවී සිටින අය නොමැතිව පිටත නාගරික ප්‍රදේශවල සිරවී සිටින තැනැත්තන් මුලින්ම ගම්බිම් වෙත යැවීම සඳහා තීන්දු කෙරිණි. එහෙත් වැලිසර නාවික කඳවුරේ සෙබලුන් 200 කට පමණ රෝගය ආසාදනය වීමත් ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරා තිබීමත් හේතුවෙන් කොළඹ සිරවී සිටින පිරිස් ගම්බිම් බලා යැවීම අවසන් මොහොතේ අත්හිටුවන්නට සිදුවිය. ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ගිය සඳුදා හා අඟහරැවාදා කොළඹ මහා දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් අමතා තත්ත්වය පැහැදිලි කොට සිරවී සිටින ජනතාවට ආහාරපාන සැපයීමට වහා මුදල් නිදහස් කරන ලෙස මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කීය.

සහන සැලසීමේ කාර්ය සාධන බලකා හමුවට මේ සතියේ ආරැමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාද පැමිණ සිටියේය. එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා විශේෂ කරැණක් හෙළිදරව් කළේය. බැසිල් කීවේ ලංකාවේ සිටින්නේ පවුල් ලක්ෂ 65ක් වුවත් පවුල් ලක්ෂ 72ක් රුපියල් 5000 ආධාරය ලබා ඇති බවය. මෙය පුදුම සහගත බව බොහෝ දෙනා කියද්දී කරුණු පැහැදිලි කළේ තොණ්ඩමන් අමාත්‍යවරයායි. පවුල් ගණන ලක්ෂ 65 වෙන්න ඇති. ඒත් මෙතන ප්‍රායෝගික ප්‍රශ්නය මේක නොවේ. දැන් වතුකරේ පවුල් ලක්ෂ ගාණක් ඉන්නවා. එක ගෙදරක එකම ගෘහ මූලික අංකය යටතේ ප්‍රධාන පවුල ඇතුළේ තවත් අනු පවුල් දෙක තුන ඉන්න ලයින් කාමර තියෙනවා. එහෙම තැන් වලදී අපි ඔය කියන අනු පවුල්වලටත් රැපියල් 5000 දුන්නා... තොණ්ඩමන් කරුණු පැහැදිලි කළේය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය පවතින තත්ත්වයට මුහුණ දිම සඳහා සිය පක්ෂය තුළ ක්‍රමෝපාය සැලසුම් ඒකකයක් පිහිටුවා ඇත. සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, හර්ෂ ද සිල්වා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ රැසක් මෙම ක්‍රමෝපාය සැලසුම් කමිටුවේ සමාජිකත්වය දරති. මාධ්‍ය හමු පැවැත්වීම, රජයේ අසාර්ථක කොරෝනා මර්දන මෙහෙයුම ගැන ජනතාවට ඒත්තු යන ආකාරයේ දැනුම්වත් කිරීම සහ ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙන පළාත්වලට ගොස් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත්කිරීම ආදි කටයුතු මෙමගින් සංවිධානය කර තිබේ. මෙහි ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ රජය ගෙනයන කොරෝනා මර්දන වැඩසටහන සහ මුලින්ම අවුලක් වී ඇති බවය. ඒ නිසා රට බලවත් අනතුරකට වැටී ඇතැයිද එරාන් චෝදනා ගැනීය. කොරෝනා ගැන මුල්ම තොරතුරු ලද මොහොතේ ගුවන්තොටුපොළ වසා දැමීම, පරීක්ෂණ කඩිනම් කිරීම ආදී කරුණු ගැන රජය නිසි ලෙස පියවර නොගත් බව ඔහු පැවසීය. මේ සියල්ල තිබියදී රජය මහ මැතිවරණය ඉක්මනින් තැබීම ගැන උනන්දුවීම බලවත් වරදක් බවද එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අතර නව පාර්ලිමේන්තුව ජූනි මස 02දාට පෙර කැඳවිය නොහැකි නම් පැරණි පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව විපක්ෂය කියයි. ඒ ගැන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරිණි. එසේ පාර්ලිමේන්තුව යළි කැඳවූ පසු සුදුසු අවස්ථාවක නැවතත් ජනාධිපතිවරයාට මැතිසබය විසුරැවා හැරිය හැකි යැයිද මේ පක්ෂ නායකයෝ කියති. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආර්. සම්පන්දන්, රවුෆ් හකීම්, චම්පික රණවක ආදී පක්ෂ නායකයෝ මෙම ලිපියට අත්සන් තබා තිබේ.

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයන් ගණනාවක් සඳහන් කළේ රජය කිසිම ආකාරයකට පැරණි පාර්ලිමේන්තුව නැවතත් නොකැඳවන බවය. ඒ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවන්නට පැමිණි රෝහිත අබේගුණවර්ධන ඇතුළු හිටපු මැති ඇමැති පිරිසක් ආණ්ඩුව හදිසියේ මියගිය තැනැත්තන් ආදාහනය සඳහා භාවිතාකරන බහලුම් (Body bag) 1000ක් ඇණවුම් කිරීම ගැන ප්‍රශ්න කළහ. එහිදී සිනාසුණු මහින්ද දුන්නේ අපූරු උත්තරයකි. දැන් ලංකාව පුරා මිනි පෙට්ටි සාප්පුවල මිනී පෙට්ටි හදනවා... ඒ වගේ හදපු මිනී පෙට්ටි දහස් ගණනක් දැන් ඒ සාප්පුවල ඇති. මිනී පෙට්ටි හදන එකෙන් අදහස් වෙනවද හදිසියේ රටේ දහස් ගණනක් මැරෙනවයි කියන එක. ඒ වගේ වැඩක් තමයි මේකත්... අපි කල් තබා ඕන දේකට සූදානමින් ඉන්නවා. අතන අවුරුද්දකට පාරක් මගේ හිතේ ඔය විදිහට බෑග් ඕඩර් කරනවලු... ඒක සාමාන්‍ය ක්‍රියාපටිපාටිය.. මහින්ද මැති ඇමැතින්ට හොඳ කරුණු පැහැදිලි කිරීමක් කරමින් කීය. 

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා ඇතැයි විපක්ෂය චෝදනා කරයි. ඒ ගැන මාධ්‍ය හමුවක්ද තැබීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් කීප දෙනෙක් මේ ගැන සොයා බලන්නට පාර්ලිමේන්තුව වෙත යෑමට තීන්දු කළෝය. පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර දැනුවත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරැ ඒ සඳහා ඉදිරිපත් වූහ. ඔවුහු මේ දිනවල වසා දමා ඇති පාර්ලිමේන්තු පිවිසුම වෙත ගොස් තමන්ට මැතිසබා කාර්යාලයේ තිබෙන බැංකුව වෙත යෑමට අවශ්‍ය බව දැන්වූහ. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය වේත්‍රධාරිවරයා රැඳී සිට ඇති අතර ආරක්ෂක අංශ අවසරය ඇතිව හිටපු මන්ත්‍රීන් දෙපොළ නියෝජ්‍ය වේත්‍රධාරී කාර්යාලයට මේ දෙදෙනා යන විට එහි යුද හමුදා ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරයකු නියෝජ්‍ය වේත්‍රධාරී සමග සාකච්ඡාවක නිරතවී සිටිනු දක්නට ලැබිණි. මේ අයද එතැනට ගොස් බැංකු කටයුතු පසෙක තබා හමුදා නිලධරයාගෙන් විමසුවේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට හමුදාව යොදවා ඇත්ද යන්නයි. ඊට ඔහු කියා ඇත්තේ පාර්ලිමේන්තුවට නොව ඒ අවට පරිශ්‍රයේ පොලිස් නිලධරයන් හදිසි රාජකාරි සඳහා අනයුක්ත කර ඇති නිසා ඒ කලාපයට හමුදා නිලධරයන් ස්වල්ප දෙනෙක් යොදවනු ඇති බවය. ඒ ගැන ආරක්ෂක ඇස්තමේන්තුවක් ලබාගත්තේ දැයි හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය. එය තමන්ගේ කාර්යයක් නොවන බව හමුදා ප්‍රධානියා කීය. මේ ආකාරයට නියෝජ්‍ය වේත්‍රධාරි සමඟද සාකච්ඡා කළ මන්ත්‍රීන් දෙපොළට ඒ අය කීවේ පාර්ලිමේන්තුවේ පිටත පරිශ්‍රයට හමුදාවේ නිලධාරින් පිරිසක් කැඳවා ඇති බවය. මේ කතාබහෙන් පසුව හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරැන් පිටත්ව ගියෝය.

හිටපු කතානායක කරු ජයසූරිය මහතාටද මෙම තත්ත්වය වාර්තා වී තිබුණි. තානාපති අංශ ගණනාවක් ඔහුගෙන් ඒ පිළිබඳව කරුණු විමසූ බව වාර්තා විය. ඒ අනුව කරැ ජයසූරිය මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතා කළේය. හමුදා ආරක්ෂාව පාර්ලිමේන්තුවට යෙදවීම ගැන ප්‍රශ්නයක් ඇතැයි කරු ජයසූරිය මහතා කී විට මහින්ද කීවේ මේ නිලධාරින් පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව සඳහා යෙදවූ වගය. හදිසි කටයුතු සඳහා පොලිසියේ නිලධාරින් පිරිසක් ඉවත් කරන්නට සිදුවූ නිසා පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂාව සඳහා හමුදාවේ නිලධාරින් පිරිසක් යෙදවූ බව මහින්ද පැහැදිලි කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයක් නොවන වගද ඔහු කීය. එවිට කරැ ජයසූරිය මහතා කීවේ මේ ආරක්ෂක රැකවරණ සඳහා STF (විශේෂ කාර්ය බළකාය) යෙදවූයේ නම් ප්‍රශ්නයක් නොවන වගයි. අගමැති මහින්ද ඊට පිළිතුරැ දෙමින් කියා තිබුණේ දැන් කොරෝනා මර්දන කටයුතු සඳහා STF සෙබළුන්ද යොදවා ඇති බැවින් එය කළ නොහැකි බවකි. අනතුරුව කරුණු දැක්වූ කරු ජයසූරිය මහතා තමන් මෙම කරැණු කියන්නේ ඉතා සද්භාවයෙන් බවත් පාර්ලිමේන්තු පරිශ්‍රයට හමුදාව කැඳවීම ගැන දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ප්‍රශ්න කරන්නට පටන් ගෙන ඇති බවත් සඳහන් කළේය. එහෙත් එය ගැටලු සහගත තත්ත්වයන්ට හේතුවනු ඇතැයි තමන් අදහස් නොකරන බව මහින්ද කරෑට කීය. 

එ.ජා.පයේ රනිල් හිතවාදි ජ්‍යෙෂ්ඨයන් මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරන්නේ පක්ෂයෙන් කැපී ගොස් සමගි ජනබලවේගය (සජිත් පිල) සකස් කරගත් කණ්ඩායමට විනය පියවර ගෙන පක්ෂයෙන් ඉවත් කරන ලෙසය. මේ සම්බන්ධයෙන් සජිත් පිලේ මෙන්ම රනිල් පිලේ හිතවාදීන් අතරද විවිධ මත පවති. සජිත් පිලේ සමහරුන් නැවත රනිල් සමග එක්වන්නට යන බවටද පසුගියදා ප්‍රචාරයක් තිබිණි. කෙසේ හෝ පක්ෂයෙන් ඉවත්ව දැනට සමගි ජන බලවේගය සමඟ එක්ව සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට සිරිකොත දැනටමත් සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගණනාවකට එ.ජා.පය මේ වනවිටත් නිල නොවන මට්ටින් දක්වා ඇත්තේ ඔවුන් තවදුරටත් එ.ජා.ප විනයට යටත්ව ක්‍රියා නොකළොත් විනය පරික්ෂණ පවත්වා පක්ෂයෙන් ඉවත් කරන වගයි. 

ඒ අතරතුර විපක්ෂයේ හා තවත් සිවිල් සංවිධාන ගණනාවක මෙහෙයවීමෙන් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමටත් ජනාධිපති විසින් මැතිසබය විසුරැවන්නට ප්‍රකාශ කළ ගැසට්ටුව අවලංගු කරන්නටත් නඩු 9ක් පවරන්නට යන බව වාර්තා වෙයි. මේ දිනවල ශ්‍රෙෂ්ඨාධිකරණය වසා දමා තිබෙන නිසා ඒ සඳහා වෙනත් නීතිමය ප්‍රතිපාදනයක් උපයෝගී කරගෙන අදාළ නඩු භාරදීමට සැලසුම් කර තිබේ. ව්‍යවස්ථානුකූලව ජූනි මස 02 දිනට (මැති සබය විසුරැවා මාස 3ක් තුළ) එය නැවත කැඳවිය යුතුය. එහෙත් පවත්නා තත්ත්වය අනුව ඒ දිනට අලුත් පාර්ලිමේන්තුව කැඳවා ගන්නට නොහැකිය. එබැවින් පැරණි පාර්ලිමේන්තුව බලාත්මක කරන්නැයි විපක්ෂය ලිඛිතව ඉල්ලා ඇත. එහෙත් ඊට ජ.වි.පෙ. අත්සන් කර නොමැත. හිටපු කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර තිබුණේ පැරණි පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන්ට ඉල්ලීම් ලැබී ඇතත් අධිකරණ නියෝගයකින් තොරව එය ඉටු නොකරන වගයි.

මැතිවරණ කොමිසම මහ මැතිවරණය ගැන තීන්දුවක් ගැනීම මැයි මස මුල් සතියට කල් දමා තිබේ. එයට පෙර නැවත පක්ෂ නායකයන් හමුවීමටද මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව වාර්තා වෙයි. මැතිවරණ දිනය නැවත වෙනස් කිරීමක් කරන්නේ නම් ඒ ගැන වෛද්‍ය විශේෂඥ කමිටුවකින් අදහස් විමසා බැලීමටද මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව සඳහන්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි සමඟ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පසුගියදා ජනාධිපති කාර්යාලයට පැමිණියහ. මහ නාහිමියන් හා කාදිනල් හිමියන් ප්‍රථමයෙන්ම සාකච්ඡා කළේ කොරෝනා රෝග තත්ත්වය පාලනයට ගෙන ඇති පියවර ගැනයි. එම වැඩසටහන මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ගැන මහ නා හිමියනුත් කාදිනල්තුමාත් ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළෝය. අඩුපාඩු ගණනාවක්ද මෙම දෙපොළ විසින් පෙන්වා දුන් අතර පරීක්ෂණ කඩිනම් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කැරිණි. ඉන්පසු ජනාධිපතිවරයා කීවේ ඉදිරියේ එන වෙසක් උත්සවය උත්සවාකාරයෙන් සැමරීම අපහසු බවය. මහ නාහිමියෝද එය අනුමත කළහ. නිවසේ සිට ජනතාවට වෙසක් සමරන ලෙස ඉල්ලා සිටීම හොඳ බවත් ඒ සඳහා ජනමාධ්‍ය සහාය ලබාගත හැකි බවත් නාහිමියෝ පෙන්වා දුන්හ.

අනතුරැව පාස්කු ප්‍රහාර පරීක්ෂණවල ප්‍රගතිය සාකච්ඡාවට ලක්විය. මේ ගැන වගකිවයුත්තන් කෙසේ හෝ නීතිය හමුවට ගෙන ආයුතු බවත් ප්‍රහාරය පිටුපස තිබෙන සැඟවුණ අරමුණු ගැන හෙළිදරව් විය යුතු වගත් කාදිනල්තුමෝ පෙන්වා දුන්හ. ජනාධිපතිවරයා එම පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් කාදිනල්තුමාට කරැණු කීය. ඉදිරියේ එළඹෙන මහ මැතිවරණය ආරවුල්වලින් තොරව පවත්වාගෙන යන්නට ඡන්ද ප්‍රචාරණ කටයුතු මාධ්‍ය ඔස්සේ කළ හැකි නම් ඉතා හොඳ බව මහ නා හිමියනුත් කාදිනල් හිමියනුත් පෙන්වා දුන්හ. එහෙම කළොත් තාප්ප වගේ පරිසරය අපවිත්‍ර වෙන්නෙත් නැහැ. කාදිනල් හිමියෝ කීහ. ඒ ගැනද අදාළ වගකිවයුතු අංශ සමඟ සාකච්ඡා කරන්නට සූදානම් යැයි ජනාධිපතිවරයා කීය.

-ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර -

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00