2020 මාර්තු 14 වන සෙනසුරාදා

මහ ඡන්දයට තුන්කොන් සටනක්

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 516


දේශපාලන සටන් මැද ගෝඨාභය කොරෝනා මර්දන සටනේ
චන්ද්‍රිකා, වෙල්ගම සහාය සජිත්ට
ව්‍යවස්ථා ප්‍රශ්නයකින් රනිල් - සජිත් එකමුතුව බිඳවැටෙයි
රොෂාන් හා ප්‍රසන්නලාගේ කතා වලින්ශ්‍රීල.නි.ප. ලොක්කෝ කලකිරෙති
සුමන්තිරන්ගේ අපේක්ෂකයන් නිසා දෙමළ සන්ධානය අර්බුදයක

මහ මැතිවරණය කැඳවීමත් සමඟ ප්‍රධාන පක්ෂ සියල්ලටම නාමයෝජනා කටයුතු වෙනුවෙන් මේ සතිය වෙන් කරන්නට සිදු වී තිබිණි. මෙම 12දාත්, 19දාත් අතර නාමයෝජනා බාරදිය යුතු බැවින් සුදුස්සන් තෝරාගැනීමත් ජාතික ලැයිස්තු සකස් කිරීමත් විධිමත් ලෙස සිදු කරන්නට පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කටයුතු කරමින් සිටිති. නාමයෝජනා සම්බන්ධ ව්‍යාකූල තත්ත්වයන් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයේය. එහෙත් පොහොට්ටුව මුල සිටම හවුල්කාර පක්ෂ හා සෙසු කණ්ඩායම් සමඟ නාමයෝජනා ගැන එකඟතා ඇතිකරගෙන තිබිණි. ශ්‍රී.ල.නි.පය තමන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටේ සමස්ත ඡන්දවලින් 30% ක් ලබාගත් නිසා ඔවුනට නාමයෝජනාවලින් 1/3 ක් අවශ්‍ය බව ප්‍රකාශ කළද, පොහොට්ටුව නාමයෝජනා දීමේදී පළාත් පාලන ඡන්ද සහ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකේම ඡන්ද භාවිතය සැලකිල්ලට ගෙන තිබිණි. ඒ පදනමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්වූයේ සමස්ත නාමයෝජනාවලින් 14%ක් පමණක් බව වාර්තා විය. එහි ප්‍රධාන චරිත සියල්ලම වාගේ මහමැතිවරණය තරග කරන බව කියා තිබේ. ජාතික ලැයිස්තුවට නම යෝජනා වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ලැයිස්තුව ප්‍රතික්ෂේප කර මහ මැතිවරණයට සටන් වදින්නට දැන් පොළොන්නරුවේ සිය සංවිධාන කටයුතු ආරම්භ කර තිබේ.

පොහොට්ටුව සහ ශ්‍රී.ල.නි.පය අතර නාමයෝජනා සම්බන්ධයෙන් ඒ තරම් ආරවුල් හටගෙන නැතත් දෙපක්ෂයේ අපේක්ෂකයන් අතර දිස්ත්‍රික් මට්ටමේ මනාප පොරය උග්‍ර වී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ‘උකුසු’ ප්‍රහාර කතාවෙන් පසු පොහොට්ටුවේ ප්‍රසන්න රණතුංගලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට නිර්දය ලෙසම පහර දෙන්නට ඉදිරිපත්ව සිටිති. තමන් ඒ කතාව කිව්වේ සමස්ත ලංකාවටම නොව පොළොන්නරුවේ තිබෙන පටු දේශපාලනය සලකා බව මෛත්‍රී කොතරම් කීවද එය ප්‍රසන්නලා පිළිගත් බවක් නොපෙනේ. ඔවුන් ළඟදී කළ ප්‍රකාශයක දැක්වුණේ ශ්‍රීල.නි.පයට ගෑවුණු කෙනකුට ඡන්දය දෙන්නට එපා යැයි කියාය. ඒ ගැන කෝපයට පත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට පැමිණිලි කළ අතර, ප්‍රසන්නලා ගම්පහ මෙලෙස හැසිරෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව කියන්නට තරම් ප්‍රශ්නය දුරදිග ගොසිනි. මේ හැර පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පොහොට්ටුව හා ශ්‍රීල.නි.පය අතර උග්‍ර මනාප සටන් පටන්ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය මේ සතියේත් අවසන් වූයේ නැත. සතිය ආරම්භ වනවිට රනිල් පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය යන කණ්ඩායම් දෙකම තමන් දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්කට 22ටම වෙන වෙනම තරග කරන බව ප්‍රකාශ කළෝය. ඒ බව මැතිවරණ කොමිසමට දෙපක්ෂයම දැනුම් දුනි. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කියා සිටියේ තමන් විසින් නිර්මාණය කරනු ලබන සන්ධානය සකස් කරන්නේ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියට යටත්ව බවය. එහි නායකත්වය තමන්ට පවරා දුන්නේ ද කෘත්‍යාධිකාරියම බව සජිත් මෙන්ම එහි ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ද ප්‍රකාශ කළේය. සජිත්ලා දෙවනුව එජාපයට කීවේ ඔවුන්ට ද පිළිගත් පක්ෂයක් ලෙස සන්ධාන සාමාජිකත්වය ලබාගන්නට ආරාධනා කරන බවකි. එහෙත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වූයේ එ.ජා.පය ප්‍රධාන පක්ෂය බැවින් ඔවුන් අලියා ලකුණින් වෙනම තරග කරන්නට සැරසෙන බවය. පක්ෂ ලාංඡනය මෙන්ම ව්‍යවස්ථාවේ සමහර වගන්තිවල තිබෙන ප්‍රශ්න හේතුවෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට ද ඉඩ ඇති බව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ සජිත් පිලට අනතුරු අඟවා තිබිණි.

මේ සතියේ අර්බුදය දිගටම පැවතිය ද සාම කපුකම් ගණනාවක් ද සිදුවිය. හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ගිය ඉරිදා සහ සඳුදා දෙදින මෙම කතාබහ පැවති බව වාර්තා විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආශු මාරසිංහ හා සමන් රත්නප්‍රිය යන මහත්වරු සහ දයා පැල්පොල ද සජිත් පිල වෙනුවෙන් සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ. කරෑ ජයසූරිය මහතා දෙපක්ෂය සමගි සම්පන්නව ඡන්දයට යා යුතු බව අවධාරණය කරමින් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේය. එවිට රනිල් පාර්ශ්වයේ අය නැවතත් මතු කළේ සන්ධාන ව්‍යවස්ථා ප්‍රශ්නයයි. ජනාධිපති නීතිඥ දයා පැල්පොල මහතා වගන්ති ගණනාවක් සම්බන්ධව පවත්නා නීතිමය ප්‍රශ්න විස්තර කළේය. ඒවා සංශෝධනය කර ඇතැයි සුජීව සේනසිංහ සමඟ පැමිණි නීතිඥ කාසිම් මහතා දැන්වූ විට ව්‍යවස්ථා කෙටුම්පත තමන්ට බලන්නට අවශ්‍ය යැයි පැල්පොල කීය. එහෙත් සුජීව අත සන්ධාන ව්‍යවස්ථා පිටපතක් නොතිබුණි. එහෙත් ඔහු පසුව මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන් ඔවුන් ඉල්ලූ පරිදි සන්ධාන ව්‍යවස්ථා පිටපත රනිල් පාර්ශ්වයට බාරදුන් බවය. නමුත් සාකච්ඡාවේ මැදිහත්කරු ලෙස ක්‍රියා කළ කරූ ජයසූරිය පාර්ශ්වය හෝ සුජීවගේ අදහස සනාථ කළේ නැත.

මේ සතියේ සඳුදා සමගි ජනබලවේගය දේශපාලන කාර්යාලය විවෘත කිරීමෙන් පසු මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා හිතවත් නීතිඥයන් පිරිසක් සමඟ නාමයෝජනා සැකසුමට සහභාගි විය. රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මේ ගැන පොලිටිකල් රහස් තීරයට කීවේ එ.ජා.පයෙන් 95% ක් තම සන්ධානය සමඟ තරග කරන්නට සූදානම් බවය. හවුල්කාර පක්ෂ කිසිවක් රනිල් සමඟ නැතැයි ද ඔහු කීය. නාමයෝජනා ලබා දීමේදී හිටපු මන්ත්‍රීන්, ඇමැතින් හා සංවිධායකයන් මෙන්ම කාන්තාවන්ට හා වෘත්තිකයන්ට වැඩි අවස්ථා සැලසෙන්නේ යැයි හෙතෙම සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නාමයෝජනා මණ්ඩලය ක්‍රියාත්මක බවත් ඔහු පෙන්වා දුනි.

ඒ අතරතුර මෙතෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න ආදී චරිත ගණනාවක් ද දැන් සජිත් පිල සමඟ එක්ව සිටිති. රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන ව්‍යවස්ථා ප්‍රශ්න හා පක්ෂ ලකුණ ගැන තර්ක කරද්දී සජිත් පිල නාමයෝජනා සකසමින් සිටියි. රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා මේ ගැන ප්‍රකාශයක් කරමින් සජිත්ගේ කාර්යාලයේ දී කිව්වේ සිරිකොතේ අලියා ලකුණින් නාමයෝජනා බාරදීමේ සැලසුමක් නැති බව තමන් හොඳාකාරවම දන්නා වගය. 

එජාපයේ රනිල් පිලට හා සජිත් පිලට පොදු ලකුණකින් හා එක් සන්ධානයකින් මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන්නට තිබූ අවසන් අවස්ථාව මේ සතියේ හමාර විය. ඊට හේතු වූයේ මැතිසබය විසුරුවා හැර සතියක කාලයක් තුළදී (නීතියේ හැටියට) සන්ධානයේ පක්ෂ ලකුණු වෙනස් කර ගන්නට නීතිමය අවසරය ඇති බැවිනි. මේ සතියේ 09දා එම සතියක කාලය හමාර වූ බැවින් එ.ජා.පයේ කණ්ඩායම් දෙක මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඒ පක්ෂ දෙකක් හා ලාංඡන දෙකක් වශයෙන් විය යුතුය. තම සන්ධානය සකස් කළේ පක්ෂයේ කෘත්‍යාධිකාරී අනුමැතිය මත නිසා ඊට තවදුරටත් ව්‍යවස්ථානුකූල බාධා ඇති කරන්නේ නම් තම කණ්ඩායම උසාවියෙන් ප්‍රශ්නය බේරාගන්නා බව සජිත් පිලේ ප්‍රබලයකු වන සුජීව සේනසිංහ කියද්දී රනිල් පිලේ ප්‍රධානීහු වන වජිර අබේවර්ධන හා රංගේ බණ්ඩාර සජිත් පිලට පිළිතුරැ දෙන්නට සිරිකොතට පැමිණ සිටියහ. එහි පැවති හමුවකදී වජිර කියා තිබුණේ නිදහසින් පසු වැඩිම කලක් රට ආණ්ඩු කළ යූ.ඇන්.පිය අහිකුණ්ඨික පක්ෂයක් ලෙස වෙනත් සන්ධානවල නොඑල්ලෙන බවය. මන්ත්‍රී රංගේ බණ්ඩාර රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම මාධ්‍යයට ද කීවේ එජාපය දෙකඩ කිරීම සිදු කළේ සජිත් පිල නිසා තමන් සජිත් ප්‍රේමදාසට මේ ගැන යථාර්ථය පහදා දීම සඳහා ප්‍රධාන පෙළේ විද්‍යුත් නාළිකාවක විවාදයකට සූදානම්ය කියාය. නමුත් නාමයෝජනා ප්‍රශ්නවලට මැදිහත්ව සිටින සජිත්  ප්‍රේමදාස පිල රංගේ බණ්ඩාරට ප්‍රතිචාර දක්වා නැත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ද සජිත් ප්‍රේමදාසගේ නව සන්ධානයට සහාය දෙන බව කියා තිබිණි. ඒ අය ද අද හෙටම සජිත් පිල සමඟ එක්වීමට නියමිත යැයි ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා කීය.

ශ්‍රී.ල.නි.ප. නායක හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුසු කතාවෙන් පසු ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨයෝ ද දැන් ඔහු සමඟ අවුලකින් පසුවෙති. මහින්ද අමරවීර, නිමල් සිරිපාල පමණක් නොව දයාසිරි ජයසේකර ආදීන් පවා මේ ගැන සිය නොසතුට ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ කතා හා ක්‍රියා නිසා පක්ෂයට යම් හානියක් සිදුවන නිසා ඒ ගැන පක්ෂ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කළ යුතු යැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර තිබිණි. තිරය පිටුපස මේ ගැන ප්‍රචාරය වූ කතාවකින් කියවුණේ ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව කැඳවා එහිදී හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂ නායකත්වය වෙනත් ජ්‍යෙෂ්ඨයකුට පැවරීමේ සැලසුමක් තිබෙන වගය. මේ ගැන පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන සාකච්ඡාව ගැන සිරිසේන හිතවාදීන් කිහිප දෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වීම නිසා මේ සතියේ කැඳවීමට තිබූ පක්ෂ මධ්‍යම කාරක සභාව ද අවලංගු කර දැමෙනු ඇතැයි මෙම සටහන ලියන මොහොතේ වාර්තා විය. පක්ෂයේ අභ්‍යන්තරයෙන් හිටපු ජනාධිපතිවරයාට එල්ලවන අභියෝගයට අමතරව ශ්‍රීලනිපයෙන් කැඩී ගොස් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන සිටින කුමාර වෙල්ගම හිටපු මන්ත්‍රීවරයා ද අනාගතයේ ශ්‍රී.ල.නි.ප. නායකත්වය අපේක්ෂා කරන වග තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි.

උතුරේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරන දෙමළ ජාතික සන්ධානය ද නාමයෝජනා අර්බුදවලට මුහුණ දී සිටියි. දැනට පක්ෂයේ නිල නොවන මෙහෙයුම්වලට මැදිහත්ව සිටින එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරි මහ මැතිවරණයේදීත් ඉන් පසුවත් ක්‍රියා කරනු ඇත්තේ එ.ජා.පයේ රනිල් හිතවාදී පිල සමඟ බව කියැවේ. උතුරු නැගෙනහිර නාමයෝජනා සැකසීමේදීත් ඔහු තමන්ගේ නියෝජිතයන් වැඩිපුර ඡන්දයට ඉදිරිපත් කරන්නට යාමෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කැළඹී සිටිති. විශේෂයෙන් මාවෙයි සේනාධිරාජා සහ ඊ. සරවනභවන් ඇතුළු උතුරේ මන්ත්‍රීන් සුමන්තිරන්ට දිගටම විරෝධය පළ කරන්නට පටන්ගෙන තිබේ. විශ්‍රාම යන වයසේ සිටින පක්ෂ නායක සම්පන්දන් මහතා මේ ප්‍රශ්නවලදී තීන්දුවක් නොගැනීම ද මාවෙයිලාගේ අප්‍රසාදයට හේතු වී ඇත. උතුරේ ඡන්දය කළ යුතු යාපනයේ හින්දු අපේක්ෂකයන් වෙනුවට කොළඹින් ආනයනය කරන වෙනත් ආගම්වලට අයිති දෙමළ අපේක්ෂකයන් යාපනයේ බින්න බැස්සවීමට තැත් කිරීම මාවෙයිලාගේ කැළඹීමට බලපා ඇති අතර, දෙමළ සන්ධාන පිරිසක් මේ ගැන දැනට වෙනම පක්ෂයක් පිහිටුවාගෙන සිටින හිටපු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සමඟ ද සාකච්ඡා ආරම්භ කර තිබේ.

මනාප සටන් ගැන උනන්දු නොවන ප්‍රධානම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් මෙවර තරග වදින්නේ ද සීනුව ලකුණින් නොව මාලිමාව ලකුණිනි. දිවයිනේ දිස්ත්‍රික්ක 22 සඳහාම ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් තරග කරන බව කියා තිබේ. ප්‍රවීණ කලාකරුවන් හා වෘත්තියවේදීන් ගණනාවක් ද ජනතා විමුක්ති පෙරමුණ නාමයෝජනා මණ්ඩලයේ තෝරාගැනීම් අතර වන බව වාර්තා වේ. ජාත්‍යන්තර කටයුතු පිළිබඳව පැවති ආණ්ඩු දෙකටම උපදෙස් දුන් ආචාර්ය දයාන් ජයතිලක ද පසුගියදා ජ.වි.පෙ. විසින් සංවිධානය කරන ලද සමුළුවක දේශනයක් පවත්වා දැනුවත් කිරීමක් කරනු ලැබීය. දයාන් ජ.වි.පෙ. සමඟ එක්වනු ඇත්දැයි පැහැදිලි නැතත් ඔහුගේ සහභාගීත්වය සමාජ අවධානය දිනූ පුවතකි. ඒ අතරතුර පසුගිය වසර කිහිපය තුළ පාර්ලිමේන්තු කෝප් සභාවේ සභාපති ලෙස වැදගත් මෙහෙවරක් කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට තරග නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ ආරංචි මාර්ග කියයි. ඒ වෙනුවට ඔහු ගන්නා විකල්ප මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

පොහොට්ටුව වෙනුවෙන් මහ මැතිවරණයට තරග කරන දිස්ත්‍රික් නායකයෝ ගණනාවක් පසුගිය බදාදා අගමැතිවරයාගේ විජේරාම නිවෙසේ දී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබූහ. එහිදී දැනගන්නට ලැබුණේ දිවයිනේ දිස්ත්‍රික්ක 22න් දිස්ත්‍රික්ක 3ක ඡන්ද සටන් මෙහෙයවීමේ නායකත්වය ශ්‍රී.ල.නි.පයට පවරන බවය. පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන, බදුල්ල නිමල් සිරිපාල හා වන්නිය කාදර් මස්තාන් යන අයට අදාළ දිස්ත්‍රික්කවල මැතිවරණ මෙහෙයුම් නායකත්වය පැවරීමට බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර තිබිණි. එහෙත් මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වය හිටපු ජනාධිපතිවරයාට පැවරීම සම්බන්ධව එහි මන්ත්‍රී රොෂාන් රණසිංහ දැඩි ලෙස විරෝධය පළකොට, එසේ කළහොත් තමන් විකල්ප තීන්දුවකට යන බව කියා තිබිණි. ඒ නිසා ප්‍රශ්නය සමථයකට පත් කරන තෙක් පොළොන්නරැව දිස්ත්‍රික්කය ද තවත් දිස්ත්‍රික්ක ගණනාවක ද නාමයෝජනා අත්සන් කළේ නැත. එහෙත් ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල හා වන්නියේ කාදර් මස්තාන් නාමයෝජනා අත්සන් කරන උත්සවවලට පැමිණ නාමයෝජනා අත්සන් කළෝය. මෙවැනි අර්බුදයක් තිබෙන රත්නපුරයේ ද පවිත්‍රා, ජෝන් සෙනෙවිරත්න අවුල නිසා මහින්ද සිය බලය පාවිච්චි කර දිස්ත්‍රික් නායකත්වය මහින්ද සමඟ 1970 මැතිසබයට පැමිණි වාසුදේව නානායක්කාර මහතාට පැවරීය. එබඳු විකල්ප විසඳුමකින් ප්‍රශ්න සමතයකට පත්කර ගන්නට කටයුතු කළ ද ශ්‍රී.ල.නි.පය සිටිනුයේ සතුටින් නොවේ. පොළොන්නරුවේ මෛත්‍රීගේ දේශපාලන ගෝලයා වන පේෂල ජයරත්න නාමයෝජනාවලින් පසුව කීවේ ශ්‍රී.ල.නි.පය ඉදිරියේ දී කරන්නේ කුමක්ද කියා මධ්‍යම කාරක සභාව වෙත ගෙන එන යෝජනාවකින් තීන්දු කරන වගය. තනිව සටන් කළහොත් තම පක්ෂයට ආසන 25 ක් ගන්නට පුළුවන් යැයි ද ඔහු ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ දී කීය.

එ.ජා.පයේ හා සමගි ජන බලවේගයේ මාධ්‍ය සටන් තවදුරටත් පුවත් මවමින් සිටියි. වජිර අබේවර්ධන රනිල්ගේ ප්‍රධාන කථිකයෙකි. අකිල ද රනිල් වෙනුවෙන් කතා කරයි. වජිර අබේවර්ධන දිගින් දිගටම මේ සතියේත් කීවේ සජිත්ලාගේ පක්ෂය සන්ධානයක් නොව පිටතින් ලබාගත් දේශපාලන පක්ෂයක නාමයක් නිලධාරී දෙතුන් දෙනකු වෙනස් කරන ලද තවත් පක්ෂයක් පමණක් කියාය. සන්ධානයක තිබිය යුතු නීතිමය අවශ්‍යතා එය සපුරා නැති වග ද වජිර කීය. එබැවින් එජාපය වැනි දැවැන්ත පක්ෂයක් සමඟ සන්ධාන ගතවීම විහිළුවක් බවත් ඒ අයට අවශ්‍ය නම් එ.ජා.පය සමඟ එක්විය හැකි වගත්ය. මේ අයට වඩා බුද්ධිමතුන් වූ ලලිත් ගාමිණී දෙදෙනාටත් එ.ජා.පය කඩන්නට බැරි වූ වග පැවසූ වජිර ලලිත්ලා හැදූ පක්ෂය කෙටි කලකින් අභාවප්‍රාප්ත වූ වග සඳහන් කර තිබිණි. එ.ජා.ප. කෘත්‍යාධිකාරිය අවසර දුන්නේ සන්ධානයක් හදන්නට මිස තවත් පක්ෂයක් හදන්නට නොවේය යන්න වජිරගේ තර්කය විය. ඔහු මේ නීතිමය ප්‍රශ්න ඇද්දේ නිකම්ම නොවේ. පක්ෂ ව්‍යවස්ථාව මෙන්ම දේශපාලනයේ උපාය මාර්ග හොඳින් දන්නා රනිල්ගේ උපදෙස් පරිදි විය හැකිය.

වජිරගේ කතාවෙන් පසු ඊට උත්තර බඳින්නට ඉදිරිපත් වූයේ සජිත්ලාට අපේ ජාතික පෙරමුණ (නම වෙනස් කිරීමට පෙර) ලබා දුන් එම පක්ෂයේ හිටපු ලේකම් සේනක ද සිල්වාය. සේනක ප්‍රකාශ කරන ආකාරයට මෙම පක්ෂයේ නම වෙනස් කොට සන්ධානයක ආකාරයෙන් පසුගිය ජනාධිපතිවරණයේදීත් තරග කළේය. ඒ අවස්ථාවේ තම පක්ෂයේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් ලේකම් ලෙස රාජිත සේනාරත්න මහතාත් පත්වූ වග ඔහු සිහිපත් කළේය. සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම පක්ෂය සන්ධානයක් ලෙස හැඳින්වූ වජිරලා දැන් එසේ නොවේ යැයි කීම විමතියට කරැණක් යැයි ද සේනක සිල්වා කියා තිබිණි. එදා මෙන්ම අදත් වජිරලාට එජාපය ජයග්‍රහණය කරවීමේ වුවමනාවක් නැති බව මෙම කතාවලින් පෙනේ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් ජනතාව ඡන්දය දෙන්නේ පක්ෂයට හෝ ලකුණට නොව සජිත් ප්‍රේමදාස මහතාට යැයි ඔහු පැවසීය. පක්ෂයේ ලාංඡනය ගැන ප්‍රශ්න කරන සැමවිටම සමගි බලවේගයේ නායකයන් කියන්නේ තම පක්ෂයේ ලාංඡනය වෙනකක් නොව සජිත් ප්‍රේමදාස වගය. පසුගියදා චම්පික රණවක මෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වාත් කීවේ අපේ පක්ෂයේ ලාංඡනය වන්නේ සජිත් ප්‍රේමදාස නැමැති නායකයා වගය. මේ ආකාරයට නාමයෝජනා දෙන්නට දින කිහිපයක් තිබියදීත් එ.ජා.ප. පාක්ෂිකයන් අන්දමන්ද කළ යූ.ඇන්.පියේ බල අරගලය නිසා පක්ෂය පැහැදිලිවම දෙකඩ වී තිබේ. සමගියක් ගැන දැන් කෙරෙන කතා මෝස්තරයක් පමණක් වී ඇතැයි පක්ෂ ජ්‍යෙෂ්ඨයකු පොලිටිකල් රහස් තීරයට කීවේ කනගාටුවෙනි.

බොහෝ දේශපාලන පක්ෂ උණුසුම් දේශපාලන සටන්වලට බැස සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේම වැඩිපුර කාලය වෙන් කළේ කොරෝනා රෝග මර්දන ව්‍යාප්තිය පාලනයටයි. සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ ද ගුවන් තොටුපොළ ප්‍රධානීන් වාර ගණනාවක් ජනාධිපති කාර්යාලයට කැඳවූ හෙතෙම කොරෝනා රෝග මර්දනය සඳහා කර ඇති සැලසුම්වල ප්‍රගතිය සාකච්ඡා කළේය. විශේෂයෙන්ම විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට රජය ලබාදිය හැකි උපරිම පහසුකම සපයා තිබියදී ඔවුන් නිවෙස්වලට යන්නට අරගල කිරීම ගැන ජනාධිපතිවරයා පසුවූයේ කනස්සල්ලෙනි. රුපියල් 7500 ක් නිරෝධායනය සඳහා අයකරන බවට වූ ප්‍රචාරය සහමුලින්ම අසත්‍ය හා පදනම් විරහිත එකක් යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සෙසු රාජ්‍ය බලධරයන් හා ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ජනපතිවරයා කළ ප්‍රශ්න කිරීම්වලදී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැහැදිලි කළේය.

කොරෝනා මර්දනය සඳහා රජය හැකිතාක් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරද්දී මෙම ආරවුල් පිටුපස දේශපාලන හස්තයන් තිබේද යන්නත් ඔහුගේ විමර්ශනයට ලක්ව තිබේ. පසුගිය කාලයේ රටේ සියලු ප්‍රශ්නවලදී ආරක්ෂක අංශවලට මුලින්ම චෝදනා කිරීම සිරිතක් ලෙස සිදු කරන බව පැවසූ ජනාධිපතිවරයා අන්තිමේ දී මෙබඳු විපතකින් රට බේරාගන්නට සිටින්නේ ද ආරක්ෂක හමුදා සහ පොලීසිය පමණක් යැයි එහිදී කීවේ මේ දිනවල මනාප පොරයක නියැලී සිටින දේශපාලනඥයන්ට ද පණිවුඩයක් දෙමිනි. 

පොහොට්ටුවේ නාම යෝජනා ගැන අවුල් ගණනාවක් සිකුරාදා වනවිට හටගෙන තිබිණි. ඉන් පළමු අවුල අතුරලියේ රතන හිමියන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් විය. මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි රතන හිමියන් ඇතුළු හාමුදුරුවන්ට නාම යෝජනා ලබාදීම පොහොට්ටුව ප්‍රතික්ෂේප කළ අතර එජාපය දිගටම එම ප්‍රතිපත්තිය ගෙන යයි. එහෙත් ඔවුන් සන්ධාන ගත වූ අවස්ථාවක රතන හිමියන්ට එජාපයේ නාම යෝජනා ලැබිණි.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය උදෙසා ක්‍රියා කළ රතන හිමියන් පැවති යහපාලන ආණ්ඩුවට දුන් න්‍යාය පත්‍රය ඔවුන් විසින් පිළිනොගැනීම නිසා උරණ වූ උන්වහන්සේ අන්තිම වසර දෙකේ පොහොට්ටුවට සහය පළකළෝය. එහෙත් ඒ ගැන බොහෝ පොහොට්ටු ප්‍රධානීන් සතුටක් දැක්වූයේ නැත. ඇතැම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී උන්වහන්සේ නැගිට සියල්ල ගසාදමා ගියේ එල්ල වූ විවේචන නිසාය.

කෙසේ හෝ දැන් උන්වහන්සේට එජාපයත් පොහොට්ටුවත් දෙකම අහිමි වන තත්ත්වයක් උදා වී තිබේ. ඒ නිසා මාධ්‍ය හමුවක් තබා මහින්ද රාජපක්ෂ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළ රතන හිමියන් ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයැයි පැවසූහ. බේබිලා රජ කරවන්නට තමන් වහන්සේලා සූදානම් නැති බවත් රටට ආදරය කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂය පැවරිය යුතු වගත් උන්වහන්සේ කීය. කෙසේ වෙතත් තමන් දේශපාලනයෙන් ඉවත් නොවන වගද රතන හිමියන් කීහ.

පොළොන්නරැවේ දේශපාලන අවුල ප්‍රකාශයට පත්වූයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායකත්වය ඉල්ලා සීටීමක් සමඟය. ඊට පක්ෂය එකඟ නොවූයේ හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ නායකත්වය යටතේ තරග කළ නොහැකි බැවිනි. ඒ නිසා මාධ්‍ය හමුවක් තැබූ රොෂාන් රාජපක්ෂවරුන්ට කළගුණ මතක ඇතැයි සිතන බව කියමින් දෝෂාරොපණය කළේය. කවුරුන් මොනවා කීවත් තමන් පොහොට්ටුවේ පොළොන්නරු නායකයා යැයි කී හෙතෙම සිය පක්ෂ සංවිධානයේ ඊට අදාළ යෝජනාවන්ද සම්මත කරගත්තේය. ඒ අතර සියලු දෙනාට පසුගිය බ්‍රහස්පතින්දා අරලිය ගහ මැදුරට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට නාම යෝජනා අත්සන් කළේ ශ්‍රීලනිපය වෙනම් තරග කළ යුතුයැයි කියන පොළොන්නරුවේ පේෂල ජයරත්නලාට හීන් ටොක්කක් අනිමිනි.

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ කාටුන් ග්‍රන්ථයක් එළිදැක්වීම ගිය බ්‍රහස්පතින්දා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදුවිය. අගමැති මහින්ද මහාචාර්ය ජී. එල්. පීරිස් හා බැසිල් රාජපක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තන් වූහ. එහිදී සියලු පුවත්පත් කාටූන් ශිල්පීන්ට හා ආරාධිත අමුත්තන්ට කාටූන් ග්‍රන්ථය පිරිනැමූ උදය ගැන මහාචාර්ය ජී. එල්. පීරිස් මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද කතා කළෝය. අගමැති මහින්දගේ දේශපාලන සමයේ මෑතකාලීන පෙරගමන්කරැවකු වූ උදය තමන් 2015දී ඡන්දය පරාජය වී ගමට ගොස් සිටියදී නැවත දේශපාලනයට කැඳවාගන්නට සටන් කළ බව කී මහින්ද ඒ නිසාම ඔහු පොලීසිය එෆ්.සී.අයි.ඩී.ය ආදී ආයතනවලට ගොස් දුක් විඳින්නට සිදු වූ ආකාරය විස්තර කළේය. ගිය ආණ්ඩුව බැරිම තැන මහාචාර්ය ජී. එල්. සහ උදය සමඟ තමන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ බවට හාස්‍යජනක පැමිණිල්ලක් කළ ආකාරය මහින්ද එහිදී විස්තර කළේ පැමිණ සිටි පිරිස සිනාගන්වමිනි.
► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර