2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

රනිල් සමඟ සිටි සුළු පක්ෂ සජිත්ට එක් වෙයි

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 288
ගෝඨාභය - බැසිල් - මහින්ද ඡන්ද සැලසුම හදයි
අකිල විරාජ් යූ.ඇන්.පියෙන් ඡන්දයට එන පිරිසෙන් නාමයෝජනා කැඳවයි
පොහොට්ටුව සන්ධාන ගිවිසුම කැඩූ බවට ශ්‍රී.ල.නි.පයෙන් චෝදනා
නරක් වෙන්න බැරි නිසා කතානායක ගත් විශේෂ තීන්දුව
රනිල් - සජිත් අර්බුදය විසඳුමට තවත් කොමිටියක්
මහින්දගේ ඉන්දීය ගමනේ දී මුහුණුපොත කැළඹූ ප්‍රසන්න රණවීර
 
මහ මැතිවරණය ආසන්න වෙත්ම ප්‍රධාන දේශපාලන පක්ෂවලින් දේශපාලන උණුසුමක් නැග එමින් තිබේ. මෙයින් වඩාත්ම අර්බුදකාරී තත්ත්වයට පත්ව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට එ.ජා.පයේ මන්ත්‍රී කණ්ඩායම පැහැදිලි ලෙසම රනිල් හිතවාදීන් සහ සජිත් හිතවාදීන් ලෙස බෙදුම් රේඛාවක් ඇඳගෙන තිබේ. පක්ෂය දෙකඩ වී ඇතැයි ඍජුව කිව නොහැකි වුවත් ඒ ආසන්නයටම අර්බුදය මෝරා ගොසිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවත් ඇත්තේ දෙසතියක් පමණය. ජනාධිපතිවරණයට පෙර සිටම සජිත් සහ රනිල් අතර පැවැති බලය පිළිබඳ අරගලය ජනපතිවරණය නිසා තරමක් යටපත් විය. සජිත් අනපේක්ෂිත ලෙස ඉතා විශාල වැඩි ඡන්ද ගණනකින් පරාජයට පත්වීමත් සමඟ අර්බුදය නැග ආවේය. එම අර්බුදයේ දී ඉදිරි මහමැතිවරණය තරග කරන්නේ එ.ජා.පයෙන් ද සන්ධානයකින්ද? එහි නායකයා කවුද? මැතිසබයේ විපක්ෂ නායකයා කවුද? නව සන්ධානයේ මහලේකම් පදවිය හිමිවිය යුත්තේ කාටද? එහි පාලක මණ්ඩලය විය යුත්තේ කවුද? ආදී ප්‍රශ්න රැසක්ම මතුවිය.
 
මෙම අරගලයේ දී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ අතර හවුල්කාර පක්ෂ සියල්ල ද (රිෂාඩ් බදුයුදීන් හැර) සජිත් සමඟ සිටියේය. එහෙත් පක්ෂයේ තීරණාත්මක බලය ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා සතු විය. එහෙයින් මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරිය අතර ද සියුම් බලපොරයක් නිර්මාණය වුණි. සජිත් පිල නිතරම චෝදනා කළේ පක්ෂ නායකයා විසින් මෙම අර්බුද නිර්මාණය කරන බවය.
 
ගෙවී ගිය සතියේ සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් ආදී ජ්‍යෙෂ්ඨයන් උත්සාහ කළේ සජිත් වෙනුවෙන් සැකසෙන නව සන්ධානය ස්ථාපිත කරන්නටය. එහි ලේකම් පදවිය සජිත්ට අවශ්‍ය ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාරට ලබාගැනීම ඔවුනගේ අරමුණ වී තිබිණි. එහෙත් රනිල් වික්‍රමසිංහ නිතරම ප්‍රකාශ කළේ සන්ධාන මහලේකම්කමට කවුරු පත් වුවත් එම නාමයෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරිය අනුමත කළ යුතු බවකි. කෘත්‍යාධිකාරියෙන් ඒ වන විට සජිත් හිතවාදීන් ගණනාවක්ම රනිල් විසින් ඉවත් කර දමා තිබිණි. ඒ සමඟ කෘත්‍යාධිකාරියේ බලය රනිල් සතු බව තහවුරැ විය. මේ නිසා සජිත්ගේ ලේකම්ට කෘත්‍යාධිකාරියේ අනුමැතිය නොලැබෙන බව ඉවෙන් මෙන් තේරුම්ගත් සජිත් පිල ඊට මුහුණදීමට තමන්ගේ දෙවැනි සැලසුම (ප්ලෑන් - බී) රහසේම දියත් කළේය. සන්ධානයේ හවුල්කාර නායකයන් වන චම්පික රණවක, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් ආදීහු මෙහිදී විශේෂ කාර්යභාරයක් ඉටු කළහ.
 
සජිත් පිලේ ‘ප්ලෑන් - බී’ සැලසුම වූයේ එ.ජා.පයේ නායකත්වය සන්ධානයට බාධා කරන්නේ නම් පිටතින් පක්ෂයක් ලබාගෙන එම පක්ෂය මාර්ගයෙන් සන්ධානය ස්ථාපිත කිරීමටයි. මුලින් ඔවුන් චතුර සේනාරත්න සතු පක්ෂය ගැන බැලුවත් ඔහුගේ පියා රාජිත ඒ වන විට රනිල් සමඟ එ.ජා.පයට එක්වන්නට තීන්දු කර සිටියේය. එම පක්ෂයේ මහලේකම් චතුර ද තමන්ටම එම පදවිය නව සන්ධානය තුළ ද අවශ්‍ය බව කියා තිබිණි. මේ හේතු නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ලේකම්වරයකු වූ සේනක ද සිල්වාගේ පක්ෂය වන අපේ ජාතික පෙරමුණ සජිත් පිලට ලබාදීමට එකඟ වූයේ ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් සේනක ද සිල්වාට ලබාදෙන බවට වූ කොන්දේසිය අනුවය.
 
පසුගිය සතියේ බ්‍රහස්පතින්දා වන විට මෙම සාකච්ඡාව හමාර වීමෙන් පසු සජිත්ගේ නීතිඥයන් විසින් නව පක්ෂයේ නිලධාරී මණ්ඩලය වෙනස් කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමට ලිපියක් යැවීය. එම ලිපිය මගින් “අපේ ජාතික පෙරමුණ” නම “ජාතික සමගි බලවේගය” ලෙස වෙනස් කළ අතර එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස ද මහලේකම් ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර ද නම් කෙරිණි. මෙතෙක් එ.ජා.පයේ ඉහළ තනතුරු දැරූ සජිත් සහ රන්ජිත්ගේ නම් 2020.02.06 දින මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක එම දෙදෙනාට ලිඛිතව දැන්වීය. ඒ සමඟ එ.ජාපයේ දෙදරීම කැපී පෙනුණි.
 
රනිල් වික්‍රමසිංහට ද එදිනම මෙම තොරතුරු වාර්තා විය. ඔහු විසින් මේ ගැන පූර්ව විමසීමකින් තොරව සුපුරුදු ලෙස පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගිය සඳුදා සවස 4.00ට කැඳවනු ලැබීය. එය වාද විවාද සහ ගාලගෝට්ටිවලින් බහුල වූවක් විය. රන්ජිත් මද්දුමබණ්ඩාර නව සන්ධාන මහලේකම් ලෙස නිතරගයෙන් පත්වූ නමුත් නව සන්ධානයේ පක්ෂ ලාංඡනය ලෙස අලියා යොදාගත යුතු යැයි රනිල් පිල තර්ක කළේය. සජිත් ඇතුළු හිතවාදීන් ඒ සඳහා කිසිසේත්ම කැමති වූයේ නැත. අලියා ලකුණ සන්ධාන ලාංඡනය ලෙස යොදාගතහොත් රන්ජිත් මද්දුමබණ්ඩාරගේ මහලේකම් පදවිය නිෂ්ඵල වන අතර අකිල විරාජ් ඉබේම සන්ධාන මහලේකම් ලෙස ක්‍රියා කරනු ඇත. මන්ද අලියා ලකුණ හිමි එ.ජා.පයේ මහලේකම් ඔහු නිසාය. කෝපයට පත් වූ සජිත් තමන් පඹයකු කරන්න එපා යැයි කෘත්‍යාධිකාරියේ දී ගෝරනාඩු කළේය. ජෝන් අමරතුංග, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන සහ වෘත්තීය සංගම් ප්‍රධානියකු වන සුනිල් ද සිල්වා සජිත්ගේ යෝජනාවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළෝය. රන්ජිත් මද්දුමබණ්ඩාර කීවේ මැතිවරණ රැසක් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකයා ලෙස තම කණ්ඩායම පිළිගනිද්දීත් මේ ආකාරයට සජිත් පිලේ කකුළෙන් අදින්න එපා කියාය.
 
ඒ වාද විවාද මැද එ.ජා.ප. වෘත්තීය සංගම් ප්‍රධානී සුනිල් ද සිල්වා යෝජනා කළේ පක්ෂ ලාංඡනය කුමක්දැයි ඡන්ද විමසීමකින් තීන්දු කරමු කියාය. රනිල් වික්‍රමසිංහ මහතා ද එය අනුමත කළ බව පෙනුණි. ඒ වන විට කෘත්‍යාධිකාරියේ සිටි සාමාජිකයන්ගෙන් බහුතරය රනිල් හිතවාදීන්ය. සජිත් පිලට වඩා සාමාජිකයෝ 12ක් පමණ රනිල්ගේ සහායට සිටියහ. එහෙත් වහා නැගී සිටි මංගල සමරවීර ඡන්ද විමසීම නතර කරන ලෙස පැවසීය. “මේකෙන් සිද්ධවෙන්නෙ බෙදීමක්.. එහෙම වුණොත් ගෝඨාභය ජනාධිපතිවරයාට මහ මැතිවරණයෙන් පහසුවෙන්ම 2/3 ක් ලබාගැනීමට හැකි වේවි. ඒ නිසා නොබෙදී මේ ගමන යමු” යැයි මංගල කීය. ඒ සමඟ දෙපැත්තේම උණුසුම් මතවාද හුවමාරු වෙද්දී සජිත් ප්‍රේමදාස කණ්ඩායම රනිල් පිලට විරෝධය පා කෘත්‍යාධිකාරියෙන් පිටව ගියෝය. රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ ආදී පිරිස මෙලෙස ඉවත්ව ගියෝය. ඒ සමඟ රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ප්‍රශ්නය විසඳීම එ.ජා.පයේ උපදේශක මණ්ඩලයට පවරමු කියාය. උපදේශක මණ්ඩලය දින දෙක තුනක් තුළ මෙම ගැටලුව නිරාකරණය කරනු ඇතැයි ද ඔහු කීය.
 
එහෙත් ඉන් පසුදා තවත් නීතිමය සටනක් ආරම්භ විය. අකිල විරාජ් මාධ්‍ය අමතා කීවේ තම පක්ෂය දැන් ඡන්දයට සූදානම් වෙමින් සිටින නිසා එ.ජා.පයෙන් ඉදිරි මහ ඡන්දයට තරග කරන්නට සතුටු අය වහාම පක්ෂය වෙත නාමයෝජනා සඳහා ඉල්ලුම්පත් එවන ලෙසයි. ඒ අතරතුර පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මැතිවරණ කොමිසමට ලිපියක් යැවීය. එමගින් සජිත් පිල නිර්මාණය කරන නව දේශපාලන සන්ධානය වන සමගි ජාතික බලවේගයේ නම සම්බන්ධව විරෝධයක් පළ කර තිබිණි. එම නම ඉංග්‍රිසියට පරිවර්තනය වූ විට “United National Power” ලෙස සඳහන් වන බවත් එය එ.ජා.පයේ නම පරිවර්තනය වූ විට ලැබෙන U.N.P. යෙදුමට සමාන බවත් කී නීති ලේකම්වරයා මෙම නම පිළිගැනීමෙන් එ.ජා.පයට දැඩි අගතියක් සිදුවන නිසා ඒ නම සහිත සන්ධානය නොපිළිගන්නා ලෙස දැන්වීය. මේ ගැන මැතිවරණ කොමිසම තීන්දුවක් ගැනීමට නියමිතය.
 
ඒ අතරතුර තවත් නීතිමය “ගුග්ලියක්” රනිල් පිල විසින් සජිත් පිල වෙත මුදා හරිනු ලැබීය. එමගින් කියවුණේ සජිත්ලා ලබාගත් නව දේශපාලන පක්ෂය වන සේනක ද සිල්වාගේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ධූරය හිමිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බවය. රනිල් එහි සභාපති බවත් ලේකම් රාජිත සේනාරත්න බවත් උප සභාපති සේනක ද සිල්වා බවත් රනිල් පිල කියයි. ඉකුත් ජනාධිපතිවරණ කාලයේ 2019 සැප්තැම්බරයේ මෙම නිලධාරීන් පත් කරගෙන ඒ බව මැතිවරණ කොමිසමට සභාපති රනිල් වික්‍රමසිංහ මහතාගේම අත්සනින් දැනුම් දී ඇතැයි ද එ.ජා.පය පවසයි. මෙය නව සන්ධානයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් බලවත් නීතිමය අර්බුදයක් නිර්මාණය කළ කරුණකි. ඒ නිසා රනිල් නව සන්ධානයට එරෙහිව තිරය පිටුපස සිට දියත් කරන සටනේ උපරිම වාසිය ඔහු අත්පත් කරගෙන ඇති බව පෙනේ. එහෙත් රනිල් හිතවාදීන් අමතක කර ඇති කරුණ වන්නේ නීතිමය සටන්වලින් ජයගත හැකි නමුත් පාක්ෂික ජනතා ඡන්දයෙන් වැඩි වාසි ලබාගත හැක්කේ කාටද යන කරුණයි.
 
මහමැතිවරණය ළං වෙද්දී ඡන්ද සටන සඳහා සූදානම් වන පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ද ප්‍රබල මතගැටුම් හටගෙන තිබේ. පසුගියදා නිවාඩුවකින් පසු මෙරටට පැමිණි පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය ජනාධිපතිවරයා මුණගැසී පැය දෙකක් පමණ ඉදිරි මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කළේය. මෙහිදී මැතිවරණය සඳහා අපේක්ෂකත්වයන් ලබා දීමේදී ගර්ගිත පිරිහුණු චරිතවලට වැට බඳින ලෙස ජනාධිපති ගෝඨාභය මහතා බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිට ඇත්තේ උදාහරණ ලෙස නම් කිහිපයක් ද සදහන් කරමිනි. සන්ධාන ගතවන කවර පක්ෂයකින් හෝ එබඳු චරිත ගාවා නොගත යුතු යැයි ගෝඨා බැසිල්ට පෙන්වා දී තිබිණි.
 
මේ දිනවල පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර නායක මට්ටමේ මතගැටුම් නැතත් දෙවැනි පෙළ නායකයන් අතර බරපතළ ගැටුම් හටගෙන තිබේ. සන්ධානයේ සමනායක පදවි ඇතිකොට මෛත්‍රී සහ මහින්ද එම තනතුරැවලට පත් කරන බවට මුලින් පැතිර ගිය ආරංචිය පොහොට්ටුවේ ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය ජී.එල්. පීරිස් ආදීහු ප්‍රතික්ෂේප කළහ. එහෙත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීවේ ශ්‍රීලනිප - පොහොට්ටු ගිවිසුම ඇතිකරගන්නා මොහොතේ සම සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේනට දෙන බව පොහොට්ටුව පොරොන්දු වූ බවය. මේ පොරොන්දුව ගැන නොදැන සමහරු කරන ප්‍රකාශ ගැන කනගාටු වන්නේ යැයි දයාසිරි කීය. එහෙත් පවතින ගැටලු සමනය සඳහා සාකච්ඡා කරන්නේ යැයි කීය. ජනාධිපතිවරණ කාලයේ ආදරයෙන් පිළිගෙන පසුව ඉවත දැමීම හොඳද නරකද යන්න ජනතාව විසින් තීන්දු කළ යුතු යැයි දයාසිරි වැඩිදුරටත් කීය.
 
ඒ අතර ඉදිරි මහමැතිවරණය තරග කරන ලකුණ පොහොට්ටුව බව එම පක්ෂය තරයේම කියා සිටී. ඒ ගැන ශ්‍රී.ල.නි.පයේ ඒ හැටි විරෝධයක් නැත. එහෙත් ශ්‍රී.ල.නි.ප. නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගෙන පොහොට්ටුවේ ඇතැම් නායකයන් කරන විවේචන සම්බන්ධව ශ්‍රී.ල.නි.ප. ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැඩි කනස්සල්ලෙන් සිටින බව වාර්තා වෙයි. මෙම කතාබහ අතරතුර සජිත් හිතවාදී එ.ජා.ප. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ශ්‍රී.ල.නි.පයේ සාමාජික මන්ත්‍රීන් ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේ දී සජිත්ගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් බැවින් සන්ධානයට එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් බාධා නොකළ යුතු බවය. මේ ආකාරයට පළවන වාර්තාවලින් පෙනෙන්නේ ශ්‍රී.ල.නි.පය සහ පොහොට්ටුව අතර හිත හොඳ බිඳෙමින් පවත්නා බවය. මෙය ආරම්භ වූයේ අමාත්‍ය මණ්ඩලය පත් කළ අවස්ථාවේදීය. ශ්‍රී.ල.නි.ප. මහලේකම් ධූරය දරන දයාසිරි ජයසේකර මහතා පොහොට්ටුවේ කුඩා හවුල්කාර පක්ෂ නායකයකු වන විමල් වීරවංශගේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විමල් යටතේ ක්‍රියා කරන්නට සැලැස්වීම රටේ ප්‍රධාන දේශපාලන බලවේගයක් වන ශ්‍රී.ල.නි.පයට කළ මදිපුංචිකමක් ලෙස ඔවුහු සලකති.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සාර්ථක ලෙස හමාර විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත් විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාත් මහින්ද ඇතුළු දූත පිරිසට ඉහළම පිළිගැනීමක් සමඟ සත්කාර සම්මාන පිරිනැමූහ. මහින්ද සහ මෝදි අතර සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන්ම අවධානයට ලක්වූයේ ආර්ථිකමය ප්‍රශ්න ගැනයි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අයවිය යුතු ණය අයකිරීමට වසර තුනක සහන කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීමට ද මහින්ද අමතක නොකළේය. ඒ ගැන රජයේ නිලධාරීන් සහ මැති ඇමැතින් සමඟ සාකච්ඡා කරන්නැයි මෝදි අගමැතිවරයා මහින්දලාට කීය. එසේම දෙරට අතර කෙරෙන ව්‍යාපෘති ගැන ද සාකච්ඡා විය. ශ්‍රී ලංකාව රාජ්‍ය සම්පත් විදේශවලට විකිණීමේ ප්‍රතිපත්තිය අනුමත නොකරන්නේ යැයි මහින්ද මෝදිට කී අතර උතුරේ ජනතාවට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව බලය බෙදා දෙන්නැයි මෝදි මහතා අගමැති මහින්දගෙන් ඉල්ලා සිටියේය.
 
දිල්ලියේ සාකච්ඡාවලින් පසුව රාජපක්ෂ මහතාට ඉන්දීය රජය මගින් වන්දනා චාරිකාවක් සූදානම් කර තිබිණි. ඒ සඳහා ගුවන්යානා ඇතුළු සියලු පහසුකම් ඔවුහු සපයා දුන්හ. මහින්ද ගිය සාරානාත්, බුද්ධගයා, තිරැපති ආදී ප්‍රදේශවල මහින්ද වෙනුවෙන් ඉදිකළ දැවැන්ත බැනර, පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කළ අතර පාසල් ළමුන් සිය ගණනින් සුබ පතන්නට එක්ව සිටියෝය.
 
එහෙත් මෙම ඉන්දීය චාරිකාව ගැන සමාජ මාධ්‍ය ජාලා දැඩි ලෙස විවේචන ඉදිරිපත් කර තිබිණි. මහින්ද සමඟ 40ක පමණ දූත පිරිසක් චාරිකාවට එක්වූ බව කී නිසා ඒ ගැන කරුණු කියන්නට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය හමුවක් තැබීය. ඔහු කීවේ ආරක්ෂකයන්, වෛද්‍යවරයා සහ ලේකම්වරුන් සමඟ ගිය පිරිස 21 ක් බවය. මන්ත්‍රී ප්‍රසන්න රණවීර මේ කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධව ද බරපතළ විවේචන එල්ල විය. ඔහු මෙම චාරිකාවේ දී ඉන්දීය නායකයන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් ඒවා ප්‍රචාරය කොට විශාල ප්‍රචාරක වාසියක් ලබාගත්තේය. එහෙත් ඔහු ගැන එල්ල වූ විවේචනවලින් රජයට හොඳක් වූ බව නොපෙනේ. එහෙත් ප්‍රසන්න ඒ ගැන සතුටින් පසුවිය.

 

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් කැඳවා තිබිණි. සතියේ පාර්ලිමේන්තු කටයුතු මෙන්ම පොදු දේශපාලන මාතෘකා ගණනාවක්ම මෙහිදී සාකච්ඡාවට ගැනිණ. රන්ජන් රාමනායකගේ හඬපට ගැන කතාබහ රසවත් විය. පක්ෂ නායක හමුවේ සිටි දයාසිරි ජයසේකර මෙම හඬපට හෙළිදරව් වීමට එරෙහිව මතයක් ප්‍රකාශ කළේ තමන්ට ද අගතියක් වන බව කියමිනි. පසුගිය යහපාලන රජය කාලයේ රන්ජන් තමන්ට ද ඇමැතුම් ලබාදුන් බවත් ඒ කාලයේ ආණ්ඩුවේ සිටි නිසා විපක්ෂයේ රාජපක්ෂ කඳවුර තමන් මෙම කතාබහේ දී විවේචනය කළ බවත් දයාසිරි කීය. එවැනි විවේචන ඇතුළත් හඬපට දැන් හෙළිදරව් වුවහොත් දැනට රාජපක්ෂ රජයේ කටයුතු කරන තමාට ප්‍රශ්න උද්ගත වන බැවින් ඒවා හෙළිදරව් නොවිය යුතු යැයි දයාසිරි තරයේම පැවසීය.
 
රැස්වීමේ සිටි මැති ඇමැතින් ගණනාවක්ම කතානායකවරයාගෙන් විමසුවේ මේවායේ අන්තර්ගතය ගැනයි. ඒවායේ අසභ්‍ය යෙදුම් සහ වචන රැසක් ඇතැයි පැවසූ කතානායකවරයා සමහර ඒවා හෙළිදරව් වීමෙන් පවුල් ආරවුල් පවා ඇතිවිය හැකි බව අවධාරණය කළේය. එවිට සභාවේ සිටි පක්ෂ නායකයකු විමසා සිටියේ “ඔබතුමා මේ හඬපටවලට සවන් දුන්නේද?” කියාය. “නැ නෑ.. මම ඒවාට සවන් දුන්නා නම් මාවත් නරක් වෙන්න ඉඩ තිබුණා.. ඒ නිසා මම ඒවා අහන්නවත් ගියේ නැහැ. සංස්කරණය කරන්න හැන්සාඩ් කර්තෘ මණ්ඩලයට භාර දුන්නා..” යැයි කතානායකවරයා පැවසුවේ සිනාසෙමිනි.
 
එ.ජා.පයේ සජිත් හිතවාදී කණ්ඩායමට (සමගි ජාතික බලවේගයට) සහාය දීමට මෙතෙක් එ.ජා. පෙරමුණ සමඟ සිටි හවුල්කාර පක්ෂ තීන්දු කර ඇත. ඒ අනුව චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ සජිත්ගේ නව දේශපාලන සන්ධානයට සහාය දෙන බවට ගිය බදාදා ප්‍රකාශයක් නිකුත් කළේය. තමන් ඉදිරි මහමැතිවරණය සජිත්ලා සමඟ තරග කරන බවද ඔවුහු කීහ.
 
ජනතා විමුක්ති පෙරමුණ ද මහමැතිවරණය සඳහා සැරසෙන අතර ඔවුන්ගේ සුපුරුදු දේශපාලන කටයුතු දියත් කර ඇත. මන්ත්‍රී නලින්ද ජයතිස්ස සමඟ පොලිස් මූලස්ථානයට මේ සතියේ ගිය ජ.වි.පෙ. නීති අංශයේ නීතිඥ සුනිල් වටගල පොලීසියට පැමිණිල්ලක් කළේ පසුගිය රනිල් - මෛත්‍රී ආණ්ඩුව රුපියල් කෝටි 287 ක් වැයකර මෙරටට ගෙන්වූ නිල වාහන 78 ක් සම්බන්ධයෙනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් ද මෙලෙස වාහන ආනයනය කරවා තිබිණි. මේ ගැන වහා පරීක්ෂණයක් කොට මෙම වාහනවල අද තත්ත්වය සහ ඒවා ගෙන්වීමට අදාළ නීතිමය තත්ත්වය විමසා වගකිව යුත්තන් වෙතොත් වහා පියවර ගන්නැයි මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.
 
ශ්‍රීලංකන් ගුවන් සේවයට යානා මිලට ගැනීමේදී පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කොමිස් ලබාගැනීමට අදාළව කෝප් කමිටුව ලබන 19දා පරීක්ෂණයක් පවත්වන බව එහි සභාපති ජ.වි.පෙ. මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ශ්‍රීලංකන් නව පාලක මණ්ඩලය අලුතෙන් පත්ව ඇති නිසා ඔවුන්ට මේ ගැන අධ්‍යයනයට කල් ලබාදෙන ලෙස කළ ඉල්ලීම ද කෝප් කමිටුව ප්‍රතික්ෂේප කළේය. මෙයට පෙර කෝප් කමිටුව එයාර් බස් ගනුදෙනුවට අදාළ වාර්තා දෙකක් මැතිසබයේ සභාගත කළ බව කෝප් සභාපතිවරයා මාධ්‍යයට කීය.
 
එ.ජා.පයේ නව සන්ධානය සඳහා සුදුසු ලකුණ තෝරාගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. එම කමිටුවට සජිත් පිලේ ජ්‍යෙෂ්ඨයන් ද රනිල් හිතවාදී ජ්‍යෙෂ්ඨයන් ද පත් කර ඇත. ඔවුන් සිකුරාදා සවස රැස්වී නව සන්ධානයේ ලකුණ සම්බන්ධව සාකච්ඡා කොට හදවත ද, අලියා ද යන ලකුණු දෙකෙන් එක් ලකුණක් තෝරාගැනීමට නියමිතය. එම තීරණය සඳුදා කැඳවන කෘත්‍යාධිකාරියට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත බව පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සිරිකොත දී පැවසීය.
 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00