2017 මාර්තු 25 වන සෙනසුරාදා

මහින්දගෙන් මෛත්‍රීට දුරකතන ඇමතුමක්

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1496

තවමත් සමාජයේ බහුතර කතාබහ සිදුවන්නේ ආණ්ඩුව කියන ඇමැති මණ්ඩලයේ සංශෝධනය ගැනයි. බොහෝ මැති ඇමැතිවරු මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලින් පසුව අවුරුදු නිවාඩුව සඳහා කොළඹින් පිටව යති. ඇතැම් මැති ඇමැතිවරු මේ වනවිටත් විදේශගතව සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තුන්දින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව ගියේය. ඒ නිසා යෝජිත අමාත්‍ය මණ්ඩල වෙනස සිංහල අවුරුද්දට පෙර සිදුවන්නේ නම් ලබන සතියේ එය සිදුවිය යුතුය. එසේ නොවේ නම් අප්‍රේල් අග හෝ මැයි මාසයේදී සිදුවන්නට ඉඩ තිබේ. කෙසේ හෝ රජය මේ ගැන විවිධ ප්‍රකාශ කළත් විධිමත් ක්‍රියාදාමයක් නොවීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය ගැන තිබෙන ආරංචිවල උණුසුම් බවක් දක්නට නැත. මැති ඇමැතින්වත් ඒ ගැන නිසි තොරතුරු නොදන්නා නිසා බොහෝදෙනා සිටින්නේ කුහුලින් යුතුවය.

ඒ අතර පසුගිය සති අන්තයේ මංගල සමරවීර විදේශ අමාත්‍යවරයාගේ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් නිවසේ විශේෂ පින්කමක් සිදුවිය. ඒ ඔහුගේ පියාණන් වූ මහානාම සමරවීර මහතා සහ මෑණියන් වූ ඛේමා සමරවීර මහත්මියට පින් පිණිසය. ආණ්ඩුවේ මැති ඇමැතීන් රැසකට මංගල මේ අවස්ථාව සඳහා ආරාධනා කර තිබිණි. ඒ පැමිණි හුඟදෙනෙක් අමාත්‍ය සමරවීර මහතාට සුබ පැතුවේ ඔහුට ළඟදීම මුදල් අමාත්‍ය පදවිය පිරිනැමෙන බවට පළ වූ යෝජනාව ගැන විමසමිනි. මංගල ඒ සැමට කියා සිටියේ තමන් මේ ගැන මුල සිටම ඒ තරම් කැමැත්තක් නොදැක්වූ බවය. 

විදේශ අමාත්‍යංශය මගින් ළඟදීම මාතරට විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමටත් සිතා සිටින නිසා එමගින් දකුණේ ජනතාවට සේවය කිරීමට සැලසුමක් සකස් කර ඇතැයිද අමාත්‍ය සමරවීර මහතා තමන්ට සුබ පැතූ අයට කීය. එසේ නමුත් අගමැතිවරයා මේ ගැන තමන්ගෙන් කළ ඉල්ලීම අහක දැමිය නොහැකි යැයි මංගල කී විට, ඔහුට සුබ පැතූ මැති ඇමැතීන් විමසා සිටියේ මංගල අමාත්‍යවරයා ස්ථිරවම මුදල් ඇමැති පදවිය භාරගන්නේද යන වගයි. ඔව් හැබැයි කොන්දේසියකට යටත්ව යැයි මංගල පිළිතුරු ලෙස කීය. තමන් මුදල් විෂයය ගැන ප්‍රවීණයකු නොවන නිසා ඒ ගැන ප්‍රවීණයකු වන එරාන් වික්‍රමරත්න මහතා තමන්ගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළහොත් පමණක් අමාත්‍ය ධූරය භාරගන්නට එකඟවන බව අගමැතිතුමාට දැන්වීයැයි එවිට මංගල සිය හිතවතුන්ට පැවසීය. මේ කතාබහ මධ්‍යයේ දානමය පින්කම හොඳින් සිදු‍ෙකරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දානය පිරිනැමීම සඳහා එක්වීම විශේෂයක් විය. මාතර සිට වැඩම කළ නායක හිමිවරුන් ප්‍රමුඛ දොලොස් නමක් වූ මහා සංඝරත්නය දානය නිමවා පිටත්වීමත් සමඟ ජනපතිවරයා ප්‍රමුඛ පිරිසට දිවා භෝජනය පිරිනැමිණි.

ජිනීවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් මේ සතියේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන්ගේ අවධානය යොමුව තිබිණි. මෙවර ජිනීවා කොමිසමේ අවසන් සැසිය පසුගිය 22, 23 දෙදින පැවැත්වූ අතර ශ්‍රී ලංකාව සම්බන්ධව එහි කොමසාරිස් ජනරාල්වරයා කළ ප්‍රකාශය මගින් අප වෙත පනවා ඇති කොන්දේසි ඉටුකිරීමට තවත් වසර දෙකක් කල් ලබාදී තිබිණි. රජය වෙනුවෙන් විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොමිසම අමතා කරුණු දැක්වීය. ශ්‍රී ලංකාව ජිනීවා කොමිසම ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ආචාර්ය හර්ෂ සභාවට දැන්වීය. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් වන රෝහිත අබේගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුද, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයකට සහභාගි වීම සඳහා එහි ගොස් සිටියහ. ඔවුහු යුරෝපයේ ගෝලීය ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් සංවිධානය කළ උද්ඝෝෂණයකටද සහභාගී වූහ. එහිදී ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට තහවුරු කෙරෙන සාක්ෂි ඇතුළත් පිටු 200ක ලේඛනයක්ද ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළෝය. පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල්දැමීම, යුද අපරාධ කළ බව කියමින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව කෙරෙන පරීක්ෂණ අත්හිටුවීම වැනි කරුණු සඳහන් පුවරු රැගත් උද්ඝෝෂකයෝ ජිනීවා උද්ඝෝෂණයේ පෙරමුණ ගත්හ. 

මුදල් ඇමැතිකමට මංගලගෙන් කොන්දේසි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම සම්බන්ධව පළ කළ එක්තරා අදහසක් දැඩි සමාජ අවධානයට ලක්විය. ජිනීවා මානව කොමිසමේ අවශ්‍යතාව මත මෙරට ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම ගැන ඉන්දියාව, අමෙරිකාව පමණක් නොව, මුළු ආසියාකරයේම රටවල් විරුද්ධ බව රජය තේරුම්ගෙන ඇතැයි අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී ප්‍රකාශ කළේය. ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවලින් අපට එකඟවිය හැකි දේ පමණක් ඉටුකිරීමට භාරගන්නා බව මෙහිදී අගමැතිවරයා අවධාරණය කිරීම විශේෂයකි. මානව හිමිකම් කොමිසමේ යෝජනාවල එකඟවිය හැකි කරුණු, එකඟවිය නොහැකි කරුණු සහ සංශෝධනය කිරීමෙන් පසු එකඟවිය හැකි කරුණුද තිබෙන වග අගමැතිවරයා කීය. ඒ නිසා අපට පිළිගත හැකි කරුණු පමණක් ඉටුකරන බව මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන බවද අගමැතිවරයා වීරකැටියේදී ප්‍රකාශ කළේය. එහෙත් ඊට දින කිහිපයකට පෙර මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කියා තිබුණේ යුද පෙරමුණේ සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද රණමඟ ඔස්සේ නන්දිකඩාල් දක්වා ග්‍රන්ථයේ සඳහන් ඇතැම් කරැණු යුද අපරාධ සනාථ කරන්නට සාක්ෂි සපයන වගයි. මංගලගේ මෙම කතාවද සමාජයේ ආන්දෝලනයට ලක්වූ එකකි.

චීනයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් චෑන් චැන්ගුඅන් මහතා නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණියේය. චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් වැදගත් සිදුවීමකි. ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා ඇති ඉන්දීය නායකයන් මෙරටට එන තරමටම චීනයේ නායකයෝද පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙරට අතර ඇති සීතල යුද්ධය නිසා ශ්‍රී ලංකාව මෙම දෙරටේම දැඩි අවධානය දිනූ රටක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව පිහිටා ඇති ස්ථානයේ උපාය මාර්ගික වැදගත්කම නිසා දෙරටම ශ්‍රී ලංකාව ගැන උනන්දුය. චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රැවන් විජයවර්ධන මහතා මුණගැසුණි. එහිදී චීන අමාත්‍යවරයා ඍජුවම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කිරීම සඳහා චීනය කොන්දේසි විරහිතව සහය පළකරන බවයි. චීනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිත්‍ර රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා පුහුණු ඉඩ ප්‍රස්ථා, තාක්ෂණික දැනුම සහ යුද උපකරණ ඉදිරියේදී සැපයීමට අදහස් කරන්නේ යැයිද ආරක්ෂක අමාත්‍යවරයා කීය. රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා චීනය දිගු කලක සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා කරන උදව්පදව් විශේෂ අගැයුමකට ලක් කරමින් අදහස් දැක්වීය. දශක තුනක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය හමාර කිරීමට චීන රජය ලබාදුන් සහය අගය කරන්නේ යැයිද චීන ආරක්ෂක අමාත්‍යවරයාට ස්තූතිය පළ කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා රාත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී වත්මන් රජයේ ඇතැම් කටයුතු ගැන දැඩි විවේචනාත්මක අදහස් ඉදිරිපත් විය. වි‍ශේෂයෙන්ම දැනට මාස තුනකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඇප නොමැතිව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධව ගත යුතු පියවර කාගේත් දැඩි අවධානයට ලක්විය. විමල් වෙනුවෙන් ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ගොනු කරන ලද පෙත්සමද ප්‍රතික්ෂේප වීම නිසා ඉදිරියේදී ගත යුතු විකල්ප නීතිමය පියවර ගැනද සාකච්ඡා විය. විමල් වීරවංශ තමන්ට දිගින් දිගටම අසාධාරණයක් වන බව කියමින් මාරාන්තික උපවාසයක් සිරගෙදර සිට අරඹන බව ඒ වනවිට විපක්ෂයට දැනුම් දී තිබිණි. එහෙත් විමල් වීරවංශගේ බිරිය සහ දියණිය ඊට තදින්ම එරෙහි වූ බව කියැවේ. දියණිය හඬමින් ප්‍රකාශ කර ඇත්තේ තාත්තා මාරාන්තික උපවාස කරන්නේ නම් තමන්ද නිවෙසේ සිට උපවාසයක් කරන බවය.

මෛත්‍රිගේ කතුරෙන් තුන්දෙනෙක් කැපේ

කෙසේ හෝ ඒ කිසිවකින් විමල් නතර කරන්නට නොහැකි විය. මේ උපවාස කතාව ගැනද ඒකාබද්ධ විපක්ෂය කතා කළේය. අනතුරුව විමල් බේරාගැනීම සඳහා ඔවුහු විශේෂ  කමිටුවක් පත් කළහ. වාසුදේව, උදය ගම්මන්පිල, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද, ජොන්ස්ටන්, ජයන්ත සමරවීර, විමලවීර දිසානායක හා වීරකුමාර දිසානායක එම කමිටුවට ඇතුළත් වූහ. අනතුරුව තවත් ක්‍රියාමාර්ග දෙකක් ගැනීමට තීන්දු කෙරිණි. ඒ අනුව සිය ජංගම දුරකතනය අතට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් ඉදිරියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතීය. ඉතා කෙටි කතාබහක් වූ මහින්ද මෛත්‍රී දුරකතන සංවාදයේදී මහින්ද මුලින්ම ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයට සුබ පැතීය. අනතුරුව විමල්ගේ ප්‍රශ්නය ගැන කීය. ඔබත් අපිත් එක්ක එකට ඇමැති මණ්ඩලේ හිටපු විමල් දැන් දවස් 70කට වැඩි කාලයක් රිමාන්ඩ් සිරගත කර ඇතැයි කී මහින්ද ඔහුට ඇපදීමට විරුද්ධ වීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව අසාධාරණ ලෙස ක්‍රියාකරන බව පෙනෙන්නේ යැයිද පැවසීය. මෙතරම් කාලයක් බන්ධනාගාර ගතකිරීම යෝග්‍ය නැති බව පෙන්වා දුන් මහින්ද මේ සඳහා සාධාරණය ඉටුකරන්නැයි මෛත්‍රීගෙන් ඉල්ලීමක් කළේය. ුහොඳයි මම මේ ගැන නීතිපතිතුමා එක්ක කතාකරලම පිළිතුරක් දෙන්නම් යැයි ජනාධිපති මෛත්‍රී කීය. ඒ සමඟම දුරකතන සංවාදය හමාරවිය.

මේ සාකච්ඡාව යද්දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියද හිටපු ජනාධිපතිවරයාට පැමිණිල්ලක් කළේය. ස්විට්සර්ලන්ත පුරවැසිකම හේතුවෙන් තමන්ගේ මන්ත්‍රී පදවිය අහිමිවන්නට යන බවත් එය රැකදීමට ආණ්ඩුවට එන්නැයි බලපෑම් කරන බවත් ගීතා කීය. තමන්ට නියෝජ්‍ය ඇමැති පදවියක්ද රජය යෝජනා කර ඇතැයි ඇය කීවාය. ඒ ගැනද කුමක් හෝ කරන්නැයි ගීතා ඉල්ලා සිටියාය. අනතුරුව විමල් බේරාගැනීමේ කමිටුවටම ගීතාගේ ප්‍රශ්නයද භාරදුනි.

පසුවදා විශේෂ මන්ත්‍රී කණ්ඩායම් දෙකක් කතානායක කරූ ජයසූරිය හමුවී මන්ත්‍රී විමල් ඉතා අසාධාරණ ලෙස රිමාන්ඩ් කර ඇතැයි පැමිණිලි කළේය. මහින්ද රාජපක්ෂ, වාසුදේව, චමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ආදී මන්ත්‍රීවරු ඊට අයත් වූහ. විමල් අසාධාරණ ලෙස බන්ධනාගාර ගතකර ඇති බැවින් වහා ඒ ගැන සොයාබලා මන්ත්‍රීවරයකුගේ අයිතිය රැකදෙන්නැයි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඉල්ලා සිටියෝය. මමත් හිරේ හිටිය හැබැයි විමල් මේ තියාගෙන ඉන්න විදිය අසාධාරණයි. මහින්ද කීය. කෙසේ හෝ කතානායකවරයාද මේ ගැන නීතිපති සමඟ සාකච්ඡා කර පිළිතුරක් දෙන බව කීය.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් සෑහෙන පිරිසක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ උපවාස කරන විමල් බලන්නට ගියේය. මහින්ද රාජපක්ෂ, උදය ගමන්පිල, මහින්දානන්ද ඇතුළු පිරිස විමල් උපවාස කරන කුටිය වෙතට ගොස් ඔහු හා සාකච්ඡා කළෝය. තමන් මේ ගැන ගත් පියවර ද ඔවුහු ඔහුට දැන්වූහ. තමන් මේ ප්‍රශ්නය දෙකෙන් එකක් වනතුරු උපවාසය පවත්වා ගෙනයන බව විමල් කීය. ආහාර වර්ජනය කළ තමා දැන් ගන්නේ වතුර වීදුරුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර උසාවියට අගමැති අකමැතිලු

ආණ්ඩුවේ අමාත්‍යවරුත් ගණනාවක්ම ප්‍රසිද්ධියේ තමන්ගේ කලකිරීම ප්‍රකාශ කරමින් කතා කරන්නට පටන්ගෙන ඇත. ඉන් ප්‍රධානම ඇමැතිවරයකු වන්නේ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය. තමන්ගේ අමාත්‍යංශයෙන් කිසිවකුට වැඩක් කළ නොහැකි නිසා කැබිනට් අමාත්‍ය පදවිය වෙනුවට ඌව මහ ඇමැති පදවිය ලබා දෙන්නැයි අගමැතිතුමාගෙන් ඉල්ලු බව කී හරීන් මේ මාසය තුළ හොඳින් කල්පනාකොට තීන්දුවක් ගන්නා බව සඳහන් කළේය. තමන් දැඩි කලකිරීමෙන් සිටින බව හරීන් කියද්දී අමාත්‍ය චම්පික රණවකද තරමක් වෙනස් අදහස් ගණනාවක් මේ සතියේ පළකර තිබුණේය. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කළ රණවක අමාත්‍යවරයා එය සැදිය යුත්තේ එ.ජා.ප.යට හෝ ශ්‍රී.ල.නි.ප.යට අවශ්‍ය අන්දමට නොවේ යැයි කීය. එසේම පළාත් පාලන ඡන්දය කල්දැමීම වැරදි බව කී ඇමැති රණවක ප්‍රධාන පක්ෂ මේ ගැන කරන කඹ ඇදිලි නවතා වහාම පළාත් පාලන ඡන්දය තබා ජනමතය ප්‍රකාශ වන්නට ඉඩදිය යුතුයැයි පැවසීය. ඒ අතර අමාත්‍ය අර්ජුන රණතුංග ද රජය සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබේ. ඒ හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙනි. ඔහු වරාය මේ ගිවිසුම යටතේ චීනයට පැවරීම ගැන එකඟ නැත. ඒ බව අර්ජුන කැබිනට් මණ්ඩලයට මෙන්ම ජනාධිපතිවරයාටත් දන්වා ඇතැයි කියැවේ.

කෙසේ හෝ හම්බන්තොට වරාය චීනයට පැවරීම සඳහා වන ගිවිසුමට රජය මේ සතියේ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව දැක්වීය. අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ගැනීමට පෙර පසුගිය සඳුදා ජනාධිපතිවරයා විසින් මේ ගැන අධ්‍යයනයට පත්කළ කමිටුව රැස්විය. ජනාධිපති, අගමැති, අමාත්‍ය සරත් අමුණුගම, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය චම්පික රණවක ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් මෙම හමුවට එක්වූහ. එහෙත් වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා රැස්වීමට පැමිණියේ නැත. මෙම හමුවේදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මුලින්ම අදහස් දක්වමින් කීවේ හම්බන්තොට වරාය ගිවිසුමට ආර්ථික වාසි ගණනාවක් රටට ලැබෙන බවය. ආර්ථික වර්ධනය සඳහා මුදල් අවශ්‍ය බව කී හෙතෙම හම්බන්තොට ගිවිසුම ඒ සඳහා ඉතා යෝග්‍ය යැයිද කීය. ඊළඟට අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා කීවේ මෙම ගිවිසුම සකස් කළ ආකාරය හා ආයෝජකයා තෝරාගත් ආකාරය ගැටලු සහගත බවය. එම කටයුත්ත විනිවිද භාවයෙන් යුතුව සිදුව නැතැයිද රණවක මහතා සඳහන් කළේය. හම්බන්තොට වරායේ අනාගත ආර්ථික වටිනාකම් ගැන අධ්‍යයනයක් කර නැතැයිද ඔහු පෙන්වා දුන්නේය. සමාගම් දෙකක් ලබාදුන් මතයක් පමණක් සලකා මෙම අයෝජකයා තෝරා ගැනීම සාධාරණ නැතැයිද ඔහු පැවසීය. හම්බන්තොට වරාය ඉදිකිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1400ක ණය මුදලක් ගත් චීන ආයෝජන සමාගම අපෙන් වරාය පවරා ගැනීමේදී එය තක්සේරු කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1100කට වීම විශාල ගැටලුවක් යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි. අනතුරැව තවත් ඇමැතිවරු ගණනාවක්ම මේ ගැන සිය මත පළ කළෝය. අවසානයේ අවශ්‍ය වෙනස්කම් හා සංශෝධන සිදුකර ගිවිසුම නැවත සකස් කිරීමට තීන්දු විය.

මෙම යෝජනා සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පසුදා එනම් අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කෙරෙණි. එදිනද වරාය අමාත්‍ය අර්ජුන ඇමැති හමුවට ආවේ නැත. නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම පැමිණ සිටියේය. කෙසේ හෝ කැබිනට් මණ්ඩලය හම්බන්තොට වරාය ගිවිසුමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළකළේය. වරාය දේපලවලින් 80‍්෴ක් වසර 99කට චීනයට පැවරීම එහි ප්‍රධාන කොන්දේසියයි. 20%ක් වරාය අධිකාරිය සතුය. චීනයට පවරන 80% කොටස්වලින් තවත් 20%ක් වසර 10ක් තුළ නැවත දේශීය සමාගමකට අලෙවි කළ යුතුය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ස්ථාපිත කෙරෙන සමාගමක් හරහා මෙම ගිවිසුම අත්සන් කිරීමටද යෝජනා කැරිණි. ජනාධිපතිවරයාගේ හෝ සෙසු ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරු මේ ගැන කිසිදු විරෝධයක් පළ නොකළ අතර ගිවිසුමට කෙරෙන සංශෝධනවලින් පසුව අවසන් කෙටුම්පත සකස් කෙරෙනු ඇතැයි සඳහන්ය. මේ හැර එතරම් අර්බුදකාරී නොවූ තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 80ක් පමණද ඇමැති හමුවේදී අනුමත කැරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ ශ්‍රී.ල.නි.ප. සංවිධායකයන් ගණනාවක් තනතුරුවලින් පහ කළේය. ඒ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව සිටින ගාල්ලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් පිරිසකි. රමේෂ් පතිරාණ, මොහාන් ද සිල්වා සහ බලපිටිය සංවිධායක සජිත් ද වාස් ගුණවර්ධන මෙසේ තනතුරැවලින් ඉවත් කළ සංවිධායකයෝ වූහ. මෙයින් රමේෂ් හා මොහාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ය. ඔවුන්ට පක්ෂය හා එක්ව ඉදිරියට යන්නට එන ලෙස ජනාධිපතිවරයා වාර ගණනාවක්ම ආරාධනා කළ නමුත් ඒ සඳහා ඔවුහු එකඟ නොවූහ. එම නිසා පක්ෂ විනය කඩකළ බව කියමින් ඔවුන්ගේ තනතුරු මාරු කරන්නට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

ඇමැති අර්ජුන නැතිව හම්බන්තොට වරාය ගිවිසුම අවසන් කෙරේ

තම සංවිධායක ධූර වෙනස් කිරීම ගැන ඉවත් කළ ඇතැම් මන්ත්‍රීවරුන් සිය අදහස් දක්වා තිබිණි. අක්මීමන සංවිධායක ධූරයෙන් මන්ත්‍රී රමේෂ් පතිරණ ඉවත් කිරීම ගැන ඔහු පවසා තිබුණේ තමන්ගේ සංවිධායක ධුරය නැති කළේ ඒකාබද්ධ විපක්ෂය හබරාදූවේ පවත්වන මහා ජනරැළිය සංවිධානය කිරීම නිසා බවය. ආණ්ඩුව මෙම රැස්වීමට කොතරම් බියට පත්වී සිටින්නේද යන්න මෙම තීන්දුවෙන් පැහැදිලි වන්නේ යැයිද ඔහු පැවසීය. රත්ගම සංවිධායක ධුරයෙන් ඉවත් කළ මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා කීවේ ශ්‍රී.ල.නි.පය ක්‍රියාකරන්නේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් බවය. රාජ්‍ය දේපොල විකිණීම ශ්‍රී.ල.නි.ප. ප්‍රතිපත්තිය නොවුණත් යහපාලනය මුවාවෙන් කෙරෙන්නේ එය යැයිද හෙතෙම කීය. තමන් ශ්‍රී.ල.නි.ප.යට විරුද්ධ නැති බවත් විරුද්ධ එ.ජා.ප.ය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට වගත් හෙතෙම පැවසීය. සංවිධායකම නැතත් 25 දා හබරාදූවට පැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලන්නේ යැයිද මොහාන් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට මේ සතියේ කැඳවා තිබිණි. ඒ අනුව ගිය සිකුරාදා උදේ 10.00ට රාජපක්ෂ මහතා ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ප්‍රමුඛ නීතිඥවරුද සමඟ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණියේය. මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ පිරිසක්ද හිටපු ජනාධිපතිවරයා සමඟ වූහ. මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිෂන් සභා කාර්යාලයේ වෙනම විශේෂ කුටියක් සකස් කර තිබිණි. ඔහු පැමිණි විට පිළිගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු කොමිෂන් සභා ලේකම් රුඳී සිටි විශේෂ කුටියට රාජපක්ෂ මහතා කැඳවාගෙන ගියේය. මැතිවරණ සමයේ රූපවාහිනි ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කළ ආකාරය ගැන ඔහුගෙන් ප්‍රශ්න කළේය. එවිට රාජපක්ෂ මහතා කීවේ ඒවා සිදුකළේ තමා නොව මැතිවරණ මෙහෙයුම් කමිටුවක් බවත් තමා කිසිවක් ප්‍රචාරක වැඩ ගැන නොදන්නා බවත්ය. ඔහු මේ කතාව විස්තර කරමින් විනාඩි 10ක පමණ කාලයක් ප්‍රකාශය ලබාදුනි. එය අවසානයේ කොමිෂන් සභා ලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නීතිඥ පිරිසට තේ පැන් සංග්‍රහයක්ද පැවැත්වීය. එය පිළිගත් රාජපක්ෂ මහතා ටික වේලාකවකින් සිය හිතවතුන් සමඟ පිටත්ව ගියේය.

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර