2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සන්ධානය සජිත්ට පවරයි රනිල් නායකත්වය රැකගනී

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

► ඉන්දීය තානාපති සාදයේදි චන්ද්‍රිකා මහින්දට කී අපූරු කතාව
► කොරෝනා වසංගතයට මුහුණදීමට ජනපතිගෙන් කාර්යසාධන බළකායක්සී
► සී.අයි.ඩිය රනිල්ගේ නිවෙසට යයි
► සිය පුතණුවන් පන්සල් ගෙන ගිය දා රෝහිත රාජපක්ෂ ආචාර්ය උපාධි ලබයි
► හඳුන්නෙත්තිගෙන් ජනපතිට බැඳුම්කර හොරුන් ගැන ලිපියක්
► යූ.ඇන්.පිය කාගේවත් බූදලයක්  නොවේ යැයි සජිත් මතක් කරයි

රන්ජන් රාමනායක හඬපට සිද්ධිය යටපත් කරමින් ‘නව කොරෝනා’ කතාව ඉස්මතු වන්නට පටන්ගෙන තිබේ. දැන් රට පුරා සැමගේ අවධානය යොමුව ඇත්තේ මෙම භයානක රෝගී තත්ත්වය ගැනයි. චීනයෙන් සංචාරයකට පැමිණි කාන්තාවකට රෝගය වැළඳී ඇති බව සොයාගැනීමත් සමඟ තත්ත්වය තවත් බරපතළ විය. ඇය චීන සංචාරක පිරිසක් සමඟ මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇතැයි හෙළිවී තිබේ. දැන් රජයේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනයක් ද ආරම්භ වී ඇත.

නව කොරෝනා රෝගය මෙරටට පැමිණීමටත් පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන ක්‍රියාමාර්ග ගණනාවක් ගන්නා ලෙස නිලධාරීන්ට කල් තබාම නියම කළේය. විශේෂයෙන්ම චීනයේ ‘වූහාන්’හි මෙම රෝගය මුලින්ම සොයාගත් පළාතේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනකු මෙරටට ගෙන්වා ගන්නා ලෙස විදේශ අමාත්‍යංශය මාර්ගයෙන් චීනයේ වැඩබලන තානාපතිවරයාට ජනාධිපතිවරයා නියෝග කළේය. එසේම චීනයේ ටියෑන්ජින් විශ්වවිද්‍යාලය ඇතුළු සරසවි ගණනාවක සිටින සිසු සිසුවියන් 250 ක් පමණ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් ගුවන්යානා එරටට යවන්නට ද උපදෙස් දුන්නේය. දැනට වසා දමා ඇති ‘වූහාන්’ ප්‍රාන්ත ගුවන්තොටුපොළට ශ්‍රී ලංකන් යානයක් ගොඩබැස්වීමට එරට බලධරයන්ගෙන් අවසර ලබාගන්නැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට දැන්වූ ජනාධිපතිවරයා ස්වකීය ප්‍රධාන උපදේශකවරයා වන ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ නිලධාරී පිරිසකට තත්ත්වය අධීක්ෂණය කොට තමන්ට වාර්තා කරන්නැයි දැනුම් දී තිබේ.

පසුගිය සඳුදා දහවල් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගි වූහ. උත්සවය පැවැත්වුණේ ප්‍රසන්න රණතුංග මහතාගේ දියණියගේ විවාහය නිමිත්තෙනි. ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද, ඇමැති චමල්, ඇමැති සුසිල් මෙන්ම පිවිතුරු හෙළ උරැමයේ නායක උදය ගම්මන්පිල ද එකම මේසයේ සිටිමින් පවත්නා දේශපාලන හා ආර්ථික ප්‍රශ්න ගැන කතා කරන්නට වූහ. එහිදී සාකච්ඡාවට ගැනුණු ප්‍රධාන මාතෘකාව වූයේ ද කොරෝනා වෛරස රෝගය පිළිබඳවයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමැතින්ට කීවේ “මේ රෝගය ගැන සමහර දේශපාලන පක්ෂ බොරු බිල්ලෙක් මවන්න හදනවා. ජේවීපියයි දෙමළ සන්ධානෙයි යූ.ඇන්.පියේ සමහර උදවියයි මේකත් දේශපාලන ප්‍රශ්නයක් කරන්න හදන බවට තොරතුරැ තියෙනව... ඒ හින්ද අපි මේ කාරණාව ගැන දේශපාලන පැත්තෙනුත් මොනව හරි කරන්න ඕනැ..” එවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අගමැතිවරයාගේ කතාව අනුමත කළේය. “අපි පාර්ලිමේන්තුවෙ හැම පක්ෂයකින්ම නියෝජිතයො ඇතුළත්වෙන විදිහට වෙනම කාර්යසාධන බළකායක් පත් කරල මේක පොදු ජාතික ප්‍රශ්නයක් හැටියට අරගෙන ඒකෙන් අවශ්‍ය කටයුතු කළොත් නරකද?” අගමැති මහින්ද විමසීය. ජනාධිපතිවරයාත් සෙසු මැති ඇමැතිවරුත් එය අනුමත කළ අතර කොරෝනා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය ක්‍රියා කරන ආකාරය ගැන මැතිසබා විවාදයක් පැවැත්වීම සුදුසු යැයි ද කීය. කෙසේ හෝ නව කොරෝනා වෛරස ලංකාවට පැමිණීමට පෙර සිටම ඒ ගැන පූර්ව ආරක්ෂක පියවර ගැනීම ගැනත් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධවත් ජනාධිපති ගෝඨාභය ගත් ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තර මාධ්‍ය ගණනාවක් අවධානය දක්වා තිබිණි. ඉන්දියාවේ හා මැලේසියාවේ පුවත්පත් කිහිපයක් ද ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා දෙක තුනක් ද ඒ ගැන ප්‍රශංසාත්මක විචාර සටහන් තබා තිබිණි. අමෙරිකාව වැනි ප්‍රබල රටවල් දෙක තුනක් පමණක් චීනයෙන් තම වැසියන් ඉවත් කර ගන්නට හදද්දී ආසියාවෙන් මුලින්ම ඒ ගැන ක්‍රියාකාරී මෙහෙවරක් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බව ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු පුවත්පත් ගණනාවක් වාර්තා කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සටන තව තවත් ඇදී යමින් තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා දිගටම නායකත්වයේ රුඳී සිටීමට තීන්දු කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. පසුගිය සතියේ පැය 48ක කාලයක් තුළ ප්‍රශ්නය විසඳන බව රනිල් කියා තිබුණත් එවැන්නක් සිදු නොවීය. එසේම කෘත්‍යාධිකාරියේ ඡන්දයක් පවත්වන බවටත් එහි පුරප්පාඩු මේ සතියේ පුරවන බවටත් ප්‍රකාශ නිකුත් වී තිබිණි. නමුත් ඒ කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත. ඒ අතර සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය ක්‍රියාකාරීන් ගිය සති අන්තයේ කොළඹට කැඳවා පක්ෂයේ තිබෙන ප්‍රශ්න, පරාජය ලැබීමට හේතු ආදිය විස්තර කළේය. එ.ජා.පය කාගේවත් බූදලයක් නොවන බව එහිදී පැවසූ සජිත් පක්ෂය කැඩෙන්නට බිඳෙන්නට නොදෙන බවට එහිදී සහතිකයක් දුන්නේය. මෙම හමුවේදී ආවේගශීලී කතාවක් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය විවේචනය කළේය. රනිල්ට කොපමණ කීවත් තමන් නියෝජනය කරන වැඩිම ඡන්ද දායකයන් සිටින ගම්පහට නොසැලකූ බව ඔහු පැවසීය. පක්ෂය තුළ බෞද්ධ විරෝධයක් ඇතිකළ අය සමඟ ගමනක් යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා එ.ජා.පය නිවැරදි මාවතේ ගමන් කළහොත් රාජපක්ෂ රජය දණගැස්විය හැකි බවත් තමන් කලින් කී ලෙස රාජපක්ෂලා මැදමුලනේ නිවෙසේ ජනේලයේ එල්ලීමට හැකියාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ එ.ජා.පයේ කණ්ඩායමත් වෙනම සන්ධාන ගතවීමකට වඩා පක්ෂය තුළම අරගලය සිදුකර ජයගන්නට වැඩි කැමැත්තක් දක්වන බව කියැවේ. එම නිසා ඔහුගේ හිතවතුන් සන්ධාන යෝජනාව ඉදිරියට ගෙන යද්දී සජිත් ප්‍රකාශ කරන්නේ තමන් කිසිදා පක්ෂය දෙකට කඩන්නට උත්සාහ නොකරන බවයි. ඒ අතර රන්ජිත් මද්දුමබණ්ඩාර හා හරින් ප්‍රනාන්දු ආදීන් ප්‍රසිද්ධියේම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කර පලක් නැත කියායි. ජ්‍යෙෂ්ඨයකු වන රන්ජිත් කීවේ තමන් පෞද්ගලිකව පක්ෂ නායකත්වය සමඟ කිසිදු සාකච්ඡාවකට නොඑන බවකි.

එ.ජා.පයේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ මෙහෙයැවීමෙන් අලුත් සන්ධානය සකස් කිරීම ගැන මේ සතියේත් දින ගණනාවක්ම සාකච්ඡා පැවැත්විණි. සන්ධාන මහලේකම් ධූරයට රන්ජිත් මද්දුමබණ්ඩාර පත් කිරීම ඔවුනගේ සැලසුමයි. රන්ජිත් ඊට අකැමැති නම් පමණක් කබීර් හෂීම්ගේ නම යෝජනා කරන්නට පිරිසක් සැරසෙති. කෙසේ හෝ මේ සතිය දෙක තුළ අලුත් සන්ධානය ලියාපදිංචි කිරීමටත් සුදුසු ලකුණක් තෝරාගන්නටත් සජිත්ට හිතවත් හවුල්කාර පක්ෂ උනන්දු වෙමින් සිටියි.

කලකට පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණේය. පසුගිය ඡන්ද කාලයේ දෙපක්ෂය අතර විරසකයක් තිබූ නිසා සුහද බවක් පැවතුණේ නැත. මේ දෙදෙනා මෙවර හමුවූයේ ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්දු කොළඹින් සමුගැනීම සඳහා පවත්වන ලද සුහද හමුවේදීය. පක්ෂ නායකයන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සියලු දෙනා ඉදිරිපෙළ අසුන්ගෙන සිටියදී හිටපු ජනපතිනිය පැමිණ අසුන් ගන්නවා මහින්ද දුටුවේ නැත. එහෙත් සුළු වේලාවකින් ඔහු හිටපු ජනපතිනිය දැක ඇය අසලට ගිය විට “කොහොමද මහින්ද?” කියා චන්ද්‍රිකා විමසීය. “මම ඔබතුමිය එනව දැක්කෙ නැහැ..” මහින්ද කීය. “දැන් අපි පොඩියිනේ. ඒකයි පේන්නෙ නැත්තෙ” චන්ද්‍රිකා කීවාය. “ඒකත් ඇත්ත තමයි” කී මහින්ද සිනාසී තමා අසලින් අසුන්ගෙන සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියට කතාකොට හුදෙකලාව ඈත අසුන්ගෙන සිටි චන්ද්‍රිකා මැතිනිය අසල අසුන්ගෙන ඇය සමඟ කතාබස් කරන්නට සැලැස්වීය. මෙම හමුවට ආර්. සම්පන්දන්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, දිනේෂ් ගුණවර්ධන ආදී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රුසක්ම පැමිණ සිටියහ. එහෙත් සජිත් හා රනිල් ඈත අසුන් දෙකක දෙපැත්ත බලාගෙන සිටියා මිස වැඩි කතාබහක තිරතවනු නොපෙනිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරැවේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත පිටත්ව ගියේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහාය. ඔහු මෙයට මාස 6කට පමණ පෙර එහිදී හෘද සැත්කමකට මුහුණ දුන්නේය. ඉන්පසු කෙරෙන මූලික වෛද්‍ය පරීක්ෂණය සිංගප්පූරුවේදී සිදු කෙරේ. රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂකයන් සමඟ සිංගප්පූරුව බලා ඔහු පිටත්ව ගියේ පෞද්ගලික සංචාරයක් ලෙසය. මෙම ගමනේ සියලු වියදම් රජයෙන් නොව තමන්ගේ මුදලින්ම දරන බව ඔහු කල් තබාම ප්‍රකාශ කර තිබිණි. ඒ අතර විපක්ෂයේ එක්තරා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ඔහුට ද විදේශ රටක වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යන්නට තිබෙන බැවින් සිය පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා රජයේ අනුග්‍රහයෙන් ගෙන යන්නට ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව අවසර පැතීය. එවිට ජනාධිපති ගෝඨාභය විපක්ෂ ජ්‍යෙෂ්ඨයාට කීවේ තමනුත් මෙබඳුම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා විදේශ ගතවන නමුත් තමන්ගේ ආරක්ෂකයන් සහ භාර්යාව ගමනට සහභාගි වන්නේ පෞද්ගලිකව වියදම් දරාගෙන බවයි. ඉන්පසුව විපක්ෂ ජ්‍යෙෂ්ඨයා කිසිවක් නොකියා හැරී ගිය බව දැනගන්නට ඇත.

නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ගැන සමාජ කතාබහක් ඇතිවී තිබේ. ඔහුගේ නියමයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නට යෑම ගැන නීතිපතිවරයා ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා ලෙස කතානායක හමුවට කැඳවා කරුණු විමසීමට තීන්දු කර තිබේ. එය පසුගිය සතියේ ව්‍යවස්ථා සභාව ගත් තීන්දුවකි. මෙම සිද්ධිය වීමෙන් පසුව ඔහුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් තවත් නියෝගයක් ලැබිණි. එමගින් කියැවුණේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාමේ චෝදනාවට අධිකරණයේ නඩු පවරා ඇති හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක සම්බන්ධව ඇති නඩු කටයුත්ත අත්හිටුවන ලෙසයි. මෙය දේශපාලන පළිගැනීමකින් සිදුවූ බවට අදාළ චූදිත දෙපොළ තම කොමිසමට පැමිණිලි කර ඇති බැවින් ඒ ගැන විභාග කොට අවසන් වනතුරු නඩු විභාගය අත්හිටුවන්නැයි යට කී නියෝගයේ දැක්විණි.

මෙම නියෝගය අධ්‍යයනය කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතා නීතිපතිවරයාට කිසියම් කරුණක් සම්බන්ධව නියෝග දීමේ ව්‍යවස්ථාපිත බලයක් ජනාධිපති පරීක්ෂණ කොමිසමකට නැතැයි ලිඛිතව දන්වා යැවීය. තම දෙපාර්තමේන්තුව නඩු පවරන්නේත් ඒවා පවත්වාගෙන යන්නේත් ඉදිරිපත් වන සාක්ෂි මත මිස වෙනත් පරිබාහිර කරුණු සලකා නොවේ යැයි ද කියා තිබේ. අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ නිල රාජකාරිය වන පැමිණිල්ල මෙහෙයැවීම නතර කිරීමට නියෝග කිරීමේ නෛතික ප්‍රතිපාදන නැතැයි වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යැවීය. ඒ මහ බැංකු බැඳුම්කරය ගැන වූ වෝහාරික විගණන වාර්තාව ගැනය. එමගින් අවධාරණය කර තිබුණේ පසුගිය රජය සමයේ සිදුකළ බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන වාර්තාවේ දක්වා ඇති පරිදි දූෂිත බැඳුම්කර වංචාව කළ තැනැත්තන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. මෙම වාර්තාව මගින් කෝප් කමිටුවත්, බැඳුම්කර ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමත් ලබාදුන් නිර්දේශ සනාථ කර තිබේ. වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල පවා බැඳුම්කර ගනුදෙනුකරුවන් අනතුරේ හෙළා ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීම දැන් අවුරැදු 05 ක් පමණ ප්‍රමාද කර ඇති බැවින් වහා මේ ගැන පියවරක් ගන්නැයි හඳුන්නෙත්ති මහතා ඉල්ලා තිබේ.

හඳුන්නෙත්ති මහතා ඒ ගැන කලක සිට ක්‍රියා කළ මන්ත්‍රීවරයෙකි. එහෙත් ඔහුගේ මතය සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රීන් එකඟ නැත. මෙම විගණන වාර්තාව සකස් කළ තැනැත්තන් පසුගිය රජයේ අවශ්‍යතාව පරිදි ඔවුනට ඕනෑ පරිදි වාර්තාවක් සකස් කර ඇති බව පොහොට්ටු මන්ත්‍රීහු පවසති. එබැවින් මෙය නිවැරදි සහ සත්‍ය හෙළිදරව් කරන්නක් නොව පක්ෂග්‍රාහී වාර්තාවක් යැයි ද ඔවුන් කියා තිබිණි. කෙසේ හෝ මේ ගැන තවත් දෙසතියකින් මැතිසබා විවාදයක් පැවැත්වීමට නියමිතය.

එ.ජා.පයේ පවත්නා අර්බුදය ගැන සාකච්ඡා කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබේ. ඒ ගිය බදාදා සවස 3.00ටය. මෙම හමුවේදී රනිල් තමන්ගේ තීන්දුව සජිත්ට දන්වා ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි. සාකච්ඡාවට පෙර මෙම හමුවේදී පක්ෂයේ ප්‍රශ්න හමාරවන බව එ.ජා.ප. මන්ත්‍රීන් පවසා තිබුණද, රනිල් - සජිත් හමුවේදීත් කතාබහ අවසන් වූයේ කිසිදු එකඟත්වයකින් තොරව බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සජිත් පිල ඉල්ලීම් ගණනක් කර තිබිණි. ඉන් පළමුවැන්න නව සන්ධාන නායකත්වය සජිත්ට ලබාදීමය. එසේම සන්ධාන මහලේකම් ධූරය සජිත් පිලට ලබාදීම, මහ මැතිවරණ නාමයෝජනා මණ්ඩලයේ බහුතරය සජිත් පිලට ලබාදීම ආදිය එම ඉල්ලීම් අතර ප්‍රධාන විය. එසේම කෘත්‍යාධිකාරියේ අනුමැතිය මත සජිත්ට පක්ෂ නායකත්වය පවරන ලෙසද ප්‍රධාන ඉල්ලීමේ දැක්විණි.
නමුත් රනිල් - සජිත් හමුවේදී රනිල් ප්‍රකාශ කර තිබුණේ තමන් නව සන්ධාන නායකත්වය සජිත්ට පැවරීමට එකඟ බවයි. සන්ධාන ලේකම් ධූරය, නාමයෝජනා කමිටුවේ බහුතරය මෙන්ම පක්ෂ නායකත්වය සහ සෙසු ඉල්ලීම් කිසිවක් ඉටුකළ නොහැකි යැයි රනිල් දැන්වූ බව සඳහන්ය. එහෙත් සජිත් ඊට එකඟ වී නැත. සජිත්ගේ ප්‍රතිචාරය ලෙස රනිල්ට කියා තිබුණේ මේ විදියට මහ මැතිවරණයට තමන් අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් නොවන බවය. එය ද රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයටම භාරගන්නැයි සජිත් රනිල්ට කී බව එ.ජා.ප. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ නිසා සජිත් - රනිල් සාකච්ඡාව මෙවරද සාර්ථක වූයේ නැත. එහෙත් පක්ෂ මහලේකම් අකිල විරාජ් කියා තිබුණේ මේ සතියේ තිබෙන ප්‍රශ්න නිමවන බවය. එසේම පක්ෂ කෘත්‍යාධිකාරිය ද කැඳවන බව ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නේය. ඒ සඳහා රහස් පොලිස් නිලධාරීහු රනිල්ගේ කොළඹ 5 වැනි පටුමග නිවෙසට පැමිණියහ. මෙහිදී පාස්කු ප්‍රහාරය ගැන රනිල් පැයක පමණ ප්‍රකාශයක් ලබාදුන් වග කියවේ. තමන්ට කල් තබා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නොලැබුණු බවත් ආරක්ෂක මණ්ඩලයට ඔහු නොකැඳවූ බවත් සඳහන් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද රහස් පොලීසියට මේ ගැන ප්‍රකාශයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් ඔහු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ ගැන රහස් පොලීසිය ඉදිරියේ දී තීරණයක් ගැනීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ මේ සතියේ ආචාර්ය උපාධියක් ලැබීය. ඔහු මෙම උපාධිය ලද්දේ ගණිතය විෂය සම්බන්ධවයි. ඒ සඳහා 2015 වසරේ සිට ඔහු උපාධි අධ්‍යයන කටයුතුවල නිරත විය. ඔහුට උපාධි සහතිකය ලැබුණේ රෝහිත සහ ටට්යානා යුවළගේ පුත් නිර්වාන් රාජපක්ෂ ප්‍රථම වරට කොළඹ ගංගාරාම විහාරස්ථානයට කැඳවාගෙන ගොස් ආගමික ආශිර්වාද ලැබූ දිනයේම වීම විශේෂයකි. මේ අවස්ථාවට මහින්ද - ශිරන්ති යුවළ ද එක්වී සිටියහ. ගණිතය විෂයෙන් ආචාර්ය උපාධි ලත් රෝහිත මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය ගැන තවත් ආචාර්ය උපාධියක් ලබාගැනීමට සඳහා දැන් අධ්‍යයන කටයුතුවල යෙදෙමින් සිටී.

ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් සඳහා පවත්වන සුහද හමුව පසුගියදා කොල්ලුපිටියේ තරු හෝටලයක දී පැවැත්වුණි. අමාතංශ්‍ය ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ද අමාත්‍ය අබේවර්ධන මහතා සමඟ එයට එක්වූහ. මාධ්‍යවේදීන් 150 ක් පමණ ඊට එක්ව සිටි අතර මුහුණුපොතේ ක්‍රියාකාරීන් සමඟ විශේෂ අදහස් දැක්වීමක යෙදුණු අමාත්‍ය ලක්ෂ්මන් යාපා කීවේ ඉදිරි කාලයේ සයිබර් අවකාශය ප්‍රධානම මාධ්‍ය වන බැවින් මුහුණුපොතේ පළ කරන සෑම දෙයක්ම වගකීමෙන් යුතුව පළ කරන්නැයි කියාය. ජනාධිපති ගෝඨාභය මහතා තොරතුරු තාක්ෂණය ගැන විශේෂඥයකු වන නිසා ඔහු රටේ දියුණුවට මෙම දැනුම උපයෝගී කර ගන්නා බවද පැවසීය. මාධ්‍යවේදීන් උදෙසා අඩු මිලට G.B 100ක දත්ත පැකේජයක් ලබාදෙන බව ඇමැති ලක්ෂ්මන් යාපා දැන්වූ විට මාධ්‍යවේදීහු දැඩි ලෙස සතුටට පත්වූහ. මාධ්‍යවේදීන්ගේ ණය මෙන්ම සහනදායී දුරකතන පැකේජනයක් ද ලබා දෙන්නට සැලසුම් කර ඇතැයි ඇමැතිවරයා කීය. මේ ආදී සංවාද මැද පැය හයකට වැඩි කාලයක් මේ සුහද සාදය පැවැත්වුණි. මධුවිතෙන් හා රාත්‍රී භෝජනයෙන් ද සාදය රසවත් වී තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරීන් ගිය බ්‍රහස්පතින්දා කැඳවා තිබිණි. ඊට පෙර කෘත්‍යාධිකාරියේ මෙතෙක් සාමාජිකයන් වූ අජිත් පී. පෙරේරා, සරත් ෆොන්සේකා, රෝසි සේනානායක හා ඉමිතියාස් බකීර් මාකර් කෘත්‍යාධිකාරියෙන් ඉවත් කර තිබිණි. සාමාජිකයන් 96කගෙන් එය සමන්විත වුවත් ඒ වන විට පත් කර තිබුණේ සාමාජිකයන් 59 ක් පමණි. එයින් 6 දෙනෙක් නොපැමිණෙන බව දන්වා තිබුණේ පෞද්ගලික හේතු මතයි. අජිත් පෙරේරා ඉවත් කිරීමට විරෝධය පා සජිත් පිල කෘත්‍යාධිකාරිය වර්ජනය කළේය. ඒ අනුව සජිත් පිලේ මන්ත්‍රීන් 16 දෙනකු ඊට එක්නොවූ අතර සජිත් පිලේ ප්‍රබලයෝ වන මංගල සමරවීර හා මලික් සමරවික්‍රම පැමිණ සිටියහ.

පැමිණ සිටි මුළු සාමාජික ගණන 37 කි. මෙහිදී සිදුවූ ප්‍රධානම කාර්යය රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය තහවුරැ කිරීමයි. ඔහු දිගටම පක්ෂ නායකයා ලෙස සිටින අතර සජිත් ඡන්දයට හදන නව සන්ධානයේ නායකයා ලෙස නම් කෙරැණි. සන්ධාන ලේකම් ධූරයට රවී කරුණානායක පත් කිරීම රනිල් පිලට අවශ්‍ය වූ අතර සජිත් පිල තමන්ට එය අවශ්‍ය බව කියා තිබිණි. කෘත්‍යාධිකාරියෙන් ඉවත් කළ පිරිස් සම්බන්ධව පැමිණිලි ගණනාවක් ලැබී තිබීම හේතුවෙන් ඔවුන් ඉවත් කළ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් පසුව සඳහන් කර තිබිණි. සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ දේශපාලන සගයන් 16 දෙනා නොපැමිණියද පක්ෂ නායකයා ඔහුගෙන් යෝජනා ස්ථිර කර ගැනීම මෙහිදී කැපී පෙනුණි. කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ සගයන් ඉදිරියේ දී සෙසු පක්ෂ සමඟ සකසන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතුව තිබේ.

ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර