2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

රනිල් නායකත්ව සටන අතනොහරී: මහ ඡන්දයටත් සැරසෙයි

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 312

► ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ ආන්දෝලනය

► සජිත් පිල ගමින් ගමට යමින් නව ගමනක් අරඹයි

► දේශපාලන පලිගැනීම් සොයන්න කොමිසමක්

► දැන් බැඳුම්කර බෝලය මහින්ද අතේ බව සුනිල් හඳුන්නෙත්ති කියයි

► ගෝඨාභයට 2/3 බලය අරන් දෙන්න මෛත්‍රී සූදානම්

► දෙමළ සන්ධාන ලොක්කෝ විශ්‍රාම ගන්න හදති

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තර්ජනය කොට මුදාහැරීම සම්බන්ධව රජයට එල්ල වූ බරපතළ චෝදනාව ගැන විමර්ශනය පුළුල් කෙරෙමින් පවතී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් වහා මේ සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර ප්‍රතිඵලය තමන්ටත් ස්විස් තානාපතිවරයාටත් වාර්තා කරන ලෙස ආරක්ෂක ලේකම්වරයාට නියම කළේය. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ඒ ගැන පරීක්ෂා කොට අධිකරණය හරහා තානාපති සේවිකාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නට නියෝග ලබා ගත්තේය. ඒ සමඟ ඇයට විදේශ ගතවීමද තහනම් කෙරිණි.

මේ ආකාරයට සිදුවීම් පෙළගැසෙද්දී ගිය ඉරිදා සහ සඳුදා වාර ගණනක් ඇය රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරනු ලැබීය. ඒ අතර ගිය සඳුදා සවස මෙලෙස පැහැර ගත්තා යැයි කියූ ගානියර් ප්‍රැන්සිස් මහත්මිය කොළඹ එක්තරා නිවෙසකදී මාධ්‍ය හමුවක් කැඳවා සියල්ල හෙළිදරව් කරන බව සඳහන් කර තිබිණි. මාධ්‍යයට ද ඒ ගැන දැන්වූ නමුත් අවසන් මොහොතේ එම මාධ්‍ය හමුව අවලංගු කෙරිණි. අප වෙත වාර්තා වූ නිල නොවන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ මෙම මාධ්‍ය හමුව කැඳවීම සඳහා ස්විස් තානාපති කාර්යාලයට අදාළ වගකිව යුත්තන් ඇයට උපදෙස් දුන් බවකි. නමුත් අවසන් මොහොතේ එය අවලංගු කළේ කුමන හේතුවක් නිසා දැයි කිසිවකු දන්නේ නැත.

කෙසේ හෝ ඇය ලිංගික අතවරයකට ද ලක්වූ බව මුල් පැමිණිල්ලේ සඳහන් කර තිබූ බැවින් ඒ ගැන රහස් පොලිසිය උසාවියට කරුණු දැක්වීය. උසාවිය එහිදී නියම කළේ අධිකරණ වෛද්‍ය නිලධරයා ලවා ඒ ගැන පරීක්ෂා කර කරැණු වාර්තා කරන හැටියටයි. එහෙත් පිරිමි වෛද්‍යවරයකු හමුවේ තමන් වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට සූදානම් නැතැයි ඇය පවසා තිබිණි. කෙසේ වුවද දෙවැනි වරටත් ලද අධිකරණ නියෝගයෙන් පසු ඇය වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියාය.

මෙම කාන්තාව පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මෙතෙක් කර ඇති ප්‍රකාශවල ප්‍රබල පරස්පරතා ඇතැයි ආරක්ෂක අංශ මෙන්ම විදේශ අමාත්‍යවරයා ද පවසයි. මේ නිසා වඩාත්ම අපහසුතාවට පත්ව ඇත්තේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයයි. එසේම කොළඹ සිටින ස්විස් තානාපතිවරයා වන හෑන්ස් පීටර්ස් මහතා ද මේ ගැන විදේශ අමාත්‍යංශයට පැමිණිලි කළ බැවින් ඔහු ද මෙම සිද්ධියෙන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. කෙසේවෙතත් මේ ගැන දැන් උසාවියේ නඩුවක් විභාග වන බැවින් අධිකරණය සාධාරණයක් ඉටුකරනු ඇත.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද එකඟත්වය ඇතිව විපක්ෂ නායක ධූරයට පත් කරන ලද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු මෙතෙක් රාජකාරි ආරම්භ කර නැත. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේද නැති බව සජිත්ගේ හිතවත්හු පවසති. සජිත් පිලේ හිතවතුන් කියන්නේ ලබන මස 03දා පාර්ලිමේන්තුව කැඳවා විපක්ෂ නායක ලෙස සජිත්ගේ නම ප්‍රකාශ කෙරෙන තුරු ඔහු එම තනතුරේ නිල රාජකාරි ආරම්භ නොකරන වගය. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරය මෙන්ම පක්ෂ නායක ධූරයත් තමන් අතහරින බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. එ.ජා.පයේ මහ මැතිවරණ මෙහෙයුමට මෙයට පෙර සිදු කළාක් මෙන් නායකත්ව මණ්ඩලයක් පත් කළ යුතු යැයිද ප්‍රකාශ වී තිබේ. ඊට රවි කරුණානායක, කරැ ජයසූරිය ආදී ප්‍රබලයන්ගේ සහාය හිමිව ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් සජිත් හිතවාදීහු ඒ සඳහා ප්‍රබල විරෝධයක් එල්ල කරති. අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ආදීන් මේ ගැන අසතුටින් කරුණු දක්වා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව මුලින් ප්‍රකාශ කළද, එම තීන්දුව ක්‍රියාත්මක කරන්නේ මහ මැතිවරණය හමාර වීමෙන් පසුව බව රනිල්ට සමීප ආරංචි මාර්ග කියයි. නමුත් එය ව්‍යාජ ප්‍රකාශයක් බව පවසන සජිත් හිතවාදීහු වහා සජිත්ට පක්ෂ නායකත්වය ද දිය යුතු යැයි අවධාරණය කරති.

එසේ වුවද දේශපාලනයේ තෙම්පරාදු වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සජිත් හිතවාදීන් අපේක්ෂා කරන ආකාරයට නායකත්වයෙන් ඉවත් නොවන බව සඳහන් වූයේ ගිය අඟහරුවාදා එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය මුහුණදෙන බවත්, 2015 දී විපක්ෂය කළා මෙන් තම කණ්ඩායමට ද ආණ්ඩුවට ප්‍රබල අභියෝගයක් එල්ලකොට ජයග්‍රහණය කරන බවත්ය. ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නොබෙදී උදව් කළ යුතු යැයි අකිල විරාජ් මහ ලේකම්වරයා වැඩිදුරටත් කීය. දැනටමත් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා සැලසුම් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බැවින් ඔවුන්ගේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කෙරෙනු ඇතැයි එ.ජා.ප. මහ ලේකම් සඳහන් කර තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල ප්‍රධාන කාරණා ගණනාවක් සඳහා තීන්දු තීරණ ගනිමින් සිටී. රාජ්‍ය ආයතන සඳහා සුදුසු ප්‍රධානීන් පත්කර ගැනීම ඉන් ප්‍රධානම කරුණයි. ඒ සඳහා පත් කළ කමිටුව හා ජනාධිපති ලේකම් ආචාර්ය ජී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගිය සඳුදා සහ අඟහරුවාදා දෙදිනම කටයුතු කළ ජනාධිපතිවරයා සුදුස්සන්ගේ අයැදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුනුත් විසින් මෙන්ම පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද යම් යම් තනතුරු සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා සියල්ල සැලකිල්ලට භාජනය කෙරිණි. කිසිදු ඉහළ පත්වීමක් මෙම කමිටුවට පරිබාහිරව නොකිරීමට තීන්දු විය. ඒ නියමයන් උල්ලංඝනය කරමින් එක්තරා අමාත්‍යවරයකු විසින් කරන්නට සූදානම් කළ ආයතන ප්‍රධානීන්ගේ පත්වීම් ජනාධිපතිවරයා විසින් වහා අත්හිටුවනු ලැබීය. රාජ්‍ය, සංස්ථා මණ්ඩලවල ඉහළම තනතුරැ දරන ඇතැම් සභාපතිවරුන්ට හා ප්‍රධාන විධායකයන්ට රැපියල් දස ලක්ෂ ගණනින් ගෙවූ වැටුප් අඩු කිරීමටත්, ඒ වෙනුවට පොදු වැටුප් තලයක් සකස් කිරීමටත් ජනාධිපතිවරයා තීන්දු කළේය.

ගිය අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා හිතවත් හවුල්කාර පක්ෂ නායකයන් අතර හමුවක් සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන නායකයෝ එම හමුවට එක්ව සිටියහ. බැසිල් රාජපක්ෂ මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා හැර සෙසු සියල්ලෝම මෙම හමුවට සහභාගි වූ බව වාර්තා වෙයි. හමුව ආරම්භයේදීම පක්ෂ නායකයන් ගණනාවක්ම පෙන්වා දුන්නේ පසුගිය රජයේ වංචා දූෂණ සොයන්නට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු බවයි. වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ ප්‍රධානීන් ගණනක් ඒ ගැන අදහස් දැක්වූහ. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයන්ගේ මතවාදය වූයේ අලුතින් තමන් කොමිසමක් පත් නොකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇති ජනාධිපති කොමිසම තවදුරටත් දීර්ඝ කළ යුතු වගයි. එය ඉතා පහසු කටයුත්තක් බැවින් කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කළ යුතු බවට යෝජනාවක් ද ඉදිරිපත් විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ පියවර අද හෙටම ගැනීමට නියමිතය. එදින කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුව කෙසේ සකස් විය යුතුදැයි ඉන් අනතුරැව සාකච්ඡා කෙරිණි. ඒ ගැන කරුණු විභාග කොට වාර්තා කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය. බරපතළ දූෂණ චෝදනා එල්ල වූ පසුගිය රජයේ ඇමැතිවරැන් දෙදෙනකු සම්බන්ධයෙන් අදාළ චෝදනා සහ වාර්තා පැමිණිලි සියල්ල පොලිසිය මගින් නීතිපතිවරයාට යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පක්ෂ නායකයෝ ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඊළඟ යෝජනාව වූයේ පසුගිය වසර 5ක කාලය තුළ නොපුරවා ඇති රාජ්‍ය පුරප්පාඩු පිරවීම ගැනය. එසේම අලුතෙන් මන්ත්‍රී ආසනයකට රැකියා ප්‍රමාණයක් වෙන් කිරීමට ද පක්ෂ නායකයෝ නව යෝජනාවක් ඉදිරිපත් කළෝය. අ.පො.ස. උසස් පෙළ අසමත් රැකියා සඳහා කිසියම් යෝග්‍යතාවක් ඇති තරැණ පිරිසට රැකියා සැපයීමට වැඩපිළිවෙළක් සකසන්නටද තීන්දු කෙරිණි. රැකියා සැපයීමේදී ඇතැම් ප්‍රදේශවල මුදලට රැකියා සැපයීමේ ජාවාරමක් පවතින බවට සාකච්ඡා විය. එහිදී නැගී සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ රජයේ රැකියා අයැදුම්පත් රුපියල් 200ක් අයකර විකුණන දේශපාලන හිතවතුන් සිටින බවය. එවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ වහාම ඒ ගැන පොලිසියට පැමිණිලි කරන්නැයි කියායි. මෙම ප්‍රධාන කාරණාවලට අමතරව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධියට අදාළ තොරතුරු ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැන්වූහ. එම කතාව දේශපාලන විරැද්ධවාදීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් බව ඒ දෙදෙනාම ප්‍රකාශ කළෝය.

එ.ජා.පයෙන් නාමයෝජනා ලබා දීමේදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් දැනට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන්ම ඉදිරිපත් විය යුතු යැයි එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත. මෙම නියමය කළේ පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රීන් දෙදෙනකු තමන් නියෝජනය කරන දිස්ත්‍රික්ක දෙක අතහැර කොළඹට සහ ගම්පහට පැමිණීමට තීන්දු කිරීම නිසා බව සිරිකොත ආරංචි මාර්ග කියයි. ඒ අතර පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය කාලයේ නියම කරන ලද අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ මහත්වරුන්ගේ විනය පරීක්ෂණ කඩිනම් කිරීමටද තීන්දු කර තිබේ. පක්ෂය තුළ සාකච්ඡා නොකර ප්‍රසිද්ධියේ පක්ෂය විවේචනය කරන මන්ත්‍රීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද මහ ලේකම්වරයා ගිය සතියේ මාධ්‍ය හමුවකදී කියා තිබිණි.

එම කටයුතු සිදුවෙද්දී එ.ජා.පයේ සජිත් හිතවාදීන් වෙනම සංවිධානය වන්නට පටන්ගෙන තිබේ. ජනාධිපතිවරණ සමයේ තමන්ට සහාය දැක්වූ ජනතාවට ස්තූති කිරීම සඳහා දීපව්‍යාප්තව ජනහමු මාලාවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කළේය. ඒ අනුව ඔහු මැතිවරණ ප්‍රචාරක රුලි පවත්වන ලද ස්ථාන 153ටම ගමන්කොට ඒ ඒ ප්‍රදේශවල පාක්ෂික හිතවතුන් මුණගැසී ඔවුන්ට ස්තූති කරමින් නව දේශපාලන ප්‍රවේශයක් ලබාගැනීම සජිත්ලාගේ සැලසුමයි.

ඉදිරි මහ මැතිවරණයේදී එ.ජා.පය සමඟ දැනට සන්ධාන ගතවී සිටින සමහර සුළු පක්ෂ තනිව තරග කරන බව කල් තබාම ප්‍රකාශ කළේය. එහෙත් පසුගියදා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් තබමින් කීවේ පොදු සන්ධානයකින් තරගයට එන්නට සූදානම්ය කියායි. ඔහුගේ අදහස අනුව බොහෝවිට හංසයා ලකුණින්ම එ.ජා.පය තරග කරනු ඇත.

දෙමළ ජාතික සන්ධානය ද මේ වන විට අර්බුදයකට ලක්ව ඇත. මහ මැතිවරණයෙන් ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබීම නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත පක්ෂ අභ්‍යන්තරයෙන් චෝදනා එල්ල වන්නට පටන්ගෙන තිබේ. ඒ ගැන පසුගියදා දෙමළ සන්ධාන නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඩෙංගු රෝගය වැළඳීම නිසා ප්‍රතිකාර ලබන සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් ඊට සහභාගි නොවීය. සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාත්, එහි ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චිහි නායක මාවෙයි සේනාධිරාජා මහතාත් සෞඛ්‍ය හේතු මත ඉදිරි මහ මැතිවරණය තරග නොකරන බව ප්‍රකාශ කර ඇත. ඇතැමුන් සම්පන්දන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් යෝජනා කර තිබේ. එහෙත් ඔහු ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ දෙදෙනාගේ තීරණය නිසා සම්පන්දන් මහතා නියෝජනය කරන ත්‍රි,මලය දිසාවෙන් තරග කරන්නට නව අපේක්ෂකයකුත්, යාපන දිසාවෙන් තරගයට නව අපේක්ෂකයකුත් තෝරාගත යුතුය. කැනඩාවේ සිට පැමිණි ඩයස්පෝරා ප්‍රධානියකු ත්‍රි,මලයට ඉදිරිපත් කිරීමට දෙමළ සන්ධානය සැරසෙයි. යාපනයට ඉදිරිපත් කරන තැනැත්තා ගැන තවමත් තීරණයක් නැත. කෙසේවෙතත් යාපන දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිතයකට ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා නොලැබෙනු ඇතැයි අප වෙත වාර්තා වේ. මේ තැනැත්තා මන්ත්‍රීවරයකු ලෙස කරන ලද ඇතැම් දේශපාලන හා මූල්‍ය ගනුදෙනු පක්ෂයට හානිකර බැවින් පක්ෂ අභ්‍යන්තරයෙන්ම ඔහුට විරෝධය එල්ල වී තිබේ.

මේ සියලු තීන්දු තීරණ සමගින් සන්ධිස්ථානයකට පැමිණ සිටින දෙමළ ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනටද වෙනම තරග කරන්නට තීරණයක් ගෙන ඇතැයි උතුරෙන් වාර්තා වෙයි. මෙම දිස්ත්‍රික්කවල වසන බහුතර දෙමළ ජනයාගේ අයිතීන් කොළඹ සිටින දෙමළ ජාතික මන්ත්‍රීන් අතින් ඉටුනොවන නිසා මෙම තීන්දුව ගත් බවද කියැවෙයි. එහෙත් මේ නිසා බලවත් අර්බුදයකට ලක්වන කණ්ඩායමක් ද වෙයි. ඒ දැනට අගනුවර නියෝජනය කරමින් මැතිසබයට ගොස් සිටින මනෝ ගනේෂන්ලා වැනි දෙමළ ප්‍රගතිශීලී පක්ෂ ප්‍රධානීන්ය. දෙමළ ජාතික සන්ධානය කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලට තරග කරන්නට ඉදිරිපත් වීම ගැන මනෝ ගනේෂන්ලා දැනටමත් දැඩි විරෝධයක් පළ කර තිබේ. එහෙත් දෙමළ සන්ධානය එම විරෝධය ගණන් නොගෙන තමන්ගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බව උතුරෙන් වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලකට පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා ගැන තීන්දුවක් ගැනීමට නොහැකිව තමන් නිර්පාක්ෂිකව සිටින්නේ යැයි කී හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඇතැම් සාමාජිකයන් සජිත් ප්‍රේමදාස මහතාට උදව් කළ බවටද ඇතැමුන් චෝදනා කර තිබිණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ චෝදනා ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නැත. කලකට පසු මේ සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කැඳවා විශේෂ හමුවක් පැවැත්වූ ජනාධිපති සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමට සහාය දෙන බව පැවසීය. පසුගිය පසළොස්වක පොහෝදා පැවති මෙම හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සරල ජනාධිපතිවරයකු ලෙස හැඳින්වූ හිටපු ජනපතිවරයා ඔහුට රට සංවර්ධනය කිරීමටත්, සෞභාග්‍යමත් තත්ත්වයට පත් කිරීමටත් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාදිය යුතු යැයි කීය. ඒ සඳහා ශ්‍රී.ල.නි.පය උපරිම කැපවීමෙන් ගෝඨාභය මහතාට සහාය ලබාදීම යුතුකමක් යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව ඔහුට සහාය පළ කරමින් මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කළේ පළමු වතාවටය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මාලිමාවෙන් ජනපති සටනට ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා තවමත් ප්‍රසිද්ධ වේදිකාවේ පෙනී සිටින්නේ නැත. ඒ වෙනුවට පසුගියදා මාධ්‍ය ඇමතූ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කීවේ ඉදිරි මහ මැතිවරණය ද ජ.වි.පෙ. මාලිමාව ලකුණින් තරග කරන බවය. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා ද පසුගියදා මාධ්‍යයට කීවේ යහපත් විපක්ෂයක කාර්යභාරය ඉටු කරන්නට ජ.වි.පෙ. සූදානම් බවකි. කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ තනතුරැ සම්බන්ධයෙන් එහි අභ්‍යන්තරයේ පිටතට නොපෙනෙන බරපතළ විවාදයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත. ලාල් කාන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පක්ෂයේ ඉහළ තනතුරු සඳහා අලුත් මුහුණු අවශ්‍ය බවට ප්‍රබල තර්කයක් මතුකර ඇත. ඒ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමන් දිගටම පෙනී සිටි මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මාධ්‍යයට කරුණු දක්වන්නට පටන්ගෙන ඇත. ඔහු ප්‍රකාශ කරන්නේ දැන් බැඳුම්කර බෝලය ඇත්තේ මහින්ද රාජපක්ෂ අතේ බවයි. කෝප් කමිටු සභාපති ලෙස තමන් රජයට කියන්නේ බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තාව අනුව වැරදිකරුවන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගත යුතු බවය. වත්මන් ආණ්ඩුවට ඒ සඳහා ජනවරමක් ඇති බැවින් රජය ගන්නා ක්‍රියාමාර්ග දෙස තමන් පරීක්ෂාවෙන් බලා සිටින වග ද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරවීමටත් පක්ෂයේ අනාගත වැඩපිළිවෙළ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත්කරන ලද කමිටුව පසුගිය සතියේ සිරිකොත මන්දිරයේදී රුස්විය. එම කමිටුවට සජිත් හා රනිල් පාර්ශ්ව දෙකම නියෝජනය කරමින් මැතිඇමැතිවරුන් ගණනාවක් පත්කොට සිටියහ. රන්ජිත් මද්දුම බණ්ඩාර - තලතා අතුකෝරාල - මලික් සමරවික්‍රම - ලක්ෂ්මන් කිරිඇල්ල - වජිර අබේවර්ධන - කබීර් හෂීම් හා ආශු මාරසිංහ යන මහත්ම මහත්මීහු කමිටුව නියෝජනය කළහ. එම කමිටුවට පක්ෂ ජ්‍යෙෂ්ඨයකු නොවන ආශු මාරසිංහ මහතා පත්කිරීම ගැනද කමිටු රුස්වීමේදී ඇතැමුන් අසතුට පලකර තිබුණත් එය බරපතළ ප්‍රශ්නයක් කරගෙන නොතිබිණි.

මෙහිදී සාකච්ඡා වූ ප්‍රධානම කරුණ වූයේ ඉදිරි මහ ඡන්දය ජයග්‍රහණය කරන්නට නම් පක්ෂ නායකයා සහ විපක්ෂ නායකයා එක් අයකු වියයුතු බවයි. විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදී පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා දිගටම තබාගැනීමෙන් මැතිවරණය ජයගන්නට නුපුළුවන් බව රන්ජිත් මද්දුම බණ්ඩාර හා තලතා අතුකෝරාල මහත්මහත්මීන් පෙන්වා දුන්හ. එසේම ඉදිරි මහ මැතිවරණය රනිල් වික්‍රමසිංහමහතාගේ නායකත්වයෙන් මෙහෙයවන බවට පක්ෂ තීන්දුවක් ගෙන නැතැයි ද ඔවුහු අවධාරණය කළෝය. මෙම සාකච්ඡාවේදී රනිල් පාර්ශ්වය නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරමින් පක්ෂය ජයග්‍රහණය කරවීම සියල්ලටම වඩා වැදගත් යයි කියා ආශු මාරසිංහ මහතා වැඩි අදහස් දැක්වීමක් කර නැත.

එහෙත් කමිටු සාමාජික වජිර අබේවර්ධන මහතා කමිටු රැස්වීමට පෙරදා මාධ්‍ය හමුවක් තබමින් පක්ෂ නායකත්වය දැරිය යුත්තේ අත්දැකීම් බහුල පරිණත පුද්ගලයකු යැයි අවධාරණය කළේය. එහෙත් ඔහු එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වය මැතිවරණ ජයග්‍රහණය සඳහා පක්ෂ නායකයාට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයැයි පැවසීය. මේ ආකාරයට එ.ජා.ප.යේ නායකත්ව අර්බුදය සටන්කාමී තැනකට තල්ලු වෙමින් තිබේ. තවමත් කතානායකවරයා සජිත් විපක්ෂ නායක ලෙස නිල වශයෙන් නිවේදනය කළේ නැත. ඒ අතරතුර රවී කරුණානායක හා කරු ජයසූරිය මහත්වරුන් පුමුඛ පිරිසකගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ නායකත්ව මණ්ඩල යෝජනාව ද සජිත් පාර්ශ්වය තරයේම ප්‍රතික්ෂේප කර ඇත්තේ පක්ෂය සිටිය යුත්තේ නායකයෙක් මිස නායකත්ව මණ්ඩලයක් නොවන බව කියමිනි

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර