2017 මාර්තු 18 වන සෙනසුරාදා

ඇමැති හමුවේ අකිල දයාසිරි ගැටුමක

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 493

අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන පළවන විවිධ පුවත් මාධ්‍යයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද ආන්දෝලනයක් ඇතිකර තිබේ. බාලගිරි දෝෂය ලබා ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගැන පළවන අලුත්ම ආරංචිවල සඳහන් වන ප්‍රධාන කරුණු කිහිපයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට පෙරදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපතිවරයා හමුවී ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධව වාර්තාව භාරදීමට පෙර මෙම වෙනස්කම සිදුකළහොත් එයින් රටට කිසියම් අවාසියක් අත්පත් වෙතැයි පවසා ඇති බවද කියැවී තිබේ. කෙසේ හෝ ඒ සමඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ උණුසුම් කතාව තරමක් දියාරු වී ගියේය.

එහෙත් ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.පයෙන් දැඩි බලපෑම් එල්ල වන්නේ වහා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුතුය කියායි. මේ බව එ.ජා.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍යයටද කියා තිබිණි. මුදල් හා මහාමාර්ග උසස් අධ්‍යාපන වැනි විෂයන් වෙනස් නොකර රජයට ගමනක් නැත යන්න ශ්‍රී.ල.නි.ප. මතය බව පැවසේ. ඒ නිසා මේ මස තුළ ඇමැති මණ්ඩල වෙනස සිදුවන්නට ඉඩ ඇතැයි ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග කියයි.

 කැබලිත්තේදි තමන්ගේ කෑම වේල අනුන්ට දන් දුන් මහින්ද 

මේ ආරංචිය සෙමෙන් සෙමෙන් පැතිරෙන්නට පටන්ගත්විට විවිධ අමාත්‍යංශ සඳහා විවිධ තැනැත්තන් ආණ්ඩුවේ ඉහළ තැන්වලට බලපෑම් කරන්නට පටන්ගෙන ඇත. මුදල් අමාත්‍ය ධූරය, විදේශ අමාත්‍ය ධූරය, වරාය අමාත්‍ය ධූරය, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය හා ඉඩම් වැනි විෂයන් වෙනස් වන බව කියැවෙන්නට පටන් ගත්තේය. ඊළඟ මුදල් අමාත්‍යවරයා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද, කබීර් හෂීම් මහතාද, නැත්නම් චම්පික රණවක මහතාද කියා යම් යම් ස්ථානවලින් ප්‍රචාරයන් පැතිර යන්නට පටන්ගෙන ඇත. ඊළඟට වඩාත්ම බලපෑම එල්ල වී ඇත්තේ විදේශ අමාත්‍ය පදවිය යා යුත්තේ කාටද කියායි. පසුගිය මහ මැතිවරණයද පරාජය වී ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් රැගෙන මැතිසබයට පැමිණ කැබිනට්ටුවටත් ආ ඇමැතිවරයකුගෙන් මෙම තනතුර සඳහා බලපෑම් රාශියක් එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ බලපෑම් කොතරම්ද කිවහොත් ඒ නිසාම ඔහුට ලැබෙන්නට යමක් තිබුණේ නම් එය ප්‍රමාද වන්නටද කරුණු යෙදුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියානු සංචාරයෙන් පසු ලබන සතියේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ ආරාධනයක් අනුව රුසියාව බලා පිටත්ව යයි. ඔහු ඊට සමගාමීව මේ සතියේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පැවති විශේෂ සමරු උත්සවයකට එක්විය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම සමරු උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි විය. අනතුරුව ජනපතිවරයා මේ සතියේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අහිමිව අනවසර පදිංචිකරුවන් ලෙස සිටි පන්දහසකට අධික පිරිසකට ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයකට වැල්ලවායට ගියේය. ගුවනින් කොළඹ සිට වැල්ලවායට ගිය ජනාධිපතිවරයා සමඟ ජෝන් අමරතුංග අමාත්‍යවරයාද ගුවනින් එහි ගොස් සිටියේය. අමාත්‍ය රන්ජින් මද්දුම බණ්ඩාර මහතාද මේ උත්සවයට එක්විය.

 ඇමැති ජෝන්ගේ නි‍ෙවසේ බැසිල් නිමල් රහස් කතාවක 

ඉඩම් ඔප්පු පිරිනැමීමෙන් පසු ජනතාව ඇමතූ මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ස්ථාවරභාවය ගැන අනාවැකියක් පළ කළේය. සැමදාම සවසට රූපවාහිනියෙන් ප්‍රවෘත්ති නරඹන විට සමහරුන්ට සිතෙන්නේ මේ රජය අද හෙටම කඩා වැටෙනු ඇතැයි කියා යැයි පැවසූ ජනපතිවරයා මාධ්‍යයේ මොන විකාර පෙන්වූවත් රජය එසේ නොවැටෙන වග කීය. රජය තම නිල කාලය හමාර කර ඊළඟ මහ මැතිවරණයද ජයග්‍රහණය කරනු ඇතැයි ජනාධිපතිවරයා අනාවැකියක්ද පළ කළේය.

ජනාධිපතිවරයා සහභාගි වූ වැල්ලවායේ ඉඩම් බෙදාදීමේ උත්සවය හොඳින් සංවිධානය කර තිබුණද ඌව පළාත් සභාව රුපියල් කෝටියකට ආසන්න මුදලක් (උත්සවය සඳහා පමණක්) වැයකර තිබීම ගැන එතැන සිටි ඇතැම් මැති ඇමැතිවරුන් අතර කසුකුසුවක් තිබිණි. සරලව කළ හැකි දෙයක් වෙනුවෙන් මේ ආකාරයට රාජ්‍ය මුදල් වැය කිරීම ඉතාමත් අයෝග්‍ය බව බොහෝ දෙනාගේ මතය විය.

වැල්ලවාය උත්සවයෙන් පසු ජනාධිපතිවරයාට පැල්මඩුල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ඒ ප්‍රබල ශ්‍රී.ල.නි.ප. ක්‍රියාකාරිනියක මෙන්ම කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගේ නැන්දනියද වූ අභාවප්‍රාප්ත සෝමා පෙරේරා මහත්මියට අවසන් ගෞරවය පුද කිරීමටයි. වැල්ලවායේ සිට මේ සඳහා හෙලිකොප්ටරයකින් පැමිණි ජනපතිවරයා සමඟ රන්ජිත් මද්දුම බණ්ඩාර හා ජෝන් අමරතුංග අමාත්‍යවරුද පැමිණියෝය. පැල්මඩුල්ලේ ජෝන් සෙනවිරත්න මහතාගේ නිවසේ දේහය තැන්පත් කර තිබිණි. අවසන් ගෞරව පුදකළ ජනපතිවරයා ටික වේලාවක් එහි රැඳී සිටියේය. මේ අවස්ථාවේ නොයෙක් දෙනා පැමිණ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කතාබස් කරනු පෙනිණි. මහින්ද හිතවාදී කණ්ඩායමේ සාමාජිකයකු යැයි සලකා මෛත්‍රී සමීපයෙන් ඈත්කර සිටි සබරගමුව පළාත් අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතාගේ බිරියද එහි සිටියාය. අමාත්‍ය වික්‍රමසිංහ දැඩි ලෙස ගිලන්ව සිටින බව කී ඇය තමන්ලා හිටපු ජනපතිවරයාගේ හිතවතුන් යැයි හංවඩු ගැසුවාට තමන්ලාගේ අරමුණ හැකි ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතු කොට ශ්‍රී.ල.නි.ප. රජයක් පිහිටුවීම යැයිද ඇය කීවාය. අනතුරුව ජනාධිපතිවරයාගේ දෙපා වැඳ පක්ෂය එකමුතු කරමු සර් යැයි නැවතත් පැවසීම එහි සිදු වූ විශේෂ සිදුවීමක් විය.

 ජනපතිගේ දෙපා වැඳ පක්ෂය එකමුතු කරන්නැයි ඉල්ලයි 

ජෝන් සෙනෙවිරත්න මහතා දිගු කලක් මැතිසබයේ සිටින පක්ෂ විපක්ෂ කාගේත් හොඳ හිත දිනාගත් දේශපාලනඥයකු නිසා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ප්‍රබලයෝද මළගෙදරට පැමිණියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මළගෙදරට පැමිණීමට නොහැකි වූයේ ඔහු කැබලිත්ත දේවාල වන්දනාවට සූදානමින් සිටි නිසා දින 7ක් කිලි හසුනොවී පේවී සිටිය යුතු යැයි ලැබී තිබූ ජ්‍යොතිෂ උපදෙස් හේතුවෙනි. ඔහු දුරකතන මගින් අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාට කනගාටුව පළ කර තිබිණි. හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල, හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරචිචි, රාජ්‍ය අමාත්‍යවරැන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, මන්ත්‍රීන් වන රන්ජිත් සොයිසා, ජානක වක්කුඹුර ආදී බොහෝ මැති ඇමැති පිරිසක් සෙනෙවිරත්න මහතාගේ නිවසට පැමිණියහ. මේ අය බොහෝ දේශපාලන සාකච්ඡාවලද නිරතවනු පෙනිණි. ඒ කතාබහ අතරින් වඩාත් ආන්දෝලනාත්මක කතාබහ ලෙස වාර්තා වූයේ අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, අමාත්‍ය නිමල් සිරිපාල හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරු වෙනම කාමරයකට වී සෑහෙන වේලාවක් කරන ලද සාකච්ඡාවයි. මේ ගැන කනින් කොනින් නොයෙක් ආරංචි පැතිර ගියද ආණ්ඩුවේ ගුණදොස් මෙන්ම අනාගත ශ්‍රී.ල.නි.ප. රජයක් පිහිටුවීමේ ඉඩකඩ ගැන බොහෝ අදහස් හුවමාරු වූ බව නම් දැනගන්නට තිබේ.

එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක් වූ හිටපු සෞඛ්‍ය ඇමැතිනි හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනී රේණුකා හේරත් මහත්මිය පසුගියදා අභාවප්‍රාප්ත වූවාය. 1977 දී ජේ.ආර්.ගේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස වලපනේ අසුන නියෝජනය කරමින් මැතිසබයට පැමිණි ඇය දිගු කලක් එහි මන්ත්‍රිනියද වූවාය. අභාවප්‍රාප්ත රේණුකා හේරත් මහත්මියගේ දේහය මධ්‍යම පළාත් සභාවේ ගෞරවය සඳහා තැන්පත් කර පසුව වලපනේ නිවසට රැගෙන යනු ලැබීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ඇයට අවසන් ගෞරව පුදකරන්නට වලපනේට ගොස් සිටියහ.

 රාජපක්ෂ සහෝදරයන් තිදෙනෙක් එකම දවසේ උසාවියේ 

සයිටම් අර්බුදය තවමත් හමාර නැත. සයිටම් පෞද්ගලික රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් කළ යුතු යැයි රජයට දැන් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. ඒ අතර සයිටම් සටන අතට ගෙන සිටින ශිෂ්‍ය ප්‍රජාව මේ සතියේත් කොළඹ උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වීය. ඒ උද්ඝෝෂණ නිසා දිගින් දිගටම සිදුවන මහජන පීඩා සැලකිල්ලට ගත් ආණ්ඩුව මෙවර උද්ඝෝෂණයේදී තරමක සැර ප්‍රතිචාරයක් දැක්වීය.

එම කටයුතු සිදුවෙද්දී අභියාචනාධිකරණය සයිටම් සිසු සිසුවියන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු යැයි කියමින් ලබාදුන් උසාවි තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන්නට වෛද්‍ය සභාව තීන්දු කර ඇත. අභියාචනය උසාවියට ඉදිරිපත් කරන අවස්ථාව වනවිටත් දොස්තරවරුන් මේ කාරණය සම්බන්ධව විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙනයමින් තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් ගණනාවක්ම සයිටම් ප්‍රශ්නය මත බෙදී සිටිති. අමාත්‍ය චම්පික රණවක ඇතුළු පිරිසක් සයිටම් සඳහා ඉඩ නොදිය යුතු යැයි පවසද්දී තවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් වන එස්.බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ආදීන් පවසන්නේ සයිටම් ආයතනය වැනි පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ දිය යුතු බවයි. මේ ගැන විමර්ශනය කොට තමන්ට වාර්තා කරන්නට ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටුවද තවමත් තත්ත්වය අධ්‍යයනය කරමින් සිටී.

 මුදල් ඇමැතිකමට විදේශ ඇමැතිකමට සටනක් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජික පිරිසක් පසුගිය අඟහරැවාදා සහ බදාදා කැබලිත්ත දේවාලයේ වන්දනාවක යෙදුණාහ. දුෂ්කර කැලෑබද මාර්ගවල ධාවනයට සුදුසු විශේෂ ඩිපෙන්ඩර් රථ හයකින් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කැබලිත්ත සියඹලා දේවාලය බලා පිටත්ව ගියේ අඟහරුවාදා පෙරවරුවේය.
මොණරාගල ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිවසින් ගමන ආරම්භ කැරිණි. සතියක පටන් පේවී සිට මෙම ගමනට ඔවුහු සූදානම් වූහ. මහින්ද, ශිරන්ති, යෝෂිත, රෝහිත, ලොහාන් රත්වත්තේ ඇතුළු 25 දෙනකුගෙන් පමණ සමන්විත නඩය පිටත්වූයේ රාත්‍රී නවාතැන් සඳහා විශේෂ කූඩාරම් ගණනාවක්ද රැගෙනය. ඉතා දුෂ්කර ගිරිදුර්ග මැදින් ගමන් කළ පිරිස අතරමඟ පිහිටි කුඩා ගම්මානයක් වන කොටියාගල ගමේදී මදක් විවේක ගන්නට නතර විය. කලක පටන් මහින්ද රාජපක්ෂ මහතා දන්නා කියන බණ්ඩාර ගෙදරට ගොඩවුණ මහින්ද, පිලේ තිබූ පුටුවක අසුන්ගෙන ආගිය විස්තර කතා කරද්දී බණ්ඩාර ගෙදර උදවිය විසින් අමුත්තන්ට කහට තේවලින් සංග්‍රහ කරන ලදී. අනතුරුව තවත් පැය කිහිපයක් ගමන් කොට දිවා ආහාරය ගෙන කැබලිත්ත ප්‍රදේශයට ළඟාවන විට සවස් වෙමින් තිබිණි. දේවාලය පේනමානයේ හිස් බිම් කඩක රාත්‍රී නවාතැන් සඳහා කූඩාරම් ඉදිකළේ අනතුරුවය. ඈතින් ගිනිමැලයක්ද දල්වා තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමඟ කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් ප්‍රමුඛ දායකයෝ කිහිපදෙනෙක්ද වූහ. උන්වහන්සේලාට වෙනම කුටියක් වෙන් කැරිණි. ඔවුන් එහි රැඳීසිටිද්දී හැන්දෑයාමේ කොළඹින් පැමිණි තවත් නඩයක කිහිපදෙනෙක් පැමිණියේ ඇඟ පුරා මඩනාගෙනය. මේ අය කැබලිත්තට එන්නට ආ ට්‍රැක්ටරය අතරමඟ පෙරැළී මෙම අනතුර සිදුව තිබිණි. ඔවුන්ට කෑම බීම නොතිබූ නිසා සිටියේ බඩගින්නේය. ඒ වනවිට මහින්දලාට රාත්‍රී අහාරය සූදානම් වෙමින් තිබිණි. සෝයා, පොල්සම්බෝල, පරිප්පු, රොටී, එළවළු ආදියෙන් යුත් තම නිර්මාංශ ආහාරවේල ට්‍රැක්ටර් අනතුරට පත්වූ පිරිසට පිරිනැමූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නැවත වරක් ඔවුනට රාත්‍රි ආහාර වේලක් සකස් කරන ලෙස තමන් සමඟ ගොස් සිටි කාන්තා පිරිසට පැවසීය.

කැබලිත්ත සියඹලා දේවාලයේ බොහෝ අනුහස් ඇති බැවින් එහිදී ඉතා පරෙස්සමින් සියලු වත්පිළිවෙත් කළ යුතුවිය. අවට රූස්ස වනාන්තරය පාලනය කරන බලධරයන් දේවාලයට පිවිසෙන වේලාවන් පිළිබඳ නීතියක් පනවා තිබේ. සියලු වත්පිළිවෙත් පුද පූජා කළ යුත්තේ සවස 5.30ට පෙරය. ඒ නිසා ගමන් මහන්සියද නොතකා 5.30ට පෙර දේවාලය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා ඒ අසළ ඇති බෝධිය උදෙසා බෝධි පූජාවක් කළේය. අනෙක් පූජා කටයුතු එහි නීතිය අනුව කළයුත්තේ පසුදා උදෑසන 6.00න් පසුවය. අනතුරුව රාත්‍රී ආහාර ගෙන පසුදා පූජා කටයුතු සඳහා සැරසෙද්දී කූඩාරම් අවට වල් අලියකු දෙන්නකු ගැවසෙන්නට පටන් ගෙන තිබිණි. මේ සතුන්ට කරදර නොකරන ලෙස පැවසූ රාජපක්ෂ මහතා එයින් තරමක් හීලෑ හස්තියකු වෙත ගොස් කෙසෙල් ගෙඩි සහ අන්නාසි ගෙඩි කිහිපයක් ලබා දුන්නේය. කිසිදු චකිතයකින් තොරව අලියාට පළතුරු දෙන ආකාරය බලා සිටි හිටපු මන්ත්‍රීවරයකු කීවේ ඔබතුමා කවදත් අලින්ට කන්න දෙන්න දක්ෂයිනේ කියාය. කූඩාරම්වල රාත්‍රිය ගත කළ රාජපක්ෂ පවුල ප්‍රමුඛ අමුත්තන් සමඟ පසුදා කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ද තවත් දායක පිරිසක්ද එක්වූහ. ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියලු දෙනා එක්ව පසුදා සෙසු පුද පූජා කටයුතු හමාර කළහ. අනතුරුව ඔව්හු කැබලිත්තෙන් පිටත් වූහ.

සතියේ අමාත්‍ය මණ්ඩලවල හමුව පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බොහෝදෙනා අපේක්ෂා කළේ මෙදින ආන්දෝලනාත්මක හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්වනු ඇති බවයි.

එහෙත් සශෝධිත ගිවිසුම මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ආවේ නැත. එම ගිවිසුම ආණ්ඩුවේ ආර්ථික කවුන්සිලය වෙත ඉදිරිපත් කර අනතුරුව ඇමැති මණ්ඩලයට ගෙන එන බව ප්‍රකාශ විය. වරාය පැවරීමේදී චීන සමාගමට හිමි වන කොටස් ප්‍රමාණය සංශෝධනය කිරීමේ යෝජනාවක්ද කෙටුම්පත් කොමිටිය සලකාබලමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ වෙනුවට සාකච්ඡාවට ගැනුණේ අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ග්‍රාම රාජ්‍ය සංකල්පයට අදාළ යෝජනා කෙටුම්පතයි. මෙයට පෙර රජය විසින් පත්කරන ලද චන්ද්‍රසේන මාලියද්ද කමිටුවේ වාර්තාවක් පදනම් කරගත් මෙම යෝජනාව මගින් ගම කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩසටහනක් දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට ඇමැතිවරුන්ගේ අදහස් ලබාදෙන්නැයි අගමැති වික්‍රමසිංහ මහතා කැබිනට්ටුවට කීය.

තරමක් විවාද සම්පන්න මාතෘකාවක් ඊළඟට සලකා බැලිණි. වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට යම් පත්වීමක් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යෝජනා කර තිබිණි. රාජ්‍ය සේවා කොමිසම විසින්ද අනුමත කළ මෙම පත්වීම ක්‍රියාත්මක කිරීමට එම පළාතේම කැබිනට් අමාත්‍යවරයකු වන දයාසිරි ජයසේකර මහතා තරයේම විරෝධය පළ කළේය. ඒ නිසා උණුසුම් මත ගැටුමක් හටගැනිණි. එ.ජා.ප.යේ සිටින කාලයේ සිටම දයාසිරි අකිල ගැටුම පැවතුණි. දයාසිරිගේ තර්කය වූයේ රාජ්‍ය සේවා කොමිසම හරහා කළත් මෙය දේශපාලන පත්වීමක් බවය. මේ තැනැත්තා අදාළ තනතුරට නුසුදුසු බවත් දයාසිරි කීය. නමුත් අධ්‍යාපන ඇමැතිවරයා එය පිළිගත්තේ නැත. මෙය තමන්ගේ විෂය බව කී අකිල අමාත්‍යවරයා තමන්ට පසුගිය කාලයේ ගන්නා ලද තීරණ ගණනාවක්ම ක්‍රියාත්මක කරගන්නට නොහැකි වූ බවට දැඩි මැසිවිල්ලක් නැගීය. මම එකපාරක් ගුරුවරුන්ගේ පුරප්පාඩු 4000ක් විතර පුරවන්න යෝජනා කළා. ඒකටවත් අනුමැතිය ලැබුණේ නැහැ. දැන් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් පත්කරන්න යනකොට ඒකටත් විරැද්ධ වෙනව සර් මේ විදියට මට වැඩකරන්න බැහැ... අකිල අමාත්‍යවරයා දැඩි ස්වරයෙන් දිගින් දිගටම කියන්නට විය. සියල්ලට සවන් දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාට කීවේ ඇමැතිතුමා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉන්නේ පළාත් මහ ඇමැතිතුමා යටතෙ. ඒ නිසා අධ්‍යක්ෂක පත්කරනකොට මහ ඇමැතිගෙ අදහස් වැදගත්. ඒ නිසා මහ ඇමැතිගෙ මතයටත් ඉඩදීලා පත්වීම් කරන්න එතකොට වැඩේ ඉවරයි කියායි... එහෙත් ඇමැතිවරුන් ගණනාවක් මෙහිදී පවසා සිටියේ මෙම විරෝධය පළකරන්නේ වයඹ පළාතේ ශ්‍රී.ල.නි.ප. මහින්ද හිතවාදී මන්ත්‍රීන් බවයි. ඔවුනට බයේ පළාත් සභාව කරගෙන යානොහැකි යැයි පෙන්වා දුන් ඇමතිවරු එහි එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් එක්වුවහොත් බහුතරය හදාගන්නට පිළිවන් බැවින් රජයට අභිමත පාලනයක් ගෙනයාහැකි බව පැවසූහ.

කතානායක කරු ජයසූරිය මහතා ඉවත් කරන්නට යන බවට පහුගිය සතිය පුරාම කතා පැතිර ගියේය. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කවුරුත් අවංක දේශපාලනඥයකු ලෙස පිළිගන්නා කරු ඒකාබද්ධ විපක්ෂයට කතා කරන්නට වැඩි අවස්ථාවක් ලබාදුන් බවට චෝදනා නගමින් එ.ජා.ප.යේ මන්ත්‍රීවරුන් සභාගැබෙන් ඉවත්ව යාම නිසා මේ කතා පැතිරෙන්නට විය. එහෙත් රජය අභයන්තරයේ කතා නායකවරයා ඉවත් කරන්නට හෝ නව කතානායකවරයකු පත්කරන්නට යෝජනා වී නැතැයි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. මේ ගැන කරු ජයසූරිය මහතාගෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ ඔහු කීවේ තමන් ක්‍රියාකර ඇත්තේ සත්භාවයෙන් බවය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය රැකීමට තමන් පියවර ගත් බවකී ජයසූරිය මහතා තමන් ගන්නා තීරණ සෑමවිටම යුක්තිසහගත යැයිද සමහරු ඊට කැමැති හෝ අකමැති වීම ගැන තමන්ට කළහැකි දෙයක් නැතැයිද පැවසීය.

කලාතුරකින් සිදුවන පරිදි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තිදෙනෙක් එකම දිනයක අලුත්කඩේ උසාවි සංකීර්ණයට කැඳවනු ලැබ සිටියහ. හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට ගිය බදාදා අලුත්කඩේ උසාවි මඟින් කැඳවීම් කර තිබුණේ නඩු කටයුතු තුනක් සඳහාය. මේ අය තිදෙනාම එකම දිනක අලුත්කඩේදී දැකගත් මාධ්‍ය වැඩිය කතා නොකරන හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ උසාවි භූමියේදීය. “අද අපි විශේෂ දෙයක් උසාවියේදී දැක්කා මොකද මේ රාජපක්ෂල සේරම උසාවි ගෙනල්ල? මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය. “ඒව එහෙම තමයි එන්න වුණාම එනව... චමල් රාජපක්ෂ මහතා කීය. චමල්, ගෝඨාභය, බැසිල් තුන්දෙනාම එකම දවසෙ? නැවතත් ප්‍රශ්නයකි.

“මෙහෙමයි ගෝඨයි, බැසිලුයි උසාවි ඇවිත් තියන්නෙ ආණ්ඩුව එයාලට විරුද්ධව නඩු දාල තියන නිසා. මම අද ආවෙ ආණ්ඩුවට විරුද්ධව නඩුවක් දාන්න... අන්න ඒකයි වෙනස... යයි පිළිතුරැ ලෙස කී චමල් රාජපක්ෂ මහතා පිටත්ව ගියේය. 

♦ ප්‍රකාශ් ඉරැගල් බණ්ඩාර