2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ඇමැතිකමක් නැත්නම් මැරෙන බවට තර්ජන!

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 1537

ස්විස් තානාපතිගෙන් මහින්දට හා දිනේෂ්ට පැමිණිල්ලක්
විපක්ෂ නායකකමට රනිල් තෝරාගත් කරුගෙන් අකිලට විශේෂ ලිපියක්
නියෝජ්‍ය ඇමැති තිදෙනාට රාජ්‍ය ඇමැති පදවි
ජනාධිපතිගේ නම කියා මාළුලෑලි ගලවනවා රෙදිවැල් ගලවනවා යැයි ඇමැතිලා කියති
ජ.වි.පෙ. නිහඬයි: නව නායකත්වයක් ගැන සංවාදයක්

අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු පළමු සතිය වෙන්වී තිබුණේ ආණ්ඩුවේ කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන් පත් කිරීමටය. එසේම ආණ්ඩුකාරවරැන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද පත් කළ යුතුව තිබිණි. මේ සියල්ලම බෙහෙවින් ආතතියෙන් පිරි ක්‍රියාදාමයකි. කැබිනට් ඇමැතිකම් නොලැබුණු ජ්‍යෙෂ්ඨයන් සිටියේ අසතුටිනි. ඒ අය සතුටු කොට ඔවුනට යථාර්ථය පහදා දීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුව තිබිණි. ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ආදී ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පක්ෂ නායකයකු වූ උදය ගම්මන්පිල ද මෙම ප්‍රශ්නයට මුහුණදුන් අතර උදය සිය කැමැත්තෙන්ම අමාත්‍ය පදවිය පරිත්‍යාග කළේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් විෂයයන් ගණනාවක් තම අමාත්‍යාංශයට ඇතුළත් කර ගත්තේ ද මෙම අර්බුදයට විසඳුමක් ලෙසය. ඔහු යටතේ තිබෙන ප්‍රධාන විෂයයන් සියල්ලටම යට කී ජ්‍යෙෂ්ඨයන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කොට ඔවුනට බලතල පවරා අදාළ අමාත්‍යාංශ මෙහෙයවීමට ඉඩදීම මහින්ද මේ සඳහා ලබා දුන් ප්‍රායෝගික විසඳුමයි.

රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව ද සීමා කොට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ විය. එහෙත් මහනුවර, කළුතර වැනි දිස්ත්‍රික්කවලට කිසිදු අමාත්‍ය පදවියක් හිමි වී නොතිබීම නිසා එම දිස්ත්‍රික්කවල දේශපාලනඥයෝ කැළඹී සිටියහ. සීතල පළාතක හිටපු අමාත්‍යවරයෙක් තමන්ට කැබිනට් පදවියක් නොලැබේ නම් වස බී මියයන බවට තර්ජනය කර තිබිණි. එහෙත් ඔහු සිය දිස්ත්‍රික්කය තබා තමන් සැමදාම ජයග්‍රහණය කළ ආසනයෙන් පවා පරාජයට පත්ව තිබූ බැවින් තනතුර අහිමි විය. ගාල්ලේ රමේෂ් පතිරණට අමාත්‍ය පදවියක් හිමිවෙද්දී කොළඹ ගාමිණී ලොකුගේ සහ රත්නපුර වාසුදේව ද හැලී තිබිණි. මුලින් වාසුට කෙටිකාලීනව කතානායක පදවිය යෝජනා විය. එහෙත් ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා කතානායක කරු ජයසූරිය අතර පැවති සුහද සාකච්ඡා දෙකකදී කරු පෙන්වා දුන්නේ “තමන්ට යන්න කියනවා නම් යන්න පුළුවන්. නමුත් ඊළඟ කතානායක රහස් ඡන්දයෙන් තෝරාගන්නට සිදුවන බවය.” බහුතරයක් මන්ත්‍රීන් තවමත් රජයට නොමැති නිසා රජය පරාජය වීමේ අවදානමක් ඇතැයි මෙහිදී මහින්දට හා ගෝඨාභය ජනාධිපතිවරයාට පෙනී ගිය බැවින් වාසුට කරුණු පහදා දී ඔහු මහින්ද රාජපක්ෂ මහතා යටතේ රාජ්‍ය අමාත්‍ය ධූරයකට එකඟ කර ගැනිණි.

ඒ අතර ශ්‍රී.ල.නි.පයේ නියෝජනය අනුව කැබිනට් අමාත්‍ය පදවි තුනක් හිමිවිය යුතුව තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතා කොට නියමිත වේලාවට නම් තුනක් එවන බව කීය. නමුත් එම නම් නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් මහින්ද අමරවීර හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුනට පමණක් අමාත්‍ය පදවි හිමි විය. ඔවුන්ගේ ප්‍රතිඥා පත්‍ර සකස් කොට දිව්රුමට සැරසෙද්දී ජනාධිපතිවරයාගේ නම් තුන ලැබිණි. එහි මේ දෙදෙනාට අමතරව දයාසිරිගේ නමත් ඇතුළත් වූ නමුත් අවසන් මොහොතේ ඔහුට අමාත්‍ය පදවියක් අහිමි විය. ඒ නිසා විකල්ප විසඳුම ලෙස දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න ආදීන්ට රාජ්‍ය අමාත්‍ය පදවි ලැබෙන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නට සිදුවිය.

නැගෙනහිර පළාතේ වියාලේන්ද්‍රන් හා දැනට දැඩි ලෙස රෝගාතුරව සිටින රංජිත් සොයිසා මහත්වරුන්ට තනතුරු පැවරීම සම්බන්ධයෙන් අවසන් මොහොතේ ද සාකච්ඡාවක් සිදුවිය. එහිදී සොයිසා මහතාට තවත් මාස දෙකක් පමණ රෝහල්ගතව සිටින්නට සිදුවන බව වාර්තා වූ අතර එබැවින් ඔහුට පදවියක් හිමි නොවූ බව වාර්තා විය. මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දෙපොළක් වන මහින්ද යාපා අබේවර්ධන මහතාටත්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාටත් තනතුරු ලබාදීම ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිවිය. නමුත් පළාතේ ඇතැම් මැති ඇමැතින් තරුණ මන්ත්‍රීවරයකු වන කාංචන විජේසේකරට රාජ්‍ය අමාත්‍ය පදවියක් ලබාදෙන ලෙස ඉහළට බලපෑම් කර තිබිණි. බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් මහින්ද යාපා අබේවර්ධන මහතා චමල් රාජපක්ෂ මහතා යටතේ ඇති වාරිමාර්ග හා ග්‍රාමීය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට ද, ලක්ෂ්මන් යාපා මහතා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට ද තෝරාගනු ලැබූහ. තවත් ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීන් දෙපොලක් වන වාසුදේව නානායක්කාර මහතාට සහ ගාමිණී ලොකුගේ මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ රාජ්‍ය අමාත්‍ය පදවි දෙකක් ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සිය ලේකම් ගාමිණී සෙනරත් මහතාට දැන්වීය. සුසිල් ප්‍රේමජයන්ත මහතා දිනේෂ් ගුණවර්ධන මහතාගේ විදේශ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැති ලෙස පත් කෙරිණි.

මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුව බදාදා දහවල් පැවැත්විණි. එදින කැබිනට් මණ්ඩලය සලකා බැලූ ප්‍රධානම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූ ආර්ථික සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සඳහා එම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ඉල්ලා තිබිණි. අමාත්‍යවරු ඊට අනුමැතිය ලබා දුන්නෝය. ඒ නිසා බදු වර්ග 10 ක් පමණ අඩු කිරීම හෝ වෙනස් කිරීම සිදුවිය. ජනතාව පීඩාවට පත් කළ වැට් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, දුරකතන බද්ද ආදියට විශාල ලෙස සහන පිරිනැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ පවත්නා දේශපාලන අර්බුදය සමතයකට පත් කිරීම සඳහා පාර්ශ්ව ගණනාවක් වෙහෙස මහන්සි වෙමින් සිටී. මෙහි ප්‍රධානම චරිතයක් නිරූපණය කරන්නේ පක්ෂ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කතානායකවරයා ද වන කරු ජයසූරිය මහතාය. එ.ජා.පයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ තිබෙන අර්බුදය සමතය සඳහා කරු ජයසූරිය මහතා තාවකාලිකව පක්ෂ නායකත්වය භාරගත යුතු බවයි. නමුත් ජයසූරිය මහතා ඊට කිසිසේත්ම මෙතෙක් එකඟතාව පළ කර නැත. නමුත් ජයසූරිය මහතා රනිල් හා සජිත් අතර ඇති අර්බුදකාරී තත්ත්වය සමතයකට මැදිහත්ව සිටී. ඒ අනුව කරුගේ ප්‍රධානත්වයෙන් රනිල් - සජිත් හමුවක් කතානායක නිල නිවෙසේ සංවිධානය කෙරිණි. මේ නායකයන් දෙදෙනා කරු ජයසූරිය මහතාගේ මැදිහත් වීමෙන් එකම මේසයක් වෙත ගෙන්වා කතාබස් කොට ප්‍රශ්නය විසඳීම කරුගේ අරමුණ විය. එහෙත් මේ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරන විටත් ඔහු සිටියේ යාල කැලේ බංගලාවක  වනසතුන් නරඹමිනි. එය ඔහුගේ ප්‍රධානතම විනෝදාංශයයි. සජිත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු තමන් වන දිවියන් රුකගැනීමේ ව්‍යාපාරයකට නායකත්වය දෙන බව ප්‍රකාශ කළේ ද ඔහුගේ මේ විනෝදාංශය නිසාය. කෙසේ හෝ කතානායක නිවෙසේ සාකච්ඡාවට සජිත් පැමිණෙන බව මුලින් ප්‍රකාශ කර තිබුණද අවසානයේ සජිත් ඊට පැමිණ සිටියේ නැත. නමුත් කරු සහ රනිල් පැමිණ සජිත් එන තෙක් පැයකට ආසන්න කාලයක් කතානායක නිල නිවෙසේ රැඳී සිටියහ. සජිත් අවසානයේ දන්වා තිබුණේ අසනීප තත්ත්වය හේතුවෙන් තමන් සාකච්ඡාවට නොඑන බවය.

ඒ අනුව රනිල් - සජිත් හමුව අවලංගු කළේය. එ.ජා.පයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවයි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද රනිල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇතැයි කියැවේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය තවදුරටත් තමන් අත තබාගෙන පක්ෂ නායකත්වය පමණක් සජිත්ට භාරදීමට කැමැත්ත පළ කර ඇතැයි දැනගන්නට ඇත. නමුත් සජිත්ලා ඊට එකඟ නැත. මෙම තීරණයට සජිත් එකඟ වුවහොත් පක්ෂ මහ සමුළුවක් කැඳවා එය අනුමත කර ගැනීමට ද රනිල් සූදානම් බව කියැවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යවා තිබිණි. ඒ ගැන කතානායකවරයාගේ අවධානය යොමු කරවමින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන්නැයි පක්ෂ මන්ත්‍රීන් 57 දෙනකුගේ අත්සනින් කතානායකට තවත් ලිපියක් භාරදුනි. මේ දෙකම සලකා බලා ගිය බදාදා කරු ජයසූරිය මහතා තම තීරණය ප්‍රකාශ කළේ ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේය. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්ථාවර නියෝග අනුව තමන් විපක්ෂ නායක ලෙස පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ බව කතානායකවරයා නිවේදනය කර තිබිණි. 

එහෙත් ඉන්පසු අකිල විරාජ් මහ ලේකම්ට විශේෂ ලිපියක් යැවූ කරු ජයසූරිය මහතා පක්ෂයේ මන්ත්‍රීන් තමන්ගෙන් සජිත් විපක්ෂ නායක පදවියට පත් කරන ලෙස ඉල්ලා ඇති බැවින් ප්‍රශ්නය විසඳාගන්නා ලෙස උපදෙස් දී තිබිණි. ඒ ඒ පක්ෂ අභ්‍යන්තරයේ ඇති ප්‍රශ්නවලට තමන්ට මැදිහත් විය නොහැකි බවත් ඒවා පක්ෂ විසින්ම විසඳාගත යුතු බවත් කතානායකවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ඒ අතර එ.ජා.පයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් ජ්‍යෙෂ්ඨතාව අතින් දෙවැනි වන හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තමන් මෙතෙක් සංවිධායක පදවිය දැරූ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. තරුණ පරපුරට අවස්ථාව ලබාදීම සඳහා ජනතා විරෝධය මධ්‍යයේ තමන් සංවිධායක පදවිය අත්හරින බව ජෝන් අමරතුංග සඳහන් කර තිබිණි. ඇතැම් තහවුරු නොකළ වාර්තා මීට පෙර කියා තිබුණේ මංගල හා මලික් යන අමාත්‍යවරුන් ද දේශපාලන කටයුතුවලින් ඉවත් වන බවය.

ජනතා විමුක්ති පෙරමුණ මෙරට මැතිවරණ ඉතිහාසයේ ලද බරපතළම පරාජයෙන් පසු තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනේ. පසුගිය 18දා ඡන්දයට දෙදිනකට පසු ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් කීවේ තමන් ජනතාව වෙනුවෙන් කරන සටන අත්නොහරින බවයි. සිංහල සහ දෙමළ, මුස්ලිම් ජනතාව අතර හටගෙන ඇති බෙදීම නිසා සමාජය නරක තැනකට ගමන් කරන්නේ යැයි ද ඔහු කීය. එහෙත් එම ප්‍රකාශයෙන් පසු ජ.වි.පෙ. තවමත් ක්‍රියාකාරීව කිසිම කටයුත්තකට සම්බන්ධ බව නොපෙනේ. අප වෙත ලැබෙන ජ.වි.පෙ. අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට ලාල් කාන්ත හෝ විජිත හේරත් පත් කළ යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයේ සංවාදයක් මතුව ඇති බවය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් කිසියම් පිරිසක් විසින් රඳවා තබාගෙන පැය තුනක කාලයක් ප්‍රශ්න කිරීම ගැන ස්විස් රජය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනටත් පැමිණිලි කර ඇත. මෙසේ රඳවාගත්තා යැයි කියන සේවිකාව රඳවාගෙන ඇයගෙන් ප්‍රශ්න කර ඇත්තේ පසුගියදා මෙරටින් පලාගිය රහස් පොලිස් නිලධාරී නිශාන්ත ද සිල්වා සම්බන්ධ තොරතුරු සඳහා බවද කියැවෙයි. මේ ගැන සාකච්ඡාවකට කොළඹ සිටින ස්විස් තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට පැමිණියේය. ඔහු විදේශ අමාත්‍යවරයා ද හමු වූ බව වාර්තා විය. පොලිස්පතිවරයා ද අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂකවරයා ද මහින්ද රාජපක්ෂ සමඟ පැවති හමුවට පැමිණියෝය. පැහැරගෙන යාම රජය තරයේ හෙළා දකින බව අගමැතිවරයා ප්‍රකාශ කළ අතර පොලිසියට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් විධිමත් ලෙස පරීක්ෂණ සිදුවන බවත් මහින්ද තානාපතිවරයාට පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික ආරාධනයක් අනුව ගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබුණේ තමන් සමඟ කෙරෙන ද්විපාර්ශ්වික හා සංවේදී කරුණු ඇතුළත් සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය පමණක් සහභාගි වන්නේ නම් යෝග්‍ය බවය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයට කිසිදු දේශපාලනඥයෙක් ඇතුළත් නොවීය. ජනාධිපති ලේකම් ආචාර්ය ජී.බී. ජයසුන්දර ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පස්දෙනකුත්, ආරක්ෂකයන් දෙතුන් දෙනකුත් ඇතුළත් 10 දෙනකුගේ කණ්ඩායමක් දූත පිරිසට ඇතුළත් වූහ.

සංචාරයට පෙරදා මෙම රජයේ නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ පැය දෙකක කාලයක් සාකච්ඡා කළේ ඉන්දියාව සමඟ කළ යුතු දේශපාලන හා ආර්ථික ගනුදෙනු ගැනයි. ඒ සියලු දෙනාට මෙම සංචාරයේ දී ඉටුකළ යුතු කාර්යභාරය ගැන වගකීම් පැවරීම ද ජනාධිපතිවරයා විසින්ම කරන ලදී. ඉන්දියාවට ගිය ජනාධිපති ගෝඨාභයට එරට දී ඉහළ පිළිගැනීමක් සංවිධානය කර තිබිණි. අගමැති මෝදිට අමතරව ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා ද මෙම චාරිකාවේ දී ජනාධිපති රාජපක්ෂ මහතා මුණගැසුණේය.

පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සුවිශේෂී චරිත කිහිපයක් එම පදවිවලට පත් කිරීමට තීන්දු කර තිබිණි. ඒ අනුව ආණ්ඩුකාර පදවියකට සුදුසු බැඳීම්වලින් තොර කලාකරුවන් හා ප්‍රකට චරිත ගණනාවක් ගැන අධීක්ෂණය කළ හෙතෙම උතුරේ ආණ්ඩුකාර ධූරය සඳහා මුත්තයියා මුරලිදරන් තෝරා ගත්තේය. මුරලි මෙරට උතුරේ මෙන්ම දකුණේ ද ජනතාව අතර ජනප්‍රිය චරිතයකි. උතුරේ තරුණ පිරිස් අතර ද ඔහු ජනප්‍රියය. මේ තනතුර සඳහා තවත් උතුරේ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් ද, හිටපු මන්ත්‍රීවරයෙක් ද උත්සාහ කළ නමුත් ජනාධිපතිවරයා තෝරාගත්තේ මුරලිදරන්ය. එහෙත් මුරලි මුල සිටම මෙම තනතුර භාරගන්නට අදිමදි කළේ එය ජීවිත ආරක්ෂාවට තර්ජනයක් බව කියමිනි. මුරලිගේ ඉන්දීය ජාතික බිරිඳගෙනුත්, ඔහුගේ මාමණ්ඩිය ප්‍රමුඛ ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික පවුලෙනුත් ඒ ගැන ‘ග්‍රීන් ලයිට්’ ලැබී තිබුණේ නැත. එහෙත් ජනාධිපති ගෝඨාභය තම උත්සාහය අත නොහැර මුරලි සිය නිවෙසට කැඳවා මෙම තනතුර භාරගන්නා ලෙස පෞද්ගලිකවම ආරාධනා කළේය. “ඔබ රට වෙනුවෙන් මේ යුතුකමත් ඉටු කරන්න” යැයි ජනාධිපති ගෝඨාභය මුරලිට හැඟීම්බරව ආරාධනයක් කළේ ඔහු බෑ කියන්නට බැරි තැනට තල්ලු කරමිනි. මුරලිදරන් එයට තවමත් හරි වචනයක් දී නැත.

අලුත් ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුවේ පක්ෂ නායකයෝ ගිය අඟහරුවාදා සවස මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසේ දී රැස්වූහ. එම හමුවට පක්ෂ නායකයන් සමඟ අගමැති මහින්ද සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ද එක්වූහ. එහිදී පැමිණ සිටින පක්ෂ නායකයන්ට තමන්ගේ ජයග්‍රහණය ගැන ස්තූති කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් තෝරාගන්නා නව ක්‍රමවේදය ගැන පක්ෂ නායකයන් දැනුවත් කළේය. මෙරට ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය සංස්ථා මණ්ඩල අධිකාරි සඳහා සුදුසුකම් ඇති වෘත්තිකයන් තෝරාගත යුතු යැයි ගෝඨාභය ජනාධිපතිවරයා කීය. එසේම ඇමැතිවරැන්ට ද ඒ සඳහා සුදුසු නම් යෝජනා කරන්නට ද පුළුවන් බව ඔහු පැවසීය. එහෙත් රාජ්‍ය ආයතන භාර දිය යුත්තේ සුදුස්සන්ට බව ඔහු අවධාරණය කළේය. මේ තෝරාගැනීම සඳහා වෘත්තිකයන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි සභාපති ධූරයට හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයකු වන එස්.බී. දිවාරත්න මහතා පත් කළ බවත් පැවසීය. මෙම කමිටුව පුවත්පත් මගින් අයැදුම්පත් කැඳවා දෙසතියක් තුළ වඩාත් සුදුස්සන් තෝරාගෙන රාජ්‍ය ආයතන පාලනය ඔවුන්ට භාරදෙන බවත් කී ජනාධිපතිවරයා මෙම ක්‍රමවේදය ගැන පක්ෂ නායකයන්ගේ අකැමැත්තක් හෝ වෙනත් අදහසක් ඇත්දැයි විමසීය. එහෙත් කිසිවකු ඊට විරෝධය පළ කළේ නැත. බන්දුල ගුණවර්ධන මහතා කීවේ මෙම කටයුත්ත ඉක්මනින් කළ යුතු වගය.

අනතුරුව නැගී සිටි අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පැමිණිල්ලක් කළේය. “ජනාධිපතිතුමනි.. මම නියෝජනය කරන්නේ මාතර වැලිගම ආසනේ.. වැලිගම නගර ආසන්නයේ පාර අයිනේ ප්‍රකට මාළු වෙළෙඳපොළක් තියෙනව. ඔබතුමාගෙ නියෝගයක් අනුවය කියල එතන තියෙන මාළුලෑලි සේරම ඉවත් කරල. පවුල් රාශියක මිනිස්සු අසරණ වෙලා මට පැමිණිලි කළා”.. එය අසා පුදුමයට පත් වූ ජනාධිපතිවරයා “ඔය ගැන මම කිසිම කෙනකුට නියෝගයක් දීල නැහැ. අනික ඕක පරිසර ඇමැතිගෙ වැඩක් මිසක් ජනාධිපතිට අයිති දෙයක් නෙවෙයි. මේවා ගැන පරිසර ඇමැතිතුමා හොයල බලල සාධාරණයක් කරන්න..” යැයි එස්.එම්. චන්ද්‍රසේන පරිසර ඇමැතිවරයාට නියම කළේය. ඊළඟට නැගී සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා තවත් අපූරු පැමිණිල්ලක් කළේය. “සර් ඔබතුමාත් අගමැතිතුමත් නුවර එන දවසෙ හෙලිකොප්ටර් නවත්තපු පිට්ටනිය අයිනෙ ගෙවල්වල තිබුණු රෙදිවැල් පවා පොලිසිය අයින් කරල.. එහෙම කරන්න කියල තියෙන්නෙ පළාතෙ පොලිස් නිලධාරියෙක්. පොලිසිය මෙහෙම කරන්න ගියොත් අපට වැඩ කරගන්න බැරි වේවි.. ඔබතුමාගෙ නම විකුණලයි සමහර පොලිස් නිලධාරීන් මේවා කරන්නෙ.” එවිට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ද ප්‍රකාශ කළේ “ජනාධිපතිතුමනි.. දැන් තවත් කතාවක් යවනව පොලිසිය ටවුන්වල කුණු අදින්නත් දාලය කියල. මේ කතා සමහර පොලිස් ලොක්කොමයි අරින්නෙ..” ඒ ප්‍රශ්නය ඇසූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉබේම සිනහ පහළ විය.

“මොන බොරු කතාද මේ? කවුද පොලිසියට කුණු අදින්න කිව්වෙ.. අපි කිව්වෙ පරිසර පොලිසියට පිරිසුදුකම ගැන පරීක්ෂාවෙන් ඉන්න කියලයි. ඒකත් අධීක්ෂණය කරන්න ඕන මම නෙවෙයි පරිසර ඇමැතිතුමායි..” ජනාධිපතිවරයා චන්ද්‍රෙස්න ඇමැතිවරයාට තවත් වගකීමක් පැවරීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායකත්වය පිළිබඳ හටගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය සමතය සඳහා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයෝ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරු සමඟ සාකච්ඡාවක් කිරීමට තීන්දු කළෝය. ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා එම පෙරමුණේ නායකත්වය වන චම්පික රණවක, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම් ආදීන් සිරිකොත මන්දිරයට ගොස් රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ඔවුන් එහිදී සාකච්ඡා කර ඇත්තේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම ගැනය. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ රනිල් පාර්ශ්වයේ අදහස ඔහු විපක්ෂ නායක ධූරය තබාගෙන සජිත්ට පක්ෂ නායක පදවිය පැවරීම බවද කියැවිණි. නායකත්ව මණ්ඩලයක් ගැනද යෝජනා වී ඇත.

කෙසේ හෝ මෙම කතාබහේ නිවැරදි තොරතුරු පක්ෂ නායකයන් මාධ්‍යයට ලබා දුන්නේ නැත. ඉන් අනතුරුව එ.ජා. පෙරමුණේ නායකයන් සජිත් ප්‍රේමදාස හමුවන්නට යන බව කීය. එහෙත් පසුගිය සතියේම ඔහු සිටියේ අතුරුදන්වය. සජිත් වෙනුවෙන් සජිත් සුළඟ නමින් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පක්ෂයේ ඇතැම් නායකයන් තීන්දු කර තිබුණ ද ඒ කාගේවත් ජංගම දුරකථනවලට සජිත් පිළිතුරු නොදීම නිසා පක්ෂ නායකයෝ කනස්සල්ලට පත්ව සිටියහ. එහෙත් කොළඹ කිසියම් නොදන්නා ස්ථානයකදී සජිත් සහ පක්ෂ නායකයන් හමු වූ බවත් සිකුරාදා උදෑසන ද පක්ෂ නායකයන් සජිත් හා රනිල් සමඟ තවදුරටත් අදහස් හුවමාරු කරගත් බවත් අද හෙටම පක්ෂ නායකත්වය විපක්ෂ නායකත්වය ගැන තීන්දුවක් ගනු ඇතැයි ද පැවසේ.

කතා නායක කරු ජයසූරිය මහතා ද එ.ජා.පයේ විපක්ෂ නායක අර්බුදය ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එයට හේතු වූයේ එ.ජා.ප මන්ත්‍රීන් 57 දෙනකුගේ අත්සනින් සජිත් විපක්ෂ නායක ලෙස පත්කරන්නැයි ඉල්ලා කරු ජයසූරිය මහතාට ලිපියක් බාර දීමයි. ඒ ලිපිය මගින් කරු එ.ජා.ප මහ ලේකම්ට දන්වා සිටියේ එම මන්ත්‍රීන් 57 දෙනාගේ ඉල්ලීම ගැනද සලකා බලා එ.ජා. පක්ෂයෙන් විපක්ෂ නායක ධූරයට තෝරා ගත යුත්තේ කවුද යන්න ගැන තමන්ට දන්වන ලෙසයි. මේ අවස්ථාවේ විපක්ෂ නායක ධූරය ගැන මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීන් සමඟ සාකච්ඡා කොට ගනු ලබන තීන්දුව දැන්වීමෙන් පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී එය දැනුම් දෙන්නේයැයි ද කතා නායක කරු ජයසූරිය මහතා එ.ජා.ප මහ ලේකම්ට දන්වා යැවීය.

නව රජය පිහිටුවීමෙන් පසු තවමත් ඇතැම් තනතුරු සම්බන්ධව ගැටලු නිරාකරණය කරන්නට සිදුව තිබේ. ඒවා බොහෝමයක් පැවරී ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂටය. රාජ්‍ය ආයතන තනතුරු පිරවීම පිළිබඳ ප්‍රශ්නය නම් ජනාධිපති හා අගමැති විසින් විශේෂ කමිටුවකට පවරා තිබේ. එම කමිටුව මගින් රාජ්‍ය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂක තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමට දැනටමත් අයදුම්පත් කැඳවා තිබේ. ලබන 18 දායින් පසු ඒ ගැන තීන්දුවක් ගැනීමට නියමිතය. එහෙත් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දුන් දා ලැබුණ නියෝජ්‍ය අමාත්‍ය පත්වීම් ගැන ඔවුනගේ කනස්සල්ල මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබිණි. 2010 සහ 2014 මැතිසබයට පත්වූ ඇතැමුන්ට නියෝජ්‍ය ඇමැතිකම් ලබා දී 2015 මැති සබයට පැමිණි අයට රාජ්‍ය ඇමැතිධූර ලබා දී ඇතැයි මෙම නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනා පැමිණිලි කළෝය. තමන්ට අසාධාරණයක් නොකරන මෙන්ද ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම සලකා බැලූ බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරු ජනාධිපති ගෝඨාභය මහතා සමඟ ද කතා කොට ඒ තිදෙනාට ද රාජ්‍ය අමාත්‍ය පදවි පිරිනමන්නට අවසානයේ තීන්දු කළේය. ඔවුන් එදිනම සවස අදාළ තනතුරුවල දිවුරුම් දුන් බව වාර්තා විය. ඒ අනුව නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ හා කංචන විජේසේකර ද රාජ්‍ය ඇමැති පදවිවලට පත් වූහ. 

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර