2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

එජාපයේ නායකත්ව අර්බුදය ඔඩු දුවයි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 265

අලුයම දෙකයි තිහට ජයග්‍රහණයේ පණිවුඩය ගෝඨාට සහ මහින්දට
විවේක ගන්නට කාටත් හොරෙන් පන්සල් කුටියක මහින්ද නවාතැන් ගත් හැටි
පී.බී. ජයසුන්දර - ගාමිණී සෙනරත් මහපුටු දෙකට පත් වූ හැටි
චීනයෙන් එන්නට පෙර ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් කොළඹට
කණ්ණාඩියක් ඉදිරියට ගොස් පරාජයට හේතු දැකගන්නැයි රනිල් කියයි
සජිත් වන දිවියන් රැකගැනීමේ වැඩසටහනකට යන බව කියයි

වටපිට පැවති දේශපාලන ඝෝෂාව හමාර කරමින් ජනාධිපතිවරණය අවසන් විය. 2015 දී පරාජයකොට ගෙදර යවනු ලැබූ රාජපක්ෂවරුන් නැවතත් කරළියට කැඳවන්නට ජනතාව තීරණය කළේය. මෙම මැතිවරණයේ අවසන් සතිය වනවිට ඡන්ද සටන තියුණු උග්‍ර දේශපාලන පොරයක් බවට පත්ව තිබිණි. සජිත් ප්‍රේමදාස කණ්ඩායම තමන් අත තිබූ තුරුම්පු සියල්ල පාවිච්චි කරන්නට පටන් ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිකම ගැන පහළ උසාවියේ පැවරූ නඩුවේ තීන්දුවට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ අභියාචනයක් ගොනුකළේ ඡන්දයට දවස් 4ට පෙරදීය. එහෙත් එම නඩුව ගොනුකරන විට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගතව සිටි බැවින් නඩු ලේඛන ගතකිරීම භාරදී තිබුණ විනිසුරුවරයා (ලිස්ටින් ජජ්) එම නඩුව කැඳවීම ජනවාරි මාසයට කල්තැබීය. මේ ගැන ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එදිනම නීති උපදෙස් ලබාගත් අතර අතුරු තහනම් නියෝගයක් මගින් ගෝඨාභය වළක්වන්නට පිළිවන්දැයි විමසා බැලිණි. ජනාධිපති නීතිඥ අලිසබ්‍රි හා ගාමිණී මාරපන ඇතුළු පිරිසක් ඒ ගැන මහන්සි වූහ. කෙසේ හෝ එම නඩුව කල්යාමෙන් පසු ඡන්ද සටනේ අවසන් දිනය (නිහඬ කාලයේ) ගෝඨාභය රාජපක්ෂ ගත කළේ මිරිහාන නිවසේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්දා තංගල්ල පැත්තට ගියේ ඡන්ද සටනේ මහන්සිය නිවාගන්නටයි.

එහෙත් මහින්දට තංගල්ල නිවසේදී විවේකයක් නොලැබිණි. ජනතාව සුපුරුදු ලෙස සිය ගණනක් ඔහුගේ නිවසට එන්නත් කතාබස් කරන්නටත් වූහ. ඒ හැම සමඟ සුහදව කතාබස් කරමින් සංග්‍රහකොට පිටත් කිරීමට මහින්ද අමතක කළේ නැත. ඒ වනවිට තරමක් අසනීප ගතියෙන් සිටි නිසා ඔහුට විවේක ගන්නා ලෙස වෛද්‍යවරු ද පැවසූහ. ඒ නිසා මහින්ද කළේ කාටවත් නොකියා තංගල්ල කාල්ටන් නිවසින් අතුරැදන්වීමයි. ඔහු තමන්ගේ සමීපතම ආරක්ෂකයන් දෙතුන් දෙනෙක් සමඟ ගියේ සිතුල්පව්ව රාජ මහා විහාරයටය. යාල වනෝද්‍යාන මායිමේ සුන්දර පර්වතයක් මත පිහිටා ඇති සිතුල් පව්ව පන්සලේ මහින්ද විසින්ම ඉදිකරන ලද අමුත්තන්ගේ කුටියක් වෙයි. එම කුටියට කාටවත් නොකියා ගොස් විටින් විට විවේක ගැනීම ඔහුගේ සිරිතයි. ඒ අනුව ජංගම දුරකතනද නිවාදමා සිතුල්පව්වේ විවේක කුටියට ගිය මහින්ද රාජපක්ෂ මහතා රූපවාහිනී යන්ත්‍රයක් පවා නොමැති එම කුටියට රූපවාහිනියක් සවිකර ගෙන එහි දේශපාලන වැඩසටහන් නරඹමින් දින එකහමාරක් පමණ ගතකළේය. ඡන්දය පැවති ගිය සෙනසුරාදා නැවතත් තංගල්ලට පැමිණ මැදමුලනට ගියේ ඡන්දය පාවිච්චියටයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා ද ඔහුගේ බිරිය ද එහි වූහ. මැදමුලනේදී මහින්ද, චමල් රාජපක්ෂ මහතා ලබාදුන් උදේ ආහාරය ගෙන හමාර වනවිට පළාතේ නායක හිමිවරුන් කිහිපනමක් නිවසට වැඩම කර තිබුණේ ඡන්දය දැමීමට පෙර ආගමික ආශිර්වාද ලබාදීමටයි. සෙත්පිරිත් දේශනා කොට උන්වහන්සේලාගේ ආශිර්වාද මැද මහින්දලා මැදමුලන රාජපක්ෂ විද්‍යාලයේ ඡන්දය භාවිතා කලෝය.

ඒ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ සිය නිවසට වැඩම කර සිටි ස්වාමින්වහන්සේලා කිහිප නමකගේ ආශිර්වාදය ලබාගෙන නිවෙස අසල ඇති විවේකාරාමයට ගියේ සුබ නැකතිනි. එහිදී ඡන්දය භාවිතාකොට කෙලින්ම ගුවනින් ඔහු මැදමුලන නිවසට පැමිණියේය. මහින්ද බැසිල් ගෝඨාභය හා චමල් ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහගෙදරට එක්රැස්ව සිටි අතර සියලු දෙනා තමන්ගේ මව්පියන් වෙනුවෙන් ඉදිකර තිබූ ස්මාරකය වෙත ගොස් උපහාර දැක්වූහ. අවසානයේ මැදමුලන නිවසින් ආහාර ගත් රාජපක්ෂ සහෝදරයෝ විසිර ගියහ.

එ.ජා.ප.යේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය දා හම්බන්තොටට පැමිණියේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නටයි. ඔහු එහිදී ඡන්දය ප්‍රකාශ කොට ප්‍රදේශයේ ජනතාව සමඟ සුහදව කතාබස් කරමිනි. තමන් මෙවර ජනාධිපතිවරණය ජයගනු ඇති බව ස්ථිරයැයි කීය. ජලනී ප්‍රේමදාස මහත්මිය ද සජිත් සමඟ වූ අතර හේමා ප්‍රේමදාස මහත්මිය මැද කොළඹදී ඡන්දය භාවිත කර සජිත්ගේ ඡන්ද කටයුතු ගැන සොයාබලන්නට වූවාය. හම්බන්තොටින් කොළඹ පැමිණි සජිත් තමන් පදිංචි රෝයල් පාර්ක් නිවස සංකීර්ණයට ගියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමටයි. ජනාධිපතිවරණය ජයගනු ඇති බවට දැඩි විශ්වාසයකින් පසුවූ ඔහුගේ හිතවතුන් සජිත් ජයග්‍රහණය කළ පසු මහනුවර පත්තිරිප්පුවේදී කළ යුතු කතාව පවා සකස් කරතිබූ බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි. සජිත්ට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක අනුර දිසානායක මහතා මරදානේදී සිය ඡන්දය භාවිතා කළේය. සෙසු අපේක්ෂකයන් ද තමතමන්ගේ ඡන්ද පොළවලදී ඡන්ද භාවිතා කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ඡන්දය දා සවස් වනවිට ජයග්‍රහණය පිළිබඳ උණුසුම දැනී තිබුණත් ඔහු නිවසට වී ඉතා සැහැල්ලුවෙන් කාලය ගතකළේ තම හිතවතුන් සමඟ සාකච්ඡා කරමිනි. එදින රාත්‍රී ඡන්ද ගණන් කිරීම ඇරඹෙන විට මහින්ද රාජපක්ෂ මහතා නින්දට ගොස් සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් සමඟ දුරකතනයෙන් කතා කරමින් තත්ත්වය විමසා බැලීය. මධ්‍යම රාත්‍රිය පසුවී පැයක් දෙකක් ගතවන විට ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා ගොඩවල් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට දකුණේ දිස්ත්‍රික්කවලින් විශිෂ්ට ජයක් ලැබෙන බවට විශ්වාසය පළවූ අතර ගෝඨාභයට රාත්‍රී 2.30ට පමණ ඒ ගැන මුලින්ම පණිවුඩය ලබාදුන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. මහින්ද රාජපක්ෂ මහතාට ද නෙළුම් මාවත පොහොට්ටු කාර්යාලයෙන් තොරතුරු ලැබිණි. බැසිල් රාජපක්ෂ මහතා සිය කාර්යාලයේ රාත්‍රිය පුරා නිදිවරමින් ඒ කටයුතු අධීක්ෂණය කළ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අමතා තත්ත්වය විමසූ බවද දැනගන්නට ලැබිණි. ඉරිදා උදෑසන හය පමණ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරුව තිබිණි. අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය සවස 3.00ට නිකුත් කිරිමට හැකිවෙතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේය. හරියට උදෑසන 5.30ට බැසිල් රාජපක්ෂට දුරකතන ඇමතුන් ලැබිණි. ඒ සුවිශේෂ ඇමතුම ලැබුණේ කොළඹ සිටින ඉන්දිය මහකොමසාරිස් තරන්ජිත් සිං සන්ධු මහතාගෙනි. ඔහු බැසිල්ට ජයග්‍රහණය ගැන සුබ පැතීය.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජංගම දුරකතනයට ඇමතුම් සිය ගණනක් ලැබුණේ සුබ පතන්නන්ගෙනි. ඔවුන් අතර සිටි විශේෂ චරිතයක් විය. ඒ සජිත් ප්‍රේමදාසය. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතන බව කියමින් තමන්ගේ පරාජය පිළිගත්තේය. ටික වේලාවක් ගෝඨාභය සමඟ කතා කළ සජිත් තමන් මේ දේශපාලනය ගැන හොඳටම කලකිරී සිටින බැවින් ඇමැති ධුරයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද සමුගන්නට තීන්දු කළ බව පැවසීය. එහිදී ගෝඨාභය කීවේ ඡන්දයක් පැරදුණු පමණින් දේශපාලනයෙන් සමුගැනීම තමන් අනුමත නොකරන බැවින් දිගටම දේශපාලනය කරන්න කියාය. එහෙත් සජිත් සිටියේ දැඩි කලකිරීමෙනි. ඔහු ගෝඨාභයගේ දුරකතන ඇමතුම විසන්ධි කර තම හිතවතුන් සමඟ කනස්සල්ල පළකර තිබුණේ තමන් බෙහෙවින් සේවය කළ හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් නොව තිස්සමහාරාම ආසනය ද පරාජයට පත්වීම ගැනයි.

එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් සමඟ සාමාන්‍යයෙන් පක්ෂයක් තුළ හටගන්නා දේශපාලන කුණාටුව දැන් හටගෙන තිබේ. සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ඡන්ද සටනට උර දුන් මැතිඇමතින් වෙනුවෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ ගිය සඳුදාය. එහෙත් ඒ වනවිට තනි තනිවම තම තමන් වෙනුවෙන් බොහෝ දෙනෙක් තීරණ ගනිමින් සිටියහ. මුලින්ම සජිත් ප්‍රේමදාස තමන් දැරූ පක්ෂ නියෝජ්‍ය නායක පදවියෙන් හා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ඒ සමඟ මුදල් අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම පමණක් නොව පක්ෂ සභාපති කබීර් හෂීම් ද තනතුරුවලින් ඉවත් වූහ. අනතුරුව කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, චම්පික රණවක, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා ආදීහු ඉවත්වූහ. ආණ්ඩු බලය ලබාගත් පොහොට්ටුව පැත්තෙන් ජනවරමට ගරු කර රජය වහා ඉවත්විය යුතු බවට දිගින් දිගටම බලපෑම් එල්ලවන්නට පටන් ගත්තේය. සජිත් ප්‍රේමදාස නැවතත් ගෝඨාභය රාජපක්ෂ ඇමතූ අතර ඔහු ප්‍රශ්නය ඉක්මනින් විසඳෙන බවට ගෝඨාභයට පොරොන්දුවක් ලබාදුනි.

ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ තැනකින් වැඩ ආරම්භ කරන්නට නියමිත වූයේ ගිය සඳුදාය. ඔහු ඒ සඳහා අනුරාධපුරය තෝරාගත්තේ කලකට පෙර සිටය. අගවිනිසුරැ ජයන්ත ජයසූරියව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට අනුරාධපුරයට එන ලෙස ආරාධනා කළේය. ඒ සමඟ කෙටි වූත් චාම් වූත් දිවුරුම් දීමේ උත්සවය කඩිනමින් සංවිධානය කැරිණි. එය හමාරකර කොළඹට පැමිණි නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව හිමි වූයේ ඉහළම රාජ්‍ය තනතුරු පුරවා තම රජයේ කටයුතු ආරම්භ කිරීමටයි.

මුලින්ම ජනාධිපති ලේකම්වරයා තෝරාගත යුතු විය. ඒ සඳහා බැසිල් ගෝඨාභය හා මහින්ද, ලලිත් වීරතුංග මහතාට මනාප වූවත් ඔහුගේ නඩු කටයුතු නිසා විකල්පය ලෙස තෝරා ගත්තේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරයකු වන ගාමිණී සෙනරත් මහතාය. බැසිල් හා මහින්ද දෙදෙනාම ගාමිණී ජනාධිපති ලේකම් විය යුතු යැයි කීවද ඔහු කීවේ තමන්ට ඉදිරි මහ මැතිවරණයේද මෙහෙයුම් පැවරෙන නිසා පක්ෂ ප්‍රධානීන් කාගේත් ගෞරවයට ලක්වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඊට සුදුසු බවයි. එහෙත් මහින්දලා මුලින් සැලසුම් කර තිබුණේ ආචාර්ය ජයසුන්දර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට මුදල් රාජ්‍ය ඇමැති ධුරය පිරිනමන්නටය. ආචාර්ය ජයසුන්දර රජයේ තනතුරු භාරගැනීමට දැඩි ලෙස අකැමැති වුවත් ගාමිණී සෙනරත්, ලලිත් වීරතුංග මහත්වරු කීවේ “ඔබේ බර අදින්නට අපිත් උදව් වෙන්නම්. දැන් මේ තනතුර භාරගන්න කියායි.” ඒ අනුව සඳුදා මහින්දගේ විජේරාම නිවසේ මහින්ද, ගෝඨාභය හා බැසිල් පැවැත් වූ තීරණාත්මක හමුවකදී ජනාධිපති ලේකම් ධුරයට ආචාර්ය ජයසුන්දරත් ආරක්ෂක ලේකම් ධුරයට මේජර් ජනරාල් කමල් ගුණරත්නත් මුදල් ලේකම් ධුරයට එස්.ආර්. ආටිගලත් පත්කරන්නට තීන්දු කෙරිණි. ඊට පසුදා නව ජනාධිපතිවරයා වැඩ භාර ගතයුතු නැකත එළැඹී තිබිණි.

ඒ අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් මහතා මෙන්ම පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද ගෝඨාභයට දුරකතනයෙන් කතාකොට සුබ පැතූහ. ඉන්දීය නායකයා කීවේ දෙරට අතර සුහදතාව වර්ධනය කරගන්නට ඉතා ඉක්මනින් ඉන්දියාවට පැමිණෙන ලෙසයි. ඔහුට ඕනෑවී තිබුණේ ගෝඨාභය පකිස්ථානය හා චීනයට යන්නට පෙර ඉන්දියාවට ගෙන්වාගෙන උසස්ම පිළිගැනීමක් ලබා දෙන්නටයි. ඒ අනුව දුරකතන ඇමතුම දුන්දාට පසුදාම හදිසියේ ඉන්දීය නායකයාගේ නිල ආරාධනාව රැගත් එරට විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් කොළඹට පැමිණ ගෝඨාභයට ආරාධනය භාර දුන්නේය. මහින්ද රාජපක්ෂ හා අගමැති රනිල් ද ඔහු මුණගැසුණේය.

මෙම කටයුතු සිදුවෙද්දී එජාපයේ අර්බුද උත්සන්න වෙමින් තිබිණි. පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳුදා සහ අඟහරැවාදා වාර දෙකක්ම රුස්විණි. තවත් මැතිඇමැතිහු ඉල්ලා අස්වූහ. පාර්ලිමේන්තුවේ පැවැති පළමු කණ්ඩායම් රැස්වීමට සජිත් ප්‍රේමදාස ආවේ නැත. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මුලින්ම මන්ත්‍රීන් අමතා කීවේ පොහොට්ටුව ඡන්දය දිනා ඇති බැවින් පැහැදිලි ජනවරමක් ඇති ඔවුන්ට ආණ්ඩුව භාරදිය යුතු බවය. රනිල්ගේ ස්ථාවරය වූයේ කඩිනම් මහමැතිවරණයකට එජාප සහාය දිය යුතු බවය.

එහෙත් පසුපෙළ මන්ත්‍රීහු ඊට කිසිසේත්ම එකඟ නොවූහ. සුජීව සේනසිංහ නැගිට කෑ ගසන්නට විය. “සර් අපි සේරමයි ඒ තීන්දුව ගන්න ඕන. පක්ෂයක් ලෙස අප පරාදයි. නමුත් පොදු තීන්දුවකට යන්න ඕනෑ"යැයි. සුජීව කියද්දී කබීර් හෂීම් මන්ත්‍රීවරයා කීවේ “නායකතුමනි අවුරැදු 25ක් ඔබතුමා නායකත්වයේ ඉන්නවා. ඒත් අපට ස්ථාවර ආණ්ඩුවක් රාජ්‍ය නායකයෙක් හදාගන්න බැරි වුණා. ඒ නිසා දැන් අපට සජිත් වගේ අලුත් නායකයෙක් ඕනෑ.. යැයි” කීය. එවිට රනිල් වෙනුවෙන් කතා කරන්නට රාජිත, රවී, විජිතමුණි මෙන්ම සරත් ෆොන්සේකා හා දයා ගමගේ ආදීහු ඉදිරිපත් වූහ. මෙහිදී ඔවුන් කීවේ නිකරුණේ අගමැතිට දොස් නොකියන ලෙසත් ඔහු කී ලෙස ඔහු උතුරේ ඡන්ද උපරිමයෙන් සජිත්ට ලබාදුන් බවත්ය. පක්ෂය ප්‍රතිසංවිධානය කළයුතු යැයි රාජිතලා කියද්දී පසුපෙළ එම යෝජනාව හාස්‍යයට ගත්තේය.

නැවතත් කබීර් කතා කරන්නට විය. “නායකතුමනි දැන් ඔබතුමා නායකත්වය සජිත්ට දෙන්න. පක්ෂ මහලේකම් තනතුර නිත්‍යනුකූලව ජ්‍යෙෂ්ඨයකුට පවරන්න.. අපිට සජිත් යවන්න බැහැ..” යැයි කියද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තමන්ට කළහැක්කක් නැතැයි කීය... එවිට සරත් ෆොන්සේකා කතා කරන්නට පටන්ගත්තේ හතර අතට පහර දෙමිනි. “මේ මෙතන අගමැතිතුමාටම චෝදනා කරන්න එපා. එතුමා පුළුවන් තරම් සපෝට් කළා උතුරේ ඡන්ද අරන්දුන්නේ. කෝ දැන් ඔයාලා දකුණෙන් අරන් දෙනවය කිව්ව ඡන්ද ලැබුණද? කෝ ගම් මට්ටමින් බිම් මට්ටම...? ඒකට මොකද වුණේ.. ඒ ගැන මම කියන්නේ ඔළුවේ කැක්කුමට බෙල්ල කපාගන්න එපා.” යයි ෆොන්සේකා ප්‍රකාශ කරන විට මන්ත්‍රීන් විමතියෙන් මෙන් බලා සිටියේ සජිත්ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධුරයට තෝරාගත්තා යැයි කී තැනැත්තා කළ එම කතාව ගැනය.

මේ වනවිට අගමැති රනිල්ගේද ඉවසීමේ සීමාව ඉක්ම යමින් තිබිණි. ඔහු නැගිට වේගවත් කතාවක් කරන්නට පටන් ගත්තේය. “මම මෙතෙක් වේලා ඉවසගෙන බලාහිටියා. මම තමුන්නාන්සේලට කියන්නෙ මාව අවුස්ස ගන්න එපා. මේ පරාජයට මමද වගකියන්න ඕන.. නැහැ. මෙතන ඉන්න හැමෝම ඒකට වගකියන්න ඕන... ඕගොල්ලො කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න පැරදුණ හේතුව. එතකොට තමන්ට ඒක පෙනෙයි. හැබැයි ඔයගොල්ලෝ වරද මගේ පිටට දාල ගැලවෙන්න හදනවා නම් මම සේරම කියන්නම්.. හොඳට මතක තියාගන්න.. මම වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න කැමැති නැහැ. දැන් ගෝඨාභයට ජනවරමක් ලැබිලා තියනවා මම එයාවත් හමුවෙලා මේ ගැන තීන්දුවක් ගන්නවා.” කියමින් රැස්වීම අවසන් කළේය. ඔහු කී ලෙසම රනිල් ගෝඨාභය හමුවී පැයක් සාකච්ඡා කළ අතර බලය හුවමාරුව ගැන මහින්ද රාජපක්ෂ සමඟ ද අදහස් හුවමාරු කරගත්තේය. එහිදී කරු ජයසූරිය කතානායකවරයා සමඟ ද තමන් සාකච්ඡා කරන වග රනිල් පැවසීය.

මේ කටයුතු අතරතුර මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක කරු ජයසූරිය අතර සාකච්ඡාවක් කතානායක නිවසේ දී පැවැත්විණි. එහිදී මහින්ද ඉල්ලා සිටියේ ජනවරමට ගරු කර ආණ්ඩුව ඉවත් විය යුතු බවය. කතානායක කරු මහින්දගේ අදහස අනුමත කළේය. “මමත් ඔබතුමා සමඟ එකඟවෙනවා. ආණ්ඩුව ඔබතුමාලාට භාර දියයුතු බවට. ඒත් මාර්තුවලට කලින් මහමැතිවරණයකට යන්න නම් හුඟාක් මන්ත්‍රීවරු කැමැති නැහැ. සමහරුන්ට ඒකට වියදම් කරන්න මුදලුත් නැහැ. ඒ නිසා මගේ යෝජනාව මාර්තු දක්වා ආණ්ඩුව ගෙනිහිල්ලා එතෙන්දී නැවත ඡන්දයකට යමු කියා ඒකයි.” කරු මහින්දට කීය. ඒ ගැන තමන් පක්ෂය සමඟ කතා කරන්නම් යැයි කී මහින්ද රාජපක්ෂ කරුට මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් කතා කරන ලෙස පැවසීය.

ඒ අනුව කරැ ජයසූරිය කතානායකවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිය අඟහරුවාදා රාත්‍රියේ විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී කරු රනිල්ට යෝජනා කළේ ආණ්ඩුව ඉක්මනින් භාර දිය යුතු වගයි. රනිල් ඒ වනවිටත් ඊට සූදානමින් සිටියේය. ජනවරමට ගරු කළ යුතුය යන්න කරුගේත් රනිල්ගේත් අදහස විය. නමුත් ආණ්ඩුව භාරදීම කල්යද්දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම එජාපය ජනවරමට ගරුකරන්නේ නැත්නම් එය ඊළඟ මහ මැතිවරණයට කදිම තේමාවක් සපයන නිසා ජනවරමට එරෙහි වූ ආණ්ඩුව යන තේමාවෙන් දේශපාලන ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කළේය.

එහෙත් ඒ සඳහා ඔවුනට ඉඩක් නොලැබුණේ එජාපයේ මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල්ට ආණ්ඩුව මහින්දලාට භාරදෙන ලෙස කරන ලද දැනුම්දීම නිසාය. එම ඉල්ලීම පරිදි අගමැති රනිල් ගිය බදාදා  සවස ඉල්ලා අස්විය. තමන් ජනවරමට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරැකරමින් ඉවත් වන බව ඔහු මාධ්‍යයට කීය. ඒ වනවිට එජාපය තුළ නැවතත් නායකත්ව සටන මෝරායමින් තිබිණි. සජිත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත් වන දිවියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ වැඩසටහනක් වෙනුවෙන් කාලය කැප කරන්නට සූදානම් බවත් මාධ්‍යට කීය. නමුත් ඔහුගේ අනුගාමිකයෝ සජිත්ට ඉවත්වන්නට ඉඩ නොදෙන බව කියමින් මාධ්‍යයට ප්‍රකාශ දෙන්නට වූහ. හරින් ප්‍රනාන්දුලා මෙන්ම රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු සජිත් හිතවාදීන් රනිල් පක්ෂයේ නායක තනතුර සජිත්ට නොදෙන්නේ නම් වෙනම පක්ෂයක් නිර්මාණය කරන බවට අදහස් ඉදිරිපත් කළෝය.

ඒ අතර ආණ්ඩුව මහින්දලා භාරගත් පසු විපක්ෂ නායක ධුරය සජිත්ට භාර දිය යුතු යැයි කතානායකට යෝජනා කරමින් එජාප මන්ත්‍රීහු ලිපියකට අත්සන් කරන්නට පටන් ගත්හ. එහෙත් රනිල් ඒ කතා සැහැල්ලුවෙන් බැහැර කළේ ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමන් බව කියමිනි. ඔහුට ඒ තනතුර ලැබීම පිළිබඳ පූර්ණ විශ්වාසයක් තිබිණි. මේ ජරමර මාධ්‍යයේ එජාප මන්ත්‍රීන් ගණනාවක් මහින්ද රාජපක්ෂලා සමඟ තිරය පිටුපස සාකච්ඡාවක නිතර වෙමින් සිටියේ පක්ෂ මාරුවටය. බැසිල් රාජපක්ෂ මහතා ඒ කටයුතු මෙහෙයවමින් සිටියේය. එජාප මන්ත්‍රීන් විසි ගණනක් ඕනෑ නම් තමන්ට එකතු කරගත හැකියැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක නිල නිවසේදී කීය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීමත් සමඟ මහින්දලාට නව ආණ්ඩුවක් හදන්නට සිදුවී තිබිණි. ජනාධිපති ගෝඨාභය මුලින් යෝජනා කළේ මේ අන්තර්කාලීන රජයේ කැබිනට්ටුව 10කට සීමා කරගන්නටයි. එහෙත් දේශපාලන හේතු මත එය 12 දක්වාත් පසුව 16 දක්වාත් වර්ධනය විය. අගමැති ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවිය යුතු යැයි මෙහිදී දිනේෂ් හිතවාදීන් ප්‍රබල මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර තිබූ අතර එයට කිසිදු පදනමක් තිබුණේ නැත. දිනේෂ් ගුණවර්ධන මහතා සැබැවින්ම අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටි බව ද ප්‍රකට විය. නමුත් මුලසිටම පොහොට්ටුව තීන්දුකර තිබුණේ මහින්ද අගමැති කරන්නටයි. ඒ අනුව නව අමාත්‍යාංශ 16ක විෂය පථයන් හා විෂය කාර්ය සැකසුම ලලිත් වීරතුංග මහතාගේ සහායෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර බදාදා රාත්‍රිය පුරාම සිදුකළේය. ඒ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර තිබුණේ උසාවියේ නඩුහබ ඇති අයට ඇමැති පදවි ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නටයි. භාරකාර කැබිනට්ටුව 16කට සීමාකිරීම ද ප්‍රශ්නයක් වී තිබිණි. මෙම විෂය වෙන්කිරීම්වලදී ආරක්ෂක විෂය හා නාගරික සංවර්ධන හා මහනගර විෂයට අදාළ කාර්යන් ජනාධිපතිවරයා යටතට පත්කර ගැනිණි. එහෙත් විමල් වීරවංශ මහතා තමන්ට නිවාස අමාත්‍යාංශය නම් එපා යැයි කියමින් නාගරික සංවර්ධනය ඉල්ලා සිටියද එය සිදුවූයේ නැත. විමල් නිවාස අමාත්‍යාංශය එපා යැයි කීවේ එය දැන් විනාශයට පත්වූ අමාත්‍යාංශයක් යැයි කියමිණි. ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන අමාත්‍යාංශයම ඉල්ලා සිටියේය. එහෙත් බන්දුලට අධ්‍යාපනය පවරා දීම මහින්දගේ වුවමනාව විය. ඒ අනුව උසස් අධ්‍යාපනය ඩලස්ගෙන් ගලවා බන්දුලට පැවරීය. තොණ්ඩමන් මහතා ග්‍රාමීය වතු යටිතල විෂය තමන්ට වුවමනා යැයි කෙඳිරි ගාන්නට විය. ඔහු ඒ ගැන ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණය තිරය පිටුපස සිට මෙහෙය වන ගාමිණී සෙනරත් මහතාට කරදර කරන්නට පටන්ගෙන තිබිණි. එසේම කෙහෙළිය රඹුක්වැල්ල ද විදේශ අමාත්‍යාංශයට ඇසගසා ගෙන සිටියේය.

ගෝඨාභය ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ, ආචාර්ය පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග හා ගාමිණී සෙනරත් යන මහත්වරු අමාත්‍ය මණ්ඩලය තෝරාගන්නට බොහෝ වෙහෙස මහන්සි වූහ. අවසානයේ අර්බුදකාරී තත්ත්වය හටගත්තේ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ට කෙසේ හෝ තනතුරු ලබාදිය යුතු බවටය. මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීම නිසා වාසුදේව නානායක්කාර මහතා කතානායක ධූරයට තෝරාගන්නට සියලු දෙනාම එකඟ වූහ. වෙනදා සෙංකෝලය සමඟ සටන් වැදුණු වාසුට කතානායක ධූරය හිමිවීම දෛවෝපගත සිද්ධියකි.

ඊළඟ ප්‍රශ්නය උදය හා ලොකුගේය. නමුත් ජනාධිපති ගෝඨාභය මහතා කැබිනට්ටුව ලොකු කරන්නට කිසිසේත්ම එකඟ වූයේ නැත. එහිදී උදය සමඟ එකටම සිටින විමල් වීරවංශ මහතා උදයට තනතුරක් නැති නම් තමන් ද ඇමැති පදවියේ දිව්රුම් නොදෙන බවට තර්ජනය කළේය. එහෙත් ඒ ගැන තීන්දුවක් ගත නොහැකිව සිටියදී උදය ගම්මන්පිල වහා ඉදිරිපත්ව විමල්ගෙන් කාරුණික ඉල්ලීමක් කරමින් කීවේ දෙදෙනා අතර තිබෙන යාළුකම රැකගන්නට නම් ඇමැතිකම භාරගන්නා ලෙසයි. එලෙස බොහෝ වේලාවක් උදය විමල්ට පෙරැත්ත කළ පසු විමල් ඇමැති ධූරය භාරගන්නට තීන්දු කළේය. අවසානයේ උදය ආදර්ශමත් තීන්දුවක් ගනිමින් අර්බුදයක් ඇත්නම් තමන්ට අමාත්‍ය ධූරයක් එපා යැයි ලිඛිතවම මහින්දට හා ගෝඨාභයට කීය.

ඒ සමඟ අග්‍රාමාත්‍ය ලේකම්වරයකු පත්කර ගැනීමේ අභියෝගය මතු විය. ඒ සඳහා මහින්ද, ගෝඨා ඇතුළු හැමෝම යෝජනා කළේ ගාමිණී සෙනරත්ගේ නමයි. කලින් ජනාධිපති ලේකම් ධූරයට ද ගාමිණීගේ නම යෝජනා වූ නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ඉදිරි මැතිවරණ කටයුතුත් තමන් පසුගිය කාලයේ විඳි කරදර හොඳටම ප්‍රමාණවත් බැවින් නැවත රාජ්‍ය සේවයට නොඑන බවත් කියමිනි. අවසානයේ ගාමිණී කීවේ මේ මාස 3ට එස්. අමරසේකර මහතා පත්කොට පසුව අගමැති ලේකම් ධූරය භාරගන්නම් කියාය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එය තරයේම ප්‍රතික්ෂේප කොට තමන් මේ ගැන තීන්දුවක් ගන්නට ගාමිණීගේ නිවෙසට එන බව දැන්වීය. ඒ සමඟ නාමල් හා යෝෂිත රාජපක්ෂ ගාමිණීගේ නිවෙසට පැමිණ ආණ්ඩුවට සහ මහින්ද රාජපක්ෂ මහතාට උදව්වක් ලෙස මෙම තනතුර භාරගන්නැයි කී අතර ගාමිණීගේ සමීපතමයන් රැසක් ද ඔහු ඒ තැනට තල්ලු කළේය. අවසානයේ බැරිම තැන ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධූරය භාරගත්තේය. අගමැතිතුමා වැඩ භාරගත්තේ බ්‍රහස්පතින්දාය. කැබිනට් මණ්ඩලය තෝරන්නට මහන්සි වෙමින් සිටි බැසිල් රාජපක්ෂ මහතා අවසන් කැබිනට් ලැයිස්තුව සකස් කොට ආචාර්ය පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත් සමඟ ද සාකච්ඡා කර මහින්ද රාජපක්ෂ මහතාටත් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ලබා දී හදිසියේම කොළඹ ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් වූයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහාය. කෙසේ හෝ කැබිනට් ඇමැතිවරුන් 15 දෙනෙක් හා රාජ්‍ය ඇමැතිවරුන් 30 දෙනෙක් එම ලැයිස්තුවට ඇතුළත් වූහ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුට තනතුරු හිමි වූයේ නැත. ඒ සියලු දෙනාට අනාගත ආණ්ඩුවකදී තමන් සාධාරණය ඉටුකරන බව නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පවසා තිබිණි. රාජ්‍ය ඇමැතිවරුන් දිව්රුම් දීම ලබන සඳුදා සිදු කෙරෙන බව දැනගන්නට තිබේ.

එ.ජා.පයේ සජිත් ප්‍රේමදාස මහතා ගිය බ්‍රහස්පතින්දා සිය පාක්ෂික හිතවතුන් සිරිකොත දී හමුවීමට සැලසුම් කළ ද එයට පක්ෂ මහලේකම් අකිල ඇතුළු රනිල් හිතවාදීන් කැමැති වූයේ නැත. ඒ අනුව සජිත් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ දී පාක්ෂිකයන් හමුවිය. සිරිකොත හා ඒ අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබූ අතර ගේට්ටු ද ඉබියතුරු දමා වසා තිබිණි.   
ප්‍රකාශ් ඉරුගල්බන්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00