2017 මාර්තු 11 වන සෙනසුරාදා

ගාලගෝට්ටිය මැද පොලීසිය මැතිසබයට

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 215

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සතියේ ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය. ලොව විවිධ රටවල රාජ්‍ය නායකයන් 20ක් පමණ ඉන්දුනීසියානු සමුළුවට පැමිණෙති. කලාපයේ සාමය හා තිරසර සංවර්ධනය ඉලක්ක කරගෙන සමුළුව සංවිධානය කර ඇත. මෙයට වසර 40කට පමණ පෙර හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඉන්දුනීසියානු සංචාරයක යෙදුණි. ඉන් පසුව මෙරටින් එරටට ගිය ප්‍රථම රාජ්‍ය නායකයා ජනාධිපති සිරිසේන මහතාය. පසුගිය 7 වැනිදා මෙම සමුළුව අමතා කතාකළ ජනාධිපති සිරිසේ නමහතා කලාපීය සංවර්ධනය ඇතුළු කරුණු ගණනාවක් ගැන විශේෂ දේශනයක් පැවැත්වීය. ඉන්දිය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය ශක්තිමත් කරලීම සඳහා සම්මුතිවාදී රජය පියවර ගණනාවක් ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව දිවයිනක් වන නිසා ඉන්දිය සාගර කලාපයේ ආරක්ෂාව හා ක්‍රියාකාරකම් ගැන උනන්දුවන බව පැවසීය. මෙහිදී රට රටවල් අතර සමුද්‍රීය සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. 

 කලාපීය ආරක්ෂාව ගැන ජනපති ලෝක නායකයන් හමුවේ දෙසුමක... 

පසුව ඉන්දුනීසියානු ජනපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර නිල රාජ්‍ය නායක හමුව මර්ධකා මාලිගයේදී සිදුවිය. දෙරට අතර ආර්ථික හා කලාපීය සහයෝගිතා ගිවිසුම් ගණනාවකටද එහිදී අත්සන් තැබිණි. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ඇතුළු මැති ඇමැති පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වූහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීම නිසා සෑම අඟහරුවාදාම පැවැත්වෙන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමද මේ සතියේ පැවැත් වූයේ නැත.

එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මෙවර පැවැත්වුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය. මෙහිදී වඩාත් ආන්දෝලනාත්මක සයිටම් අර්බුදය ගැන දීර්ඝ කතාබහක් ඇතිවිය. සයිටම් වැනි වෛද්‍ය විද්‍යාලයෙන් ඉංජිනේරු පීඨ වැනි උසස් අධ්‍යාපන පීඨ හෝ පෞද්ගලික අංශයට පමණක් පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. මේවා රජයට අයත් හෝ රජයට අනුබද්ධ ආයතන ලෙස පවත්වාගෙන යා යුතු යැයි අමාත්‍ය රණවක මහතා කීය. එවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ සයිටම් ආයතනය ගැන රජය හා එම ආයතනය අතර එකඟතාවක් ඇතිවෙමින් තිබෙන බවය. මෙහිදී ඇතැම් මැති ඇමැතිවරුන් සයිටම් රජයට පවරා ගත යුතු යැයි කියද්දී තවත් පිරිසක් ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දැක්වූහ. 

 කතානායක දැඩි තීන්දුවක  දිනේෂ්ට තහනමක් විපක්ෂය කෝපයෙන්... 

ඊළඟට මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කතා කළේ පසුගියදා පූජ්‍ය අතුරලියේ රතනහිමියන් රජය ගැන කළ තදබල ප්‍රකාශ ගණනාවක් සම්බන්ධවයි. උන් වහන්සේ තමන් විසින් සංවිධානය කළ ජාතික සභා රැස්වීමේදී එ.ජා.පය තදබල ලෙස විවේචනය කළේය. මේ ප්‍රශ්නය මතු වූ විට රතන හිමියන් ප්‍රකාශ කළේ තමන් කළ ප්‍රකාශය සියලු මාධය වාර්තා කළේ වැරදි ආකාරයට වගයි. හරියට සිද්ධිය වාර්තා කළේ ලංකාදීපයේ පමණයි. මේ ගැන මම අගමැතිතුමාටත් කරුණු පැහැදිලි කළා රතන හිමියෝ වැඩිදුරටත් කීහ. එහෙත් එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් රතන හිමියන්ගේ කතාවට දිගින් දිගටම විරෝධය පාමින් කතා කරන්නට වූහ. එවිට රතන හිමියන් තරයේ ප්‍රකාශ කළේ මේ ආකාරයට ඔවුන් තමන්ට විවේචනය කරන්නේනම් තමන් වහන්සේ ඉල්ලා අස්වීමට වුවත් සූදානම් බවය. මම අස් වෙන්නම් උන්වහන්සේ දෙතුන් වරක්ම වදාළහ. එවිට තරමක හැඟීම්බර කතාවක් කළේ අමාත්‍ය රාජිත සේනාරත්නය. ඔහු කීවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසාත් යහපාලන රජය පිහිටුවීම සඳහාත් එ.ජා.පය කළ කැපකිරීම කිසිසේත්ම අවතක්සේරු නොකළ යුතු වගය. ඒ කැපවීම අපිට මරණය දක්වා අමතක කරන්න බැහැ. අපට ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න පක්ෂයක්වත් තිබුණෙ නැහැ. තිබුණ ප්‍රශ්නවලින් 99%ක්ම විසඳුනේ එ.ජා.පයේ උදව් නිසායි රාජිත එ.ජා.පයට ලොකු සහතිකයක් පිරිනමමින් සඳහන් කළේය. මේ උණුසුම් කතාබහ අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ප්‍රධාන පක්ෂ හා ආණ්ඩුවේ කණ්ඩායම් ගැටුම් නොමැතිව සමගි සම්න්න ලෙස තවදුරටත් ඉදිරියට යායුතු බවය.

 ආණ්ඩුවේ පක්ෂ අතර ගැටුම් එපා  අගමැති අවවාද කරයි 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්වෙන වියත්මඟ විද්වත් සභාවේ ප්‍රධාන ජනහමුවක් පසුගිය සති අන්තයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ශාලාවකදීය. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් මෙන්ම මෙරට විවිධ ක්ෂේත්‍රවල උගතුන් විද්වතුන් හිටපු හමුදා ප්‍රධානීන් රැසක්ම පැමිණ සිටියහ. දිවයිනේ දිස්ත්‍රික්ක 15ක පමණ වියත්මඟ සාමාජිකයන් සීමිත ගණනාවකට ආරාධනා කර තිබූ නමුත් ආරාධිත පිරිසට වඩා විශාල ගණනක් පැමිණීම හේතුවෙන් රැස්වීම් ශාලාවෙන් පිටතද පැමිණ සිටි පිරිස් රැඳී සිටියහ. රැස්වීම අමතා කතාකළ සෑම කෙනෙකුගේම කතාව විනාඩි 5කට සීමා කරන ලෙස දන්වා තිබිණී. වඩාත්මක හරබර කතා ගණනාවක් එහිදී ඉදිරිපත් විය. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ කතාව එහි වඩාත්මක අවධානයට ලක් වූ දෙසුම විය. ඇය ඉතාමත් ව්‍යක්තව සිය අදහස් ඉදිරිපත් කළාය. ලංකාවේ විද්වත් වෘතිතකයන් ඉටුකළයුතු සමාජ මෙහෙවර මෙන්ම ඊට එරෙහිව නැගෙන අභියෝග සම්බන්ධයෙන් ඇය සිත්කාවදින ආකාරයේ කතාවක් කළාය.

 ගෝඨාගේ වියත් මඟට ලොකු සෙනඟක් 

ආචාර්ය දයාන් ජයතිලක ජාත්‍යන්තර බලපෑම් ගැනත් ජනාධිපති නීතිඥ මනෝහරා ද සිල්වා මහතා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටට සිදුවන්නේ කුමක්ද යන මාතෘකාවෙනුත් දේශන පැවැත්වූහ. නැගෙනහිර දෙමළ නායකයකු වන අරුන් තම්බිමුත්තු මහතාද සභාව ඇමතීය. රටපුරා සම්මන්ත්‍රණ තබමින් මෙතෙක් කල් වියත්මඟ පැමිණි ගමන ගැන ඊළඟට විස්තර කෙරිණි. මෙම සම්මන්ත්‍රණයේදී වඩාත් අවධානය දිනූ සෙසු ප්‍රධාන කතාව කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. මේ ආකාරයට වෘත්තිකයන් එකතු වී රටට දැයට සේවය කිරීම යුතුකමක් බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තිකයන්ගෙන් තොරව කිසිම ආණ්ඩුවක් පවත්වාගෙන යානොහැකි යැයි පැවසීය. මෙම ගමන තමන් ඇතුළු පිරිස ආරම්භ කළේ දේශපාලනය උදෙසා නොවන බවත් ගෝඨාභය ඉදිරි ඡන්දයට ඉදිරිපත්වීම වියත්මගේ අරමුණ නොවන්නේ යැයිද කීය. රජයකට ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම වියත්මඟෙහි අරමුණ යැයිද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය. එබැවින් මෙය දේශපාලන කටයුත්තක් ලෙස නොසලකා ක්‍රියාකළ යුතු යැයි හෙතෙම පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතමින් කීවේ “සමහරුන් සිතාගෙන ඉන්නේ පොලීසියත් සිරගෙයත් තිබුණම රට පාලනය කරන්න පුළුවන් කියලයි. ඒත් එහෙම කරන්න බැහැ... ඔහොම කරලා මේ ආණ්ඩුව මුළු රාජ්‍ය සේවයම වියවැද්දුම.. දැන් රාජ්‍ය සේවකයෝ 2000කගෙන් විතර එෆ්.සී.ඩී.අයි.ය ප්‍රශ්න කරලා...

දේශපාලනඥයා හිරේ ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒත් රාජ්‍ය සේවකයෝ මේ විදියට හිරේ යන්න ගත්තම කොහොමද රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ...” මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය. දේශපාලන කටයුත්තක් ලෙස නොසලකා ක්‍රියාකළ යුතු යැයි හෙතෙම පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සභාව ඇමතීය.
වරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛව වරායේ පාලනාධිකාරිය හම්බන්තොට වරාය චයිනාමර්චන්ට් සමාගමට දිගුකාලීන කොන්ත්‍රාත් පදනම මත පැවරීමට අනුමැතිය ලබාදී නැත. ඒ සඳහා ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණය අනුව වරාය අධිකාරියේ කොටස්වලින් 80% චීන සමාගමට පැවරීම සඳහා ගිවිසුමක් සකස් කළේය. එහෙත් ගිවිසුම සකස් කරන අවස්ථාවේ සිට ඊට අර්ජුන අමාත්‍යවරයා එකඟනොවන බව කීය. ඒ නිසා එහි මූලික, අවබෝධතා ලියැවිල්ලට අත්සන් කළේද වරාය අමාත්‍යංශ ලේකම්වරයා මිස විෂ්‍යභාර අමාත්‍යවරයා නොවේ. අනතුරුව ගිවිසුමේ යම් යම් කොටස් වෙනස්කර පිරිපහදු කිරීම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිරිපහදු කිරීම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම විසින් සිදුකරන ලදී. නමුත් තමන් එම ගිවිසුමටත් එකඟනොවන බව අර්ජුන සඳහන් කර තිබේ. ඒ බව ඔහු අදාළ ඇමැතිවරුන්ට ලිඛිතව දැක්වීය. අර්ජුන සඳහන් කරන්නේ වරායේ කොටස් වලින් 20%ට වැඩි ප්‍රමාණයක් වරාය අධිකාරිය සතුවිය යුතු බවයි. එසේම 99 අවුරුදු බද්දට වරාය පැවරීම සම්බන්ධයෙන්ද ඔහු එකඟ නොවන බව කියා තිබේ. මේ සඳහා වරාය පනත වෙනස් නොකර කිසිවක් කළ නොහැකි බව ඔහුගේ මතය වුවද එය රජය පිළිගන්නා බවත් නොපෙන්. ඒ නිසා අර්ජුන මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පැමිණිලි කරන ලදැයි දැනගන්නට ඇත. කෙසේ හෝ රජයට මෙම ගිවිසුම අත්සන් කළොත් චීන සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1100ක පමණ මුදලක් ලැබේ. එකාබද්ධ විපක්ෂයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද අදාළ ගිවිසුම ගැන සඳහන් කරමින් කීවේ මෙහිදී රජය චීන සමාගමට පවරන ඉඩම්වල අනාගත වටිනාකමවත් නිසි ලෙස තක්සේරු නොකර මෙම ජාතික සම්පත රටට අහිමිකරන්නට යාම ගැන ඒකාබද්ධ විපක්ෂයද දැඩිලෙස විරුද්ධ බවය.

 හම්බන්තොට වරායට ගම්මන්පිලගෙනුත් බාල්දියක් 

වයඹ පළාත් ආණ්ඩුකාරවරිය වන අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පිරිසක් භාරදුන් විශ්වාස භංග යෝජනාව නිසා වයඹ පළාත් සභාවේ ඇතිවන්නට ගිය ලොකු දේශපාලන අරගලයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පසු තාවකාලිකව නතර විය. පළාත් සභා පනතින් ආණ්ඩුකාරවරියට පවරා ඇති බලතල ඉක්මවා ක්‍රියාකරන බව ඇයට එල්ල වූ ප්‍රධානම චෝදනාවයි. චේතනාන්විතව බලය අයුතු ලෙස භාවිත කිරීම ගැනද එහි සඳහන් විය එය අත්‍යවශ්‍ය හදිසි යෝජනාවක් ලෙස ගිය අඟහරුවාදා විවාදයට ගන්නට සැලුම්කර තිබිණි.

එහෙත් එ.ජා.ප.ව නියෝජනය කරන අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහි චෝදනාව සම්මත වුවහොත් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්වෙයි. සම්මත නොවූවොත් පළාත් සභා ප්‍රධාන ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස පීඩාවට පත්වෙති. වයඹ පළාත් සභාවේ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ගෙන් ¾ක් පමණ සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායමේය. පළාත් අධ්‍යාපක් අධ්‍යක්ෂවරයා පත්කිරීම, හිටපු ආණ්ඩුකාරවරයා විනය හේතු මත වැඩ තහනම් කළ ගුරුවරයකු නීතියට පිටින් සේවය පිහිටුවීම වැනි කතා මේ විශ්වාස භංගය පසුබිමේ තිබිණ.

 මරික්කාර් කුණු සටන අතට ගනී 

කෙසේ හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ නිල සංචාරය කරන අතර මෙම පුවත දැනගන්නට ලැබිණි. වහාම ජනාධිපතිවරයා කළේ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායකට දුරකථනයෙන් කතා කිරීමයි. තමන් මේ ගැන සාකච්ඡා කරන බැවින් සිය විදේශ සංචාරය නිමකොට කොළඹට පැමිණෙනතෙක් සිටින්නැයි ජනාධිපතිවරයා මහ ඇමැතිට දැන්වීය. ඒ අනුව ආණ්ඩුකාරවරිය සම්බන්ධව තින්දුවක් ගැනීම ජනාධිපතිවරයාට භාර කරමු යැයි කී පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විශ්වාස භංග යෝජනාව තාවකාලිකව ඉවත් කරගත්තේය. එහෙත් වයඹ වළාත් විපක්ෂ නායක එ.ජා.පයේ ශමල් සෙනරත් මහතා කීවේ යෝජනාව පරාජය වන බව ආණ්ඩුපක්ෂය දැනගත් නිසා එය ඉල්ලා අස්කරගත් බවයි.

එ.ජ.නි.ස මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන්ට මැතිසබයේ ස්වාධිනව කටයුතු කරන්නට අවසර ඉල්ලමින් කතානායකවරයා වෙත කර තිබූ ඉල්ලීම කරු ජයසූරිය කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මේ තීන්දුව දුන් ගිය බදාදා මැතිසබය කැළඹිණි. විමල් සම්බන්ධව ලබාදුන් තීන්දුව සාධාරණ නොවන බව කියමින් වීරවංශ මන්ත්‍රීවරයා දිගින් දිගටම කතා කරන්නට වූ අතර අතර ඔහුට සහාය දෙමින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී දිනේෂ් ගුණවර්ධන මහතාද අදහස් දක්වන්නට විය. අවසානයේ මෙය විශාල ගාලගෝට්ටියක් වන තත්ත්වයට පත්වූ බැවින් කතානායකවරයා මැතිසබය කල්තබනු ලැබීය. වරක් නාව වාර තුනක්ම ඔහු සභාව කල් තැබීය. තමන්ගේ නියෝගයන් ගැන නැවත විවාද කළ නොහැකි බව කියමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයට අවවාද කළද පලක් නොවීය. අවසානයේ ඔහු මයික්‍රාෆෝනය සමඟ ඔට්ටුවන විට ඒවා මහජන මුදල් කඩන්න එපා යැයිද කතානායකවරයා කීය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය විමල්ට බලවත් අසාධාරණයක් කළ බව කියමින් කතානායක නියෝගය අභියෝගයට ලක් කරන්නට විය. අනතුරුව කතානායකවරයා දිනේෂ් ගුණවර්ධන මහතාට සභාවෙන් ඉවත්වන්නය ඉල්ලා සිටි නමුත් ඔහු ඉවත් නොවීය. අනතුරුව සභාව කල් තබා සිය නිලකුටියට ගිය කතානායකවරයා අර්ස්කන් මේ ඇතුළු ඇතුළු පාර්ලිමේන්තු විශාරදයන්ගේ ග්‍රන්ථ ගණනාවක තිබූ පූර්වාදර්ශ සැලකිල්ලට ගෙන නැවත සභාව රැස්වූවිට ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරීමට නම්කළ මන්ත්‍රීවරයකු කිරීම සඳහා යෝජනාවක් ගෙන එන්නැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට නියම කළේය. ඒ අනුව ඔහු යේජනාව ගෙන ආවේය. එය සම්මත වීමෙන් පසු මැතිසභා පොලීසියද සභාවට පැමිනුණි. එහෙත් දිනේෂ් ගුණවර්ධන මහතා හමුවට ඔවුන්ට එන්නට ලැබුණේ නැත. ඒකාබද්ධ විපක්ෂය රැකවලට සිටියේය. දිනේෂ් ගුණවර්ධන මහතාම පසුව සභාවෙන් ඉවත්ව යනු පෙනිණි. 

මීතොටමුල්ලේ කුණු කන්ද දිගු කාලයක සිට විශාල ප්‍රශ්නයක් වී තිබේ. ආණ්ඩු ගණනාවක්ම කුණු කන්ද ඉවත් කරන බවට පසුගිය කාලයේ ප්‍රතිඥා දුන්නත් එය නිසි ලෙස සිදුවූයේ නැත. පසුගිය මැතිවරණයෙන් බලයට පත්වූ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මීතොටමුල්ලට සාපයක් වූ කුණු කන්ද ඉවත් කිරීම සඳහා කාලයක් තිස්සේ අගමැතිතුමා සමගත් ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කොට ඊට ප්‍රායෝගික විසඳුමක් සැකසීමට උනන්දුවිය. කුණු කන්දේ කුණු වර්ගීකරණය කොට ජාඇලට මුතුරාජවෙලට ගෙනයාමට තීන්දුවූයේ ඉන් පසුවය. ඒ ගැන එල්ල වූ නොයෙක් විරෝධතා මධ්‍යයේ කටයුතු සැලසුම් කෙරෙද්දී රජයේ තීන්දුවක් අනුව මීතොටමුල්ල කුණුකන්දට කැලි කසල බැහැර කිරීම තහනම් කළේය. පළාත් සභාව හා නගර සභාවද ඒ ගැන දැණුවත් කෙරිණි. පළාත් සභාව හා නගර සභාවද ඒ ගැන දැනුම්වත් කෙරිණි. එහෙත් රජයේ තීරණය නොතකා කුණු කන්දට තවදුරටත් කුණු කියලා බැහැර කිරීමට පසුගිය දිනවල පළාත් පාලන ආයතන විසින් පියවර ගෙන තිබිණි. මේ ගැන ප්‍රදේශවාසීන් මෙන්ම පළාතේ මන්ත්‍රී මරික්කාර් මහතාද දැඩි විරෝධය දැක්වීය. අවසානයේ එය උද්ඝෝෂණයක් බවට පත්විය. ගිය සඳුදා ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු කළ උද්ඝෝෂණයට මන්ත්‍රීවරයාද එක්ව සිටියේය. පොදු ජනතාව මෙන්ම භික්ෂුන් වහන්සේලාද ඊට එක්වීම විශේෂයකි. එදින සවස්වන තුරු පැවැති උද්ඝෝෂණයේදී මන්ත්‍රීවරයා ඇතුළු උද්ඝෝෂකයන් තමන්ට ලැබුණ කෑම පාර්සලය මහ පාරේ තබාගෙන අනුභව කළේය. උද්ඝෝෂණය දිගින් දිගටම යද්දී ඊට විසඳුමක් ලබාදීමට රජයේ බලධරයන් විශේෂ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු විය. ඒ නිසා තාවකාලිකව උද්ඝෝෂණය නතරකරන්නට මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රමුඛ උද්ඝෝෂකයෝ තීන්දු කළහ. 

♦ ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00