2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

විධායකය අහෝසි කිරීමේ යෝජනාව ඉවතට

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 279

♦ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිමයි: රට පුරා මාසයක් මහ රැලි
♦ ජනපති එද්දී රනිල් නැගිට යයි
♦ ජ.වි.පෙන් රට පුරා සම්මන්ත්‍රණ
♦ නෙළුම් කුලුනේ ගනුදෙනුව ගැන ඔත්තුව දුන් ලොක්කාට ජනපතිගෙන් දැඩි දෝෂාරෝපණ
♦ මහින්ද රාජපක්ෂගෙන් නෙළුම් කුලුන චෝදනාවට තද පිළිතුරක්ජ
♦ නපති ඡන්දය අස්සේ විධායක ජනපති ධූරය අහෝසි කරන්න කැබිනට් රැස්වීමක්

 

ජනාධිපතිවරණය සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමත් සමඟ දේශපාලන වේදිකාව තවදුරටත් රත්වන බව පෙනෙන්නට තිබේ. පසුගිය සිකුරාදා (19දා) සිට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාරගැනීම ආරම්භ කෙරුණු අතර ඔක්තෝබර් 07දා පෙරවරු 9.00 සිට 11.00 දක්වා නාමයෝජනා භාරගනු ඇත. මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසු ප්‍රධාන පක්ෂවල නාමයෝජනා සූදානම ගැන සැමගේ අවධානය යොමු විය.

මුලින්ම ජනාධිපති අපේක්ෂකයා නම් කළ පොහොට්ටුව වෙනුවෙන් ලබන සතියේ ඇප මුදල් තැන්පත් කිරීමට තීන්දු කෙරිණි. ඒ සමඟ ප්‍රචාරක රැලි ද සංවිධානය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ප්‍රචාරක රැලිය ලබන මස 13 දින ගම්පහ දී පැවැත්වේ. ඔහුගේ දීපව්‍යාප්ත ප්‍රචාරක රැස්වීම් මාලාව හරියටම මාසයක් තුළ නිම කිරීමට මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවට උපදෙස් දී ඇත.

දෙවනුව ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කළ ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක අනුර දිසානායක මහතා ස්වකීය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කර නැතත් ඔහු නියෝජනය කරන ජාතික ජල බලවේගය රට පුරා රැස්වීම් හා සම්මන්ත්‍රණ පවත්වමින් සිටී. පසුගිය සතියේ කළුතර, ගම්පහ, කොළඹ සහ මහනුවර ප්‍රදේශවල ඔවුන්ගේ සම්මන්ත්‍රණ පැවැත්විණි. ඔවුන්ගේ අපේක්ෂකයා ඇප මුදල් තැන්පත් කිරීම හා සෙසු ඡන්ද ප්‍රචාරක සැලසුම ගැන තවමත් නිල ප්‍රකාශයක් නිකුත්ව නැත. ඉදිරි සතියේ ඒ ගැන තොරතුරු ප්‍රකාශ වෙතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වී තිබියදීත් එ.ජා. පෙරමුණේ අපේක්ෂකයා තෝරාගැනීම ගැටලුසහගත තත්ත්වයට පත්ව තිබේ. මේ සතියේත් දේශපාලන කරළියේ වැඩි අවධානයක් දිනූ පුවත වූයේ එ.ජා.පයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරාගැනීමේ ප්‍රමාදයයි. පොහොට්ටුව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රකාශ වූයේ මෙයට සති 5කට උඩදීය. ජනතා විමුක්ති පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මහතා නම් කළේ මෙයට මසකට පෙරදීය. එ.ජා.පය මේ සතිය ඇරඹෙන විටත් ජනාධිපති අපේක්ෂකත්වය ගැන සාකච්ඡා කරමින් සිටියේය. පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ගිය සඳුදා ලිපියක් යවමින් ඉල්ලා සිටියේ කඩිනමින් අපේක්ෂකයා නම් කරන ලෙසයි. එය දිගින් දිගටම ප්‍රමාද වීම පාක්ෂිකයන්ට කරන අගතියක් බව සජිත් රනිල්ට යැවූ ලිපියේ සඳහන්ව තිබිණි. එම ලිපියේ සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ අපේක්ෂකයා ප්‍රකාශ කරන්නට කිසිදු බාධාවක් නැති වගයි. තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරැ කරන්නෙක් බැවින් පක්ෂයේ බහුතර අනුමැතිය නැතිනම් කිසිසේත්ම තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය අවශ්‍ය නොවන්නේ යැයි ද කියා තිබිණි.

සජිත්ගේ මෙම ලිපියට රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරක් යැවූයේ නැත. ඒ අතර ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය චම්පික රණවක විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ එ.ජා. පෙරමුණේ අපේක්ෂකයා තෝරාගැනීම එම සන්ධානයට අයත් පක්ෂවල බහුතර මන්ත්‍රී කැමැත්තට අනුව සිදුකළ යුතුය කියායි. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බව ඔහුගේ මතය විය. එසේම රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් හා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරැන්ගේ මතය වී ඇත්තේ පක්ෂය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු වහා නම් කළ යුතුය කියායි. මෙම පිරිස පසුගියදා එක්වී ඒ ගැන එ.ජා.පයෙන්  ලිඛිත ඉල්ලීමක් කිරීමට ද තීන්දු කළහ. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේ මේ සියලු දෙනා සිතන්නේ එ.ජා.පෙ. අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයාට උපදෙස් දී තිබුණේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂවල සහාය ලබාගෙන ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන තමන් සමඟ සාකච්ඡාවකට එන හැටියටයි. මේ සඳහා සජිත් දෙමළ සන්ධානයෙන් ඉල්ලීමක් කළ ද එය ඔවුන් බැහැර කළේ තමන් මුලින් මේ ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කොට පසුව සජිත් හමුවීම යෝග්‍ය යැයි කියමිනි. ඒ අනුව ඉතාමත් පෞද්ගලික මට්ටමින් ගිය අඟහරුවාදා රනිල් හා දෙමළ සන්ධානය හමු විය.

එහෙත් ඊට පෙර අමාත්‍ය මංගල සමරවීර හා රාජිත සේනාරත්නගේ ඉල්ලීම අනුව මංගල, රාජිත, මලික් ඇතුළු පිරිස සජිත් පිල වෙනුවෙන් දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතාගේ නිවෙසට ගොස් ඔහු හමු වූහ. සම්පන්දන් සමඟ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද සාකච්ඡාවට පැමිණියේය. මෙහිදී මුලින්ම සම්පන්දන්ලා අවධානයට ලක් කළේ කලින් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඔවුන් පැවැත්වූ සාකච්ඡාවයි. එහිදී සම්පන්දන් හා සුමන්තිරන් දෙදෙනාම කීවේ එම කතාබහේදී සජිත් උතුරට ලබාදෙන දේශපාලන විසඳුම ගැන නිසි සැලසුමක් ඉදිරිපත් නොකළ බවය. “අපිට රනිල්ද - සජිත්ද - කරුද? නැතිනම් වෙන කවුරුවත්ද අපේක්ෂකයා කියන එක ප්‍රශ්නයක් නොවේ. ඒ කවුරුන් හෝ අපේ ජනතාවගේ ප්‍රශ්නවලට දෙන විසඳුම් මොනවාද කියන එකයි අපේ ගැටලුව. මෙච්චර කාලයක් සිද්ධ වුණේ අපි රැවටුණු එකයි..” කියමින් දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා දැඩි ලෙස තමන්ගේ ස්ථාවරය කියද්දී මංගල සමරවීර අමාත්‍යවරයා කීවේ “මම ඒකට වගකියනව. දේශපාලන විසඳුම ගැන මම බලාගන්නව..” කියායි. එවිට සම්පන්දන් හා සුමන්තිරන් දෙදෙනාම කීවේ “ඔබ වගකියන බව අපි දන්නව. ඒත් අපි අපේ ජනතාවට ඒ විසඳුම ගැන කියන්න ඕන. මුලින් කීවා වගේ 2015 දී මෛත්‍රී ජනාධිපතිතුමත් අපට විසඳුමක් දෙනව කීව.. කෝ ලැබුණාද? සිද්ධ වුණේ අපි රුවටීම පමණයි. ඒ නිසා වෙනදා වගේ බැහැ. මේ පාර අපිට ගැරන්ටියක් ඕනෑ” යනුවෙනි. එවිට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද පැවසුවේ එම කතාව සාධාරණ වගයි. එතනදී සුමන්තිරන් මන්ත්‍රීවරයා නැවත කීවේ “තමුන්නාන්සෙල ඔබතුමාලගේ අපේක්ෂකයා කවුද කියල නිල වශයෙන් කියන්න. ඊට පස්සෙ එයා ලව්වා අපට දෙන විසඳුම ගැන සහතිකයක් අරන් දෙන්න”..

සුමන්තිරන්ගේ එම යෝජනාවත් සමඟ දෙපක්ෂයේ කතාව හමාර වූ අතර රනිල් සහ සජිත් දෙදෙනා පසුව හමුවන බවද දෙමළ සන්ධාන නායකයෝ කීහ. මෙම පසුබිමේ ගිය සඳුදා සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එ.ජා.ප. අපේක්ෂකත්වය ගැන සජිත් පිලට පිළිතුරක් දුන්නේය. සජිත් හිතවාදීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම් දෙකම කැඳවා බහුතර ඡන්දයෙන් අපේක්ෂකයා තෝරාගත යුතු බවයි. රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ පිළිතුරක් දුන්නේ එම ප්‍රශ්නයටයි. ඔහු ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ කෙසේදැයි එහිදී පැහැදිලි කළේය. අගමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවී පැවසුවේ ඒ ගැන තමන්ට උපදෙස් දීමට පත් කළ කමිටු වාර්තාව ලැබුණු සැණින් තමන් එ.ජා.පෙ. අපේක්ෂකයා නම් කරන වගයි. සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර පසුගියදා පැවති හමුවේදී මෙම කමිටුව පත් කෙරිණි. රාජිත, රංජිත්, කබීර් හා මලික් යන අමාත්‍යවරු ද දිනේෂ් වීරක්කොඩි මහතා ද එහි සාමාජිකයෝ වූහ. මංගල සමරවීර මහතා කීවේ ජනාධිපති සිහින බොහෝ දෙනකුට ඇතත් දිනන අපේක්ෂකයා තෝරා ඔහුට සහාය දිය යුතු වගයි.

කෙසේ හෝ මේ වන විට සිවිල් සංවිධාන ගණනාවක් හා භික්ෂු සංවිධාන ගණනාවක් එ.ජා.පෙ. ජනාධිපති අපේක්ෂකත්වය සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ නම ද යෝජනා කර ඇත. ඔවුහු ඒ ගැන රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළහ. රනිල් ඒ අයට කීවේ කරැ හොඳ අපේක්ෂකයකු වුවත් ඒ ගැන කෘත්‍යාධිකාරිය තීන්දුවක් ගත යුතුය කියායි. තවත් අපේක්ෂක නම් ගණනාවක් මේ ගැන යෝජනා වී ඇතැයි ද රනිල් මෙම දෙපිරිසටම කියා සිටියහ. 

ඒ අතර රාජිත සේනාරත්න මහතා කීවේ යැයි සඳහන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකාශ වී තිබේ. එහි සඳහන් වූයේ “කරු එනවා නම් ජනතා විමුක්ති පෙරමුණ ද කරුට සහාය දෙනු ඇත” කියායි. එහෙත් පසුගිය සතියේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කීවේ කිසිදු අපේක්ෂකයකුට උදව්වට ජ.වි.පෙ. ජනාධිපති ධූර අපේක්ෂකයා ඉවත් කර ගැනීමේ අදහසක් තම පක්ෂයට නැති වගයි.

ගිය අඟහරුවාදා උදෑසන සජිත් ප්‍රේමදාස මහතා හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවීය. එම මාධ්‍ය හමුව තිබුණේ අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ 7 නිල නිවෙසේය. මේ මාධ්‍ය හමුවට රන්ජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර, මංගල සමරවීර, මලික් සමරවික්‍රම අමාත්‍යවරු ද සජිත් සමඟ එක්ව සිටියහ. මෙහිදී සජිත් නැවත වරක් තමන්ගේ අපේක්ෂකත්වය ගැන විශ්වාසය පළ කළේය. තමන් හා තවත් අපේක්ෂකයන් පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ නම් පක්ෂ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම එක්ව අපේක්ෂකයා තෝරාගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. තමන්ට බල තණ්හාවක් නැතැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් තමන් අවශ්‍ය නැති බව ජනතාව තීන්දු කළහොත් ඊට පසුදාම තමන් දේශපාලනයෙන් සමුගන්නේ යැයි ද වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුව තබා පැය කිහිපයකට පසු කතානායක කරු ජයසූරිය මහතාගේ නමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරිණි. එම මාධ්‍ය නිවේදනයෙන් කරු සඳහන් කළේ සමාජය තමන්ගෙන් ද ජනාධිපතිවරණයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින වගයි. මහා සංඝරත්නය, විද්වතුන්, සිවිල් සංවිධාන ද මෙලෙස කරැට ජනපතිවරණය සඳහා එන්නැයි ඉල්ලා ඇති බව කරු පැවසීය. තමන් ජනපතිවරණයට එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටත් 17 වැනි හා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් රටට ලබා දුන් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත කරන්නටත් යැයි ද කතානායකවරයාගේ නිවේදනයේ සඳහන් විය. පක්ෂ ව්‍යවස්ථාවට අනුව රජයේ සියලුම හවුල්කාර පාර්ශ්ව තමන්ට සහාය දෙන්නේ නම් රට වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාව පවතින්නේ යැයි ද ජයසූරිය මහතා කියා සිටියේය.

කරු ජයසූරිය මහතාගේ ජනාධිපතිවරණ අභිලාෂ ප්‍රකාශය නිසා පැවති තත්ත්වය තවත් ව්‍යාකූල විය. කරු ජයසූරිය, සජිත් මෙන්ම පක්ෂ නායක රනිල්ගේ නමද ජනාධිපති අපේක්ෂකත්වය ගැන සඳහන් වෙයි. ඇතැමුන් පවසන්නේ කරු ජයසූරිය මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානගත වීමට කෙරෙන සාකච්ඡාව ද ඉතා තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. මෙයට ප්‍රධාන බාධකය වී ඇත්තේ පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා සන්ධානගත වෙමු යැයි ශ්‍රී.ල.නි.පය යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟය. මේ ගැන වාර ගණනාවක්ම සාකච්ඡා පැවැත්වුණු නමුත් ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. මේ ගැන බැසිල් රාජපක්ෂ මහතාගෙන් පසුගියදා මැතිවරණ කොමිසමේදී මාධ්‍යවේදීන් විමසා සිටි විට ඔහු කීවේ ඒ ඉල්ලීම ද නොසලකා හරින්නට සූදානම් නැත කියායි. මහින්ද අමරවීර හිටපු අමාත්‍යවරයා ද පැවසුවේ මේ ප්‍රශ්නය මැද තැනකට විත් විසඳාගත යුතුය කියායි. කෙසේ හෝ පවතින ප්‍රශ්න ගැන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර නිල සාකච්ඡාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී ජනාධිපතිවරයා නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදලින් රුපියල් කෝටි 200ක් අතුරැදන්ව ඇතැයි පැවසීය. පසුගිය ආණ්ඩුව චීනයේ ‘එලීට්’ නම් සමාගමට මෙම මුදල් ගෙවූ බව කියතත් එවන් සමාගමක් තිබූ තැනක්වත් චීනයේ නැතැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කෝටි 200 මුදල වෙනුවෙන් අදටත් රජයට ණය ගෙවන්නට සිදුව ඇතැයි ද පැවසීය. මෙය බරපතළ මූල්‍ය වංචාවක් බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දැක්විණි.

මෙය ඍජුවම පැවති රාජපක්ෂ පාලන සමයට අදාළ චෝදනාවක් නිසා මහින්ද රාජපක්ෂ මහතා මේ ගැන එකල විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද ප්‍රධාන විධායක සහ අධ්‍යක්ෂ ජනරාල් වූ අනූෂ පැල්පිට මහතා ද කැඳවා කරුණු විමසීය. මේ දෙදෙනාම කියා සිටියේ මෙහි කිසිදු වංචාවක් සිදුව නැති බවයි. මෙම ආයතනය ගැන චීන තානාපති කාර්යාලයෙන් කරුණු විමසිය හැකි බවත් ඔවුහු කීහ. මේ ගැන මාධ්‍යයට ප්‍රතිචාර දැක්වීම විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට පැවරුණි. ඒ අනුව පැල්පිට මහතා මෙම ගනුදෙනුව සිදු වූ ආකාරය හා ගෙවීම් කළ අන්දම ද පවසා ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ තම ආයතනය එලීට් සමාගමට සතයක හෝ මුදලක් ගෙවා නැති බව තරයේ ඔහු ප්‍රකාශ කළේ එසේ කළා නම් කවුරුන් හෝ එය ඔප්පු කරන ලෙස ඉල්ලමිනි. ඉන් පසුව ඒ ගැන නිවේදනයක් නිකුත් කළ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ චෝදනාවට සැර පිළිතුරක් දුන්නේය. මෙම චෝදනාව අභූත චෝදනාවක් මෙන්ම චීන රජයට කළ මහා අපහාසයක් යැයි ද මහින්ද එමගින් දැඩි ලෙස පෙන්වා දී තිබිණි.

ඒ සමඟ නෙළුම් කුලුන ගිවිසුම ගැන ජනාධිපති මෛත්‍රීපාල මහතා නීතිපතිවරයාගෙන් සහ ගිවිසුම් නීතිය දන්නා නීතිඥ පිරිසකගෙන් ද කරුණු විමසීය. ඒ අතර පොහොට්ටුව මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන කීවේ වසර 5ක් යන තෙක් හෙළිදරව් නොවූ දේ දැන් හෙළි වී තිබේ නම් වහාම අල්ලස් දූෂණ කොමිසම පරීක්ෂණයක් කළ යුතු බවකි. මේ කතාබහ අතර ජනාධිපති මෛත්‍රීපාල විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා මේ ගැන ප්‍රශ්න කළ විට ඔවුන් කීවේ මෙම කතාව ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. තොරතුරේ සත්‍ය අසත්‍යතාව සොයා බැලූ අතර ඒ ගැන කිසිදු සාක්ෂියක් නොලැබුණු බවද එහි ගණකාධිකාරිවරයා පවසා තිබිණි. එවිට ජනාධිපතිවරයා මෙම නිලධාරී පිරිසට දැඩිව දෝෂාරෝපණය කළ බවද සඳහන්ය.

මේ කතාබහ යද්දී පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ හමුවක් පැවති අතර එහිදී මේ ගැන මහින්ද අමරවීර මහතාගෙන් මන්ත්‍රීවරැන් ගණනාවක් ප්‍රශ්න කර තිබිණි. මහින්ද අමරවීර ශ්‍රී.ල.නි.ප. - පොහොට්ටු සන්ධාන කතාබහ සඳහා පත් කළ සාකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියාය. ඔහු පක්ෂ නායක හමුවේදී කියා තිබුණේ යට කී චෝදනා එල්ල කිරීම නිසා වැඩියෙන්ම අමාරුවේ වැටුණේ තමන් බවයි. දයාසිරි ජයසේකර ද දෙපක්ෂයේ සාකච්ඡා අතර මෙලෙස චෝදනා නැගීම ගැන කනස්සල්ල පළ කර තිබුණේ හිතවත් මන්ත්‍රීන් සමඟය.

කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහය නිමිත්තෙන් විදේශීය අමුත්තන්, දේශපාලන නායකයන් ඇතුළු කොළඹ හිතවතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ සාදය ගල්කිස්ස මහ හෝටලයේ පවත්වනු ලැබුවේ ජනපතිවරයා එකී චෝදනා එල්ල කළ දිනයට පසුදාය. ඒ සඳහා ජනාධිපතිවරයාගේ පවුලේ ඩඩ්ලි සිරිසේන, කුමාරසිංහ සිරිසේන මහත්වරුන් මෙන්ම ජනපති පුත් දහම් සිරිසේන හා ඔහුගේ බිරිඳ ද පැමිණ සිටියහ. ඊට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන දේව් ගවුඩා මහතා, ඉන්දීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමි, බංග්ලාදේශ අගමැතිනි ෂිත් හසීනාගේ පුත්‍රයා, මැලේසියා අගමැති මහතීර් මොහොමඩ්ගේ පුත්‍රයා, ස්වාසිලන්ත රජතුමාගේ පුත්‍රයා, මාලදිවයින් කැබිනට්ටුවේ අමාත්‍යවරු 10 දෙනෙක් පමණ ද, එංගලන්තයේ නේස්බි සාමිවරයා ද, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, සෞදි අරාබිය ආදී අටවල ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ද මංගල සාදය සඳහා පැමිණ සිටියහ. ගල්කිස්ස හෝටලයම ඊට වෙන් කර තිබුණි. ජනාධිපති මෛත්‍රී, අගමැති රනිල්, කතානායක කරැ ඇතුළු පිරිස පැමිණීමෙන් පසු ඔවුන් සුහදව පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අමුත්තන්ගේ මේස වෙත ගොස් ඔවුන් හමු වූහ. ජනාධිපතිවරයා පැමිණ අසුන් ගන්නවාත් සමඟ නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට තවත් උත්සවයකට යාමට ඇතැයි පවසා පිටත්ව ගියේය.

මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කැඳවීමත් සමඟ එ.ජා.පයේ අපේක්ෂක අර්බුදය ගැන ප්‍රකාශ ගණනාවක් නිකුත් විය. එහි සිදුවන්නේ කුමක්දැයි කීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ. අකිල විරාජ් පක්ෂ මහ ලේකම්වරයා කීවේ පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලබන සතිය තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ප්‍රකාශ කර අනුමත කර ගන්නා බවය. ඒ අතර සිරිකොත දී මාධ්‍ය හමුවක් කැඳවූ පාලිත රංගේ බණ්ඩාර මහතා කීවේ කරැ ජයසූරිය යනු මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් යෝධ පුරුෂයෙක් බවයි. කරැට සංඝරත්නය හා සිවිල් සංවිධාන ද සහාය දෙන නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඉතා සුදුසු බව පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් කීය. ඒ අතර සජිත් හිතවාදී මැති ඇමැති කණ්ඩායමේ කිසියම් මතගැටුමක් හටගෙන ඇතැයි ද කියැවේ. පිරිසක් කියන්නේ සජිත්ට අපේක්ෂකත්වය නොලැබේ නම් පක්ෂයෙන් එළියට ගොස් වෙනම කණ්ඩායමක් හදා ඡන්දයට ආ යුතු බවය. එහෙත් තවත් පිරිසක් පක්ෂය කැඩීම නුසුදුසු යැයි කියති. නමුත් පසුගියදා කොළඹ පුරා “දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය දිනවමු” යැයි පෝස්ටර අලවා තිබිණි. එය කාගේ වැඩක්දැයි දැනගන්නට නැතත් රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ අලින් ඉන්නා රට ගැන හිතන අලුත් පක්ෂයක් බිහිවන බවකි. සජිත්ගේ ප්‍රබල හිතවාදියකු වන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මෙන්ම සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ද කියා තිබුණේ සජිත්ට එ.ජා.පයේ ඉඩ නැත්නම් වෙනත් පක්ෂයකින් හෝ තරග කර ජයග්‍රහණය කළ හැකි බවය. කෙසේ නමුත් සජිත් පිලේ තීන්දුව එ.ජා.ප. අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු රහසිගතව තබාගන්නට සැලසුම් කර ඇතැයි කියැවේ.

ඒ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ සම්බන්ධීකරණයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හදිසි හමුවක් ගිය බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්විණි. එහිදී තීන්දු වූයේ විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කළ යුතු බවයි. ඒ ගැන කැබිනට් තීන්දුවක් ගන්නට කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් බ්‍රහස්පතින්දා සවස 3.00ට කැඳවීමට ද නායකයෝ දෙදෙනා එකඟ වූහ. එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සම්මත කොට 2/3 ඡන්දයෙන් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ සැලසුමයි.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා මුණගැසුණේය. එම හමුව සඳහා අවශ්‍ය පසුබිම සැකසුවේ දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ය. දෙදෙනා හමුව සාකච්ඡා කළේ දැනට ජනතා විමුක්ති පෙරමුණ මැති සබයට ඉදිරිපත් කර තිබෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව කැබිනට්ටුවෙන් සම්මත කර ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි. ඒ ගැන ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද අවශ්‍යතාවක් තිබෙන බව මෙම කතාබහේදී පෙනී ගියේය. යම් හෙයකින් මහින්ද රාජපක්ෂ ඊට සහාය නොදී යෝජනාව පරාජය වුවහොත් එහිදී දෙමළ සන්ධානය ජ.වි.පෙ, එ.ජා.පයේ කොටසක් ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් හා පොහොට්ටුවේ පිරිසකගේ සහය ලබාගෙන මැතිසබය විසුරුවා හැරීම සඳහා යෝජනාවක් සම්මත කරගත හැකි බවද සාකච්ඡා වී ඇත. කෙසේ හෝ මේ සාකච්ඡාවෙන් පසු බ්‍රහස්පතින්දා හවස හදිසියේ කැබ්නට්ටුව කැඳවන බව ජනාධිපති කාර්යාලයෙන් නිවේදනය කැරිණි. ඒ අතර පාර්ලිමේන්තු ලොබියේදී එ.ජා.ප මන්ත්‍රීන් පිරිසක් හා අමාත්‍ය මලික් සමරවික්‍රම කතාබහ කරමින් සිටියදී ඒ අසලට පැමිණි දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් ඇමතූ මලික් මෙන්න මෙයා තමයි ඔය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න හදිස්සි කරන වැඩේ නිර්මාතෘ (ආකිටෙක්ට්) යැයි කියද්දී සුමන්තිරන් නිහඬව ඉවත්ව ගියේය.

කෙසේ හෝ මේ ගැන පාර්ලිමේන්තුවේ එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීන් හා සජිත් හිතවාදී ඇමැතිවරු බෙහෙවින් කලබල වූහ. ඔවුන් මැතිසබයේදී නොනිල වශයෙන් රුස් වූ අතර එ.ජා. පෙරමුණේ ඇමැති පිරිසක් ද ඊට එක්වූහ. ඒ අය තරයේම කියා සිටියේ මෙම යෝජනාවට විරුද්ධ විය යුතු බවකි. ඒ බව පක්ෂ නායකයන් වෙනමත් මන්ත්‍රී කණ්ඩායමේ සජිත් හිතවාදීන් වෙනමත් ගොස් අගමැතිවරයාට කියන්නට තීන්දු කළ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නැයි ඉල්ලා සිටීමට ද තීන්දු විය. ඉන් සුළු වේලාවකට පසු කැබිනට්ටුවට පෙර පැවැත්වෙන පූර්ව අමාත්‍ය මණ්ඩල හමුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේදී ඇරුඹිණි. එහිදී අමාත්‍යවරුන් ගණනාවක් ප්‍රශ්න කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන මේ හදිසි යෝජනාව කාගේද කියායි. එය ජනාධිපතිතුමාගේත් සිවිල් සංවිධානවලත් උවමනාවට සිදුවන බවත් අගමැතිවරයා පැවසීය. එවිට ඇමැතිවරුන්ගෙන් බහුතරය ඊට දැඩි විරෝධය පළ කළහ. රනිල් වෙනුවෙන් නවීන් දිසානායක, රවී කරුණානායක, රාජිත සේනාරත්න ඇතුළු කිහිපදෙනෙක් කරුණු දැක්වූහ. නවීන් කතා කරද්දී පක්ෂ හැරගොස් නැවත පැමිණි අය මේ ගැන මොනවා කියනවාදැයි අසමින් නවීන්ගේ කතාවට බාධා කළේ සජිත් පිලේ රන්ජිත් මද්දුම බණ්ඩාර, තලතා ඇතුළු පිරිසකි. රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙය ඉතා ද්‍රෝහී කතාවක් බැවින් තමන් මේ ගැන ජනහමුවලදී ජනතාවටම කියන බවද ප්‍රකාශ කර තිබිණි.

මෙම අවුල්සහගත තත්ත්වය තුළ සවස 3.30ට අමාත්‍ය මණ්ඩලය රැස්විය. රැස්වීම ආරම්භයේදීම ජනාධිපතිවරයාගෙන් මංගල විමසා සිටියේ “හදිසියේ මෙම යෝජනාව ඔබතුමාලා ඉදිරියට ගෙනාවේ ඇයි දැන් ජනාධිපතිවරණය කෝල් කරලත් ඉවරයි” කියාය. එවිට ජනාධිපති “මේ යෝජනාව ගෙනාවේ මම නොවේ අගමැතිතුමා. ඒක එතුමාගෙන්ම අහගන්න” යැයි පිළිතුරු දුන්නේය. “මට කැබිනට්ටුව කැඳවන්න කිව්වා. මම එතුමගෙ ඉල්ලීමට කැබිනට්ටුව කැඳෙව්වා.” ජනපති වැඩිදුරටත් පැවසීය. එවිට නැවතත් මංගල කීවේ “දැන් ආණ්ඩුවට අවුරුදු 4 ½ ඉවරයි. දැන් මේක ගේන වෙලාව නෙවෙයි. මට පේන හැටියට මේක හදිසියේ ගේන්නෙ ජනාධිපති සටනට සජිත් එන එකයි ගෝඨාභය එන එකයි නවත්තන්න. මේක පොහොට්ටුවත් එක්ක කරපු කුමන්ත්‍රණේක ප්‍රතිඵලයක්.” කියාය. රන්ජිත් මද්දුමබණ්ඩාර ඊළඟට කීවේ “මේක හිරිකිත වැඩක්. අපි ඡන්දයට බය නැහැ. නමුත් දැන් මේක කරනවට අපි විරුද්ධයි” කියාය. තලතා කීවේත් “මේක පොහොට්ටුවත් එක්ක කරපු කුමන්ත්‍රණයක්” කියාය. හරීන්, ගයන්ත, හකීම්, කබීර්, චම්පික, දිගම්බරම් ඇතුළු අමාත්‍යවරු ගණනාවක් ඊට විරුද්ධව වරින් වර අදහස් දැක්වූහ.

යෝජනාවට පක්ෂව රවී කරුණානායක හා රාජිත සේනාරත්න කරුණු දක්වදිදී ඒවාට විරුද්ධව ඇමැතිවරු තදින්ම කරුණු කීහ. එවිට අගමැතිවරයා කීවේ මෙය පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපතිවරණ කාලේ තිබූ යෝජනාවක් බවය. කෙසේ හෝ බහුතර මැති ඇමැතින්ගේ විරෝධය මත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉවත් කිරීමට කැබිනට්ටුව තීන්දු කළේය.

ඒ සමඟ කලබල වූ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් තමුන්ගේ පෞද්ගලික ට්විටර් ගිණුම හරහා සජිත් පිලට දෝෂාරෝපණය කරමින් කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ යහපාලන කණ්ඩායම ගැන තමන්ගේ පක්ෂය තරයේම කනගාටු වන බවය. එම කණ්ඩායම සිය ආත්මලාභය හා අවස්ථාවාදීත්වය පෙන්නුම් කරන්නේ යැයිද සුමන්තිරන් එමගින් කියා තිබිණි. එම ප්‍රකාශයෙන් පසුව සුමන්තිරන්ලා, රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉතා පෞද්ගලික සාකච්ඡාවක් පවත්වා ඇති අතර සිකුරාදා රනිල් ගැන එ.ජා.ප පෙරමුණේ පක්ෂ නායකයන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා විය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එදින පෙළොන්නරුවේදී සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගී වෙමින් සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යය විමසූ කල ඔහු කීවේ “අපේ පක්ෂය විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ බව කියලා තිබෙනවා. ඒ නිසයි ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරන්නේ. අනෙක පොහොට්ටුව හා හවුල්කාර පක්ෂ ඉන්නෙත් ඒ මතයෙමයි. මම කරන්නේ අපේක්ෂකයා හා හවුල්කාර පක්ෂවල තීන්දුවට අනුව ක්‍රියා කිරීම පමණයි. ඔය ආණ්ඩුවේ අපේක්ෂකයන් තෝරගැනීමේ ආරවුල්වලට අපිව ගාවාගන්න එපා” කියායි.

සජිත් සමඟ ජනාධිපතිවරණය සඳහා අභිලාෂය ප්‍රකාශ කළ කතානායක කරු ජයසූරිය මහතා හදිසි කැබිනට් රුස්වීමෙන් පසු තීන්දුවක් ගැනීම පමා කරන්නට තීන්දු කළ බව කරුට සමීප ආරංචි මාර්ග කියයි. විධායකය අහෝසි කරන බවට වන ප්‍රතිඥාව කරුගේ ප්‍රධානම සටන් පාඨයයි. එය දැන්ම ඉටු නොවන බවට සංඥා පළවීම නිසා කරු තවදුරටත් කල් බලමින් සිටී.

 

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර