2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

එ.ජා.ප. අපේක්ෂක සටන ඉදිරියටත්

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 285

• ජනපති සජිත්ට දුන් සහතිකය ගැන මහින්දගේ උත්තරය.

• නොවැම්බරයේ රජයක් හදන බව සජිත් කියයි.

• වසර 20කට පසු ජ.වි.පෙන් ජනපති අපේක්ෂකයෙක්.

• ලක්ෂ්මන් යාපාට මාතර කැපිලි දැනෙන්නේ නැතිලු.

• රවුෆ් හකීම් බැසිල් සමඟ ලොකු කතාබහක.

• චන්ද්‍රිකා ජනපති නිවසේ රහස් කතාවක

මේ සතියේ තවත් ජනාධිපති ධුර අපේක්ෂකයෙක් නිලවශයෙන් කලඑළි බැස්සේය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතාය. දැන් ජ.වි.පෙ. සහ පොහොට්ටුව සිය අපේක්ෂකයන් නම් කර හමාරය. ජාතික ජනබලවේගය ගිය ඉරිදා ගාලුමුවදොර ජන රැළියක් සංවිධානය කරමින් අනුර දිසානායකගේ නාම යෝජනාව ස්ථිර කළේය. එහිදී පැමිණ සිටි ජනතාව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විවිධ සංවිධාන 28ක සහයෝගය ඇතිව තමන් ජනපති සටනට එන්නේ වෙනසක් උදෙසා බව අනුර දිසානායක ජනතාව අමතමින් කීය. වසර 20කට පසුව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම විශේෂ කරැණකි. ජාතිවාදයටත් අන්තවාදයටත් ඉඩ නොදෙන දුබලයා බලවත් කරන පරිවර්තනයක් තම පාලනය යටතේ රටට හඳුන්වා දෙන්නේ යැයි මෙහිදී වැඩිදුරටත් අනුර දිසානායක මහතා පැවසීය. කලාකරුවන් සරසවි ඇදුරන් ඇතුළු පාර්ශ්ව ගණනාවක නියෝජිතයන් මෙම හමුව ඇමතූ අතර ඊට සෑහෙන ජන සහභාගීත්වයක් ද තිබිණි.

ජ.වි.පෙ. සහ පොහොට්ටුව සිය අපේක්ෂකයන් නම් කළද ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සඳහා වන එ.ජා.ප.යේ අර්බුදය දිනෙන් දින ඇදෙමින් තිබේ. දැන් මෙම සටන ගැන කෙරෙන කතා බහේදී අනුව පෙනී යන්නේ අපේක්ෂක සටන ඇත්තේ රනිල් හා සජිත් අතර බවයි. රනිල් වික්‍රමසිංහ මහතා තමන් ජනාධිපති අපේක්ෂකයා බව ප්‍රසිද්ධියේ කියා නැතත් සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකවරයා තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් නොවැම්බරයෙන් පසු නව පාලනයක් බිහිකරන බවත් කියන්නට පටන්ගෙන තිබේ. මෙම කාරණය ගැන එ.ජා.ප.යේ සිදුකෙරෙන සියලු සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වීමද කැපීපෙනේ. පසුගිය සෑම සතියකම වාර්තා වූයේ තවත් සතියකින් පසු සන්ධානය එළිදකින බවයි.

කෙසේ හෝ පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ පක්ෂ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රීන් කණ්ඩායම එකට රුස්කොට ඡන්ද විමසීමක් පවත්වා අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් මන්ත්‍රීන් 54 දෙනකුගේ අත්සනින් රනිල් වික්‍රමසිංහ මහතාට මේ සතියේ ලිපියක් භාර දෙනු ලැබීය. එ.ජා.ප. සභාපති කබීර් හෂීම් හා අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මෙම ලිපියද රැගෙන රනිල් හමුවූහ. එම හමුවේදී රනිල් කීවේ තමන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන වගත් ඉදිරියේදී මේ ගැන සාකච්ඡාකොට තීරණයක් ගතහැකි බවත්ය.

මෙම සිදුවීමෙන් පසු අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සිය හිතවතුන් හමුවෙමින් පසුව මාධ්‍ය ඉදිරියේත් කීවේ තවත් සතියක් තම කණ්ඩායම සිදුවන දේ ගැන බලාසිටින වගයි. ඉන් අනතුරුව කවර හෝ ක්‍රමයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනපති සටනට ගෙනඒම සඳහා පියවර ගන්නා බවද ඔහු කීය. පක්ෂ කෘත්‍යාධිකාරියත් මන්ත්‍රී කණ්ඩායමත් එක්රුස් කළහොත් සිදුවන දේ ගැන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී අජිත් කීවේ “අපි රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම දේශපාලන වශයෙන් පරාජය කරනවා.” කියායි. අජිත් මෙන්ම සුජීව සේනසිංහ ආදීන් ද මේ ගැන සැර ප්‍රකාශ කර ඇත. එහෙත් පක්ෂ නායක රනිල් කිසිවක් නොකියා ස්වකීය ක්‍රියාන්විතය සීරුවෙන් දියත් කර තිබේ.

සජිත් ප්‍රේමදාස එ.ජා.ප. නියෝජ්‍ය නායකයා මේ සතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ගිය අඟහරුවාදා තලවතුගොඩ පිහිටි මොනාච් හෝටලයට හිටපු පළාත් සභා මන්ත්‍රීන් කැඳවීය. එ.ජා.ප.යෙන් පැවති පළාත් සභා නියෝජනය කළ මන්ත්‍රීන් 123 දෙනාගෙන් 97 දෙනෙක් මෙම හමුව සඳහා එක්වූහ. ඇමැතිවරියන් වන චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරාළ, අජිත් පෙරේරා, එරාන් වික්‍රමරත්න මන්ත්‍රීන් වන එස්.එම්. මරික්කාර්, හේෂාන් විතානගේ, හෙක්ටර් අප්පුහාමි ආදීහුද ඊට එක්වූහ. මේ අයගෙන් බොහෝ දෙනෙක් රැස්වීම අවසානයේ අදහස් පළකිරීමෙන් තොරව පිටව යද්දී අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පමණක් මාධ්‍යයට අදහස් දක්වමින් කීවේ පැමිණි සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීන් සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වයට සහය පළකළ බවයි. නියතව වශයෙන්ම සජිත් අපේක්ෂකයා බවද ඔහු කීය.

එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයකු වන කතානායක කරු ජයසූරිය මහතාගේ නමද අපේක්ෂකයකු ලෙස කියැවෙයි. කරු දැන් පෞද්ගලිකව මන්ත්‍රීන් මුණගැසෙමින් පක්ෂ නොබෙදී පවත්වා ගෙනයාම ගැන කිසියම් ක්‍රියාන්විතයක් දියත්කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය ද කරුට හිමිවන බව ප්‍රකාශ වී ඇත. ඇතැම් පිරිස් පවසන්නේ පක්ෂයේ තිබෙන අපේක්ෂක හබයට විසඳුමක් ලෙස මැදිහක්කාර අපේක්ෂකයකු ලෙස කරැ ජයසූරිය මහතාට අවස්ථාව හිමිවනු ඇත කියාය. ඒ අතර මන්ත්‍රීන්ගේ අත්සන් සහිතව එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය එකට කැඳවන ලෙස රනිල්ට යෝජනා කරමින් භාරදුන් ලිපිය අනුව පසුගිය 16දාට එහි කියා ඇති දින 7 හමාර වන බැවින් දැන් ඒ ගැන යමක් කිව නොහැකි බව රනිල් හිතවාදි එජාප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ප්‍රකාශ කර තිබිණි.

ඒ අතර පසුගිය 23දා (සිකුරාදා) මංගල සමරවීර මහතා සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලන මාතර ජන රැළිය සංවිධානය කර තිබිණි. ඒ සඳහා සජිත් හිතවාදින් බොහෝ දෙනෙක් ඇරැයුම් ලැබ සිටියහ. එදින මාතර මංගලගේ රුස්වීම පැවැත්වීමට නියමිත වූයේ සවස කාලයේය. ඒ වේලාවටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප ආණ්ඩුවට වසර 4ක් පිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී සාදයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා පක්ෂයේ මන්ත්‍රීන් හා ඇමැතින් සියල්ලන්ටම ආරාධනා කර තිබූ අතර මැති ඇමැතින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල උදවියත් ඒ සඳහා කැඳවාගෙන එන්නැයි රනිල් විසින් යවන ලද ඇරැයුම් පතේ සඳහන් විය. සජිත් හිතවාදින්ගේ මාතර ජනහමුවට ගිය එ.ජා.ප. මැති ඇමැතින්ද රැස්වීම හමාරකොට කඩිනමින් සාදය සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව එයට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් පොලිටිකල් රහස් තීරයට කීය.

මේ ආකාරයට එජාපයේ අපේක්ෂක අර්බුදය උග්‍ර තත්ත්වයට පත්වේද්දී මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සුළු පක්ෂවල සහාය දිනාගැනීම සඳහා තිරය පිටුපස සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි සඳහන්ය. ඔහු මේ වනවිටත් සුළු පක්ෂ ගණනාවක නායකයන් සමඟ දුරකතනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. විශේෂයෙන්ම වතුකර පක්ෂ, එජාප අර්බුදය ගැන කලකිරීමෙන් සිටින මුස්ලිම් කොංග්‍රසය සමඟ හොඳ හිත වගා කරගන්නට දැනටමත් මහින්ද සමත්ව ඇතැයි කියැවේ.

එහි එක් පියවරක් ලෙස කොළඹදී පවත්වන ලද විශේෂ භෝජන සංග්‍රහයකදී රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස නායක සහ බැසිල් රාජපක්ෂ මහතා හමුවී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතා විසින් වන අතර ඊට කොළඹ සිටින කැනේඩියානු මහ කොමසාරිස්වරයා, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු විශේෂ අමුත්තන් ගණනාවක්ම එක්ව සිටියහ. කලකට පසු මෙහිදී මුණගැසුණ බැසිල් සහ රවුෆ් පවත්නා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දේ කතා කළහ. එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් හටගෙන ඇති අවුල පිළිබඳව සුළු පක්ෂ දරන මතය ගැන මෙහිදී බැසිල් උනන්දුවෙන් විමසූ බව කියැවිණි. රවුෆ් හකීම් සම්බන්ධ තත්ත්වය එසේ වුවද රිෂාඩ් බදුයුදීන් ගැන පොහොට්ටුවේ උනන්දුවක් ඇති බවත් පෙනෙන්නට නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මහනුවර ජනාධිපති මන්දිරයේදී ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන් හමුවිය. ඔවුන් මහනුවර ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණේ පක්ෂයේ අනාගතය හා ඉදිරි ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරන්නටයි. ජනාධිපතිවරයාගෙන් මෙහිදී මන්ත්‍රීන් ගණනාවක් ප්‍රශ්න කර ඇත්තේ “ජනාධිපතිවරණයේදී තමන්ලා කුමක් කළ යුතුද? පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම සම්බන්ධ සාකච්ඡාවල තත්ත්වය කුමක්ද?” කියාය. මෙහිදී ජනාධිපතිවරයා කිසියම් සුබවාදී ස්ථාවරයක පිහිටමින් කරුණු දක්වා තිබිණි. ඔහු කීවේ මෙම ප්‍රශ්න ගැන තමන් හා මහින්ද රාජපක්ෂ මහතා අතරත් ගෝඨාභය රාජපක්ෂ මහතා අතරත් අදහස් හුවමාරු කරගත් බවත්. තිබෙන ප්‍රශ්න විසඳාගත හැකිවෙතැයි තමන් සුබවාදීව සිතන බවත්ය.

එහෙත් මේ ගැන ජනාධිපතිවරයාට වෙනම කරුණු දක්වා ඇති දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙක් කියා තිබුණේ තමන් ඇතුළු පිරිස නැවත පොහොට්ටුවට එක්වුවහොත් තම කණ්ඩායමට එහි දෙවැනි පෙළ නොව තුන්වැනි පෙළ හිමිවනු ඇත කියායි. ඒ නිසා ශ්‍රී.ල.නි.ප.යේ තීරණාත්මක බලය පෙන්විය යුතුය යන්න දුමින්ද මෙන්ම දයාසිරි ජයසේකර මහලේකම්වරයාගේ ද අදහස වී තිබිණි. මේ කතාබහ යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සාකච්ඡා අතරමග ඇනහිට ඇත. ඒ බව සාකච්ඡා කණ්ඩායමේ සිටින රෝහණ ලක්ෂ්මන් පියදාස මහචාර්යවරයා ද ප්‍රකාශ කර තිබිණි. “මේ ගැන මහින්ද - මෛත්‍රී තීරණයක් ගත යුතුය.” යන්න ඔවුන්ගේ මතය බව රෝහණ ලක්ෂ්මන් මෙන්ම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද මේ සතියේ කීහ.

නව යුද හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පත්කිරීම ගැන ලෝකයේ බලවත් රටවල් ගණනාවක් කුලප්පු වී සිටියි. අමෙරිකාව, යුරෝපා ප්‍රජාව, කැනඩාව, ස්විට්සර්ලන්තය ආදී රටවල් නව යුද හමුදාපති පත්කිරීම ගැන තමන් දැඩි අවධානයෙන් සිටින බව කියා තිබිණි. මෙයින් ජිනීවා යෝජනාවලට මෙන්ම යුද අපරාධ සම්බන්ධයෙන් පහවීමේ ක්‍රියාවලියට ද බාධා එල්ලවන බව ඔවුන්ගේ මතයයි. ශවේන්ද්‍ර ගැන තම රටදී රජයට විරෝධය පළකළේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසකි. ඔවුනට අවශ්‍ය කෙනෙක් මෙම තනතුරට පත්නොවීම සුමන්තිරන්ලාට මහත් හිසරදයක් වනු ඇත.

කෙසේ වෙතත් රජයේම අමාත්‍යවරයකු වන චම්පික රණවක ප්‍රකාශ කළේ මෙය ජනාධිපතිවරයා සතු අනන්‍ය බලයක් වගයි. ශවේන්ද්‍ර සිල්වා මානුෂීය මෙහෙයුම කාලයේ සටන් කළේ තමන්ගේ අම්මාගේ අප්පාගේ දේපොළ බේරාගන්නට නොව රට කොටි ත්‍රස්තවාදයෙන් මුදාගන්නට බව පැවසූ චම්පික මේ ගැන බටහිර රටවල් ගෙනයන අසාධාරණ විරෝධය ඉවත දැමිය යුතුයැයි කීය. එ.ජා.ප.යේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය ගැන සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේ සම්බන්ධව මාධ්‍යය විමසූ කළ සජිත් සඳහන් කළේ ශවේන්ද්‍රගේ ප්‍රශ්නයට අදාළව කැබිනට්ටුවේ කිසිදු සාකච්ඡාවක් සිදුනොවූ වගයි.

කෙසේ හෝ මේ ගැන ජනාධිපතිවරයාට එල්ල වූ විරෝධයන් හේතුවෙන් ගිය ඉරිදා කළ යුතුවූ ශවේන්ද්‍රගේ පත්වීම සඳුදා දිනට කල්ගියේය. එසේම හිටපු හමුදාපති මහේෂ් සේනානායක වෙනුවෙන් කළයුතු උන්තමාචාර පෙළපාළියද අඟහරුවාදාට කල්ගියේය. එහෙත් ජනාධිපතිවරයා ශවේන්ද්‍රව හමුදාපති ධුරයට පත්කොට ඒ සම්බන්ධ නෛතික තත්ත්වය විග්‍රහ කරමින් නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපති උපදෙස් මත විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් කියැවුණේ මෙරට හමුදාපති පත්කිරීම ජනාධිපතිගේ ස්වෛරී තීන්දුවක් වගය. මෙරට රාජ්‍ය සේවයේ පත්කිරීම් හා උසස් කිරීම් ගැන මෙන්ම රටේ අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලියට ඇඟිලි ගැසීම කිසිසේත්ම පිළිගත නොහැකියයිද එම නිවේදනයේ දැක්වේ. මෙලෙස ක්‍රියාකිරීම ස්වාභාවික යුක්ති මූලධර්මවලට ද පටහැනි යැයි එමගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිකුත් නිවේදනයට අමතරව මෙරට තවත් ජාතික සංවිධාන ගණනාවක් ද ශවේන්ද්‍ර සිල්වාගේ පත්කිරීමට එරෙහිව නැග ආ ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරැදී තිබිණි. ඒ සියලු දෙනාගේ මතය වී තිබුණේ අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මෙලෙස ඇඟිලි නොගැසිය යුතු බවය. කෙසේ හෝ ශවේන්ද්‍ර පත්කළ දිනයේම ජනධිපතිවරයා මුණගැසුණු ආසියාවේ අසල්වැසි බලවත් රටක මහකොමසාරිස්වරයෙක් ශවේන්ද්‍රගේ පත්වීමට සිය පූර්ණ සහය පළකළ බව දැනගන්නට තිබේ.

එ.ජා.ප.යේ සජිත් හිතවාදී මන්ත්‍රීහු ස්වකීය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ඉල්ලා සිටින තැනට තල්ලුවී සිටිති. කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි අමාත්‍ය සුජීව සේනසිංහගේ සොයුරියගේ නිවසේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සජිත් හිතවාදීන් සියල්ලන්ම පාහේ එක්වූහ. එය මන්ත්‍රීන් ගණනින් පනහකට ආසන්නය. ඉන් බොහෝ දෙනෙක් මෙහි තමන් එන බව රනිල් වික්‍රමසිංහ මහතාට කලින් දන්වා තිබිණි. මලික් - මංගල - රන්ජිත් - කබීර් - රිෂාඩ් බදියුදීන් - ආචාර්ය හර්ෂ - එරාන් - මුජිබර් - රහුමාන් - මරික්කාර් - අජිත් පී. පෙරේරා ආදී මැතිඇමැතින් පැමිණ සුහද අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හැමෝම කතා කළේ සජිත් සිය අපේකෂකයා කරගත යුතු ආකාරය ගැනයි. එහෙත් ඉන් ඔබ්බට ගැඹුරින් කතාබහක් සිදුනොවීය. සජිත් ප්‍රේමදාස මහතා ඊට එක්වූයේ රාත්‍රී 10.00ට පමණය. ඒ වනවිට සමහර මන්ත්‍රීන් ආහාර ගෙන පිටව යන්නට සූදානම්ව සිටියහ. සජිත් පැමිණි පසු ඔහු සමඟ ද බොහෝ දෙනා සෑහෙන වේලා කතාබස් කළහ.

අමාත්‍ය චම්පික රණවක මහතාගේ සිංහාභිමානය ඡායාරූප දැක්ම පසුගිය සතියේ දින තුනක් පැවැත් වුණේ කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදීය. විවිධ දේශපාලනඥයන් හිතවතුන් මාධ්‍යවේදීන් ආදීහු පැමිණ ප්‍රදර්ශනය නැරඹූහ. වනසත්ව ලෝලියකු වන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය බදාදා දහවල් මෙම ප්‍රදර්ශනය නැරුඹීම සඳහා ඕලන්ද රෝහල් පරිශ්‍රයට පැමිණියේය. ප්‍රදර්ශනය නරඹා තේ පානයෙන්ද පසු සජිත් අපූරු වැඩක් කළේය. ඒ ප්‍රදර්ශනයේ නිර්මාතෘ වූ චම්පික රණවක අමාත්‍යවරයාගේ ඡායාරූපයක් ගැනීමයි. අනතුරැව සජිත් අත තිබූ කැමරාව ඉල්ලා ගත් චම්පික සජිත්ගේ ඡායාරූපයක් ගත්තේය.

එජාපයේ ආශු මාරසිංහ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් එ.ජා.ප.යේම පාර්ශ්වයක් ක්‍රමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හදන්න යන බවට චෝදනා කළේය. ඒ බව සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ම පැවසුවේ යැයි කී ආශු මාරසිංහ මහතා කුමන්ත්‍රණ මගින් ජනප්‍රිය නායකයන් බිහිනොවන බවත් කුමන්ත්‍රණය කුමන්ත්‍රණකරැවාගේ ගමනක අවසානය බවත් කීය. ආශු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කළේ දින ගණනාවක් තිස්සේ තිරය පිටුපස පැතිර යන ආරංචියක් මූලාශ්‍ර කරගෙනයි. එයින් කියැවුණේ ශ්‍රී.ල.නි.පයේ පිරිසක් ද සම්බන්ධ කරගෙන සජිත් අගමැති වන බවත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන බවත්ය. එහෙත් කිසිවෙක් මෙම තොරතුර සනාථ කර නැත. පොලිටිකල් රහස් වෙනුවෙන් අප මේ ගැන සජිත් හිතවාදී එ.ජා.ප පෙරමුණේ පක්ෂ නායකයකුගෙන් විමසූ කළ ඔහු කීවේ “වියහැකිය” “වියහැකිය” කියායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සඳුදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම රැස්වීමේදී සතියේ පාර්ලිමේන්තු කටයුතු මෙන්ම තිබෙන ප්‍රශ්න ගැන ද කතා කෙරිණි. ගාල්ලේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා තමන්ට රමේෂ් පතිරණ පාර්ශවයෙන් දේශපාලන කටයුතුවලට බාධා සිදුවන බවට දීර්ඝ පැමිණිල්ලක් කළේය. රමේෂ් ඒ ගැන කරුණු දක්වමින් චන්දිමලාගේ පෙළපාළියකින් පසු මෙම තත්ත්වය හටගත් බව කීය. එහෙත් චන්දිම ඊට උත්තර දෙන්නට යාමත් ඩලස් අලහප්පෙරුම කරුණු දක්වන්නට යාමත් අසා සිටි මහින්ද රාජපක්ෂ මහතා කාට කාටත් අවවාද කළේ මැතිවරණය ජයග්‍රහණය සඳහා සියල්ලන්ම එක්වී ක්‍රියාකළ යුතු වගය. ඉන් අනතුරුව ලක්ෂ්මන් යාපා මන්ත්‍රීවරයා දෙසට හැරුණ  මහින්ද “ලක්ෂ්මන් මාතරත් ඒවගේ ප්‍රශ්න තියනවාද?” කියා විමසීය. “ප්‍රශ්න තියනවා සර් ඒත් ඒවා මට දැනෙන්නේ නැහැ.” යයි සිනාසෙමින් කී විට මහින්ද පොදුවේ සමගියේ අවශ්‍යතාව පහදා දුනි. ඒ අතර දිස්ත්‍රික් මට්ටමේ අභ්‍යන්තර කැපිලි මගින් යම් අපේක්ෂයකු පරාජය කරන්නට මෙන් තැත් කරත් නම් ඒ අය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වන බව ව්‍යංගයෙන් අඟවා තිබිණි.

මෙම හමුවේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දූෂිතයකු නොවන බව කියමින් ජනපතිවරයා සහතිකයක් දීම ගැන පොහොට්ටු මන්ත්‍රීහු මහින්දගෙන් විමසූහ. “මේ ඒ ගැන ඔයාලා කලබල වෙන්න එපා. ජනාධිපතිතුමා දේශපාලන ඔස්තාර් කෙනෙක්. එයාගේ ප්‍රකාශයෙන් එ.ජා.ප.යේ ප්‍රශ්න දැනටමත් පටන් අරන්.. යයි පිළිතුරු දුන්නේය.

ගිය බදාදා රාත්‍රී මහින්ද සහ ගෝඨාභය විසින් පොහොට්ටුවේ හා ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් වෙනුවෙන් ෂැංග්‍රිල්ලා හෝටලයේ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක හා මලිත් ජයතිලක හැර අන් සියලු මන්ත්‍රීන් පැමිණ සිටි බව වාර්තා විය. ගෝඨාභය සහ මහින්ද මේ අය අතරට ගොස් මන්ත්‍රීන් සහ ඔවුන් සමඟ පැමිණි මන්ත්‍රී බිරියන් සමඟ ද සුහදව කතාබහ කරමින් දෙපක්ෂය එකම වේදිකාවකට ගෙන ඒම සඳහා අවශ්‍ය පදනම දැමූ බව පොහොට්ටු ආරංචි මාර්ග කියයි.

එ.ජා.ප.යේ නායකත්වයට හා පක්ෂ පොදු තීරණවලට එරෙහිව කටයුතු කරන අයට එරෙහිව විනය පියවර ගතයුතු බව පසුගියදා අකිල විරාජ් කාරියවසම් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය. එලෙස විනය පියවර ගන්නේ කාටද ගන්නා පියවර කුමක්ද යන්න පැහැදිලි නැත. එසේ වුවත් සජිත් පිලේ ප්‍රබලයන් නියෝජනය කරන මන්ත්‍රී කොට්ඨාස ගණනාවකට සම ආසන සංවිධායකයන් පත්කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අතර ගිය බදාදා රාත්‍රියේ කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර ප්‍රමුඛ ඇමැති පිරිසක් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හමුවූහ. මෙම හමුවේදී රනිල්ගෙන් ඔවුන් ඉල්ලා තිබුණේ පක්ෂයේ ජනප්‍රිය නායකයකු වන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කළ යුතු වගයි. ඊට සාවධානව කන්දුන් අගමැතිවරයා ප්‍රකාශ කළේ ඒ නාම යෝජනාව ගැන ආණ්ඩුවට උදව් කරමින් ඍජුව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ සහ ආණ්ඩුවේ නැති දෙමළ සන්ධානය වැනි පක්ෂ සමඟ ද කතා කර යථාර්ථය වටහා ගන්නා ලෙසයි. ඒ අය සමඟ කතා කර බලන බව එහි ගිය ඇමැති පිරිස රනිල්ට කියා සාකච්ඡාව හමාර කර පැමිණියේ ආමත්‍ය මංගල සමරවීරගේ කොළඹ 7 නිල නිවසටයි. ඇමැතිවරුන් එහි යන විට දෙමළ සන්ධාන නායක සම්පන්දන්, මන්ත්‍රී සුමන්තිරන් ඇතුළු පිරිසක් එහි වූහ. එජාපය ඔවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන මෙන් ඉල්ලූ පසු සම්පන්දන් මහතා ඇතුළු පිරිස කීවේ මෙය ඉතා වැදගත් කරුණක් නිසා තීන්දුවක් ගත යුත්තේ දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂ ද සමඟ කතා කිරීමෙන් පසුව බවය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගිය බ්‍රහස්පතින්දා සවස හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණියේ විශේෂ සාකච්ඡාවන් සඳහාය. ඇය එහි එනවිට ජනාධිපතිගේ දැනුම්දීම අනුව දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ෆයිසර් මුස්තාපා ආදී ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් තිදෙනෙක් ද ජනපති නිවසේ වූහ. චන්ද්‍රිකා මැතිනිය පැමිණ මන්ත්‍රීන් නොමැතිව ජනාධිපතිවරයා සමඟ ඇතුළු කුටියකට වී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළේය. එම සාකච්ඡාවේ නිල තොරතුරු වාර්තා වී නැතත් රාජපක්ෂ කණ්ඩායමට ශ්‍රී.ල.නි.ප සහාය දීම ගැන චන්ද්‍රිකා මැතිනිය ස්වකීය බලවත් විරෝධය පළකළ බවත් රාජපක්ෂලාගෙන් රටට සුගතියක් සිදුනොවන බවත් සඳහන් කළ බවත් නිල නොවන ආරංචි මාර්ග කියයි.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර