2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

ජනපති නගින්නේ කාගේ වේදිකාවටද?

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 470

මහින්ද අපේක්ෂක නම් පහක් මන්ත්‍රී කණ්ඩායමකට කියයි
එ.ජා.ප. අපේක්ෂක තෝරන්න රහස් ඡන්දයක්ෆො
නී සහ අර්ජුනගේ අමුතු කතා
ගෝඨා ඡන්ද සටන රජරටින් අරඹයි
ජ.වි.පෙ. අපේක්ෂකයා අද එළිදකී
අපේක්ෂකයා නම් කළ පසු පොහොට්ටුව සමඟ කවර කතා දැයි දයාසිරි ප්‍රශ්න කරයි

 

සතියේ දේශපාලන කරළියේ වැදගත් සිදුවීම් දෙකක් වාර්තා විය. ඉන් පළමු වැන්න ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ස්වකීය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමයි. ගෝඨා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කරන දිනය දක්වාම විවිධ වෙබ් අඩවි. විකල්ප මාධ්‍ය හා ෆේස් බුක් ආදියෙන් ප්‍රචාරය වූයේ 11දා ගෝඨා අපේක්ෂකයා ලෙස නම් නොකරනු ඇති බවයි. මේ රටේ සිටින තෙම්පරාදු වූ දේශපාලනඥයකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ පුවත්වලට කදිමට පොහොර දැම්මේය. “මට අපේක්ෂක නම් 5ක් තියනවා. මම ගෝඨාභය නම් කර නැහැ.” ගෝඨා ගැන ඔයගොල්ලොනේ කියන්නෙ මම කියලා තියනවද?” යනාදි වශයෙන් මහින්ද වරින් වර මාධ්‍යයට කියපු කතා නිසා පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨා නොවනු දකින්නට කැමතිවූ අයට අලුත් ප්‍රවෘත්ති ලැබිණි. ගෝඨාට අමෙරිකාවේ නඩු දාලා පුරවැසිකම ඉවත් කරගැනීම බොරුවක් ආදී ප්‍රචාරවලට ද තටු ලැබිණි. කෙසේ හෝ මහින්දගේ උපක්‍රමය සාර්ථක කරමින් අන්තිම දවස දක්වා පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා ගෝඨා ද කියා සමහරු සැක කළෝය.

එහෙත් ගිය ඉරිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත් වන ලද විචිත්‍ර උත්සවයකදී ගෝඨාභයගේ නම මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරන ලදී. පෙහොට්ටුවේ සාමාජිකයන් ඒ පුවත අසා උත්කර්ෂවත් ලෙස ප්‍රීතිඝෝෂා නගද්දී ගෝඨා විරෝධි දේශපාලන කණ්ඩායම් අවුරුදු පහකට වැඩි කාලයක් ගෝඨාට එල්ල කළ චෝදනා මුවහත් කරමින් මාධ්‍ය ජාලා සටනක් පටන්ගෙන ඇත. මෙවර එම මාධ්‍ය ජාලා සටනේදී ප්‍රතිචාර දක්වන්නට පොහොට්ටුවේ න්‍යායාචාර්ය බැසිල් රාජපක්ෂ ද ක්‍රමවේද රාශියක් සකස් කර ඇතැයි පොහොට්ටු ප්‍රධානීහු පවසති.

කෙසේ හෝ 2019 ජනාධිපතිවරණය සඳහා මුලින්ම නම් කළ අපේක්ෂකයා වූයේ ගෝඨාභයයි. ඔහු නම් කරන්නට පෙර මහින්ද ස්වකීය පාර්ලිමේන්තු කණ්ඩායමත් පක්ෂ නායකයනුත් හමුවිය. එය කදිම දේශපාලන සංවාදයකි. එම සංවාදයේදී ගෝඨා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කරන්නට ලොකු සටනක් කළ උදය ගම්මන්පිල විමල් වීරවංශ ප්‍රමුඛ පක්ෂ නායකයන් මහින්දගෙන් විමසා සිටියේ “සර් කිව්ව නේද අපිට ජනාධිපති අපේක්ෂක නම් 5ක් තියනවය කීවානේ. අනේ අපට ඒක මුලින්ම දැනගන්න කියන්න.” කියාය. “හරි මෙච්චර කල් ඒක රහසක් හැටියටයි මම තියාගත්තේ. ඔය ගොල්ලො ඔච්චරම කියනවා නම් මම ඒ නම් පහ කියන්නම්. “ගෝඨාභය - දිනේෂ්, මෛත්‍රීපාල - චමල් එක්ක කුමාර වෙල්ගමත් මගේ ලැයිස්තුවේ හිටියා. හැබැයි දැන් වෙල්ගම “අවුට්” මහින්ද පැහැදිලි කළේය. “ඉතින් ඉතිරි නම්වලින් තෝරා ගත්ත නම් දැන් කියනවා තමුන්නාන්සේලගෙ අකමැත්තක් අසතුටක් තියනවා නම් කියන්න. යැයි පැවසූ මහින්ද ගෝඨාභය සිය පක්ෂ අපේක්ෂකයා ලෙස නම් කරන බව පැවසීය. මහින්දගේ යෝජනාව සියලුම පක්ෂවල ප්‍රධානීන් එක හඬින් අනුමත කළ අතර ඒ අනුව ඉරිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නිවේදනය කිරීමට තීන්දු කළේය. ඒ අනුව පහුවදා පවත්වන ලද පොහොට්ටුව අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවේදී කතා කිරීමට නියමිත වූයේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි. ඒ සඳහා දෙදෙනා වෙනුවෙන් කතා දෙකක් සම්පාදනය කළ යුතුවූ අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආචාර්ය නාලක ගොඩහේවා අදාළ කතා සම්පාදනය කළ බව වාර්තා විය. එයින් ගෝඨාගේ කතාව තනිකරම ස්වකීය ප්‍රතිපත්තිය විග්‍රහ කරන්නක් විය. සමුළුව පැවති දා උදෑසන ගෝඨාගේ හිතවතෙක් ඔහුගෙන් විමසා සිටියේ “අගමැතිතුමා ඔබ කම්මුතුකරන්නෙක් ලෙස හඳුන්වා කතා කළා. අද ඒකට උත්තරයක් දෙන්නේ නැත්ද” කියායි. එවිට ගෝඨා සිය හිතවතාට කීවේ “මගේ දේශපාලනය ඊට වඩා උසස් ඒවගේම මාර්ගයත් වෙනස්. රනිල් කියන දේට උත්තරය ජනතාව දේවි.. මම කතා කරන්නේ මගේ ප්‍රතිපත්ති ගැන පමණයි.” කියායි. කෙසේ හෝ පොහොට්ටුව සමුළුවේදී ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් කළ කතා විශාල සමාජ අවධානයක් දිනූ බව පසුව වාර්තා විය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්නය විසඳී හමාර වුවත් එ.ජා.ප.යේ ඒ ගැන හටගෙන ඇති අවුල සංකීර්ණ භාවයට පත්වෙමින් තිබේ. මෙතෙක් කල් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙනුවෙන් හඬ නැගූ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨයන් 20කට ආසන්න ගණනකගේ සහභාගීත්වයෙන් පසුගියදා බදුල්ලේදී පවත්වන්නට යෙදුණ ජන රැළිය පක්ෂයේ ඇති පැහැදිලි බෙදීම් පෙන්නුම් කළේය. එ.ජා.ප.යේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරන්නේ කරු, රවි, ජෝන්, අකිල, සාගල, ගයන්ත, කිරිඇල්ල ආදී පිරිසකි. පසුපෙළ මන්ත්‍රීන් හා ජ්‍යෙෂ්ඨයන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර, මංගල - කබීර්, තලතා - ගාමිණී ජයවික්‍රම, මලික් සහ තරුණ මන්ත්‍රීන් වන හේෂාන් විතානගේ චමින්ද විජේසිරි, දිලිප් වෙදආරච්චි, හර්ෂණ රාජකරැණා, අජිත් පෙරේරා, හර්ෂ ද සිල්වා ආදින් සජිත්ගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය පළකරති.

මේ අයගෙන් පසුපෙළ බහුතරයක් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා බදුල්ලේ සංවිධානය කළ සජිත් හිතවාදීන්ගේ රැස්වීමට පැමිණ සිටියහ. නමුත් මංගල - කබීර් - තලතා - මලික් ආදීහු එහි දක්නට නොවූහ. කෙසේ හෝ පසුගිය කාලය පුරාම පක්ෂ නායක රනිල් සමඟ කරන ලද සාකච්ඡා අසාර්ථකවීමෙන් පසු සජිත් හිතවාදීන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ විය. බදුල්ලේ පැවති ජනහමුවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමන්ගේ අරමුණ විස්තර කරමින් දීර්ඝ කතාවක් කර තිබිණි. තමන් අනිවාර්යයෙන්ම ජනතා සටනට එන බවට ඉඟිකළ සජිත් තමන් නොවැම්බරයේදී මේ රටේ ඉහළම තැනට යන බව සඳහන් කළේය. තමන් සිය පියාණන්සේම බිය නැති පුද්ගලයකු බවත් රට වෙනුවෙන් මරණයට පවා සූදානම් තැනැත්තෙක් බවත් සජිත් පැවසීය. එසේම තමන් දිව දෙකේ දේශපාලනඥයකු නොවන බව අවධාරණය කළ හෙතෙම අද කියනදේ හෙට වෙනස් නොකරන්නෙමැයි සඳහන් කළේය. රැළිය සංවිධානය කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ඌවවෙල්ලස්සෙන් ආරම්භ කළ සටනක් කිසිදින පරාජයවී නැතුවා සේම මෙවර බදුල්ලෙන් අරඹන සජිත්ගේ ගමන ජයග්‍රහණයෙන් කෙළවර වන බවය.

එ.ජා.ප.ය සමඟ හවුල් වී සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, වතුකරයේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂ තරයේම ප්‍රකාශ කරන්නේ එ.ජා.ප.යෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ප්‍රකාශයට පත්කොට නව දේශපාලන සන්ධානය අත්සන් කළ යුතුය කියයි. මනෝගනේෂන් අමාත්‍යවරයා මෙය සරල බසින් කියා තිබුණේ එ.ජා.ප.යේ සමහරු කියන කියන ආකාරයට වැඩකොට තමන්ට දේශපාලනය කරන්නට යා නොහැකි බවයි. රවුෆ් හකීම් මෙන්ම රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරුන් ද අපේක්ෂකයා නම්කරන තුරැ එ.ජා.ප.ය සමඟ සන්ධාන නැතැයි කීය. ඒ අතර එ.ජා.ප.යේ සජිත් හිතවාදී මන්ත්‍රීන්ගේ හමුවක් ගිය අඟහරුවාදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය කර තිබිණි. එහෙත් එය අවසන් මොහොතේ සඳුදාට කල්තැබු අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැය 1 ½ක පමණ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ උදෑසන අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසුවයි. තහවුරු නොකළ ආරංචි මාර්ග කියන්නේ සජිත් එහිදී ජනාධිපතිවරයාගේ සහාය තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි. ඒ ගැන ලබන 18 දා පමණ වනවිට තීරණයක් දෙන බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සජිත්ට හිතවාදි පිලේ සෑහෙන පිරිසක් කියා ඇත්තේ ජනාධිපතිවරයා කෙරේ එ.ජා.ප. පාර්ෂිකයන්ගේ ප්‍රසාදය හීනවී ඇති මොහොතක ඔහු සම්බන්ධ කරනොගන යුතු බවය.

ශ්‍රීලනිපය පැහැදිලි ලෙසම ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත් නොවන බව සඳහන් කර තිබේ. ඒ බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රසිද්ධියේම කීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රකාශයට පත්කළ විට අමරවීර මහතා කීවේ අප ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයේ වරදක් නොදකින නමුත් විසඳා ගතයුතු ප්‍රශ්න ගණනක් තිබෙන වගයි. වංචාව දූෂණය පිටුදැකීම. ආර්ථික ප්‍රතිපත්තිය හා විදේශ ප්‍රතිපත්තිය මෙහිදී ප්‍රධාන වන බව අමරවීර මහතා කීය. රට අරාජික තත්ත්වයෙන් මුදාගත හැකි නායකයකු කෙරේ තම පක්ෂය අවධානය දක්වන වගද ඔහු කීය. කෙසේ වෙනත් තම පක්ෂය ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කර පැත්තකට තල්ලු කරන්නට හැදුවොත් වෙනත් තීරණයක් ගන්නට සිදුවන්නේ යැයිද අමරවීර ලේකම්වරයා අවධාරණය කළේය. එ.ජා.ප.යේ අපේක්ෂකත්වය ගැන ලොකු අවුලක් ඇතිවී තිබෙන බවත් එහි අපේක්ෂකයා ගැන ශ්‍රී.ල.නි.ප. අවධානයක් නැති වගත් අමරවීර මහතා වැඩිදුරටත් කියා තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රී.ල.නි.ප.යේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහත්වරුන් දරන්නේ මෙයට වඩා වෙනස් මතයකි. දයාසිරි ජයසේකර සිය පාක්ෂිකයන් අමතමින් පවසා තිබුණේ පොහොට්ටුව සිය අපෙක්ෂකයා නම්කොට ඉන් අනතුරුව සාකච්ඡා කිරීමේ තේරුම කුමක්ද කියායි. එසේම පක්ෂයේ අවසරයකින් තොරව පොහොට්ටුවේ මහ සමුළුවට ගිය මැති ඇමැතින්ට විනය පියවර ගතයුතු බවද දයාසිරි සඳහන් කර තිබිණි. දයාසිරිලා කුමක් කීවත් මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී තින්දුවූයේ දෙපක්ෂය එක්ව මැතිවරණයට තරග කරීමටය. ඒ ගැන ගෝඨාභය මහින්ද හා මෛත්‍රී ද ඉදිරියේ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි. එ.ජා.ප.යේ ජනාධිපති අපේක්ෂකයන් විය හැකි බවට කල්තබා නම් කියැවුණ රාජිත සේනාරත්න සහ චම්පික රණවක අමාත්‍යවරැන්ගේ සහය සජිත් පිලට හිමිවන ලකුණු පහළ වී ඇත. එහෙත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට එරෙහිව දැඩි ලෙස අදහස් දක්වන්නට පටන්ගෙන තිබේ. ඔහු පසුගිය අඟහරුවාදා මාධ්‍ය අමතමින් කීවේ රටේ අවශ්‍යතාව සලකා එ.ජා.ප.යේ ජනාධිපති අපෙක්ෂකත්වය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටියහොත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. එසේම ඔහු සිය මාධ්‍ය සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතාත් ඔහුගේ පියාවූ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාත් දැඩිලෙස විවේචනය කළේය. ප්‍රේමදාස මහතා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ දුන් බවත් ඒ ආයුධවලින් ප්‍රභාකරන් ත්‍රිවිධ හමුදාව විනාශ කළ බවත් ඔහු පැවසීය. පොලිසියේ පිරිසකට කොටින්ට යටත් වන ලෙස නියම කළේ ප්‍රේමදාස මහතා බව කී ෆොන්සේකා මහතා මෙරට ත්‍රස්ත තර්ජනය තවමත් එලෙසම පවතින බවත් ත්‍රස්තවාදීන් 50%ක් එලෙස සිටින බවටත් තොරතුරු ඇති බවත් කීය. ඒ නිසා ජාතික ආරක්ෂාව අද ප්‍රමුඛස්ථානයට පැමිණ ඇතැයි ද ඔහු පැවසීය.

එ.ජා.ප.යට අමතරව පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභයට මේ සතියේ තද ප්‍රහාරයක් එල්ල කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාය. ඒ රාජපක්ෂලා ආවොත් නැවතත් මේ රට විනාශ කරනු ඇත යන අවලාදය ද නගමිනි. එසේම දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරු ද වහෙන් ඔරෝ භාෂාවෙන් හෝ ගෝඨාභය විවේචනය කළහ. ඒ අතර රවි කරැණානායක මහතා එ.ජා.ප. අපේක්ෂකත්වය අපේක්ෂා කරන සජිත් ගැන කරන විවේචන දිගටම කරගෙන යමින් සිටී. තාත්තාගෙන් පුතාට යන දේශපාලනය එපායැයි රවි කියද්දී රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට කෙක්කෙන් හෝ කොක්කෙන් අපේක්ෂකත්වය ලබාගන්නා වගයි. සජිත්ට එ.ජා.ප. අපේක්ෂකත්වය නොලැබුණොත් වෙනත් පක්ෂයකින් සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවන බව අමාත්‍ය දිලිප් සඳහන් කළේය. ඒ අතර එ.ජා.ප.යේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගන්නට මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යධිකාරිය කැඳවා රහස් ඡන්දයක් තබන්නැයි ද ඉල්ලීමක් කර තිබේ. පසුපෙළ මන්ත්‍රීවරු මේ සඳහා ලිපියක් ද අත්සන් කරමින් සිටිති.

පක්ෂ මාරු මත ගැටුම් මැද ඉදිරියට ඇදෙන ජනාධිපතිවරණය ගැන සුදුසු මොහොතේ තීන්දුවක් ගන්නා බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා තිබිණි. රටට අවශ්‍ය ශක්තිමත් කියන නායකයකු යැයි ද ඔහු කීය. පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිලෙස විවේචනය කළ කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මහතා ද අවසන් මොහොතේ සිය තීන්දුව වෙනස් කර ගෝඨාභයට සහය දෙනබව පැවසීය. ජාතික ආරක්ෂාව සහ විනය අවශ්‍ය රටකට ගෝඨා ගැලපෙන බව ඩිව්ගේ මතය වී තිබිණි.

ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ඉතාමත් වැදගත්ය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ ගැන සිය දෙපාර්තමේන්තු සටහනක කියා තිබුණේ අපේක්ෂකයන් දෙදෙනෙකුට වඩා ඉදිරිපත් වුවහොත් ඡන්දවලින් 50%ක් ලබාගැනීම ඒ අයට දුෂ්කර වනු ඇති බවය. කෙසේ හෝ දෙමළ ජාතික සන්ධානය මෙහිදී කරන්නේ කුමක්ද යන්න ගැන රටම බලාසිටී. සාමාන්‍ය සිරිත් පරිදි මෙරට මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ පසු දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යාම සිදුවෙයි. ගෝඨාභය ජනාධිපති අපේක්ෂක ලෙස පොහොට්ටුව විසින් නම්කොට දින දෙක තුනකට පසු සම්පන්දන් මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා නවදිල්ලියට ගියේය. ඔහු එහිදී වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අතර ඉන්දියා දේශපාලන බලධරයන් ගණනාවක් මුණගැසෙනු ඇතැයි සඳහන්ය. ඒ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් කොළඹදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයේදී සිය පක්ෂය ක්‍රියාකරන ආකාරය ගැන තීන්දුවක් ගන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව බවයි. උතුරේ තවත් දේශපාලන බලවතෙකු වන හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කියා තිබුණේත් ඒ ඒ ප්‍රධාන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යයනය කොට උතුරේ ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්දය පාවිච්චි කළ යුතු වගයි. ඡන්දය නොදී සිටීම වරදක් යැයිද විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබිණි. ඒ කටයුතු සිදුවෙද්දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ස්වකීය මන්ත්‍රී කණ්ඩායමට අවවාදයක් ලබාදෙමින් කීවේ දෙමළ හෝ මුස්ලිම් දේශපාලන නායකයන් විවේචනය නතර කරන හැටියටයි. ඒ අයගේ ඡන්දය ඉදිරි ජනාධිපතිවරණයේදී ඉතාමත් වැදගත් වන බැවින් මෙම අවවාදය කරන බව මහින්ද කියා තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ ද ස්වකීය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පුවත් මවමින් සිටී. ඇතැමෙක් ප්‍රකාශ කරන්නේ ජ.වි.පෙ. අපේක්ෂකයා වන්නේ පක්ෂ නායක අනුර දිසානායක බවයි. එහෙත් තවත් ජ්‍යෙෂ්ඨයන් කියන්නේ රටේ පරිපාලනය මූල්‍ය නීතිය ආදිය ගැන විශාරදයකු ජනාධිපතිවරණයට ජ.වි.පෙ.න් ඉදිරිපත් කරන වගයි. බොහෝ දෙනා ඒ ගැන අනුමාන කරන්නේ හිටපු විගනාකාධිපති. ගාමිණී විජේසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරගයට ඉදිරිපත් වන බවයි. මේ අපෙක්ෂකයා හඳුන්වාදීම සඳහා වන රැළිය අගෝස්තු 18දා (අද) ගාලුමුවදොර පිටියේදී පවත්වන බව ජ.වි.පෙ නිවේදනය කර ඇත. ඒ අනුව දැනට ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂවලින් අපේක්ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් වන බව සනාථ කර ඇත. මේ හැර නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත ආදී අපේක්ෂකයන් ද ජනතා සටනට එන බව කියා තිබේ.

කෙසේ හෝ මේ ආකාරයට අපේක්ෂකයන් පෙළගැස්ද්දීත් එ.ජා.ප.ය තවමත් අපේක්ෂකයකු නම් කර නොතිබීම ගැන පක්ෂ පසුපෙළ මන්ත්‍රීන් බ්‍රහස්පතින්දා වනවිට සිය දැඩි කනස්සල්ල පලකර තිබිණි. ගිය අඟහරැවාදා ඒ ගැන තීරණයක් ගන්නට එ.ජා.ප. පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් කැඳවා තිබුණි. හවුල්කාර පක්ෂ ප්‍රධානීන් වූ රවුෆ් හකීම් හා මනෝගනේෂන් (මෙ දින හමුවට දිගම්බරම් පැමිණ තිබුණේ නැත.) හා සෙසු නායකයන් රැස්වූයේ එ.ජා.ප. නායක රනිල් හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරැන්ගේ ද සහභාගීත්වයෙනි. එහිදීත් සුළු පක්ෂ ප්‍රධානීන්ගේ මතය වූයේ කඩිනමින් එ.ජා.ප.යට සිය අපේක්ෂකයා නම්කොට සන්ධානය ස්ථාපිත කළ යුතු වගයි. ඒ ගැන සොයාබැලීමට උප කමිටුවක් පත්කර තීන්දුවක් ගනිමු යැයි රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණි. කෙසේ නමුත් එය පමානොකළ යුතු බවට බොහෝ දෙනා මත පළ කළෙන් මෙම සෙනසුරාදා (ඊයේ සවස) පක්ෂ නායකයන් රැස්වී තීන්දුවක් ගතයුතු බවට යෝජනා විය. පවත්නා තත්ත්වයේ හැටියට පක්ෂ නායක රනිල්ට සෙසු පක්ෂ නායකයන්ගේ හා සජිත්ගේ මතයට කන්දී ක්‍රියාකිරීමට සිදුවනු ඇතැයි පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් සජිත් ඉල්ලා රට පුරා පවත්වන ජන රැළි තවදුරටත් ඉදිරියට ගෙනයාමට ද සජිත් හිතවාදීන් තීන්දු කර ඇත. ඒ අනුව මීළඟ රැස්වීම මාතරදීත් ඉන් අනතුරැව මාතලේදීත් සජිත් ජනපතිවරණයට ඉල්ලා බලකෙරෙන ජනහමු පැවැත්වීමට සජිත් හිතවාදීහු අපේක්ෂා කරති. ඉන්අනතුරුව ගොල්ෆේස්හිදීද සජිත් වෙනුවෙන් රැළියක් පවත්වන්නට ඔවුන් සූදානම්ය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර