2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

කරු ජයසූරිය ජනපති සටනට සැරසෙයි

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 363

මාස එකහමාරකට වැඩි කාලයක් තනතුරුවලින් ඉවත්ව සිටි මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් තුන්දෙනෙකු හැර සෙසු අය මේ සතියේ නැවතත් පෙර දැරූ අමාත්‍ය පදවිවල වැඩ භාරගත්හ. ඒ සඳහා පැවති සාකච්ඡා ගණනාවකදී මේ ගැන පොදු තීරණයකට එළඹීමට නොහැකි වුවද පසුගිය සඳුදා පෙරවරැවේ පැය දෙකකට ආසන්න කාලයක් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ නිවසේ පැවති හමුවකින් පසු තනතුරු භාරගැනීමට තීන්දු විය. එහෙත් හිටපු පළාත් පාලන හා පළාත් සභික රාජ්‍ය අමාත්‍ය එච්. එම්. එම්. හාරිස් මහතා තනතුර භාරගැනීමට මුල සිටම විරුද්ධ විය. තනතුරු අත්හරින ලද ඇමැති කණ්ඩායමට හාරිස් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම බලපෑම් කළේ නැවත තනතුරු භාර නොගත යුතු බවයි. ඔහු නියෝජනය කරන කල්මුණේ උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත ප්‍රධාන ප්‍රා. ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමේ ආණ්ඩුවේ තීන්දුවට විරෝධය පළකරමින් හෙතෙම තනතුර ප්‍රතික්ෂේප කළේය. දිවුරුම් දීම සඳහා කොළඹට නොපැමිණි හාරිස් මහතා කල්මුණේ ප්‍රදේශයේ රැඳී සිටිමින් ජනතාව හමුවී ඔවුනට අසාධාරණයක් සිදුකළ බව දැනුම්වත් කළ අතර තනතුරු භාරගත් අමාත්‍යවරුන් දැඩි ලෙස විවේචනය කළ බවත් වාර්තා විය.

මේ තත්ත්වය මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා ද දැඩි අපහසුතාවකට පත්විය. කෙසේ හෝ නැගෙනහිර පළාතේ මඩකලපුව හා පොතුවිල් ආසන නියෝජනය කරන අලි සහීර් මවුලානා හා පයිසාල් කාසිම් යන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා ද අවසන් මොහොතේ තනතුරු භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව නැගෙනහිර තම ඡන්ද පදනම මෙයින් දෙදරා යනු ඇතැයි හටගත් බිය බව වාර්තා විය. කෙසේ හෝ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා නැවත දිවුරුම් දීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී උදය ගමමන්පිල මහතා ප්‍රකාශ කළේ තමන්ලා අමාත්‍ය බදුර්දීන්ට එල්ල කළ චෝදනා කිසිවක් ගැන විධිමත් පරීක්ෂණයක් සී.අයි.ඩීය විසින් සිදු නොකරන ලද බවයි. ඔහුගේ අයථා දේපොල රැස් කරගැනීම් ගැන ඉඩම් පිටපත් සමඟ පැමිණිල්ලක් තමන් භාරදුන් නමුත් අක්කර දහස් ගණනක් ලබාගත් ආකාරය ගැන පරීක්ෂණයක් නොකර බදුර්දීන් නිදහස් කළ බවත් ගම්මන්පිල මහතා පැවසීය. එනිසා රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැවතත් විශ්වාස භංගයක් ගෙන එන බව මන්ත්‍රීවරයා කීය. අතුරලියේ රතන හිමියන්ද රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට තමන්ගේ උපරිම සහය දෙන බව සඳහන් කළෝය.

රිෂාඩ් බදියුදීන් මහතාගේ ශ්‍රී ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරන එම්. ඒ. ජමීල් මහතා තමන් දරන නියෝජ්‍ය නායක පදවියෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය බදියුදීන්ට පවසා ඇත. ඊට හේතුව පක්ෂයේ නායකයන්ට තනතුරු භාරගන්නට තිබෙන උනන්දුව මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා නොමැති බැවින්යැයි ජමීල් මහතා ප්‍රකාශ කළේය. මුස්ලිම් ජනතාව තමන්ගෙන් අයථා ප්‍රශ්නවලට උත්තර දී ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් තනතුරින් ඉවත් වන වග හෙතෙම වැඩිදුරටත් කියා තිබිණි. යට කී ලෙස මුස්ලිම් කොංග්‍රසයේ ද මෙවැනි තත්ත්වයක් හටගෙන ඇති අතර නැගෙනහිර පළාත නියෝජනය කරන පයිසාල් කසීම් හා අලි සෆීර් මවුලානා යන මහත්වරු තනතුරු භාර නොගත්තේ නැගෙනහිර මුස්ලිම් ජනතාව කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගැන කරන ලද ඉල්ලීම නොතකා රජය දෙමළ සන්ධාන මතයට කන්දීම නිසා ඊට විරෝධය ද සමනය කරගන්නට රජය යම් පියවරක් ගන්නට පෙර හකීම් මහතා තනතුරු භාරගැනීම ගැන පක්ෂයේ නැගෙනහිර නායකයන් දැඩි ලෙස කැළඹී සිටින වග සඳහන්ය.

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යම් උත්සාහයක් දරන නමුත් මේ සතිය වනවිට එම උත්සාහය නොකෙරෙන වෙදකමක් බවට පත්ව තිබිණි. මේ සඳහා අවශ්‍ය ගැසට්ටුව ගෙවී ගිය සතියේ නිකුත් කරන බව මාධ්‍ය වාර්තා කර තිබුණ ද එවැන්නක් සිදු නොවීය. අප වෙත වාර්තා වන ආකාරයට මේ ගැන උපදෙස් ගන්නට ජනාධිපතිවරයා පසුගිය වසරේ සෙනසුරාදා සැන්දෑවේ හදිසියේම නීතිපතිවරයා සිය නිවසට කැඳවා තිබිණි. ජනාධිපති නීතීඥ පදවි ලැබූ ගාමිණී මාරපන මහතාගේ පුත් නවීන් මාරපන මහතාගේ නිවසේ පැවති රාත්‍රි සාදයක් අතරතුර ජනාධිපතිවරයා හදිසියේම නීතිපති කැඳවා තිබිණි. ඔහු නිවසට පැමිණි නමුත් ඒ සමඟ එන්න නියමිත වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ආවේ නැත. ජනාධිපතිවරයා වහා දුරකතනයෙන් මහින්ද දේශප්‍රිය අමතා ඉක්මනින් තම නිවසට එන්නැයි දනුම්දුන්නේය. “සර් මට දැන් නම් එන්න බැරි වේවි. මොකද මම ඉන්නේ එංගලන්තේ රාජකාරි වැඩකට ඇවිත්” යැයි මහින්ද කියූවිට ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා පමණක් මේ ගැන සාකච්ඡා කොට පළාත් සභා ඡන්ද කැඳවීමේ ගැසට්ටුව ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව නීතිපති උපදෙස් පැතීය. එහෙත් පසුව වාර්තා වූ ආකාරයට එහි ඇති හැකියාව පිළිබඳ නීතිපතිවරයා ජනාධිපතිවරයාට පැහැදිලි නිර්දේශයක් ලබා දී නොතිබුණ බව සඳහන්ය. කෙසේ හෝ ජනාධිපතිවරණය ද ඉතා ඉක්මනින් පවත්වන්නට යන නිසා ඔක්තෝම්බර් මස 15ට පෙර පළාත් සභා ඡන්ද තැබිය යුතුය. එසේ නොවන්නේනම් ජනාධිපතිවරණය සඳහා සූදානම් වනු හැර අන් විකල්පයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද ජනාධිපතිවරයාට දන්වා තිබිණි. ඒ අනුව දැන් පෙනේනේ පළාත් සභා ඡන්ද වෙනුවට ජනාධිපතිවරණක් පැවැත්වීමට සිදුවන බවයි. නමුත් පැෆරල් සංවිධානය යෝජනා කර තිබුණේ මැ.කො.ට අවශ්‍ය නම් මේ ඡන්ද දෙකම එක දිනයක පැවැත්විය හැකි බවය. නමුත් එය යෝජනාවක් පමණි.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා නැවතත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ ධූර කාලයේ ආරම්භ වන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් ලබාගන්නා හැටියටයි. මහින්ද අමරවීර හා දයාසිරි ජයසේකර යන මහත්වරු ඒ ගැන අදහස් දක්වා තිබිණි. මේ කතාබහ යද්දී ශ්‍රී.ල.නි.පයේ පිරිසක් එ.ජා. සන්ධානයට එක්වීමට කෙළින්ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඊට මුල් වූයේ මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුය. ඔවුනට අමතරව ලසන්ත අලගියවන්න, මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරැ ආදීන් ද ඇතුළුව අටදෙනෙක් පමණ එ.ජා.පය සමඟ වෙනම කණ්ඩායමක් ලෙස සන්ධානගත වූ දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා ද සහභාගී වීමට උත්සාහ දරා ඇතත් එය අවසන් මොහොතේ ව්‍යාර්ථව ඇත.

එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා ආදීන් සන්ධානගත වන්නට ගත්තේ පොහොට්ටුව සමඟය. ඒ ගැන දැනටමත් මූලික සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. එහෙත් රන්ජිත් සියඹලාපිටිය වැන්නන් බඳවාගැනීම ගැන පළාතේ පොහොට්ටුව ප්‍රධානීන් බරපතළ විරෝධයක් දක්වා තිබේ. ඒ අතරතුර පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ලබන 11දා පැවැත්වෙන පොහොට්ටුව මහා සමුළුවේදී එ.ජා.ප පනත ගොඩනගන කිහිපදෙනෙක් පොහොට්ටුව වේදිකාවට නගින බවය. ඒ ගැන දැනටමත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති බවත් යාපා මහතා කීය.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහාන නිවසේ විවේක සුවයෙන් පසුවෙයි. ඔහු ලබන 12 දක්වා කිසිදු දේශපාලන කටයුත්තකට එක් නොවන බවද වාර්තා වෙයි. ගෝඨාභය රාජප්ෂ මහතා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබද්දී බොහෝ දෙනෙක් ඔහු බලන්නට එරටට ගිය අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ දුරකථන ඇමතුමක් මඟින් ගෝඨාගේ සුවදුක් විමසා බොහෝ වේලා අල්ලාප සල්ලාපයේ යෙදුණි. ගෝඨා මෙරටට පැමිණි පසු ඔහුගේ සුව දුක් විමසන්නට පැමිණි අමුත්තන් අතර අමාත්‍ය සාගල රත්නායක ද විය. සාගල බොහෝ කලක පටන් ගෝඨාභයගේ පෞද්ගලික මිතුරෙකි. ගෝඨා හමුවන්නට පැමිණි සාගල ඔහුට සුභපතා බොහෝ වේලාවක් දේශපාලනය ගැන කතාබහක නිරත වූ බව දැනගන්නට ඇත. මේ සියලු සිදුවීම් මධ්‍යයේ 11 දා පොහොට්ටුව මහ සමුළුවේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කරන්නට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා පසුබිම සැකසෙමින් තිබේ. නමුත් එය ප්‍රමාද වන්නේ ජනාධිපති මෛත්‍රී තවමත් ඒ සඳහා මහින්දට වේලාවක් ලබා නොදුන් නිසාය. කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණය ගැන තීරණය මත සාකච්ඡාවක් සඳහා අද හෙටම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවන බව දේශයට වාර්තා වෙයි. මෙම හමුවේදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන බොහෝ සංකීර්ණ ගැටලු විසඳා ගැනීමට හැකිවනු ඇතැයි දෙපක්ෂයම අපේක්ෂා කරන බවද දැනගන්නට ඇත.

ඉතා ඉක්මනින් මේ සඳහා ජනාධිපතිවරයා ගෝඨාභය වේලාවක් ලබාදෙනු ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමෙන් පසුව ඔහුට ඒ සඳහා නිකුත් කළ සහතිකය සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර ඇතැයි ගෝඨාට සමීප ආරංචිමාර්ග කියයි. එය ලබන 11දාට පෙර සිදු කෙරේ. එහෙත් මේ සතියේ ගෝඨාගේ පුරවැසිකම අහෝසි කළ බව දැක්වෙන ව්‍යාජ ලිපියක් ෆේස්බුක් මගින් ප්‍රචාරය වූ අතර ඒ ගැන බොහෝ දෙනෙක් ගෝඨාගෙන් විමසා තිබුණි.

කතානායක කරු ජයසූරිය මහතා එ.ජා.පයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි යන කතාබහට අලුත් තොරතුරු ඉදිරිපත්ව තිබේ. ඔහු පසුගියදා විශේෂ ඡායාරෑප ගැනීමේ සැසියකට සහභාගී වීම ඉන් පළමු පුවතයි. එසේම ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන්ගෙන් තමන් ඉදිරිපත් වන්නේනම් එයට සහාය පැතූ බවද සඳහන් වෙයි. දිවයිනේ ප්‍රකට එ.ජා.ප හිතවාදී ව්‍යාපාරිකයකු වන කිරු නඩේසන් මහතා මාර්ගයෙන් කරුගේ හිතවතුන් අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොරතුරු විමසූ බවද සඳහන්ය. එහෙත් කරු ජයසූරිය මහතා මෙම තොරතුරු කිසිවක් සනාථ කර නැති අතර ඔහු පවසන්නේ තමන් එ.ජා.ප ජනාධිපතිධූර අපේක්ෂකත්වය ඉල්ලුම් කර නැති අතර යම් හෙයකින් පක්ෂය තමන්ගෙන් රට වෙනුවෙන් මෙම වගකීම භාරගන්නා ලෙස ඉල්ලා සිටියහොත් ඊට ප්‍රතිචාර දක්වන්නට සූදානම් බවය.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව අඟහරුවාදා උදෑසන පැවැත්විණි. එහිදී විවාදයට තුඩු දුන් ප්‍රධානම කරුණ වූයේ වතු කම්කරුවන්ගේ රුපියල් 50/- වැටුප් වර්ධකය ලබාදීමයි. ඒ සඳහා නැවත තාවකාලික පදනමින් ලැබුණ රුපියල් මිලියන 600ක පමණ මුදල අදාළ වතු සමාගම් වෙත ලබාදීම සඳහා පලනි දිගම්බරම් අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට නිදහස් කරන මෙන් වැවිලි ඇමැති නවීන් දිසානායක කැබිනට්ටුවෙන් ඉල්ලා සිටියේය. එවිට දිගම්බරම් අමාත්‍යවරයා කීවේ එම මුදල් ගනුදෙනුව වැවිලි ඇමැති ඉටු කළ යුතු කාර්යයක් බවයි. ඒ සමඟ දෙදෙනා අතර වාග් සටනක් හටගැනුණි. “ඕගොල්ලෝ වතුකරේදි මගේ පඹයෙකුත් පුච්චලා ලොක් විරෝධයක් පළකරලා තියනවනේ. ඒ නිසා මටනම් මේ මුදල් ගෙවන්න පුළුවන්කමක් නැහැ...” යැයි නවීන් දිසානායක මහතා කීය.

“නෑ.. නෑ.. ඇමැතිතුමා ඒක භාරගන්න ඕන නැහැ. වතුකර ජනතාව ඒ විරෝධය පළකළේ ආණ්ඩුවටයි “කියද්දිත් නවීන් අමාත්‍යවරයා තම ස්ථාවරයේම රැඳී සිටියේය.

“හොඳයි ළඟදි ඡන්දෙ එනවනේ. අපි ඡන්දෙදි බලාගනිමු”. කියමින් අමාත්‍ය දිගම්බරම් කතාව හමාර කළේය.

කැබිනට්ටුවේ සාකච්ඡා වූ අනෙක් කරුණ වන්නේ තලතා අතුකෝරළ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ බුර්කාව තහනම් කිරීම සඳහා වන යෝජනාවයි. මෙහිදී කරැණු දැක්වූ අමාත්‍යවරිය බුර්කාව හදිසි නීති රෙගුලාසි යටතේ දැනටමත් තාවකාලික තහනමකට ලක්කර තිබේ. නව යෝජනාව මගින් ඇමැති තලතා ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු පනතක් මගින් බුර්කාව ස්ථිරවම මෙරට තහනම් කිරීමටය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක මෙහිදී ඉල්ලීමක් කරමින් තමන්ට මෙම පනත හරියාකාරව අධ්‍යයනය කර ගැනීමට නොහැකිව වූ බැවින් ඒ සඳහා සතියක පමණ කාලයක් සිය මන්ත්‍රීන්ට අවශ්‍යයැයි රවුෆ් හකීම් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

මේ සතියේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ය. උන්වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තබමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය යුතුකම් ඉටු නොකළ බවයි. රජයෙන් යුතුකම් නොකෙරෙන විට විපක්ෂය ද ඊට මැදිහත්ව සාධාරණය ඉටු කරවා දියයුතු යැයි කී කාදිනල් හිමියෝ විපතට පත් කතෝලික ජනතාවට සාධාරණය ඉටු නොකර කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස දැන්වීය. එසේම තමන් කොන්ද පණ නැති නායකයකුයැයි කීවේ ජනාධිපතිතුමාට නොවේ යැයි පැවසූ උන්වහන්සේ එතුමා එය භාරගන්නේ නම් තමන්ට කරන්නට දෙයක් නැතැයි ද පැවසූහ. එසේම තමන්ට දේශපාලන ලේබල් ගසන්නට එපා යැයි මාධ්‍යයට කී කාදිනල් හිමියෝ තමන්ට පක්ෂයක් නැති බවත් තමන්ගේ පක්ෂය ශ්‍රී ලාංකික ජනතාව පමණක් බවත් අවධාරණය කළේය.

වසර 5කට පමණ පසු හිටපු ජනාධිතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සුහද කතාබහක නිරත වනු දක්නට ලැබිණි. ඒ සිද්ධිය සිදු වූයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සන්හිඳියාව පිළිබඳ ජාතික සමුළුවේදීය. බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සංවිධානය කළ මෙම සමුළුවට ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා, හිටපු ජනාධිපතිනිය හා සර්ව ආගමික නායකයෝ එක්වූහ. එහි ආරම්භක අවසථාවේ පොල්තෙල් පහන දල්වන්නට මහින්ද හා චන්ද්‍රිකා ද ආරාධනා ලැබූහ. දෙදෙනාම එක් ස්ථානයකට ගොස් සිටගත් විට මහින්ද දෙස බලා සිනාසුණ චන්ද්‍රිකා “මම ඔයත් එක්ක හිටගත්තම මිනිස්සු හිතාවි මමත් පොහොට්ටුවට බැඳිලය කියලා” යනුවෙන් පවසා නැවතත් සිනාසෙද්දි මහින්ද කීවේ “ඉතින් ඒක හොඳයිනේ” කියායි. ඔවුනගේ සංවාදය එම වචනවලට පමණක් සීමා විය.

ඊට සුළු වේලාවකට පසුව මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ පොහොට්ටුවේ පක්ෂ නායක හමුවටයි. හමුව ආරම්භයේදීම ලබන 11 දා පැවැත්වෙන පොහොට්ටුව පළමු වාර්ෂික සමුළුව සඳහා ආරාධනා පත්‍ර සියලු පක්ෂ නායකයන්ට බෙදා දුන්හ. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත පක්ෂ නායකයන්ට ලබාදුන්නේ ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස දක්වමිනි. මෙයට පෙර සුළු පක්ෂ ගණනක් සමඟ අත්සන් කළේ සන්ධාන ගිවිසුමක් නොව මූලික අවබෝධතා ලිපියක් බවද එහිදී ප්‍රකාශ කැරිණි. ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී ඉල්ලා සිටියේ තම පක්ෂයෙන් කැඩී ගිය අය පොහොට්ටුවේ පක්ෂ ලෙස පිළිනොගන්නා ලෙසය. එසේම පොහොට්ටුවේ ප්‍රධානීන් යාපනයට යනවිට තමන් දැනුම්වත් කළ යුතුයැයි කීවේ පසුගියදා නාමල් රාජපක්ෂ මහතා යාපනේ ගිය බව තමන්නේ නොදන්නේ යැයි පවසමිනි. ඉදිරියේදී ඒකාබද්ධය වෙනුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම ගැනද අදහස් හුවමාරු විය. රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය තවමත් න්‍යාය පත්‍රයේ ඇති නිසා නැවතත් එය ක්‍රියාත්මක කරන්නේද නැතිනම් රතන හිමියන් ගෙන එන විශ්වාසභංගයට සහය දෙන්නේද යන්න ගැන හොයාබලන ලෙස මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන වහා උදය ගම්මන්පිලට දැන්වීය.

ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ජ.වි.පෙ. ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවීම සඳහා ජනතා මධ්‍යස්ථානය නමින් මූලස්ථානයක් ආරම්භ කර ඇත. ඔවුන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අලුත් ලකුණකින් තරග වදින බවත්, පක්ෂ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කීය. ලබන අගෝස්තු මැද වනවිට අපේක්ෂයා නම් කරනු ඇති බවද හේරත් මන්ත්‍රීවරයා කීය. ජ.වි.පෙ. ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඉදිරිපත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියන අතර ඇතැම් ජ.වි.පෙ. හිතවාදීන් කියන්නේ ඒ සඳහා ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වීමට ද ඉඩ ඇති බවයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන තෙක් එ.ජා. පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් නොකරන බව එ.ජා.ප. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍යයට කීය. ඒ අතර ගිය බ්‍රහස්පතින්දා නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සැකසීම ගැන සාකච්ඡා කරන්නට එ.ජා.පයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් කැඳවා තිබිණි.

එ.ජා.ප.යේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණු වරක් ගනු ඇතැයි මුල සිටම ආරංචි පැතිරෙමින් තිබිණි. කෙසේ හෝ බ්‍රහස්පතින්දා උදෑසන 9.30 වනවිට සාමාජිකයන් 72ක් පමණ කෘත්‍යාධිකාරියට පැමිණ සිටියහ. රැස්වීම ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකවරයා විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවීම ගැන විස්තර කළේය. ඒ සමඟ ඊට අදාළ ගිවිසුමද ව්‍යවස්ථාව ද සභාවට ලබාදුන්නේය. සුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා මහත්වරුන් එහිදී යෝජනා කළේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරා සන්ධානය හදමු කියායි. මලික් සමරවික්‍රම මහතා සන්ධාන ගිවිසුමට සංශෝධන එක්කළ යුතු යැයිද කීය. ඉක්මනින් එ.ජා.ප.යෙන් අපේක්ෂකයා තෝරාගත යුතු බව බොහෝ දෙනෙක් නිසා සන්ධාන ලේකම් මහ ලේකම් ධුරයට පිටස්තරයකු පත්නොකළ යුතු බවත් පෙන්වා දෙනු ලැබීය. මේ කතා අතර මංගල සමරවීර මහතා පැවසුවේ තමන් ශ්‍රීලනිපයේ සිටියදීත් සන්ධාන ගැසු බවත්. ඒවායේ ද වැඩි බලය තිබුණේ ශ්‍රී.ල.නි.ප.යට වගත්ය. මේ කතා අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට පක්ෂය විසින් බාර දෙන්නේ නම් සන්ධාන මහ ලේකම් ධුරය තමන් බාරගන්නා බව කීය.

කෙසේ හෝ නව සන්ධාන ව්‍යවස්ථාව ගැන මෙහිදී ප්‍රබල විවාදයක් හටගෙන ඡන්දය විමසන තැනටම කතාව තල්ලුවිය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 35කුත් විපක්ෂව ඡන්ද 8කුත් 29 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීමත් කළ බව රනිල් වික්‍රමසිංහ හිතවාදීන් පවසන අතර සජිත් හිතවාදින් පවසන්නේ තම කණ්ඩායමට ඡන්ද 30කුත් පක්ෂව ඡන්ද 10කුත් ලැබුණ අතර සෙසු අය ඡන්දය නොදැමූ බවයි. දයාගමගේ අමාත්‍යවරයා යෝජනාවට විරුද්ධ වී එළියට ගිය බවද වාර්තා විය. කෙසේ හෝ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා අජිත් පෙරේරා, එරාන් වික්‍රමරත්න, මලික් සමරවික්‍රම ආදී දැඩි රනිල් හිතවාදීන් ද රනිල්ගේ සැලසුම අනුමත කළේ නැත. එහෙත් අවසානයේ හර්ෂ ද සිල්වා මාධ්‍යයට කීවේ රනිල්ගේ යෝජනාව ජයගත් බවයි. නමුත් රන්ජිත් මද්දුම බණ්ඩාරලා කියන්නේ තමන්ගේ පාර්ශ්වය බහුතරය ලබාගත් වගයි. කෙසේ හෝ මෙම ඡන්ද විමසුමේදී සජිත් ප්‍රේමදාස ඡන්දය පාවිච්චි කර නැත.

ඡන්දය නොදුන්නත් මන්ත්‍රින් 25ක් පමණ රනිල්ගේ යෝජනාවට විරෝධය පළකරමින් අදහස් දක්වා තිබිණි. සන්ධානයේ ලිපිනය කලින් සිරිකොත ලෙස දන්වා තිබි පසුව එව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ නිවසේ ලිපිනයට මාරුකර ඇතැයි ඇතැම්හු චෝදනා කළහ. නව සන්ධානය අත්පත් කිරීමේ උත්සවය සුගතදාස පිටියේ නොපවත්වා ගෝල්ෆේස් හි මහ ඉහළින් පැවැත්විය යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළද ඒ ගැන තීන්දුවක් නොගැනුණි. ලක්ෂ්මන් කිරිඇල්ල හා රවි කරුණානායක අදහස් දක්වද්දී තලතා අතුකෝරළ ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් ඇසුවේ ඔවුන් චන්ද්‍රිකා ආණ්ඩුව සමඟ සිට පසුව එජාපයට පැමිණ කොපමණ කල්ගතවී තිබේද කියායි. එවිට ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ තමන් ඡන්ද 75000කට වඩා ලබාගෙන පාර්ලිමේන්තුවට ආ බවය. එතැනදී රන්ජිත් මද්දුමබණ්ඩාර ප්‍රශ්න කළේ “තමුන්නාන්සේ දිනුම ගැන කයිවාරු ගහන්න එනවා. ඔයා දිනුවේ නුවර මුස්ලිම් හා දෙමළ ඡන්ද නිසයි. ඒක මතක තියාගන්න.. කියායි.”
කෙසේ හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යොදාගත් පරිදි සන්ධානය අත්සන් කිරීම ලබන 05දා (හෙට) සිදුකරනු ඇති බවයි පැවසෙන්නේ. සන්ධාන යෝජනාවට විරුද්ධ අයට අගමැතිවරයා කියා ඇත්තේ ඔවුන්ගේ විරෝධතා පක්ෂ සභාපති කබීර් හෂීම් මහතාට ලිඛිතව ලබාදෙන ලෙසය. තමන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයන් හමුවන බවත් ඉන්පසුව සන්ධාන අත්සන් කිරීම ගැන තීන්දු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හවුල්කාර පක්ෂ එදා රාත්‍රී රනිල් හමුවුවද අපේක්ෂකත්වය ගැන ආ සජිත්ගේ නාම යෝජනාව ගැන අවධානය දක්වා නැත.

පොදු විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා වනු ඇතැයි අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට අදාළ ලේඛනය ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙතෙක් ඒ ගැන ව්‍යාජ මත ප්‍රකාශ කළ අයට දැන් ඒ ගැන පුවත් මවන්නට හැකියාවක් නැත. ගෝඨාගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේදී මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඔහුට උදව් කළේය.

කෙසේ හෝ ඇමෙරිකානු පුරවැසිකම අහෝසියත් සමඟ ආගමනවිගමන දෙපාර්තමේන්තුව ගෝඨාභයට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ද නිකුත් කළේය. ඒ බව දැනගත් විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වහා අගමනවිගමන දෙපාර්තමේන්තුවට ගොස් ගෝඨාභයට තමන් නොදැන මෙරට ගමන් බලපත්‍රයක් නිකුත් කළේ කෙසේදැයි ප්‍රශ්න කර තිබේ. එවිට ආගමනවිගමන නිලධාරීන් කියා ඇත්තේ එය නිසි ක්‍රමවේදය අනුව ඉල්ලුම් කළ සහ නිකුත් කළ බවය. කෙසේ හෝ මෙය පිළිනොගත් අමාත්‍ය වජිර තමන්ට ඒ ගැන ලිපිගොනු බලන්නට අවශ්‍ය බව කියමින් විශාල කලබගෑනියක් කළේය.

සුළු මොහොතකින් ඒ බව ගෝඨාභයට ද වාර්තා වූ අතර ගෝඨාභය වහා වජිරට දුරකතනයෙන් අමතා තමන් නීත්‍යානුකූලව පාස්පෝට් ලබාගැනීම ගැන ඇති ප්‍රශ්නය කුමක්දැයි විමසීය. “නෑ ඒ ගැන ප්‍රශ්නයක් නැහැ මම නිකම් ඇහුවේ.” කියා ගෝඨාභයට පිළිතුරු දුන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා නැවතත් ආගමනවිගමන දෙපාර්තමේන්තුවට කතාකොට ගෝඨාභයගේ පාස්පෝට් කතාව ගැන තමන් දෙපාර්තමේන්තුවෙන් විමසු බව ගෝඨාභයට කීවේ කවුදැයි අසමින් තවත් ගෝරනාඩුවක් කළ බව වාර්තා වෙයි. කෙසේ හෝ ගෝඨාභයගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වී ඇති නිසා දැන් විපක්ෂ අපේක්ෂකත්වය ඉතා පැහැදිලි තත්ත්වයට පත්ව තිබේ.   

- ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර