2019 ජුලි 13 වන සෙනසුරාදා

ජනපති ලන්ඩනයේ: මත විමසුම අවිනිශ්චිතයි

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 329

• මරණ දඬුවමට එරෙහිව එ.ජා.ප.යෙන් යෝජනාවක්

• ජ.වි.පෙ. විශ්වාසභංගයට දෙමළ සන්ධාන සහාය

• අමරපුර සංඝ සභාවෙන් කරුට සම්මානයක්

• මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද රාජපක්ෂගෙන් කළ ඉල්ලීම

• එ.ජා.ප. කණ්ඩායම් රැස්වීමේදී රවිගෙන් මංගලට චෝදනා

• විපක්ෂ රැස්වීමේ මත ගැටුමක්: රතන හිමියෝ පිටව යති

සතියේ දේශපාලනය රත්කළ මාතෘකා ගණනාවකි. ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගැන මෙන්ම පළාත් සභා ඡන්දය ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමට යනු ඇතැයි පළවන පුවතයි. ජ්‍යොතිෂ උපදෙස් අනුව මේ මස 11 දින එම මත විමසුම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බව කීවද 11 දින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියේ නැත. ඔහු සිය පුත් දහම් සිරිසේනගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට සිය පවුලේ සාමාජිකයන් සමග ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණි. කෙසේ හෝ ඒ සමග පැතිර ගිය තවත් ආරංචියකින් කියවුණේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ලිඛිත දැනුම්දීම පරිදි පළාත් සභා ඡන්දය පැවැත්වීම අදාළ සීමානිර්ණ ගැසට්ටුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බවය. එය ඡන්දයට පෙර කළයුතු නිල කටයුත්තකි. මේ ගැන ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වාර ගණනාවක් නිල වශයෙන් සාකච්ඡා කර තිබිණි. පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය දෝෂ සකස් කරන්නටත් එසේ දෝෂ නිවැරදිතාව මාස 2ක කාලයක් තුළ පාර්ලිමේන්තුව දැනුවත් කරන්නටත් නියම කරමින් පත්කළ මැතිසභා කමිටුව රැස් වී අදාළ කටයුත්ත නිසි ලෙස ඉටු නොකළ නිසා ඒ ගැන විධායක ජනාධිපති බලතල යොදවා පියවරක් ගත හැකි බවට මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයාට උපදෙස් දී තිබිණි. ඊට පෙර ඔහු කියා තිබුණේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද නොපවත්වන්නේ නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වන වගය. ඒ අතරතුර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇමතූ හෙතෙම පළාත් සභා ඡන්දය කලින් පැවැත්වීම ගැන මහින්ද රාජපක්ෂගේ මතය විමසා සිටියේ. ඔහු කියා සිටියේ විපක්ෂය ඕනෑම ඡන්දයකට සූදානම් බවයි. එහෙත් දැන් මැතිවරණ කාල සටහනේ නියම වී ඇත්තේ ජනාධිපතිවරණය නිසා පළමුව එය පැවැත්විය යුතු බව තමන්ගේ මතය වගයි. කෙසේ හෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වසර ගණනක් කල් ගොස් තිබෙන පළාත් සභා ඡන්දය ගැන විපක්ෂනායකතුමාද යම් ප්‍රකාශයක් කරන්නේ නම් එය ඡන්දය කඩිනම් කිරීමට පහසුවක් බවය.

කෙසේ හෝ මැ.කො.ගේ යෝජනාව ගැන මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් විමසීය. ඒ සියලු දෙනා කීවේ ජනාධිපතිවරණය කට උඩ තබාගෙන පළාත් සභා ඡන්දයක් ලබාගැනීම නැති අවුල් ඇති කරවන තත්ත්වයක් බවය. සූදානමකින් තොරව නාමයෝජනා ලබා දීමට යාමත් ගැටලු ඇති කරවන බව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයෝ මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දුන්හ. ඒ අනුව මහින්දලා තීන්දු කළේ ජනාධිපතිවරණයට ඉලක්ක කරගෙන ඉදිරි දේශපාලන කටයුතු පවත්වාගෙන යන්නටයි. ඇතැම් දේශපාලනඥයන්ට ජනපතිවරණ කටේ පළාත් සභා හදිස්සියක් ඇතිවීමට හේතුව විපක්ෂයේ අවුලක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ තීන්දු කළහ.

ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ගැන මුලින් දේශපාලනයේ ඒ තරම් උනන්දුවක් නොතිබුණත් මේ සතියේ එය විවාදයට ගන්නට ආසන්න වනවිට තත්ත්වය තරමක් උණුසුම් විය. ජ.වි.පෙ. විශ්වාසභංග විවාදය ආසන්න වෙත්ම ජනපතිවරණය ඉලක්ක කරගත් වීදි පිරෙන පාද සටන නමින් කළුතර සිට කොළඹට පා ගමනක් සිදුකර නුගේගොඩදී ජනරුළියක් ද පවත්වනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුණගැසී තීන්දු කළේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විශ්වාසභංගයට සහාය පළකරන්නටයි. එහිදී ඒකාබද්ධයේ රෝහිත අබේගුණවර්ධන පෙන්වා දී තිබුණේ එ.ජා.ප.යට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීන් 106ක් බවයි. එයිනුත් රතන හිමි, විජේදාස රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීන් පස් දෙනෙකු දැන් එ.ජා.ප.ය සමඟ නැති නිසා ඔවුන්ට දෙමළ ජාතික සන්ධානයේ සහය නොමැතිව කිසිසේත්ම මෙය ජයගත නොහැකි වගය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් 14ක් සිටිති. ඔවුන්ගේ සහය ලැබෙතොත් ආණ්ඩුවට මන්ත්‍රීන් 115 සහය ඇතිව ජයගත හැකි යැයි රෝහිත කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම මහත්මිය පසුගිය අඟහරුවාදා ලන්ඩන් බලා පිටත්ව ගොස් දින තුනක් රටින් බැහැරව සිටින නිසා ගිය ඉරිදාම සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පවත්වන්නට යෙදුණි. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ 12 වැනිදාය. ජනාධිපතිවරයාගේ උපදෙසින් පොහොට්ටුව හා ශ්‍රීලනිපය සන්ධානගත වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතත් එම සාකච්ඡාව ඉදිරියට යන පාටක් නැත. ශ්‍රී.ල.නි.ප.යේ දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා මෙන්ම පොහොට්ටුවේ ෂෙහාන් සේමසිංහ ඇතුළු තරුණ මන්ත්‍රී කණ්ඩායම මේ ගැන මත ගැටුම් ඇති කරගෙන තිබේ. කෙසේ හෝ මෙබඳු සන්ධානයක් සඳහා අවංකව මහන්සි වන එ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර සිටින්නේ මේ ගැන කනස්සල්ලෙනි. ඔහු පසුගියදා පාර්ලිමේන්තු ලොබියේදී ප්‍රකාශ කළේ සන්ධාන ගතවීමට පොහොට්ටුවේ ඇතැමුන්ට වුවමනාවක් නැතිනම් ශ්‍රීල.නි.ප.ය නව සන්ධානයක් සඳහා සාකච්ඡා අරඹන බවයි. ජනතා විමුක්ති පෙරමුණ පාඨලී චම්පික රණවක හා අතුරලියේ රතන හිමියන් සමඟද සාකච්ඡා කර නව සන්ධානයක් සෑදීමට ක්‍රියා කරන්නේ යැයි මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබිණි.

එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන කතානායක කරු ජයසූරිය මහතාට අමරපුර මහා සංඝ සභාවෙන් “සාධු ජන ප්‍රසාදිනී ලංකාපුත්‍ර” සම්මානය පසුගියදා පිරිනමනු ලැබීය. අමරපුර නිකායේ වාර්ෂික සමරුව නිමිත්තෙන් පැවැත්වුණ විශේෂ උත්සව සභාවකදී කතානායකවරයා මෙම සම්මානයෙන් පුද ලැබීය. බෞද්ධ නායකයකු ලෙස මේ රටට කරු ජයසූරිය මහතා අවංකව හා කැපවීමෙන් කරන ලද අගනා මෙහෙවර අගය කරමින් මෙම ගරු සම්මානය ඔහුට පිරිනමන බව අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ වදාළහ. මෙම සම්මාන උළෙල සඳහා රජයේ මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පසුගිය අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී රැස් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණ පාර්ලිමේන්තු කණ්ඩායම මුලින් සාකච්ඡා කළේ සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැනයි. යට කී ලෙස ජ.වි.පෙ. ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහය දිය යුතු යැයි ඒකාබද්ධය මුලින්ම තීන්දු කළේ රජයට එරෙහිව පෙනෙන ඕනෑම යෝජනාවක් සඳහා සහය දෙන පදනමිනි.

අනතුරුව සෙසු කටයුතු ගැන අවධානය දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළේ ඒ මොහොතේය. “දැන් මේ රටේ මුස්ලිම් සමාජය එකතුවෙලා සංවිධානය වෙවී යනව. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය හැටියට කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් චෝදනාව ලැබූ දොස්තර සාෆිට විරුද්ධව අපි පක්ෂයක් ලෙස උද්ඝෝෂණයක් හා විරෝධතාවක් දක්වන්න ඕන කියල මම යෝජනා කරනවා...”

එවිට උන්වහන්සේට පිළිතුරු දීමට නැගී සිටියේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී (විපක්ෂයට පැමිණි) ආනන්ද අලුත්ගමගේ මහතාය. හාමුදුරුවනේ ඔබවහන්සේ දැන් මෙතන කියනව මුස්ලිම් සමාජය එකතුවෙලා ඉන්නේ කියල... ඉතින් අපිද ඒක කළේ. ඔබවහන්සේමයි මහනුවරට ගිහිල්ලා උපවාස කරල සමස්ත මුස්ලිම් සමාජය එකතු කළේ. මගේ කතාව වැරදිද? කියද්දී මහින්දානන්දද කතාවට එක්විය. ඔහොම උපවාස කරන්න අපටත් පුළුවනි.... කියමින් කතාව සෙමින් ඉදිරියට ඇදී යනවිට රතන හිමියන් නැවත කීවේ විමල්ලා පාඨලීලා මේ ගැන නොයෙක් දේ කරන බවය. එවිට පසුපෙළ මන්ත්‍රීන් පාඨලීල, ඔබවහන්සේල තමයි 2015 අපේ ආණ්ඩුව පෙරළන්න මුල් වුණෙත් කියද්දී මහින්ද රාජපක්ෂ මහතාද ඔව්... ඔබවහන්සේලා තමයි එදා අපට වැඩේ දුන්නෙ කීය. කොහොම වුණත් අපි සියලු ජන කොටස්වල සහාය අරගෙන තමයි ඡන්දය දිනා ගන්න ඕන... යැයි නැවතත් මහින්ද රාජපක්ෂ මහතා කීය. මේ කතා සියල්ල අසා සිටි රතන හිමියන් කෝප වූ බව පෙනුණි.‍ ඔහොම අපට කතා කරනව නම් මම මෙතන ඉඳල වැඩක් නැහැ යැයි කියූ උන්වහන්සේ තමන්ගේ ගමන් මල්ලද රැගෙන රැස්වීමෙන් පිටව යාමට සැරසුණි. එවිට මහින්ද කීවේ හාමුදුරුවනේ කලබල වෙන්න එපා ඉවසීමෙන් වැඩ කරන්න කියායි. එහෙත් ඊට කන් නුදුන් රතන හිමියෝ රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.

අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රතන හිමියන් මුණ ගැසුණ මහින්දානන්ද අලුත්ගමගේ මහතා උන්වහන්සේ ගැන කියැවුණ සැර කතා සම්බන්ධව සමාව ඉල්ලා සිටියේය. ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද සමග පැමිණ රතන හිමියන් මුණගැසෙන්නේ යැයි ද මහින්දානන්ද කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩනය බලා යාමට පෙරදා රාත්‍රියේ මුස්ලිම් දේශපාලන නායකයන්ට ආරාධනා කර තිබුණේ විශේෂ සාකච්ඡාවකටයි. ඒ අනුව එදින සන්ධ්‍යාවේ ජනාධිපති නිවසට පැමිණ සිටියේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි, අලි සහීර් මවුලානා, ඒ.ආර්. මන්සූර් ආදී මැති ඇමැති පිරිසකි. ඔවුන් පැමිණ සිටි බව දැන්වූ විට රැස්වීම් ශාලාවට ඒ අය කැඳවාගෙන ඒමට පැමිණි ජනාධිපතිවරයා ශාලාවේ දොර විවෘත කළ ගමන්ම ප්‍රශ්න කළේ “දැන් තමුන්නාන්සේලා කවද්ද ඇමැති ධුර භාර අරන් වැඩ පටන් ගන්නෙ... දැන් තිබුණ ප්‍රශ්න හුඟකට ඔයාල වග කියන්න ඕන නැහැ කියල තහවුරුවෙලානේ ඒක නිසා මම කියන්නේ අමාත්‍යංශ භාර අරන් වැඩ කරන්න කියලයි” ජනාධිපතිවරයා කීය. “මට ආරංචි වුණා ඔයාල මෙයාට එන්න කලින් අරලිය ගහ මැඳුරෙදි අගමැතිතුමන් හම්බ වුණා කියල. මොකද කියන්නෙ” යනුවෙන් තවත් ප්‍රශ්නයක් මතුකළ ජනාධිපතිවරයා ඔවුන්ගෙන් පිළිතුරක් අපේක්ෂා කරන බව පෙන්වීය. එවිට රවුෆ් හකීම් කීවේ අගමැතිතුමත් කිව්වේ අපට වැඩ භාර අරන් රාජකාරි කරන්න කියලයි කියා පිළිතුරු දුන්නේය.

අනතුරුව නිල කතාබහ ඇරුඹිණි. එහිදීත් රිෂාඩ්, හකීම්, හා පවුසි යන හිටපු අමාත්‍යවරු මුලින්ම කරුණු දක්වමින් කීවේ “දැන් සර්... ඔබතුමා අපේ ඥානසාර හාමුදුරුවො සිර ගෙදරින් නිදහස් කළා. උන්වහන්සේ අද මොකද කරන්නෙ. අපේ ආගමික නායකයන්ගෙ උලමා සභාව දිගින් දිගටම විවේචනය කරනවා... ඒකට අපට හුඟක් හිතට අමාරුයි. අපි ඕකට උත්තර දෙන්න ගියොත් ඒක අල්ලගෙනත් ගහන්නෙ අපටයි. කොහොම වුණත් දැන් අපේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යනව. මේ ගැන අපිටත් තීන්දුවක් ගන්න වෙනව. තවත් බලන් ඉන්න බැහැ. ඔබතුමාලවත් මේකට මැදිහත් වෙලා මොනව හරි කරන්න යැයි... මුස්ලිම් නායකයන් කීවේ දෝස් මුරයක ස්වරූපයෙනි. “ඔව් ඒ ගැන මම ඉක්මණින් බලන්නම්” යැයි ජනාධිපතිවරයා කියන විට ඔවුන් නැවතත් කීවේ “දොස්තර ෂාෆිට විරුද්ධ කිසිම චෝදනාවක්  ඔප්පු වෙලා නැහැ. ඉතින් ඇයි ඒ මනුස්සය තවදුරටත් හිරකරන් ඉන්නේ. එයා නිදහස් කරන්න ජනාධිපතිතුමනි.” යයි තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළෝය. ඊළඟට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් රැසක්ම තවමත් සිරගෙවල්වල සිටින්නේ යැයි කී ඔවුහු මේ අයද ඉක්මණින් නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කළහ. එවිට ජනාධිපතිවරයා පැවසුවේ නඩු හා චෝදනා නැති පිරිස නිදහස් කර දෙන්නම් කියාය.

ඊළඟට හදිසි නීතිය ගැන කතාබහ විය. හදිසි නීතිය මෙම මාසයෙන් පසු ඉවත් කරන වග ජනාධිපතිවරයා දැන්වීය. තම කණ්ඩායම ආණ්ඩුවේ තනතුරු භාරගන්නවාද නැත්ද යන්න ලබන 11 බදාදා තීරණය කරන්නට සිතා සිටින වගටද ඔවුහු ජනාධිපතිවරයාට ප්‍රතිඥාවක් දුන්නෝය.

ජ.වි.පෙ. විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් ගිය සඳුදා සවස අරලිය ගහ මැඳුරේද පැවැත්විණි. ඒ සඳහා දෙමළ සන්ධාන නායකයන් වන ආර්. සම්පන්දන්, මාවෙයි සේනාධිරාජ සහ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීන් එක්වූහ. සාකච්ඡාව සඳහා අගමැතිවරයාද සමඟ අමාත්‍ය වජිර අබේවර්ධන එක්විය. කල්මුණේ නගර සභාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය හා ප්‍රදේශයේ මුස්ලිම් පක්ෂ අතර පවත්නා ආරවුල ගැන මුලින්ම සම්බන්ධන්ලා කරුණු දක්වන්න වූහ. එම ප්‍රාදේශීය සභාවේ දෙමළ ජනයාගේ කටයුතු සඳහා වෙනම ගණකාධිකාරිවරයකු වහා පත්කළ යුතු යැයි ඒ අය ඉල්ලා සිටියහ. එවිට අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධනට වහාම ගණකාධිකාරීවරයකු පත්කරන්නැයි උපදෙස් දුන්නේය. එහි ඇති අනිත් ප්‍රශ්නත් සෙසු පක්ෂ සමගත් කතාකර ඉක්මණින් විසඳා දෙන්නැමැයි අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය.

ඒ සමඟ දෙමළ සන්ධාන නායකයන්, ඉල්ලා සිටියේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් භූමියේ කර්මාන්තපුරයක් ඉදිකර දෙන ලෙසය. මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළේය. ඒ අනුව අදාළ කර්මාන්තපුරය ඉදිකර දෙන්නටද අගමැතිවරයා පොරොන්දු විය. සාගල රත්නායක මහතාගෙන්ද ඒ ගැන සහාය ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය. එහෙත් මාවෙයිට තවත් ප්‍රශ්නයක් තිබිණි. කන්කසන්තුරේ කර්මාන්තපුරය ඉදි කරන්නට ඔවුන් යෝජනා කරන පැරණි සිමෙන්ති කම්හල් භූමියේ වැට මායිමේ ඇත්තේ උතුරේ ප්‍රධාන නාවික හමුදා කඳවුරයි. “ශ්‍රී ලංකා නාවික උත්තර” යනුවෙන් හැඳින්වෙන මෙම කඳවුර මෙහි තිබියදී කර්මාන්තපුරය ඉදිකිරීම ප්‍රායෝගික නොවන බැවින් කර්මාන්තපුරය ඉදිකරන්නේ නම් නාවික කඳවුර ඉවත් කළ යුතු යැයි හෙතෙම කීය. එහෙත් අගමැතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැත. උතුරේ ජනතාවගේ ඉතිරි ඉඩම් නිදහස් කරදීම සඳහා ඔවුන් කළ ඉල්ලීම අගමැති පිළිගත්තේය. මේ හේතුමත දෙමළ සන්ධාන සහය විශ්වාසභංගයට ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

විශ්වාසභංගයට පෙර එ.ජා.ප.යේ පාර්ලිමේන්තු කණ්ඩායමද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි. එහිදී මුලින්ම මරණ දඬුවමට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට එ.ජා.ප.ය තීන්දු කළේය. එය දැනටමත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි ගාලු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කීය. ඊළඟට අගමැතිවරයා පහදා දුන්නේ විශ්වාසභංගය ගැන දෙමළ සන්ධානය සමග කතාකරගෙන යන බවත් පක්ෂයේ සියලු දෙනා චෝදනාවලට උත්තර දීමට සූදානම් විය යුතු බවත් කීය. රවි කරුණානායක අමාත්‍යවරයා පක්ෂ විනය ගැන කතා කරන්නට විය. පක්ෂයේ තැන තැන විවිධ යෝජනා චෝදනා කරමින් සමහරු විනයානුකූල නොවන ලෙස හැසිරෙන බව රවි කීය. එසේම මුදල් අමාත්‍යවරයා තමන්ගේ රාජකාරි හරියට නොකරන බවටද චෝදනා කළේය. ගම්පෙරළිය වැඩසටහනට පවා තවමත් මුදල් නිසි ලෙස නොලැබෙන්නේ යැයි කීය. රේගුවෙන් තවත් ආදායම් ගත හැකිවුවත් ඒ ගැන කිසිදු උනන්දුවක් නැතැයි රවි මංගලට චෝදනා නැගීය. එවිට රනිල් කීවේ රටේ “කෑෂ් ෆ්ලෝ” (මුදල් සංසරණයේ) ප්‍රශ්නයක් ඇති බවයි. එය හදාගනිමු යැයිද ඔහු කීය. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සෝෆා - ඇක්සා ගිවිසුම් ගැන විපක්ෂය රජයට නගන චෝදනාවලට හරියට උත්තර නොදීම නිසා විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ චෝදනා සත්‍ය බව ජනතාව පිළිගන්නා බවය. එවිට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔවුන් නගන චෝදනා අසත්‍ය බවකි. ඉන් එක් ගිවිසුමක් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ අත්සන් කළ වග පෙන්වා දුන් රනිල් වත්මන් රජය කළේ එය අලුත් කිරීම පමණක් යැයි කීය. එසේ නම් ඒ යථාර්ථය රටට කියමුය යන්න මරික්කාර්ගේ අදහස විය.

සිංගප්පූරුවේදී හෘද සැත්කමකට භාජනය වී සුවය ලබා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් දින 10කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ දිනවල ඔහු රැඳී සිටින සිංගප්පූරුවේ නිවාඩු නිවාසය වෙත ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා, විපක්ෂ මන්ත්‍රීන් හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රැසක් පැමිණියේ ගෝඨාගේ සුවදුක් බලන්නටයි. දැනට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානමින් පසුවන ගෝඨා සිංගප්පූරුවේ සිට බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ මෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකසන විද්වතුන් සමග සම්බන්ධ වෙමින් මැතිවරණ සංවිධාන කටයුතු සඳහා උපදෙස් දෙමින් සිටී. ලබන අගෝස්තු 11 දා කොළඹදී පැවැත්වෙන පොහොට්ටුවේ මංගල සංවත්සර රැළියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

පාස්කු බෝම්බ සිද්ධියට අදාළව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංගය රජය වැඩි ඡන්ද 27කින් ජය ගත්තේය. සුපුරුදු ලෙස රජයට දැඩි විවේචනයක් එල්ල කළ දෙමළ ජාතික සන්ධානය පසුව රජය සමඟ ඡන්දය ප්‍රකාශ කරනු දක්නට ලැබිණි. ජ.වි.පෙ. විශ්වාසභංගයේ විවාදය පුරාම මැතිසබයේ දකින්නට ලැබුණේ දියාරු බවකි. ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී.ල.නි.පය ඊට පක්ෂව ඡන්දය දෙන බව කීවද ඔවුන් සැවොම කළ කතාවලින් ප්‍රකාශ වූයේ මෙම විශ්වාසභංගය ජ.වි.පෙ. විසින් ගෙන ආවේ ඉතා දුර්වල තත්ත්වයට පත්ව තිබෙන රජය ශක්තිමත් කිරීමට බවය. ඒකාබද්ධයේ මන්ත්‍රීන් 11 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි අතර ශ්‍රී.ල.නි.පයේ දුමින්ද දිසානායක හා මහින්ද සමරසිංහ ද පැමිණ නොසිටියහ.

කෙසේ හෝ යට කී ලෙස ඒකාබද්ධ විපක්ෂය විවාදයේදී දිගින් දිගටම කීවේ මෙම විශ්වාසභංගය රජය ශක්තිමත් කරන්නක් නිසා තමන්ට ඒ ගැන ද විශ්වාසයක් නොමැති බැවින් රජය වහා ප්‍රධාන ඡන්දයකට යා යුතු වගයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ මහින්දලාට ඕනෑකම තිබුණේ නම් විශ්වාසභංග ඡන්දයේදී හොඳ සටනක් දිය හැකිව තිබූ බවයි.

කෙසේ හෝ විශ්වාසභංගය ජය ගැනීමත් සමඟ ආණ්ඩුව කළ ආරාධනය අනුව තනතුරු අත්හරින ලද මුස්ලිම් අමාත්‍යවරු තමන් කලින් දැරූ තනතුරු බාරගන්නට තීන්දු කළෝය. විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය ලෙස රටට පෙනුණේ එයයි.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර