2019 ජුලි 06 වන සෙනසුරාදා

මංගල - රවි අපේක්ෂක ගැටුමක්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 389

• පක්ෂය වෙනුවෙන් කළ මෙහෙවරට කිරිඇල්ලට රනිල්ගෙන් ප්‍රශංසා.

• ඉතිහාසයේ මුල්වරට ආරක්ෂක ලේකම් - පොලිස්පති හිරේ.

• කුමාර වෙල්ගම බැසිල් හමුවී සමුගනී : පුතා රැකගන්නැයි ඉල්ලයි.

• මරණ දඬුවම දෙන්නේ තමන් සතු බලය අනුව යැයි ජනපති කැබිනට්ටුවට කියයි.

• තමන් ජනපති අපේක්ෂක බව ගෝඨා බී.බී.සියට පවසයි.

• ජ.වි.පෙන් ජාතිවාදයට - අන්තවාදයට එරෙහි සටනක්.

පාස්කු බෝම්බ සිද්ධිය තවමත් ආන්දෝලනයට ලක්වෙමින් තිබේ. ඊට වගකිවයුත්තන් ලෙස සලකා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් මහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය සතියේ නීතිපතිවරයා වැඩබලන පොලිස් පතිවරයාට නියෝග කර තිබිණි. එහෙත් එම නියෝගය ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පතිවරයාට ජුලි මස 10දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස දැනුම් දෙනු ලැබීය. ඒ වනවිටත් හේමසිරි ප්‍රනාන්දු මහතා අසනීප වී කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ අතර නීතිපති නියෝගය නිසිලෙස ඉටුනොකිරීම ගැන නැවතත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත සිහිකැඳවීමක් කරමින් එසේ නොකිරීමට හේතු විමසා තිබුණ බවද කියැවේ. එහෙත් ඒ වනවිටත් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සාක්ෂි එකතුකරමින් සිටින බව පොලිස්පතිවරයාට දන්වා තිබූ බව කියැවිණි.

නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට යටකී නියමය කර තිබුණේ පාස්කු බෝම්බ සිද්ධිය ගැන විමර්ශනය කළ විජිත මලල්ගොඩ කමිටුවේ වාර්තා හා නිර්දේශ පදනම් කරගෙන බව සඳහන්ය. නීතිපතිගේ දෙවැනි සිහිකැඳවීම අනුව පසුගිය ජුලි 01දා නැවතත් අපරාධ පරීක්ෂණ අංශය හිටපු පොලිස්පති පූජිත්ට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට දන්වා තිබුණේ ජූලි මස 02 දින පැමිණ ප්‍රකාශ ලබාදෙන හැටියටයි. ඒ වනවිටත් හේමසිරි ප්‍රනාන්දු මහතා රෝහල් ගතව සිටියේය. ජූජිත් ජයසුන්දර මහතා ද රහස් පොලීසියට එදිනට පොලිසියට නොඑන බව කල්තබාම දැනුම් දුන්නේය. ඔහු පොලිස් රෝහලට ඇතුළත් විය. එහෙත් එදින සවස රහස් පොලිසිය හේමසිරි හා පූජිත අත්අඩංගුවට ගත් අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේ දෙදෙනා රිමාන්ඩ් භාරයට පත්කළාය. මෙරට නිදහසෙන් පසුව ආරක්ෂක ලේකම් හා පොලිස්පති යන දෙදෙනාම එකවර බන්ධනාගාර ගතකළේ මෙවරය.

පාස්කු බෝම්බ සිද්ධියෙන් ඉන්පසු හටගත් සිද්ධි දාමයත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර බරපතළ විරසකයක් නිර්මාණය කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවකට ජනපතිවරයා කියා තිබුණේ මෙය තමන් අමාරුවේ දමන්නට හදන කමිටුවක් බවයි. ඊට රජයේ බුද්ධි අංශ හා ඇතැම් පරීක්ෂණ අංශ ප්‍රධානින්ගේ සහභාගීත්වයට ජනාධිපතිවරයා අවසර දුන්නේ ද නැත. එහෙත් මෙම කමිටුව හමුවට අගමැතිවරයා පොලිසිය භාරව හිටපු අමාත්‍යවරැන් මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද කැඳවන බව කීය. එසේම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන්ද කරුණු විමසන්නට කැමැති බවද සඳහන් කර තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කීවේ තමන් අදාළ කමිටුව හමුවට කැඳවීමට ඔවුනට බලයක් නොමැති බවත් එසේ කැඳවුවද තමන් ඊට හොයන බවත්ය.

කෙසේ හෝ පාස්කු බෝම්බ සිද්ධිය ආණ්ඩුවේ පැවැත්ම තව තවත් ව්‍යාකූල කරන්නට සමත්ව තිබේ. පාර්ලිමේන්තු කමිටුව විසින් ප්‍රකාශ කරන ලද පරිදි ඒ ගැන බොහෝ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් චෝදනාවලින් නිදහස් බව ප්‍රකාශ කැරිණි. ඒ ගැනද විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රින් රැසක්ම විරෝධය පළකළහ.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන්නේ නම් තමන් ඔහුට කිසිදු සහායක් නොදක්වන බව පැවසූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පසුගියදා පොහොට්ටුව පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුවිය. බැසිල් මුණගැසී වෙල්ගම සඳහන් කළේ ඔහුට තවදුරටත් ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ නොහැකි බවය. තමන් ඔවුන්ගේ රුස්වීම්වලට ගියද කිසිවකු තමන් හා කතා නොකරන්නේ යැයි වෙල්ගම බැසිල්ට කීය. ඔහුගේ මේ කතාවට අසන්නතම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුරේ පැවති කලා සන්ධාන උළෙලට පැමිණි වෙල්ගම මන්ත්‍රිවරයා සමඟ එහි සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රින් කිසිවකු කතා නොකිරීමයි. එසේම එම රැස්වීමේදී කළුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන්වූ කතාව වෙල්ගමගෙන් ඉවත් කර රෝහිත අබේගුණවර්ධනට පවරා තිබිණි. මේ නිසා වෙල්ගම මන්ත්‍රිවරයා මඳවේලාවක් එහි රුඳී සිට ඉවත්ව ගොස් තිබිණි.

කෙසේහෝ තමන් බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත්වන නමුත් තම පුත්‍රයා වෙනම කළුතර දේශපාලනය කරන බැවින් ඔහුට අගලවත්ත ආසන සංවිධායක කමත් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයකුට මතුගම ආසන සංවිධායක කමත් ලබාදෙන ලෙස වෙල්ගම බැසිල්ගෙන් ඉල්ලීමක් කළ බව කියැවිණි. බැසිල් ඒ ගැන සුබදායක ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද කියැවේ. කෙසේ හෝ මේ ගැන ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් බොහොමයක් අසතුට පළකර තිබූ බව පොලිටිකල් රහස් තීරයට වාර්තා විය. කෙසේ හෝ වෙල්ගම මන්ත්‍රිවරයා නැවත ශ්‍රී.ල.නි.ප.යට එක්වනු ඇතැයි සඳහන් වෙයි. ඒ අතර තවත් අය කීවේ ඔහු එ.ජා.ප.යට එක්වීමට ද ඉඩ ඇති බවය.

එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයකු වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද ඉරිදා (07දා) මාතරදී විශේෂ රැස්වීමක් සංවිධානය කරඇත්තේ එ.ජා.ප. මැතිඇමැතින් රුසකට ද ආරාධනා කරමිනි. මෙහි අරමුණ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් කිරීමයි. මේ ගැන සමාජජාලා මාධ්‍ය ඔස්සේ විපක්ෂ ප්‍රකාශයක් කළ මංගල කීවේ වසර 25කින් මෙරට එ.ජා.ප. පාක්ෂිකයන්ට තමන්ගේම ආණ්ඩුවක් බිහිකර ගැනීමට නොහැකි වූ බවයි. දැන් ඒ සඳහා අවස්ථාව ඇතැයි කී මංගල අගමැති හා පක්ෂ නායක රනිල්ගේ ආශිර්වාදය ඇතුව සජිත් ප්‍රේමදාස මහතා එ.ජා.ප.යේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ යැයි කීය. සජිත් ඡන්දය ඉල්ලන්නේ නම් ඔහු ජනාධිපති කරන විදිය තමන් දන්නා වගද මංගල සමරවීරගේ ප්‍රකාශය මගින් අවධාරණය කැරිණි.

මංගලගේ මෙම ප්‍රකාශය හා මාතර රැස්වීම් කතාවෙන් සිදුවූයේ දෙබරයට ගල්ගැසීමකි. මෙයින් වඩාත්ම කලබලයට පත්ව ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නට ඉදිරි පත්වූයේ සජිත්ගේ අපේක්ෂකත්වයට එරෙහිව දැඩි සටනක් කරන අමාත්‍ය රවි කරුණානායක මහතාය. ඔහු මාධ්‍ය හමුවක් තබා කියාසිටියේ රටේ ජනාධිපති විය යුත්තේ අ.පො.ස. සාමාන්‍යපෙළවත් සමත් කෙනකු බවය. ජුලි 07දා මාතරින් පෙරළිය අරඹනවා වැනි කතා එ.ජා.ප.යට අනවශ්‍ය බව කී අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක පිළෙන් එ.ජා.පයට හේතුත් වූ අයට පක්ෂයේ එකමුතුකම නැති කරන්නට ඉඩනොදෙන බවද කීය. රවි කරුණානායක අමාත්‍යවරයා කුමක් ප්‍රකාශ කළත් එ.ජා.ප.යේ ඇතැම් මැතිඇමැතිවරුන් ජනාධිපති අපේක්ෂකත්වයට සජිත්ගේ නම ප්‍රසිද්ධියේ යෝජනා කරන්නට පටන්ගෙන ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා නිහඬවම 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබේ. දැනටමත් මාධ්‍ය මෙහෙයුම් ගණනාවක් අරඹා ඇති වික්‍රමසිංහ මහතා දිවයිනේ ඈත ගම්නියම් ගම්වල මහජන රැස්වීම් ඇමතිටද පටන්ගෙන තිබේ.

මේ අතර එ.ජා.පයට හිතවත් තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ජාතික අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට අවශ්‍ය වගයි. ඒ සඳහා ඔවුන් යෝජනා කරන්නේ කරැ ජයසූරිය මහතාය. රාජ්‍ය නොවන සංවිධාන සහ එ.ජා.ප. හිතවාදී ඇතැම් විද්වතුන් දැනටමත් මෙම මතය ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. මේ සියල්ල සිදුවෙද්දී අමාත්‍ය චම්පික රණවක “යකඩ මිනිසා” නමින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කළේ දැනට දෙසතියකට පමණ පෙරසිටය. අමාත්‍ය රණවක එ.ජා. පෙරමුණෙන් පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තැත්කරන බව සමහරු කියති. එහෙත් චම්පික තවමත් එවැන්නක් ඍජුව ප්‍රකාශ කරනැත.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහිදී මරණ දඬුවම ගැන ඇමතිවරු අදහස් මතු කළහ. අමාත්‍ය මංගල සමරවීර ඒ ගැන දීර්ඝ ලෙස කතා කරමින් කීවේ 1956 දී මරණ දඬුවම අහෝසියට තම පියාද මැදිහත් වූ වගයි. එහෙත් පසුව එය ක්‍රියාත්මක කළ බව හෙතෙම කීය. කවර තත්ත්වයක් යටතේවත් තමන් මෙම දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන පෞද්ගලිකව විරුද්ධවන්නේ යැයිද මංගල කීය. තවත් අමාත්‍යවරුන් ගණනාවක්ද ඒ ගැන සිය විරෝධය පළකරද්දී ජනාධිපති මෛත්‍රී කීවේ මරණ දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් පවරා ඇති නිසා මෙතැන ඒ ගැන කතා කිරීමට නුසුදුසු බවය. අගමැති රනිල් එම අදහසට එකඟවූයේ නැත. ඔහු පැවසුවේ අධිකරණයේ නඩු පැවතුණද කිසියම් රාජ්‍ය තීරණයක් ගැන කැබිනට්ටුව තුළ කතා කළ හැකි බවයි. මේ විවාදය හමාරකරමින් ජනාධිපතිවරයා කීවේ තමන් කරන්නේ අධිකරණයෙන් ලබාදුන් දඬුවම ක්‍රියාත්මක කිරීම පමණක්ය කියායි. ඒ සඳහා තමන්ට බලතල තිබෙන වගත් තමන් ඒ බලතල ක්‍රියාත්මක කරන්නේ නීතියට අනුකූලව බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

අනතුරැව මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නය මතුකෙරිණි. ජනාධිපති මෛත්‍රිපාල මහතා ප්‍රකාශ කළේ මෙම සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පවරාගත යුතුය කියායි. ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න ආදීන් කීවේ මෙම සරසවිය සෞදියේ ප්‍රතිපාදන මගින් ඉදිකර ඇති නිසා මෙය රජයට පවරාගැනීමෙන් ආයෝජකයන්ට යන්නේ වැරදි පණිවුඩයක් බවයි. ඒ නිසා දැන් එය පවරා නොගත යුතුයැයි ඔවුහු කීය. නමුත් ඊට එරෙහිව දැඩි ලෙස කරුණු දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක දිගින් දිගටම තර්ක කළේ මෙම සරසවිය රජයට පවරාගත යුතු බවත් එය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කළ යුතු බවත් කියමිනි. එය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන්නේ ද පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්නේද යන කරුණ ගැන විවාදාපන්න තත්ත්වයක් හටගැනිණි. ඒ නිසා තීන්දුවක් ගැනීමෙන් තොරව කතාව හමාරවිය.

අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය කාලයේ චීනයෙන් ශ්‍රී ලංකාවට සිගරැට් ආනයනයට එරෙහිව සටන් කරන බවත් රජය චීන සිගරැට් ගෙනඒමට තීන්දු කළහොත් අමත්‍ය පදවියෙන් ඉවත්වන බවත් කීය. මෙවර කැබිනට් මණ්ඩලයට මෙකී චීන සිගරැට් ආනයන යෝජනාව මුදල් අමාත්‍ය මංගල විසින් ඉදිරිපත් කරන ලදී. සුපුරුදු ලෙස රාජිත අමාත්‍යවරයා ඊට සිය දැඩි විරෝධය පළකළේය. දුම්කොළ විරෝධි සටන හේතුවෙන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ජනාධිපතිවරයා ද රාජිතට සහය පළ කළේය. එහෙත් මංගල සමරවීර ඇමැතිවරයා කීවේ රජයට ආදායම ලබාගන්නා ලෙස ආණ්ඩුව තමන්ට කියනත් ඒ සඳහා යෝජනා ගෙනආ විට ඊට එරෙහි වන බවත්ය. අද විශාල චීන ජාතිකයන් පිරිසක් රට තුළ සිටින නිසා ඔවුන් හොරෙන් සිගරුට් ගෙනෙන බැවින් රජයට විශාල බදු ආදායමක් අහිමි වන වග හෙතෙම කීය. හොරෙන් සිගරැට් ගේනවා නම් ඒවා අල්ලාගන්නා ලෙස රේගුවට කියන්නැයි රාජිත මංගලට කීය. ඒ අවස්ථාවේ අමාත්‍ය මංගල පැවසුවේ “අද ජනාධිපති කාර්යාලය පිටිපස්සේ තියන සිල්ලර කඩෙත් මේ හොර චීන සිගරුට් විකුණනවා. ඒනිසා එය නීත්‍යානුකූල කළාට වරදක් නොවන වගයි. එහෙත් රාජිත මෙන්ම ජනාධිපතිවරයා ද ඊට එකඟවූයේ නැත. අවසානයේ චීන දුම්වැටි ආනයනයට අවසර දීමේ යෝජනාව හකුලා ගන්නට මංගලට සිදුවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා මේ සතියේ මාලදිවයින බලා පිටත්ව ගියේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ රෝහිත රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ ඊට එක්වූහ. මාලදිවයිනේ සිටින ප්‍රකට ව්‍යාපාරික හිතවතුන්ගේ ඉල්ලීම අනුව දින තුනක චාරිකාවකට මහින්ද එක්වූයේ විවේකය සඳහාය. මේ ගමන ගැන මාලදිවයින් රජයට හෝ එහි බලධරයන්ට මහින්ද කිසිවක් නොකීවේ මෙය තවත් නිලගමනක් වන බැවිනි. එහෙත් එහි ගිය පසු මාලේ රජයේ ආරක්ෂක අමාත්‍යවරිය සහ සංචාරක අමාත්‍යවරිය මහින්දලා නවාතැන් ගත් හෝටලය වෙත පැමිණ ඔවුන් සමඟ දිවා භෝජනය ගනිමින් සාකච්ඡාවක නිරත වූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන මස තුන්වැනි සතියේ බවද වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරැන් කණ්ඩායම් වශයෙන් සිංගප්පූරැවට ගොස් ගෝඨාගේ සුවදුක් විමසීම දිගටම සිදුවූ අතර ඔහු බ්‍රිතාන්‍යය ගුවන් විදුලියට සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රකාශ කළේ තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන වගයි. ගෝඨාගේ සුවදුක් බැලීමට ඔහු සිටින නිවසට පැමිණ විශේෂිත පුද්ගලයන් අතර සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ද වීම විශේෂයකි. විදේශ අමාත්‍යවරයා පැමිණ ගෝඨා සමඟ සුහද කතාබහක නිරත වී ඔහුට අවශ්‍ය කරන පහසුකම් ආදිය ගැනද සොයාබලා අවශ්‍යතාවක් ඇතොත් දැන්වන්නැයි කී බවද සඳහන්ය. ගිය සතියේ ඔහු බලන්නට ගිය ගම්පහ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස මුණගැසුණු ගෝඨා කිසිදු හේතුවක් මත තමන් පෙරට තැබූ පය පසුපසට නොතබන අතර ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාරගන්නට සූදානම් බවත් සඳහන් කර ඇත. මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරැන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධවෙමින් දැනටම අවශ්‍ය කරන මැතිවරණ සංවිධාන මෙහෙයුම් කටයුතු ගැන අවශ්‍ය මූලික සැලසුම් සකස් කර අවසන් බවත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා සකස් කර මින් පවත්නා බවත් අවධාරණය කර තිබේ. මෙහිදී ප්‍රසන්න රණතුංග හා පියංකර ජයරත්න යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණය සඳහා දැනට මෙරට කෙරෙන සංවිධාන කටයුතු ගැන ගෝඨාභයට විස්තර කරදී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ද ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩසටහනක් දියත් කර තිබේ. දැනටමත් දීප ව්‍යාප්තව රුස්වීම් හා සම්මන්ත්‍රණ පවත්වන ජ.වි.පෙ. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වමේ කඳවුර නියෝජනය කරන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව කියැවේ. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්වරයෙක් හෝ වෙනත් විද්වතෙක් ඉදිරිපත් කළහැකි බවට ආරංචි පැතිරයමින් තිබේ. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජ.වි.පෙ. නියෝජිතයෝ මල්වතු මහනායක හිමියන් මුණගැහුණාහ. එහිදී ඔවුහු මහනාහිමියන්ට විශේෂ යෝජනා මාලාවක් ඉදිරිපත් කළහ. ආගමික උමතුව, අන්තවාදය හා ජාතිවාදය පරදා ජාතික ආරක්ෂාව තහවුරු කර ජාතික සමගිය ගොඩනැංවීම සඳහා වන යෝජනා මාලාව ලෙස මෙය නම්කර තිබිණි. එය මහ නාහිමියන්ට පිළිගැන්වූ ජ.වි.පෙ. නායකයා එහි තොරතුරු මහ නාහිමියන්ට විස්තර කර දුන්නේය.

පසුගිය සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරේදී සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට පෙර පවත්වන පූර්ණ අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්විණි. එහිදී කැබිනට් විෂයන් ගැන කරන කතාබහ හමාරවී අගමැතිවරයා පැමිණ සිටි අමාත්‍යවරුන්ට අවවාදාත්මක ප්‍රකාශයක් කළේය. එ.ජා.ප.යේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවී ජනාධිපතිතුමන් ප්‍රතිපත්තිවලට අනුගතව එතුමා සමඟ ක්‍රියාකරන අමාත්‍යවරුන් සිටින බව අගමැති රනිල් එහිදී සඳහන් කර ඇත. එ.ජා.ප.යේ සියලු ඇමැතිවරුන් එකට සිටිය යුතු යැයි කී රනිල් කැබිනට්ටුවේ කිහිපදෙනෙක් වරප්‍රසාද ගැනීමේ මුවාවෙන් ජනාධිපතිවරයා හමුවී ඇතැයි ද කීය. තමන්ගේ අනුදැනුමක් නැතිව ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන් පදවිවල දිවුරුම් දුන්නේ යැයිද වික්‍රමසිංහ මහතා මතක් කළේය. තමන් හා එ.ජා.ප.ය වෙනුවෙන් විධායකය සමඟ ගැටුණේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යැයි කී අගමැතිවරයා ඒ නිසා කිරිඇල්ල මහතාට රජයෙන් ලැබිය යුතු යම් යම් දේ නොලැබුණ බවත් කිරිඇල්ල මහතාට ප්‍රශංසා කරමින් කීය.      

‘උදයන්^ පුවත්පතේ හිටපු කර්තෘ විද්‍යාදරන්ගේ 60 වැනි උපන් දිනය නිමිත්තෙන් චාම් උපන් දින උත්සවයක් කොළඹ සැෆායර් හෝටලයේ දී බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැත්විණි. ඒ සඳහා පැමිණ සිටි ආරාධිතයන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නායකයන් වන මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන් ද මන්ත්‍රී සුමන්තිරන් ඇතුළු පිරිසක් ද වූහ. උපන් දිනය නිමිත්තෙන් කේක් කපා විද්‍යාදරන්ට සුබ පැතූ සියලු දෙනා සුහද අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මොහොතක් ගත කළහ. එහෙත් රනිල්ට හා මහින්දට ගැඹුරු දේශපාලන කතාවකට ඉඩ ලැබුණේ නැත. දෙදෙනාම තවත් උත්සව කිහිපයක් තිබූ නිසා ඉක්මනින් පිටව ගිය අතර සෙසු පක්ෂ නායකයෝ සෑහෙන වේලාවක් එහි ගත කළෝය.

එ.ජ.නි.ස. මහ ලේකම් මහින්ද අමරවීර ගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේ කීවේ ශ්‍රී.ල.නි.පය හා පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් සන්ධානගත වන්නට යෝජනා කර ඇති බවයි. මෙම නම සඳහා දෙපක්ෂයම එකඟ වී තිබේ. එහෙත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන තීන්දුවක් නැතැයි කී අමරවීර මහතා ජනාධිපති මෛත්‍රී ශ්‍රී.ල.නි.පයෙන් ඉදිරිපත් කිරීම තම සැලසුම යැයි කීය. එම නමට පොහොට්ටුව විරුද්ධ වන්නේ නම් ශ්‍රී.ල.නි.පයෙන් හා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වනු ඇති බවත් එසේ වුවහොත් සිදුවන්නේ ඒ දෙදෙනාම පරාජයට පත්වී වෙනත් අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීම විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00