2019 ජුනි 01 වන සෙනසුරාදා

ආණ්ඩුවෙත් විපක්ෂයෙත් විශ්වාසය නැති වෙලා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 214

• මෝදි අගමැති දිවුරුම් දීමේ උළෙලට අපේ ජනපතිත්

 ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණ හැටි ආරක්ෂක ලේකම් කියයි

• රිෂාඩ් අසාද් සාලිට හිස්බුල්ලාට රතන හිමි උපවාසයේ

• පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කරන්නැයි වාසුලා මහින්දගෙන් ඉල්ලති

සාගල මලික් කැබිනට් ගැටුමේදී මංගල සජිත් මලික් සමඟ

 රිෂාඩ්ගේ විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ බෙදීමක්. ජ.වි.පෙ. පක්ෂවෙයි

මේ සතියේත් දේශපාලන කරළිය කැළඹූ මාතෘකාව රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවයි. විශ්වාසභංගය විවාදයට ගැනීම සඳහා එකවර අවසර නොදුන් ආණ්ඩුව මේ ගැන මූලික විමර්ශනයක් කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කරනු ලැබීය. එයට පත්කළ එ.ජා.ප. මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉල්ලාඅස්වූ අතර ඒ වෙනුවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා පත්විය. ජනතා විමුක්ති පෙරමුණද මෙම කමිටුව සඳහා සහභාගීවෙයි. මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඊට පත්වසිටී. නමුත් විශ්වාසභංගයට පෙර මැතිසබා කමිටුවකින් මෙම කාරණය විමර්ශනය කිරීමට දැඩිලෙස විරුද්ධ වූ එ.ජ.නි.ස. හා ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු සියල්ලෝම ඉල්ලාසිටියේ වහා විශ්වාසභංගය විවාද කරන හැටියටයි. එනිසා ඔවුහු මෙම කමිටුව වර්ජනය කළෝය. අමාත්‍ය බදුයුර්දීන්ට චෝදනා ඉදිරිපත් කළ විපක්ෂය නොමැතිව දැන් ආණ්ඩුපක්ෂය හා තවත් සුළුපක්ෂ ගණනාවක දායකත්වයෙන් දැන් රිෂාඩ් අමාත්‍යවරයාගේ චෝදනා විමර්ශය කරන්නට පටන්ගෙන ඇත.

දෙමළ ජාතික සන්ධානය තුළ විශ්වාසභංගය අරභයා පිපිරීමක් හටගෙන තිබේ. එහි සෙල්වම් අඩෛකළ නාදන් ප්‍රමුඛ ටෙලෝ මන්ත්‍රින් දෙදෙනාත් චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රිවරයාත් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කළෝය. එ.ජා.ප.යේ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා එයට පක්ෂවන බව පවසා ඇතිඅතර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාද ඊට මෙහිදී එ.ජා.ප.යේ මතය හා එකඟ නොවන බවට ආරංචි පැතිරයමින් තිබේ. මේ හැර එ.ජා.ප.යේ කතෝලික මැතිඇමැතින්ට අමතරව තවත් පසුපෙළ මන්ත්‍රීවරයකු දෙන්නෙකු දැඩි ස්ථාවරයක් ගනු ඇතැයි කියැවේ.

ජ.වි.පෙ. විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනආවද ඔවුන් මෙයට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ ආකාරයට රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහිව මැතිසබයේ මන්ත්‍රීන් ගොනුවෙද්දී ඔහු අවසන් මොහොත දක්වාම ප්‍රකාශ කළේ තමන් කිසිසේත්ම ඉල්ලාඅස් නොවන බවය. පසුගියදා පැවති මැතිසබයේ පක්ෂනායක හමුවේදී තමන්ට පහර එල්ලකරන මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට අවුරුදු 10ක් යනතෙක් ආණ්ඩු බලය ලබාගන්නට ඉඩනොදෙන බව රිෂාඩ් අමාත්‍යවරයා කී බව සමාජ මාධ්‍ය ජාලා වාර්තාකර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් අතර හමුවක් පසුගිය සඳුදා ජනාධිපති නිලනිවසේදී පැවැත්විණි. අමෙරිකා - බ්‍රිතාන්‍ය - යුරෝපා ප්‍රජාවේ රටවල් ඇතුළු මෙරට සිටින තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් ගණනාවක් ඊට එක්වූහ. මේ හැමගෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංචාරක ගමන් පිළිබඳ අවවාදය ඉවත් කරන හැටියටයි. එවිට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා කියා සිටියේ බ්‍රිතාන්‍යයේ ජනතාව සුන්දර ශ්‍රී ලංකාව බලාකියාගැනීමට ඉමහත් ආශාවක් දක්වන නිසා ඉතා ඉක්මනින් මේ සංචාරක උපදේශනය ඉවත් කිරීමට අදහස් කරන වගයි. එහිදී යුරෝපා හා කැනඩා තානාපතිවරු ආරක්ෂාව ගැන ප්‍රශ්න කළහ. ජනාධිපතිවරයා පිළිතුරු ලෙස කීවේ 99%ක්ම ආරක්ෂාව තහවුරු කරතිබෙන බවත් ඉදිරි කටයුතු සඳහා ආරක්ෂ අංශ ප්‍රතිසංවිධානයට ලක්කරන බවත්ය. ආරක්ෂක උපදේශක සභා සහ රාජ්‍ය ආරක්ෂක මණ්ඩලය නිතර හමුවෙමින් අවශ්‍ය පියවර ගන්නා ආකාරයද ජනාධිපතිවරයා විස්තර කරනු ලැබීය.

මේ නිසා අතරතුර යුරෝපා ප්‍රජාප නියෝජනය කරන තානාපතිවරයා ප්‍රශ්නයක් නගමින් විමසා සිටියේ බොදුබල සේනා ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාරහිමියන් හදිසියේම බන්ධනාගාරයෙන් නිදහස් කළේ ඇයිද කියායි. “ඒක මම තනිමතයට ගත්ත තීන්දුවක් නොවෙයි. ජනමතයට කන්දීමක් බවත් ත්‍රෛනිකායික මහනායක හිමිවරැන් හා සමාජ සංවිධාන රැසකින් උන්වහන්සේ නිදහස් කරන ලෙස තමන්ට ඉල්ලීම් රාශියක් ලැබුණු බවත් තමන් කළේ ආගමික නායකයන් ප්‍රමුඛ පිරිස්වල ඉල්ලීම ඉටුකිරීම බවත් සඳහන් කළේය.

සිරගෙදරින් නිදහස ලත් ඥානසාරහිමියෝ නැවතත් සමාජ දේශපාලන කටයුතුවලට අවතීර්ණව සිටිති. උන්වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුවදුක් විමසන්නට ජාතික රෝහලට ගිය අතර පසුව මාධ්‍ය හමුවකට ද එක්වූහ. එහිදී කුරුණෑගල වෛද්‍යවරයාට එල්ලවූ වඳ සැත්කම් චෝදනාව ගැන අදහස් දැක්වූ ඥානාසාර හිමි ඒ ගැන වසර 2012 සිටම තමන් කරුණු හෙළිදරව් කළ බව පැවසූහ. මේ සඳහා රජය විධිමත් පියවර ගතයුතු බවද කීහ. මුස්ලිම් වෛද්‍යවරයා පමණක් නොව සමහර සිංහල වෛද්‍යවරුද මෙවැනි වඳ සැත්කම් කරන වග පැවසූ උන්වහන්සේ මේ ප්‍රශ්නයේ මුල සොයාගෙන ඊට ප්‍රතිකාර කළයුතුයැයිද වදාළහ.

වත්මන් රජය බලයට පත්කිරීමට විශාල මෙහෙවරක් කළ අතුරලියේ රතන හිමියෝ මේදිනවල ඉස්ලාම්අන්තවාදී දේශපාලනඥයන්ට එරෙහිව සටනට බැස සිටිති. උන්වහන්සේ පසුගිය සති දෙක තුළ මෙරට ශාසනරක්ෂක බල මණ්ඩල සභාපති හිමිවරුන් රැසක් මුණගැසී විශේෂ ලේඛනයකට අත්සන් ගත්හ. එමඟින් කියැවුණේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල වී ඇති අසාද් සාලී, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ් යන ආණ්ඩුකාරවරු සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තනතුරුවලින් වහා ඉවත් කළ යුතු බවය. ඒ සඳහා පැය 24ක් කල්දෙන වගද කීහ. එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව විකල්ප පියවරකට යන බවද රතනහිමියෝ ප්‍රකාශ කළහ.

රතන හිමියන් ප්‍රමුඛ හිමිවරුන් හිස් බුල්ලාහ් මහතා ආණ්ඩුකාර පදවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට තවත් නව තනතුරක් ප්‍රදානය කර ඇත. ඒ අනුව මඩකලපුව, අම්පාර, ත්‍රිමලය දිස්ත්‍රික්කවල සංවර්ධනය භාර දිසා සම්බන්ධීකරණ කමිටු සභාපති පදවියට ඔහු මේ සතියේ පත්කරනු ලැබීය.

ඒ අතර ශ්‍රී.ල.නි.ප. සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර සාකච්ඡා දිගටම පවත්වාගෙන යමින් සිටී. ලබන ජුනි 7 දා එහි ඊළඟ වටය පැවැත්වෙයි. මේ සාකච්ඡාවල අරමුණ වන්නේ ඉදිරි ජනාධිපතිවරණය දෙපක්ෂය එක්ව තරග කිරීම බව ශ්‍රී.ල.නි.ප. පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා අලුත් සන්ධානයක් ගොඩනැගිය යුතුයැයිද හෙතෙම ප්‍රකාශ කර තිබිණි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක වියයුතුයයි ශ්‍රී.ල.නි.ප. තීරණය කර තිබේ. එහෙත් දෙපක්ෂය එක්ව කරන සාකච්ඡාවේදී අපේෂකත්වය ගැන සැබෑ තීන්දුවක් ගැනීම අපේෂාව යැයිද ඔහු සඳහන් කළේය. ජනාධිපති සහ අගමැති තනතුරු ශ්‍රී.ල.නි.ප. හා පොහොට්ටුව අතර බෙදාගන්නා ආකාරය ගැනද ඉදිරියේදී කතාකරන වග මහලේකම්වරයා සඳහන් කර ඇත.

සතියේ අමාත්‍ය මණ්ඩල හමුව පසුගිය අඟහරුවාදා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය. එහිදී ආරක්ෂක තත්ත්වය ආදිය ගැන කතාකොට අමාත්‍යවරුන්ගේ යෝජනා සාකච්ඡාවට ගැනුණි මෙහිදී එ.ජා.ප.යේ ප්‍රබලයන් දෙදෙනකු වන අමාත්‍ය මලික් සමරවික්‍රම හා සාගල රත්නායක මහත්වරුන් අතර වාග් සටනක් හටගත්තේය. මලික් අමාත්‍යවරයා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ත්‍රිමලයේ යකඩ කම්හලක් ආරම්භකිරීම සඳහා වරාය අමාත්‍යාංශය සතු ත්‍රිමලයේ ඉඩම් කොටසක් ලබාදෙන මෙන් සාගල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් අමාත්‍ය සාගල මලික් අමාත්‍යවරයා ඉල්ලා සිටින ආකාරයට වරාය ඉඩම් ලබාදිය නොහැකි බව පැවසීය. මේ ගැන පැවති කතාබහ ඉතා උණුසුම් තත්ත්වයක් ගත් අතර එය සැර කතාවක් බවට පත්විය. සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර ඇමැතිවරුන්ද මේ ඉඩම් කොටස අමාත්‍ය මලික්ට දෙන්නැයි කී නමුත් සාගල ඊට කිසිසේත්ම එකඟවී නැත. අවසානයේ ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාගල රත්නායක අමාත්‍යවරයාට දන්වා ඇත්තේ පරිසර වාර්තාවක් කැඳවා ප්‍රශ්නයක් නැත්නම් ඉඩම නිදහස් කරන ලෙසයි. එහිදීත් විවිධ හේතු දැක්වූ සාගල අවසානයේ එයට එකඟවිය. මේ වාදය බලාසිටි ජනාධිපතිවරයා කීවේ “අරලිය ගහ මන්දිරයේ කචල් එකක් වගෙයි” කියායි.

පවත්නා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙඩිනොවදින නිල රථයක් ලබාදෙන ලෙසට අගමැති රනිල් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. මුදල් අමාත්‍යාංශය ඒ ගැන වාර්තාවක් සැපයීමට කල්ඉල්ලා සිටි බැවින් අවසන් තීරණයක් ගැනීම පසුවට කල්තැබිණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙයට පෙර වෙඩිනොවදින වාහන කිහිපයක් ලබාදී ඇති බවයි. එහෙත් එදින ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රින් හමුවේ හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන්ට මෙයට පෙර ලබාදුන් වාහන තුනෙන් දෙකක් ධාවනය කළ නොහැකිව ගාල්කර ඇති බවයි. අනෙක් වාහනයද නිතරම මහමඟදී අබලන් වන නිසා ආරක්ෂක හේතූන් මත අලුත් වාහනයක් ඉල්ලාසිටි වගයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය අඟහරුවාදා සවස විපක්ෂනායකවරයාගේ විජේරාම මාවත නිවසේදී හමුවිය. මෙහි පැවති සාකච්ඡාවේදී වාසුදේව නානායක්කාර සහ මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ දැන් ඒකාබද්ධයේ ජනාධිපතිධුර අපේක්ෂකයා කව්දැයි ප්‍රකාශයට පත්කළ යුතු බවය. එවිට මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේ පක්ෂයේ අපේක්ෂකයා නම්කරන මහජන රැළිය පවත්වන්නේ කොයි කාලයේද කියායි. බැසිල් ඊට පිළිතුරු ලෙස කීවේ සැප්තැම්බර මාසයේ එම ජනහමුව පැවැත්වීමට සැලසුම් කර තිබෙන වගයි. එවිට මහින්ද රාජපක්ෂ කීවේ ඔව් අපි දැන්ම අපේක්ෂකයා නම් කරන්න ඕනෙත් නැහැ. මොකද තවමත් යූ.ඇන්පීය තමන්ගේ අපේක්ෂකයා නම් කරලත් නැහැනේ... ඊට පස්සේ තමයි අපි නම් කරන්න ඕනෑ..” කියායි. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැවතත් අදහස් දක්වමින් විමසා සිටියේ. “අපේ ජනාධිපති අපේක්ෂකයා කව්ද කියනඑක ගැන පොදු අදහසක් තියනවා. නමුත් අපි පක්ෂ නායකයෝ අතරවත් ඒ ගැන කතාකරලා අන්තිම තීරණයකට ඇවිල්ලා නැහැ. අපි අපේක්ෂකයා කරන්න යන අයත් ඒ ගැන බලාගෙනනේ ඉන්නෙ. ඒහින්දා අපි අපි පක්ෂ නායකයො කතා කරලා එකඟත්වයකට පත්වීම හොඳ නැත්ද? කියාය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ “ඔව් ඒක ඉතාම හොඳ අදහසක්. අපි කතා කරලා එකඟතාවකට පත්වෙමු.” යනුවෙනි. ඒ අනුව ඉදිරි දිනකදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායකයන් මුණගැසී ඒගැන සාකච්ඡා කිරීමට නියමිතය.

අනතුරුව රටේ පවතින අයහපත් තත්ත්වය ගැන කරුණු කීමට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් මුණගැසීමට තීන්දුවක් ගනු ලැබීය. එම තීන්දුව අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකවරුන් පිරිසක් මහනුවරට ගොස් මහානායක හිමිවරුන් මුණගැසීමට නියමිතය. එය සංවිධානය මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට පැවරිණි. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා මෙහිදී යෝජනා කළේ ජනතා ප්‍රශ්න ගැන දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කළ යුතු බවය. එයටද අනුමැතිය හිමි විය.

යහපාලන ආණ්ඩුව ගෙනඒම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. වත්මන් ජනාධිපතිවරයා සහ යහපාලන රජය බලයට ගෙන ඒම සඳහා තමන් තැටිය රත්කරන බව ප්‍රකාශ කරමින් කරළියට පැමිණි සෝභිත හිමියන්ගේ ජන්ම සංවත්සරය සැමරීම සඳහා රජය නියෝජනය කරමින් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ ඇමැති පිරිසක් එක්වූහ. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එහි දක්කට නොලැබීම විශේෂයකි. මෙහිදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය විශේෂ දෙසුමක් පවත්වමින් රජය හා රජයේ ප්‍රධානපෙළේ නායකයන් දැඩිලෙස විවේචනය කළේ මේ රජය බලයට පත්කිරීම ගැන තමන්ටම සාපවේවායි කියමිනි. පැවති රාජපක්ෂ රජයේ දූෂණ වංචා හේතුවෙන් යහපාලන රජය පිහිටුවන්නට තමන්ලා මුල් වූයේ බලාපොරොත්තු රැසක් ඇතිව නමුත් ඒ සියල්ල රජය විසින් බිඳදමන ලදැයි ඔහු චෝදනා කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට ගැන කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගිය බදාදා සාක්ෂි විභාගය ආරම්භ කළේය. එහි ආරම්භක සාක්ෂිකරුවන් වූයේ ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටගොඩ සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුය. මෙහිදී මෙම කාරක සභාව මාධ්‍යයට ද විවෘත කර තිබිණි. එහිදී ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ අන්තවාදී සංවිධානවලින් ප්‍රහාර එල්ලවිය හැකි බවට වසර 2014 සිටම තොරතුරැ ලැබුණු වගය. ඒ කාලයේම අදාළ සැකකටයුතු සංවිධාන තහනම් කළේ නම් මෙම ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවද හෙතෙම කීය. ප්‍රහාරය වනවිට රාජ්‍ය බුද්ධි අංශ අඩපණ වී ඇතිදැයි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ විට එක්කෙනෙක් දෙන්නෙක් එහි නොසිටි පමණින් බුද්ධි අංශ අඩපණ නොවන බවය. පාස්කු ප්‍රහාරයෙනු පසු අගමැති කැඳවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී නොවීම ගැන කරුණු දක්වමින් ඔහු කීවේ ජනාධිපතිවරයා රටේ නැති අවස්ථාවක කැඳවිය හැකි අතර ජනාධිපතිවරයාගේ දැනුවත් භාවය ඇතිව ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඊට සහභාගී විය හැකි බවය.

නව අමාත්‍යවරුන් දෙදෙනෙක් ගිය බදාදා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ. ඒ අනුව මෙතෙක් කිසිදු තනතුරක් නොදැරූ වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය පැවරුණේ මෙතෙක් එය දැරූ පී. හැරිසන් අමාත්‍යවරයාගෙන් එම කොටස ඉවත් කරමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නම් දෙක ඇතුළු තවත් නම් ගණනාවක් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය පදවි ලබාදෙන ලෙස දන්වමිනි. රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට නීතිය හා සාමය විෂයට පවරන මෙන්ද මුලින් ඉල්ලා තිබිණි. කෙසේ හෝ ඔහුට රාජ්‍ය ආයතන රුසක් පාලනය කෙරෙන ග්‍රාමීය ආර්ථික ආර්ථික විෂය පැවරුණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අරලිය ගහ මන්දිරයේදී සිවිල් සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් හමුවිය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යථා තත්ත්වයට පත්කරගන්නට මෙවර සිවිල් සංවිධාන විසින් සිදුකරන ලද මෙහෙවරට අගමැතිවරයා විශේෂ ස්තූතිය පළ කළේය. මෙරට ආරක්ෂක අංශ ඉතා කාර්යක්ෂමව ක්‍රියාකොට තත්ත්වය පාලනය කළ බවද අගමැතිවරයා පැවසීය. ඉන්දියාව තොරතුරු ලබාදී තිබියදීත් මේ ගැන ක්‍රියාත්මක නොවීම ගැන ජනතාව රජයට දොස් කියන අතර විපක්ෂය ගැන තිබූ විශ්වාසයද පළුදුවී ඇතැයි අගමැතිවරයා කීය. ඇමැති බදුයුදීන් ගැන මාධ්‍යයෙන් හා විවිධ සංවිධානවලින් චෝදනා රැසක් එල්ල කර ඇතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඒ ගැන පරීක්ෂා කිරීමට මැතිසබා කමිටුවක් පත්කර ඇතැයිද එහි අතුරු වාර්තාව සති දෙකකින් ලැබුණු පසු ඒ අනුන රජය ක්‍රියාකරන්නේ යැයිද කීය. ප්‍රධාන විපක්ෂය වන පොදුජන පෙරමුණ මේ තේරීම්කාරක සභාවට සභාපති නොවීමට ගත් තීන්දුව ගැන තමන් කනගාටුවන්නේ යැයිද අගමැතිවරයා මෙහිදී කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා නවදිල්ලියට ගියේ ඉන්දීය ඇමැති නරේද්‍ර මෝදී මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවීමටයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව පාකිස්ථානය හැර ආසියානු කලාපයේ බිම්ස්ටෙක් සංවිධානය නියෝජනය කරන සියලුම රටවල රාජ්‍ය නායකයන් මෙම උත්සවයට ඇරැයුම් ලබා තිබිණි. සිකුරාදා රාත්‍රි 7.00ට පැවති උත්සවයෙන් පසු කෙටි හමුවකට ජනාධිපතිවරයා ඉන්දියානු නායකයා හමුවීමට නියමිත විය.

අමාත්‍ය චම්පික රණවක ගිය බ්‍රහස්පතින්දා සවස විශේෂ මාධ්‍ය හමුවක් තබමින් ඇමැති රිෂාඩ් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ තීරණය ප්‍රකාශ කළේය. එහිදී ඔහු සඳහන් කළේ බදුයුදීන් අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවෙන් එල්ල කර තිබෙන චෝදනා පිළිබඳ ආරක්ෂක අංශවල විමර්ශනයකට ඉඩ දී ඇමැතිවරයා තනතුරින් ඉවත් විය යුතු බවයි. ඇමැති බදුයුදීන්ට එල්ලවී තිබෙන චෝදනා බරපතළ අපරාධ ගණයට වැටෙතැයි කී අමාත්‍ය රණවක ඒ ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීම නිෂ්ඵල ක්‍රියාවක් යැයි පැවසීය. එනිසා මැතිසබා තේරීම් කමිටුවකට වඩා ආරක්ෂක අංශ විමර්ශනයකට ඉඩ සැලසීම බදුයුදීන් අමාත්‍යවරයාගේ වගකීම බවද රණවක ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කියන අතුරලියේ රතන ස්වාමින් වහන්සේ පසුගිය සිකුරාදා උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. උන්වහන්සේ එම උපවාසය ආරම්භ කළේ දැනට විවිධ චෝදනා එල්ල වී තිබෙන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා වහාම තනතුරැවලින් ඉවත්කලයුතු බවට රජයට බලකිරීම පිණිසය. ඊට පෙර උන්වහන්සේ රජයට ඒ ගැන අනතුරු අඟවමින් පැය 24ක කාලයක් තුල මේ අය තනතුරුවලින් ඉවත් කරන්නැයි රජයට දැනුම්දී තිබුණි. එම ඉල්ලීම ඉටුනොවීම නිසා රතන හිමියෝ අඛණ්ඩ උපවාසය පිළිබඳ තීන්දුව ගත්බව වාර්තා වෙයි. 

 

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර