2019 මැයි 25 වන සෙනසුරාදා

ජනපති මෛත්‍රී හදිසියේ මහින්දගේ නිවසට

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 641

 දරුවන් පිරිවරාගෙන මහින්ද පාසල් යයි

 ඥානසාර හිමිට ජනපති සමාවට පාර කැපුණු හැටි....

 රිෂාඩ් බදුයුදීන් සුළු පක්ෂ නායකයන්ගේ උදව් පතයි 

 ධම්මික පෙරේරා තමා පොදු අපේක්ෂකයා බව නාමල් රාජපක්ෂට කියයි

 නිරෝෂන් පෙරේරාට වැරදුණේ නැතිලු

 වාද විවාද මැද ජ.වි.පෙ.නුත් විශ්වාසභංගයක්

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහිව භාරදී ඇති විශ්වාසභංග යෝජනාව විසින් ආණ්ඩුව තුළ කැළඹීමක් ඇතිකර තිබේ. මෙම යෝජනාව කෙටුම්පත් කර භාරදීමට මූලික වූ පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශ්වාසභංගය කතානායකවරයාට භාරදුන් දවසේ ප්‍රසිද්ධියේ කීවේ &අපි මේ යෝජනාව දිනුවත් දිනුම් - පැරදුණත් දිනුම්” කියාය. ඔහුගේ ඒ දේශපාලන අනාවැකිය යම් තරමකට සනාථ කරමින් එ.ජා.ප.යේ කතෝලික මන්ත්‍රීන් තම තමන්ගේ හඬ අවදි කරන්නට පටන්ගෙන ඇත. ඒ ගැන මුලින්ම අදහස් ප්‍රකාශ කළේ ජාඇළ සහ මීගමුවේ දේශපාලන කටයුතු කරන කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාය. ඔහු කීවේ තමන් කාදිනල් හිමියන්ගේ මතයද විමසා තීන්දුවක් ගන්නා බවයි. එය දැඩි තීන්දුවක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය. ඉන් අනතුරුව අදහස් පළකළේ එජාපයේ සිටි ඉතාම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් යුවළක් වූ වෙන්නප්පුවේ පෙස්ටස් පෙරේරා සහ මේරි ලැරින් පෙරේරා හිටපු මන්ත්‍රී යුවළගේ පුත්‍ර නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාය. ඔහු කීවේ විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර රිෂාඩ් අමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්විය යුතු බවය. එසේ නොකළොත් තමන් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. තමන් මේ තීරණයට එළැඹියේ බදුයුදීන් අමාත්‍යවරයා ත්‍රස්තවාදී සැකකරුවන් මුදවා ගන්නට යුද හමුදාපතිවරයාට බලපෑම් කළ බැවින් යැයිද සඳහන් කර තිබිණි.

එහෙත් එ.ජා.ප.යේ හෙක්ටර් අප්පුහාමි වැනි මන්ත්‍රීවරුන් කීවේ තමන් ගන්නේ පක්ෂයේ තීරණය බවත් එය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ඇති බවත්ය. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාද කීවේ විශ්වාසභංගය විවාද කිරීමට පෙර බදුයුදීන් මහතා තමන් නිවැරදි යැයි ඔප්පු වනතුරු තනතුරින් ඉවත්විය යුතුය කියායි. එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා තිබුණේ මෙම ප්‍රශ්නයේදි තමන් පක්ෂ තීන්දුව සමඟ හිටගන්නා බවයි. කෙසේ හෝ එජාපයේ සිටින කිතුනු භක්තික මැති ඇමැතින් 8 දෙනා විශ්වාසභංගය නිසා අපහසුවට පත්ව සිටිති.

මේ ආකාරයට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් විශ්වාසභංගය ගැන බෙදීමක් පෙන්නුම් කරද්දී මැතිසබයේ සභානායක හා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ විශ්වාසභංගය ඉදිරිපත් කරන දිනයවත් නිසි ලෙස ලියාගන්නට බැරි විපක්ෂය එම යෝජනාව ගැන උදම් අනන බවය. කතානායකතුමා එය මැතිසබා න්‍යාය පත්‍රයට ඇතුළත් කළ වහාම එය විවාදයට දිනයක් ලබාදෙන්නේ යැයි කීය. එ.ජා. පෙරමුණේ මැති ඇමැතින්ට විශ්වාසභංග පරාජය කිරීම මහ ලොකු කජ්ජක් නොවේ යැයිද කිරිඇල්ල මහතා පැවසීය. මේ විශ්වංසභංගය පරාජයෙන් පසු ඒකාබද්ධ විපක්ෂ නඩයට යන එනමං නැතිවන්නේ යැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීය.

ඒ අතර දෙමළ ජාතික සන්ධානය තුළද විශ්වාසභංගය හේතුවෙන් පිපිරීමක් හටගෙන තිබේ. එහි එක් හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය යෝජනාවක් සම්මත කර ගනිමින් සන්ධාන නායකයන්ට දන්වා සිටියේ තම පක්ෂය රිෂාඩ්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්නට සූදානම් වගයි. මන්නාරම දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මේ බව ආර්. සම්පන්දන් හා මාවෙයි සේනාධිරාජා මහත්වරුන්ට දැන්වීය. ඔහුත් සමඟ එම පක්ෂයේ මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්ද සිටින බැවින් දෙමළ ජාතික සන්ධානය කිසියම් අපහසු තත්ත්වයකට පත්ව සිටින බව දැනගන්නට ඇත.

දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති මෙම බෙදීම ගැන දැනගන්නට ලැබුණ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ගිය සඳුදා දහවල් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතාට දුරකතනයෙන් කතා කළේය. ඔහු සම්පන්දන් මහතාට කතාකොට විශ්වාසභංග යෝජනාවේදී තමන්ට සහාය ලබාදෙන මෙන් ඉල්ලීමක් කළේය. එවිට සම්පන්දන් මහතා ඒ ගැන පක්ෂය සමඟ කතාකොට තීන්දුවක් ගන්නා බව පැවසීය. &අයියා ඔයාලා ඒක තීරණය කරන්න කලින් මම ඔයාලට ඉතා වැදගත් රහසිගත ලිපියක් දෙනවා. ඒ ඩොකියුමන්ට් එක බලලම තීන්දුවක් ගන්න... අනතුරුව රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා සම්පන්දන්ගෙන් ඉල්ලා සිටියේය. අනතුරුව ඔහු කතා කළේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයාටය. ඔහුගේ සහායද විශ්වාසභංගයට ඉල්ලා සිටි රිෂාඩ් අමාත්‍යවරයාට ඩගී කීවේ තමන් මේ ගැන පක්ෂය සමග කතාකොට තීන්දුවක් ගත යුතු වගයි. &මම ඔයාට විශේෂ රහසිගත ඩොකියුමන්ට් එකක් එවනව. ඒකත් බලම තීන්දුව ගන්න...” රිෂාඩ් සම්පන්දන්ට කී ආකාරයටම ඩග්ලස් දේවානන්දටද කීය. &එවන්න... එවන්න... එතකොට ඒකත් බලලම තීන්දුවක් ගන්නම්...” ඩග්ලස් දුරකතනය තබමින් පොරොන්දු විය.

කෙසේ හෝ දෙමළ සන්ධාන නායකයා ගිය බදාදා මාධ්‍යයට කියා තිබුණේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංග යෝජනාව ගැන ප්‍රකාශ කරන අදහස් තම සන්ධානයේ පොදු මතය නොවන බවය. පක්ෂය කොළඹදී රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය. ඒ අතර එ.ජා.ප.යේ අමාත්‍යවරයකු වන නවීන් දිසානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බවට කළ ප්‍රකාශය වැරදීමකින් සිදුකරන ලද්දක් බවත් ඔහු පසුව කරුණු අවබෝධ කරගෙන ඇති බවත්ය. එහෙත් ඊට පසුදා නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ තමන්ට කිසිවක් වැරදුණේ නැති බවත් තමන් එම ප්‍රකාශය කළේ හොඳින් සිතා බලා වගත්ය.

ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීන් හය දෙනාම පසුගිය අඟහරුවාදා උදෑසන කතානායක කරු ජයසූරිය මහතා මුණගැසී තවත් විශ්වාසභංග යෝජනාවක් භාරදුන්නේය. එය සමස්ත ආණ්ඩුවට විරුද්ධව බව සඳහන් විය. චෝදනා 12කින් පමණ සමන්විත වූ එය විවාදයට ගන්නා මෙන් ජනතා විමුක්ති පෙරමුණ කතානායකගෙන් ඉල්ලීමක් කළේය. එමගින් ඔවුන් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් මෙම ප්‍රහාරය ගැන රජය දැනුවත් කර තිබයදීත් ඊට අදාළව පියවර නොගෙන වගකීම් විරහිතව ක්‍රියාකර ජීවිත සහ දේපොළ බිළිගත් බවය.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරු ජනතා විමුක්ති පෙරමුණ විසින් කඩිමුඩියේ ගෙන එන ලද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව බේරාගැනීමේ ජ.වි.පෙ. ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන්හ. රිෂාඩ් බදුයුදීන්ගේ විශ්වාසභංගයෙන් බෙදී සිටින ආණ්ඩු පක්ෂය ඒකරාශි කිරීම අනුර දිසානායක ජ.වි.පෙ. නායකයාගේ අරමුණ බවත් ඒ සඳහා එ.ජා.ප.යෙන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් එස්.බී. සඳහන් කළේය.

එහෙත් ජ.වි.පෙ. නායකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කීවේ කිසිදු අපරාධකරැවකු රැකීම ජ.වි.පෙ. අරමුණ නොවන බවය. රිෂාඩ්ට එරෙහි වූ යෝජනාව මැතිසබයේ විවාදයට ගන්නේ නම් ඒ අවස්ථාවේදී රට පැත්තේ සිට තීන්දුවක් ගන්නා බවත් අනුර දිසානායක මහතා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ලබාගැනීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධය සාකච්ඡා කළේය. එහිදී විශ්වාසභංගය කෙටුම්පත සැකසීමට මූලික වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ 2015 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස නම්කළ මොහොමඩ් ඊබ්‍රහීම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු නිසාත් ඔහු අමාත්‍ය රිෂාඩ් සමග සබඳතා පැවැත්වූ බවට සාධක ඇති නිසාත් තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ සඳහා සහය ඉල්ලා නොසිටි බවයි.

කෙසේ හෝ රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාව ගැන පසුගියදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා අදහස් දක්වා තිබිණි. තමන් ගොදුරක් කරගන්නට විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා එහි අඩංගු සියලු චෝදනා අසත්‍ය යයි සඳහන් කළේය. තමන්ගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම මෙහි අරමුණ බවද හෙතෙම පැවසීය. තමන් කිසිම දින හමුදාපතිවරයාට බලපෑම් කළේ නැති වගක් තමා ඔහුට ඇමැතුමක් දුන්නේ සැකකරුවන් ගැන තොරතුරු දැනගැනීමට වගත් සඳහන් කළේය. එහෙත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමන්ට ඇමැති පදවියෙන් ඉල්ලා අස්වන ලෙස පවසන්නේ නම් තනතුරින් ඉවත්වන බව රිෂාඩ් කැබිනට්ටුවට කීය. තමන් පමණක් නොව තමන්ගේ පක්ෂයේ සෙසු තනතුරු දරන්නන්ද ඉල්ලා අස්වන බව රිෂාඩ් සඳහන් කළේය.

ඔහුගේ එම ප්‍රකාශය ආණ්ඩුවට අනියමින් කළ අනතුරු ඇඟවීමක්ද වූ බව කිව හැක. කෙසේ හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ ගැන කැබිනට්ටුවේදී රිෂාඩ්ට කිසිවක් කීවේ නැත. ඒ අතරතුර එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු රැස්වීමට පෙර පැවැත්විණි. එහිදී මන්ත්‍රීන් ගණනාවක්ම පෙන්වා දුන්නේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයි. රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව නැගී තිබෙන චෝදනා පරීක්ෂා කරන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි මන්ත්‍රීවරු කිහිප දෙනකුම සඳහන් කර තිබිණි.

විශ්වංසභංගය ගැන තීන්දුවක් ගන්නට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ ගිය බදාදා රැස්වූහ. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වාසභංගය සාකච්ඡාවට ගැනීමට පෙර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කොට රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහිව ඇති චෝදනා පරීක්ෂා කර බැලිය යුතු යැයි එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම යෝජනා කළ වගය. ඒ අනුව මුලින් තේරීම්කාරක සභාවක් පත් කරමු යැයි කිරිඇල්ල යෝජනා කළේය. එහෙත් ඒකාබද්ධයේ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර ආදීන් ඊට සිය දැඩි විරෝධය පළකළහ. දිනේෂ් කීවේ ප්‍රශ්නය මෙලෙස යට ගසන්නේ නැතිව වහා විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙසයි. අමරවීර හා විමල්ද මෙහිදී තදින්ම කියා සිටියේ වහා මේ ගැන මැතිසබා විවායක් අවශ්‍ය යැයි කියාය. සති දෙකකින් තේරීම් කාරක සභාව හමාර කරමුයි කිරිඇල්ල කී විට දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එය නෙකෙරෙන වැඩක් කියායි. ඉන්පසු මාසයක් තුළ තේරීම් කමිටුවේ කටයුතු හමාර කරමු යැයි යෝජනා විය. විපක්ෂය ඊට තරයේම විරෝධය පළ කළේය.

එහෙත් ජ.වි.පෙ. නියෝජිතයන් සිටියේ නිහඬවය. කෙසේ හෝ මැතිසබය රැස්වූ විටද මෙම විවාදයම හටගත් අතර කතානායකවරයාද ඉක්මණින් මෙය විවාද කළ යුතු යැයි කීය. මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර ආදීන් වහාම විශ්වාසභංග විවාදය අවශ්‍ය බව කියද්දී පසුදා (බ්‍රහස්පතින්දා) පක්ෂනායක රැස්වීමක් තබා ඒ ගැන තීන්දුවක් ගන්නට තීරණය වුණි. විපක්ෂය මෙලෙස ආණ්ඩුව පත්කරන තේරීම් කමිටුවට සාමාජිකයන් නම් නොකරන්නටද තීන්දු කර තිබිණි. කෙසේ හෝ මෙදින මැතිසබය අවුල් ජාලයක් බවට පත්වූයේ විශ්වාසභංග විවාද කතාව නිසාය.

ඒ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමද සිදුවිය. ඊට පාර කැපුණේ වෙසක් පෝදා සිරකරුවන්ට සමාව දීමේ අවස්ථාව සඳහා සිරගෙදරට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඥානසාර හිමියන් මුණගැසීමත් සමඟය. බන්ධනාගාර රෝහලට ගිය ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා විනාඩි 45කට වැඩි කාලයක් ඥානසාර හිමියන් සමග කතාබස් කළේය. උන්වහන්සේ රටේ පවත්නා වත්මන් තත්ත්වයට අදාළ තොරතුරු ඇතුළත් ලිපිගොනු කිහිපයක්ද ජනාධිපතිවරයාට භාර දුන්නේය. උන්වහන්සේගේ නිදහස ගැන ජනතාවත් බොදුබලයේ හිමිවරුනුත් කතා කරන්නට පටන්ගත්තේත් ඉන් අනතුරුවය.

ගිය බදාදා අමාත්‍ය රවි කරුණානායක, ආණ්ඩුකාර අසාද් සාලි ඇතුළු පිරිසක්ද බන්ධනාගාරය වෙත ගොස් ඥානසාර හිමියන් මුණගැසුණි. උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදීම ගැන ඉඟි පළවූයේ ඉන් අනතුරුවය. ඒ වනවිට (බදාදා) උදෑසන ජනාධිපතිවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත යොමුකළ ලිපියක් මගින් ඥානසාර හිමියන්ගේ දඬුවම් හා සිරගෙදර කල්ක්‍රියාව ගැන තොරතුරු වාර්තාවක් කැඳවා තිබිණි. කොමසාරිස් ජනරාල්වරයා එම වාර්තාව එදිනම සවස ජනාධිපති ලේකම්වරයා වෙත යැවීය. ඒ සමඟ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ ලිපිය සකස්කර බදාදා හැන්දෑවේම ජනාධිපතිවරයා විසින් අත්සන් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මිය වෙත යැවීය. ඒ අනුව ක්‍රියාත්මක වූ තලතා අතුකෝරළ මහත්මිය ඥානසාර හිමියන්ව නිදහස් කිරීමට අදාළ සෙසු කටයුතු සම්පාදනය කළේය. අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට පැනවූ වසර 19ක සිරදඬුවම වසර 6කින් ගෙවී යන සේ ක්‍රියාත්මක වෙමින් තිබිණි. පොදු සමාජ ඉල්ලීම අනුව මාස 6කින් පසු ජනාධිපතිවරයා උන්වහන්සේට සමාව ප්‍රදානය කළේ ජනාධිපති බලතල උපයෝගී කර ගනිමිනි.

එ.ජා.ප.යේ අනුග්‍රහය ඇතිව ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වන බවට ආරංචි පැතිර යමින් තිබේ. ඔහු ඉදිරිපත් වන්නේ පොදු අපේක්ෂකයා ලෙස බවද කියැවේ. අග්‍රාමාත්‍ය හා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙයට දින කිහිපයකට පෙර ධම්මික පෙරේරා මහතාගේ නිවසට ගොස් ඔහු මුණගැසී මේ ගැන ඉල්ලීමක් කළ බව බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කළේය. ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා වෙතත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙතත් අදහස් පළකළ ධම්මික පෙරේරා කීවේ තමන් රටටත් ජනතාවටත් වැඩ කරන්නට සූදානම් බවය. ඇතැම් වෙබ් මාධ්‍ය කීවේ ධම්මික පෙරේරා තමන්ගේ රජයක් පත් වුවහොත් පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත ආදීන් තම කැබිනට්ටුවට ඇතුළත් කරගනු ඇති බවය. කෙසේ හෝ රනිල්ගේ ගමනින් පසු ධම්මික පෙරේරා අරලියගහ මැඳුරටද පැමිණ රටේ පවත්නා ආර්ථික තත්ත්වය හා ආර්ථික මර්මස්ථානවල ක්‍රියාකාරීත්වය ගැන එජාප ප්‍රබලයන් පිරිසකට විග්‍රහයක්ද කර තිබේ.

ඒ අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ඉතාමත් ප්‍රබල රාජපක්ෂ මහතාට සමීප තම නිලධාරීන් දෙදෙනෙකුට කතා කළේය. ඉන් එක් ප්‍රබලයෙක් දැනට විදේශගතව සිටී. අනෙක් ප්‍රබලයා කොළඹ සිටියදී ඔහු සමඟ පැය දෙකක කාලයක් දුරකතනයෙන් කතා කළේය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිත්‍ය වශයෙන් නොකීවද ඔහු ඊට සූදානම් බව මේ දෙදෙනාටම පැවසූ ධම්මික පෙරේරා තමන්ගේ එකම ආශාව වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය රාජපක්ෂ රජයක් යටතේ දරන්නට ක්‍රියාකළත් ඊට අවස්ථාවක් ඇතැයි නොපෙනෙන බවද පැවසීය. තමන් රාජපක්ෂවරුන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉතා ගරැකරන බවත් ඔහු යටතේ සේවය කරන්නට ඉඩ නැති නිසා රට වෙනුවෙන් යමක් කරන්න ඉඩක් තිබේ නම් ඊට අකමැත්තක් නැති බවත් ධම්මික මේ දෙදෙනාටම කීය.

අනතුරුව පසුදා ඔහු තමන්ගේ තීරණය දන්වා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බව ධම්මික නාමල්ට කී විට... ඒක ඉතාම හොඳයි කියමින් නාමල් පිළිතුරු දී තිබිණි.

තමන් මේ ගැන මහින්ද රාජපක්ෂ මහතා ළඟදී මුණගැසී සාකච්ඡා කරන්නට කැමැත්තෙන් සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ධම්මිකගේ දේශපාලන ආගමනය ගැන එ.ජා.ප.යේ දේශපාලන ප්‍රබලයන් ගණනාවක් අදහස් දක්වා තිබුණේ සතුටින් නොවේ. පක්ෂය දෙවරක්ම පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කර පාඩම් ඉගෙනගත් බැවින් මෙවරත් එම පාඩම ඉගෙන ගත යුතු නැති බව ඔවුහු පවසති. එ.ජා.ප.යෙන්ම කවුරුන් හෝ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඔවුන්ගේ මතය බව කියැවේ. කෙසේ වෙතත් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකත්වය ගැන තීන්දුව ගැනෙන්නේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට අති බහුතරයක් ඇති පක්ෂ කෘත්‍යාධිකාරියෙන් නිසා අගමැතිවරයාගේ අදහස ඉටුකර ගැනීම අසීරු නොවනු ඇතැයි කියැවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සඳුදා කොළඹ අවට පාසල් කිහිපයක් වෙත ගියේ බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත් මන්ත්‍රීන් හා විපක්ෂනායක ලේකම්වරුන් වන හර්ෂ විජේවර්ධන හා චමින්ද කුලරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් සමඟය. රාජකීය, විශාඛා, ආනන්ද, නාලන්දා, තර්ස්ටන්, හින්දු විද්‍යාලය ආදී පාසල්වලට හිමිදිරි පාන්දරින් පැමිණි රාජපක්ෂ මහතාට දරු දැරියන් හා දෙමව්පියන්ගේද අදාළ විදුහල්වල විදුහල්පතින් ප්‍රමුඛ පිරිසකගේද ඉහළ පිළිගැනීමක් ලැබිණි. පාස්කු බෝම්බයෙන් පසු පාසල්වලට දරුවන් පැමිණීම ඉතාම අඩු වී තිබිණි. රජය ඒ ගැන ඉල්ලීම් ගණනාවක් කළක් දරුවන් හා දෙමව්පියන් ඊට දක්වා තිබුණේ උදාසීන ප්‍රතිචාරයකි. හමුදාපතිවරයාද මේ ගැන ඉල්ලීමක් කළේය. කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස පාසල්වලට ගොස් ආරක්ෂාව තහවුරු වී ඇතැයි පැමිණ සිටි පිරිස්වලට පවසා දරුවන් හා දෙමව්පියන්ගේ සැකබිය දුරු කරන්නට පියවර ගත්තේය. &අපි මේ ගමන ආවේ දේශපාලන හේතු මත නොවෙයි. අපේ රට අපේ අනාගත පරපුර ගැන හිතලයි. ඒ අයගේ බිය සැක නැති කරල ආරක්ෂාව ඇති බව තහවුරු කිරීමයි අපේ එකම අරමුණ” මහින්ද මේ ගමන ගැන මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.

විශ්වාසභංග විවාදයට දින තීන්දු කිරීම සඳහා ගිය බ්‍රහස්පතින්දා පැවති පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් විය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම හමුවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිගින් දිගටම තර්ක කළේ මෙම සිද්ධිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කොට එහි මුල් අතුරු වාර්තාව ලබාගෙන අනතුරැව විශ්වාසභංගය විවාද කරමු කියායි. එහෙත් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ මහත්වරුන් තර්ක කළේ එය ඉක්මනින් ලබාදිය යුතු බවයි. රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහු දිනේෂ්ට සහ විමල්ට චෝදනා කළේ ඔවුන් මේ සිද්ධියෙන් ජාතිවාදය අවුස්සන බවයි. ජාතිවාදී ලෙස හැසිරෙන්න එපා යැයි රිෂාඩ් දිනේෂ්ට හා විමල්ට කීය. එයින් සභාව උණුසුම් වූ අතර දිනේෂ් හා විමල් රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් &අපි ජාතිවාදීන් නොවේ. අපි තමයි අහිංසක මුස්ලිම් මිනිසුන්ගෙ ජීවිත බේරුවෙ. ඒක මතක තියාගන්නව.. මෙතන තමුන්ට විශාල චෝදනා ගොඩක් තිබෙනව. ඒව බොරු නෙවෙයි. ඇයි තමුන් හරි නම් මේ විවාදයට බය. බය නැතුව විවාදයට එනව. මේ විවාදය කල් දැමුවොත් ඉදිරි මාසයම තමුන්ට විපක්ෂයෙන් බැණුම් අහන්නයි වෙන්නෙ. &දිනේෂ් හා විමල් මාරුවෙන් මාරුවට කීහ. කෙසේ වෙතත් සභානායක හා කතානායකගේ තීන්දුව අනුව ලබන මස 18/19 දෙදිනට විවාදය නියම විය. එහෙත් ඊට පෙර පත්කරන මැතිසබා කාරක සභාවට ඒකාබද්ධය හෝ ශ්‍රී.ල.නි.පය සහභාගි නොවන බව කතානායකට දැන්වීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය බ්‍රහස්පතින්දා උදෑසන හදිසියේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිවෙසට පැමිණියේය. එලෙස පැමිණියේ එහි පැවති විවාහ මංගල්‍යයක සාක්ෂියට අත්සන් කිරීම පිණිසය. ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ සමීපතම ඥාතිවරයකුගේ විවාහ මංගල්‍ය ප්‍රසිද්ධ හෝටලයක තබන්නට කලින් සැලැසුම් කර තිබිණි. එහෙත් ආරක්ෂක හේතූන් මත මහින්ද රාජපක්ෂ මහතාට එහි පැමිණීම අසීරු බව දන්වනු ලැබීය. එසේ නම් මනාල යුවළ රාජපක්ෂ මහතාගේ නිවෙසට පැමිණෙන්නදැයි විමසූ විට හිටපු ජනාධිපතිවරයා ඊට කැමැත්ත පළ කළේය. නමුත් මනාලියගේ පාර්ශ්වයෙන් සාක්ෂියට අත්සන් කරන්නට නියමිතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ඒ බව දන්වා ඔහු කැමැති නම් තම නිල නිවෙසේ විවාහය ලියාපදිංචි කළ හැකි බව මහින්ද කීය. ඒ අනුව දෙපාර්ශ්වයේ ඥාතීන් ජනාධිපතිවරයාට මේ බව දන්වා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසට පැමිණිය හැකිදැයි විමසූ විට මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට එකඟ වී බ්‍රහස්පතින්දා උදෑසන එහි පැමිණියේය. සුබ නැකැතට මංගල්‍යයේ සාක්ෂියට අත්සන් තබා මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් තේ පැන් සංග්‍රහයට ද එක්වූ ජනාධිපතිවරයා ටික වේලාවක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබස් කළේය. එහිදී ඔහු සඳහන් කළේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් ඉදිරි ජනාධිපතිවරණයට එ.ජා. පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස තරග කරන බව දැන්වූ බවයි. ඔහු මේ බව විපක්ෂයටද දැනුම් දී ඇතැයි කී මහින්ද රාජපක්ෂ මහතා “අපි එන විදියකට බලමු. තව කල් තියෙනවනේ.” යනුවෙන් පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ගැන වැඩි යමක් කතා කළේ නැත.

► ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර