2019 මැයි 18 වන සෙනසුරාදා

දරුවන් පාසල් යවන හැටි මහින්ද කියයි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 166

♦ ජනපති චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක

♦ කාදිනල් හිමියෝ තමන්ට කළ යෝජනාව ගැන මවිතය පළ කරති.

♦ චම්පික රණවක අලුත් ගමනක

♦ මංගලගේ කතාවට මහ සඟරුවනේ විරෝධය

♦ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට අගමැති, ආරක්ෂක ඇමැති දැඩි තීන්දු ගනිති.

♦ මුහුණුපොතේ පණ්ඩිතයන් ගැන ටිල්වින් තරහින්

 

පාස්කු බෝම්බයෙන් පසුව රටේ දක්නට ලැබෙන්නේ අවිනිශ්චිත දේශපාලන වාතාවරණයකි. එකිනෙකාට චෝදනා කර ගැනීම් හැම අතින්ම ඇසෙතත් ජනතාවට මේ සියල්ල අරහං වී තිබේ. අද රටේ ප්‍රමුඛතා ලේඛනයේ අංක 1ට පත්ව ඇත්තේ ජාතික ආරක්ෂාවය. ජාතික ආරක්ෂාව උපරිම ලෙස සලසන්නට ආණ්ඩුව උත්සාහ දැරුවත් රට කරවන අයගේ තිබෙන මතගැටුම්, පරස්පර කතා සහ බෙදීම් විසින් තත්ත්වය ව්‍යාකූල කර තිබේ. එ.ජා.ප. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා බල කේන්ද්‍ර දෙකක් ලෙස ක්‍රියා කරන්නට පටන්ගෙන ඇති බව පැහැදිලිය. මේ තත්ත්වය නිසා කතෝලික සභාවේ ප්‍රධානී මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට ජනතාව තුළ තිබෙන ගෞරවයවත් දේශපාලන නායකයන්ට නොලැබෙන  බව සක්සුදක් සේ පැහැදිලිය. ඇතැම්හු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යෝජනා කළේ කාදිනල් හිමියන් දැන් මෙරට දේශපාලන නායකත්වය ගත යුතු බවය. ඇතැම්හු උන්වහන්සේට නොබෙල් තෑග්ග පිරිනැමිය යුතු යැයි යෝජනා කළහ. මේ ප්‍රචාරය ඉතා උත්සන්න තත්ත්වයට පත්වූ නිසා කාදිනල් හිමියන්ට යථාර්ථය පහදා දෙන්නට විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට පවා සිදුවිය.

උන්වහන්සේ නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය එක් අතකට ඉතිහාසයට එක්වන ලියැවිල්ලකි. බෞද්ධ බහුතරයක් වෙසෙන රටේ කාදිනල් හිමියන්ට රටේ දේශපාලන නායකත්වය භාරගන්නා ලෙසට සමාජ මාධ්‍ය කළ ඉල්ලීම රටේ දේශපාලන බල කේන්ද්‍රයේ ප්‍රධාන මේසය වටා අසුන් ගෙන සිටින කාගේත් ඇස් අරවන යෝජනාවකි. කෙසේ හෝ මෙම ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ කාදිනල් හිමිපාණෝ රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය යටතේ තමන් දේශපාලන වගකීම් දැරුමට සුදුසු යැයි ඇතැමුන් කරන යෝජනා ගැන දේව සේවකයකු ලෙස තමන් මවිතයටත් කනගාටුවටත් පත්වන බව කීහ. කතෝලික ප්‍රජා ප්‍රසාදි නමක ලෙස තමන්ගේ අරමුණ හුදෙක් අධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම බවත් තමන්ගේ එකම දේශපාලනය ජනතාවට හා දෙවියන් වහන්සේට සේවය කිරීම බවත් උන්වහන්සේ අවධාරණය කරති. දේශපාලන පක්ෂයකට සහාය දීමට හෝ රටේ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීම තම අභිලාෂය නොවන බවද කාදිනල් හිමියෝ ප්‍රකාශ කළහ.

ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13දා චීනය බලා පිටත් විය. එරට පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වීම මෙම ගමනේ අරමුණ බව කියැවිණි. ජනාධිපතිවරයා සමඟ 27 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ද චීනය බලා පිටත් වූහ. පොළොන්නරුවේ පාසල් සිසු සිසුවියන් 10 දෙනෙක් ද ඒ අතර වූහ. එ.ජා.පයේ අමාත්‍යවරුන් වන දයා ගමගේ, තලතා අතුකෝරාළ සහ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ද දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ද නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

මේ අය චීනය බලා යන අතරතුර සිංගප්පූරු ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී ජනාධිපතිවරයා අමාත්‍ය දයා ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන්ගේ කරට අත දමාගෙන ඉතා සැහැල්ලුවෙන් ගත කරන ආකාරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පළවී තිබිණි. එම ගමනට එක්වූ කෙනකු එකී සේයාරුව මුහුණුපොතට එක්කර තිබිණි. චීනයේ දී එරට ජනාධිපති ක්ෂී-ජිං-පිං ඇතුළු පිරිස් මුණගැසුණු ජනාධිපතිවරයාට චීන රජය රුපියල් කෝටි 260ක පරිත්‍යාගයක් ද සිදු කළේය. පොලීසියට ජීප් රථ 100ක්ද තෑගි කරනු ලැබීය. ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ද චීනය හා ශ්‍රී ලංකාව අත්සන් තැබීය.

මෙවර ජනාධිපතිවරයා චීනයට පිටත්ව යද්දී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළේය මෙයට පෙර කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා බැහැර යනවිට වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයකු පත්කර තිබුණේ නැත. එහෙත් මෙවර එම පත්කිරීම සිදුකළේ රටේ පවත්නා අයහපත් ආරක්ෂක වාතාවරණය සඳහා තීන්දු ගැනීමට බලධරයකු සිටිය යුතු නිසාය.

කෙසේ හෝ ජනාධිපතිවරයා පිටත්ව ගිය දිනයේම වයඹ පළාතේ තත්ත්වය අයහපත් විය. හලාවතින් ඇරඹුණු ප්‍රචණ්ඩකාරී සිද්ධීන් පසුදා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය ආදී ප්‍රදේශවලටත් පසුව ගම්පහ, මිනුවන්ගොඩටත් පැතිර ගියේය. මේ සියල්ලම දැඩි ලෙස පාලනය කළ යුතු බව රජය තීරණය කළේ පසුදා පාසල් ආරම්භ කිරීම ඇතුළු ජන ජීවිතයේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම උදෙසාය. අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළේය. ඉන් අනතුරුව ආරක්ෂක අංශ ප්‍රධානීන් වන යුද හමුදාපති, පොලිස්පති සහ ආරක්ෂක ලේකම් අමතා පවත්නා තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය පනවා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය. ඒ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය.

අනතුරුව අගමැති රනිල් කතා කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටය. මහින්ද ඇමතූ අගමැති රනිල් පවත්නා අයහපත් තත්ත්වය පාලනය සඳහා වහාම රට පුරා ඇඳිරි නීතිය පනවන බව විපක්ෂ නායකවරයාට දැන්වීය. තත්ත්වය පාලනය සඳහා වහා එබඳු පියවරක් ගැනීම මහින්ද රාජපක්ෂ ද අනුමත කළේය.

ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසට මෙරට මුස්ලිම් නායකයන් ගණනාවක්ම රැස්වී සිටියහ. සඳුදා රාත්‍රී රට පුරා හටගෙන තිබූ තත්ත්වය ගැන මහින්දට කරුණු දැක්වූ ඔවුහු තම ජනතාවට සහන සැලසීමට ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් කළෝය. එසේම ඇතැම් සිංහල ප්‍රදේශවල ජනතාව මුස්ලිම් වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද එනිසා තමන්ගේ ව්‍යාපාර බිඳවැටෙනු ඇතැයි ද ඔවුහු පැවසූහ. ඊට සාවධානව කන්දුන් මහින්ද රාජපක්ෂ ජනතාව අතර සුහදතාව හා විශ්වාසය ඇති කිරීමට මුල්විය යුත්තේ රජය බව කීය. තමන් ඊට බාධා නොකරන බවත් කී මහින්ද සාධාරණ මුස්ලිම් ජනතාවත් අන්තවාදයට තල්ලු කිරීම තම අරමුණ නොවේ යැයි ද පැවසීය.

අනතුරුව එතැන සිටි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන් ගණනාවක් හා මුස්ලිම් නායකයන් පිරිසක් මහින්දගෙන් ප්‍රශ්න කළේ දිනෙන් දින පාසල් පටන්ගැනීම පමාවීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වනවා නේද කියාය. ඊට මහින්ද රාජපක්ෂ දුන්නේ ප්‍රායෝගික පිළිතුරකි. &මම රට පාලනය කරන කාලෙක මගේ දරුවන් ඉස්කෝලෙ යන වයසේ හිටිය නම් මම ජනාධිපති හැටියට දරුවොත් එක්ක ඉස්කෝලෙට ගිහිල්ල ළමයා පාසලට භාරදෙන්නෙ මමයි... එහෙම කළාම රටේ සාමාන්‍ය ජනතාවත් විශ්වාස කරනව ආණ්ඩුව ඉස්කෝලවලට ආරක්ෂාව සලසලයි කියල... එහෙම දෙයක් කරන්න මේ ආණ්ඩුවෙ ලොක්කන්ට ධෛර්යක්වත් මොළයක්වත් නැහැ...” මහින්ද පැහැදිලි කළේය.

අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බව මුලින්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කළහ. මෙයට විමල්, උදය ඇතුළු පිරිසක් මුල් වූහ. ඉන් අනතුරුව එ.ජා.පයෙන් පත්වූ අතුරලියේ රතන හිමියෝ ද මෙම ප්‍රශ්නයට මැදිහත් වෙමින් කවුරුන් නැතත් මම විශ්වාසභංගය ගෙනෙනවා යැයි ප්‍රකාශ කළහ. ඒ සඳහා අවශ්‍ය සහාය තමන් ලබාගන්නා බවද උන්වහන්සේ කීහ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මේ ගැන සාකච්ඡාවක් ඇති විය. එහිදී රත්නපුර රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් රතන හිමියන් ගෙන එන යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය දායක විය යුතු නැති බවත් තමන්ලා රතන හිමියන් සමඟ කෙරෙන ගනුදෙනුවලට එකඟ නැති වගත් සඳහන් කළහ. මේ රැස්වීමට විමල් පැමිණ නොසිටි අතර උදය ඒ ගැන පක්ෂ නායකයන්ගෙන් විමසූ කල බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී රංජිත්ලාගේ මතයත් සලකා බැලිය යුතු යැයි කීය. මේ ගැන ටික වේලාවක් විවාදය යද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කීවේ රිෂාඩ්ගේ විශ්වාසභංගය අවශ්‍ය ද නැද්ද යන්න ගැන පක්ෂ නායකයන් පමණක් තීරණය කිරීම යෝග්‍ය නැති බවය. එය පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින්ම ගත යුතු තීරණයක් යැයි කී මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්කර විශ්වාසභංගය ගැන තීන්දුව ගනිමු යැයි පැවසීය. පක්ෂ නායකයෝ ඊට එකඟ වූහ.

ශ්‍රී.ල.නි.පයේ දයාසිරි ජයසේකර මහලේකම්වරයා කුලියාපිටිය හෙට්ටිපොළ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ආරවුල් බේරීමට මැදිහත් විය. එහි පැමිණ සිටි දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සමඟ ද මෙහිදී මතගැටුමක් හටගැනිණි. කෙසේ හෝ යන්තමින් එහි තත්ත්වය ආරක්ෂක අංශවලද සහාය ඇතිව සමනය කරගනු ලැබීය. කෙසේ හෝ ගිය අඟහරුවාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ යෝජනා 15ක් භාර දුන්නේය. එහි සභාපති මලිත් ජයතිලක මන්ත්‍රීවරයාට වාර්තාව භාර දී මාධ්‍ය ඇමතූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වාර 6ක් පමණ රැස්වී මෙම වාර්තාව සැකසූ බව කීය.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සිංහල බෞද්ධයන් බහුතරයක් වාසය කරන බව තම මතය බවද ඔහු සඳහන් කර තිබිණි. මෙම කතාවට මහා සංඝරත්නය ප්‍රමුඛ පාර්ශ්ව ගණනාවකින් අමාත්‍ය මංගල සමරවීර මහතාට දැඩි විවේචන එල්ල විය. මහනායක හිමිවරුන් ගණනාවක් මේ ගැන තම මතය ප්‍රකාශ කළෝය. ඉත්තෑපාන ධම්මාලංකාර, දිඹුල්කුඹුරේ විමලධම්ම, වෙඬරුවේ උපාලි, කැප්පෙටියාගොඩ සිරිවිමල ආදී නායක හිමිවරුන් ඇමැති මංගල තරයේම විවේචනය කරමින් ඔහු මේ රටේ උරුමය හා සංස්කෘතිය ගැන නොදන්නා කෙනෙක් යැයි කීහ.

එහෙත් ඇමැති මංගල තම ස්ථාවරය වෙනස් කළේ නැත. ඔහු මේ ප්‍රකාශය කරද්දීත් සඳහන් කළේ හෙට සිට මට ෆේස්බුක් වලින් මාධ්‍යයෙන් හොඳ හොඳ දේවල් අසන්නට වන බව දන්නා වගය. ඔහුගේ කතාවට එරෙහි ප්‍රචාර ඇවිලී යාමෙන් පසුවද මාධ්‍ය හමුවේ මංගල කීවේ තමන්ගේ ප්‍රකාශය තම ස්ථාවරය බවත් ඒ ගැන කවුරු කුමක් කීවත් තමන් සතුටු වන බවත්ය. එහෙත් එ.ජා.පයේ පසුපෙළ මන්ත්‍රීන් ඇමැති මංගලගේ කතාවට සතුටු නැත. ඔවුන් කණ්ඩායමක් එක්වී මංගල හමුවී මේ මොහොතේ එවන් කතා කීමෙන් පක්ෂයට සිදුවන හානිය පෙන්වා දීමට සූදානම් බව පොලිටිකල් රහස් තීරයට කීහ.

ජනතා විමුක්ති පෙරමුණ මේ අර්බුදකාරී තත්ත්වය ගැන සමාජය දැනුවත් කරමින් සිටී. පක්ෂ මහලේකම් ටිල්වින් සිල්වා පසුගියදා මාතර ප්‍රදේශයට ගොස් ජනතාව අමතමින් කීවේ මේ සමාජයේ හොඳ මිනිසුන් තවමත් නිහඬව සිටින බවකි. හඬ නගන්නේ නපුරු මිනිසුන් කොටසක් යැයි ද ටිල්වින් පැවසීය. දෙවියන් පය නොගසන තැන මෝඩයන් පිනුම් ගසන බැවින් මේ තත්ත්වය හටගෙන ඇතැයි කී හෙතෙම මුහුණුපොතේ සිටින පණ්ඩිතයන්ට සැබෑ තත්ත්වය ගැන වැටහීමක් නැතැයි ද කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගිය අඟහරුවාදා දිනයේ කුලියාපිටිය, හෙට්ටිපොළ හා පඬුවස්නුවරටද පැමිණියේ පසුගියදා ගැටුම්වලින් හානියට පත් ජනතාව මුණගැසෙන්නටයි. අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක ඇතුළු පිරිසක් ද එහි පැමිණ සිටියහ. මෙහිදී රැස්ව සිටි පිරිස් මුණගැසුණු අගමැතිවරයා ප්‍රදේශයේ මහා සංඝරත්නය ද මුස්ලිම් පල්ලිවල මවුලවීවරුන් ද මුණගැසුණේය. එහිදී ජනතා ප්‍රශ්නවලට කන්දුන් අගමැතිවරයා විපතට පත් ජනතාවට සහන සලසන බවට ප්‍රතිඥා දුනි. පසුගියදා ත්‍රස්තවාදීන් පාස්කු ඉරිදා ආගමික මෙහෙයන් කඩාකප්පල් කළ බව කී අගමැතිවරයා දැන් ඔවුන් වෙසක් උත්සවය ද කඩාකප්පල් කරන්නට හදන වග කීය. ඊට ඉඩ දිය නොහැකි යැයි ද අගමැතිවරයා ප්‍රකාශ කළේය. ඒ සඳහා ජනතාව රජයට සහාය දිය යුතු යැයි ද අගමැතිවරයා ඉල්ලා සිටියේය.

අමාත්‍ය චම්පික රණවක මේ රජය බලයට පත් කිරීමෙහිලා විශාල මෙහෙවරක් සිදුකළ චරිතයකි. ඔහු පසුගිය වසර කිහිපය තිස්සේම තමන්ට පැවරී තිබූ මහ නගර සංවර්ධන අමාත්‍යාංශයෙන් යම් මෙහෙවරක් ඉටුකරන්නට ද උත්සාහ ගත් බව පෙනුණි. පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු චම්පික තමන්ගේ ගමන් මග යම් වෙනසකට භාජනය කරමින් සිටින බව පෙනෙන්නට ඇත. ඔහු ආණ්ඩුවේ යම් යම් ක්‍රියා, ආරක්ෂක පිළිවෙත් පූර්ව සූදානමක් නොවීම ආදිය ගැන විවේචන එල්ල කළ අතර ඇමැති චම්පික ආණ්ඩුවෙන් ඉවත් වන්නට හදනවා යැයි ද ප්‍රචාරයක් පැතිරිණි. ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස හෝ එ.ජා. පෙරමුණ හා සම්බන්ධ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා වන්නට තැත් කරන බවට ද සමහරු අනාවැකි පළ කළෝය.

කෙසේ හෝ චම්පික සිය ජාතික හෙළ උරුමයේ ජන පදනම ඇතිව ‘ජාතික මග^ නමින් නව සංවිධානයක් බිහිකර ඇත. එහි මංගල සමුළුව පසුගිය අඟහරුවාදා සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ඊට ගිහි පැවිදි විද්වතුන්, දේශපාලන නායකයන් ගණනාවක් ද එක්ව සිටියහ.

පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් සිය පක්ෂ තීරණය අනුව සැකසූ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදුන්හ. එම යෝජනාව චෝදනා 11කින් සමන්විතය. එය කතානායකට භාරදීම සඳහා දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් ද ඒකාබද්ධ විපක්ෂයේ මනිත්‍රීන් පිරිසක් ද එක්වූහ.

පසුගිය බදාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. සන්නිවේදන බලකායේ සාමාජිකයන් පිරිසක් මුණගැසුණි. එහිදී ඔහු ජාත්‍යන්තරයෙන් මෙරට ත්‍රස්ත ප්‍රහාර මර්දනයට ලැබෙන දායකත්වය විස්තර කළේය. ඒ සමඟ අගමැතිවරයා කීවේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් මේතරම් ඉක්මනින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ගැන විදේශ රටවලින් පවා ප්‍රශංසා හිමිව තිබෙන වගයි. ප්‍රභාකරන්ට එරෙහිව සාක්ෂි තහවුරු වූයේ වසර ගණනාවකට පසුව වුවත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරකයන් මාසයක් ගතවන්නටත් පෙර කොටුකරගැනීම ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍යවරයා කීය.

ප්‍රතිත්‍රස්ත පනත ගැන පසුගියදා මාධ්‍ය දැනුවත් කිරීමට අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී ඔහු කීවේ මෙම පනතින් ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම දීමට හැකි බවයි. ඊට විපක්ෂය විරුද්ධන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. එසේම නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය ගැන විරෝධය පළකරන විපක්ෂයම ඊට අවසර දුන් බවද පැවසීය. කෙසේ හෝ ප්‍රතිත්‍රස්ත පනත මගින් ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීම එකම අරමුණයැයි කිරිඇල්ල ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00