2019 මැයි 11 වන සෙනසුරාදා

ෆොනී ගේ ඇමැතිකමට එ.ජා.ප. ජනපති ගැටුම දුරදිග යයි!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 506

• අගමැතිගේ මැදිහත්වීමෙන් පාසල් දරැවන්ට ටැබ් පරිගණක

• ජනපති පුත්‍රයාගේ මංගල්‍යයට දේශපාලනඥයන්ට ඇරුයුම් නැහැ

• උදය ගම්මන්පිලට අලවි මවුලානාගේ පුත්‍රයා කී දුක හිතෙන කතාව

• අමෙරිකාවේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්ගෙන් ගෝඨාභයට - බැසිල්ට සහතිකයක්

• ජනපති තමන්ට නීතිය හා සාමය නොදුන්නොත් කරනදේ ගැන ෆීල්ඩ් මාර්ෂල් ප්‍රශ්න කරයි

• ජ.වි.පෙට මුස්ලිම් සංවිධාන වෙතින් යෝජනා

ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ සතියේ නැවතත් පාසල් ආරම්භ කිරීමට රජය තීන්දු කළේය. අධ්‍යාපන අමාත්‍යවරයා මේ ගැන රජයේ තීන්දුව ප්‍රකාශ කරමින් කීවේ පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂයක රක්ෂණ මුදල රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නංවා තිබෙන නිසා බියකින් සැකයකින් තොරව පාසල් යන ලෙසයි. ආරක්ෂාව ද තහවුරු කර ඇතැයි ඇමැතිවරයා කීය. එහෙත් කතෝලික සභාවේ පාසල් රජය නියමකරන දිනවල ආරම්භ නොකරන බවත් ඒ ගැන ප්‍රමාණවත් ආරක්ෂක සහතිකයක් නොමැති බවත් කී කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණෝ ඊට අවසර නුදුන්හ. අනතුරුව මුලින්ම අස්ගිරි මහනාහිමියෝද පසුව මල්වතු මහනාහිමියෝ ද පාසල් මෙදින විවෘත නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිතියි බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ විය. තවත් විවිධ සමාජ සංවිධාන ගණනාවක් ද මෙම ඉල්ලීම කරනු ලැබීය. එසේ වුවද රජය සිය තීන්දුව වෙනස් කළේ නැත. එසේම බහුතර දෙමව්පියන් රජයේ එම තීන්දුව පිළිගත්තේද නැත. පාසල් විවෘත කළ ගිය සඳුදා පාසල් ආවේ 10෴කටත් වඩා අඩු දරු පිරිසකි. රජය පාසල්වලට යම් මට්ටමක ආරක්ෂාවක් යොදා තිබුණත් දෙමව්පියන්ගේ සැකය දුරු කරන්නට එම ප්‍රයන්තය ප්‍රමාණවත් නොවීය. ආණ්ඩුවේ මෙම ක්‍රියාව විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය.

පසුගිය දිනක පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මුණගැසීමට හිටපු ආණ්ඩුකාර අලවි මවුලානා මහතා පුත් නකීබ් මවුලානා මහතා පැමිණියේය. සිංහල, දෙමළ, මුස්ලිම් සමාජයේ කා සමඟත් එකසේ හිතවත්ව සුහදව සිටි ජ්‍යෙෂ්ඨ මුස්ලිම් නායකයකු මෙන්ම හිත හොඳ මිනිසෙක් ලෙස ප්‍රකට වූ අලවිගේ පුත්‍රයා වූ නකීබ් මවුලානා උදය මුණගැසී ප්‍රකාශ කළේ සංවේදී කතාවකි. “අපේ තාත්තා ඔබතුමාලා වගේම ඥානසාර හාමුදුරුවොත් ළඟින් ආශ්‍රය කළා. අන්තවාදි කොටස් ගැන ආරක්ෂක අංශවලට තොරතුරු දැන්නුවා. සිංහල සමාජය එක්ක අපි හරි සුහදයි. ඒත් දැන් සමහරු අපි දිහා බලන්නෙත් ත්‍රස්තවාදීන් විදියටයි. මම පසුගියදාක සුපිරි වෙළෙඳසැලකට බඩු ගන්න ගියා. එතනින් බඩු අරන් බිල ගෙවන්න කැෂියර් ළඟට ගියාම මම දැක්ක ගමන් කැෂියර් ළමයා එතනින් ඉවත්වෙලා ඈතට ගියා... එහෙම ගිහිල්ලා කෙනෙක් එක්ක විනාඩි 10ක් විතර කතා කර කර හිටියා මාව ඕනකමින් රස්තියාදු කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ..” යැයි උදය සමඟ කී නකීබ් මවුලානාගේ ඇස්වල කඳුළු පිරී තිබෙනු උදය ගම්මන්පිල දුටුවේය.

අනතුරුව ඔහු මාධ්‍ය හමුවක් පවත්වා එහිදී ඉල්ලීමක් කරමින් සඳහන් කළේ සමස්ත මුස්ලිම් ප්‍රජාවට ත්‍රස්තවාදීන් ලෙස නොසලකන හැටියටයි. ඒ අයගේ සිත් රිදවන්න එපා යැයි ද උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විශේෂයෙන් පැවසීය.

මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මන්නාරම නාරාපුරම් හි පිහිටි නිවස ආරක්ෂක අංශවල දැඩි පරීක්ෂාවට ලක්විය. එම නිවෙස ඇමැති රිෂාඩ් මෙන්ම ඔහුගේ සොහොයුරු රිෆ්තාන් බදියුදින් ද දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා ස්ථානයයි. වන්නි ප්‍රදේශය භාර 54 වැනි ආරක්ෂක සේනාංකාධිපතිට ලද තොරතුරක් අනුව හමුදාව සහ පොලිසිය එක්ව මෙම සෝදිසිය සිදුකර තිබිණි. එහෙත් මේ වනවිට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඕමානය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු එහි ගියේ අමාත්‍යවරුන්වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම ද සමඟ බව මාධ්‍ය වාර්තා කළේය. පිටත්ව යාමට පෙර ජනාධිපති කාර්යාලයට පැමිණි අමාත්‍ය බදියුදින් තමන් විදේශ ගතවන බව ජනාධිපතිවරයාට දන්වා අවසර ලබාගත් වගද සඳහන්ය.

එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රීන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය සහ සාමය අමාත්‍ය ධූරය ලබාගැනීමට ප්‍රබල සටනක් ආරම්භ කර ඇත. ඒ සඳහා ලිපි අත්සන් කිරීමට අමතරව පසුගිය දිනක මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසුණු කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රිවරුන් එහිදී සඳහන් කළේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම මෙම ඉල්ලීම ඉටුකරන්නට තදින්ම කැපවන බවය. යම් හෙයකින් ජනාධිපතිතුමා තම කණ්ඩායමේ ඉල්ලීම ඉටුනොකළොත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ රජයට එ.ජා.ප. පසුපෙළ සහාය ලබානොදන බව එහිදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේය. ඔවුන්ගේ මෙම ප්‍රකාශයෙන් පෙනීගියේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පවත්නා බල අරගලයේ තරමයි. ඒ අතර කතානායක කරු ජයසූරිය මහතා ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටේ පවත්නා වත්මන් අර්බුදය හමුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවකට පැමිණ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළයුතුය කියායි. එසේ නොකර ජනතාව අතර පවත්නා අවිනිශ්චිත හැඟීම් තුරන් කළ නොහැකියැයි ඔහු අවධාරණය කර සිටී. එසේම පොලිසිය වෙනම අමාත්‍යවරයකු යටතට පත්කොට ක්‍රියාත්මක කිරීම ලොව පිළිගත් සම්ප්‍රදාය බවද කරැ ජයසූරිය මහතා කියයි.

පසුගිය සඳුදා දහවල් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. මෙහිදීත් සාකච්ඡා වූ මූලික ප්‍රශ්නය වූයේ ජාතික ආරක්ෂාවයි.

මුලින්ම ආශු මාරසිංහ මන්ත්‍රීවරයා පක්ෂයේ මන්ත්‍රින් පිරිසක් විසින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය පවරණ ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අත්සන් කළ ලිපියක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේය. එය කියවා බැලූ අග්‍රාමාත්‍යවරයා ආශු මන්ත්‍රිවරයාට කියා සිටියේ මෙම ලිපියට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රි කණ්ඩායමෙන් කොටසක් නිසා ඉතිරි අයත් අත්සන්කොට තමන් වෙත භාරදෙන හැටියටයි. එම ලිපිය ලැබුණ පසු තමන් මේ සතියේ මන්ත්‍රින්ගේ ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන වග රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එවිට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නැගී සිටිමින් ප්‍රශ්න කළේ “දැන් ඔය ඉල්ලීම ජනාධිපතිගෙන් අපි වාර ගණනක්ම කළා.. එයා මේ පාරත් ඕකට බැහැ කියාවි.. එහෙම බැහැ කිව්වොත් අපි මොකද කරන්නේ? යනුවෙන් ඒ ගැන එතකොට බලමු යන්න අගමැතිගේ පිළිතුර විය. පාසල් විවෘත කිරීම පිළිබඳ ප්‍රශ්නය ඊළඟට මතුවිය. ළමයි තවමත් පාසල් එන්නෙ නැහැ. ඒක ප්‍රශ්නයක් නේද මන්ත්‍රීන් ගණනාවක්ම ප්‍රශ්න කළෝය. රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලෙස කීවේ “මේ වගේම තත්ත්වයක් 1983 ජූලි කලබලවලදීත් සිද්ධ වුණා. මුලින් ළමයි ආවෙම නැහැ. ඕක ඉක්මනට හරියාවි.. අගමැතිවරයා පැහැදිලි කළේය.

අනතුරුව බෝම්බ ප්‍රහාරයෙන් අඩාල වුණ සංචාරක කර්මාන්තයට උදව් කළ යුතු බවත් දැනට එය සෑහෙන තරම් අඩාල වී ඇතිවගත් මන්ත්‍රීවරු ගණනාවක්ම පෙන්වා දුන්හ. අගමැතිවරයා එහිදී සඳහන් කළේ දැන් ශ්‍රී ලංකාවට සංචාරක අවාරය (Off Season) උදාවී ඇති නිසා ලොකු ප්‍රශ්නයක් නොවන බවය.

එරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයා අනතුරුව සංචාරක අංශයට සහන පැකේජයක් යෝජනා කළේය. ජෝන් අමරතුංග මහතා ද එහි අවශ්‍යතාව පෙන්වා දුනි. අනතුරුව රවි කරුණානායක ඇමැතිවරයා කීවේ සභාව කල්තැබීමේ මැතිසබා විවාදය සඳහා හොඳ ප්‍රචාරයක් ලබාගත යුතුය කියායි. කෙසේහෝ මේ දින මන්ත්‍රි කණ්ඩායම් රුස්වීම් ශාලාවට ජංගම දුරකතන ගෙනයාම තහනම් කර තිබිණි. පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පවා එම තහනම ක්‍රියාත්මක වූ බව එ.ජා.ප. මන්ත්‍රීහු පවසති.

එ.ජා. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් කතානායකවරයා පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් භාර දුන්නේය. එමගින් මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේ දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදයට අනුග්‍රහය අනුබල දෙන ඊට සම්බන්ධ අයෙක් නීතිය ඉදිරියේ වැරදිකරු වුවහොත් ඔහුට හෝ ඇයට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවයි. එසේම ඔහුගේ හෝ ඇයගේ දේපොළ රාජසන්තක කළ යුතු බවටත් යෝජනා කැරිණි. එසේම මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ද පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ නැගෙනහිර පළාතේ ඉදිකර තිබෙන ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගතයුතු බවය. නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් මහතාගේ අයිතිය යටතේ ක්‍රියාත්මක මෙම සරසවිය රජයට පවරාගෙන රටේ පොදු සරසවි පද්ධතියට එකතු කළ යුතු බව මන්ත්‍රිවරයාගේ යෝජනාවේ අදහසය.

විපක්ෂයේ මන්ත්‍රින්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ගිය අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී පැවැත් විණි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමඟ ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දෙකේම මන්ත්‍රින් 80ක් පමණ රැස්වීමට පැමිණි සිටියහ. විපක්ෂ මන්ත්‍රින් දැඩි උද්‍යෝගයෙන් යුතුව හමුවේදී අදහස් දැක්වීම මෙවර කැපීපෙනුණු සිද්ධියකි. අතුරලියේ රතන හිමිද ඊට පැමිණ සිටියහ.

මුලින්ම මෙහිදී සාකච්ඡාවට ගනුණේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නට යන ප්‍රතිත්‍රස්ත පනත ගැනයි. මෙය ඉක්මනින් සම්මත කරගත යුතු බව අගමැතිවරයා තදින්ම කියන නිසා මෙහි ඇති හානිකර බව හා විපත්ති දායක බව ගැන කරුණු පැහැදිලි කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතා හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැන්වීය. තම කතාව ආරම්භයේදිම සුසිල් ප්‍රේමජයන්ත කීවේ පනත ගැන කලින් දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා අදහස් දක්වලා තිබුණා. හැබැයි දයාසිරි මන්ත්‍රිතුමා මේ භයානක පනත ගැන කියලා තිබුණේ අගමැති රනිල්ගේ අදහසමයි..” කියාය. එවිට සභාවේ සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා “නෑ.. නෑ.. නෑ... ඒක වැරදී... මම ඔය ගැන මුකුත් කියලා නැහැ.. මම ඕක ස්ටඩි කරලවත් (අධ්‍යාපනය කරලවත්) නැහැ. යයි පිළිතුරු දුන්නේය. ඒ කතාව එතැනින් හමාර වූ අතර අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රතිත්‍රස්ත පනතේ තිබෙන හානිකර පැත්ත ගැන ප්‍රබල ලෙස කරුණු දැක්වීමක් කළේය. වෘත්තිය සමිති, ශිෂ්‍ය සංගම්, මහජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ, විරෝධතා සියල්ල මෙමගින් ත්‍රස්තවාදි ක්‍රියා ගණයට  දමා ඇතැයි හෙතෙම පැවැසීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කීවේ “ඒ වගේම ප්‍රබල ලෙස මේක බලපාන්නෙ ජනමාධ්‍යවලට.. සමහර විට මාධ්‍ය වාර්තාවක් ඡායාරූපයක් ගැනීමෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන්න මේකෙන් බලය ලැබෙනවා... ඒ නිසා අපි සේරම එකතු වෙලා මේ ගැන පාර්ලිමේන්තුවට ගේන එකත් ඒක සම්මත කරගන්න හදන වැඩපිළිවෙළත් නතර කරන්න වහාම වැඩ කරන්න ඕන... කියාය. ඊට මන්ත්‍රින් සියල්ලෝම එකඟතාව පළකළහ. අනතුරුව සතියේ පාර්ලිමේන්තු කටයුතු යනාදිය ගැන සාකච්ඡා විය.

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් විණි. එහිදී මුලින්ම සාකච්ඡා කර ඇත්තේ සංචාරක හෝටල් සහ සංචාරක හා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව තිබෙන ගැටලුය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක කේෂත්‍රයේ හටගෙන තිබෙන පසුබෑම නිසා හෝටල් හා සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව වෘත්තින් හි නියැලෙන බොහෝ දෙනෙකු පීඩාවට පත්ව ඇති නිසා ඔවුන්ට සහන පිරිනැමිය යුතු බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කැබිනට්ටුවට යෝජනා කළේය. ඒ අනුව වසරක කාලයක් සඳහා එම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට බැංකු ණය සහනයක් ප්‍රදානය කළ යුතුයයි. එකඟතාවක් ඇතිවිය. හෝටල් ක්ෂේත්‍රයේ වැට් බදු ඇතුළු තවත් සහන රැසක්ද මේ සහන පැකේජය යටතේ පිරිනැමිය යුතු යැයි ද යෝජනා විය. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සියලුදෙනාම එය වහා ඉටුකළ යුතු බව සඳහන් කර තිබිණි.

ඊළඟට සාකච්ඡා වූයේ රජයේ පාසල්වල උසස් පෙළ සිසු සිසුවියන්ට ටැබ් පරිගණක 1,83,000ක් නොමිලයේ ලබාදීම සඳහා වූ යෝජනාවයි. මෙය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ මොහොතේ ජනාධිපතිවරයා ඊට සිය අසතුට පළ කළේය. මෙයට පෙර තමන් ඊට අනුමැතිය ලබාදුන්නේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්නැයි කී ජනාධිපතිවරයා ටැබ් පරිගණක 1,83,000ක් ලබාදීම නියමු ව්‍යාපෘතියක් නොවේ යැයි සඳහන් කළේය. එවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාත් ජනාධිපතිවරයාගේ අදහස අනුමත නොකරමින් මේ අවස්ථාවේ ටැබ් පරිගණක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළයුතුම යැයි තරයේම සඳහන් කළෝය. ඒ සඳහා කොපමණ මුදලක් වැය වන්නේදැයි ජනපතිවරයා ප්‍රශ්න කළවිට ඊට රුපියල් කෝටි 350ක මුදලක් වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා කීය. “මේ ආරක්ෂක ප්‍රශ්න තියෙන කාලේ ඒ අරමුදල් ආරක්ෂාවට යොදවන්න.” යැයි ජනාධිපතිවරයා අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් නමුත් ඔහු ඊට එකඟ නොවී ටැබ් ලබාදිය යුතුම යැයි කීය. ඒ අනුව ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාව ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව අමාත්‍යවරැ අනුමත කළෝය.

අමෙරිකා එක්සත් ජනපදයේ කොළඹ හිටපු තානාපතිවරයකු මෙන්ම එරට හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරයකු වූ රොබට් ඕ. බ්ලේක් මහතා පසුගියදා කොළඹට පැමිණ සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගී විය. මිලින්ද මොරගොඩ මහතා සභපතිත්වය දරන පාත්ෆයින්ඩර් පදනම හා ඇගළුම් කර්මාන්ත කරුවන්ගේ සංගමය මෙරට සම්මන්ත්‍රණ සඳහා බ්ලේක් මහතාට ආරාධනා කර තිබිණි. ඔහු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආරක්ෂාව පිළිබඳ සම්මන්ත්‍රණයකදී කීවේ පසුගිය කාලයේ අමෙරිකාවට ත්‍රස්තයන් එල්ල කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු එරට ආරක්ෂක සංවිධාන හා බුද්ධි අංශ ජනාධිපති බුෂ් විසින් අලුතෙන් ප්‍රතිසංවිධානය කළ බවයි. ශ්‍රී ලංකාවේද කොටි යුද්ධය හමාර කළ යුගයේ එවැනි විධිමත් බුද්ධි අංශ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත් එය ඉතා හොඳින් සංවිධානය කොට පවත්වාගෙන ගියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා බවත් කීය. තමන් හිතන්නේ එදා ගෝඨාභය ක්‍රියාකළ ආකාරය වත්මන් රජය ද ආදර්ශයට ගන්නේ නම් බොහෝ ප්‍රතිඵල ලබාගත බවයයි හෙතෙම කීය. අයි.එස්. වැනි ත්‍රස්ත කණ්ඩායම් මෙරට වර්ධනය වීමට ඉඩ නොදීම රජයේ වගකීම යැයිද හෙතෙම පැවසීය.

සම්මන්ත්‍රණයෙන් පසුව පාත් ෆයින්ඩර් පදනමේ සභාපති මිලින්ද මොරගොඩ මහතා සහ ඇඟළුම් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති මහේෂ් අමලියන් මහත්වරුන් ඇතුළු පිරිසක් බ්ලේක් මහතා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. එහිදී මෙරට දේශපාලනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ද හෙතෙම අදහස් දැක්වීය. මෙහිදී ගෝඨාභයගේ ආරක්ෂක සංවිධාන ගැන මෙන්ම බැසිල් රාජපක්ෂගේ දේශපාලන සංවිධාන හැකියාව ඉහළින් වර්ණනාකරන්නට රොබට බ්ලේක් අමතක නොකළේය. දැනට මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිසිවක බැසිල් රාජපක්ෂගේ සංවිධාන හැකියාව හා සමකළහැකි දේශපාලන සංවිධායකයකු නැතැයි තමන් විශ්වාස කරන බව රොබට් බ්ලේක් වැඩිදුරටත් කීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ මෙරට මුස්ලිම් සංවිධාන ගණනක් අතර සාකච්ඡාවක් ජ.වි.පෙ. මූලස්ථානයේදී බදාදා පැවැවිණි. එහිදී ජ.වි.පෙ. නායකයා පෙන්වා දුන්නේ ත්‍රස්තවාදය නැමැති කළලය වර්ධනය වන්නේ මුස්ලිම් සමාජය තුළ නිසා එය මර්දනය කළ යුතු බවයි. සන්නද්ධ ක්‍රියාදාමයකට වඩා දෙයක් මෙහි තිබෙන බව හෙතෙම පැවැසීය. ජමියතුල් උළෙමා ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය තරුණ මුස්ලිම් සංගමය මුස්ලිම් නීතිඥ සංවිධානය ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයෝ මීට එක්වූහ. මෙම තරුණයන් තම සමාජය තුළ සිටිය ද ඔවුන් මෙතරම් බලවත්වේයැයි නොසිතූ බව පැවසූ ඔවුහු ජාතීන් අතර විරසකයක් නැති කිරීමට අදාළ යෝජනා ජනතා විමුක්ති පෙරමුණට ළඟදීම ලබාදෙන වග සඳහන් කළෝය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අනුර දිසානායක මහතා මුස්ලිම් සමාජය තුළ ත්‍රස්තවාදය පරාජය කළයුත්තේ ඔබලා විසින් යැයි පෙන්වා දුන්නේය. අන්තවාදය පරාජය කළ හැක්කේ තවත් අන්තවාදයක් විසින් නොවන බව තම විශ්වාසය යැයි ජ.වි.පෙ. නායකයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා පසුගිය බ්‍රහස්පතින්දා විවාහ දිවියට ඇතුළත් විය. දහම්ගේ අතගත්තේ එල්කාඩෝ සමූහ ව්‍යාපාර අධිපති අතුල වීරරත්නගේ දියණිය නිපුනි වීරරත්නයි. මෙම යුවලගේ මංගල උත්සවය අද දින පැවැත්වීමට නියමිතව තිබුණේ ෂැංග්‍රිල්ලා හෝටලයේය. නමුත් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා උත්සවය “හිල්ටන් හෝටලයට මාරු කැරිණි. ජනාධිපති පුත්‍රයාගේ මංගල්‍යය නිසා හිල්ටන් හෝටලය හා ඒ අවට දින ගණනක් තිස්සේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි. කිසිදු දේශපාලනඥයකු ඇරැයුම් නොලැබූ මෙම උත්සවයට පවුලේ ඥාතීන්ගේ සමීප හිතවතුන් පමණක් ඇරුයුම් ලබා සිටියහ.

ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට කිසිදු දේශපාලනඥයකුට ඇරයුම් නොකළ ද කලින් උතුරුමැද මහ ඇමැතිව සිටි වත්මන් වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පමණක් එහි පැමිණ සිටියේය. ඒ හැර පොළොන්නරුවේ හිතවතුන් සුළු පිරිසක් සහ දහම්ගේ පාසල් මිතුරු මිතුරියෝ සියල්ලෝම පාහේ මංගල්‍යයට පැමිණ සිටියහ. සියලු අමුත්තන් සංඛ්‍යාව 400ක් පමණ විය.

හිල්ටන් හෝටලයේ බ්ලූ එලිෆන්ට් ශාලාවේ පැවති චාම් මංගල උත්සවය සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් වන හැරී ජයවර්ධන, ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය, ආතර් සේනානායක, සංජීව ගාඩ්නර්, ධම්මික පෙරේරා ආදීහු පැමිණ සිටියහ. මේරියන්ස් සංගීත කණ්ඩායම සංගීතය සැපයූ අතර මංගල උත්සවය පවතිද්දී උත්සව ශාලාවෙන් හදිසියේ පිටවී ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙළින්ම ගියේ කොළඹ බොරැල්ල මැල්කම් පෙදෙසේ පිහිටි රදගුරු සම්මේලන කාර්යාලයටයි. ඒ වනවිට මෙරට විවිධ පළාත්වලින් පැමිණි සියලු රදගුරුවරුන් එහි රැස්ව සිටියේ රදගුරු සමුළුව සඳහාය. රදගුරු සමුළුවට පෙර රදගුරුවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහි තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කළේ නැත. කෙසේ හෝ පැය එකහමාරක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නැවතත් හිල්ටන් හෝටලයට පැමිණි ජනපතිවරයා සවස 4.00ට මනාල යුවළ මධුසමය සඳහා පිටත් වන තෙක්ම එහි රැඳී සිටියේය.