2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

රවී - දයාසිරි ගෝරිය

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 518

දේශපාලන ප්‍රශ්න සමඟ මතුව එන ආර්ථික ගැටලු ගැන සමාජයේ පුළුල් අවධානයක් යොමුව තිබේ. සහල් මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යාම සරල සිල්ලර කාරණයක් ලෙස පෙනී ගියද එහි ප්‍රතිඵල ජනතාව ඉවසා සිටින්නේ සංවේගයෙනි. පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික පිරිසක් ඔහුට දන්වා සිටියේ ජාතික ආර්ථිකය විශාල සිරවීමකට ලක්ව ඇති බැවින් වහා ඊට පිළියම් යොදන ලෙසටය. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන තෙවැනි ණය වාරිකය අනුමත කිරීම සඳහා මෙරටට පැමිණි මුල්‍ය අරමුදලේ කලාපීය අධ්‍යක්ෂවරයා මුදල් අමාත්‍යවරයාටත් මහ බැංකුවේ ප්‍රධානීන්ටත් ප්‍රකාශ කර ඇත්තේ මුල්‍ය අරමුදල ණය අනුමත කිරීමේදී ලබාදුන් මූලික මාර්ගෝපදේශ ටිකවත් තවම සපුරා නැති බවය. ඒ ගැන රජය වහා යමක් කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද පවත්නා ආර්ථිකමය ගැටලු ගැන වැටහී තිබේ. ඔහු පසුගියදා සහභාගි වූ උත්සව ගණනාවකදීම ආර්ථික අර්බුදය ගැන ජනතාව හමුවේ කරුණු දැක්වීය. කෑගල්ල ප්‍රදේශයේ ජන රැලි ගණනාවකට අගමැතිවරයා පසුගියදා සහභාගි විය

අරණායකදී අගමැතිවරයා කීවේ දැන් රජයට සිදුව ඇත්තේ පැරුණි ණය ගෙවීමට පමණක් බවය. රජයට ගෙවන්නට තිබෙන ණය ප්‍රමාණය කොපමණද කිවහොත් ඒක් පුද්ගලයකු රැපියල් 12,000ක් ණය වී ඇතැයි කී අගමැතිවරයා, ඒ අනුව සතර දෙනකුගෙන් යුතු පවුලක් රුපියල් 48,000ක් ණය වී තිබෙන්නේ යැයි ද කීය. මේ ණය ගෙවන්නට පසුගිය රජයේ ලොකු ලොක්කන් බාධා කරන්නේ නම් ජනතාවට ණය ගෙවීමට සිදුවනු ඇතැයි ද අගමැතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව රටේ සහල් ප්‍රශ්නය ගැන සිය මතය දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවේ රට තුළ දැන් සහල් නිෂ්පාදනය කෙරෙන්නේ රටේ මුළු අවශ්‍යතාවෙන් තුනෙන් එකක් පමණක් බවය. යම් විදියකින් දිගටම හාල් හිඟය පැවතුණහොත් මේ කන්නයේ පමණක් නොව, ලබන කන්නයට වුවත් හාල් ආනයනය කරන්නයැයි ද අගමැතිවරයා කීය.

මුදල් අමාත්‍යංශයට ගිය බන්දුලගෙන් රවීට පැමිණිල්ලක්

කෑගල්ලේදී තවත් අනතුරු ඇඟවීමක් කළ අගමැතිවරයා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට බාධා කරන ඕනෑම කල්ලියකට නිසි පිළිතුරු ලබාදීමට රජය සූදානම් යැයි කීය. නොයෙක් කල්ලිවලින් සිදුකරන උද්ඝෝෂණ මෙන් නොව, එ.ජා.පය පාරට බැස්සොත් ආණ්ඩුවේත් පක්ෂයේත් තරම රටට දැනගත හැකිවනු ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.
එ.ජා.පයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීම පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ශ්‍රී.ල.නි.පයේ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ද සහභාගි විය. මෙම මන්ත්‍රී කණ්ඩායම් ැරස්වීමේ උණුසුම් මාතෘකා ගණනාවක්ම සාකච්ඡා ‍. පළමුව සාකච්ඡා කළේ හාල් හිඟය නිසා ජනතාව මුහුණදෙන ප්‍රශ්න ගැනයි. ජනතා විමුක්ති පෙරමුණ හාල් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට සභාව කල් තැබීමේ විවාදයක් පසුදා පවත්වන බැවින් ඊට මුහුණදිය යුතු අන්දම මුලින් කතා කළේය. මුදල් ඇමැති රවි කරුණානායක කීවේ හාල් ආනයනය කොට මිල පාලනය කරන වගයි. එවිට වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් කීවේ පිටරටින් සහල් තොග ගෙනැවිත් ඇති බවත්, ඒ නිසා පෞද්ගලික අංශයට අවශ්‍ය ආකාරයට තවදුරටත් මිල ඉහළ නොයනු ඇති බවත්ය. එවිට ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඔය කතාවලට වඩා වැදගත් වන්නේ පසුදින විවාදයට උත්තර දෙන ආකාරය බැවින් ඒ ගැන කල්පනා කරන හැටියටයි. 

කබීර්ගෙන් කැබිනට්ටුවට දේශපාලන බෝම්බයක්

ඉන්පසු අගමැති වික්‍රමසිංහ මහතා පසුගියදා පැවති ජාත්‍යන්තර උපාය මාර්ගික සමුළුව ගැන කරුණු දැක්වීය. ඊළඟට අමාත්‍ය චම්පික රණවක කතා කළේය. ඔහු අදහස් දක්වමින් කීවේ බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම තම අමාත්‍යංශයට පවරාගෙන ඇතැයි කරන චෝදනාව වැරදි වගයි. තමන් කළේ 1985 දක්වා නාගරික සංවර්ධන අධිකාරියට තිබූ බලතල (එම පනත අනුව හිමි බලතල) නැවත ලබාගැනීම පමණක් වගය.
මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ අදහස වූයේ බස්නාහිර ප්‍රධාන ඇමැති සමඟ එ.ජා.ප මන්ත්‍රීන්ට වැඩකළ නොහැකිය කියාය. ඔහු පළාත් සභාවේ මුදල් වෙන්කිරීමේදී එ.ජා.ප. මන්ත්‍රීන්ට සාධාරණ ලෙස මුදල් වෙන්කිරීම පවා කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා, ඔහු මුදල් දෙන්නේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන්ට පමණක් යැයි චෝදනා කළේය. සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයාද මහ ඇමැති කඩුවෙල ප්‍රදේශයේ කුණු ප්‍රශ්නය විසඳාගන්නට සහාය නොදෙන්නේ යැයි චෝදනා නැගීය. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ද චෝදනාවක් නැගීය. ඒ ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිටයි. ජනාධිපතිතුමන්ට ඩිලාන්ලා එ.ජා.පයට කරන චෝදනා ගැන පැමිණිලි කළ විට ඩිලාන්ගේ කට වස්සන බවට ප්‍රතිඥා දුන් නමුත් එය තවමත් සිදුව නැතැයි කීය.
මහ ඇමැති ඉසුර වගේම ඩිලානුත් එ.ජා.පයට බණින බැවින් මේවාට කුමක් හෝ කළ යුතු යැයි මුජිබර් ද කීය. අනතුරුව තවත් වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡාවට ගැනිණි. ඒ වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහද? වසර හයද යන්නයි. මේ ගැන අදහස් දැක්වූ මන්ත්‍රීන් ගණනාවක් මතක් කළේ අමාත්‍ය ෆයිසර් මුස්තාපා කියා ඇති ආකාරයට මේ වාරයට නිල කාලය වසර 5ක් වනු ඇති බවත්ය. මේ ප්‍රශ්නය ඇදීයන විට අගමැතිවරයා කීවේ මේ කාරණය මෙතන කතා කරල තීරණය කරන්න බැහැ, ඒක මමත් ජනාධිපතිතුමත් ඇමැති මණ්ඩලේදි කතා කරල විසඳාගන්නම් කියායි.

ඉන්පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් උද්ඝෝෂණවලට සහභාගි වීම ගැන කතාබස් . ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූල නොවන උද්ඝෝෂණවලට ගොස් සමහර මැති ඇමැතින් දේශපාලන ලකුණු රැස්කිරීම ගැන අගමැතිවරයා ද කරුණු දැක්වීය. ජාඇළ ප්‍රදේශයේ ඉතා ආරක්ෂිතව කොළඹ කුණු තැන්පත් කිරීමට කටයුතු කළේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත යැයි අගමැතිවරයා කීය. එම උද්ඝෝෂණයට රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සහභාගි වීම වැරදි වැඩක් යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රන්ජන් කළ යුත්තේ එබඳු උද්ඝෝෂණවලට යාම නොව, තමන්ගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු බලා කියාගෙන සිටීම බව රන්ජන්ට මතක් කළේය. අගමැතිගේ අවවාදය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා නිහඬව පිළිගත්තේය.

ඇමැති ෆවුසි එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායමේ

ඊළඟට තවත් වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා විය. ඉන් පළමුවැන්න වූයේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ ගැන මන්ත්‍රී කණ්ඩායමට කරුණු පැහැදිලි කළේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. ව්‍යවස්ථාව සම්පාදනය සඳහා පත්කළ මෙහෙයුම් කමිටුවට ඉතාමත් සංකීර්ණ කටයුත්තක් පැවරී ඇති බව මතක් කළ අගමැතිවරයා, හදිසියේ එම කාර්යය කළ නොහැකි බැවින් අලුත් ව්‍යවස්ථාව හඳුන්වා දීම මේ වසර අග භාගයේදී සිදුකිරීමට සිදුවන බව සභාවට පැහැදිලි කළේය. විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය ආදිය ගැන ප්‍රධාන පක්ෂවල විවිධ මත ඇති බැවින් ඒ ගැන පොදු එකඟතාවයකට එනතෙක් ව්‍යවස්ථාව පමාවනු ඇති බව රනිල්  වික්‍රමසිංහ මහතා සභාවට පැහැදිලි කළේය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන විභාග කරන ජනාධිපති කොමිසම මේ සතියේ මුල්වරට රැස්විය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා මේ සතියේ කොමිසම හමුවේ සාක්කි දුන්හ. බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැන මෙන්ම බැඳුම්කර නිකුතුවේදී සිදුවූ වැරදි හා දෝෂ ගැන රජයේ නීතිඥවරු ප්‍රශ්න කළෝය. මේ සම්බන්ධයෙන් සිදු වූ ක්‍රියාවල හරි වැරදි ඇති බව මහ බැංකු අධිපතිවරයා දීර්ඝව පැහැදිලි කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරැන් හා චෝදනාලත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නීතිඥවරු ද කොමිසමට සහය වූහ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවද ගිය අඟහරුවාදා පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදීය. මෙහිදී ද කාරණා ගණනක් ගැන අවධානය දැක්විණි. කාන්තා දිනය යෙදෙන මාර්තු මාසයේ එය සැමරීම සඳහා අවශ්‍ය වැඩපිළි‍වෙළක් යොදන ලෙස මන්ත්‍රීවරු ගණනාවක්ම යෝජනා කළෝය. අනතුරුව කතා කළේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධවයි. වත්මන් රජය පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ගැන විරෝධය පළ කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීහු ගණනාවක්ම පෙන්වා දුන්හ. ඡන්දය කල්දැමීමට එරෙහිව රට පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ යුතු යැයි ද තීන්දු කැරිණි. මෙම විරෝධතා සඳහා මැතිවරණ කල්දැමීමට එරෙහිව සටන් කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එකතු කරගැනීම අවශ්‍යය යැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අතර මහාධිකරණය සඳහා නීතිය හා සම්ප්‍රදායෙන් තොරව පිටස්තරින් විනිසුරුවරයකු පත්කිරීම ගැන මේ සතියේ මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළේය. මෙය සහමුලින්ම මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනයක් බව ඔහු පැවැසීය. කෙසේ හෝ මෙම මහාධිකරණ විනිසුරු පත්වීම උතුරේ දේශපාලන පක්ෂයක ඉල්ලීම අනුව සිදුවූ බවට කතා පැතිරිණි. එම පත්වීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිර්දේශ කළ බව කීවද නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨයෝ එය පිළිගන්නේ නැත. එම නිසා නීතිඥ සංගමයේද අර්බුදයක් හටගැනිණි. මේ සතියට යොදාගෙන තිබූ සංගමයේ නිලවරණයද මෙකී මතගැටුම නිසා කල්දමන්නට සිදුවිය.

මහ ඇමැති ඉසුරට එ.ජා.ප. විරෝධය

පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය රජයේ බලවත්ම දේශපාලන චරිතයක් ලෙස හැඳින්වෙන විදේශ ලේකම් ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දින දෙකක් කොළඹ රුඳී සිටියේය. සිය බිරිය ද සමඟ කොළඹ පැමිණි හෙතෙම ආණ්ඩුවේ හා විපක්ෂයේ ලොකු ලොක්කන් ගණනාවක් සමඟ දෙරටට බලපාන බරපතළ ප්‍රශ්න ගණනාවක් ගැන සාකච්ඡා කළේය. ගිය ඉරිදා රාත්‍රියේ අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජයශංකර් යුවළට රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය. අනතුරුව දෙපක්ෂය අතර පැවති මූලික සාකච්ඡාව සිදුකළේද මලික් හා ජයශංකර් අතරය. එම කතාබහේදී අවධානය දැක්වූණේ දෙරට අතර සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු ගැනයි. සාම්පූර් ගල්අඟුරු බලාගාරය ඉදිනොකිරීම ගැන ජයශංකර් ප්‍රශ්න කළ විට ඒ සඳහා ඉන්දියාව ලබාදෙන ද්‍රවගෑස් බලාගාරය (එල්.එන්.ජී.) සම්බන්ධව උනන්දු වී කටයුතු කඩිනම් කරන්නැයි මලික් සමරවික්‍රම ඇමැතිවරයා සඳහන් කර ඇත. එසේම ත්‍රිකුණාමලයේ තිබෙන ඉන්ධන ටැංකි සංකීර්ණය දෙරටටම ප්‍රයෝජනවත් වන ආර්ථිකමය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කළ හැකි ආකාරය ගැනද සාකච්ඡා සිදු කැරිණි. දිගින් දිගටම පමාවන මෙම කටයුතු ඉක්මන් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බැවින් ඊට ප්‍රවේශය සකස් කරදීමට ශ්‍රී ලංකාව පියවර ගතයුතු යයිද ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුම්දී තිබිණි.

මෙම සාකච්ඡාවලදී එට්කා ගිවිසුම් ආදිය ගැන ඉන්දියාව උනන්දු වන්නේ ශ්‍රී ලංකාවට එය අවශ්‍ය දිනක බව ජයශංකර් මහතා කියා ඇතැයි සඳහන්ය. තම රජය අපේක්ෂා කරන්නේ මෙබඳු ගිවිසුම් අත්සන් කිරීමට වඩා ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට යැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද වෙන වෙනම හමුවී මේ කරුණු ගැන ඉන්දිය විදේශ ලේකම්වරයා කතාබස් කළෝය.
ඉන්දීය විදේශ ලේකම් දෙමළ ජාතික සන්ධානය අතර හමුව ටිකක් උණුසුම් කතාබහින් පිරී පැවතුණි. විපක්ෂ නායක ආර්. සම්පන්දන්, සුමන්තිරන් සිද්ධාර්ථන් ඇතුළු ජේෂ්ඨ නායකයෝ හමුව සඳහා එක්වූහ. එහිදී විපක්ෂ නායක සම්පන්දන් මහතා රජයට ලොකු දෝෂාරෝපණයක් කළේ ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතු පමා කරමින් සිටින බවට චෝදනාවක් ද නගමිනි. මේ කටයුතු ආණ්ඩුව මෙයට වඩා ඉක්මණට කළයුතුය. ආණ්ඩුව මේක අතගගා ඉන්නවා... සම්පන්දන් කීය. සෙසු මන්ත්‍රීවරුන්ද ඉන්දීය විදේශ ලේකම්වරයාට කීවේ ව්‍යවස්ථා සම්පාදනයේ අඩුපාඩු ගැනමය. සියල්ලට ඉතාමත් සාවධානව කන්දුන් ජයශංකර් මහතා සම්පන්දන්ලාට අවවාද කළේ ආණ්ඩුවට දකුණේ ජනතාවගේත් අනුමැතිය ඇතිව කළ නොහැකි දේ කරන්නැයි බල නොකරන ලෙස කියමිනි. උතුරු නැගෙනහිර දෙපළාත එකතු කිරීම වැනි ඉතා අසීරු ඉල්ලීම් ඉල්ලන්නට යාමෙන් තිබෙන ටිකක් කරගැනීමට අපහසු වන්නේ යැයි කී ඉන්දිය විදේශ ලේකම්වරයා සීමාව ඉක්මවා නොගොස් සාකච්ඡා මගින්ම මේ ප්‍රශ්න විසඳාගන්නා ලෙස දෙමළ ජාතික සන්ධාන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
සයිටම් ආයතනයට විරෝධය දැක්වීම සඳහා වෛද්‍යවරුන් හා සරසවි සිසුන් ගෙනයන සටන් තවමත් හමාර නැත. දකුණු පළාතේ වෛද්‍යවරුන් ගිය අඟහරුවාදා වරුවක කාලයක් වැඩවර්ජනයේ යෙදු‍ණේය. පරිපූරක වෛද්‍යවරු බදාදා දිනයේ කොළඹ දී විරෝධතා පාගමනක් සංවිධානය කළහ. මේ ආකාරයට සයිටම් විරෝධය උත්සන්න වෙද්දී රජය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය අතට ගත්තේ ඇමැති මට්ටමේ සාකච්ඡා ප්‍රයත්න අසාර්ථක වීම නිසාය. මුලින්ම වෛද්‍ය සංගමය සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා පසුව සයිටම් ආයතනයේ ප්‍රධානී දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සමඟ කතා කළේය. එහෙත් ඊට එහි දෙමාපිය සංගම් ප්‍රධානී ගැමුණු විජේරත්නලාට ආරාධනා කර තිබුණේ නැත. ඒ ගැන ගැමුණුලා රජයට දොස් නැගීය.

රන්ජන් රාමනායකට රනිල්ගෙන් සැර අවවාදයක්

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා විය. ශ්‍රී ලන්කන් එයාර් ආයතනය වෙනුවෙන් එයාර් බස් ගුවන් යානා 4ක් මිලට ගන්නට ගිය රජය කළ ඇණවුම වත්මන් රජය විසින් අහෝසි කිරීමට ගත් පියවර එම විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් නොදන්නා බවත් මේ අවලංගු කිරීම සඳහා ගෙවන ලද දඩ මුදල ඉතාමත් අධික බවත් කියමින් කබීර් හෂීම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. අනුර යාපා, කබීර් හෂීම් මෙන්ම රවී කරුණානායක ඇමැතිවරුද මේ ගැන මත දැක්වූහ. මුදල් අමාත්‍යංශයට තමන් නොදැන මේ කොන්ත්‍රාත්තුව අවලංගු කරන්නට රුපියල් කෝටි සිය ගණනක් ගෙවීම ගැන විෂය භාර අමාත්‍යවරයා දැඩි විවේචනයක් කළේය.
මේ ප්‍රශ්නයෙන් රත්වී තිබූ අමාත්‍ය මණ්ඩලයේ දී මුදල් ඇමැති රවී කරුණානායක කළ කතාවක් නිසා විශාල වාග් සටනක් හට ගැනිණි. රවී කීවේ වත්මන් රජය ගෙවන්නේ ගිය ආණ්ඩුවේ පව් බවයි. රාජපක්ෂ රජයේ සිටි ඇමැතිවරැන් මේ ආණ්ඩුවේද සිටිමින් තමන්ලා විවේචනය කරන බව රවී කියද්දී දයාසිරි ජයසේකරට දැඩි ලෙස කේන්ති ගියේය. ඔහු රවී කරුණානායකට දැඩි පිළිතුරකින් සංග්‍රහ කළේය. “ඔව් අපි රාජපක්ෂ ආණ්ඩුවෙ හිටිය තමයි. එයාලගෙ වැරදි නිසායි අපි අයින්වෙලා ආවෙ. අපි විතරක් නොවේ ඔය ඉස්සරහ වාඩිවෙලා ඉන්න ජනාධිපතිතුමත් එතන ඉඳලයි ආවෙ. ඒ නිසා ඔය කතා කියාගෙන එන්න එපා. මහින්දල රකින්නෙ අපි නොවේ මහින්දල මේ ආණ්ඩුවෙ ඉඳන් රකින්නෙ කව්ද කියල කණ්ණාඩිය ඉස්සරහට ගියාම බලාගන්න පුළුවනි...* දයාසිරි කීය. ඒ සමඟ සභාව දැඩි ලෙස උණුසුම් විය. හොරා හොරා වැනි වචනද ඇසුනි. වාග් සටන තවතවත් උග්‍රවෙද්දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඇමැතිවරුන් නිහඬ කළෝය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පසුගියදා මුදල් අමාත්‍යංශයට ගියේ තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනයට අවශ්‍ය තොරතුරු ලබාගන්නටයි. ඔහු ඒ බව කලින්ම අමාත්‍යංශ ලේකම් සමරතුංග මහතාටද ලිඛිතව දන්වා තිබිණි. කොසේ හෝ බන්දුල මුදල් අමාත්‍යංශයට ගොස් නිලධාරීන් මුණගැසී ශ්‍රී ලංකා චීන සබඳතා ගැන තොරතුරු විමසද්දී අමාත්‍යංශයේ මාධ්‍ය සේවකයන් විසින් ඒ අවස්ථා ඡායාරූප ගතකරන්නටත් විඩියෝ කරන්නටත් විය. බන්දුලට මෙය අපභ්‍රංශයක් වූ නිසා ඔහු වහාම මුදල් ඇමති රවී කරුණානායක සොයා ගොස් ඒ බව පැමිණිලි කළේ තමන් අනවශ්‍ය රූපගත කිරීමට ලක්කළේ ඇයිදැයි විමසමිනි. එවිට අමාත්‍යංශයේ උත්සවයක සිටි අමාත්‍යවරයා කීවේ සිය අමාත්‍යංශයට එන සැමදෙනාම එසේ ඡායාරූප ගතකිරීම සම්ප්‍රදාය බවයි. 

 ප්‍රකාශ් ඉරුගල් බණ්ඩාර